සුභාවිත නර්තනයේ අස්පර්ශිත ප්‍රතිරූපය

මැයි 27, 2021

 

 

අහස් ගැබ සිසාරා අතු ශාඛා විහිදුනු මහා වනස්පතීන් පාමුල වෙනත් වෘක්ෂයන්ට වැඩීමට ඉඩක් නොලැබෙන බව ප්‍රකට කරුණකි. එහෙත් මහා වනස්පතීන් ද්විත්වයකම මූල පෝෂණය සහ සෙවන ලබමින්ම සුවිශාල වෘක්ෂ රාජිනියක් සේ ඇය සෘජුව වැඩුනාය. ඒ මහා රුක් සෙවන යටින් සිය අතුපතර විහිදා ගැන්මට තරම් අහස් ඉඩක් ද ඇය අත් පත් කරගත්තාය. ඇය නමින් උපේකා චිත්‍රසේන ය. ලාංකේය සුභාවිත නර්තනයේ මහා පෞර්ෂද්‍වය වූ චිත්‍රසේන - වජිරා යුවලගේ දෙටු දියණිය ලෙස උපත ලැබීමට ඈ භාග්‍යවන්ත වූවාය. එම භාග්‍යයම ඇයගේ ජීවිතයේ මහත් වූ අභියෝගයක් ද විය. එහෙත් චිත්‍රසේනයන් ගේ උත්තුංග තාණ්ඩව පෞරෂය ද වජිරාවන් ගේ සෞම්‍ය එහෙත් ගම්භීර වූ ලාස්‍ය ලක්ෂණ ද සියුම් ලෙස සුසං‍යෝගිත ප්‍රබල නෘත්‍ය අනන්‍යතාවක් වර්ධනය කර ගනිමින්, ඇය විසිවන සියවසේ සිවුවන කාර්තුවේ, සුවිශේෂී ලාංකේය කාන්ත නර්තන ප්‍රතිරූපය බවට පත් වීය.

1951 මැයි මස 21 දා උපත ලද උපේකා කුඩා කල සිටම හැදුනේ වැඩුනේ විවිධ කලා ධාරාවන් ගෙන් සුපෝෂිත පිරිපුන් කලා පරිසරයක ය. ඇගේ නිවස, ‘චිත්‍රසේන කලායතනය; සැබවින්ම කලා හා සංස්තික ආශ්‍රමයක් විය. එක්තරා ආකරයක නූතන ගුරුකුලයක් විය.

1940 දශකයේ සිටම චිත්‍රසේන කලායතනය බොහෝ කලාකරුවන් ගේ තරුණ වියේ නිවහන විය. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව, සෝමබන්ධු ආදීහු මුල් යුගයේ සිටම චිත්‍රසේනයන්ගේ නිවසේ ලැගුම් ගත් අය වූහ. එමෙන් ම චන්ද්‍රරත්න මානවසිංහ, සරත්චන්ද්‍ර, මහගමසේකර, හෙන්රි ජයසේන, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, බී.වික්ටර් පෙරේරා, ටයිටස් නෝනිස්, සයිමන් නවගත්තේගම, මංජු ශ්‍රී, ජොර්ජ් බෙවන්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජෝ අබේවික්‍රම, මනික් සන්ද්‍රසාගර, කැරන් බ්‍රෙකන්රිජ්, අර්නස්ට් මැකින්ටයර්, නිහාල් රත්නායක, තිලකරත්න කුරුවිටබන්ඩාර ආදී සංගීත, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර, සිනමා හා ජන මාධ්‍ය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයින්, විදග්ධයින්, කලින් කලට චිත්‍රසේන කලායතනයට නිරන්තරයෙන් ආගිය පිරිස අතර විය. උඩරට, පහතරට බෙරහඬ, සමරකෝන්ගේ ගායනය, අමරදේවගේ, ලයනල් අල්ගමගේ සංගීතය, සෝමබන්ධුගේ චිත්‍රය මෙන්ම විශේෂයෙන් චිත්‍රසේන වජිරා ගේ නර්තනය එදා කලායතනයට ආගිය සැම දෙනාගේ කන වැකුන, නෙත ගැටුන දේය. එපමණක් නොව එදා සිට අද දක්වා ද ශ්‍රී ලංකාවට පැමිණ විවිධ විදේශීය කලාකරුවන් නූතන ලාංකීය කලා හා සංස්කෘතික අත්දැකීමක් ලබාගැනීම සඳහා සැමවිටම යොමු කෙරුනේ චිත්‍රසේන කලායතනයටයි.

පියානෝ වාදක ක්ලොඩියෝ අරාවු, ප්‍රකට ඇමරිකානු නර්තන ශිල්පීන් වූ මාර්තා ග්‍රැහැම්, පෝල් ටේලර්, අභිරූපන ශිල්පී මාර්ෂල් මාසෝ, සුප්‍රකට සංගීතවේදී රවි ශංකර්, ප්‍රකට රංග වින්‍යාස ශිල්පීන් වන මර්ක් මොරිස්, ජොනතන් හොලැන්ඩර්, නර්තන පර්‍යේෂක සුනිල් කොතාරි, නර්තන ශිල්පිනී සුරූපා සෙන් ආදිය එදා මෙදා තුර චිත්‍රසේන කලායතනයට සපැමිණි ලෝක පූජිත කලාකරුවන්ගෙන් කීපදෙනෙකි. කලායතනය තුල සැම විටම විවිධ කටයුතු සිදුවිය. විටෙක නර්තන, මුද්‍රානාට්‍ය පුහුණුවක්, සංගීත පුහුණුවක්, විටෙක ඉදිරි කලා නිර්මාණයක් පිලිබඳ සාකච්චාවක්, විටෙක නැටුම් පංතියක්, විටෙක කලාව, සංස්කෘතිය පිලිබඳ විචාරාත්මක කතිකාවක්, තවත් විටෙක රාත්‍රිය පුරා නටන ශාන්තිකර්මයක් වැනි විවිධ කටයුතු වලින් චිත්‍රසේන නිවහන හැමවිටෙම සක්‍රිය විය. ඕනෑම ආකාරයක කලා පිපාසිතයෙකුට එය කදිම තෝතැන්නක් විය.

උපේකාගේ දීර්ඝ නර්තන චාරිකාව ඇරඹෙන්නේ එවන් පරිසරයක සිටය. හුදු නර්තන ශිල්පිනයක නොව පුළූල් දැක්මෙන් යුතු සැබෑ කලාකාරිනියක ලෙස වේදිකා මස්තකාරූඩ වීමට ඇයට හැකි වන්නේ ඇය හොඳීන් ආග්‍රහනය කල පෘථුල කලා පාරිසරික සුවඳ නිසා ය. නර්තන ශිල්පිනියක ලෙස ඇය ඉතා සූක්ෂම සහ ඉහළම ශිල්පීය තත්වයක් සාක්ෂාත් කොට ගෙන ඇත. වජිරාවන්ගෙන් ලත් ඉතා ක්‍රමානුකූල, ප්‍රමිතිගත උඩරට නටුම හා විශේෂිත වේදිකා පුහුණුවක්, පියසාර ශිල්පාධිපති ගුරුතුමන් යටතේ ලද පැහැදිලි හා ක්‍රමවත් උඩරට ශාස්ත්‍රීය නර්තනඥානය , ජේ.ඩී.ගුණතුංග ගුරුන්ගෙන් ලැබූ පහතරට නැටුම් පුහුණුවත් තුලින් ඇය නර්තන ශිල්පිනියක ලෙස හොඳීන් සන්නද්ධ විය.

වෘත්තීය නර්තන ශිල්පියෙකුට සතතාභ්‍යාස ඉතා වැදගත්ය. සුප්‍රකට රුසියානු බැලේ ශිල්පිනී නටාලියා මකරෝවා පවසන පරිදි “ ඔබ එක් දිනක් පුහුණුවේ නොයෙදුනහොත් එය ඔබටම දැනේවි. දින දෙකක් පුහුණු නොකලේ නම් ඔබේ ගුරුවරයාට එය දැනේවි. දින තුනක් පුහුණු නොකලේ නම් එය ඔබේ ප්‍රේක්ෂකයාට ද දැනෙනු ඇත”. වගකීම් සහගත ශිල්පිනියක ලෙස උපේකා උක්ත කියමන මුලුමුනින්ම විශ්වාස කල අයෙකි. එබැවින් සතතාභ්‍යාසය ඇයගේ ප්‍රධාන වෘත්තියමය වගකීම ලෙස ඇය සැලකීය. වේදිකාවේ ඇය දැඩි විනයධාරියෙකු විය. වේදිකා ප්‍රවිශ්ඨයට ටික වෙලාවකට පෙර සිට ඇය තමාගේ ම ලොවකට යන්නේ සිය භූමිකාවට ආවේශ වීම සඳහා ය. ඇය වේදිකාව දෙවොලක් සේ සැලකීය. (ඇගේ ශ්‍රේෂ්ඨ දෙමාපිය දෙපල ද එම වෘතය රැක්කෝය).

උපේකා වේදිකා නර්තන ශිල්පිනියකට අවශ්‍ය සමස්ත ශාරීරික ගුණාංගයන් ගෙන් යුක්ත විය. සිහින් මෙන්ම හැඩැති සිරුර සහ ශක්තිමත් දෙපා වේදිකාව මතදී ඇයගේ පෞරෂය වඩාත් මතු කලේය. ලෝහ පිළිමයක බඳු වූ ඡවි වර්ණයෙන් යුත් ඇගේ සිරුර කහ පැහැති වේදිකා ආලෝකය සඳහා කදිම මුහුණතක්ය. ඇයගේ රවුම් ලොකු ඇස් තියුණු හා ප්‍රකාශණශීලීය. වරෙක ඇමරිකානු නර්තන විචාරක පැමෙලා ස්කවයර්ස් ඇයව සුප්‍රකට ඉතාලියානු ඔපෙරා ගායිකාවක වූ මරියා කැලස් හට සමාන කලේ ද මෙම ලක්ෂණය නිසාය. වේදිකාවට ප්‍රවිශ්ඨ වුණු සැණින් ප්‍රේක්ෂකයා වශී කොට අල්ලා තබා ගැනීමේ විරල ගුණය ඈ සතු විය.

ශාස්ත්‍රීය උඩරට නර්තනය ඇයගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය විය. වජිරාවන් විසින් ඇය සඳහා නිර්මාණය කල උඩරට නර්තනාංග විලම්භ, මධ්‍ය, දෘත යන තුන් ලයෙන් සමන්විතය. උපේකා එම ලය අවස්ථා තමාට ආවේනික ගුණයන්ගෙන් යුක්තව අර්ථකතනය කරන්නීය. එහිදී ඇයගේ සිරුරේ රේඛා සෞන්දර්‍යය හා නිරවද්‍යතාව සියයට සියයකි. චලන ගුණය සියුම් හා තියුණුය. තාල යොමුව සුපැහැදිලිය. ඇය තාණ්ඩව හා ලාස්‍ය යන ගුණ අතර දෝලනය වෙමින් අති ගම්භීරව නර්තනය ප්‍රේක්ශකයා වෙත ඉදිරිපත් කරන්නීය.

උපේකාගේ පහතරට නර්තන හැකියාව සුවිශේෂීය. එහිදී ඇය සාම්ප්‍රදායික බෙන්තර ශෛලිය (පහතරට නැටුමෙහි රයිගම, බෙන්තර හා මාතර යනුවෙන් ප්‍රාදේශීය ශෛලීන් තුනකි) තුළින්ම සකස් කරගත් ආවේනික අංග වික්ෂේපන ක්‍රමයක් ගොඩ නගා ගති. ප්‍රබල ශාරීරික ශක්තිය මුසු ආවේසයක් තුළින් ඇය පහතරට බෙරයේ ඇති ධ්වනි ගුණය චලන මගින් ප්‍රතිනිර්මාණය කරන්නීය. එය පහතරට නැටුමේ ‘උපේකා ශෛලිය’ ලෙස හැදින්විය හැකි තරමටම ඇයට ආවේනිකය.

ශුද්ධ නැටුම් ඉදිරිපත් කිරීමේදී චලන තාක්ෂනය, ශිල්පීය ප්‍රාගුන්‍යය හා සෞන්දර්‍ය මතුකරන උපේකා චරිතාංග නර්තනයේ දී ප්‍රබල නාටකීය ගුණ ඉස්මතු කරයි. චිත්‍රසේන ගේ කිංකිණි කෝලම නෘත්‍ය නාටකය හා වජිරාවන් ගේ රෂොමොන් මුද්‍රානාට්‍ය ඇයගේ නර්තනයේ ප්‍රකාශනාත්මක ශක්‍යතාව හොඳීන් මතු කල අවස්ථාවන් ය.

එම නාට්‍ය ගුණය ද සිය පිය පාර්ශවයෙන් ඇයට ලැබුනු උරුමයකි. චිත්‍රසේනගේ පියා, සීබට් ඩයස් විසිවන සියවසේ මුල් යුගයේ ශ්‍රී ලංකාවේ විසූ විශිෂ්ට නාට්‍ය වේදියෙකි. රංග ශිල්පියෙකි. සිංහල ඉංග්‍රීසි දෙබසින්ම වේදිකාවේ රඟපෑ ඔහුගේ ෂෛලොක්ගේ (ෂේක්ස්පියර් ගේ වැනීසියේ වෙලෙන්දා නාට්‍යයෙහි) රංගනය විචාරක පැසසුම් ලද්දකි. චිත්‍රසේනයන් ද උපතින් ම එකී රංගන ප්‍රතිභාවෙන් යුක්ත විය. ඔහුගේම කරදිය මුද්‍රා නාට්‍යයෙහි මණ්දඩිරාල සහ ෂේක්ස්පියර් ගේ ඔතෙලෝ නාට්‍යයෙහි ඔතෙලෝ චරිතය (ඉංග්‍රීසි බසින් රඟපෑ) චිත්‍රසේනගේ සුවිශේෂී රංගන ප්‍රතිභාව පිලිබඳ සාක්ෂි වේ. උපේකා සතු එම ජානමය ශක්‍යතාව කිංකිණි කෝලමෙහි උපුලී චරිතයේ ‘බොරු පිස්සුව’ අඩංගු දර්ශනයෙන් මැනවින් සනාථ වේ. රංගනය සහ නර්තනය යන ප්‍රපංචයන් දෙක සූක්ෂමව සහ අනුකූලතාපූර්වකව සං‍යෝග කිරීමේ ඈ සතු සුවිශේෂී හැකියාව එහි මනාව පෙන්වා ඇත. රංගනයේ දී භාවාතිෂය නොවී සිය චරිතය තුල මනා පාලනයකින් යුතුව ජීවත් වෙමින් නර්තනය මූලික රංග වින්‍යසයක් ඔස්සේ භාව ප්‍රකාශනය කිරීම අපහසු කාර්‍යයකි.

1965 වර්ෂයේ වජිරාගේ රන්කිකිළි මුද්‍රානාට්‍යයේ ප්‍රධාන චරිතය රඟමින් ප්‍රධාන ශිල්පිනයක ලෙස විවරන ලබන උපේකා පසුව සිය මව මෙන්ම ලාංකේය සුභාවිත නර්තනයේ කාන්තා භූමිකාවේ සංකේතය බවට පත් වන්නීය. දෙවනුව චිත්‍රසේන කණ්ඩායමේ නායකත්වයේ යෂ්ටිය ද ඈ අතට ගන්නීය. ශ්‍රී ලංකාව තුල මෙන්ම විදේශ වලද ඉතා ගෞරවනීය රංග ශාලාවන්හි ප්‍රසංග පවත්වමින් සම්භාව්‍ය ලාංකේය නර්තනය වඩාත් ජනගත කරන්නී ලෝක මට්ටමේ මහා නර්තන ශිල්පින් අතර මහත් විචාරක පැසසුම් ලබන්නීය. ලෝකයේ සම්භාව්‍ය නර්තන ශිල්පිනියන් ලෙස, රුසියාවේ නටාලියා මකරෝවා, එකතරිනා මැක්සිමෝවා, ප්‍රංශයේ සිල්වි ගිලේම් හෝ ඇමරිකාවේ ජෙල්සි කර්ක්ලන්ඩ් වැන්නවුන් වැජඹෙන තලයේ ස්ථාන ගත කල හැකි ශ්‍රී ලාංකේය ශිල්පිනිය උපේකා චිත්‍රසේන ය.

2021 මැයි 21 වන දින සිය සැත්තෑවිය සපිරූ ලාංකේය නර්තන වේදිකාවේ මෙම අසහාය ශිල්පිනිය 2011 වර්ෂයේදී ප්‍රසංග වේදිකාවෙන් නිල වශයෙන් සමුගත්තාය. එහෙත් ශිල්පයෙන් විශ්‍රාම නොගත් ඇය අද දක්වාම චිත්‍රසේන පරපුරේ වත්මන් සුවිශේෂ නර්තන සාමාජිකාව වන තජී ඇතුලු තරුණ ශිල්පි පරපුරකටම අනුප්‍රානය හා ආභාසය වෙමින් තම ශරීරගත දැනුම හා ඥාන සම්භාරය බෙදා දෙන්නීය. ඇයගේ සමුගැනීමේ ප්‍රසංගය වෙනුවෙන් ප්‍රකාශිත සමරු පොත සඳහා ප්‍රකට ඇමරිකානු රංගවින්‍යාස ශිල්පී ජොනතන් හොලැන්ඩර් ලියූ සටහනෙකින් මෙම ලිපිය අවසන් කිරීම මැනැවි.

“උපේකා ගේ නර්තනය අපව දියමන්තියක දීප්තිය බඳු ධ්‍යානගත වීමක් වෙත ගෙනයන්නේ ඉතා ප්‍රවේශම්කාරී ලෙස විකාශිත ශාරීරික සමබර කිරීම් සහ හස්ත, පාද මෙන්ම සර්ව ශරීර අභිනයන් තුලිනි. ඒවා අපට සිහිනෙන් පමණක් දැකිය හැකි වූ මායාකාරී සහ පුරාවෘත්තමය ශිෂ්ඨාචාරයක් කරා ගෙන යයි.

ශ්‍රී ලාංකීය නර්තන උරුමය ලෝකය සමඟ බෙදාගැනීම සහ එයම අනාගතය සඳහා සටහන් කිරීම පිලිබඳව නර්තන ලොවේ අපි සැම ඇයට ණය ගැති වෙමු.”