ලෝකයේ විශාලතම කලා පවුල් ගස ලංකාවේ... සාමාජිකයන් ගණන සියයට අධිකයි

නිළි රැජනත් පවුල ගසට
මැයි 20, 2021
මාලිනී ෆොන්සේකා

පවුල් ගසේ තවත් අතු

 

තොටලඟ ජේන් නෝනාගෙන් ඇරැඹි දැවැන්ත පවුල් ගස ක්‍රමයෙන් දළුලා වැඩුණු අන්දම පිළිබඳ තොරතුරු ඉකුත් සති කිහිපය තුළදී අපි ඔබ වෙත ගෙන ආවෙමු. නිසැකවම මෙය ලොව ලොකුම කලා පවුල වනවාට කිසිදු සැකයක් නැත. එය එතරම්ම සුවිශාලය. පරම්පරාවෙන් පරම්පරාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන් එකිනෙකා මේ කලා පවුලට සබැඳී වන්නේ කෙසේද කියා ක්‍රමානුකූලව සටහන් කරගෙන එද්දී මීළඟට අප නවතින්නේ හෙළ නිළි රැජිනගේ නෑ පරපුර සමීපයේය. ඇය මෙම පවුල් ගසට සම්බන්ධ වන්නේ කෙසේද කියා අපි පසුගිය සරසවිය කලාපයෙන් ඔබට හෙළිදරව් කෙරුවෙමු.

ෆොන්සේකා පරම්පරාව නියෝජනය කරමින් අප කලා ලොවේ සිටින්නාවූ ජනප්‍රිය චරිත රැසකි. තවත් අන්දමින් කිව්වත් ඔවුන් මෙම පවුල් ගසේ කීර්තිය තවත් තීව්‍ර කරන පිරිසකි. ඔබ හොඳීන් හඳුනන අප නිළි රැජින මාලනී ෆොන්සේකායි. ඇය අප සිංහල සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් එකී කිරුළ ඇයට හිමිවූයේ හිමි වූයේ නිතැතිනි. සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙකුගෙන් යුතුවූ ෆොන්සේකා පවුලේ තුන්වෙනියා මාලනීය. මුල් යුගයේ වේදිකාවට දායක වෙමින් සිය රංගන හැකියාව විදහාලූ ඇය පුංචි බබා සිනමා පටයෙන් හෙළ සිනමාවට පය තබන්නීය. චිත්‍රපට දෙසීයකට ආසන්න සංඛ්‍යාවක රංගන දායකත්වය සැපයූ මාලනී දෙස් විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලත් රංගන ශිල්පිනියෙකි. තවමත් රංගන කාර්යයේ නියැලෙන ඇය සිනමාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කර සිටින්නීය. මාලනීගෙන් පසුව සිටින්නේ මහින්ද ෆොන්සේකායි. ඔහුගේ දියණිය හිරුණි ෆොන්සේකායි. ඇයද අඩු වැඩි වශයෙන් රඟපෑමට එක්වූ බවද මෙහිදී අප මතක් කරන්නේමු. හිරුණි අන්තිම රැය සිනමාපටයේ රඟපෑවාය. එමෙන්ම ආකාස කුසුම් චිත්‍රපටය ඔබට මතක නම්, එහි නිම්මි හරස්ගමගේ කුඩා කාලයට පණ පෙව්වේ මේ හිරුණිය. නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකුවූ, නිශ්චල ඡායාරූප ශිල්පියෙකු, ලෙසින් කලා ලොව අංශ ගණනාවක් ස්පර්ශ කළ ආනන්ද ෆොන්සේකා මාලනියගේ ඊළඟ සොයුරායි. අභාග්‍යයකට ඔහු අද අප අතර නැත. අමරනාත් ජයතිලකයන්ගේ තිලක සහ තිලකා චිත්‍රපටයේ තිලකාගේ සොයුරාගේ චරිතය ආනන්ද රඟපෑ අන්දම මේ මොහොතේ ඔබේ මතකයට නැඟෙනු ඇත. එමෙන්ම එයා දැන් ලොකු ළමයෙක්, ටිකිරා, අනුපමා, වසන්තයේ දවසක්, මේජර් සර් වැනි චිත්‍රපට යන්නෙහිද ඔහු රඟපෑවේය. උමයංගනා චිත්‍රපටයෙ නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද ආනන්දගේය.

ඔහු පුංචි තිරයට සම්බන්ධ වන්නේ කෙම්මුර නාට්‍ය නිර්මාණය කරමිනි. ආනන්දගේ දියණිය කවුද කියා ඔබ හොඳීන් දනී. ඇය සමනලී ෆොන්සේකාය. පාරාදීසේ සිනමාපටයේ ළමා නිළි චරිතයක් රඟමින් රංගනයට පිවිසි ඇය ක්ෂේත්‍රයේ කොයි කා අතරෙත් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නේ සරසවිය වත්මන් කර්තෘ අරුණ ගුණරත්න නිර්මාණය කළ සූර්ය විංශති ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් අනතුරුය. එහි සමනලී රඟපෑවේ අමා නමැති චරිතයකි. සමනලීගේ විවාහය සමගින් ෆොන්සේකා පරපුර තවත් නිළි පරම්පරාවකට නෑකම් කියන්නට පටන් ගනියි. ඒ ඇයගේ සැමියා වූ ඉන්ද්‍රචාප ලියනගේ නිසාය. ඉන්ද්‍රචාප යනු සම්මානනීය රංගනවේදී හේමසිරි ලියනගේගේ පුතණුවෙකි. ඉන්ද්‍රචාප කාලයක් කසුන් කල්හාර සමඟ ගී ගයමින් ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය. ආදර මල් වල, අනන්තයට යන පාර දිගේ, තරු කැටයක් වී ඉන් කිහිපයකි. මේ පවුල් ගසට කසුන්ද එක්ව සිටින වගට අපි පෙර ලිපියකින් ඔබ දැනුම්වත් කළෙමු. ඒ අනුව බලන කල කසුන් ඉන්ද්‍රචාප නෑදෑයෝය, ඉන්ද්‍රචාප ගායකයකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසටද ප්‍රකටය.

ඉන්ද්‍රචාපගේ අයියණ්ඩිය පියාණන් මෙන් ම සම්මානයට පාත්‍රවූ රංගන ශිල්පියෙකි. ඔහු මහාචාර්ය සෞම්‍ය ලියනගේයි. වත්මනෙහි ඉඳහිට රංගනයේ යෙදෙන සෞම්‍ය රඟපෑ චරිත ප්‍රමාණය අල්ප වුවද ඔහු රඟපෑ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර විය. සමනලී ෆොන්සේකාගේ ලොකු අයියා සුරංග ෆොන්සේකායි. ඔහුද රංගන කුසලතා ඇත්තෙකි. ඔවුන්ගේ ලොකු නැන්දාවූ මාලිනී අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයෙ සනත් ගුණතිලකගේ ළමාවියට රඟපෑවේය සුරංගය. ඔහුගේ පුතා විනෝද් සහ දියණි ටියාෂාද ටෙලි නිර්මාණයන් කිහිපයකට රඟපෑමට එක්ව තිබේ. සුරංග සහ සමනළී අතර තවත් සොයුරෙකි. ඔහු අසංක ෆොන්සේකායි. අසංක ෆොන්සේකා ස්ත්‍රී චිත්‍රපටය සහ මැනලද පුතේ කිරි දුන්නේ යන ටෙලි නාට්‍යයේ රඟපා තිබේ. ඔහුගේ දියණිය කුෂේන්‍යා ෆොන්සේකායි. පුංචි සන්දියේ සිටම රංගනයට උපන් හපන් කමක් දැක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ වින්දන සහ කල්පන ආරියවංශ නිර්මාණය කළ රූකඩ පැංචි සිනමාපටය රංගන දායකත්වය සපයමිනි. ඉකුත් වසරේ තිරගත වූ එහි කුෂේන්‍යා ප්‍රධාන ළමා චරිතය රඟපෑවාය. ෆොන්සේකා පවුලේ ඒ තවත් සාමාජිකයෝ රැසකි. එහි සියල්ල පිළිබඳ කියාපාන්නට මෙතැන ඉඩ මදිය. එහෙයින් ඊළඟ කොටස ලබන සතියට ගෙන එන්නට බලාපොරොත්තුවෙන් සතියය විරාමයක් මෙලෙස අප තබන්නෙමු.