ලක්ෂ්මි බායිගේ පළමු ග්‍රැමොෆෝන් ගීතය

“උත්පලවර්ණ දේවී කොහේදෝ”
මැයි 20, 2021

 

මෙරට නුර්ති ගීත යුගය ගැන කතා කරද්දී, අපට අමතක නොකළ හැකි එක් අග්‍රගණ්‍ය කලාශිල්පිනියක වන්නේ “ලක්ෂ්මී බායි” මහත්මියයි. පසුගිය ශතවර්ෂයේ දෙවන හා තෙවන ද්වාදශකය තුළ සිංහල සහ දමිළ වේදිකාවට සරස්වතිය සහ ලක්ෂ්මිය දෙදෙනාම එකවර ගෙන ආවේ ලක්ෂ්මී බායි යැයි කිවහොත් මා නිවැරදි ය. වෙනත් අයුරෙකින් පැවසුවහොත්, මෙරට කර්මාන්තයක් ලෙස සිනමාව ඇරඹීමට පෙර යුගයක, එනම් නුර්ති යුගයේ “අසහාය නිළි රාජිණිය” සහ “ගීත කෝකිලාව” ලෙස අතිශය ජනාකර්ෂණය , ජනාදරය සහ ගෞරවාදරය දිනා සිටි ජනකාන්ත නාටිකාව වූයේ ”ලක්ෂ්මි බායි” ය. ඇයට සම වූ අයෙකු සිටියා නම් ඒ ඇනී බොතේජු පමණක් ම ය.

 

වර්ෂ 1913 අප්‍රියෙල් 8 දින අද්‍රාහීම් කයිජම්මා නමින් අලුත්ගම වැලිපිටියේ දී උපත ලද ලක්ෂ්මි බායි උපතින්ම රංගන සහ ගායන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ දැරියක වූවා ය. කුඩා වයසේදීම ද්‍රවිඩ නාට්‍ය වලට යොමු වූ ඇය , “සංදාරාම්” නම් දමිල නාටකයක නිත්‍යකල්‍යාණි කුමරියගේ චරිතය පණ පොවමින් “විජයලක්ෂ්මි”ලෙස මුල් යුගයේ කලාලොවෙහි නම් තැබුවා ය. වයස් යන්තමින් 12 ක් පමණ වෙද්දී තම ප්‍රදේශයේ ස්වාධීන නාට්‍ය කණ්ඩායමක් ඇරඹීමට උත්සුක වුණු ඈ අම්බලන්ගොඩ “ලක්ෂ්මි තියටර්ස්” නෘත්‍ය ශාලාවෙහි, ඇල්බට් සිල්වා නම් සුධීමතුන්ගේ උපකාරය ඇතිව ආරම්භ කොට, එහි නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට පෙළඹුනා ය. එහිදී වැඩි වශයෙන් දමිළ නාටක ප්‍රදර්ශනය කෙරුණු අතර ඒවා විජයලක්ෂ්මිගේ ගායන සහ නර්තනවලින් පරිපූර්ණ විය. ඇල්බට් සිල්වා මහතාගේ ඇරයුමින් එම නාට්‍ය ජවනිකා අතරතුර, විජයලක්ෂ්මි විසින් එවකට ජනප්‍රියව පවතී සිංහල නුර්ති ගීත කීපයක ගීත සිංහල බසින් ගායනා කර රඟ දැක්වූවාය. “රෝමියෝ ජුලියට්” හි “යන්නේ සුරංගි ම’ජුලියට් සොයා” ගීතයත් , “සිවම්මා ධනපාල” නුර්තියෙහි “ මාගේ ස්වාමිගේ මුහුණ” යන ගීතයත් ගායනා ආදී වශයෙන් සිංහල ගීත ද ගායනා කළා ය. අයගේ ප්‍රසිද්ධිය නොබෝ කලෙකින්ම දැනගත් ආර්ය සිංහල නාට්‍ය සභාවෙහි සභාපති එඩ්මන්ඩ් සෙනෙවිරත්න සහ ටවර්හෝල්හි එවකට කළමනාකරු වූ දොන් ස්ටීවන් පෙරේරා මහත්මාවරු ඇය සොයා කළුතර නැබොඩ නිවසට පැමිණ ආර්ය සිංහල නාට්‍ය සභාවට සම්බන්ධ වන ලෙස ඉල්ලීමක් කළෝ ය. මසටක රුපියන් පන්සියයක දීමනාවක් සහ නැවතීමට මරදානේ සුඛෝපභෝගී නිවස්නක් ලබාදීමේ ගිවිසුම යටතේ විජයලක්ෂ්මි ආර්ය සිංහල නාට්‍ය සභාවේ නිත්‍ය ශිල්පිනියක ලෙස සම්බන්ධ වූවා ය.

වර්ෂ 1927 යන්තමින් 14 වයස් සපිරි විජයලක්ෂ්මි සිය මවගේ දෙවැනි විවාහයේ දියණියක වූ දසමස් වියැති උම්මු සල්මා (පසුව ජනකාන්ත නිළියක වූ දේවී සකුන්තලා) නැගණිය ද කැටුව ටවර් වේදිකාවට පිවිසියා ය. පළමුව “රාමායණය” නුර්තියේ සීතා ලෙස භූමිකාව නිරූපණය කළ ඇයගේ ප්‍රශස්ත රංගනය සහ ගායනය ප්‍රේක්ෂකයන් ඇදගැනීමේ කාන්දමක් බඳු විය. විජයලක්ෂ්මි “ලක්ෂ්මී බායි” ලෙස ටවර් වෙදිකාවේ බෞතීස්ම ලැබුවාය. ඇයගේ ගායනය ගැන පැහැදුණු ODEON  තැටි සමාගම 1927 වසරේ අප්‍රියෙල් 27 දින අයගේ පළමු ග්‍රැමොෆෝන් ගීතය තැටිගත කළේ ය. “උත්පලවර්ණ දෙවි කොහේදෝ සිටින්නේ මේකාලේ “ ගීතය ඉතා දීර්ඝ (විනාඩි 5 තත්පර 45) ODEON  තැටි අංක ඒ 226001-ච සහ ඡ ලෙස තැටිය දෙපැත්තේම අඩංගු විය. මෙම ගීතය එකල අතිශයින් ජනප්‍රිය ගීතයක් විය. වාද්‍ය වෘන්දය මෙහෙය වූයේ රූපසිංහ මාස්ටර් විසිනි. එදිනම ඇය විසින් දමිළ ගීත දෙකක් ද ODEON  ලේබලයට තැටිගත කළා ය. විෂ්ණු දෙවියන්ට නොහොත් උත්පලවර්ණ දෙවියන්ට (වත්මනෙහි උපුල්වන් සහ විෂ්ණු යනු දෙවිවරුන් දෙදෙනෙකු ලෙස විග්‍රහ කෙරේ) අධර්මිෂ්ටයන්ගෙන් සම්බුද්ධ ශාසනය සහ ප්‍රපාතයට වැටි ඇති ලංකාව ආරක්ෂා කරදෙන මෙන් ඉදිරිපත් කරන ආයාචනයක් මෙම ගීතයේ අන්තර්ගත වේ. ගීතය රචනා කළේ කවරෙක්ද යන බව ගීත තැටි ලේබලයේ සඳහන් නොවේ. වර්ෂ 1980 දී මහාචාර්ය ජේ. බී දිසානායකයන් විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදනයක් වූ “තුන්පත් රටා” වටසටහනට එක වූ ලක්ෂ්මි බායි මහත්මිය පැවසුවේ මෙම ගීතය එවකට ජර්මානු ඉංජිනේරු මහතුන් ගේ සහාය ඇතිව දැනට කොළඹ නයනා රෝග්‍යශාලාව පිහිටි ස්ථානයේ සකස් කෙරුණු තැටිගත කිරීම් කරන ශබ්දාගාරයකදී තැටිගත කළ බවයි. මෙම ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

 

(ආරම්භක දෙබස)

“ශ්‍රී ලංකා ශාසන භාරධාරී උත්පලවර්ණ දිව්‍යසංඛාත මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ට එකතරා ආරාධනාවක්”

 

උත්පලවර්ණ දෙවී කොහේදෝ

සිටින්නේ මේ කාලේ //

අධර්ම කරති දුෂ්ට දනෝ

පාගති සාසනේ //

 

සම්බුදුන්ගේ ආඥා ලබා ගත් රක්නට

ලංකා සාසනේ //

විජය රජුන් හට සෙත් කළ’එව්වේ

ඔබවද දෙවි නාරායනේ //

 

උත්පලවර්ණ දෙවී කොහේදෝ සිටින්නේ

මේ කාලේ //

අධර්ම කරති දුෂ්ට දනෝ

පාගති සාසනේ //

 

විහාර පන්සල් කොල්ල කකා අඹුදරු

රකිනා දුර්ජනේ //

කිමද අනේ ඔබ කරනා දඬුවම් බල

ඇති දෙවි නාරායනේ //

 

උත්පලවර්ණ දෙවී ...........

 

මෙම ගීතය එවකට අතිශය ජනප්‍රිය වූ අතර, ODEON  ගීත තැටි අලෙවි කළ දොන් පොරෝලිස් ප්‍රනාන්දු සමාගම විසින් ගීතය අලෙවි කිරීමේ ප්‍රචාරක පත්‍රිකාවල ලක්ෂ්මී බායිගේ සේයාරුවක් සහිතව “ලක්ෂ්මී බායි තරුණ නෝනා, ටවර්හෝල් මරදාන” යනුවෙන් සටහනක් යෙදුණි . එසේ සඳහන් කිරීමෙන් මෙම නවක ගායිකාව ටවර්හෝල් හි නිත්‍ය ශිල්පිනියක බව ශ්‍රාවකයන්ට ඒත්තු ගන්වන ලදී. මෙම ගීතය ගායනා කරන විට ඇයගේ වයස යන්තමින් දහහතරක් පමණ විය. එසේම, අකුරු ශාස්ත්‍රය ලිවීමට කියවීමට නොදැන සිටි ඇය මෙම ගීතය ගායනා කළේ, යට පුරුදු කළ අයුරු අසාසිට බවත්, කීප තැනකදී ගීතයේ වචන ඇය වරද්දා ගැයූ බවත් “තුන්පත් රටා” ගුවන්විදුලි වැඩසටහනට පැවසීමට තරම් නිහතමානී වූවාය. මෙම ගීතය සඳහා වාද්‍ය භාණ්ඩ ලෙස භාවිත වූයේ තබ්ලාව සහ සර්පිනාව වූ අතර, තබ්ලාව ඉතා විවෘතව වාදනය කළ බැවින් එහි හඬ මද්දලයකට සමාන ලෙස ඇසේ. ලක්ෂ්මී බායි එක රැයකින් ගායන තරුවක් වූයේ මෙම ගීතය මගිනි. නිශ්චිත හින්දුස්ථානි රාගයක් මෙහි හඳුනාගත නොහැකි අතර කෙහෙර්වා තාලයට අනුගතව ගීතය ගායනා කර ඇත. ශුද්ධ ස්වර පමණක් මෙහි භාවිත කර තිබීම විශේෂත්වයකි. රාමායණය නුර්තියේ සුප්‍රකට අඹ-දඹ-නාරං- කෙසෙල්-දෙල් ගීතයේ ආභාසය යම්තාක් දුරකට ලැබී ඇති බව පෙනේ. එසේම දශක නවයකට ආසන්න කාලයකට පෙර රචනා වූ මෙම ගීතයේ අදහස වර්තමානයේ ද මනා සේ ගැළපේ. පූර්ව සිනමා යුගයේ (1906-47) විෂ්ණු දෙවියන් පිලිබඳ කියවෙන ග්‍රැමොෆෝන් ගීත අතුරින් පළමුවෙන් හමුවන්නේ 1927 වසරේ PARLOPHON  ලේබලයෙන් එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසින් තැටිගත කළ , එතුමන්ගේ මුල්ම ගීත ගොන්නෙන් එකක් යැයි සැලකෙන “ විෂ්ණු දේවා” ගීතයත් එම වසරේම ODEON  ලේබලයට ලක්ෂ්මි බායි ගැයූ උක්ත සඳහන් “උත්පලවර්ණ දෙවී“ ගීතයත් , 1940 වසරේ HMV තැටියකට කෝකිලදේවි රත්නසභාපති සහ රූපසිංහ මාස්ටර් ගැයූ ”ශ්‍රීපති ශ්‍රී හරි විෂ්ණු දෙවින්දා“ ගීතයත්, 1941 වසරේ COLUMBIA තැටියකට ඊනිඩ් ජයසූරිය සහ චන්ද්‍රා වනිගරත්න ගැයූ “විෂ්ණු දේව ආරාධනාවක්” ගීතයත් ය.

වර්ෂ 1927 දීම ODEON  ලේබලයට අමතරව එකල වඩාත් ජනප්‍රිය වූ PAARLOPHON සහ HMV ලේබල වලට ද, (1927-1934 දක්වා ) වර්ෂ 1935 සිට BROADCAST  ලේබලයට ද, වර්ෂ 1938-1945 දක්වා නැවතත් HMV ලේබලයේ ලියාපදිංචි වූ ගායිකාවක ලෙසට ද ගීත ගැයීමට ලක්ෂ්මීට හැකි විය. මෙම ගීත තැටි ලේබල වෙනුවෙන් 1927-1945 වකවානුව තුළ ලක්ෂ්මී විසින් තැටිගත කළ ගීත සංඛ්‍යාව සියයකට ආසන්න ය. එසේම, ආලප්, කර්ණාටක සහ හින්දුස්ථානි වෘත, ඛයාල්, තරානා, නාත්, කව්වාලි, ටුම්රී ආදී විවධ ශෛලීන්ගේ ගීත ගායනා කිරීමේ නිසර්ග කුසලතාවයක් ලක්ෂ්මී බායි මහත්මිය සතු විය.

ලක්ෂ්මි බායිගේ ජනප්‍රියත්වය නිසාම ආර්ය සිංහල නාට්‍ය සභාව මගින් නිපදවූ ටවර් වේදිකාවේ දිගහැරුණු සියලු නාටකවල ඇය චරිත නිරූපණය කළා ය. පුරුෂ චරිත නිරූපණය කිරීමේ මනා දක්ෂතාවයක් ඇය සතුව පැවතුණි. රාමායණය , ඔතැලෝ, විදුර, රෝමියෝ ජුලියට්, වෙස්සන්තර පංචරති , නාගානන්ද, භූරිදත්ත, හේමමාලි, සිවම්මා ධනපාල, සාලිය-අසෝකමාලා, දුටුගැමුණු, වෙස්සන්තර, ධර්මාශෝක, සිරිසඟබෝ, ශ්‍රී වික්‍රම, මායාදුන්නේ, කාලිංග සහ සිරිමල් එතනා, චින්තාමණි, මානාභරණ, දොන් ජුවන් ධර්මපාල, සුවිනීත භාර්යා, පතිසුන්දර, රොඩී කෙල්ල, රොඩී කොල්ලා, ගහල කෙල්ල, ගහල කොල්ලා, සිංහල කොඩිය, වෙඩි බෝම්බය ආදී සියගණනක් නාටකවල එතුමිය පුරුෂ මෙන්ම කාන්තා චරිතද නිරූපණය කළා ය.

නුර්ති ගීත හැරුණු කොට, ග්‍රැමොෆෝන් ගීත තැටි වෙනුවෙන් ගායනා කළ අන් කිසිඳු ගීතයක් වෙනුවෙන් ඇය ප්‍රේම ගීත තැටිගත කළේ නැත. ඇය ග්‍රැමොෆෝන් තැටි වෙනුවෙන් ගැයූ ගීත බොහොමයක් ම බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ, දේශාභිමානී ගීත හෝ උපදේශාත්මක ගීත විය. නිදසුන් ලෙස PARLOPHON  ලේබලයට ගැයුණු සිරිගණ සාසන, සිංහාසනේ සිංහලුන් ගේ, වරද්දා පංච කාම සැපේ, BROADCAST  ලේබලයට ගැයූ, මද්දුම බණ්ඩාර, අනගාරික ධර්මපාල, අහෝ මේ පැමිණුනු, මහා මුණි, ඉතිහාසේ මේ අපේ, සිත සෝකා කය පීඩා (සංගීත රසය පිළිබඳව), HMV ලේබලයට ගැයුණු, මහත්මා ගාන්ධි තුමා, එෆ්. ආර්.සේනානායක, සුමන සමන් දෙවි, නාලාගිරි දමනය, පා දරු ප්‍රේමේ, ආදී සිංහලුන්, නාම ගෝත්‍ර නොදිරාවී, පිරිසිදු සිතිනි කිරිපිඬු දානේ, වදිමි පිරිසිඳු අටමස්ථානේ, තිදෙනා තණ්හා-අරති-රඟා, දහමේ පල නොලබා, නා ලොව නා රජිඳා ( භූරිදත්ත ජාතකය), ලංකා දීපේ ප්‍රබෝධේ ස්වාජාතියේ, හෙළ දීපේ (දුටුගැමුණු රජු පිළිබඳව), නිර්මල ලෝකාග්‍ර ස්වාමි, ශ්‍රී ගණ ශාක්‍ය රජාණෝ ආදී වශයෙන් ගීත සිය ගණනක් තැටිගත කළා ය.

ලක්ෂ්මීගේ ගායන සහ රංගන කුසලතාවයන් දෙවැනි වුයේ එවකට සිටි අනෙක් ජනකාන්ත නිළිය වූ ඇනී බොතේජු හට පමණි. ජෝන් ද සිල්වා මහතාගේ “රාමායණය” නුර්තියෙන් 1919 දී රංගනයට පිවිසෙන ඇනී බොතේජු ග්‍රමොෆෝන් ගීතයක් පටිගත කළේ 1920 දී පමණය. එවකට ටවල්හෝල් හි සිටි මෙම ජනකාන්ත නිළියන් දෙදෙනාගේ තරඟය තීව්‍ර කරනු වස් ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාව විසින්, සෙනසුරාදා දිනහන්හි ලක්ෂ්මි බායි යොදා ප්‍රදර්ශනය කළ නාට්‍යයාම එම චරිතයට ඇනී බොතේජු යොදා ඉරිදා දිනයෙහි දී ප්‍රදර්ශනය කරවීය. වරෙක රාමායනයේ සීතා ලෙස ඇනී රංගනයෙහි යෙදෙන විටට රාමා ලෙස ලක්ෂ්මි බායි චරිත නිරූපණය කළා ය. ලක්ෂ්මි කාලිංග කුමරු වන විට ඇනී සිරිමල් එතනා වූවාය. ඇනී රෝමියෝ වනවිට ලක්ෂ්මි ජුලියට් වූවා ය. මෙලෙස මෙම අතිදක්ෂ ගායිකාවන් දෙදෙනාම උරෙනුර ගැටෙමින් එවකට රංගනයෙහි යෙදුණහ. එසේම ගීත තනු ඉතා සීමා සහිත වූ යුගයක, මෙම ගායිකාවන් දෙදෙනා ලවාම එකම තනුවට විවිධ ග්‍රැමොෆෝන් තැටි ලේබල යටතේ ගීත පටිගත කිරීම් ද සිදු කෙරුණි. ඉහත දැක්වූ, ලක්ෂ්මි බායි විසින් වර්ෂ 1927 දී ODEON  ලේබලයට පටිගත කළ “උත්පලවර්ණ දෙවී” ගීතයේ තනුවටම “ඇනී බොතේජු”ගේ නමින් “විහාරමහාදේවී” නමින් ගීතයක් HMV තැටි සමාගම විසින් 1930 දී අංක ර්‍ථ 15005 යටතේ තැටිගත කරවන ලදී.

 

 

“ ආර්ය සිංහල නාට්‍ය සභාව” (ආරම්භක දෙබස- ගීතය හැඳීන්වීම)

විහාර මහදේවී -

අපේ මහා ගැමුණු රජුගෙ මෑණී..

සිරි ලංකා බුදු සාසනේ

සදා තැබූ මෑණී...

 

එළාර රජු හා සටනය පිණිසා

සිය හිමි රජුගේ බය දැනී

ගැමුණු පුතා නම් යුධෙහී යොදවා

සිංහල වංසෙට ජය දුනී..

 

විහාර මහ දේවී

අපේ මහා ගැමුණු රජුගෙ මෑණී..

 

සම්බුදු සසුනෙත් සිංහල වංශෙත්

නිසි තැන බේරා ගැන්මෙහී

උපකාරී වූ ගුණවත් දේවී

සිහිකරවු පිය සාධුනී

 

විහාර මහදේවී

අපේ මහ ගැමුණු රජුගෙ මෑණී...

 

ගීතය අරම්භයේදී “ ආර්ය සිංහල නාට්‍ය සභාව” ලෙස සඳහන් කිරීමෙන් මෙම ගීතය එම නාට්‍ය සභාවේ අනුග්‍රහය යටතේ පටිගත කෙරුණු බවක් ද, ඇනී බොතේජු එම නාට්‍ය සභාවට අනුබද්ධ නිළියක බවක් ද, රසිකයාට ඒත්තු ගන්වයි. එසේම ආර්ය සිංහල නාට්‍ය සභාවෙන් 1921 දී පමණ නිෂ්පාදිත “විහාරමහාදේවි” නම් නුර්තියක් ගැන ද සඳහන් වෙයි. ඇනී බොතේජුගේ රංගන ඉතිහාසයේ අසම්පූර්ණ නාටක නාමාවලියක මෙම නාටකය ද සඳහන් වෙයි. නමුත් මෙම නාටකයේ මුද්‍රිත පිටපත් සොයාගැනීමට අපොහොසත් වූ බැවින් උක්ත ගීතය මෙම නාටකයට ඇතුළත් වූයේද යන්නට තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු වී නොමැත.

 

සිංහල නාටකයේ උන්නතියට අතිවිශාල මෙහෙවරක් කළ ලක්ශ්මිබායි මහත්මිය වර්ෂ 1993 දී ස්වකීය දිවිමඬලින් සමුගත්තා ය. මෙරට පූර්ව සිනමා යුගයේ ජනකාන්තම නිළි ගායිකාව වූ ලක්ෂ්මී බායි මහත්මිය මෙරට සිංහල නාටකයේ ප්‍රගමනයට කළ උදාර සේවය වෙනුවෙන් එතුමියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තුතිය : ලක්ෂ්මි බායි මහත්මියගේ ගීතයේ තැටිය ලබා දුන්, ගීත තැටි සංරක්ෂක කුලසේකර මද්දුමගේ මහත්මා, ඇනී බොතේජු මහත්මියේගේ ගීත තැටිය ලබා දුන් ගීත සංරක්ෂක දයා ලියනගේ මහත්මා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂක පුස්තකාලය.

 

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යානාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය