‘චණ්ඩියා’ සමඟ ගැටුණ ‘කළු මහත්තයා’

එච්.ඩී. කුලතුංග (1927-1976)
මැයි 13, 2021

මුඩුක්කු ලෝකයට නවයුගයක් උදා වෙයි. එක් චණ්ඩියෙක් වැටයි, අනෙකෙක් නැඟෙයි, චුට්ටේ අලුත් චණ්ඩියා ලෙස, විදියේ පාතල ලෝකයේ ප්‍රධාන ලෝකයේ ප්‍රධාන අනුග්‍රහකයා වූ ද ‘ත්‍රී ස්ටාර්’ ක්‍රීඩා සමාජය අයිතිකරු වූ ද කළු මහත්තයා විසින් පිළිගනු ලබයි. චුට්ටේගේන් බිඳී ගිය කළු මහත්තයා ඔහුගේ විරුද්ධකාරයකු වූ ජෙමා සමඟ එක් වී, චුට්ටේ විනාශ කිරීමට කුමන්ත්‍රණය කළත් එය නිෂ්ඵල වෙයි.

ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩියා’ ඔබ නරඹා ඇත්නම් චුට්ටේ මෙන්ම කළු මහත්තයාද අමතක නොවේ. චුට්ටේට රඟපෑවේ ගාමිණී ෆොන්සේකාය. කළු මහත්තයාට රඟපෑවේ එච්.ඩී. කුලතුංගය. ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රකට මාවතක් හැඳල විජය චිත්‍රාගාරයේ ඉදිකර තිබූ අතර එහි බාබර් සාප්පුවක්, ප්‍රසිද්ධ වැසිකිළි පේලියක්, ආප්ප කඩයක්, වින්කලයක් හා කළු මහත්තයාගේ ‘ත්‍රී සටාර්’ කලබ් එක ද කැපී පෙනුණි.

චිත්‍රපටයේ උද්වේගකර අවස්ථාව චුට්ටේත්, කළු මහත්තයාත් අතර වූ සටනය. එය සිංහල සිනමාවේ දුටු අමතක නොවන සටන් දර්ශනයක් විය. මා මෙන්ම සිනමා උන්මාදයකින් සිටි එකල විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයකුව පියසේන වික්‍රමගේ (ලේඛකයකු ග්‍රන්ථකතුවරයකි) විසින් ලියූ ‘බයස්කෝප් උන්මාදය’ කෘතියේ ‘චණ්ඩියා’ චිත්‍රපටයේ මේ සටන් දර්ශනය අපූරුවට මෙසේ විස්තර කර තිබුණි.

‘සරම කැහැපට ගසාගෙන චුට්ටේ (චණ්ඩියා) ගණන්කාරයන්ගේ වීදියට සමීපවනු එක වරම ඔහු වෙත යොමු වන (සූම්/ලධධථ) සිනමා රූපයකින් දැක්වේ.

ඔහු වීරයෙකු සේ සතුරාට මුහුණ දීමේ ශක්තියෙන්-ධෛර්යයෙන් යුතු ආකාරයේ පියවරෙන්් පියවර තබමින් කැමරාව ඉදිරියට ඇවිද එයි. කොහේදෝ තිබූ කරත්ත රෝදයක් පෙරළීගෙන පෙරළීගෙන විත් චුට්ටේ අල්ලා ගනී. සතුරා (එච්.ඩී.කුලතුංග) කරත්ත රෝදයට චුට්ටෙ යටකර ගැනීමේ අභිලාෂයෙන් පොර බැඳීමක යෙදෙයි. කරත්ත රෝදය දෙදෙනාගෙන් ගිලිහී කැරකැවෙමින් සටන බලා ඉන්න ක්‍රිස්ටි ලෙනාඩ් බඳු විකට නළුවකුගේ ඇඟේ-ගෑවී-නොගෑවී යයි.

‘සිංහල සිනමාවේ කළු මහත්තයා’ ලෙස එදා ප්‍රකටව සිටි එච්.ඩී. කුලතුංග සිනමා ජීවිතයේ එක වසරකදී අමරණීය චරිත දෙකක් රඟපාමින් කුසලතා විදහාපෑවේ 1965දීය. ඒ ‘චණ්ඩියා’ හි කළු මහත්තයා, ‘චණ්ඩාලි‘ චිත්‍රපටයේ ‘ජීමි හාමු’ නම් චරිත තුළිනි. ඔහුට ජනප්‍රියත්වයේ ඉහළ යාමට එය ඉනිමක් විය. උත්තුංග දේහධාරි පෞරුෂත්වයක් හා රළු හිනාවකින් යුත් ඔහු එතෙක් සිටි සටන් නළුවන් අභිබවා තාත්වික රංගනයක් සමඟ ප්‍රධාන වීරයාට සැබෑ අභියෝගයක් වූවාක් පමණක් නොව ජීවමාන දුෂ්ටයකු ලෙසද රසිකයෝ පිළිගත්හ.

කුඩා කල සිටම ටවර් රඟහලේ ප්‍ර‍්‍රදර්ශනය කළ නාට්‍ය දැකීමෙන් රඟපෑමට පෙරුම් පිරූ කුලතුංග මුලින්ම කලා ලෝකයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යය හරහාය. ‘අමරණීය ආලය’, ‘පසුතැවිල්ල’, ‘ වරද කාගේද?’, ‘රොඩී කෙල්ල’, ‘රෝහිණී’, ‘හරිශ්චන්ද්‍ර’ නාට්‍යවල රඟපෑ කුලතුංග වරක් ‘සිළුමිණ’ පුවත්පතේ ‘චිත්‍රපටි හා කලා’ පිටුවේ 1961 ඔක්තෝබර් 8 ඉරිදා පළ වූ විශේෂාංගයට එල්මෝ ගුණරත්නයන්ට මෙසේ කියා තිබුණි.

මා පළමුවෙන්ම වේදිකාවක රඟපෑවේ ‘අමරණීය ආලය’ නමැති නාට්‍යයෙහිය. ඒ 1951 වසරේ දී පමණය. මට සැප පහසු අන්දමින් ජීවත්වීමට මාර්ගයක් ඇතත් මා වේදිකාව ප්‍රිය කළේ කලාව කෙරේ මා තුළ ඇති නිසාය. වේදිකා නාට්‍යවල රඟපෑම සිනමා චිත්‍රපටවල රඟපෑමට වඩා අමාරුය. පින්තූර ගනු ලබන්නේ වරින්වරය. සමහරවිට නළුවකු නිරූපණය කරන චරිතය සිනමා චිත්‍ර ගත කිරීම සඳහා අවුරුදු ගණනාවක් ගත විය හැකිය. එහි විවේකයක් තිබේ. එහෙත් වේදිකා නළුවකුගේ තත්ත්වය එය නොවේ. ඔහු ඔහුගේ කොටස එකවරම රඟදක්වා අවසන් කළ යුතුය.

කුලතුංග වේදිකාවේ රඟපාන විට පිහියක් ඇඳගෙන වේදිකාවට පැන මැරීමට උත්සාහ කළ අවස්ථාවක් තිබී ඇත. එයට හේතුව ඔහු දුෂ්ට චරිතයක් වීමය. කෙසේ වෙතත් තමන් දන්නා සියලු දස්කම් දක්වා කුලතුංග මැරයා මෙල්ල කර නොගත්තා නම් වන්නේ විශාල ව්‍යසනයකි.

‘මම කොහොමත් දාමරික චරිත රඟපෑමට කැමතියි.’ ඔහු කියා ඇත.

එහෙත් ඔහු ඉඳුරාම වෙනස් ශාන්ත චරිතයක් රඟපෑවේ 1961 වසරේ වේදිකා ගත වූ කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ නාට්‍යයේ වෙස්සන්තර රජතුමා ලෙසය. එදා මන්ද්‍රි දේවිය ලෙස රඟපෑවේ රුක්මණී දේවියයි. මේ නාට්‍යයට තම ප්‍රියතම නිළිය වූ රුක්මණි දේවි සම්බන්ධ කර ගැනීමට ඔහු සිතුවේය. මේ නාට්‍යයේ කුඩා සතිස්චන්ද්‍ර එදිරිසිංහ ද රඟපෑම විශේෂයකි.

“ඒ කාලේ කුලතුංග අයියා හොඳ පෞරුෂයක් තිබුණා. කොළඹ අලෙවි දෙපාර්තමේන්තු මැනිං මාර්කට් එකේ මැනේජර්. පිය උරුමයෙන් අත මිට සරුව සිටි, ඔහු කලාව උදෙසා ලොකු කැපවීමක් කළා. පසු කළෙක මා අධ්‍යක්ෂණය කළ ‘රජගෙදර පරවියෝ’ හා ‘ශී‍්‍රමදාරා’ චිත්‍රපටවල ඔහු රඟපාවි යැයි මම එදා කිසිසේත් සිතුවේ නෑ”. සතිස් අපට කීවේය.

හිඟුලගේ දොන් කුලතුංග 1927 වසරේ උපත ලැබීය.

ජේ.ඩී.ඒ. පෙරේරාගේ ශිෂ්‍යයකු වූ කුලතුංග ඔහුගේ “හරිශ්චන්ද්‍ර”, “සිරිමාවෝ” නාට්‍යයන්ගේ රඟපෑවේය. ටවර් හෝල් රඟහලේ කළමණාකරුව සිටි ඩී.වී. සෙනෙවිරත්න (පසුව පත්‍රකලාවේදිකු, නවකතාකරුවකු හා ‘චිත්‍රපටි කලාව‘ කෘතිය ලියූ) කුලතුංගයන්ගේ කුසලතා ටවර් වේදිකාවේ කීපවතාවක්ම දැක තිබුණි.

 

‘කුලතුංග දැන් චිත්‍රපටි නළුවෙක් වෙන්න කාලේ හරි’ සෙනෙවිරත්නයන් කීවේය.

‘අවස්ථාවක් ලැබුණොත් රඟපානවා.’

සෙනෙවිරත්නයන් විසින් 1960 වසරේ චිත්‍රපට අධ්‍යක්ෂ එල්.එස්. රාමචන්ද්‍රයන්ට කුලතුංග හඳුන්වා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කුලතුංග ‘නළඟන’ චිත්‍රපටයේ සමාජ ශාලා හිමියකුගේ දුෂ්ට චරිතයක් රඟපෑවේ ඇල්ප්‍රඩ් එදිරිමාන්න සමඟය. ඊළඟට 1963 දී ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ නෙල්සන් කරුණාගමගේ කාරුණික පියා ලෙස චරිතාංග නිරූපණයට පිවිසියේය. ‘උඩරට මැණිකේ’ චිත්‍රපටයේ ඔහු ජීවරාණි කුරුකුලසූරියගේ පියා ලෙස දිළිඳු ගොවියකු ලෙස රඟපෑවේය. කුලතුංගගේ චරිත නිරූපණය වෙනස් මඟට හැරෙන්නේ ‘සිකුරු තරුව‘ චිත්‍රපටයේ මිගෙල් අප්පුගේ චරිතයෙනි. එල්.එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ පී.කේ.ඩී සෙනෙවිරත්නගේ තිර රචනයෙන් ගැමි ජීවිතයේ සැඟවී තිබූ කුඩුකේඩුකම්, ඊෂ්‍යයා අණවින කරන ගති ගුණාංග මතු කිරීමට කුලතුංග සමත් විය. ඔහුගේ බිරිඳට රඟපෑවේ ජෙසිකා වික්‍රමසිංහය. ගම්මුලාදෑනියා වූ ඩී.ආර්. නානායක්කාර සමඟ ඔවුන් රඟපෑවේ අසරණ පවුලකට වින කටින දුෂ්ට චරිතය.

“මම චණ්ඩියා”චිත්‍රපටයේ රඟපෑ කළු මහත්තයාගේ චරිතයට තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු තවත් චරිතයක් තිබුණේ නෑ. ගැමිණිත්, මමත් සටන් දර්ශනය රඟපාන කොට මම කිව්වා. ‘අපි ඇත්තටම ගහගමු කියලා.’ නැත්නම් ඒක ස්වභාවික වෙන්නේ නෑ කියලා”. ගාමිණී එකඟ වුණා. ඒ නිසා තමයි ඒ දර්ශනයට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණේ. ‘චණ්ඩාලි‘ චිත්‍රපටයේ මම ජීමී හාමු. වලව්කාරයෙක්. සැඩොල් කුලයේ ලස්සන කෙල්ලකු වූ නිල්මිණි (ජෙනී විනප්‍රීඩා) බැල්ම හෙළා ඇය වළව්වට ගෙනයන්න හදන විට ශ්‍රමදානයක් සඳහා ගමට ආ තරුණයා සාලිය (ස්ටැන්ලි පෙරේරා) සමඟ සටනක් තිබුණා. එයත් අපි දෙදෙනා කතා කරගත් විදිහටම ඇත්තටම කළා. ජීමී හාමු ගමේ ඇවිදින්නේ අශ්වයකු පිට. අශ්වයා පුරුදු වෙන කොටම ඌ මගේ මිතුරෙකු වුණා. වරක් කුලතුංග අප හා කියා තිබුණා.

කුලතුංග රඟපෑ චිත්‍රපට අතරින් ‘ඔක්කොම හරි’ (1966) චිත්‍රපටයේ අලි අයිතිකාරයාගේ චරිතයක් කැපී පෙනෙයි. අලියා පිට ගමය යන අභිමානයක් ඇති ඔහු ගමේ සුරූපී තරුණියකට (සන්ධ්‍යා කුමාරි) ආදරය කරයි. එක් දර්ශනයක ට්‍රැක්ටරයක් පදවා ගෙන එන ගාමිණී ෆොන්සේකා සමඟ ගැටෙයි. ඔහු ගමේ රූමත් තරුණියගේ පෙම්වතා. අලියා පිට යාම ලෙහෙසි නොවන කුලතුංග කියා තිබුණි. ඔහු කෙසේ හෝ මුලදී අලියා මෙල්ල කොට මිත්‍රකර ගැනීමේ මන්ත්‍රය දැන සිටි නිසාලු.

කුලතුංග තම අනාගත බිරිඳ අයිරිෂ් හමුවන්නේ දෙන්නාට වේදිකා නාට්‍යයක එකට රඟපෑ අවස්ථාවේදීය. ‘කළු එතනා’ මේ නාට්‍යයයි. ඇය ඒ කතාව මෙසේ කියන්නීය.

“මම පුංචි කාලේ ඉඳලාම වේදිකා නාට්‍යවල රඟපෑවා. මට කුලතුංග හමුවුණේ ‘කළු එතනා’ නාට්‍යයෙන්. ගැමුණු කුමාරයාට රඟපෑවේ කුලතුංග. මම රඟපෑවේ කළු එතනාට. වේදිකාවේ ගැමුණු කුමාරයා කළු එතනාට ආදරය කළා වගේ ඔහු මටත් ඇත්තටම ආදරය කළා. එයා විවාහ වුණාට පස්සේ තේරුණේ ඔහු කොතරම් කාරුණික සැමියෙක්, කාරුණික පියෙක් ද කියලා. එයා දුෂ්ට චරිත වගේම කාරුණික චරිත රඟපෑවා.එයා දුෂ්ට චරිතයක් රඟ පෑ චිත්‍රපටයක මංගල දර්ශනයකට අපි දෙන්නම සහභාගී වුණා. එදා විවේක කාලයේදී ගාමිණීට, අනුලාට, සමරුපොත් අත්සන් කරලා ඇතැම් රසිකයන් කුලතුංගට සමරු පොත දෙන්න සැකයෙන් ඉඳලා බයෙන් බයෙන් වගේ හිටියා. කුලතුංග සිනාසුණා. ඒ අය සතුටින් කුලතුංගගේ අත්සන ලබා ගෙන සිනාමුසු මුහුණින් ගියා. ඒ වගේ ගොඩක් දේවල් තිබුණා.”

කුලතුංග වැඩිහිටි පියෙකු ලෙස ද, දානපතිවරයකු ලෙසද, මුහන්දිරම්වරයෙකු ලෙසද, සොවින් තැවෙන යුක්තිගරුක පියකු ලෙස ද, මහා ජාවාරම්කරුවෙකු ලෙස ද රඟපෑ අවස්ථා තිබුණි. යටගිය දවස, සැනසුම කොතනද, රෑන ගිරව්, නාරිලතා, සූරයන්ගේ සූරයා, සූර චෞරයා, එදත් සූරයා අදත් සූරයා, සදහටම ඔබ මගේ, කල්්‍යාණි ගංඟා, සිරිල් මල්ලි, සූරයා සූරයාමයි, දැන් මතකද, රජගෙදර පරවියෝ, ශ්‍රීමදාරා, ආවා සොයා ආදරේ මේ චිත්‍රපට අතර වෙයි.

“මගේ චිත්‍රපට ජීවිතයේ මුල්වරට ‘ආත්ම පූජා’ චිත්‍රපටයේ කඩු සටන් පුහුණු වීමට මාත් ගාමිණී ෆොන්සේකාත් මදුරාසියට ගියා. අපේ සටන් ගුරුවරයා අපට පුහුණුව දුන්නා. ඒ විතරක් නෙවෙයි. මේ තරම් ඉක්මණින් හා ක්‍රමානුකූලව සටන් ඉගෙනගත් ඉන්දිය නළුවන් අතරවත් නොසිටි බව කියලා අපට ප්‍රශංසා කළා” කුලතුංග වරක් කීවේය.

‘ආත්ම පූජා’ චිත්‍රපටයේ ගාමිණිත්, කුලතුංගත් කඩු සටන්වල නිපුණතාවය නිෂ්පාදක ගුණරත්නම්ට පවා ප්‍රශංසාවට ලක් විය. චිත්‍රපටය ආදායම් වාර්තා තැබීමට ඒ සටන්ද හේතුවක් වී ඇත. කුලතුංග හැට ගණන්වල ‘ත්‍රී යෙලෝ කැට්’ (ඊඩඥ බඩපඥඥ රඥතතධඹ ජචබඵ) නම් ලංකාවේ රූගත වූ ජර්මන් චිත්‍රපටයේ බ්‍රැඩ් හැරිස්, ටෝනි රැන්ඩොල් හා ආනන්ද ජයරත්න, ජෝ අබේවික්‍රම සමඟ රඟපාමින් තම ප්‍රභාව පෙන්වා ඇත.

කුලතුංගගේ බිරිඳ අයිරිෂ් කියා ඇත්තේ ඔහුගේ හොඳම මිතුරාව සිටියේ ගාමිණී ෆොන්සේකා බවය. බැප්ටිස්ට් ප්‍රනාන්දු හා නෙල්සන් කරුණාගම ළඟින්ම ඇසුරු කළ බවය. 1976 වසරේ එච්.ඩී. කුලතුංග මිය යන විට ඔහුගේ වයස 46 කි.

‘මගේ සැමියා විසින් ‘කම්කරුවා’ කියලා චිත්‍රපට කතාවක් එහි තිරනාටකයත්, දෙබස් රචනා කරලා ඒක නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මේ අතර චිත්‍රපටයට වියදම් කරන්න තිබූ මුදල් එයාගේ ලංකාවේ හිටිය ඉන්දියානු මිතුරෙකුට ණයට දුන්නා. ඒ මිතුරා ඉන්දියාවට ගියා ගියාමයි ආපසු ආවෙත් නෑ. තොරතුරක් නැති නිසා මගේ මහත්තයා මානසිකව වැටුණා. අසනීප වුණා. එයාට චිත්‍රපටවලින් අය විය යුතු මුදල් නොලැබීම නිසා අපි අසරණ වුණා. එයා මිය යන කොට අවුරුදු 15ට අඩු දරුවන් හතර දෙනෙක් හිටියා. වැඩිමල් දුව ශාරංගිකා. ඔහුගේ සැමියා තුසිත. ඒගොල්ලෝ ප්‍රංශයේ ජීවත් වෙනවා. ලොකු පුතා සම්පත්. ඔහුගේ බිරිඳ කාන්ති. බාල දියණිය චතුරංගි. විවාහ වී ඉන්නේ ඩුබායි වල. බාලපුතා රවී. ඒ ගොල්ලෝ විවාහවෙලා. මට මුනුබුරු මිනිබිරියන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒක තමයි මට තියෙන සම්පත. කුලේ හිටියනං. කොපමණ සතුටුවේද?

කුලේ මැරුණට පස්සේ මට ගොඩනැඟිලි සංස්ථාවේ පිළිගැනීමේ නිලධාරිනියක් හැටියට රැකියාව ලබා දුන්නේ ගැමිණී ෆොන්සේකා නිසා. මට ටෙලිනාට්‍ය දෙක තුනක රඟපෑමට ලැබුණා. ප්‍රංශය හා ඩුබායි යන රටවලට වසරකට වරක් ගිහින් මම දරු මුනුබුරු මිනිබිරියන් බලලා එනවා. මම සමාජ සේවා කටයුතුවල යෙදෙන්න කැමතියි. නාවල ගුණසේකර ළමා නිවාසයේ පාලිකාවක් හැටියට කලක් කටයුතු කළා. මම දැන් මාකොළ සිරි මංගල පාරේ දෙවනි පටු මගේ අංක 162/8ඒ නිවසේ පදිංචිව සිටිනවා.” මීට කලකට ඉහත අයිරිස් හමුවූ අවස්ථාවේ කීවාය.

 

 

ඡායාරූප පිටපත් - ලාල් සෙනරත්