පවුල් ගසේ තවත් අතු

මැයි 13, 2021

ලෝකයේ විශාලතම කලා පවුල් ගස ලංකාවේ... සාමාජිකයන් ගණන සියයට අධිකයි

 

පුරා සති තුනක් තිස්සේ ලියැවුණු පවුල් ගසේ කතාවේ ලිපි මාලාවට තැබූ මඳ විරාමය මෙලෙස ඉවත් වන්නේ එහි හතරවෙනි දිගහැරුම ඔබ වෙත ගෙන එමිනි. ලොව ලොකුම පවුල් ගසේ කතාව ඇතුළත් මෙම ලිපි මාලාව සඳහා ක්ෂේත්‍රයේ පිරිසගෙන් නොයෙක් ප්‍රතිචාර ලැබිණි. ඒ අතරින් මේ පවුල් ගස ට සම්බන්ධ අය විශේෂය. නොකඩවා මෙම ලිපි මාලාව කියවූ මෙම පවුල් ගසට සබැඳී කුමාරි පෙරේරා (පවුල් ගසේ මුල් පුරුකක් වන ටී. විල්බට් පෙරේරා සහ සෝමාකාන්තාගේ බාල දියණිය) තවත් දෙදෙනෙකු ගැන ඌණපූර්ණයක් කළාය. ඉන් එක් අයෙකු වන්නේ විශාරද ටී. තනුෂ්ක ගයාන් පෙරේරායි. ඔවුහු කුමාරිගෙ වැඩිමල් සොයුරකුවන ටී. රෙක්ෂන් පෙරේරාගේ මුණුපුරා වේ. තනුෂ්කගේ පියාණන් ටී. දිනේෂ් සුරංග පෙරේරායි.

ඔහු මේ වන වන විට ප්‍රසංග වේදිකා සම්බන්ධීකරණ ශිල්පියෙකු, වේදිකා නාට්‍ය පසුතල නිර්මාණ ශිල්පියෙකු, මෙන්ම වේදිකා පරිපාලකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියි.ළමා රංගන ශිල්පියෙකු ලෙස සිය දායකත්වය තනුෂ්ක සිරි රජ සිරි, සත්සර රංගන ආදී නිර්මාණයන්ට ලබාදී ඇත. එමෙන්ම ඔහු තබ්ලා වාද්‍ය විශාරදවරයෙක් සහ ගායකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි. මේ සා විශාල පවුල් ගසේ පිරිවර සොයාගෙන යද්දී අපට තවත් අයෙකු මගහැරී තිබිණි. ඇය සූර්යරාණි පෙරේරාගේ තවත් දියණියකි. ඇය නමින් සමූද්‍රා පෙරේරායි. කුසුම් පෙරේරා ඇගේ සහෝදරියයි. සමුද්‍රා නිවේදිකාවක මෙන්ම වේදිකා නාට්‍ය ගායිකාවක ලෙසින් කලාවට සිය දායකත්වය සපයා තිබේ. ඇගේ පුතණුවන්ද ළමා නළුවෙකු ලෙස කලක් කටයුතු කොට තිබේ. ඔහු කමිල නවෝද් පෙරේරායි. ඉතින් එම විස්තර කියවාගෙන එන ඔබට තවත් අලුත් රසවත් පරිච්ඡේදයක් අපි මෙලෙස සටහන් කරන්නෙමු.

හෙළ නිළි රැජන මාලනී ෆොන්සේකා මෙම පවුල් ගසට සම්බන්ධ වන බව අපි පෙර ලිපියකින් ඔබ දැනුම්වත් කළෙමු. ඒ අනුව මෙතැන් සිට ඇගේ සබැඳීයාව ඔබට ගෙන එන්නේ පවුල් ගස තවත් අතු රිකිලි දමමින් වැඩුණු අන්දම කියාපාමිනි. මාලිනීගේ මද්දුම අයියණ්ඩිය වන රංජිත් ෆොන්සේකාගේ වැඩිමල් දියණිය රුවිනි තරංගා විවාහ වන්නේ ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනියගේ වැඩිමල් සහෝදරයා වන ධර්මසිරි පෙරේරාගේ පුතණුවන් වන සුනෙත් පෙරේරා සමඟිනි. එම විවාහයත් සමඟින් මාලනී ෆොන්සේකාගේ පරම්පරාව මෙම පවුල් ගසට නෑකම් කියන්නට පටන් ගනී. රංජිත් හද්දින්නත් තරු ආදී සිනමාපටයන්හි සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. ඔහුගේ දියණිය රුවිනි ඔබේ මතකයන් අතරේ සිටින වගට කිසිදු සැකයක් නැත. ඒ ඇය රංගන ශිල්පිනියක ලෙසට කලක් කටයුතු කළ බැවිනි. හෙළ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලි සිතුවම ඔබට මතකද? එහි කුසුම්ගේ චරිතයට පණ පෙව්වේ මේ රුවිනිය. අනතුරුව නිර්මාණ ගණනාවකට රංගන දායකත්වය සැපයූ ඇය පසුකාලීනව රංගනයෙන් ඉවත් විය. රුවිනිගේ නැගණිය රූපවාහිනී මාධ්‍යවේදිනී තරිඳී ෆොන්සේකායි. ඇයද පරම්පරාවෙන් උරුමවූ රංගනය නමැති සහජ හැකියාවෙන් ප්‍රයෝජනය ගත් තැනැත්තියකි. ඇය අශෝක හඳගමගේ මේ පාරෙන් එන්න ටෙලි නාට්‍යයේ සහ ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් චිත්‍රපටයේ කළ රංගනය ඔබ මතකයේ ඇතිවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම සිහින හොරු අරන් වේදිකා නාට්‍යයේද ඇය රඟපෑවාය. තරිඳී විවාහ වූයේ රසිත ජිනසේන සමගිනි. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. රුවිනි සහ තරිඳීගේ බාල සොයුරා වන රනිල් ෆොන්සේකා සංස්කරණ ශිල්පියෙකු සහ රූප රචනා අධ්‍යක්ෂවරයෙක් ලෙස ට නිර්මාණ කිහිපයකට දායකත්වය දක්වා ඇත මාලනී පවුලේ ලොකු අයියා දයානන්ද ෆොන්සේකායි. ඔහුගේ දියණිය මනෝරි ෆොන්සේකා නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක විය. ඒ කෙම්මුර ටෙලි නාට්‍යය සහ පවුරු වලලු සිනමාපටයේය. මනෝරිගේ සොයුරු නිලංග ෆොන්සේකා ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වෙනි සාමාජිකාව වන්නේ අප හෙළ නිළි රැජන මාලනී ෆොන්සේකායි. ඇය පිළිබඳ ඔබට අමුතුවෙන් හඳුන්වා දියයුතු නැත. එළඹෙන සතියේදී මෙම පවුල් ගසේ ෆොන්සේකා පරම්පරාවේ ඉතිරි තොරතුරු ගෙන එන බලාපොරොත්තුව ඇතුව සතියකට අපි විරාමයක් තබමු.