සුසිලා ජයසිංහ ගැයූ “ඔංචිලි ගී”

සිරි උපුල කමල පළඳලා -කොමළ අඟනෝ සැරසිලා
මැයි 6, 2021

මෙරට ග්‍රැමොෆෝන් ගීත පිළිබඳ ඉතිහාසය “ග්‍රැමොෆෝන් සාහිත්‍යයක්” ලෙස කිව හැක්කේ එය ගීත පමණක් නොව විවිධ කලාංගයන්ගෙන් පොහොසත් වූ යුගයක් බැවිනි. සරල සහ ශාස්ත්‍රීය ගීත, ගීතිකා, ජන කවි, විරිඳු, සීපද, ගාථා සහ ශ්ලෝක, විකට ජවනිකා, ගීත නාටක, ළමා ගී, විවධ වාදන (වීණා - මැන්ඩලීන් - සර්පිනා සහ වයලීන් ආදී වූ), කතා සහ බණ දහම් සියල්ල කැටි කොටගත් සාහිත්‍යයක් ග්‍රැමොෆෝන් ගීත යුගය තුළින් බිහි විය. දශක හයක් දක්වා පමණ දිවෙන මෙරට ග්‍රැමොෆෝන් ගී යුගය භාෂා සාහිත්‍යාදිය මෙන්ම, ජන ජීවිතය සහ සමාජ- දේශපාලන ඉතිහාසය හදාරන්නවුන්ට ද ඉතා වැදගත් පර්යේෂණ යුගයකි.

අද මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ග්‍රැමොෆෝන් තැටියට නැඟුණු සිංහල ඔංචිලි වාරම් ආභාසයෙන් නිමැවුණු ඔංචිලි ගීයක් පිළිබඳව තොරතුරුය. කියවනනගේ පහසුව සඳහා මෙම ලිපියේ කරුණු පහත කොටස් තුන යටතේ කැටි කර දක්වමි.

(1) ග්‍රැමොෆෝන් තැටියට නැඟුණු මේ ඔංචිලි ගීතය හා සබැඳී විස්තර

(2) අප්‍රකට වූ බ්‍රෝඩ්කාස්ට් (BROADCAST ) තැටි ලේබලය හා සබැඳී විස්තර

(3) ගීතය ගැයූ සුප්‍රකට ටවර්හෝල් නිළි සුසිලා ජයසිංහ හා සබැඳී විස්තර

️ ග්‍රැමොෆෝන් තැටියට නැගුණු මේ ඔංචිලි ගීතය හා සබැඳී විස්තර :

පූර්ව සිනමා යුගයේ (1906-47) ග්‍රැමොෆෝන් තැටි සඳහා කවි පංති හෝ සීපද අඩංගු ගීත තැටි නිකුත් විය. සේදවත්තේ වෙළුම් පෙරේරා, රොමානිස් පෙර්රා, රොමියුලස් සිල්වා ආදීන් ගැයූ කරත්ත කවි ඇතුළත් ගීත තැටි ද, සරනේලිස් අප්පු විසින් ගැයූ ඇඹුම් කවි ද, ලිත්ති ප්‍රනාන්දු තරුණ නෝනා විසින් ගැයූ හේවාවිතාරණ පරපුර පිළිබඳ කවි පන්තිය ද , සිස්ලියානා ඩයස් සහ වලයට් වීරකෝන් ගැයූ නැන්දම්මා සහ ලේලී ගේ වාදය දැක්වෙන කවි පන්තිය ද, අනාථ වූ තරුණියකගේ කථාව පිළිබඳව සිස්ලියානා ඩයස් විසින් ගැයූ කවි පන්තිය ද, මේ සඳහා නිදසුන් කීපයකි. එසේම, පැරැණි ජන ගී ඇසුරු කොටගෙන නිර්මාණය වූ නව ගීත ද එකල බිහි විය. පසුගිය ලිපියක මා විසින් ඉදිරිපත් කළ “වී කොටන ගීය“ (සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් ගැයූ) එයට එක් නිදසුනකි. අද මා මෙම ලිපියෙන් ගෙන එන්නේ තවත් එවැනිම ගීතයකි. මෙම ගීතය වර්ෂ 1935 දී බ්‍රෝඩ්කාස්ට් (BROADCAST ) ගීත තැටි ලේබලය (තැටි අංක B 2315-ඒ) සඳහා සුසිලා ජයසිංහ නම් එවකට සුප්‍රකට ටවර්හෝල් නෘත්‍ය නිළි ගායිකාව විසින් තැටිගත කළ ගීතයකි. “ සිරි උපුල කමල” නම් මෙම ගීතයෙන් දැක්වෙන්නේ ඔංචිලි පදින ළඳුන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකි. ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

සිරි උපුල කමල පළඳලා -

කොමළ අඟනෝ සැරසිලා

යන කොකිල බිඟු සේ පිය සලා -

පැදලා ඔංචිලි නැළෑවිලා

 

සිරි සුමුදු බොළඳ දරු පැටී -

මවු උකුළෙ තොටිල්ලේ නැළෑවෙතී

පිය තරුණ අඟනො රැව් දිදී -

පැදලා ඔංචිලි නැළෑවෙතී

 

කිරි සයුර සිරිනි බබළනා -

පතිතව සඳ රැස් දිසී

එහි කිඳුරු අඟනො පීනතී -

එලෙස පදිමු ඔංචිලි

 

විල තිසරු පීනති අගේ -

පහුරු පදිති කළු ගඟේ

පිය සොඳුරු අඟනෝ එක රඟේ -

පදිති ඔංචිලි තරඟයේ

සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා ජනප්‍රිය කාර්යයකි. බාල - තරුණ -මහලු කවුරුත් මෙම කවි ගායනා කරමින් මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී “ඔංචිලි වාරම් ගී” ලෙස ජනකවි සාහිත්‍යයෙහි හැදින්වේ. . ඔංචිලි වාරම් ග්‍රැමොෆෝන් ගීත තැටියකට මීට පසු ලබා දී තිබෙන්නේ සරණගුප්ත අමරසිංහ මහතා විසින් 1940 දශකයේ අග භාගයේ දී ය.

“රනේ රුව සේ ඇති බාල ළදුන් නේ -කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ

ඉනේ සළුව තද කර ඇද ගන් නේ - අනේ ළදුනි ඔංචිලි පැදපන් නේ” ආදී වශයෙන් ගැයෙන ඔංචිලි ගී ඇසුරින් උක්ත “සිරි උපුල කමල“ගීතය සඳහා ග්‍රැමොෆෝන් ගීත රචකයා භාවිත කළ පදමාලාව ඉතා අපූරු ය. එවකට “පාරුව”, “අඟුල” හෝ “ඔරුව” ගංගාවකින් එගොඩ මෙගොඩ ගෙනයන යාත්‍රා සුලභ වුවද 1930-40 දශකයේ “පහුර” ( අඟුල් පහුර) නම් මගීන් බොහෝ දෙනෙක් ගෙන යා හැකි යාත්‍රා තිබුණේ කැළණි සහ කළු ගංගා අසබඩ ය. එවැනි පහුරු මගින් මගීන් පමණක් නොව, දැව, ලීබඩු, වෙළෙඳපොල සඳහා එළවලු ආදියද මහාපරිමාණ වශයෙන් ප්‍රවාහනය කෙරුණි. එබැවින් මෙම ගීතයට භාවිත කර ඇති ඇතැම් වචන (“පහුරු පදිති කළු ගඟේ”) මගින් එකල ජන ජීවිතය පිළිබඳ තතු ද මතු කරවයි. එසේම කළු ගඟ ඉස්මත්තට පුන් පොහෝ දිනෙක සඳරැස් වැටුණු විට එම පළාත සහ කළු ගඟ ඉස්මත්තේ අවට කඳු පංතීන් ද මනාව චිත්‍රණය වන්නේ ය. මේ ගැන පසු කලෙක අමරදේවයන් විසින් ගැයූ “පීනමුකෝ කළු ගඟේ - ගිරි බැබැළෙන හඳ පානේ” යන ගීයෙන් ද මතු කරයි. “කිරි සයුර සිරිනි බබළනා - පතිතව සඳ රැස් දිසී” යනුවෙන් මුල් පද පේළියේ දක්වන රචකයා අනතුරුව එය කළු ගඟට සම්බන්ධ කරයි. එබැවින් ඔහු සැබවින් ම කළු ගග පිළිබඳ මේ අසිරිය මනා සේ අත්විඳී අයෙකු බව සිතිය හැකි ය. නමුත් මෙම ගීත රචකයා පිළිබඳ කිසිඳු සටහනක් ගීත තැටි ලේබලයේ හෝ 1935 නිකුත් කරන ලද ගීතය අඩංගු ගීත පොතේ සඳහන් වී නොමැත.

මෙම ගීතයේ සංගීතය ජෝසප් පෙරේරා මාස්ටර් ගෙනි. මෙම ගීතයේ ඇතැම් ස්ථාන වල හින්දුස්ථානි සංගීතයේ භූපාලී සහ දෙශ්කාර් රාග වල සේයාවන් මතු කෙරෙන අතර නිශ්චිත රාගයක් පදනම් කරගෙන නිර්මාණය වූ බව කීම පහසුය. ගීතයේ කෝමල නිශාදය ෂඩ්ජය ලෙස පිහිටුවා ඇත. සර්පිනාව ප්‍රධාන කොට, තාලම්පට සහ වයලීනය සංගීතය නිර්මානයන්කිරීමට යොදාගෙන ඇත. ගීතය දාදරා තාලයෙන් මධ්‍ය ලයෙන් ගායනා වේ. මෙම ගීතයේ තනුව සඳහා ජෝසප් පෙරේරා මාස්ටර් විසින් භාවිත කර ඇත්තේ වර්ෂ 1931 දී සුප්‍රකට වංග ශාස්ත්‍රීය ගායිකා අන්ඝූර් බාලා විසින් ගායනා කළ “ඨුම්රි“ ගීත ශෛලීයේ ගීතයකිනි. මෙම ගීතය රචනා කොට තනුව සැපයුවේ එවකට සුප්‍රකට වංග කවියෙක් වූ කාසී නස්රූල් විසිනි. හින්දුස්ථානි කව්වාලි, තරානා සහ ඨුම්රි ශෛලීන් ප්‍රිය කළ ජෝසප් පෙරේරා මාස්ටර් මුල් දාදරා ඨුම්රි ගීතය සිංහල ගායිකාවගේ කටහඬ පරාසයට ගැලපෙන ලෙස සහ ගීතයේ පදමාලාවට උචිත වන ලෙස සකස් කළ ආකාරය ඉතා අපූරු ය.

 අප්‍රකට වූ බ්‍රෝඩ්කාස්ට් (BROADCAST ) තැටි ලේබලය :

“බ්‍රෝඩ්කාස්ට්” නම් ශබ්දවාහිනී ගීත තැටි ලේබලය මෙරටට පැමිණියේ 1934-38 වකවානුව දක්වා පමණි. තද නිල් -ලා නිල්, තද නිල් - ලා කොළ , ලා නිල් - රතු , ලනිල්- කහ ලෙස වර්ණ සංයෝජනවලින් මෙම තැටි ලේබල නිකුත් විණි . ඒඅනුව නිල් (B), රතු (R), කොළ (G) සහ කහ (Y) ලෙස අංක ශ්‍රේණියක් මෙම තැටි සතු විය. 1934-35 වකවානුවේ අ ශ්‍රේණියද, 1936-38 වකවානුවේ අ සහ B ශ්‍රේණියට අයත් තැටිද මෙරට වෙළෙදපොළට බහුලව නිකුත් විය. කෙසේ වෙතත් බ්‍රෝඩ්කාස්ට් තැටි ලේබලය සමස්තයක් ලෙස ගත් විට, ගීත තැටියෙහි අන්තර්ගත ගීතය පිළිබඳ විස්තර අතින් ඉතා දුර්වල ය. ගීත රචක හෝ සංගීත අධ්‍යක්ෂණය ගැන කිසිදු සඳහනක් තැටි ලේබලයේ නොමැත. ගීතයේ නම සිංහල සහ ඉංගිරිසි භාෂාද්වයෙන්ම සටහන් වූ අතර, ගායකයාගේ හෝ ගායිකාවගේ නම ඉංගිරිසියෙන් පමණක් සටහන් විය. තැටියේ දෙපස එකම අංකය වූ අතර, දෙපස ගීත දෙක ඒ සහ B ලෙස එකම අංකයෙන් සටහන් කෙරුණි. උදාහරණයක් ලෙස, සුසිලා ජයසිංහ මහත්මිය ගේ “සිරි උපුල කමල” ගීතය අඩංගු තැටියෙහි අංකය B ශ්‍රේණියට (BLUE SERIES)අයත් වූ ගතැටි ලේබලය නිල් පැහැති නිසාඝ B 2315 -ඒ වූ අතර, එම තැටියෙහි අනෙක් පස සුසිලා ජයසිංහ විසින් ම ගායනා කරන “ඇඳලා සුදු පට සේලේ ” ගීතයට යෙදු අංකය B 2315-B විය. බ්‍රෝඩ්කාස්ට් ලේබලය යටතේ ඉන්දියානු (දමිල, මරාති, හින්දි, තෙළගු, කන්නඩ, උර්දු, ගුජරාති සහ බෙංගාලි යන භාෂා වලින් යුත් ) සහ සිංහල ගීත මදුරාසියේදී පටිගත කෙරුණු අතර, තැටි පිටපත් කැපීම සහ ලේබල මුද්‍රණය එංගලතයේදී හෝ ඉන්දියාවේදී සිදු විය. තැටි ලේබලයේ “BRTISH MAKE BY PATENT PROCESS” යනුවෙන් සඳහන් කෙරුණි. ලන්ඩනයේCrystalate Gramophone Record Manufacturing Co. Ltd  හි ඉංජිනේරුවන් මගින් ඉන්දියාවේ මදුරාසියේ, MOUNT ROAD හි අංක 167 දරණ ශාඛා කාර්යාලයේ ශබ්දාගාර තුළ දී මෙම ගීත තැටිගත කිරීම සිදු විය. ඉන්දියාවේ මදුරාසිය, කල්කටා සහ බොම්බාය යන නගර ත්‍රිත්වයෙහි ඉන්දියානු ගීත තැටිගත කෙරුණු නමුත්, සිංහල ගීත සියල්ල තැටිගත කෙරුණේ මදුරාසියෙහි ය. එබැවින් ගීත තැටි ලේබලයේ සඳහන් කෙරුණේ HO යන අකුරු දෙක සමග යෙදුණු අංකයකිනි (මදුරාසියේ කරන ලද තැටිගත කිරීම් HO ශ්‍රේණියෙන් ද, කල්කටාවේ කරන ලද තැටිගත කිරීම් ඛ්HO ශ්‍රේණියෙන් ද, බොම්බායේ කරන ලද තැටිගත කිරීම් BHO ශ්‍රේණියෙන් ද නම් කෙරුණි). සුසිලා ජයසිංහ මහත්මියගේ අද මා ඉදිරිපත් කරන ගීතය අන්තර්ගත තැටියේ HO 495 ලෙස දැක්වේ. එනම් එය මදුරාසියේ දී තැටිගත කරන ලද ගීතයකි. එසේම වාර්තාගත තොරතුරු අනුව පළමුව මෙම ලේබලයේ තැටි කැපීම එංගලන්තයේ දී සුළු කාලයකට සිදු වුණු නමුදු, නෞකා මගින් ප්‍රවාහනය සඳහා ගතවන කාලය සහ පිරිවැය අධික වීම හේතුවෙන්, පසුව ඉන්දියාවේ කල්කටාහි “ඩම් ඩම්” හි පිහිටි ග්‍රැමොෆෝන් ගීත තැටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හෝ බොම්බායේ පිහිටි නව කර්මාන්තශාලාවක තැටි කැපීම සිදු වූ බව සඳහන් වේ. ඉන්දියාවෙහි අඟල් 8-9-10-12 ලෙස විවිධ ප්‍රමාණ වලින් මෙම ලේබලයේ තැටි නිකුත් වුවද, මෙරට බහුලව භාවිත වුයේ අඟල් 08 සහ අඟල් 10 තැටි වර්ගයයි.

අනෙකුත් ගීත තැටි ලේබලවලට සාපේක්ෂව බ්‍රෝඩ්කාස්ට් ලේබලයේ ගීත මිනිත්තු 4 තත්පර 30ට ආසන්න කාලයක් වාදනය වන්නේ ය. මේ බව සෑම ගීත තැටි ලේබලයකම දාරයෙහි ඉංගිරිසි බසින් “The Long Playing Record”  වශයෙන් ඉහළ කොටසෙහි මුද්‍රණය කරන ලදී. එසේම ලේබලයෙහි පහළ කෙළවර තැටි නිකුත් කරන ලද ALL MUSICAL PRODUCTS LTD. MADRAS  යනුවෙන් මුද්‍රණය කරන ලදී. රසායනය අතින් BROADCAST  ලේබලය, ජර්මනියෙහි නිෂ්පාදිත ODEON සහ PARLOPHON  තැටිවලට වඩා තරමක පහළ මට්ටමක පැවතුණ අතර, තැටි තරමක් භංගුර විය. එවකට ශ්‍රී ලංකාවෙහි BROADCAST  ගීත තැටි බෙදාහැරීමේ ඒජන්තවරු වූයේ කොළඹ මල්වත්ත පාරේ, කොන්සිස්ටනරි ගොඩනැගිල්ලෙහි, අංක 03 දරණ , “කලම්බු මියුසිකල් ස්ටොර්ස්” සමාගම ය.

සුසිලා ජයසිංහ, ලක්ෂ්මි බායි, ලෝරන්ස් පෙරේරා, රොමියුලස් සිල්වා ,රෙජිනා පෙරේරා, විල්බට් අන්තෝනි, ජෝසප් පෙරේරා ආදී ගායක ගායිකා කණ්ඩායමක් මෙම බ්‍රෝඩ්කාස්ට් ලේබලයේ තැටිවලට ගීත තැටිගත කිරීමට මදුරාසියට පිටත්ව ගියබව සඳහන් වේ. මෙම ගීත බොහොමයක් 1934-35 වකවානුවේ පටිගත කෙරුණු අතර, 1934-38 වකවානුවේ දී පමණ වෙළෙඳපොළට නිකුත් විය. එවකට ප්‍රසිද්ධව තුබූ නුර්ති තනු ඇසුරින් නිෂ්පන්න වූ නුර්ති නොවන “නව” ගීතද, නුර්ති ගීත ද රාශියක් වෙන වෙනම මෙම BROADCAST  ලේබලයට තැටිගත කෙරුණි. සුසිලා ජයසිංහගේ ගායනා රාශියක් ද මෙම ලේබලයෙන් නිකුත් වුණි. එම ගීත අතර “ඔතැලෝ”, “කුරුසයේ ලකුණ”, “දුටුගැමුණු ” ආදී නුර්ති වල අඩංගු යුග ගීත ද, “සිරි උපුල කමල” සහ “ඇඳලා සුදු පට සේලේ” වැනි නුර්ති නොවන කේවල ගායනා රාශියක් ද ඇතුළත් විය.

 

ගීතය ගැයූ සුප්‍රකට ටවර්හෝල් නිළි සුසිලා ජයසිංහ

කොළඹ මරදානේ ටවර්හෝල් නෘත්‍ය ශාලාවේ සහ කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාවේ එවකට සිටි අග්‍රගණ්‍ය නාටිකා ත්‍රිමූර්තිය වුයේ, ඇනී බොතේජු , ලක්ෂ්මි බායි සහ සුසිලා ජයසිංහ ය. “ජයසිංහ ආරච්චිගේ දෝන පෙසෝනාහාමි” ලෙස නම් ලද මෙතුමිය වර්ෂ 1904 දී ජන්මලාභය ලැබුවා ය. වර්ෂ 1927 දී වයි. ඇම්. ප්‍රේරා ගේ “ජනරංජන” නාටකය තුළින් වේදිකාවට ප්‍රවිෂ්ට වූවා ය. වර්ෂ 1927 දී ම නීතිඥ චාර්ල්ස් ඩයස් ගේ “හේමමාලී” නාටකයෙන් “සුසිලා ජයසිංහ” ලෙස ටවර්හෝල් හි කිරුළු දරන ඇය වඩාත්ම ප්‍රකට වුයේ, එවකට සිටි අතිශය සුරූපී නාටිකාව ලෙස ය. හේමමාලි, මායාදුන්නේ, ගංවතුර, බලගතු කාසිය, හෙළදිව පුරඟන, රොඩී කෙල්ල, සාලිය-අසෝකමාලා, සිවම්මා -ධනපාල, විධුර, මානාභරණ, දුෂ්ට නීතීඥයා, පතිසුන්දර, රෝමියෝ ජුලියට්, ඔතැලෝ ආදී වූ නාටක සිය ගණනක රැඟුම්- ගැයුම් ඉදිරිපත් කළ සුසිලා ජයසිංහ, ඇනීබොතේජු සහ ලක්ෂ්මී බායි මෙන් ම ටවර් වේදිකාව මත ස්ත්‍රී මෙන්ම පුරුෂ චරිත ද ජීවමාන කළා ය. ඇයගේ මධුරතර එසේම ගම්භීර හඬින් දහස් ගණන් වූ ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත් කළා ය. ඇයගේ ගීත එවකට තැටිගත කෙරුණේ සුප්‍රසිද්ධ “බ්‍රෝඩ්කාස්ට්” (BROADCAST) සහ හිස් මාස්ටර්ස් වොයිස් (HMV) ශබ්ද වාහිනී ලේබල වලිනි. එවකට සුප්‍රසිද්ධ සංගීතඥයන් වූ එච්. ඩබ්ලිව්. රූපසිංහ, ජෝසප් පෙරේරා සහ එච්. ඒ. ලෝරන්ස් පෙරේරා යන මහත්වරුන්ගේ සංගීත අදියුරුවම යටතේ එතුමිය මෙම ගීත ගායනා කළා ය.

සුසිලා ජයසිංහ ද 1939 සිට HMV සමාගම සමගින් පස් අවුරුදු ගිවිසුම් අත්සන් කොට රූපසිංහ මාස්ටර් ගේ අදියුරුවම යටතේ ගීත ගායනා කළා ය. ඇය වැඩිපුරම HMV ලේබලයට තැටිගත කළේ ජී. ඩබ්ලිව් දොන් බෙනඩික්ට් මහතා සමගින් විකට ජවනිකා ඇතුළත් ගීත ය. ඒවා අතුරින්, වලව්ව සහ හරමානිස්, හරමානිස් සහ මැගී, අන්දරේ සහ නැන්දම්මා , අන්දරේ කැවුම් කෑ හැටි , කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව, අන්දරේ සහ බිසව, අන්දරේගේ ගෑනි සහ බිසව, රාළහාමි සහ හාමිනේ, තෙපානිස් අප්පු සහ සොපි හාමි, විල්ෆ්‍රඩ් සහ ඇඩ්ලින්, ජොන්සන් සහ මියුරින්, බණ්ඩා සහ මැණිකේ, කැළණි වන්දනාව, දොයි දොයි බබෝ, මංගෝ නෝනා ගේ තේ කෝප්පය, සහ බබුංචි අප්පු ඉතා ජනප්‍රිය වූ විකට ජවනිකා වෙත්. එසේම 1940 දශකයේ ඇයගේම නෘත්‍ය කණ්ඩායමක් ඇති කළ සුසිලා ජයසිංහ එවකට ගම් - දනවු නගර පුරා සිය නාට්‍ය සහ නර්තන ජන්වනිකා රඟ දැක්වූවාය.

ජීවිතයේ සැඳෑ සමයේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව ටවර්හෝල් පදනම මගින් පිරිනැමූ මාසික වැටුපක් පමණක් ලද එතුමිය වර්ෂ 1986 දෙසැම්බර මස 23 දින සදහටම දෙනෙත් පියා ගත්තා ය. මෙරට සිංහල නාටකයෙහි සහ සිංහල ගීතයෙහි එක්තරා යුගයක් නියෝජනය කළ ජනකාන්ත නූර්ති නිළියක සහ ගායිකාවක වූ සුසිලා ජයසිංහ මහත්මියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂක මධුර ශාමාල් කරුණාදාස සහ ටී.ඇන් විජේසිංහ මහත්මාවරු. ගීතයන් හි රාග- තාල පිළිබඳව දැනුම්වත් කළ විශාරද නිහාල් ගම්හේවා සහ අසංක පෙර්රා මහත්මාවරු, බෙංගාලි ජාතික ස්නේහාසිස් චැටර්ජි මහතා

මූලාශ්‍ර :The Gramaphone Company's first Indian recordings, 1899-1908 , Michael S Kinnear   (1994); සංගීත නිධානය (1935): 3 වැනි කාණ්ඩය, 4 පිටුව; විසි වසරක සිංහල නාට්‍ය සහ රංග කලාව 1912-21, තිස්ස කාරියවසම් (2012, දෙවැනි මුද්‍රණය)

 

 

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යානාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය