නිම්නාගේ වර්තමානයට පෙර නිම්නාගේ ඉතිහාසය කියවමු

කෞශල්‍ය කුමාරසිංහ
මැයි 6, 2021

 

'මුලින්ම සිද්ධ වෙන්නේ ඇගේ ෆේස්බුක් ගිණුම අතුරුදන් වීම. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතුරදන් වීමක තිබිය හැකි බිහිසුණු සෞන්දර්යය එහි වූ බවට සැකයක් නැහැ. හරියට ගන අඳුරු රාත්‍රියක හිටි ගමන් සිද්ධ වෙන විදුලිය විසන්ධි වීමක් වගේ. ඔබේ ඇඳ ඔබේ ඇඳුම් රාක්කය, ඔබේ අළු බඳුන මේසය හා ඒ මත විසිරුණු පොත්... මේ සියල්ල මේ දැන් ටිකකට කලින් පැවතුණා... දැන් නැහැ.'

කෞශල්‍ය කුමාරසිංහ 'නිම්නාගේ ඉතිහාසය' ලියා තබන්නට පෙලඹෙනේනේ 'මොනාලිසා සිත්තම අතුරුදන් වූ ලූවර් කෞතුකාගාරය වගේ, අත්‍යන්ත නොපැවැත්මක වේදනාකාරී බවකින් සයිබර් අවකාශයම අලළී ගියා සේ දැනෙන්නට පටන් ගත්' පසුවයි.

ඇතිවීම පැවැත්ම හා නැතිවීම පිළිබඳ සනාතන දහම මෙන්ම සිය අත්‍යන්ත අරමුණ කරා ළඟා වීමට සියවසක පමණ කාලයක් තුළ පරම්පරා හතරක ගැහැනුන් සහ මිනිසුන් විවිධ මානයන් ඔස්සේ ගමන් කරන ආකාරය නිම්නාගේ ඉතිහාසය ඔස්සේ සටහන් කිරීමට ඔහු උත්සාහ කළ බව එක් අතකින් හැඟී යයි. ඒ අතරම ඒ කාල පරාසය තුළ සිදු වන සමාජ දේශපාලන සංස්කෘතික සහ ආර්ථික පරිනාමයන්ට ඒ ඒ පරම්පරා නියෝජනය කරන්නන් මුහුණ දුන් විධි ඔස්සේ අද අපේ පැවැත්ම මේ ආකාරයට නිර්මාණය වීමට හේතු සාධක ඔහු සොයා යතැයි ද සිතේ. ඒ සඳහා කෞශල්‍ය පාදක කරගන්නා බව කියන්නේ නිම්නාගේ ෆේස්බුක් ගිනුමේ පෝස්ටුවලට ප්‍රතිචාර දැක්වූවන් පිළිබඳ ඔහු සතු කටු සටහනයි.

"...පුරාවිද්‍යාඥයකු පොළොව කැණීමෙන් සොයාගත් දිරාපත් පුරාවස්තු ඔස්සේ වැළලුණු නගරයක රූපයක් නිමවන්නට තැත් කරන්නා සේ මේ කටුසටහන් කතාන්දරයක් බවට පත්කරන්නට තැත් කරනවා හැර අන් විකල්පයක් මා හමුවේ නැහැ." (පිටුව 9)

 

මෙසේ ඇරඹෙන 'නිම්නාගේ ඉතිහාසය' කියන්නට පෙර කෞශල්‍ය කුමාරසිංහ අපට 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' යැයි ඇරයුම් කළේය. ඊටත් පෙර ඔහු ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්ගේ At the Waters Edge දිය අද්දර නමින් 2007 වසරේ ද 2013 වසරේ ඇලේන් ‌බේඩිව්ගේ ඉන් ප්‍රේස් ඔෆ් ලව් නම් වූ ආදරය පිළිබඳ දාර්ශනික කෘතිය විදුර ප්‍රභාත් මුණසිංහ සමඟ 'ප්‍රේමය පසසනු වස්' නමින් ද පරිවර්තනය කළේය. ඔහු ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් සහ විදුර ප්‍රභාත් මුණසිංහ සමඟ මේ වසරේ පළ කර තිබුණි. එය රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යෑම- ගුණදාස අමරසේකරගේ සාහිත්‍ය පිළිබඳ පාර්ශ්වීය කියවීමක් ලෙස පළ විය.

 

කෞශල්‍ය කුමාරසිංහගේ වතගොත ද අප විමසුවෙමු.

"තාත්තා හේමනන්ද කුමාරසිංහ, විදුහල්පතිවරයෙක්. කුඩා කාලේ ඉඳන්ම තාත්තාගේ පොත් එකතුව කියවද්දි මම වචනවලට ආදරය කරන්න ගත්තා. පද්මිණී ඇතුළත්මුදලි මගේ අම්මත් ගුරුවරියක්, ඇයගෙනුත් මට අනුබලය ලැබුණා. මම ශිෂ්‍යත්වය දක්වා කේරි විද්‍යාලයටත් සාමාන්‍ය පෙළ නාලන්ද විද්‍යාලයෙනුත්, උසස් පෙළ ආනන්ද විද්‍යාලයෙනුත් කළා. අපි විශ්වවිද්‍යාලෙට එන කාලෙ සමාජ දේශපාලනික වශයෙන් ගත්තාම එක්ස් කණ්ඩායම ජනප්‍රියයි. එහි බලපෑම සමඟ වැඩිපුර දර්ශනය, සමාජ න්‍යාය පිළිබඳ හැදෑරීම වගේම ලෝකය, සමාජය වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න තිබෙන උනන්දුව වැඩි වෙනවා." එනිසාම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් ලත් ප්‍රථම උපාධියෙන් පසු එක්සත් රාජධානියේ ඩරම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමටය. පසුව සමාජ විද්‍යාවෙන් දර්ශනපති උපාධිය ලබා ආචාර්ය උපාධිය සඳහා දසූදානම්ව සිටින්නේ ද ඉන්දියාවේ දිල්ලි නුවර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙනි. මාධ්‍යවේදියකු ලෙසද කෙටි කලක් කටයුතු කළ කෞශල්‍ය, ජනවාර්ගික අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික කේන්ද්‍රයේ පරිවර්තකයකු ද විය.

අප යළිත් 'නිම්නාගේ ඉතිහාසය'ට යමු. එහි සමස්තය ගොඩ නැඟීමේ ප්‍රවේශයක් ලෙස මුහුණු පොත යොදා ගැනීමට හේතුව කෞශල්‍ය පැවසුවේ මෙසේය.

"අපේ සමාජයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල ඩිජිටල් නැත්නම් සයිබර් තලයක් තිබුණේ නැහැ. එය අපට වැදගත් තලයක් වුවත් තවම එය නවකතාව ආදියට හරියට අවශෝෂණය කරගෙන නැහැ. මම උනන්දු වන්නේ අපි මේ ජිවත්වන යුගය තුළ මිනිස් ආත්මය යනු කුමක්ද? යන්න සොයද්දි එය මඟ හරින්න බැරි මානයක් බව දනවන්න."

බර්ලීන් තාප්පය කඩා දැමුණු දා උපදින නිම්නාට වයස විසි පහක් පමණ වන තුරු ඇගේ ජීවිතය පිළිබඳ අතිශය පෞද්ගලික තොරතුරු සිට පරම්පරා හතරක සමාජ, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තන කෞශල්‍ය ගෙනහැර දක්වන්නේ නිම්නාගේ පවුල් පසුබිම හා බැඳුණු ඉතිහාසය සමඟිනි.

"ලංකාව ප්‍රධාන වශයෙන් රැඩිකල් විදිහට වෙනස්වන තැන යටත්විජිතකරණය. එය බොහොම චින්තනමය ආක්‍රමණයක්. එයට අවශෝෂණය වුණාට පසු අපට කලින් හිතපු විදිහට හිතන්න බැහැ. අපි හැදිලා තිබෙන්නේ ලෝකයේම සිදුවන පශ්චාත් ප්‍රබුද්ධත්ව චින්තනමය කණ්ඩනයක් සමඟයි. අපි අද කියන පවුල, ආදරය, ආගම ආදි සියල්ල හැදෙන්නේ සුවිශේෂී කණ්ඩන මොහොතකට පසුවයි. මම ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ එයයි. මිලිනෝනාගේ පරපුරට එක ආගමක්, එක ගැහැනියකට එක මිනිහෙක්, මෙන්ම ලිංගිකත්වය පිළිබඳ වරදකාරී හැඟීම ඇති වෙන්නේ ඒ මොහොතෙන් පස්සේ. ඒ කාර්මික විප්ලවය. දෙවැනි කණ්ඩනය ඩිජිටල් විප්ලවය. ඒවා තීරණාත්මකව අදාළයි අද අප ගෙවන ජීවිතවලට.

මෙහි සමාජ පරිවර්තන පෙන්වන්න ඉතිහාසය දක්වනවා. එය අතිපෞද්ගලික ක්ෂුද්‍ර තලයේ සිට මහේක්ෂ තලය දක්වා වෙනස්වීම සම්බන්ධ සියල්ලම අර්ථකථනය කරන්න උත්සාහයක් නැතත් සමහර ඒවා සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. චරිතවල ආත්මීය ලක්ෂණ පිහිටා ඇති දේශීය සමාජ ආර්ථික දේශපාලන තලයන් සහ එය ගෝලීය වශයෙන් පිහිටන තලය ආදිය හඳුනාගන්නටත් ගත් උත්සාහයක් තමයි ඇත්තේ."

ඔහු පවසන මේ කරුණු 'දැං ලෝක චාරිත්තරේ එක මිනිහයි එක ගෑනියි', 'කාපිරි ගෙදර කාපිරි ගෙදර බවට පත්වීමේ කතන්දරය', 'මං බයිසිකලෙන් රෙදි විකින්නු කාලේ' වැනි පරිච්ඡේදවලින් පමණක් නොව මුළු පොත පුරා වරින් වර විවිධ කෝණයන්ගෙන් විදහා දැක්වීමට ඔහු සමත් වී ඇත. සිංහබාහු වැනි ඓතිහාසික කතාන්දර ඔහු නාට්‍යමය ජවනිකා ඔස්සේ මෙන්ම සිහින ඔස්සේ නිම්නාගේ පාර්ශ්වයට ගැළපෙන පරිදි පැහැදිලි කරගැනීමට තැත් කරයි. එසේම සිහින ඔහු භාවිත කර ඇත්තේ පියවි ලෝකයේ අපට විශ්ලේෂණය කර ගත නොහැකි අධියථාර්ථවාදී ප්‍රකාශනයන් ඉදිරිපත් කිරීමේ උපක්‍රමයක් ලෙසය.

'..එක්තරා කුඩා නගරයක් මතට රාත්‍රිය එළඹ තිබුණා. එය වෙනස් රාත්‍රියක්. අන් කවර රාත්‍රියකටත් වඩා රාත්‍රීමය භාවය වැඩි රාත්‍රියක් එය. අන්ධකාරයේ අංශු එකිනෙකා මත ඇලී අඳුරු කුට්ටියක් හැදී තිබුණ. හරියටම කිව්වොත් ඇයට හිතුණේ නගරය අඳුර නැමැති ජෙලි තට්ටුවෙහි ගිලී ගිහින් කියලයි.' (පිටුව 23)

කථන භාෂාවට ආසන්න ව්‍යාකරණයක් සේම ඔහු විසින්ම තනාගත් උපමා, උපමේය ආදියෙන් නිම්නාගේ ඉතිහාසය රසවත් කරන්නට ඔහු පෙලඹෙයි.

"ඕනෑම ලේඛකයකු උත්සාහ කරන්නේ අපූර්ව ආකාරයකට තමන්ගේ කතාව කියන්නනේ. භාෂාවේ වචන, උපමා, යෙදුම්, ආකෘතිය යොදා ගන්නේ ඒ වගේ වචනවලට ඇති ආශාව නිසා. ගද්‍ය පද්‍ය සියල්ලේ පදනම තිබෙන්නේ වචනවල."

එසේම නවකතාකරු වරින් වර පාඨකයා ඔහු කියන්න යන දේ පිළිබඳව දන්නවා ඇතැයි හෝ තේරුම් ගන්නට ඇතැයි පවසන අවස්ථාද ඇත. "... නමුත් මේ කුලුන හෝ ඒ කුලුන ඈ සිහිනෙන් වරක් දුටු කුලුන සිහිපත් කරන්නට සමත් නොවන හැටි ඔබට තේරුම් ගන්න අපහසු නෑ." (පිටුව 534)

"මෙවැනි උපක්‍රම එක එක තලවල භාවිත කරනවා. සමහර විට පොඩි ප්‍රමාදයක් හදනවා පාඨකයාට හිතන්න. ව්‍යාකරණමය භාෂාව ගත්තත් ආඛ්‍යාතයකින් අවසන් කරන වාක්‍යයක 'ය.' වැනි අර්ථ විරහිත අකුරකින් තමයි අනෙක් වාක්‍යයට එලැඹෙන්නේ. උපක්‍රමයක් විදිහට කියවන්නා කතාවටම අනන්‍ය වීම වැළැක්වීමට වගේම සාමාන්‍ය දෘෂ්ටිකෝණයකින් කියවාගෙන එන රසය හා සෞන්දර්යය වෙනස් කිරීම වැනි විවිධ මානයන් වෙනුවෙන් හිතාමතා කළ දෙයක් එය."

එසේම නිම්නාගේ ඉතිහාසය පුරා පරම්පරා හතරකම සම, විසම ලිංගික සබඳතා පිළිබඳ හෙළිදරවු කිරීමට ඔහු ඉදිරිපත් වෙයි.

"ලිංගිකත්වයත් අනෙක් හැමදේම වගේ තමයි. ලිංගික හැසිරීම් අපි පොත්වලට ඇතුළු කරන්නේ තෘප්තිය ලබා දෙන්න නෙවෙයි. ලිංගික තෘප්තිය කියන මොහොතෙම අපි හිතනවා තෘප්තිය යනු කුමක්ද යන්න, එහි දේශපාලනය කුමක්ද? මගේ පැත්තෙන් උත්සාහයක් නැහැ තෘප්තියක් දෙන්න. සාහිත්‍යය පිළිබඳ බරපතළ ලෙස සිතන ලේකඛයකු වෙළෙඳපොළ තනාගන්න ලිංගිකත්වය යොදන්නේ නැහැ. අපේ පැරැණි සාහිත්‍යය ගත්තොත් මාතර යුගය, සංදේශ කාව්‍යවල නගර වර්ණනා, කව්සිළුමිණ ආදිය රසවාදය මඟින් නිශ්චිත රසයක් දීම වෙනුවෙන් ශ්‍රැංගාර රසය ජනනය කිරීමට, ලිංගික තෘප්තිය ලබා දීම සඳහාම ලියැවුණු ඒවා තමයි. ඒත් 19 වැනි සියවසෙන් පසු නූතන නවකතාව වැන්නක් ආවාම එහි රසයත් සමඟ උත්සාහ කරනවා මිනිස් පැවැත්ම සමීපව අත්විඳීන්න, කොහොමද එය හැසිරෙන්නේ කියන දේ පෙන්වන කවුළුවක් ලෙස ලිංගිකත්වය යොදාගන්න. එවිට එය රසවාදයෙන් බොහෝ වෙනස්ව ගිය ලිංගිකත්වයේ ගොඩනැඟීම සහ එහි සමාජ දේශපාලන සංස්කෘතික හැඟවුම් එක්ක සම්බන්ධ වුණු දෙයක්."

'විනිශ්චයන් සඳහා තවමත් ඉඩ දෙන මත් බවේ පමණ ඉක්මවා නොයන්නට තමාට සපථ කරගනිමින් ඈ අවසන් වොඩ්කා වීදුරුව හිස් කළා' (පිටුව 368) මේ අපේ පොදු තාරුණ්‍යයද යන්නට නවකතාකරුගේ අදහස වූයේ

"නිම්නාගේ සමාජ තලය ඉංග්‍රීසි කතාකරන, ක්ලබ් යන නිසාම ඉහළ පැළැන්තියට වැටෙන්නෙ නැහැ. පෞද්ගලික අංශයේ සාමාන්‍ය වැටුප් ලබන නව නාගරික පන්තිය විනෝදාස්වාදය ලබන, හිතන පතන ආකාරයේ යම් වෙනස්කම් තිබෙනවා. ඔවුන්ගේ පවුල් පසුබිම පහළ මධ්‍යමපාන්තිකයි. ඒත් මේ අය සතියේ වෙහෙසකරබව නිවා ගන්න සිකුරාදා ක්ලබ් යා යුතුමයි, බීලා නැටිය යුතුමයි, නැත්නම් ඔවුන්ට ඊළඟ සතිය අරඹන්න. නිම්නාගේ වයසේ අයගෙන් පොතට ලැබෙන ප්‍රතිචාර ගත්තොත් මෙය සාමාන්‍යයි. ඒ අය හැමෝම මත්පැන් සිගරට් නොගන්නවා වෙන්න පුළුවන්. ඒත් තරුණ පරපුර ඔය අවකාශයට නම් යන්නේ ඔවුන්ට අනාගතයේ යන්න වෙන තැන ඔතන තමයි. එහි සාදාචාරය පිළිබඳ කාරණය රමණිගේ (නිම්නාගේ මවගේ) රාමුව සමඟ සමපාත වන්නේ නෑ."

කෙසේ වෙතත් ඔහු 'කුලුනක් නැතිව නගරයකට පවතින්න බැහැ' යන නිම්නාගේ පියාගේ ප්‍රකාශයේ සිට කතාවේ අවසානය දක්වා සිහිනයෙන් මෙන්ම හැබැහින් පවසන කුලුනක් තිබේ. රමණි සිල් ගන්නා සේම නිම්නාගේ මිතුරිය පවසන්නේ නිර්වාණය මේ භවයේදීම අවබෝධ කරගන්නට හැකි බවයි.

"රමණිගේ වයසට පෙර නිම්නලා නිර්වාණය ගැන උනන්දු වෙනවා. එදිනෙදා ජීවිතය ඉක්මවා යෑමේ අපේක්ෂාව ඔවුන් ඉක්මනින් ඇති කරගන්නවා. ජීවිතේ එක මානයක් වන්නේ නිර්වාණය හෝ ස්වර්ගය‌."

නිම්නාගේ උපතින් අරඹන කතාව නිම්නාගේ උපන්දිනයකින්ම නිම කරන්නේ මෙහි දිගුවක් පිළිබඳ අදහසකින් යැයි වරෙක සිතේ. "මෙහි දෙවැනි කොටසකට යන්න අදහසක් නැත්තේ පොත එක තැනකින් ඉවර වුණත් ජීවිතේ ඉවර වෙන්නේ නෑ. හැබැයි මෙහි සම්බන්ධයක් ඇතිව වෙන කතාවක් එන්න පුළුවන්."