රයිඩර් හැගාර්ඩ්ගේ සිංහල ලකුණ

අප්‍රේල් 22, 2021
එස්.චන්ද්‍රසිරි දසනායක

 

"මෙන්න අපට පුදුමාකාර දරුවෙක් ඉන්නවා. ඔහුගේ හිස කෙස් ස්වර්ණමය වූ කහ පැහැයෙන් යුතුයි. ඇස් තාරකා මෙන් දීප්තිමත්" මේ නිසාම තෝර්ග්‍රිමර් ඔහු එරික් බ්‍රයිට්අයිස් ලෙස නම් කෙළේය.

එස්.චන්ද්‍රසිරි දසනායක සිය පරිවර්තන ජීවිතයේ විසිවසරක් සපුරන විට එළි දක්වා ඇති ඔහුගේ තිස් වැනි කෘතිය වන එරික් බ්‍රයිට්අයිස් ග්‍රන්ථයේ අලුත උපන් එරික් බ්‍රයිට්අයිස් බිළිඳාට නම් තබන මොහොත දැක්වෙන්නේ එසේය. දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශිත මේ කෘතිය එච්. රයිඩර් හැගාර්ඩ් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ අයිස්ලන්ත වීර කාව්‍ය ගණයට අයත් නිර්මාණවලින් එකකි. සාගා ලෙස ඉංග්‍රීසියෙන් හැඳීන්වෙන මේ නිර්මාණ සත්‍යය හා මිථ්‍යාව මුසුවෙන් ගොඩ නැඟී ඇති බව පොතේද සඳහන් වේ.

 

අප චන්ද්‍රසිරි දසනායක පරිවර්තකයා පිළිබඳ සොයා බැලුවහොත් ඔහු පරිවර්තන කලාවට පිවිසෙන්නේ සිනමාවේදී ජෝර්ජ් ලූකාස් විසින් රචනා කරන ලද 'ස්ටාර් වෝර්ස්' කෘතිය 'තරු සංග්‍රාම' නමින් 2001 වසරේදී පරිවර්තනය කරමිනි. සර් ඇන්තනි හෝප් හොප්කින්ස්, හෝරස් වෝල්පෝල්, ඩැෆ්නි ඩූ මෝරියර්, එමියුස්කා ඔර්සි, බ්‍රයන් ෆොක්ස් වැනි ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කළ ඔහු පළමු වතාවට ශ්‍රීමත් හෙන්රි රයිඩර් හැගාර්ඩ්ගේ කෘතියකට අතගසන්නේ ප්‍රඥාවේ දියණිය, අයේෂා පරිවර්තනය කරමිනි. ඉන් පසු ඔහු කළ සියලු පරිවර්තන පාහේ රයිඩර් හැගාර්ඩ් විසින් රචිත ඒවා වීම විශේෂත්වයකි. පෙර වදනේ සඳහන් වන ආකාරයට චන්ද්‍රසිරි දසනායක මහතා හට පරිවර්තනය සඳහා හැගාර්ඩ්ගේ පොත් බොහෝ විට ලබා දී ඇත්තේ මිතුරකු වන ඩබ්ලියු. කේ. ගුණදාස මහතාය. ඒ උනන්දු කරවීම ඔස්සේ ඇලන් ක්වාටමේන්, අයේෂා, බෙල්ශෙෂාර්, ක්ලියෝපැට්‍රා වැනි චරිත පිළිබඳ අප මනසේ රැඳුණු මතක සටහන් අතරට එරික් බ්‍රයිට් අයිස් ද එක් කිරීමට පරිවර්තකයා උත්සාහ ගෙන තිබේ.

 

එරික් බ්‍රයිට් අයිස් අයත් වන්නේ වික්ටෝරියානු සාහිත්‍ය යුගය නිමාවෙමින් යන කාලපරිච්ඡේදයට වන අතර ඔහුගේ කෘති අයත් වන්නේ ජන කතා ඇසුරින් ගොඩ නැඟුණු විචිත්‍ර අද්භූත රීතිය රැගත් කතා ප්‍රවර්ගයට යැයි කීවොත් නිවැරැදිය. මෙහි බොහෝ විට අනාගතය දැකිය හැකි පුද්ගලයන්, මායාවන් පිළිබඳ දැනුමක් ඇත්තන් සේම සාමාන්‍ය මිනිස් ශක්තිය අබිබවා යන කාය ශක්තියෙන් යුතු වීරයන් මෙන්ම දුෂ්ටයන් ද වේ. වීරයා නිරන්තර ආදරය කරන රූපයෙන් අගතැන්පත් පෙම්වතියට ඊර්ෂ්‍යා කරමින් වීරයා හිමි කරගැනීමට කැස කන තවත් රූපත් තරුණියක්ද වෙයි. මෙහි අහිංසකාවිය සුසුදු මලක් බඳු ගුඩ්රුඩාය. එරික්ගේත් ගුඩ්රුඩාගේත් අවංක ආදරයට ඊර්ෂ්‍යා කරන්නේ ගුඩ්රුඩාට පමණක් දෙවැනි රූපත් බවක් හිමි වුවත් අඳුරු පැහැති සමක් ඇති ස්වෝන්හිල්ඩ්ය. ඉංග්‍රීසි ජාතිකයකු වූ හැගාර්ඩ් වැනි බොහෝ නවකතාකරුවන් වර්ණභේදවාදයට අචේතනිකව සහාය දෙන ආකාරයක් ලෙස ඉංග්‍රීසි සාහිත්‍ය විචාරයේදී මේ සුදු පැහැ සම ඇත්තවුන් යහපත්, අවංක හා වීර ගතිගුණවලින් අනූන වීම සහ අඳුරු පැහැය ඇත්තවුන් දුෂ්ඨ කුහක අයහපත් ගති ඇති මායාකාරයන් වීම දක්වයි. මුල් කාලයේ නිර්මාණ කීපයක් අසාර්ථක වුවත් එච්. රයිඩර් හැගාර්ඩ්ගේ විශිෂ්ට ලේඛන හැකියාව නිසාම ඔහුගේ 'කිං සොලමන්ස් මයින්ස්' (ම්ඪදඨ ඉධතධථධද'ඵ ර්ඪදඥඵ) කෘතිය ඇතැම් විට සැලකෙන්නේ අහිමි වූ ලෝකය පිළිබඳ ලියැවුණු ප්‍රවර්ගයේ පළමු නවකතාව ලෙසයි. එය සුප්‍රකට ඇමෙරිකානු ලේඛකයන් වන එඩ්ගා රයිස්බරෝස්, රොබර්ට් ඊ. හොවාර්ඩ්, ටෝබට් මුන්ඩි, ෆිලිප් ජෝස් ෆාර්මර් වැනි ගත්කතුවරුන්ගේ නිර්මාණවලට බල පෑ බවද කියැවේ. ඉන්පසු ඔහු ලියූ 'ෂී' (ඉඩඥ) නවකතාව පරිකල්පනීය සාහිත්‍යයට අයත් විශිෂ්ට කලාත්මක කෘති කිහිපයෙන් එකක් ලෙස සැලකෙන අතර මෙතෙක් ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය ලෙස වාර්තාවක් තබන්නේ 1965 වන විට පිටපත් දසලක්ෂ 83ක් අලෙවි වෙමිනි. ඔහු‌ගේ ඇලන් ක්වාටර්මේන් සහ අයේෂා ද ඉතා ජනප්‍රිය කෘති විය. හැගාර්ඩ්‌ගේ බොහෝ කෘතිවලට පාදක වන්නේ යටත් විජිතවාදය වුවත් ස්වදේශික වීරයන් ද ඒවායේ ඇතුළත් කිරීමට ඔහු පැකිළුණේ නැත. අප්‍රිකානු රටවල විචිත්‍රවත් පසුබිම් ඔහුගේ කතාවලට පාදක වන්නට හේතුව ඔහු කාලයක් එහි ජිවත් වීමයි. දරුවන් දස දෙනකුගෙන් යුත් පවුලක අටවැන්නා ලෙස උපන් ඔහුට මේ ලේඛන හැකියාව ලැබෙන්නට ඇත්තේ මවු උරුමයෙනි. කවිකාරියක මෙන්ම ගත් කතුවරියක වූ එලා ඩව්ටන් ඔහුගේ මවයි. ශ්‍රීමත් විලියම් රයිඩර් හැගාර්ඩ් බැරිස්ටර්වරයා ඔහුගේ පියාය. අනෙක් දරුවන් මෙන් විභාග සමත් නොවූ රයිඩර් සාහිත්‍යයට සමත් වුවත් අවසානයේ ඔහු දකුණු අප්‍රිකාවේ නටාල් යටත් විජිතයේ උප ආණ්ඩුකාරවරයා යටතේ වැටුප් රහිත සේවයට යැවීය. ඒ 1875 වසරේදීය. එහෙත් එය ඔහුට සිය සාහිත්‍යකරණයේ යෙදීමට සැඟවුණු ආශීර්වාදයක් මෙන් විය. පසු කාලීනව හැගාර්ඩ් නීතිය හැදෑරුවා පමණක් නොව කෘෂිකාර්මික සහ සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ බොහෝ සෙයින් ලිවීය. එය 1909 සංවර්ධන පනත් කෙටුම්පතට මඟ පෑදීය. අප්‍රිකානු දේශපාලනය ද ඔහුගේ සිත් ගත් මාතෘකාවක් විය. ඔහුගේ ජීවිතයේ පෙම් හබ ඇතුළු සැඟවුණු තොරතුරු රැසක් හෙළි වූයේ 1981 වසරේ සිඩ්නි හිගින්ස් විසින් පළ කළ චරිතාපදානයෙන් පසුවය. බොල්ෂෙවික්වාදයට බෙහෙවින් විරුද්ධ වූ හැගාර්ඩ්, රුඩ්යාඩ් කිප්ලිංගේ ප්‍රාණ සම මිතුරකු බවද නොරහසකි. හැගාර්ඩ් ළමා සාහිත්‍යයට මහඟු මෙහෙවරක් කෙරූවෙකි. ඔහුගේ මේ කෘති බොහෝ විට ළමා සාහිත්‍යය සඳහා නිර්මාණය වූවත් ඒවා වැඩිහිටියන් අතරද බෙහෙවින් ජනප්‍රිය වීම වාර්තාගත අලෙවියක් සිදු වීමට හේතු වූ බව විචාරක මතයයි.

හැගාර්ඩ්ගේ කෘති ගණනාවක් සිනමාවට නැඟීමද විශේෂත්වයකි. ඒ අතරින් කිං සොලමන්ස් මයින්ස් කෘතිය සය වතාවකට වඩා සිනමාවට නැඟී ඇත. එය මුල් වරට චිත්‍රපටයකට නැඟුවේ රොබර්ට් ස්ටීවන්සන් අධ්‍යක්ෂවරයා විසින් 1937 වසරේදීය. එවක් පටන් 2004 වනතුරුත් එය විවිධ මාධ්‍යයන්ගෙන් රූපයට නැඟිණ. ඔහුගේ ඇලන් ක්වාටර්මේන් සහ ටෙම්පල් ඔෆ් ස්කල්ස් ද දෘශ්‍ය මාධ්‍යයට නැඟුණේ මාර්ක් ඇට්කින්ස් විසිනි. එය ඉන්ඩියානා ජෝන්ස් කෘතියට බොහෝ සමානකම් දැක්වීය.

හැගාර්ඩ්ගේ ෂී කෘතියද දස වතාවකට අධික වාර ගණනක් විවිධ ආකාරයෙන් විවිධ භාෂාවලින් විවිධ රටවල සිනමාවට නැඟුණු අතර එය චිත්‍රපටයකට නැඟුණු මුල්ම කෘති අතරින් එකකි. ඒ අතරින් 1925 දී බිටී බ්ලයිත් රංගනයෙන් දායක වූ ෂී හි නිහඬ සිනමා කෘතියේ නිෂ්පාදනයට හැගාර්ඩ් ද දායක විය. එහෙත් ඒ ඔහු ජීවත් වූ අවසාන වසරය. 1856 උපන් ඔහු ජීවත් වීමට වරම් ලැබුවේ 68 වසරක් පමණි.

එවන් වූ රයිඩර් හැගාර්ඩ්ගේ කෘති 20ක් පමණ පරිවර්තනය කර ඇති නිසාම එස්. චන්ද්‍රසිරි දසනායකගේ වෙබ් අඩවියේ සඳහන් පාඨය වන්නේ එච්. රයිඩර් හැගාර්ඩ් පරිවර්තනයන්හි සිංහල සලකුණ ලෙසය.

එරික් බ්‍රයිට් අයිස් ද යෞවනයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වන ආකාරයේ ආදර කතාවක් රැගත් වීරත්වය ඉස්මතු වන අර්ධ ප්‍රබන්ධයකි. එහෙත් බොහෝ වීර කාව්‍යයන් සේම මෙයද දෛවයට ඉඩ දෙන්නකි. අනාගතය දුටු පමණින් එය වෙනස් කරන්නට මිනිසාට නොහැකිය. ගුඩ්රුඩා සහ ස්වෝන්හිල්ඩ් අතරින් කවරෙකු එරික් බ්‍රයිට් අයිස් අයිති කර ගනීද යන්න තරගකාරී අයුරින් විවිධ නාටකීය අවස්ථා ඔස්සේ කූටප්‍රාප්තියට ගෙන ඒමට හැගාර්ඩ් සමත් වී තිබේ. ඒ අත්දැකීම සිංහල පාඨකයන් අතට පත් කරමින් රස විඳීමට අවස්ථාව සැලසීම බොහෝ වටිනා කාර්යයක් බව පිළිගත යුතුය. එහෙත් මෙහිදී පරිවර්තකයා භාෂා භාවිතයේ දක්වා ඇති උනන්දුව පිළිබඳ ඇත්තේ සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. විශේෂයෙන් වර්තමානයේ සිංහල භාෂාවේ රීතීන් බෙහෙවින් මඟහැරී ඇති තරුණ පරපුර අතට පත් වන කෘතියකදී ලේඛකයන්ගේ වගකීම වන්නේ නිවැරැදි අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ සහිතව සිය කෘති ඉදිරිපත් කරමින් ඒවාට පාඨකයන් හුරු කරවීම බව අපගේ විශ්වාසයයි. හේතුව භාෂාවක රීති හැදෑරීමට හොඳම මඟ කියවීම නිසාය. සරල උදාහරණයක් ලෙස එරික් වයිට්ෆයර් අසිපත දිනාගත් සැටි කියැවෙන පරිච්ඡේදයේ (80 පිටුව) "මේ වන විට නිදාගෙන සිටි මිනිසුන් අවදිව මාංශ භෝජනයට අසුන් ගෙන සිටියහ." වැනි ව්‍යාකරණ දෝෂ සහිත වාක්‍ය මේ පොතේ බහුලය. එසේම ඇතැම් කොටස් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් යොදාගෙන වචනයෙන් වචනයට පරිවර්තනය කළාදැයි සිතෙන තරමට මුල් කෘතියේ ඒ කොටස්වල අදහස තේරුම් ගෙන එය පැහැදිලි වන අයුරින් වාක්‍ය සැකසීමට උනන්දු නොවූ අවස්ථා දක්නට ලැබිණ. එය රසවින්දනයට බාධාවකි. අප මෙසේ අඩු පාඩු පෙන්වා දෙන්නේ කිසි විටෙකත් කෘතිය හෙළා දැකීමට හෝ පරිවර්තකයා පිළිබඳ නොපහන් සිතිවිල්ලකින් නොව මීළඟ මුද්‍රණයකදී අඩුපාඩු සකස් කිරීමට පරිවර්තකයා, ප්‍රකාශකයා මෙන්ම සෝදුපත් පරීක්ෂා කරන්නාගේ උනන්දුව වැඩි කර වඩාත් නිවැරැදිව රස විඳීය හැකි කෘතියක් පරිවර්තන සාහිත්‍යයට දායාද කරගැනීමේ බලාපොරොත්තුවෙන් බව මෙහිදී සටහන් කළ යුතුමය. එසේම එය සරසවිය වැනි ජාතික කලා පුවත්පතකින් ඉටු විය යුතු යුතුකමක් සේ සලකන බවද මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ කෙසේ වෙතත් දශක දෙකක් පුරා එස්. චන්ද්‍රසිරි දසනායක මෙරට පරිවර්තන සාහිත්‍යය වෙනුවෙන් කළ දායකත්වය අගයන අතර එරික් බ්‍රයිට්අයිස් වීර රසයත් දෛවයෝගයත් මැනවින් දනවන්නක් බව නොකියා බැරිය.