මෝඩකමින් ඔබ හිනැස්සූ සිංහල ටාසන් රිචඩ් ඇල්බට්

(1921 - 1972)
අප්‍රේල් 22, 2021

 

කොළ කඩ කඩ බොරුවට දෙනවා.... හෝ

ඕ මම ගහ හොඳ හැටි අඳුනනව

අපිට බොරු චාටු එපා පිරිමින්ගේ

 

හෝ.... එක මකුණයි ළමයෝ කන්නේ

හෝ ඇයි ඔක්කොම මකුණො මරන්නේ

මොකද අඩු පාඩු මගේ සුදු කෙල්ලේ

හෝ... මම ඕන වැඩක් කර දෙන්නම් හෝ

හෝ... අලි ඇත්තු උණත් පෙරදන්නම්

ඔබට ආඩම්බරනේ කළු මැණිකේ

 

මට බැරිය මිරිස් අඹරන්ඩා

උදව් වෙනවාද අනේ බැහැ නොකියා

 

හෝ... පොල් කඩලා ගාලා දෙන්නම්

ඕ රෙදි සෝදා වේලා දෙන්නම්

මොකද ආදරෙද පණේ දන් හරිනේ

 

1958 වසරේ තිරගත වූ “ වන මෝහිනි” චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් හා රෝහිණී ජයකොඩි මේ ගීතය ගයමින් රඟ පෑ හැටි එදා පේ‍්‍රක්ෂකයින්ට මෙන්ම අද සංගීත තැටි ඇසුරෙන් දුටු අයට නම් සිනහ රසය, හාස්‍ය රසය, උපහාස රසය නම් නොඅඩුව දැක ගන්නට ලැබී ඇත. එදා ඒ ජනපි‍්‍රය පසුබිම් යුග ගීතය ගැයුවේ එච්.ආර්.ජෝතිපාල හා කේ. රාණිය. ගීතයේ රචනය කරුණාරත්න අබේසේකරයන්ය.

රිචඩ් ඇල්බට් නම් විකට නළුවා එදා පේ‍්‍රක්ෂකයා දැන සිටියේ “ ටාසන්” නමිනි. ඒ ඔහු 1953 වසරේ තිරගත වූ මුලින්ම රඟ පෑ “ ප්‍රේමතරගය” චිත්‍රපටයේ රඟ පෑ “ ටාසන්” චරිතය නිසාය. ඉන්පසු චිත්‍රපට කිහිපයක රඟපෑවත් ඔහු වඩාත් කැපී පෙනුණේ “ වන මෝහිණී” චිත්‍රපටයෙනි. ඔහු මේ චිත්‍රපටයේ රඟපෑවේ වසර දහ අටකට ඉහත කැලයක අතුරුදන් වූ කුඩා දරුවකු සොයා එම කාලය පීරා යන පිරිසක විනෝදකාමී තරුණයකු ලෙසය. මේ ගමනේදී තොරතුරු සොයන රහස් පරීක්ෂ ගමනක් යන ඔහුට ගමේ කටකාර, දඟකාර තරුණියක් මුණ ගැසෙයි. මේ තරුණියට පෙම් බඳින ඔහු ඇබැද්දි රැසකට මුහුණ දෙයි.

“ අම්මා උන්න කාලේ අපිට කියලා තිබුණා පිරිමි ගැන බොහොම අපූරුවට. “ කොටිය වළහට බැද්ද දීපිය - පිරිමි දැක්කම එළවා දාපිය කියලා” තරුණිය කීවාය.

“ එහෙනං ඔය ගොල්ලන්ගේ අම්මා පිරිමින්ට බයවෙලා ඇති. අපේ තාත්තා මට කියලා තියෙන්නෙ- “ යකෙක් ආවත් ගහල මරපිය - ගෑනු දැක්කම වැඳලා දුවපිය” කියලා. තරුණයා කීවේය.

කැලේට අඳින කාකි කොට කලිසම, බුෂ් ෂර්ට් එකක්, බූට් සපත්තුව හා තුවක්කුවක්, තොප්පියක් හැඳ ගම පුරා තොරතුරු සොයන මේ තරුණයා ලෙස රිචඩ් ඇල්බට්ට රඟපෑමට තිබුණේ විනෝදකාමී, සැහැල්ලු චරිතයකි.

කවුද මේ රිචඩ් ඇල්බට්?

1921 මැයි 16 වෙනිදා සබරගමු පළාතේ ගාල්ලේ දිස්ත්‍රික්කයේ ඕපාත, මොරවක කිට්ටුව ඉපදුණු රිචඩ් ඇල්බට් සහෝදරියන් දෙදෙනෙකුගේ හා සහෝදරයකුගේ පවුලක වැඩිමලා විය. ගමේ පාසලින් ඉංගී‍්‍රසි හා කනිෂ්ඨය දක්වා ඉගෙන ගත් ඔහු පාසලේ ගුරු ශිෂ්‍යයන් ඉදිරියේ සිනාව උපදවන ජවනිකා ඉදිරිපත් කරමින් විවිධ ප්‍රසංගවල කැපී පෙනී තිබුණි. පාසලේ ඔහු වඩා ප්‍රකට වූයේ “ අන්දරේ” නමිනි.

රිචඩ් ඇල්බට් මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ පී.එල්.ඒ. නන්දසේන නැෂනල් තියටස් හී ( පසුව ගාමිණී සිනමාහල) වේදිකා ගත වූ “ හඳපාන” නාට්‍යයේ විකට චරිතයකි. ගායකයකු වීමට සිහින මැවූ ඔහුට ඒ හැකියාව ලබා දුන්නෙන් සිරිල් පී. අබේරත්නය. ඒ 1946 සැප්තැම්බර් 26 වැනිදා ඔහුට කිසිදා අමතක නොවන බව ඔහු පවසා තිබුණි. ඔහු මුල්ම ග්‍රැමෆෝන් ගීතය කොලොම්බියා තැටියකට ගැයුවේ එවකට විකට නළුවකු හා ගායකයකු වූ ජෝසප් සෙනෙවිරත්න සමඟය. ඒ අතර “ සිංහල විවාහය” හා “ විකට ගැමියා” වේදිකා නාට්‍යවල ගී ගයමින් රඟපෑවේය. රිචඩ් ඇල්බට් චිත්‍රපට නළුවකු ලෙස පේ‍්‍රම තරගය චිත්‍රපටයෙන් හඳුන්වා දෙන්නේ චිත්‍රපට නළු, ගීත රචක මෙන්ම එම චිත්‍රපටයේ දෙබස් රචක හියුගෝ ප්‍රනාන්දු විසිනි. එහිදී හියුගෝ විසින් මවන ලද ඔහු රඟ පෑ “ ටාසන්” චරිතය කොතරම් ජනපි‍්‍රය වූයේ ද යත් එකී නාමය රිචඩ් උදෙසා මියයන තුරුම අන්වර්ථ නාමයක් විය.

මේ චිත්‍රපටයේ දීම ඔහු තවත් විකට නළුවෙකු වූ බර්නාඩ් පෙරේරාත්, ජෙමිණී කාන්නාත්, රංජනා ආරියවංශ ( වේදිකා හා ටෙලිනාට්‍ය නිළි සමදරා ආරියවංශගේ මව) සමඟ කළ විකට ජවනිකා එදා සිනමා ශාලාවල වහළ ගැළවී යන තරමට සිනාහඬ පැතිර ගිය බව වැඩිහිටියෝ පවසති. චිත්‍රපටයේ ඔහු හැඳින්වූයේ ටාසන් නමිනි. ටාසන් තම හිත මිතුරාගේ ( මාක් සමරනායකගේ මෝඩ උපදේශකයාය. ධනවතෙකු වූ මිතුරාගේ පියාට උපදෙස් දෙන්නේ ටාසන්ය.

“ නොම්මර එකේ, ෆස්ට් ක්ලාසස් බිස්නස් එකක් තියෙනවා මාස දෙකෙන් ලක්ෂපතියෙක් වෙන”

“ මොකක්ද? ඒ මුදලාලි අසයි.”

“ අපි කලබ් එකක් දාමු.”

“ මොකක්”

“ ඔව්, කලබ් එකක් එකේ ඩාන්ස්, කාඩ්, බිලියඩ්, බීම, තියෙනවා. ස්මාට් එකට ඕනෑ රු.5000යි.”

ටාසන් තම මිතුරාටත්, ඔහුගේ පියාටත් දෙන්නේ මෙවැනි මෝඩ උපදෙස්ය. ඔහු මට්ටු වන්නේ ගමේ තරුණියක වූ පොඩි හාමිට ( ජෙමිණි කාන්තා) පේ‍්‍රම කිරීමට ගොස්ය. පොඩි හාමිනේ පෙම් බැන්දේ අණ්ඩපාල ( බර්නාඩ් පෙරේරා) ටය. පොඩි හාමිත්, අණ්ඩපාලත්, ටසන්ව ගොනාට අන්දති. වරෙක පොඩිහාමි උතුරන වතුර වලින් ඔහු නාවන්නීය. පැණි වරකාවලට කෑදර ටාසන්ව අණ්ඩපාලත්, පොඩි හාමිත් කුස්සියේ උඩ ඇති අටුවට ඉණිමග යවා පසුව හිණි මඟ පහතට ගෙන ළිපේ ගිනි මොළවා එහි දුම් අටුවට යවයි. ටාසන් දුම්වලින් වැසී කැස්ස සෑදී ඉහෙන් කනින් දහඩිය දාගෙන මනා අකරතැබ්බකට මුහුණ දෙයි. පණහ දශකයේ සිංහල චිත්‍රපටවල විකට දර්ශනවල හැටි. එහෙත් රිචඩ් ඇල්බට් තමාටම ආවේණික ශෛලියකින් රඟපා තම ටාසන් ලකුණ සිනමාවේ සනිටුහන් කර ගත් අතර එදා සිටි විකට නළුවන් අතර ද කැපී පෙනෙන නළුවෙක් වූයේය.

රිචඩ් ඇල්බට් මුල්වරට සිනමා සඟරාවකින් හඳුන්වා දී ඇත්තේ “ චලන චිත්‍ර” සිනමා පත්‍රයේ කර්තෘ සෝමපාල රණවීර විසිනි. ඒ 1957 පෙබරවාරි 15 වැනි සිකුරාදා “ චලන චිත්‍ර” සඟරාවේ “ නළු නිළි තොරතුරු” විශේෂාංගයෙනි. සෝමපාලයන්, රිචඩ් ඇල්බට් සෙයා ගිය ගමනකින් මේ විශේෂාංගය ඇරඹෙයි.

“ එදා මා ටාසන් සොයා ගිය ගමන් මඟද - ඔබට රසවත් හිනාවක් ගෙන දෙන්නක් විය හැකිය. පාන්දර වරුවේ කොටුවෙන් නැග ගත් පුංචි කෝච්චිය මා රැගෙන - අතන මෙතන නරත වෙවී “ කම්මැළි කෙල්ලෙක්” මෙන් ගිය හැටි මතක් වෙන විට මට නැඟුණ සිනා රැළි පපුවෙන් ඉවතට දැම්මේ රේල් පෙට්ටියෙන් එළියට ඔළුව දමමිනි. පුවක්පිටිය හරියේදී බසයකට බයෙන් මේ පුංචි කෝචිචිය නතර කළ හැටි මතක් වනවිට දැනුත් මට සිනා යනවා. කෙසේ හෝ පැය පහක් ගෙවා පුං

චි කෝච්චියේ පෙට්ටියක් අස්සේ පරකඩුවෙන් බැස පුස්සැල්ලේ ග්‍රාම සංවර්ධන පුහුණු වීමේ මධ්‍යස්ථානයට ගියේ අපේ මෝඩ සිංහල ටාසන් සෙවීමට ය.

වාසනාවකට මෙන් විශාල රථයකට ගොඩ නැගී මහා බල පරාක්‍රමයක් දක්වන්නට මෙන් රථයට සැර දමන්නට සැරසෙන විට ඔහු මම ඈත තියාම දුටුවෙමි. ටාසන් දුටු හැටියේම ඇත්තෙන්ම දැක්වූ සිනාවත්, මිත්‍ර භාවයත් මගේ ජීවිත පොතේ මතක සටහන් තුළින් කවදාවත් ඉවත් නොවන බව කිව හැකිය.

“මගේ ආ ගමන ගැන සඳහන් කළ ඔහු මින් පසු පුංචි කෝච්චියේ නොඑන ලෙස මට අවවාද කළේය.”

රිචඩ් ඇල්බට් විසින් කළ මෝඩකම්, පේ‍්‍රමතරගය චිත්‍රපටයෙන් පසු දකින්ට ලැබුණේ 1953 වසරේම තිරගත වූ ඒ.එස්. නාගරාජන් මෙහෙය වූ පුදුම ලේළි චිත්‍රපටයේ ගන්පවුඩර් නම් විකට චරිතය රඟපෑවේ ද මාක් සමරනායකගේ මිතුරා ලෙසය. 1955 ටී. සෝමසේකරන්ගේ සැඩ සුළං චිත්‍රපටයේ ඔහු රොඩ්ඩා ලෙස සුනිල් පේ‍්‍රමදාස සමඟ රඟපෑවේය. සෝමසේකරන් 1957 අධ්‍යක්ෂණය කළ “ සරදම්” චිත්‍රපටයේ ද සුනිල් පේ‍්‍රමදාස සහ ශාන්ති ලියනගේ සමඟ ඉල ඇදෙන සිනා රසය මතු කළහ. පුරුෂරත්නය (1959) චිත්‍රපටයේ විකට නළු එඩී යාපාගේ දුක්ගන්නා රාළ චරිතය රඟපෑවේය. ඔහු රඟපෑ අනික් චිත්‍රපට වූයේ “ නළඟන” (1960) , “ සුහද දිවි පිදුම” ( 1962), “සුදු සඳේ කළු වළා” ((1963) , “ සමාජේ අපි ඔක්කොම එක සමානයි” “ සසරක හැටි” ( 1964), “ සුදෝ සුදු” , “ අල්ලපු ගෙදර” (1965), “ සැඟවෙන සෙවණැල්ල” , “ මනදන මුත්තා” , “ සිහින හතක්” , “ කිංකිණි පාද” , “ ඔබ දුටුදා” ( 1966) , “ අමතක වුණාද?”, “ රන්රස” , “ හිත ගිය තැන”, “ සුර චෞරයා” ( 1967), “ ලන්ඩන් හාමු”, “ අක්ක නගෝ”, “ බයිසිකල් හොරා” , “ අටවෙනි පුදුමය” ( 1968) , “ පික් පොකට්” , පැංචා ( 1969)

ලංකාවේ චිත්‍රපට නළු නිළියන් තමා රඟ පෑ චිත්‍රපට නැරඹුවත් රිචඩ් ඇල්බට් තම රඟ පෑ චිත්‍රපට මිස වෙන කිසිම චිත්‍රපටයක් නරඹා නැති බව කීවොත් එය ඔබ පිළිගන්නවාද? මේ ගැන “ චලන චිත්‍ර” කර්තෘ සෝමපාල රණවීර 1957 දී ඇසූ ප්‍රශ්නයට ඔහු පවසා ඇත්තේ මේ පිළිතුරය.

“ වෙනත් චිත්‍රපටවල රඟපාන නළු නිළියන් චරිත නිරූපණය කරන හැටි දැක්කාම ඒ වගේ රඟපෑමට ඉබේම පුරුදු වෙනවා. අනිත් අතට ඒක ලැජ්ජා නැති කොපි කිරීමක්. තමාගේ හැකියාව තමන් තුළින්ම ඉපදිය යුතුයි.

බතික් වර්ගයේ කමිසයකින් නිතර හැඳ සිනමා රංගනයේ යෙදුණ රිචඩ් ඇල්බට් මෝඩකමින් ඔබ හිනැස්සු ටාසන් චරිතය අමරණීය කළේය.

බැතිමත් කතෝලිකයකු වූ ගුණවත් වහා හදවත උණුවන, ආදරය, කරුණාව, පේ‍්‍රමය උරුම කරගත් මානව හිතවාදී කලාකරුවා 1972 මැයි 06 වෙනිදා දෙව් මව් තුරුලට ගියේය.

 

ඡායාරූප පිටපත් - ලාල් සෙනරත්