මෙරට සංගීතයේ නොවැයුණු, නොවැනුණු ස්වර්ණ ගීතය

“රුක්මණී”
අප්‍රේල් 15, 2021

 

 

පසුගිය ශතවර්ෂයේ මෙරට බිහිවුණු අනභිභවනීය සහ පරිසමාප්ත කලාශිල්පිනිය රුක්මණී දේවී යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. රුක්මණී දේවී මියගොස් දශක සතරකට ආසන්න කාලයක් ඉක්ම ගිය ද, ඇය කලාව වෙනුවෙන් ශේෂ කළ දෑ අතිමහත් ය. නිළියක සහ ගායිකාවක ලෙස රුක්මණී පසුගිය ශතවර්ෂයේ දෙවැනි සහ තෙවැනි කාර්තු තුළ මෙරට විවධ ශ්‍රාවක සහ ප්‍රේක්ෂක පර්ෂදයන් සන්තර්පණය කිරීමට ගත් උත්සාහය ප්‍රශංසනීය බව අප පිළිගත යුත්තේ තත්කාලීන සමාජය තුළ ද, ඇය විසින් විෂද කරන ලද එකී ප්‍රතිභාව පිළිබඳව නිරතුරුව කතිකාවත් දිග හැරෙන බැවිනි. මෙකී කතිකාවත් තුළ මූලිකවශයෙන් සාකච්ඡා කෙරෙනුයේ රුක්මණී මෙරට කතානාද සිනමාවේ පළමු නිළිය ලෙස යි. එසේම එවකට පැවැති සමාජ - සංස්කෘතික රාමු බිඳලමින් චිත්‍රපට නිළියක ලෙස කරලියට පැමිණීමේදී ඇය විසින් දක්වන ලද පුරෝගාමී මෙහෙවරයි.

මුල් යුගයේ සිනමාවෙහි පැවැති අනුකාරක ඉන්දීය අනුභූතීන් හේතුවෙන්, “ස්වාභාවිකත්වයෙන් දුරස්ථ වූ දීර්ඝ දෙබස් උච්චාරණය, සමාජ- සංස්කෘතික රාමුවක කොටු වී තිබුණු එක්කකාරී රංගන න්‍යායක් තුළ යථාර්ථවාදී රංගනයක් ඉදිරිපත් කිරීමට ඉඩ හසර නොලැබීම” මෙම අතිදක්ෂ කලාකාරිනිය තුළ පැවැති නිසර්ග කුසලතාවයන් එක්තරා අන්දමකට යටපත් වීමට හේතු වූ බව බොහෝ සිනමා විචාරයන්හි රුක්මණී දේවී විෂයයෙහි අපට අසන්නට, කියවන්නට ලැබේ. නමුත් මේ කරුණු සියයට සියයක් නිරවද්‍ය යයි පැවසීම සඳහා අපහට වත්මනෙහි ශේෂ වී ඇත්තේ ඉතා අල්ප වූ දෘශ්‍ය සාක්ෂ්‍යයන් ය. රුක්මණී ප්‍රධාන නිළිය ලෙස රංගනයෙහි යෙදුණු, වැරදුණු කුරුමානම (1948), පෙරලෙන ඉරණම (1949) හදිසි විනිශ්චය (1950), ඇය ද්විත්ව චරිත නිරූපණය කළ උමතු විශ්වාසය (1952), ඇය ජනප්‍රියත්වයෙහි හිණි පෙත්තෙහි තැබූ කැලෑහඳ (1953), අයිරාංගනී (1954), ඇයගේ නැටුම් ජවනිකා ඇතුළත් වූ බව දැක්වෙන පෙරකදෝරු බෑණා (1955), මතභේදය (1955) සහ දොස්තර (1956) යන සිනමාපට කිසිවකගේ පිටපත් අද සොයාගැනීමට නොහැකි ය. ඇයගේ රංගන ප්‍රතිභාවන්හි ක්‍රමික විකාශනය පිළිබඳව විවරණය කිරීමට හෝ හැදෑරීමට ඇති එකම මූලික මාර්ගයක් එනිසා සම්පූර්ණයෙන් වැසි ගොස් හමාර ය.

එබැවින්, එකී සිනමාපටවල ඇයගේ රංගනයන් හි හොඳ හෝ නරක ගැන දැනගැනීමට ඇති එකම මාර්ගය තත්කාලීන සිනමා විචාර, ලිපි සඟරා හෝ අනෙකුත් මුද්‍රිත මූලාශ්‍රයන් පමණකි. වර්ෂ 1956 න් පසු සිනමාවට නැඟුණු සිරියලතා (1957), දෛවයෝගය (1959), නළඟන (1960), කවට අන්දරේ (1961), දස්කොන් (1962),සම්පත (1966), පිපෙන කුමුදු (1967), ඉහත ආත්මය (1972), අහසින් පොළොවට (1978) ආදී දැනට ඉතිරිව පවතින සිනමාපටවල රුක්මණී ගේ දායකත්වය ඇය නිළියක ලෙස මුල්යුගයේ දැක්වූ, අප නුදුටු ප්‍රතිභාවට අනුරුප හෝ සමපාත කොට විවරණය කිරීමක් බොහෝ තැනක දකිනු ලැබෙයි. එබැවින් රුක්මණී නිළියක ලෙස දක්වන ලද ප්‍රතිභාවේ ක්‍රමික විකාශනය සාකච්ඡා කිරීමේදී අපහට ඉතාවිශාල සිනමා අවකාශයක් මඟහැර කතා කිරීමට සිදුවීම එක්තරා අතකින් ඇයට කරන අසාධාරණයකි. එබැවින් “කලාකාරිනියක” ලෙස ඇය දැක්වූ ප්‍රතිභාව විස්තර කිරීම සඳහා “රුක්මණී දේවී නම් වූ නිළියට” වඩා “රුක්මණී දේවී නම් වූ ප්‍රශස්ථ ගායිකාව” ලෙස මෙම ලිපියෙන් ඇය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරන්නෙමි.

ගායිකාවක ලෙස සැලකූ කල රුක්මණී දේවී මෙරට ගීත ඉතිහාසය තුළ බිහිවූ අද්විතීයම ගායිකාවයි. මා එසේ පවසන්නේ රුක්මණී දේවිය තරම් විවධ සංගීත අනුභූතීන් තුළ ස්වකීය ස්වරය ගතිකව වෙනස් කළ, ස්වකීය ගායන විලාසය සහ ශෛලීය එකී ප්‍රභේදයන්ට අනුරූපව වෙනස් කළ ගායිකාවක මෙතෙක් බිහිවී නැති බැවින් පමණක්ම නොවේ, ඈත ගම්- දනවූවල සිට කොළඹ උසස් නාගරික ප්‍රභූ පැලැන්තිය දක්වා සියලුම සමාජ තරාතිරම් ශ්‍රාවක පර්ෂදයන් එක ලෙස වසඟ කරගැනීමට සමත්වූ “යුගයේ ගායිකාව“ ඇය ම වූ නිසාවෙනි. සිංහල නුර්ති යුගයේ පශ්චිම සමයේ එනම්, 1930 දශකයේ අග භාගයේ සිංහල වේදිකාවෙන් ස්වකීය රංගන ගායන දිවිය ආරම්භ කළ රුක්මණී, ග්‍රැමොෆෝන් ගායිකාවක ලෙස ද, අනතුරුව නුර්ති සම්ප්‍රදායයෙන් බැහැර නව නාටක ලක්ෂණයන් ප්‍රකට කළ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන නිළිය ලෙස ද, සිනමා නිළි -ගායිකාවක ලෙසද, ගුවන්විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක ලෙසද, කණ්ඩායම් සංගීතයේ සිට අවසානයේ ස්ටීරියෝ සංගීතය දක්වා පුරා සාළිස් වසරක් නොයෙක් සංගීතමය ශානරයන් හි ගායිකාවක ලෙස අනවරතව සිය ප්‍රතිභාව විදහාපෑවා ය. එබැවින්, ගායිකාවක ලෙස රුක්මණී පිළිබඳව කතාකිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඕනෑතරම් ඉතිරිව පවතී. ඔබ සැමගේ කියවීමේ පහසුව තකා ගායිකාවක ලෙස රුක්මණී සුවිශේෂී වන අන්දම උපමාතෘකා තුනක් යටතේ විදහා දක්වන්නට කැමැත්තෙමි.

(1) පූර්ව සිනමා යුගයේ ග්‍රැමොෆෝන් ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1938-1947)

(2) සිනමා නිළි ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1947-1978)

(3) සරල ගී ගායිකාවක, ගුවන්විදුලි ශිල්පිනියක සහ කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛ ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1950-1978)

 

පූර්ව සිනමා යුගයේ ග්‍රැමොෆෝන් ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1938-1947):

“ඩේසි රාසම්මා ඩැනියෙල්ස්” නම් වූ යන්තම් පසළොස් විය සපිරුණු නව යොවුන් වියේ පසු වුණු දැරිය එවකට “හිස් මාස්ටර්ස් වොයිස්” ග්‍රැමොෆෝන් තැටි සමාගමේ ගීත තැටිගත කිරීම් භාරව සිටි ගේබ්‍රියල් ගුණරත්න මහතා විසින් එම සමාගමේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂකව සිටි එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් වෙත හඳුන්වා දෙන්නේ 1938 වසරේ ඔක්තෝබර් මාසයේ එක්තරා දිනකදී ය. රුක්මණීගේ ගායනයේ දක්ෂතා දුටු රූපසිංහ මාස්ටර් “හිස් මාස්ටර්ස් වොයිස්” සමාගමේ ව් 9300 අංක ශ්‍රේණියෙන් ආරම්භ කළ පළමු ගීත තැටිය සඳහාම කුඩා රුක්මණී තෝරා ගන්නේ ය . “සිරි බුද්ධගයා විහාරේ“ නම් වූ ගීතය තැටියේ එක පසෙකත් “ශිල්ප සතර ලෝකේ” නම් වූ ගීතය තැටියේ අනෙක් පසත් අඩංගු වන්නේ ය. ගීත දෙකම රුක්මණී ගායනා කළේ රූපසිංහ මාස්ටර් සමගිනි. “සිරි බුද්ධගයා විහාරේ” සමගින් කුඩා ඩේසි , “රුක්මණී දේවී“ යනුවෙන් සංගීත ලොවේ ස්වකීය අනන්‍ය මුද්‍රාව සටහන් කළා ය. රූපසිංහ මාස්ටර් ගේ සංගීත කණ්ඩායමට නිත්‍ය ගායිකාවක ලෙස සම්බන්ධ වීමේ දී ඇය හමුවේ එවක පැවැති අභියෝග තුනකි. එනම්, ඇය නිසි පරිදි හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය හදාරා නොතිබීම ය, දෙවැන්න එවකට සුප්‍රසිද්ධ නිළි ගායිකාවන් වූ, ලක්ෂ්මි බායි, ඇනී බොතේජු සහ සුසිලා ජයසිංහ සහ ශාස්ත්‍රීය ගීත කෝකිලාවන් ලෙස විරුදාවලි ලබා සිටි රෙජිනා පෙරේරා සහ කෝකිල දේවී සමග උරෙ’නුර ගැටෙමින් ගායනා ඉදිරිපත් කිරීමට සිදු වීමය. තෙවැන්න වූයේ භාෂා අභියෝගයයි. ඈ සිංහල ලිවීමට හෝ කියවීමට නොදත් අතර ඈ ඒ සියල්ල ඉංගිරිසි බසින් ලියාගෙන ගැයීමට පුරුදුව සිටියා ය. එවකට ප්‍රාචීණ භාෂාවන්හි ප්‍රවීණයන් වූ, බෙලිඅත්තේ විජයසිරි, වින්සන්ට් සෝමපාල, මර්සිලිනු ඇල්බට්, සි.වීරසේකර ආදීන්ගේ තත්සම වචන වූ බහුල ගීත රචනා ඇයට ගායනා කිරීමට සිදුවිය. කුඩා ඩේසි මේ සියලු අභියෝග ජයගත්තා ය. රූපසිංහ මාස්ටර් කුඩා රුක්මණී ගේ ස්වර පරාසය නිවැරදිව හඳුනාගත් පළමු පුද්ගලයා විය.

ඉහළ ස්වරයන් මෙන්ම පහළ ස්වරයන් ද නිවැරදි ලෙස ගැයීමටත්, උච්ච ස්වරයන් හි ස්ථාවරව සිටීමේ හැකියාවත් රුක්මණී වෙතින් දුටු රූපසිංහ මාස්ටර්, හින්දුස්ථානි සංගීතයේ එන කාෆී, මිශ්‍ර කාෆි, බිලාවල්, ආශාවරී, බිහාග්, පීලු, මියා මල්හාර්, මල්කෞන්ස්, ආනඩා භෛරවී ආදී රාග ඇසුරින් නිර්මාණය වූ “වේ භවයේ අනිත්‍ය”, “පතිවෘතා රක්නා රාණි”, “රූපේ දිවිමකුළු දැලක් වේ”,“සාර ශාන්ති නිර්වාණේ”, “අන්ධ නොවූ නේත්‍රයටා“,”ශ්‍රී සර ශ්‍රී මුනි ශ්‍රී පාදේ”, “සාරා සිරිනි රම්‍යා”, ආදී කේවල ගායනා ද, “මුනි රාජා දියනා ස්වාමී”, “මාතා මාතා ගාමිණී මාතා”, “ශ්‍රී මහා බෝධි මුලේදී”, “මුනි ශ්‍රී දළදා”, “සිරිපාද කමල්” ආදී යුග කුඩා රුක්මණී වෙත ලබා දුන්නේ ය. එකී ගීත හරහා ලබා දුන් ස්වර ශික්ෂාවන් නිසා නොබෝ දිනකින් ඈ සරල ශාස්ත්‍රීය ගායිකාවක මෙන් ම හිස් මාස්ටර්ස් වොයිස් තැටි සමාගමේ ජනප්‍රිය ම තරුණ ගායිකාව ද වූවාය. මෙරට ජ්‍යෙෂ්ට සංගීතඥයෙක් වන ජයන්ත අරවින්ද මහතා රුක්මණී දේවිය, රූපසිංහ මාස්ටර් සමගින් ගැයූ ඇයගේ පළමු ග්‍රැමොෆෝන් තැටියට ඇතුළත් වූ “ශිල්ප සතර ලෝකේ” (තැටියේ අනෙක්පස “සිරි බුද්ධගයා විහාරේ” ගීතය යි) දක්වන්නේ මෙවැනි අදහසකි : “මෙම ගීතය හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයේ භාවිත වන ශුද්ධ, කෝමල, තීව්‍ර, මන්ද්‍ර, උච්ච යන සියලු ස්වර ප්‍රභේද සුසංගත කොට නිර්මාණය කළ තනුවක්.

සුවිශේෂී ශාස්ත්‍රීය සංගීත දැනුමකින් හෝ මනා ස්වර අභ්‍යාසයකින් තොරව ගායනා කිරීමට ඉතා අපහසු ගීතයක්. නමුත් වයස අවුරුදු පහළොවක පමණ දැරියකව සිටි රුක්මණී දේවිය, එකී ස්වර ගැයිය යුතු අතිශය නිවරද අයුරින් ම ගැයීම විස්මයජනක කටයුත්තක්. ඇයගේ නිසර්ග ප්‍රතිභාවත්,ම රූපසිංහ මාස්ටර් විසින් ලබා දුන් ශාස්ත්‍රාලීය සංගීත ඥානයත් දෙකම මේ සඳහා පාදක වන්නට ඇත.” ඉන්දියාවේ එවකට ජනප්‍රියම “භජන් ගීත කෝකිලාව” ලෙස විරුදාවලි ලබා සිටි “කුමාරි ජූතිකා රෝයි” ගැයූ හින්දි සහ වංග ශාස්ත්‍රීය ගීත බොහොමයකම තනු ඇසුරින් නිපැයුණු සිංහල ගී සියල්ලක්ම වාගේ එවකට ගායනා කළේ රුක්මණී දේවී විසිනි. වර්ෂ 1938-45 කාලය තුළ ඇය ගීත 44 ක් හිස් මාස්ටර්ස් වොයිස් තැටි සමාගම වෙනුවෙන් තැටිගත කළා ය. එසේම, හිස් මාස්ටර්ස් වොයිස් සමාගම මගින් වැඩිපුර ම තැටි අලෙවි වන ගායක ගායිකාවන් වෙත මාසිකව ලබාදෙන “කර්තෘභාග දීමනාව” (අර්‍ණකඒඹ්ඊක) ලෙස රුපියල් දෙසිය පණහක මාසික දීමනාවක් ද, තැටි විකිණීමෙන් ලැබෙන ආදායමට වලට අමතරව රුක්මණී ලබා ගැනීමට සමර්ථ වූයේ ඇයගේ ගීත වල පැවැති ජනප්‍රියත්වය නිසාම ය.

ආධුනික ගායිකාවක වුවද, අනෙකුත් සියලු ජ්‍යෙෂ්ට ගායිකාවන් පරදා ගැයූ ඇයගේ ගායනා සුගායනා ම විය. උච්චාරණය සූච්චාරණයක් ම විය. වර්ෂ 1940-41 වකවානුවේ දී තැටිගත කළ “ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියේ උපන්න” යන විරිඳු පන්තිය ද, “දැඩි කළ මාතා පෙම්බර මාතා“, “තේ පැන් දින දින වැඩි වැඩියේ“ යන ගීත දශක අටක් ගෙවී ගිය ද, අදටත් ජනප්‍රියත්වය එක ලෙස පවතින්නේ ඇයගේ මුල්ගයනාවන් හි තිබු සුවිශේෂී ජීව ගුණය නිසාම ය. වර්ෂ 1938-46 වකවානුව තුළ “හිස් මාස්ටර්ස් වොයිස්” තැටි සඳහා ඇය විසින් ගායනා කරන ලද ගීත බොහොමයක් දැනට කිසිඳු ශ්‍රව්‍ය මාධ්‍යයකින් වත්මනෙහි අසන්නට නොලැබේ. එම ගීත තැටි බොහොමයක් ම දැනට සංරක්ෂණය ව පවතින්නේ පෞද්ගලික ග්‍රැමොෆෝන් ගීත සංරක්ෂකයන් අතර පමණකි. එබැවින්, රුක්මණී දේවියගේ ගීත ගායනයෙහි විකාශනය සහ පරිණාමය ගවේෂණය කරන්නනන් ට ඇය ගේ මෙම මුල් යුගයේ ගායනා ඇසීමට සහ විශ්ලේෂණය කිරීමට මෙන්ම එම ගීත සංරක්ෂණයට සුදුසු ක්‍රමවේදයක්‌ නොතිබීම කණගාටුවට කාරණයකි.

සිනමා නිළි ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1947-1978)

රූපසිංහ මාස්ටර් විසින් සංගීත ගුරුහරුකම් ලබන අවදියේ පටන් ම, රුක්මණී වේදිකා නිළියක ලෙසද ජනප්‍රිය වූවාය. මෙරට නුර්ති නාටකයේ පශ්චිම අවදියේ වේදිකාවට අවතීර්ණ වූ රුක්මණී හට “ජානකිහරණය”, “රෝහිණි“ යන නුර්ති අනුභූතීන් ගත නාටක මෙන්ම “මායාවතී“ ආදී නුර්ති වලද රංගනයෙහි යෙදීමට අවකාශ ලැබුණි. පසුව වර්ෂ 1940 පටන් මීගමුවේ බී.ඒ. ඩබ්ලිව ජයමාන්න ගේ “මිනර්වා නාට්‍ය කණ්ඩායමේ” නිත්‍ය නිළියක වූ රුක්මණී එහි රඟදක්වන්නට යෙදුණු අවතාරය, කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමාණම, උමතු විශ්වාසය ආදී නාටක රාශියක නිළියක සහ ගායිකාවක ලෙස චිරප්‍රසිද්ධියට පත්ව සිටියාය.

ජයමාන්නගේ මුල් නාටක පිටපත්වල අඩංගු වූ ගීත බොහොමයක් ඔහු පසුකාලීනව චිත්‍රපටයට නගන විට භාවිත කළේ නැත. එසේම, එම ගීත ඔහු ග්‍රැමොෆෝන් ගීත තැටිවලට නැඟීමට පෙළඹුණේ ද නැත. එබැවින්, රුක්මණී විසින් මිනර්වා නාටක වෙනුවෙන් ගැයූ ගීත කිසිවක් අද දින අපට අසන්නට ඉතිරි වී නොමැත. කෙසේ වෙතත්, මෙරට සිනමා කර්මාන්තය බිහි වන විට ද, රුක්මණී දෙවි වේදිකා නිළියක සහ අතිශය ජනප්‍රිය ගායිකාවකව සිටි බැවින්, ප්‍රේක්ෂක ආකර්ෂණය ඇයට අමුතුවෙන් දිනා ගැනීමට අවශ්‍යතාවයක් මතු වු බවක් නොපෙනේ. “කඩවුණු පොරොන්දුවේ”(1947) පටන් ඇය අවසන් වරට ගී ගැයූ “අහසින් පොළොවට” (1978) චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂකවරු යටතේ ඇය චිත්‍රපට ගායිකාවක ලෙස දශක තුනකට ආසන්න කාලයක් පෙන්වූ දක්ෂතා විස්මය ජනකය. ඒ අතුරින් නිදසුන් කිහිපයක් පමණක් මෙම ලිපියෙන් ගෙනහැර දක්වමි. බී.ඇස්. පෙරේරා මෙරට සිටි විශිෂ්ටතම සංගීතවේදියෙකි. ඔහුගේ සංගීතයට “හදිසි විනිශ්චය” (1950) චිත්‍රපටයට රුක්මණී ගැයූ “අසහාය වේ ආලේ” නම් ගීතය සිංහල චිත්‍රපට ගීතය වෙනම මානයකට ගෙන ගිය ගීතයකි. රුක්මණී වංග ගී ආභාසය ලබමින් මෙම ගීතය ගයන්නේ වංග තනුවකට ය. මෙම ගීතයේ රුක්මණී මන්ද්‍ර “ම” ජ් 3 පහළම ස්වර පරාසයකට අයගේ ගායනය ගෙන යන්නී ය. එසේම, මොහොමඩ් ගවුස් සංගීත වේදියාණන් සංගීතවත් කළ “සැඟවුණු පිළිතුර” (1951) චිත්‍රපටයේ “අම්මා නැති වූ කාලේ”, “පෙම් ලෝකේ රාජිණී” (සුසිල්,ප්‍රේමරත්න සමගින්) ආදී ගීතවල රුක්මණී ගේ ගායනයේ මතුකරන්නේ කර්ණාටක ගීත වෘත්තයන්නේ ගේ සේයාවන් ය. එසේම “සැඟවුණු පිළිතුර" චිත්‍රපටය “කුසුමලතා” නමින් දමිළ බසින් නිපයු විට එහි සියලුම ගීත රුක්මණී දමිළ බසින් ද ගායනා කළා ය. ආර්. මුත්තුස්වාමි මාස්ටර් රුක්මණී දේවියගේ හඬින් ප්‍රශස්ත ප්‍රයෝජන ගත් තවත් සංගීතවේදියෙකි. “සිරියලතා” (1957) චිත්‍රපටයේ රුක්මණී විසින් ගයන ලද “ආලේ කළා නම්” ගීතය රුක්මණී විසින් උච්චස්වර අභ්‍යාසයන්හි යෙදුණු ඉතා අසීරු ගීතයක් විය. මෙම ගීතයේ උච්ච “ප” ට්5 තරම් ඉහළට ඇයගේ ස්වරය විසර්පණය වන අතර අෂ්ටක (ධජබචමඥඵ) 2 ට වඩා මදක් වැඩි පරාසයක ඇයගේ ගයනාව සිදුවෙයි.

එසේම, එම චිත්‍රපටයේ ධර්මදාස වල්පොල සමගින් ඇය ගැයූ “ඇසෙ ගීතේ මධුර ජීවේ” වැනි ගීත ඔපෙරා ශෛලීයේ හඬක් මතු කරවයි. මෙරට සිටි අතිවිශිෂ්ට ඉංගිරිසි නාටක කතුවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වූ ෆ්‍රෙඩ්රික් චාල්ස් ලුඩ්වොයික් මහතා වරෙක ප්‍රකාශ කළේ “රුක්මණී දේවිය යුරෝපානු රටක ජන්මලාභය ලබා සංගීතය සහ නාට්‍ය කලාවන්හි විධිමත් පරිචයක් ලැබුවා නම්, ඇය ලොව සිටින උත්කෘෂ්ටතම සොප්‍රනෝ (ඵධනපචදධ) ගායිකාව වීමට තරම් ප්‍රබලත්වයක්” සහ ජීව ගුණයක් ඇයගේ ස්වරයෙහි පැවැති බව ය. වර්ෂ 1948 මෙරට තිරගත වූ වැරැදුණු කුරුමාණම චිත්‍රපටයට බී. එස්. පෙරේරා මහතාගේ සංගීතයට සුප්‍රසිද්ධ “ආවේ මරියා”ලීඩ් ගායනාව සරුරු කොට රුක්මණී දේවී විසින් ගැයූ “නමෝ මරියනී” ගීතිකාව සිංහල සිනමා සංගීතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පෙන්වන්නකි. ඔපෙරා ගීත පිළිබඳ විශේෂඥ පරිචයක් ඇති සංගීතඥ සාගර විජේසිංහ මහතා රුක්මණීගේ මෙම ගායනය පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි: “රුක්මණී දේවිය සතුව පැවතියේ අතිශය දුර්ලභ මිහිරි විබ්‍රාටෝ (මඪඡපචබධ) කටහඬකි. එනම්, හඬ ප්‍රමාණය වේගයෙන් ලෙලදවීමේ හැකියාවයි. එය ඉතා සූක්ෂමව සවන් දෙන විට ශ්‍රාවකයින්ට ලැබෙන වින්දනයක්. ඇතැම් ගායිකාවන්ට උත්පත්තියෙන්ම මිහිරි ලෙස විබ්‍රාටෝ කිරීමේ හැකියාව පවතිනවා. බොහෝ දෙනෙකුට එය ආයාසයෙන් තේරුම් ගෙන ගොඩනඟා ගත යුතු තත්ත්වයක්. නමුත් බටහිර ඔපෙරාත්මක ගායනවේදයේ දී පවසන්නේ නිසි ලෙස ශරීරය තුළින් ගායනා කිරීම නැමති කාර්යය සඳහා අභ්‍යන්තර අවයවයන් නිසි පරිදි විද්‍යානුකූලව ක්‍රියාත්මක වන විට ඉබේම සිදුවන දෙයක් බවයි. එලෙස ඉබේ සිදුවන්නට වසර ගණනාවක "ගායනාව" නැමති කාර්යය (ථචදභචත ඹධපඬ) ප්‍රගුණ කළ යුතුයි. රුක්මණී දේවිය දැන හෝ නොදැන ඇගේ ශරීර අභ්‍යන්තරයෙන් ගායනයට අදාළ අවයවයන් සුදුසු පරිදි සැකසී මිහිරි ලෙස විබ්‍රාටෝ සහිතව හඬ උපදිනවා.

ඇතැම් විට මෙය ඇය ඉතා ළාබාල අවදියේම ප්‍රගුණ කළ ස්වර අභ්‍යාසයන් නිසා විය හැකි ය. සාමාන්‍ය සරල ගීතයකට වඩා ඔපෙරාවක විබ්‍රාටෝ ගැඹුර තරමක් වැඩියි (එනම් හඬ ලෙලදවෙන අඩුම සහ වැඩිම හඬ ප්‍රමාණය අතර පරාසය) එය ඉතාම හොඳීන් සිදු කරන ඉහළ පරාසයේ ගායිකාවන් ජධතධපචබභපච ඵධනපචදධ ගායිකාවන් ලෙස හඳුන්වනවා. රුක්මනී දේවිය ජධතධපචබභපච ඵධනපචදධ හඬක් දක්වා කටහඬ දියුණු කර නැතත් 1948 වැනි වකවානුව “ආවේ මරියා” ගීතයෙන් පෙන්වූ කටහඬේ ප්‍රමිතිය ඇත්තෙන්ම ආශ්චර්‍යයක්. අදටත් එම ඔපෙරාත්මක හඬ හිමිව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු ශ්‍රී ලාංකික ගායිකාවන් කීප දෙනෙකුට පමණි. එනිසා එකල ලංකාවේ සංගීතයේ ප්‍රමිතිය ගැන සැලකූ විට රුක්මණී දේවිගේ මෙහිදී දැක්වූ ප්‍රතිභාව සැබවින්ම විශිෂ්ට ය”. වර්ෂ 1956 දී මෙරටට පැමිණි උත්ත්ර-භාරතීය නළු නිළියන් අතුරින් ජනකාන්ත සිනමා නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙක් වූ රාජ් කපූර් රුක්මණී දේවියගේ ගායනා අසා සතුටට පත්ව පවසා සිටියේ “ඔබ භාරතයේ උපන්නා නම් ඔබගේ බැබලීම මීටත් වඩා ඉහළයි” යනුවෙනි. වර්ෂ 1953 තිරයට නැගුණු “කැලෑහඳ” චිත්‍රපටයේ එස්. එස්. වේදාචලම් නම් සංගීතඥයා රුක්මණීගේ හඬේ වූ ශෝකී ස්වරය ඉස්මතු කිරීමට ගත් උත්සාහය අතිශය ප්‍රශංසනීයය. “මැවිලා පෙනේවි රූපේ” ඇයගේ සිනමා ගීතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය විය.

මෙම ගීතයේ ග්‍රමොෆෝන් ගීත තැටි පිටපත් ලක්ෂයකට වඩා එකල අලෙවි වූයේ ඇයගේ ගායනයේ තිබු භාවාත්මක ගුණය නිසාම ය. එසේම “දෙවාගිනි මවා දුක්” ආදී ගීතය ද, එකී කුලකයේමලා ගිණිය හැකිය. රුක්මණීගේ ස්වරයෙහි වූ ශෝකී රාවයෙන් එදා මෙදාතුර ප්‍රශස්තම ප්‍රයෝජන ගත් සංගීතඥයා වූයේ උත්තර භාරතීය සංගීතඥ සජ්ජාඩ් හුසේන් ය. “දෛවයෝගය” (1959) චිත්‍රපටය වෙනුවෙන් හුසේන් විසින් නිර්මාණය කළ මධුර මනෝහර ස්වතන්ත්‍ර තනු නිර්මාණ දශක හයක් ගෙවී ගියත් අදටත් එකසේ ජනප්‍රිය ය. “ආදරයයි කරුණාවයි”, “ආලෝකය හැම තැන පැතිරේ”, “මැලවී යන්නා හද මාගේ“ යන ගීත ත්‍රිත්වය රුක්මණිගේ මන්ද්‍ර, මධ්‍ය සහ කෝමල ස්වරසරණියක් එක ලෙස කැලතු එකම රසගුලාවකි. රුක්මණී ගේ ගායනයන් වෙනස්ම මානයකට ගෙන යාමට දෛවයෝගය චිත්‍රපටයේ සංගීතය සමත් විය.

රුක්මණී ගේ සුවිශේෂී රංගනය මෙන්ම, රමණීය ගායනයද, මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ විශිෂ්ට ස්ථානයක තැබීමට සමත් විය. “දස්කොන්” (1962) රුක්මණීගේ චිත්‍රපට ගායන දිවියේ තවත් සන්ධිස්ථානයකි. ෂෙල්ටන් ප්‍රේමරත්න නම් අතිවිශිෂ්ට නාදෙශ්වරයාණන් විසින් රුක්මණී වෙත ලබා දුන් තනු නිර්මාණ අතුරින් “සෞම්‍ය චන්ද්‍රා පායා දිලෙන්නා” රුක්මණී දැක්වූ සුවිශේෂී ගායන ප්‍රතිභාව විදහාපායි. නාරායන් අයියර්, පණ්ඩු රංගන්, බී .එස්.පෙරේරා, ආර්.ඒ චන්ද්‍රසේන, එස්.එස්. වේදා, ආර්.මුත්තුස්වාමි, සජ්ජඩ් හුසේන්, ෂෙල්ටන් ප්‍රේමරත්න, ශාන්ති දිසානායක, ඩබ්ලිව්.ඩී.අමරදේව, මොහොමඩ් සාලි, රොක්සාමි මාස්ටර් , නිමල් මෙන්ඩිස් ආදී භාරතීය සහ ශ්‍රී ලාංකික සංගීතඥයින් රාශියක් ඇසුරේ එකිනෙකට වෙනස් ශෛලීන් සහ සංගීතමය භාවිතාවන් වෙතින් රුක්මණී දැක්වූ ප්‍රතිභාව විස්මය ජනකය. දකුණු ඉන්දීය ගායිකාවන්ගේ ආදිපත්‍යයට සිංහල සිනමා ගීතය යටත්ව තිබු යුගයක පවා ඇය ගායිකාවක ලෙස ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහිම සිටියා ය. මොහිදීන් බෙග්, අරුණ ශාන්ති, ධර්මදාස වල්පොල, ස්ටැන්ලි මල්ලවාරච්චි, ක්‍රිස්ටි ද මෙල්, සිසිර සේනාරත්න, ඇලන්සන් මෙන්ඩිස්, සුසිල් ප්‍රේමරත්න, ඩබ්ලිව්. ඩී. අමරදේව ආදී එවකට සිටි බොහෝ ජනප්‍රිය ගායකයින් සමගින් ඈ චිත්‍රපට සඳහා යුග ගී ගායනා කළා ය. රංගනයේ දී නිළියක ලෙස ස්වකීය කුසලතා පෙන්වීමට සිනමාත්මකව බොහෝ බාධක මතුවුවද, චිත්‍රපට ගීත ගායනයේදී ඒ සියල්ලක්ම අභිබවා ඈ ඉදිරියෙන් ම සිටියා ය.

 

සරල ගී ගායිකාවක, ගුවන්විදුලි ශිල්පිනියක සහ කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛ ගායිකාවක ලෙස රුක්මණී දැක්වූ ප්‍රතිභාව (1950-1978)

රුක්මණී 1940 දශකයේ මැද භාගයේ සිටීම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සරල ගී ගායිකාවක ලෙස ස්වකීය ගායනා ඉදිරිපත් කළා ය. මෙම ගීත බොහොමයක් ග්‍රැමොෆෝන් තැටිවලට නැඟුණු අතර, තවත් ගීත රාශියක් ගුවන්විදුලි සරල ගී ලෙස පමණක් පටිගත වුණි. රුක්මණී දේවිය විසින් 1950 දශකයේ ගායනා කරන ලද “යශෝධරා වැලපිල්ලෙහි කවි”, “මේ සෝක සයුර පීනා”, “කිරි සයුර”, “ප්‍රිය සුන්දර ප්‍රේමේ ශාන්ත වේ”,” ඒ තමා ඒ තමා චාන්දනී ඒ තමා”, “රූපේ රූපේ සලකා කරති විවාහේ” ආදී ගීත එවකට ගුවන්විදුලියේ අතිශයින් ජනප්‍රිය වූ අතර මාසික ගීත දර්ශකවල වැඩිම ශ්‍රාවක මනාපය දිනාගත් ගීත විය. මෙම ගීත වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් වාදනය නොවීම ද කනගාටුවට කාරණයකි. වර්ෂ 1953 ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමේ පරීක්ෂණයේ දී “ජනප්‍රිය ගායන ශ්‍රේණියේ” පළමු ස්ථානය දිනා ගත්තේ රුක්මණී දේවිය විසිනි. වර්ෂ 1953-1958 දක්වා අයගේ බොහෝ ගුවන්විදුලි සරල ගී වැඩසටහන් වෙනුවෙන් සංගීතය සැපයුවේ ආර්.ඒ චන්ද්‍රසේන මාස්ටර් සහ ටී.එෆ් ලතීෆ් විසිනි. චන්ද්‍රසේන සැපැයූ ගීත බොහොමයකම ගීත නිබන්ධකයා වූයේ හර්බට් එම්. සෙනෙවිරත්න ය. රුක්මණී- චන්ද්‍රසේන සහ හර්බට් සුසංයෝගයෙන් බිහිවූ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. “දුෂ්මන්ත අහෝ”, “මා ඔබේ සුදා”, “නින්දේදී රාත්‍රී”, “අද අඬනවා හිමියෙනි යසෝදරා“, “කීම ආදරයට පිටුපා යන්නේ”, “කොහෙද ගියේ මගේ නෙත් දෙක වන්”, “ අර රමණි පෙම් හඳ”, “ආනන්ද ජවනිකා” ආදී ගීත රාශියක් ගුවන්විදුලි තැටියට මෙන්ම හිස් මාස්ටර්ස් වොයිස් ග්‍රැමොෆෝන් තැටිවලට ද නැඟුණේ ය. රුක්මණිගේ ශෝකී ස්වරයෙහි වූ ස්වර මාධූර්යය, රසයක් බවට පත් කොට, ශෝකී රසභාවයන් ඉස්මතු කළ විශිෂ්ටතම සංගීතවේදියා වූයේ ආර්.ඒ චන්ද්‍රසේන ය.

වර්ෂ 1960 සිට ගුවන්විදුලියේ බිහි වූ බොහෝ නවක ගායක ගායිකවනට රුක්මණී යුග ගී ගායනයෙන් සහාය වූයේ ආධුනික ගායක ගායිකාවනටද නොමසුරුව සහයක් ලබා දෙමිනි. සුජාතා පෙරේරා (අත්තනායක) සමගින් “අද හඳපාන පායා හරි ලස්සනයි”, සිඩ්නි ආටිගල සමගින් “ගං ඉවුරු පඳුරු ගානේ”, එච්.ආර් ජෝතිපාල සමග “කෝකිලයා කෙවිලිය හා”, “දෙන්න ප්‍රියේ දතට ඔය දෑත”, ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමගින් “ඉතින් පලක් නැහැ කුමරිය” ආදී ගීත ද, ගුවන්විදුලියේ ය තැටිගත කළා ය. 1960 දශකයේ මැද භාගයේ අයගේ සංගීත දිවියෙහි දෙවැනි උපත සිදුවිය. මෙරට සිටි දක්ෂ ගායකයෙක්, සංගීතඥයෙක් සේම කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙක් වූ නෙවිල් ප්‍රනාන්දු මහතා සමගින් රුක්මණී ස්වකීය ශ්‍රාවක පිරිසට නවමු අත්දැකීමක් ලබා දුන්නා ය. වර්ෂ 1961 දී පිහිටුවන ලද “ලොස් කැබලෙරොස්” ගායක කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක වූ රුක්මණි ස්වකීය ගායන ශෛලීය සම්පූර්ණයෙන්ම ඉතා මටසිලිටි සහ බුහුටි අයුරකින් වෙනස් කරගත්තා ය. අනුකාරක හින්දුස්ථානි ගීත ශෛලීන් ගෙන් පරිබාහිරව, බටහිර ශෛලීයට අනුගත වූ රුක්මණී ලොස් කැබලෙරොස් කණ්ඩායම හා එක් වී බිහි කළ සමුච්චය අදටත් එක සේ ජනප්‍රිය ය.

එසේම ස්පාඤ්ඤ සහ ඉංගිරිසි ගීත ද, ඈ මෙම කණ්ඩායම සමගින් ඉදිරිපත් කළා ය. රුක්මණී සහ නෙවිල් ප්‍රනාන්දු ගැයූ, “මැණිකේ ඔබේ සිනහවේ“, “මල්බර හිමිදිරියේ”, “මිහිරි ලලනාවී“, “සඳක් ගිලේ සඳක් නැඟේ”, “සුර ලෝ රැජින” , “ඔබේ පාමුල මා” ආදී ගීත රුක්මණි නවමු සුමට ගායන ශෛලීයට කදිම නිදසුන් ය. මෙකි ශෛලීයෙන්ම 1970 දශකයේ ගුවන්විදුලියේ නවක ගායකයන් වූ, මිල්ටන් මල්ලවාරච්චි (“පෙම් රජදහනේ අහස් මාළිගා”), වික්ටර් රත්නායක (“හීන් අන්දිරියේ සෙවණැල්ලක්”, “ඔබ යන ගමනේ මාවත අවුරා”) ,දයාරත්න රණතුංග (“ජීවනයේ සමිඳුනේ”) සමගින් පනස්වියද ඉක්මවූ රුක්මණී නව යොවුන් තරුණියකගේ ස්වරයෙන් මෙම ගීත තැටිගත කළා ය. ග්‍රැමොෆෝන් ගීත තැටි තාක්ෂණයෙන් ඇරඹු අගේ සංගීත දිවිය ස්ටීරියෝ තාක්ෂණයේ ගීත පටිගත කිරීම් දක්වාම දිව ගියේ ය. ෆීලික්ස් ඇන්ටන් සමගින් “නිලම්බරේ කැළුම්” ගීතයත්, ඩෙරික් ද සිල්වා සමගින් ගැයූ “චායා මවා” ගීතයත් ස්ටීරියෝ තාක්ෂණය ඔස්සේ රුක්මණී අවසන් වරට පටිගත කළ ගීත අතර වෙත්.

මේ අයුරින් බලන කල රුක්මණී දේවිය තරම්, විවිධ සංගීත ශෛලීන්ට, සංගීතමය උපස්ථරයනට ස්වකීය ස්වරය නම්‍යශීලීව භාවිත කළ ගායිකාවක් නම් කළ නොහැකි තරම් ය. ඇයගේ ස්වර පරාසයන්, ගායනා ශෛලීන් පිළිබඳව තවමත් නිසියාකාර සංගීතමය අධ්‍යනයක් වී නොමැත. ශ්‍රී ලාංකේය සංගීතයේ විකාශනය හදාරන්නෙකුට රුක්මණී දේවියගේ ගායන දිවිය එකම පර්යේෂණ නිබන්ධයකි. මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ වන්නේ, රුක්මණී දේවියගේ මුල් ගීත ඒ අයුරින් ම සංරක්ෂණය කිරීමේ වැදගත්කමයි. මෙරට බිහි වූ පළමු සිනමා තාරකාව, ජනප්‍රියම ගීත කෝකිලාව වූ රුක්මණී දේවියට අප විසින් දැක්විය යුතු ඉහළම අගය කිරීම වන්නේ එතුමිය විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ගීත සංරක්ෂණය කර ඉදිරි පරපුරටත් ලබාදීමට කටයුතු සැලැස්වීම ය. මීට සතළිස් දෙවසරකට පෙර අප අතුරින් සමුගත් හෙළයේ අග්‍රේසර කලාකාරිනිය වූ රුක්මණී දේවිය ගේ නාමයට මෙම සටහන උපහාරයක්ම වේවා !

 

විශේෂ ස්තූතිය :

විශාරද ජයන්ත අරවින්ද මහතා,

විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය, සංගීතඥ සාගර සුරේෂ් විජේසිංහ මහතා, බුද්ධි ගයාශාන් ජයසේකර මහතා, සිනමා-කලා තොරතුරු සංරක්ෂක කපිල සිරිමාන්න මහතා, ග්‍රැමොෆෝන් ගී තැටි සංරක්ෂක ජයරත්න ප්‍රනාන්දු මහතා