උපන්දාම රිදී කාසිවලින් ගත සරසා ගත් ගායක නළුවා

එඩී ජූනියර් (1926 - 1982)
ඔක්තෝබර් 1, 2020

ටවර් යුගයේ කීර්තිමත් සංගීත අධ්‍යක්ෂ බී. එඩී ද සිල්වා හෙවත් එඩී මාස්ටර්ට දාව කුලුඳුල් පුතු උපදින විට ඔහු සිටියේ බෙංගලි ජාතිකයන්ගේ නිවසක සංගීතය මෙහෙයවමිනි. දිනය  1926 මාර්තු 12 වෙනිදාය.

 ‘එඩී මාස්ටර්ට පුතෙකු ලැබිලා’ කිසිවෙකු ආරංචිය කී නිසා ඔහු අමන්දානන්දයට පත් විය.

නිවසේ අධිපතිවරයා ද මේ ආරංචිය ලැබූ නිසා රුපියල් 22 ක් පරිත්‍යාග කළේ එඩී මාස්්ටර්ට සුබ පතමිනි.

 ‘මෙන්න එඩී ජූනියර් පුතාට අපේ ආශීර්වාදය’ බෙංගාල ජාතික නිවසේ හැමෝම ආශීර්වාද කොට ‘මාස්ටර් දැන්ම ‘ජූනියර්’ව බලන්න යන්නැයි බලකර සිටියහ. එඩී මාස්ටර් යුහුසුළුව රික්ෂෝවක නැඟී ගෙදර බලා ගියේය. තොටිල්ලේ සිටි බිලිඳාගේ හිස සිට දෙපතුල දක්වා රිදී කාසිවලින් එඩී මාස්ටර් සරසා ඇත.

එඩී මාස්ටර්ට පුතුන් තිදෙනෙකි. වැඩිමලා තම  පියාගේ නම ඉදිරියට ගෙනි යමින් සංගීතඥයකු මෙන්ම නළුවෙකු විය. ඒ එඩී ජූනියර් හෙවත් බුලත්සිංහලගේ හියුබත් ද සිල්වාය.  දෙවැන්නා බී. ද සිල්වා ලංකා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ තබ්ලා වාදකයෙකු විය. තෙවැන්නා අර්වින් ද සිල්වා සංගීත ආයතනයක අධ්‍යක්ෂවරයෙක්ව සිටියේය.

පියා වූ එඩී මාස්ටර් කොලොම්බියා, එච්. එම්. වී. ඕඩියන් තැටිවලට ගීත ගයනු පුතු එඩී ජූනියර් කුඩා කල සිට අසා සිටියේය. ‘ගිලිලා සෝක ගඟේ’ ‘සංතාප නාථ දීපේ’ ‘බඹ සුර නර’ ආදී ගීත ලොකු පුතා ගෙදර දී ගැයුවේය. එකල තම පියාගෙන් සංගීතය ඉගෙනීමට ගෙදර එන ඇම්. ඩී. චන්ද්‍රපාල, ඒ. ජේ. කරීම්, ඩී. ඩී. ඩැනී, ඒලියන් ද සොයිසා පැමිණි හැටිත් වොලී බැස්ටියන් බයිලා ගායකයකු ලෙස පුහුණු කළේ ද මේ යුගයේදී බව එඩී ජූනියර්ට මතකය. එපමණක් නොව තම පියා රඟපෑ ‘ඇලඩින්, ‘රාමායණය’ ‘දිල්ලියේ වෙළෙන්දා’ ‘ගුත්තිල’ ‘වෙස්සන්තර’ නාට්‍යය පුතුන් බැලීමට ගොස් ඇත්තේ සතුටිනි. එඩී ජූනියර් විස්තර කළ අයුරු ද මේ මොහොතේ මතකයට එයි.  

“ඒ කාලය මගේ රසවත් කාලයක්. අපි එතකොට පදිංචි වෙලා හිටියෙ මහනුවර. මගේ මල්ලිලාත් එක්ක තමයි වැඩිපුරම සංගීත පැත්තට යොමු වුණේ. මම සර්පිනාව පාවිච්චි කළේ දිග බංකුªවක් උඩ තියාගෙන. ලොකු මල්ලී  තබ්ලාව වෙනුවට ටිං දෙකක්. බාල මල්ලී වයලීනයට ගත්තේ ගෙදර පොල් ගාන හිරමණය. අපි සංගීත ප්‍රසංගය පවත්වනවා බලන්න අහල පහල ළමයි පිරෙනවා. අහල පහල ගෙවල්වලින් පරණ සාරි ඉරෙනවා. අපේ මුහුණුවල දැලි අඟුරුවලින් සැරසිලා. ඒ දැලි අඟුරු සාරිවලත් ගෑවිලා.’

එඩී ජූනියර් මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර සාන්ත ඇන්තනීස් විද්‍යාලයේ. ඒ කාලයේ ඔහුගේ පියා මධ්‍යම ලංකා නාට්‍ය සභාවට බැඳී සංගීත කටයුතු කොට ඇත. කොළඹ පැමිණි එඩී ජූනියර් ඇතුළු සහෝදරයෝ මරදානේ මධ්‍ය විද්‍යාලයේ ඉංග්‍රීසි 7 වැනි පන්තිය තෙක් ඉගෙනීම ලැබුහ. ඉගෙනීමට වඩා එඩීට තිබී ඇත්තේ රඟපෑමේ හා ගී ගැයීමේ පිස්සුවය.

නාට්‍ය ලෝකයේ කීර්තිමත් නමක් දිනා සිටි තංගල්ලේ සිරිසේන විමලවීර මාස්ටර්ගේ ‘අම්මා’ වේදිකා  නාට්‍යයේ තිලකගේ චරිතය තුළින් එඩී ජූනියර් වේදිකා නළුවකු විය. ඉන්පසු විමලවීර මාස්ටර්ගේ ‘රොඩී කෙල්ල’ ‘පිටිසර කෙල්ල’ වේදිකා නාට්‍යවල රඟපෑවේය.

 ‘පිටිසර කෙල්ල’ වේදිකා නාට්‍යය කුරුණෑගල නගර ශාලාවේ පෙන්වන අවස්ථාවේ මට නොසිතූ දෙයක් වුණා. මේ නාට්‍යය බලන්න ආව කුරුණෑගල නගරාධිපතිතුමා අපි කාටවත් නොකියා හොඳම නළුවා වශයෙන් නගරාධිපති කුසලානය මට පිරිනැමුවා. එදා විමලවීර මාස්ටර්ට හරි සතුටු දවසක්. මුළු ශාලාව සෙනඟින් පිරිලා. මගේ නම ප්‍රකාශකයෙක් නම් කරන විට මම උඩ ගිහින් බිමට වැටුණ’. එඩී ජූනියර් අපට එසේ කීවේ සංවාදයකදීය.

ඒ 1972 වසර ය. (මගේ මතකය හරි නම්) මම සිතමි. එකල එඩී ජූනියර් පදිංචිව සිටියේ තම බිරිය කලාකාරිනියක වූ පර්ලි වාසුදේවි හා දියණිය සුජීවා ලලී සමඟ දෙමටගොඩ නිවසකය.

එඩී ජූනිියර් චිත්‍රපට නළුවකු ලෙස සිනමාවට එක් වන්නේ 1949 වසරේ තිරගත වූ සිරිසේන විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අම්මා’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ ලොකු තිලක ලෙස රඟපාමින් ගීත ගයා ඇත. පාණ්ඩුරංගන්ගේ සංගීත අධ්‍යක්ෂණයට සිරිසේන විමලවීරයන් රචනා කළ මේ ගීතය ගයා ඇත.

 ‘භව පාර දුරයි දුවලා බැරි වෙයි

කඳු හෙල් බොහොමයි වැටුණොත් ඉවරයි

දෙනෙත් පියා ඒ පාරේ - දිව්වොත් පැටලී කටු ගාලේ

ජරා දුකේ වැටේ නියමය එය වේ

භව පාර දුරයි දුවලා බැරි වෙයි’

1951 වසරේ තිරගත වූ විමලවීරයන්ගේ ‘දේවි’ චිත්‍රපටයේ එඩී ජුනියර් රඟපෑවේ රාජේන්ද්‍ර නම් පෙම්වතා ලෙසය. ඩී. ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි ද මෙහි රඟපෑහ. එඩී ජූනියර් ‘සීදේවි’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ අතර එහි ගීත ද ගායනා කර ඇත. ඔහු ජේ. සී. කේ. රූපවතී සමඟ ගැයූ ‘ගියා මා හැර - දුක් ගිනි දී අහෝ ස්වාමී’, ‘ඕ ගීත ඇසේ මිහිරී - මී මැසි කැල විසිරී’, ‘ඕ පාය ඒවි පූර්ණ චන්ද්‍රයා’ ‘සීදේවි චන්ද්‍ර ග්‍රහණය’ යුග ගීත ද ඔහු කරුණා කුමාරි සමඟ ගැයූ ‘පිටුපාල නොයනු ගිනි දී’ යුග ගීතය ද ගයා තිබුණි.

 ‘සීදේවි’ චිත්‍රපටයෙන් පසු එඩීට රඟපෑමට අවස්ථාව ලැබී නැත. ලැඩී රණසිංහ නම් ප්‍රතිභාපූර්ණ නළුවාගේ ඉල්ලීම පරිදි එඩී 1955 වසරේ සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ ‘සුරංගණී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ දිස්නා රංජනී සමඟය. එඩී එහි ගීත නොගැයූ අතර  ඔහු වෙනුවෙන් පසුබිම් ගායනය කළේ ධර්මදාස වල්පොලය. අසු පිට නැඟ ධර්මදාස වල්පොල ගැයූ මේ ගීතය

එඩී ගයමින් අසුපිට යන දර්ශනය එදා ප්‍රේක්ෂකයන්ට නම් අමතක නොවේ.

 ‘කොයිබට දෝ මෙ සතා

යන්නෙ මෙසේ මඟ බැසලා

සසර මගේ හැටි නොදැනා

කොයිබට දෝ මේ සතා’

එඩී ජූනියර් මේ චිත්‍රපටයේ රඟපෑවේ සමනළ කන්ද පසුබිම් කොට තැනූ කතාවක රොඩී කෙල්ලක වූ  සුරංගණීට (දිස්නා රංජනී) ආලය කළ සේන නම් තරුණයකු ලෙසය.

එඩී ජූනියර් ඉන් පසු වැඩිහිටි චරිත රඟපෑමට සීමා විය. සැනසිලි සුවය, රන් රස පිනිබිඳු, වනසරා, ඇමතිකම, දැවෙන පිපාසය, හරි මඟ, උතුම් ස්ත්‍රිය, සුහද පැතුම, වස්තුව, සුසී, සිරිල් මල්ලී, රන්වන් රේඛා, සිතක  සුවඳ, සංගීතා, රජ දවසක්, බඹර පැටික්කි ඇතුළු චිත්‍රපටවල විවිධ චරිත රඟපෑවේය. ඔහු සිය රඟපෑම කෙළවර වූයේ 1985 තිරගත වූ ‘කිරිමදු වැල්’ චිත්‍රපටයෙනි.

තමාට ජීවිතයේ අමතක නොවන සිදුවීම ගැන වරක් ඔහු අපට මෙසේ විස්තර කළේය.

 ‘මම නළුවෙක් වෙන්න සිහින මවන කාලේ මගේ අතක්  කැඩුණා. ඒක වුණේ මෙහෙම.

මරදානේ පරණ ඔලිම්පියා සිනමාහලේ සයිලන්ට් චිත්‍රපට බලන්න යනවා. ඒ සිනමාහලේ ‘ෆයිටින් රෙන්ජර්’ ත්‍රාසජනක චිත්‍රපටයේ සටන් නළුවන් කරන විදිහට ගෙදර ඇවිත් මල්ලිලා එක්ක ෆයිට් කළා. අන්තිමේදී පස් කණ්ඩියක් උඩ වැටිලා මගේ අත කැඩුණ. හය මාසයක් ඒ දුක වින්දා. ඒක මට සැපක් කියලා හිතුණේ’

එඩී ජූනියර්ගේ සිනමාවේ රඟපාන අතරම වේදිකා නාට්‍යවල රඟපෑවේය. ‘වෙස්සන්තර’ නාට්‍යයේ ඔහු රුක්මණී දේවි සමඟ රඟපෑවේය. ටවර් රඟහල නිපද වූ ඩී. වී.  සෙනෙවිරත්න රචනා කළ ‘සමුද්‍රදේවි’ නාට්‍යයේ පරංගි සොල්දාදුවකු ලෙස මුල් වරට ගීයක් ගයමින් රඟපෑවේය. ඒ ගීතය නම් අදත් ජනප්‍රියයි. මේ ගීතයේ රචනය චන්දි ගුණතිලකය. තනු නිර්මාණය හා සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නගෙනි.

 ‘ගෝවේ .  .  .

ගෝවේ ගෑනු පරාදයි 

රූපේ රූපේ මහද පිනා යයි

නොමැතිව දෑත ඔබේ - නොමැතිව දෑත ඔබේ

රජකම රජකම නෑ පලක් අනේ

මා කුමරා ඔබ කුමරි දිව්‍ය මාලිගේ

නොමැතිව දෑත ඔබේ . . .

නොමැතිව දෑත ඔබේ - නොමැතිව දෑත ඔබේ

රජකම  රජකම නෑ පලක් අනේ

මා කුමරා ඔබ කුමරි දිව්‍ය මාලිගේ

දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ

දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ 

දිව්‍ය දිව්‍ය මාලිගේ 

මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ

ගෝවේ . . .

ගෝවේ ගෑන වේ පරාදයි

රූපේ රූපේ මහද පිනා යයි

ගෝවේ . . .   

එඩී ජූනියර්ගේ දයාබර බිරිය පර්ල් වාසුදේවි ඔහුට හමු වන්නේ ‘රාමායණය’නාට්‍යයේ ඇය සීතා ලෙස රඟපාද්දීය. එම නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ එඩී මාස්ටර්ගේ පුත් එඩී ජූනියර් හඳුනා ගත්තේය. ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙස එඩී පර්ල් 1940 වසරේ විවාහ වූහ. ඇය ද චිත්‍රපට නිළියක් ලෙස අම්මා, සුරංගණී, පොඩි පුතා ගේ පටන් 1989 වරදට දඬුවම් දක්වා චිත්‍රපට රැසක රඟපෑවාය. ඒ අතර ලොකුම හිනාව, චණ්ඩි පුතා, පළගැටියෝ, හතර දෙනාම සූරයෝ, සරා, ලොකුම හිනාව, සුසී කැපී පෙනෙන චිත්‍රපට වේ. 1915 උපත ලැබූ ඇය 1987 මිය ගියාය.

එඩී හා පර්ල්්ගේ දියණිය සුජීවා ලලී බුලත්සිංහලගේ ලාලිනී සිල්වා මුලින්ම ‘සුරංගණී’ ගේ දිස්නා රංජනීගේ ළමා කාලය රඟපෑ අතර පුංචි බබා, සිතිජය,නිම්වළල්ල, පිණිබිඳු, ගොපළු හඬ චිත්‍රපටවල රඟපෑවාය.

එඩී ජූනියර් 1982 මිය ගියේය.

ඡායාරූප - ආතර් යූ. අමරසේනගේ ‘සිංහලයේ මහා සිනමා වංශය’ කෘතියෙන් ද

ගීත හා සින්දු පොත් කවර - මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’(1947 - 1956) කෘතියෙන් ද ‘නූතන ගේය කාව්‍ය සංහිතා ඌන පුර්ණය’කෘතියෙන් ද උපුටා ගත් බව කාරුණිකව මතක් කරමි.