ලංකාව මගේ පියාගේ මුල් ඇදපු තැන

රංගන ශිල්පිනී - ගායන ශිල්පිනී ස්වේතකී මුණසිංහ .
සැප්තැම්බර් 7, 2023

ස්වේතකී මුණසිංහ මෙරට කලා පරපුරකින් පැවතගෙන එන කලාව සිය ලේ උරුමයක් කොට ගත්තියකි. මෙරට ප්‍රවීණතම සංගීත අධ්‍යක්ෂවරයකු වනු ඔස්ටින් මුණසිංහයන් ඇගේ දයාබර පියාණෝය. එසේම ප්‍රවීණ සංගීතඥ තරුපති මුණසිංහ ඇගේ දයාබර සහෝදරයාය. කලාවට සංගීතයට උපන් හපන්කම් දැක් වූ ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිධාරිණියකි. එසේම සිය උපාධිය සම්පූර්ණ කරනු වස් ‘ඊඩිපස්’ නාට්‍යය නිෂ්පාදනය කරමින්, එහි සංගීත අධ්‍යක්ෂණය කරමින් එම වසරේ (2004) රාජ්‍ය නාට්‍ය උලෙළින් වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වන රාජ්‍ය සම්මානය ද ඇය දිනා ගත්තාය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් මේ සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි. වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට ඇතුළු කලාවන්ගේ නිරතව සිටිමින් සිටි ඇය මේ මොහොත වන විට ජීවත් වනුයේ ඕස්ට්‍රේලියාවේය. එහි සිට වුව ද විවිධ කලා කටයුතුවල නියුතු වන ඇයගේ ඉදිරි කලාකටයුතු හා අතීත දිවිය පිළිබඳ කළ කතා බහකි මේ.

ඔබේ නවතම ගීතය අරගලයේ දරු නැළවිල්ල නිර්මාණය වූ පසුබිම කුමක්ද?

ඇත්තටම මගේ ප්‍රථම ගීත ගායනය සිද්ධ වුණේ 2009 වර්ෂයේදී. ඒ ගීතය සඳහා සංගීතය නිර්මාණය කළේ රෝහණ වීරසිංහයන් ගී පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ. ‘ඔබ මිරිඟුවකි’ නම් ඒ ගීතයට අපි රූප රචනයක් කළේ නෑ. ඒක ගුවන් විදුලියේ ප්‍රචාරය වූවා. ඊට පස්සේ තමයි 2022 වර්ෂයේදී ‘අරගලය’ වෙනුවෙන් මම ගීතයක් ගායනය කළා. මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ මගේ සහෝදරයා තරුපති මුණසිංහ. ගීතයේ පදරචනාව මංජුල වෙඩිවර්ධනගේ. අරගලයේ ‘දරු නැළවිල්ල’ කියල තමයි ඒක එළි දැක්වූයේ. එම ගීතය 2022 කරනකොට ‘සිනහ ඉල්ලා’ කියන ගීතයට මම තනු නිර්මාණය කරල ඉවරයි. අපි කාලයක් කොවිඩ් නිසා ගෙදරට හිරවෙලා හිටියා. ඕස්ට්‍රේලියාවටත් ඒක දරුණු විදියට බලපෑවා. ඔහොම ඉන්න අතරතුර කාලයේ මට මගේ ස්වාමි පුරුෂයා රුවන් නරසිංහ කිව්වා ඔයත් ගෙදරට වෙලා ඉන්න කාලේ තනුවක් නිර්මාණය කරන්න කියල. මම තනුවක් නිර්මාණය කළා. ඊට පස්සේ ඒකට පදරචනයක් සොයන අතර මගේ හිතවතියක් වන අපර්ණා සෝමචන්ද්‍රට මේ බව කිව්වා. ඇය වරින් වර පද රචනයක් මට ලබා දුන්නා. ඒක වරින් වර විවිධ වෙනස්කම්වලට භාජනය කරලා අපි 2022 වෙනකොට ‘සිනා ඉල්ලා’ කියන මේ ගීතය පටිගත කළා. මේක මගේම තනුවක් නිසා මේ සඳහා මෙල්බර්න් නුවර දී සංගීතය සපය ගන්න කට්ටිය සොයාගන්න අපහසු වුණා. අපි ලංකාවේ සංගීත් වික්‍රමසිංහට කතා කළාම ඔහු මේකට සංගීත සංයෝජනයෙන් දායක වුණා. ඇත්තටම මේ ගීතය රූප රචනය කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් මගේ සැමියා ඒ ගැන උන්නදුවෙලා ගීතය රූප රචනය කරන්න මට දායකත්වය ලබා දුන්නා.

ගායිකාවක විදියට ඔබ ආ ගමන්මග දෙස බලත්දි එහි මුලාරම්භය සනිටුහන් වෙන්නේ ඔබේ පිය පරම්පරාවෙන්ද?

මම ගායනය පැත්තට යොමු වුණේ මට වයස අවුරුදු 6 - 7ක් වගේ කාලෙදි. මම ඒ කාලේ ළමා පිටියේ ළමා ගායිකාවක් විදිහට සම්බන්ධ වුණා. මමත්, අයියත් දෙන්නම, අපි ඒ කාලෙ පදිංචිවෙලා හිටියේ කොළඹ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ. අපේ අසල්වැසියෝ වෙලා හිටියේ කලාවට සම්බන්ධ පිරිස්. චන්ද්‍රිකා සිරිවර්ධන, ක්‍රිස්ටෝපර් පෝල්, ක්‍රිස්ට් ලෙනාඩ්, මර්සි එදිරිසිංහ, ඩී.ඩී. ඩැනී, එච්.ආර්. ජෝතිපාල, විජය නන්දසිරි වැනි කලාකරුවන් රැසක් මධ්‍යයේ තමයි අපි ජීවත් වුණේ. අපි ළමා පිටියට සම්බන්ධ වුණේ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ ළමා පිටියට. ඩී.ඩී. ඩැනී මාස්ටර්ගේ ළමා පිටියටත් ඔහු මාවයි අයියවයි සම්බන්ධ කරගත්තා. ඒ වගේම අපේ තාත්තාගේ ළමා පිටියේ ගායන කටයුතු වලටත් තාත්තා අයියාවත්, මාවත් සම්බන්ධ කරගත්තා. මගේ ගායන දිවිය ඇරඹෙන්නේ ඒ විදියට.’

මගේ පියා මාව ළමා ගායිකාවක් විදියට ඔහුගේ වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීමෙන් තමයි මම හිතන්නේ මගේ ගමනේ මූලාරම්භය සිද්ධ වෙන්නේ. ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉදිරිපත් කරපු ‘පුංචි ඔබයි’ අපේ රටයි කියන වැඩසටහනට එන්. එච්.කේ. ජාත්‍යන්තර සම්මානය ලැබුණා. එහි සංගීතය නිර්මාණය කළේ මගේ පියා. එම වැඩසටහන පටිගත කරනකොට මමත් මගේ අයියත් සම්බන්ධ වුණා. මේ රට මගේ රට’කියන ගීතය විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය සිංහල ගීතය ගායනා කළා. එහි දෙමළ ගීතය කලාවතී මහත්මිය ගායනා කළා. ඒ අත්දැකීම් අපේ ජිවිතේ ළමා වියේදීම ලැබුණා. ගුවන් විදුලිය කියල කියන්නේ ඒ කලේ ලොකු ශ්‍රාවක පිරිසක් හිටි තැනන් එතැනින් තමයි මගේ ගායන ක්ෂේත්‍රයේ මූලාරම්භය සිද්ධ වෙන්නේ.

වේදිකාවට ඔබේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ කොහොමද ?

වේදිකාවේ මගේ මූලාරම්භය සිද්ධ වෙන්නේ හරිම වෙනස් විදිහකට. ඒක අපි නොහිතන විදිහට සිද්ධ වෙන දෙයක්. වේදිකාව කියන්නේ මගේ පියා බෙහෙවින්ම ආදරය කළ ස්ථානය. ඔහු නිතර ගැවසුණු තැන. දී කිරි දී කිරි. හනික වරෙව් කොල්ලනේ. යස ඉසුරු පිරුණ තැනා වැනි නිර්මාණ ගත්තොත් තාත්තා අතින් නිර්මාණය වූ ගීත නිර්මාණ. සමහරවිට තාත්තා තුළ තිබුණු ඒ ආදරය, ආසාව, කැමැත්ත මා තුළ සහ මගේ සහෝදරයා තුළ තිබෙන්න ඇති. මගේ පියා කරපු වේදිකා නාට්‍ය නිර්මාණ. රාජ්‍ය නාට්‍ය උලෙළ වැනි දේ තුළ අපි නිතර හිිටියා. නාට්‍ය නැරඹුවා. ඒ නිසා මේ නිර්මාණ එක්ක ලොකු ගනුදෙනුවක් අපට තිබුණා. තාත්තා එක්ක අම්මා ‘රතු හැට්ටකාරි’ නාට්‍යයේ කටයුතු වලට යනකොට මගේ සහෝදරයා අම්මට ලැබෙන්න ඉන්නවා. ඊළඟට මම ඉපදෙනකොට රතු හැට්ටකාරි නාට්‍යය අතිශයින්ම ජනපි‍්‍රය වෙලා. ලංකාව වටේ යන කාලයක්. ඒ නිසා උත්පත්තියේ සිටම වේදිකාවට මගේ ලොකු ආදරයක් සහ බැඳීමක් තිබුණා. හැබැයි ඒක මගේ හිතේ තිබුණට මම වේදිකාවට සම්ප්‍රාප්ත වෙන්නේ 1997 වසරේදී. ‘ඌවේ ඊය’ කියන සාගරිකා ශ්‍රී පාලිගේ නාට්‍යයට සම්බන්ධ වීමෙන් තමයි මම මුලින්ම වේදිකාවට එන්නේ. ඒක නිදහස් උත්සවයේ ස්වර්ණ ජයන්ති උළෙලකට කරපු එකක්. ඉන් පස්සේ ‘සුරමා’ කියන රත්නශීලා පෙරේරාගේ නාට්‍යයකට සම්බන්ධ වෙනවා. ඉන්පසු 1999 වසරේදී මට වාසනාවක් ලැබෙනවා ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ටෙ‍්‍රා්ජන් කාන්තාවෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්න. මට හිතෙනවා ඒක මගේ නාට්‍ය කලා ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. වේදිකාවේ අත්දැකීම් සමඟ මට අධ්‍යාපනයක් ලබන්නත් ඒක අවස්ථාවක් වෙනවා. 1999 වසරෙන් ආරම්භ වෙන මේ නාට්‍යයත් සමඟ මම වේදිකාවේ දීර්ඝ ගමනක් යන්න පටන් ගන්නවා. කෙටි නාට්‍ය සඳහා මම හොඳම නිළිය හැටියට නිර්දේශිත නාමයන් අතරට එක්වෙනවා. චාන්දනී සෙනෙවිරත්න සහ හසිනිකා කරලියද්ද සමඟ.

කොහොම නමුත් වේදිකාවෙ මම දීර්ඝ ලෙස රැඳුණේ ට්‍රෝජන් කාන්තාවෝ සමඟ. නාට්‍ය දර්ශන වාර සීයකට අධික වාරයක් සඳහා ලෙස සම්බන්ධ වී තිබෙනවා. මුළු ලංකාව පුරාම මම නාට්‍යයත් එක්ක ගියා. අනෝජා වීරසිංහ, යශෝදා විමලධර්ම, ගයනි ගිසන්තිකා, නීල් අලස්, ෆර්නි රෝෂිණී, මීනා කුමාරි වැනි රංගන ශිල්පිනිය සමඟ වැඩ කළා. මේක තමයි මගේ ජීවිතේ සුවිශේෂීම කඩඉම. මේ අතර මම විශ්වවිද්‍යාලයට තේරී පත් වෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන ගමන්ම මම ට්‍රෝජන් නාට්‍යයේ රංගනයටත් දායක වෙනවා. විශ්වවිද්‍යාලයේදී මට නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන්න අවස්ථාව හිමි වෙනවා. මේ දෙකම එකට ගමන් කරන්න.

වේදිකාවේ අත්දැකීම් ගැන කතා කළොත්?

වේදිකාවේ අත්දැකීම් ගැන කතා කරනකොට වේදිකාව කියන්නේ නළුවෙකුට හෝ, නිළියෙකුට හෝ, රංගනය සඳහා දායකත්වය ලබාදෙන රංගනවේදියකුට තියෙන හොඳම තෝතැන්න. රඟපෑම සඳහා අපට තිබෙන හොඳම පුහුණු මණ්ඩපය වේදිකාව. වේදිකාව කියල කියන්නේ සජීවි මාධ්‍යයක්. අපි ගත්තොත් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට ඒක අපට සංස්කරණයේදී හෝ නැවත නැවත රූගත කිරීම් කරල හෝ නිවැරැදි දේ ගන්න පුළුවන්. නමුත් වේදිකාවේ අපට ඒ දේ කරන්න බෑ. දීර්ඝ කාලීනව අපි කරපු පුහුණුවීම් පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරන්න ඕන. මෙතනදි අපට බොරු කරන්න හරි අමාරුයි. වේිදිකාව මම දකින්නේ අපට බොරු කරන්න බැරි මාධ්‍යයක් විදියට. වේදිකාවේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන අය දක්ෂයෝ කියල මම විශ්වාස කරනවා. ඒක අපිට පිළිගන්න සාක්ෂි, සාධක ඕන තරම් දකින්න තියෙනවා. අපි ගත්තොත් අපි දකින විශිෂ්ට රංගන ශිල්පීන් බහුතරයක් රංගනයට ප්‍රවිෂ්ට වෙලා තියෙන්නේ වේදිකාවෙන්.

ෙවිදිකාවෙන් රංග කාර්යයට පිවිසෙන කෙනෙක් පුහුණු වීමක් ඇතුව තමයි එන්නේ. ඇත්තටම කියනව නම් වේදිකා රංගනය කියන්නේ හරිම අමාරු දෙයක්. ඒක කාටවත් අර්ථ දක්වන්න බෑ. පහසු, සරල කාර්යයක් කියලා. මම දකින්නේ ඒක තමයි අපහසුම කාර්ය විදිහට.

මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණු කෙනෙක්. ‘දාමිණී ටෙලි නාට්‍යයට වගේම ආනන්ද අබේනායකගේ ‘දෙයියෝ සාක්ෂි‘ ආරියරත්න ඇතුගලයන්ගේ ‘සූ සැට මායම්’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා. 2000 වර්ෂයේ දී ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂවරයෙක් ලංකාවට ඇවිත් විජය කුමාරතුංගයන්ගේ ඝාතනය පිළිබඳ වාර්තා චිත්‍රපටයන් නිර්මාණය කරනවා. එතකොට මම ‘සූ සැට මායම්’ රඟපාලා මාව සුනිල් විජේරත්න කියන කලා අධ්‍යක්ෂවරයා හඳුනාගෙන සිටියේ. ඔහුට මගේ පෙනුම සහ රංගනය මතක තිබිලා විජය කුමාරතුංගයන්ගේ වාර්තා චිත්‍රපටය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ චරිතයට මාව තෝරගන්නවා. ඇත්තටම එහි ලංකාවේ සම්බන්ධීකරණය සහ අධ්‍යක්ෂණයට හිටියේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්. මම ඒ අතින් බලනකොට හරිම වාසනාවන්තයි. එවැනි දේකට සම්බන්ධ වෙන්නට ලැබීම ගැන මේ අත්දැකීම් සමඟ වේදිකාවේදී අපි පේ‍්‍රක්ෂකයින්ට මුහුණ දෙන්නේ කොහොමද, කැමරාවට අපි කොහොමද මුණ දෙන්න ඕන කියන මේ මාධ්‍ය දෙක අතර වන වෙනස්කම් හඳුනා ගත්තා.

2011 වර්ෂයේ කියැංෂි නෝබු කියා ටිබෙට් ලාමාමරයෙකු වන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මුණ ගැහෙනවා. ඔහු ඊඩඥ ඛ්භන කියන චිත්‍රපටයට ඔස්කාර් සම්මාන දිනාගත්ත අධ්‍යක්ෂවරයෙක් ඔහු ලංකාවට ඇවිත් කළා ‘වරා’ කියලා චිත්‍රපටයක්. ඒක ඉන්දියානු පසුබිමකින් යුත් චිත්‍රපටයක්. නමුත් ලංකාවේ තමයි රූපගත කිරීම් කළේ. ඒකට මම දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. කුඩා චරිතයකින්. මේ විදියට තමයි මම වේදිකාව සහ කැමරාව අතර මගේ අත්දැකීම් ලබා ගත්තේ.

ලංකාවේ කලාව ඇසුරේ වැඩුණ ඔබ විදේශ ගත වෙන්න හිතුවේ ඇයි?

මම 2009 වසරේදී සම්බන්ධ වෙනවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකාධිපති‘ නාට්‍යයට. එහි මම ‘ඔල්ගා’ කියන ප්‍රධාන චරිතය කරනවා. මීට කලින් සුනේත්‍රා සරච්චන්ද්‍ර, ස්වර්ණ මල්ලවාරච්චි, මල්කාන්ති ජයසිංහ වැනි ප්‍රවීණ රංගන වේදිකාවෙන් කරපු චරිතයන්. මේ මම ප්‍රධාන චරිතයත් සඳහා සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. ඒක ලොකු අභියෝගය වුණ මට. මේක කරගෙන ඉන්න අතරතුර තමයි අපි ලංකාවෙන් එන්න තීරණය කළේ. කිසියම් කලකිරීම් සිදුනොවුණාමත් නොවෙයි. කලාවක් එක්ක ජීවත්වෙත්දි අනිත් අයට වඩා සියුම් සංවේදී මිනිස්සු අපි. යම් යම් හිත් රිදවීමුත් තිබුණා. ඉතින් අපි තීරණය කළා විදේශ ගත වෙන්න. මොකද ඒ වන විට මගේ අයියත් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් හිිටියේ. ඉතින් ආයුබෝවන් කියලා ආවා. ඒක ඇත්තටම දුකක් තමයි. නමුත් කලාව කියන දේ අපට ජීවිතයේ කවදාවත් අත හරින්න බෑ. නළුවන් හෝ නිළියන්ගේ කලාකරුවන් කවදාවත් වයසට යන්නෙත් නෑ. ඒ නිසා මම ඒ ගැන දුක් වෙන්නෙත් නෑ.

ඔබේ පියා ලංකාවේ සිටි අති දක්ෂ සංගීතවේදියෙක් ඔහු ඇසුරේ ලද අත්දැකීම් හා මතකය කවරේද?

මගේ ජීවිතේ මතක් කරන්නම කැමැති සොඳුරුම කාලය මගේ පියා සමඟ ගත කාලය. මගේ පියා ලංකාවට හොඳ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක්. හැබැයි ඔහු අපේ ගෙදර තුළ සොඳුරු පියෙක්. බොහොම ආදරණීය සොඳුරු මනුෂ්‍යයෙක්. ඒ වගේ ආදරණීය බවක් මගේ පියාට තිබුණා. පියා ළගින් ඇසුරු කළ බොහෝ දෙනෙකුත් ඒක පිළිගන්නවා. ඔහු ගුරුවරයෙක්. කොළඹ මහානාම විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා. ඒ මතකය ඉතාම සොඳුරුයි. ඔහුගේ නිර්මාණ කටයුතු කරනකොට කොයි විදියට අපි ඒ දිහා බලල සතුටු වුණේ කියල තාම මතකයි. ඔහු පුන්සඳ රෑට ගීතය හදලා දවසක් රෑ මට අහැරවලා කිව්වා මේක අහල බලන්න කියලා. ඔහුගේ පළවෙනි රසිකාව වුණේ මමත්. අයියාත්, මගේ අම්මත්, අදටත් මට මතකයි ඒ තනුව අහල මම කොච්චර පුදුම වුණා ද කියලා. මම ඉක්මනට ගිහින් අම්මවයි, අයියවයි ඇහැරවලා ඒ දෙන්නටත් රසවිඳින්න දුන්නා. ඔස්ටින් මුණසිංහ කියන සංගීතවේදියා කොයිතරම් රසබර නිර්මාණ බිහි කළාද, ඒ පසුපස සිටියේ මගේ මව. අපේ ගෙදර සුන්දර පරිසරයක් තිබුණා. මගේ මවත් කොළඹ මහානාම විද්‍යාලයේම උපගුරුවරියක් විදියට සේවය කළා. මගේ අයියා ඉගෙන ගත්තේ කොළඹ මහානාම විද්‍යාලයේ. මම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. අපි සියලු දෙනාම ගෙදර හවසට එකතු වෙනවා. තාත්තා කොච්චර කාර්ය බහුල වුණත් ඔහු ගෙදරත් සමඟ තිබුණ සම්බන්ධතාවය අතහැරියේ නෑ. මට වයස අවුරුදු 19දී මගේ පියා නැතිවෙනවා. මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම සිදුවුණ දවස. නමුත් අපි ඔහුත් සමඟ ගත කරපු ඒ සොඳුරු කාලය කවදාවත් අපට අමතක වෙන්නේ නෑ.

ඔබේ සහෝදරයාත් පියා ගෙන් පසු ඒ උරුමය රැගෙන ගියා. ඔහු සමඟ ඔබේ අත්දැකීම් මොනවද?

මගේ සහෝදරයා වුණාට ඔහු මගේ හොඳම යාළුවා ඇත්තටම. අපේ ගෙදර පරිසරය අපිව හදපු විදිය තමයි ඒ. තාත්තා ගෙදර නාට්‍ය පිටපත් ගෙනත් තිබ්බම අයියයි මායි ඒක අරගෙන රඟපානවා. අදටත් අපි දෙන්නගේ ඒ බැඳීම ඒ විදියමයි. ඔහු ඉන්නෙත් මම ඉන්න මෙල්බර්න් අසලමයි. අයියගේ නිර්මාණ වලදි මමත් දායක වෙලා තිබෙනවා. ‘අරුන්දතී’ නාට්‍යය සඳහා මම ගායන වෘදයට සම්බන්ධ වුණා. ‘භයිනා’ කියන නාට්‍යයට ගායන වෘන්දයට සම්බන්ධ කර ගත්තා. තරංග දන්දෙනිය ගේ ‘අසනි වලාහක’ කියන නාට්‍ය නිර්මාණයේ ගායන වෘන්දයට මම සම්බන්ධ වෙනවා. බොහොම මෑතකදි මෙල්බර්න්වල පැවත්වුවා. ජයලත් මනෝරත්නයන්ගේ ජන්ම දිනය සඳහා ‘මනෝරංග ගී’ කියල ප්‍රසංගය මගේ සහෝදරයා තමයි ප්‍රධාන වෙලා භානුක මනෝරත්න සමඟ එකතු වෙලා ඒක කළේ. ඒකටත් මම රංගනයන් දායකත්වය ලබා දුන්නා.

ඔබ දෙදෙනාම දැන් ජීවත් වෙන්නේ විදේශ යක .ලංකාවේ කලාව ඇසුරේ සිටියානම් කියා හිතෙන්නේ නැත්ද?

ලංකාවේ කලාව ඇසුරේ හිටියානම් හොඳයි කියලා හිතෙනවා. මගේ පුද්ගලික අදහස නම් ලෝකේ කොයි රටක හිටියත් කලා කටයුතු කරන්න බාධාවක් නෑ කියලයි. අපි මේ රටේ ජීවත් වුණත් කෙනෙක්ගේ මුල් නැති කරන්න බෑනේ. මගේ පියාගේ නිර්මාණ කටයුතු වල මුල් ඇදපු තැන තමයි ලංකාව. අපි දැන් අපේ නිර්මාණ කටයුතු හෙමින් හෙමින් ආරම්භ කරගෙන යන නිසා ඒ දුකත් අඩුවෙමින් යනවා. මම මගේ හිත සතුටුවන ආකාරයේ කලා නිර්මාණ කරමින් පසුවෙනවා.

ඔබ දැන් කලාවෙන් පරිබාහිර වෙනත් වෘත්තිය ක නියැළිලාද ඉන්නේ?

ගුරු වෘත්තිය කියන දේ මම පරපුරෙන් ලැබුණු දෙයක්. මගේ පියා මගේ මව දෙන්නම ගුරුවෘත්තියේ නියළුණා. මම ලංකාවේ ඉන්න කාලේ රෝයල් ඉන්ස්ටිටියුට් හි ගුරුවරියක විදියට සේවය කළා. මේ රටට ආවට පස්සෙත් ගුරු වෘත්තියේ තමයි නියැළිලා ඉන්නේ.

ඉදිරි බලාපොරොත්තු හා ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?

තව ගීතයත් සූදානම් වෙලා තිබෙනවා. හඬ පටිගත කිරිම් කරන්න ඉතුරු වෙලා තියෙනවා. තව ගීත කීපයක් කරන්න සූදානම් වෙනවා. ලබන අවුරුද්දේ මෙල්බර්න්වල ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

 

හේමාලි විජේරත්න