වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
දුව නිහාරි ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතයට වසර 30ක් පුරාවට ජීවය දෙන නිහාරි සෝමසිරි වික්‍රමාරච්චි නම් රංගන ශිල්පිනිය, ගායිකාව පිළිබඳ සුන්දර මතකාවර්ජනයක යෙදීමට ඇගේ ආදරණීය මව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ සරල ගී ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන ලාලනී සෝමසිරි මහත්මිය සරසවිය හා අදහස් දැක්වීමට මෙසේ එක්වූවාය...
ඔබත් ළමා ගී මණ්ඩපයෙන් කලාවට පැමිණි ගායිකාවන් නේද...?
ඔව්, මමත් දුව වගේම ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්. මම කලා ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 12දී. ඒ වයසේදී ශ්‍රීලංකා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයට බැඳුණා. ඒ කාලයේ කරුණාරත්න අබේසේකර, මඩවල එස්. රත්නායක වගේ දැවැන්තයන් ළමා මණ්ඩපයේ හිටියා. ළමා මණ්ඩපයේ අවුරුදු 16වෙනකල් ඉන්න පුළුවන්. අවුරුදු 16න් පස්සේ අපට සිදුවෙනවා ළමා මණ්ඩපයට සමුදෙන්න. ඒ කාලය වෙද්දී අපට සමුගැනීමේ ගීතයක් හදලා දෙනවා. ඒක හදලා දුන්නෙත් කරුණාරත්න අබේසේකර මහත්තයා. ඒ සමුගැනීමේ ගීතය ගායනා කරලා අපි ළමා මණඩපයෙන් සමුගන්නවා.
ඔබේ මුලින්ම සරල ගී ගායනයට ආවේ මනා හැදෑරීමකින් යුතුව බව පෙනෙනවා...?
1966දී ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් පසුව ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් විදිහට සමත් වුණා. විරිදු, නුර්ති ගායනා කරන්නත් තිබුණා..ඒවාත් මම හොඳටම කළා. බාත්කණ්ඩේ විභාගයත් කළා. ඩිප්ලෝමාවත් සමත් වුණා. ඒවගේම මම ළමා මණ්ඩපයට එන්න කලින් ‘ආධුනික පැය’ කියලා වැඩසටහනකටත් හිටියා අවුරුදු 10දී වගේ. කොහොමහරි හොඳ හැදෑරීමකින් පසුව සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණා. මුල්ම සරල ගී වැඩසටහන සජීවීවයි ඉදිරිපත් කළේ. ඒ 1967 දෙසැම්බර් මාසයේ එය පැවැත්වුයේ. සංගීත අංශයෙන් මම ඒ වගේ දුරක් ආවා.
ඔබ විශිෂ්ට නාට්‍යවේදීන්ගේ ආභාසය ලබාගෙන වේදිකා නාට්‍ය කලාවටත් එක්වී තිබෙනවා. ඒ අතීතයට යළි ගියොත්...?
ඒ අතීතය හරිම සුන්දරයි. ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ නාට්‍යයේ රඟපාමින් ගායනය කළා. නාට්‍යය පටන්ගන්න කලින් ගායනය තිබ්බේ. ඒවගේම ඔහුගේ ‘සඳකිඳුරු, දේවතා එළි’ නාට්‍යවලටත් සම්බන්ධ වුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ නාට්‍යවලත් මම හිටියා.
ඔබේ සැමියාත් කලාවට සම්බන්ධයි නේද...?
ඔව්, ඔහු නමින් අතුල සෝමසිරි. ඔහුත් මාත් එකට තමයි නාට්‍යවලට ගියේ. එයා මට වඩා නාට්‍යවල හිටියා. නාමෙල් වීරමුනිගේ නාට්‍යවල එයා රඟපෑවා. ප්‍රේමා ගනේගොඩ, ටෝනි රණසිංහ වගේ දැවැන්ත චරිත එක්ක ඔහු රඟපෑවා. අපි දෙන්නම තමයි ගායන වැඩසටහන්වලටත් යන්නේ. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ නාට්‍යවලත් හිටියා. අවුරුදු 60ක් වගේ ඔහු ගායනය කළා. ඔහු සිරි අයියාගේ ළමා පිටියෙන් ආවේ. හිටපු ඇමැති ලක්ෂ්මන් ජයකොඩි නිෂ්පාදනය කළ දයානන්ද ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ ‘පද්මාවතී’ නුර්තියේත් ඔහු ගායනයට සම්බන්ධ වුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ නාට්‍යවල සංගීතය අධ්‍යක්ෂණය කළේත් මගේ සැමියායි. ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්...
නිහාරි සෝමසිරි ඔබේ දියණිය කලාවට සම්බන්ධ වූ ඒ අතීතය මවක් විදිහට යළි ගියොත්...?
දුව පාසල් යන කාලයේ ඉඳන්ම නර්තනයට, ගායනයට දක්ෂයි. එයා පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. සමස්ත ලංකා නර්තන තරගවලට, විවාද තරගවලට වගේම පාසල් නාට්‍යවලටත් හිටියා. සංගීතය විෂයයක් විදිහට ඉගෙනගත්තේ කරුණා ජයසිංහ කියන ගුරුතුමියගෙන්. පාසලෙන් අස්වෙන තෙක්ම දුව පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
නිහාරි දියණිය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍යවලට සම්බන්ධ වුණු මුල් අවධිය සිහිකළොත්...?
දුවට අවුරුදු 10 වගේ කාලයේදී ලයනල් වෙන්ඩට් එකේ නාට්‍ය පුහුණුවීමකට ගියා. ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ නිහාරිගේ තාත්තාගේත් හිතවතෙක්. ඔහු ච්ප: සරච්චන්ද්‍රට කියලා තියෙනවා දුවක් ඉන්නවා එයාට අවස්ථාවක් දෙමු කියලා. ඒ වෙලාවේ ච්ප: සරච්චන්ද්‍ර දුවට සින්දුවක් කියන්න කියලා. එවෙලේ ඇය ළමා ගීයක් ගායනා කරලා, ඒක අහලා මෙයා හොඳයි කියලා ච්ප: සරච්චන්ද්‍ර ‘වෙස්සන්තර’ නාට්‍යයට දුවව සම්බන්ධ කරගෙන තියෙනවා. අමරදේව මහතා තමයි එය සංගීතවත් කළේ. වෙස්සන්තර නාට්‍යයේ ජාලිය කුමාරයාගේ චරිතයට නිහාරි දුවව ගත්තේ. ක්‍රිෂ්ණජිනාට හිටියේ ච්ප : සරච්චන්ද්‍රගේ දුවක් වෙන යශෝධරා සරච්චන්ද්‍රවයි. වෙස්සන්තර නාට්‍යය දුව අවුරුදු 5ක් 6ක් විතර එකදිගට කළා.
ඔබේ දියණිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ ‘සුප්පාදේවි’ ගේ චරිතයට වසර 30ක් තිස්සේ ජීවය දීම සුවිශේෂී සිද්ධියක්...?
ඔව්, ඇය සුප්පාදේවිය ලෙස ච්ප: සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ නාට්‍යයේ අවුරුදු 30ක් අඛණ්ඩව රඟපෑමම සුවිශේෂත්වයක්. ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ ගෞරව සම්මානයකුත් එක්ක උපහාර උලෙළක් එයා ඉගෙනගත්‍ත සහ දැන් උගන්වන පාසල වන නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් පැවැත්වුවා..
නිහාරි සෝමසිරි ‘සුප්පාදේවිය’ වුණේ කොහොමද....?
දුව ච්ප: සරච්චන්ද්‍රගේ ‘වෙස්සන්තර’ නාට්‍යය අවුරුදු 06ක් විතර කළානේ. ඊටපස්සේ ඇය තරුණ වයසට ආවම ඒ නාට්‍යය නැවතුණා. සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවි විදිහට අවුරුදු 30ක්ම ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී රණසිංහ රඟපෑවා. එයා ඒ රංගනයෙන් සමුගත්තාට පස්සේ නිහාරිට ඒ චරිතය ලැබුණා. ඇයට මේ චරිතය කරන්න කියලා ච්ප: සරච්චන්ද්‍ර මුලින්ම කිව්වම දුව ටිකක් අදිමදි කළා. දුව ච්ප: සරච්චන්ද්‍රට මාමා කියලා කියන්නේ. “මට මේක කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ මාමේ” කියලා දුව කිව්වා. එතකොට ච්ප: සරච්චන්ද්‍ර “නැහැ, නැහැ ඔයාට පුළුවන්” කියලා දුවව දිරිමත් කළා. ඒ අවස්ථාවේ ආරම්භ කළ සුප්පාදේවියගේ චරිතය අද වෙනතෙක් මගේ දුව එක දිගට අවුරුදු 30ක්ම කරගෙන ආවා.. ඒ වගේ නිර්මාණයක ඒ වගේ චරිතයක් අවුරුදු 30ක් එකදිගටම කරගෙන ආව එක ගැන මට ඇත්තටම දුවගේ අම්මා විදිහට හරිම සතුටක් ඇතිවෙන්නේ...
නිහාරි දියණියට ඉන්පසු වේදිකාවේ විශිෂ්ට නිර්මාණකරුවන් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා නේද....?
‘සිංහබාහු’ අද වෙනකල් දුව රඟපානවා. ඒ අතර ච්ප: සරච්චන්ද්‍ර කළා ‘පේමතෝ ජායතී සෝකෝ’, ‘ලෝමහංස’ නාට්‍ය දෙක. ඒ දෙකේම ප්‍රධාන චරිතය දුවට ලැබුණා. නිශ්ශංක දිද්දෙණිය, ජැක්සන් ඇන්තනි වගේ පිරිසක් එක්ක දුවට රංගනයේ යෙදෙන්න වාසනාව ලැබුණා. සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය කළේ ජයශ්‍රී චන්ද්‍රජිත්. සිංහබාහුගේ චරිතය කළේ නිශ්ශංක දිද්දෙණිය. නාමෙල් වීරමුණි මහතාගේ ‘විදුර’ නාට්‍යයේත් දුව දැනටත් රඟපානවා . හෙන්රි ජයසේන මහතාගේ ‘ජනේලය’නාට්‍යයේත්, කිංස්ලි ලෝස් මහතාගේ ‘හංසයින්ගේ නවාතැන’ නාට්‍යයේත් දුව රඟපෑවා. ඒ වගේ වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයන් රැසක් සමඟ වැඩ කරන්න දුවට අවස්ථාව ලැබුණා. ඔවුන්ගෙන් දුව බොහෝදේවල් ඉගෙනගත්තා. විශ්ව විද්‍යාලයකින් ලබන්න බැරිතරම් අධ්‍යාපනයක් නිහාරි දුව ඒ දැවැන්තයන්ගෙන් ලැබුවා...ඊට අමතරව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා කිහිපයකටත් දුව සම්බන්ධ වුණා. කේමදාස පදනමේත් ඇය ක්‍රියාකාරීව කටයුතු කළා. කේමදාස මාස්ටර්ගේ හැම වැඩකටම වගේ දුව හිටියා.
ලලිතා සරච්චන්ද්‍ර මැතිනියත් දුවගේ රංගනය පසුපසින්ම ඉඳන් සහය දෙන බවක් පෙනෙනවා ...?
ඔව්, ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය මගේ නිහාරි දුවට හරිම ආදරෙයි. එතුමිය දුවට හරියට උදව් කරනවා. අම්මා කෙනෙක් වගේ දුවව උනන්දු කරවනවා. ඒ වෙනුවෙන් එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕන.
දුවට කුඩා කාලයේ සිටම පවුලේ කලා ආභාසය ලැබීම ඇගේ ගමන සාර්ථකත්වයට හේතුවක් වෙලා නේද...?
ඔව්, අපේ පවුලම කලා පවුලක් කිව්වොත් හරි. මම කලින් කිව්වා වගේ මම ළමා පිටියෙන් ආව ගායිකාවක්. මගේ සැමියා නිහාරිගේ තාත්තා ගායනය හොඳීන් හැදෑරුවා. ඒවගේම රඟපෑමත් කළා. ගෙදර පරිසර පසුබිමත් නිහාරිගේ මේ ගමනට බොහෝසෙයින් ඉවහල් වුණා. අමරදේව මහතා නිහාරිගේ තාත්තාගේ ගුරුවරයා. ඔහු ෂෙල්ටන් පෙරේරා වගේ පිරිස ඒ කාලයේ නිතරම අපේ ගෙදර එනවා. සින්දු කියනවා, තබ්ලා ගහනවා. දුවට ඒ ආභාසය ස්වාභාවිකවම ලැබුණා කිව්වොත් හරි. ඒවා දැකලා ඇය දිගටම සංගීත අංශයටම යොමුවුණා. නර්තනය හැදෑරුවා. දුවට ගායනයට, වාදනයට අමතරව ස්වර ලිපි ලිවීමේ හැකියාවත් තියෙනවා. එයාගේ තාත්තාටත් ඒ හැකියාව හොඳටම තිබුණා.
නිහාරි සෝමසිරි වික්‍රමාරච්චි නමැති ගායිකාව ගැන සඳහන් නොකළොත් අඩුවක් කියා මට හිතෙනවා...
ඇයත් මම වගේම ගුවන්විදුලි සරල ගී ගායිකාවක්. ළමා පිටියේ සිටියා. සරල ගී පරීක්ෂණයෙනුත් ඇය සමත් වුණා. ඒ වගේම චිත්‍රපට කිහිපයකටම ගායනයෙන් ඇය සම්බන්ධ වුණා. ‘සුදෝ මං ආදරෙයි’ ගීතයේත් කෝරස් එකට ඇය හිටියා.
ඔබත් චිත්‍රපට කිහිපයක සමූහ ගායනයට එකතු වුණා.. මම හරි නේද...?
ඔව්, මම චිත්‍රපට 03-04ක සමූහ ගායනයට සම්බන්ධ වුණා. ‘රන්මුතුදූව, ඉඳුනිල, දහසක් සිතුවිලි, හතර මහා නිධානය, හන්තානේ කතාව’ වගේ චිත්‍රපටවල සමූහ ගායනයට මම එකතු වුණා.
ඔබට ගායිකාවක් ලෙස ඉස්මතු වෙන්න බලපෑ ගීත රචකයන් ගැන මතක් කළොත්...?
ප්‍රියානන්ද විජේසුන්දර විශේෂයි. ඔහු මුලින්ම මට තමයි ගීත ලිව්වේ. ඒවගේම සුනිල් සරත්, ඩෝල්ටන් අල්විස්, ආචාර්ය අජන්තා රණසිංහගේ, සරත් විමලවීර, ප්‍රීති රන්දෙණිය වගේ පිරිස මට ගීත ලිව්වා.
ඔබ සම්මානයට පාත්‍රවුණා...?
ගුවන්විදුලි සංස්ථාවෙන් මට සම්මාන 02ක් ලැබුණා. ඒ ගීත නිර්මාණය කර ඉදිරිපත් කිරීම වෙනුවෙන් සහ ළමා පිටියෙන් පැමිණි ගායිකාවක් වීම පිළිබඳත් සලකලා. ඒ වගේම කලාභූෂණ , සුවඳ පද්ම සම්මාන වගේම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙන් ලැබෙන ‘විශ්‍රාභිනන්දන’ සම්මානය වගේම ගම්පහ දිවිසෙත සංවිධානයෙන් උපහාර තිළිණයක් ද මට පිරිනැමුවා..
නිහාරිගේ පවුලේ පිරිසත් මතක් කළොත්...? එයාගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට රැකියාව කළේ. නිහාරියට සහෝදරයෙක් වගේම සහෝදරියක් ඉන්නවා. සහෝදරයා ධනංජය සෝමසිරි, ඔහු තබ්ලා වාද්‍ය ශිල්පියෙක්. නිහාරිගේ නංගී අමානී සෝමසිරි, එයා හින්දි භාෂා ගුරුවරියක්.මුළු පවුලම කලාවට සම්බන්ධයි. නිහාරිගේ සැමියා ගියාන් ඩයස්. ඔහු නීතිඥවරයෙක්. නිහාරිගේ දියණිය සනිති. නිහාරිගේ කලා කටයුතුවලට පවුලෙන් කිසිම බාධාවක් නැහැ. ඇගේ සැමියාත් ඇගේ කලා කටයුතුවලට උපරිම සහය දෙනවා...ඒ ගැන මට අවංකවම සතුටුයි.
මවක් ලෙස ආපසු හැරී බලද්දී නිහාරි දුව ගැන මොකද හිතන්නේ...?
අම්මා කෙනෙක් විදිහට මේ වගේ දියණියක් මෙලොවට බිහිකරන්න ලැබීමම සතුටක්.. ඒ ගැන අනේක වාරයක් සතුටුවෙනවා..මමත් කලාකාරිනියක්, ඒ වගේම මට පුළුවන් වුණා මගේම කුසෙන් තවත් කලාකාරිනියක් බිහිකරන්න...
මනෝජ් රුක්මල් කුමාරසිංහ