මම උත්සාහ කරන්නේ යහපත් නිර්මාණ මගේ යූ ටියුබ් චැනලය ඔස්සේ ලබාදෙන්නයි

නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ
අගෝස්තු 31, 2023

ප්‍රසිද්ධ වේදිකාව නිර්මාණකරුවකුට අප්‍රාමාණ වූ පන්නරයක් බව රහසක් නොවේ. වේදිකාව පදනම් කරගනිමින් නූතන සමාජ මාධ්‍ය දක්වා වූ සියලු සන්නිවේදන මාධ්‍ය සිය නිර්මාණ ජනගත කිරීමේ මාධ්‍ය කරගනිමින් නිර්මාණකරණයේ නියැළෙන නිර්මාණකරුවන් හමුවීම ද විරලය. පාසල් වේදිකාවෙන් ලද පන්නරය ඔස්සේ වර්ෂ 1976 සිට ඵළිමහන් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිස සිනමාව,රූපවාහිනිය ඔස්සේ සමාජ මාධ්‍ය දක්වා සිය නිසඟ නිර්මාණ හැකියා විහිදවූ ප්‍රකට නාට්‍යවේදියකු වූ අශෝක සෙනරත් මුදලිගේ සිය නිර්මාණ දිවියේ පෙළගැස්ම පිළිබඳ කළ කතාබහකි මේ.

 

ඔබේ නිර්මාණ දිවියේ ඇරැඹුම පිළිබඳ කතා කරමු.

මගේ නිර්මාණ දිවිය පටන් ගන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේමයි. අපේ පාසලේ නාට්‍ය සම්බන්ධ ගුරුවරයා වුණේ උපාලි අත්තනායක මහත්මයයි. හැබැයි එතුමා එවකට පාසලේ කටයුතු කළේ විද්‍යා ගුරුවරයා විදිහටයි. එතුමා ඒ කාලේ සමස්ත ලංකා මට්ටමින් නාට්‍ය හදද්දි මාවත් තෝරා ගන්නවා. මොකද මට රංගනය වගේම ගායනා හැකියාවත් තිබුණු නිසා. ඒ කාලයේමයි අපේ පාසලේ සරත් දසනායක මහත්මයා සංගීත ගුරුවරයකු ලෙස සිටියේත්. හැබැයි මගේ ලොකුම කැමැත්ත තිබුණේ නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය පැත්තෙන් යන්න. පාසලෙන් පිටවුණායින් පසු මුලින්ම වෙසක් නාට්‍යයක් (එකෝමත් එක රටක) කළේ. එහි රචනය අධ්‍යක්ෂණය කළෙත්් මමයි. පසුව අපි ඒ නාට්‍යයට දායකවූ කණ්ඩායම එක් වී සමිතියක් පිහිටුවා ගනු ලැබුවා. ශ්‍රී සුමනසාර ළමා සමාජය නමින්. මම එහි සහභාපතිත්වය දැරූ අතර ලේකම් ධුරය දැරුවේ දයාරත්න රටගෙදරයි. නිහාල් සිල්වා රංගන ශිල්පියකු ලෙස මුල්වරට වේදිකාවට පිවිසුණේ ඒ නාට්‍ය ඔස්සේමයි.

එදා ඵහි හඩ කැවීම් සඳහා සභාගි වුනේ ජයසේකර අපොන්සු, සොමී රත්නායක, ශ්‍රියාණි ෆොන්සේකා, පේ‍්‍රමසිරි කල්පගේ, ආනන්ද වික්‍රමගේ, සන්ධ්‍යා රඹුක්කනගේ, සෝමරත්න දිසානායක ආදී ප්‍රවීණයන්. ඵ් සියලු දෙනාටම වේදිකාව සමඟ විශාල අතීතයත් සහිතයි. ඒ කාලයේ ක්ෂේත්‍රයේ ඵකට වැඩ කළ අපේ සමකාලීනයන් බොහෝ දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් බොහෝ දෙනෙක් සිහිපත් කළ හැකියි. මම කිරුළපනේ නාට්‍ය කරද්දී මගේ මිත්‍ර අතුල රන්සිරිලාල් කළුබෝවිල සිටියේ. අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂ නිශාන්ත අල්විස් පාමංකඩ හිටියේ. ඔන්න ඔය වගේ තමයි ඒ කාලයේ අපි ක්ෂේත්‍රයේ එකට වැඩ කරමින් මේ ගමන ආරම්භ කළේ.

මගේ ප්‍රථම නාට්‍යය 'මෙහෙව් රටේ' කියන වේදිකා නාට්‍යයයි. එහි පිටපත රචනය හා අධ්‍යක්ෂණය කළේ මවිසින්. එය කෙටි නාට්‍ය තරගයකට ඉදිරිපත් කළ නාට්‍යයක්. ඒ තරගයේදි මේ නාට්‍යයට සම්මාන හයක් හිමිවුණා. හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, නිළිය හොඳම වේදිකා පරිපාලනය හා හොඳම වේශ නිරූපණය කියන අංශ වෙනුවෙන්. ඒ ඇගැයුම සමග ඒ කෙටි නාට්‍යය දීර්ඝ නිෂ්පාදනයක් විදිහට සකස් කරන්න මම පෙලඹුණා. එයත් ප්‍රථම වරට සිදු වූ දෙයක්. ඉන්පෙර ඵවැන්නක් සිදුවී තිබුණේ නැහැ. නිහාල් සිල්වා සහ සරත් පීරිස් යන දෙදෙනාම රංගනයට පිවිසියේ මෙම නාට්‍යය ඔස්සේයි. ඒ වගේම මගේ ප්‍රථම එළිමහන් නාට්‍යය වූ දේශද්‍රෝහියෝ නාට්‍යයත් (සිංහල පරංගි හටන පදනම් කරගෙන නිර්මාණය කළ.) ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් ලෙස රචනා කළා. මේ වනවිට නාට්‍ය දහහතරක් මා අතින් නිර්මාණ වී තියෙනවා. ඒ සමගම මගේ පහළොස් වැනි හා දහසය වැනි නාට්‍යවල කටයුතුත් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මගේ නාට්‍ය අතර ‘සිකුරුටි සින්නතම්බි’ නාට්‍යයත් විශේෂයි. මොකද නිහාල් සිල්වා මිය ගිය පසු ඔහුට උපහාරයක් ලෙස තමයි මම සිකුරුටි සින්නතම්බි නාට්‍යය කළේ.

 

සිනමාවට ඔබේ ප්‍රවිශ්ට වීම සිදු වුණේ කොහොමද?

නිශාන්ත අල්විස්ගේ ‘දොළොස්මහේ පහන’ චිත්‍රපටයෙන් තමයි සිනමාවට පිවිසීම සිදුවෙන්නේ. ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ප්‍රථම සහාය අධ්‍යක්ෂකවරයකු විදිහටත් සම්බන්ධ වුණා. විශේෂයෙන් ගාමිණි ෆොන්සේකා මහත්මයා හඳුනාගත්තේත් ඵතුමා සමඟ හොඳ සම්බන්ධයක් ගොඩනගා ගත හැකි වුණෙත් මේ ඔස්සේයි.

 

ඔබේ යූ ටියුබ් නාළිකාව පිළිබඳ කතා කරමු.

ඒ.ඉ.ර් කියන මගේ යූ ටියුබ් නාළිකාව 'කටහඬ මගෙන් රුව හඬ ඔබෙන්’ කියන තේමාව පදනම් කරගෙනයි පටන් ගන්න පෙළඹුණේ. එහිදී සිනමාවේ හා කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී සේම සමහර අවස්ථාවල බහුලව අවධානය යොමු නොවන අය සමඟ සාකච්ඡා කරන්න මම පෙළඹුණා. හැම වැඩසටහනකම සැලසුම, පිටපත, තියෙන්නේ මගේ මනසේ. මමමයි සියල්ල මෙහෙයවන්නෙ. මගේ පළමු වැඩසටහන කළේ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් රණසිංහ සමඟ. එය පටිගත කළේ චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ. එහි ඉදිරිපස පඩිපෙළ අසලින් වැඩසටහන පටන් ගෙන ඒ අතර ඵහි ආපණශාලාව තෙක් අපි කතා කරමින් ඇවිදගෙන ආවා. ඒ කතාබහ වගේම රූගත කිරීම් හැමදේම හරි අපූරුයි. මම කිසිම පිටපතක් වේලාසන ලියාගෙන සූදානම් වෙන්නේ නැහැ. සියල්ල තියෙන්නේ මගේ මනසේ.

කැමරාව හසුරුවන්නේත් මම. ඉතින් මට මගේ මනසේ ඇඳෙන අදහසට අනුකූලව වැඩසටහන පෙළගස්වා ගන්න හරි පහසුයි. ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත සේම කලාවට සම්බන්ධකම් දක්වන විවිධ පිරිස් මම මගේ යුටියුබය ඔස්සේ ජනතාවට මුණ ගස්වා තියෙනවා. නැරැඹුම් වාරගණන ගැන හිතනවාට වඩා මම නිතරම උත්සාහ ගන්නේ ගුණාත්මක වශයෙන් යහපත් නිර්මාණ මගේ යූටියුබ් චැනලය ඔස්සේ දෙන්නයි. ඒ.ඉ.ර් යූ ටියුබ් චැනලය තවම නව යොවුන් අවධියේ පසු වන්නේ. මාස අටක් සම්පූර්ණ වන මේ මොහොතේ ලබා ඇති රසික අවධානය පිළිබඳ විශාල සතුටක් තියෙනවා.

 

ඔබ වේදිකාගත කරන්න කටයුතු කර ඇති අලුත්ම වේදිකා නාට්‍යය පිළිබඳ කතා කරමු.

ඔව්. ‘මෙහෙව් රටේ පිස්සෝ’ තමයි මගේ පහළොස්වැනි වේදිකා නාට්‍යය. 50, 60, 70 දශකවල අවධානයට ලක්වූ කලාකරුවෙක්නෙ ඇල්.ඇම් පෙරේරා (විකට නළු) කියන්නේ. ඔහුගේ පුතකු වන චතුර පෙරේරා මෙහි ප්‍රධාන චරිතය මෙහෙයවීමත් විශේෂ අවස්ථාවක් විදිහට දකින්න පුළුවන්.

 

ඔබේ සිනමා ආගමනය කුමන ආකාරයෙන්ද සිදුවෙන්නේ?

තිර පිටපත් රචනයට මගේ ලොකු නැඹුරුවක් තියෙනවා.කොරෝනා සමයේ තිර පිටපත් හතරක් රචනා කළා. ඒ අතරින් කොරා සහ අන්ධයා කියන පිටපත මේ වසරේ සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහි අධ්‍යක්ණ කටයුතුත් මා විසින්මයි සිදු කරන්නේ. මගේ අනිත් පිටපත ‘මා නිසා ඔබ’ කියන නිර්මාණයට පාදක වූ කතාව සංවේදී ප්‍රේම කතාවක් ලෙස දිග හැරෙන නිර්මාණයක්. අනෙක සංගීතය හා සම්බන්ධ කතාවක්. ඒ නිර්මාණ හැම එකක්ම ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විශේෂයෙන් කොරා හා අන්ධයා චිත්‍රපටය මේ වර්ෂයේ කරන්න සූදානම්.

 

එදා සහ අද කලා ක්ෂේත්‍රයේ වෘත්තිය පසුබිම පිළිබඳ ඔබේ අදහස මොන වගේද?

වෘත්තීය ගෞරවය පිළිබඳ හැඟීම එදා ඉහළින්ම තිබුණා. ඒ ඒ වෘත්තිය අනන්‍යතාවන්ට ගරු කළා.විනයානුකූලව රාජකාරියේ යෙදුණා. එය බෙහෙවින් අගය කළ යුතු දෙයක්. අද පරපුර මේ කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම ගොඩක් වැදගත්. හැම කෙනෙකුම තමාගේ වෘත්තීය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.යන්තම් අත පත ගෑ පමණින් අපට හැමදේම හරියට කරන්න බැහැ. කලාව ගෞරවනීයයි. ඒ වගේම හරියාකාර අවබෝධයක් ඇතිව කළයුතුයි. මේක තමයි නූතන පරපුර හිතට ගතයුතු වැදගත් ම දේ. කැපවීම, දැනුම, විනය මේ සියල්ල අවශ්‍යයි. ඒවා පෙර පරපුරේ මැනවින් තිබුණා.

 

ප්‍රවීණ රංගනවේදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සිහිපත් කරමින් කළ අනුස්මරණ වැඩසටහන පිළිබඳත් කතා කරමු.

ඔව්. එතුමා මිය මියයන්න වසර දෙකකට පෙර ‘සිනෙ තරු තොරතුරු’ නමින් කළ වැඩසටහන බොහෝ පිරිසකගේ අවධානයට යොමු වුණා. සුමති සම්මාන උලෙළේ දි ඒ වෙනුවෙන් සම්මානයක් පවා හිමි වුණා. දෙදහස් දාහතර වර්ෂයේ හොඳම සඟරාමය වැඩසටහන යටතේ. ඉදිරිපත් කරන්නකු නැතිව ප්‍රවීණ රංගනවේදි ගාමිණි ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගි වී කළ ඵ් වැඩසටහන නිෂ්පාදනය කළේත් මමයි. ඒ වැඩසටහනට වෙනුවෙන් එතුමා විශාල සහයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැහැ. ඒ ආදර්ශය සුවිශේෂ. රූපවාහිනී වැඩසටහනක් ලෙස මේ වැඩසටහන මම ච්ඍච් තැටියකට ගන්නත්, පොතක් ලෙස රසිකයාට ඉදිරිපත් කරන්න පියවර ගත්තා. විශේෂම කාරණය වන්නේ ගාමිණී, මාලිනී, මහාචාර්ය සුනිල් ආරියරත්න ත්‍රිත්වය සහභාගි වූ වැඩසටහනක් අධ්‍යක්ෂණය කරන්න ලැබීම, නිෂ්පාදනය මෙන්ම තිර පිටපත රචනා කරන්න ලැබීම මගේ කලා දිවියේ ලද වටිනාම අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. ඵ් වගේම වසර 10ක් පුරා මම එතුමාගේ අනුස්මරණය වෙනුවෙන් ලේ දන්දීමේ පින්කමක් පවත්වනු ලබනවා. මෙවර දසවැනි වතාවටයි මා එය සංවිධානය කරන්නේ. ඵසේම එතුමාට ඇති ඉමහත් ගෞරවය හේතුවෙන් මෙය මා කරන්නේ. ඊට අමතරව මේ දිනවල මගේ කලා කටයුතු, නාට්‍ය වැඩ කටයුතු හා ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ අවධානය දෙමින් කටයුතු කරනවා.

 

[email protected]