සෙක්කුවෙන් පිළිබිඹු වූයේ අනාගත දැක්මක්

ප්‍රවීණ නාටවේදීපරාක්‍රම නිරිඇල්ල
මැයි 18, 2023

රාළේ බැඳපන් කිරි පුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා

මේ නාට්‍යය ගීතය නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. වසර හතළිස් පහකටත් වඩා කලක් පුරා නාට්‍ය රසික පරම්පරාවල මෙන්ම සාමාන්‍ය ජන මනසේ රැඳුණු එය පරාක්‍රම නිරිඇල්ල නම් වූ සම්මානනීය, ජ්‍යෙෂ්ඨ, සිනමා, ටෙලි නාට්‍ය හා නාට්‍යවේදියාගේ කුලුඳුල් වේදිකා නිර්මාණය වන සෙක්කුව නාට්‍යයේ ගීතයක් බව රහසක් නොවේ. 1976 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම පිටපත, අධ්‍යක්ෂණය, සංගීතය ඇතුළු සම්මාන හතකට හිමිකම් කියන්නට සමත් වූ එය මගේ ජීවිතයට ද බෙහෙවින් සම්බන්ධය. ඒ එහි සංගීතය මා පියාණන් වන සැම්සන් සිල්වා විසින් නිර්මාණය කළ බැවිනි. ඒ අවියෝජනීය සම්බන්ධය නිසාම සෙක්කුව හතරවැනි වරටත් නව නිෂ්පාදනයක් ලෙස එළි දක්වන බව සරසවිය පාඨකයන් වෙත දැනුම් දෙන්නට හැකිදැයි නිරිඇල්ලයන් මගෙන් විමසන්නේ දෛවෝපගත මොහොතකය. ඒ මා සුබසෙත පුවත්පතේ කතුවරිය ලෙස වැඩ බාරගන්නා අස්සන තබන අවස්ථාවේමය. මැයි 26 වැනිදා සවස එල්ෆින්ස්ටන් හි දර්ශන වාර දෙකක් ලෙස ප්‍රදර්ශනය කෙරෙන ‘සෙක්කුව’ නාට්‍යයේ හතරවැනි නිෂ්පාදනය පිළිබඳ මේ නව පණිවිඩය රසිකයන් වෙත ගෙන ඒමට සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර සොයුරාගේ පූර්ණ අනුමැතියෙන් පරාක්‍රම නිරිඇල්ලයන් සමඟ මෙසේ කතා බහක යෙදුණෙමි.

සෙක්කුව නිර්මාණය වන්නට පදනම වැටුණේ කොහොමද?

මම ලයනල් වෙන්ඩ්ට් රංග මන්දීරයේ නාට්‍යකරණය පිළිබඳ හදාරමින් ඉන්න අතර වීදි නාට්‍ය පිළිබඳ උනන්දුවක් ඇති වුණා. ඒ කාලෙ ගාමිණි හත්තොට්ටුවේගම සර් කළ වීදි නාට්‍ය තුනකට මම ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. රජ දැක්ම, බෝසත් දැක්ම සහ මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද? කියන ඒ නාට්‍ය විවිධ රංග භූමිවල රඟ දැක්වූවා. පිරිස රඟපාද්දි, මිනිස්සු නාට්‍ය බලන්න රැස්වෙද්දි එතැන ඉබේම රංග භූමියක් හැදෙනවා. රංග ශාලාවට මුදල් දෙන්න අපහසු අයට නාට්‍ය බලන්න අවස්ථාව සලසා දෙන්න අවශ්‍ය නිසා අපි සම්මත නාට්‍ය රටාවෙන් වෙනස් වෙලා, විථි නාට්‍ය කළේ. ඒ වෙද්දි හත්තොට්ටුවේගම සර්ටවත්, මටවත් දේශපාලන, සමාජ, ආර්ථික අර්ථයක් එයින් මතු කරන්න අවශ්‍ය නොවුණත් සමාජයේ මතවාදී වෙනසක් කළ යුතුය යන්න හිතේ තිබුණා. අප දෙදෙනා අතර ගිවිසා ගැනීමක් තිබුණා සම්මත වේදිකාවෙන් බැහැරව නාට්‍ය කළාට, එහි වටිනා ස්වභාවයන්, සෞන්දර්යය, ශිල්ප ක්‍රමවේද වගේම වේදිකා විනය ආදි අහක දැමිය නොහැකි දේ අප රැකගෙන යා යුතුයි කියලා. නැත්නම් අප ජනතාව අතරට නාට්‍ය ගෙනයනවා කියලා කරන්නේ බොරුවක්. උදාහරණයක් විදිහට ඒ කාලේ වීදි නාට්‍යවල ගීත ගැයුවේ බිම බලාගෙන. එවැනි අඩුපාඩුකම් දුටු නිසා සෙක්කුව මම හැදුවේ වීදි නාට්‍යයක් වුවත් අපේ සොකරි, කෝලම් නාට්‍යවල කවිවල විරිත්, ජන කවිවල විලාසය ඇසුරින් නිරීක්ෂණය කර, රඟපෑමත් ඒ වගේ ලස්සනට කරගෙන යන විදිහට.

 

වීදි නාට්‍යයක් ලෙස ඇරැඹුණු සෙක්කුව ප්‍රොසීනියම් වේදිකාවට ආවේ?

ලස්සනට නාට්‍යය කරගෙන යද්දි නළු නිළියන්ට, වාදක මණ්ඩලයට, ගායක ගායිකාවන්ට ගෙවීමක් කරන්න අවශ්‍ය වුණා. ලංකාවේ වෘත්තීය සමිති ආදියට මම දැන්වූවා වැඩ කරන ජනතාවට මෙය පෙන්වන්න උදවු කරන්න කියලා. ඒත් ලැබුණු ප්‍රතිචාර අවම වුණ නිසා පස් වතාවක් විතර තමයි වීථි නාට්‍යයක් ලෙස මෙය රඟ දක්වන්න හැකි වුණේ. ඊට පස්සේ එය ක්‍රමයෙන් සම්මත වේදිකාවට ම ඇදිලා ගියා. ඒ කොහොම වුණත් නාට්‍ය පිටපත, අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, සංගීතය වැනි ප්‍රධාන සම්මාන සහ රංග කුසලතා ඇතුළු සම්මාන හතක් එවර රාජ්‍ය නාට්‍ය උලෙළෙදි මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මුල්ම නාට්‍යය වන සෙක්කුවට දිනා ගන්න හැකි වුණා.

 

එස්. ජී. පුංචිහේවාගේ ‘සෙක්කුව’ කෙටි කතාව ඔබට මෙහි වස්තුබීජය සැපයුවා. ඒ වගේම සෙක්කුව නාට්‍යය කවදත් එක සේ රසවිඳීය හැකි තේමාවකින් නිර්මිතයි?

මගේ නාට්‍ය කලාව ආරම්භ වන්නේ 1974 ඉඳන්. එදා සිටම කාලත්‍රයටම ගැළපෙන නාට්‍ය කලාවක් මම ඉදිරිපත් කළේ. 76 වසරේ එදාට අදාළ වර්තමානය සහ අනාගතය සෙක්කුවෙන් පෙනුණා. ඉන්පසු දෙවතාවක් මෙය නිෂ්පාදනය කළා. ඒ 1998 වසරේ සහ පසුව ජනකරළියෙන්. මම විශ්වාස කරන විදිහට සෙක්කුව නිර්මාණයෙන් මම බලාපොරොත්තු වූ නියම සාධාරණය ඉටු වුණේ ජනකරළිය ප්‍රේක්ෂාගාරය තුළදි. හැබැයි ඒ 2009 වන විට සෙක්කුව මුල් නිෂ්පාදනයෙන් වසර ගණනාවක් ගත වෙලා. කොහොම වුණත් මයිසූර්වල රංගායන අන්තර්ජාතික නාට්‍ය උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරියුම් ලබමින් මට සෙක්කුව එහි ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණා.

හතරවැනි වතාවට නිෂ්පාදනය කරද්දි ඒ කාලේ දුටු ආනාගතයට වඩා බොහෝ වෙනස් කාලයක් පැමිණ තිබෙන බැවින් පිටපතත් ඒ අනුව වෙනස් වෙන්න ඕනෙ.

 

මොනවාද සිදු කළ නව වෙනස්කම්?

නාට්‍යයේ ස්වභාවය වෙනස් නිසා වගේම පිටපත සංශෝධනය කළ නිසා අවසානය වෙනස් වුණා. කවි ගීතවල රටාවත් වෙනස් කළා, ප්‍රොසීනියම් රංග භූමියට ගැළපෙන විදිහට අලුත් ආරකට නාට්‍යය ගන්න ඕනෙ නිසා. මොකද ඉදිරියේදී ප්‍රොසීනියම් රංග වේදිකාවෙන් බැහැර වන්න විදිහක් නෑ. ඒ වගේම කලින් නළුවන් විසින් කළ චරිත මෙවර නිළියන් විසින් ඉදිරිපත් කරනවා. මුල් නිෂ්පාදනයේ එච්. ඒ. පෙරේරා කළ පූරක භූමිකාව සුබුද්ධි ලක්මාලි නිරූපණය කරනවා. මෙහි මුල් නිෂ්පාදනයේ කාන්තාවන් සිටියේ ගායක කණ්ඩායමට පමණයි. ඒත් පූරක චරිතය පිරිමි විසින්ම කළ යුතුයි කියා මතයක් ලෝකෙ නෑ. එවන් චරිත කාන්තාවන් නිරූපණය කරන විට අපූර්වත්වයක් තිබෙනවා. ලින්ටන් සේමගේ සහ සරත් අමරවංශ කළ ගොනුන් දෙදෙනා වන පැඟිරා හා පුස්සා චරිත ඉදිරිපත් කරන්නෙ නයන්තරා ද සිල්වා සහ දිල්හාරා ජයසිංහ. ගාමිණි හෙට්ටිආරච්චි කළ රාළගේ භූමිකාව බුද්ධික රණවීරත්, සැනට් දික්කුඹුර සහ හීනටිගල ප්‍රේමදාසකළ ගෝලපාලගේ චරිතය සමිත සුධීෂ්වරත්, අතුල වේරගොඩ හා නිමල් චන්ද්‍රසිරි කළ මහතැනගේ චරිතය සුනෙත් ශාන්තප්‍රියත් නිරූපණය කරනවා.

මුල් නිෂ්පාදනයේ එඩ්වඩ් ජයකොඩි, ග්‍රැන්විල් රොද්‍රිගූ, හිලේරියන් පෙරේරා, ටියුඩර් මීපුර, ඊඩ්ලි සිල්වා, සුභාෂිණී හෙට්ටිආරච්චි, යමුනා සමරසිංහ, අශෝකා ජයසූරිය, පෙම්සිරි පෙරේරා වැනි අයගෙන් සමන්විත වුණු ගායන හා වාදන වෘන්ද වේදිකාවට පැමිණියේ නෑ. ඒත් මෙහි වෘන්ද ගායනයට අමතරව තවත් දේ වේදිකාව මත සිදු කරනවා. ජීවන්ති පෙරේරා, තරිඳු වනිගසූරිය, උවිඳු අබේසූරිය, තිලිණ ධනුෂ්ක, තාරුකා මිරිස්සගේ ඒ සඳහා දායක වනවා. නව නිෂ්පාදනයේ රංග වින්‍යාසය කළේ බුද්ධික රණවීර. සිරිසේන සූරිආරච්චි එදා කළ මද්දල හා බෙර වාදනය නව නිෂ්පාදනයේදී බෙරවැයුම් නිර්මාණයක් ලෙස කරමින් වේදිකාවේ ඉදිරිපත් කරන්නේ ජිතේන්ද්‍ර විද්‍යාපති. දෙවැනි නිෂ්පාදනයේදී සංගීත අධ්‍යක්ෂණය කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි, ජනකරළියේ දීත් භාවිත කළේ ඒ සංගීතයමයි. මෙවර නව සංගීත නිර්මාණය රනවි අතුකෝරාල. ඒත් රාළේ බැඳපන් කිරිපුස්සා ගීතය අප මේ නිර්මාණයටත් ඇතුළත් කළා. ශබ්ද පරිපාලනය එම්. ශාරාෆ්, වේදිකා කළමනාකරණය එම්. ශෆ්රාස් සමඟ සුසිල් විජේසේකර, රංගාලෝකය රජිත ඇලලේවෙල, ඇඳුම් නිර්මාණය සෙව්වන්දි විතානගේ, අංග රචනය මුමේද හේවාවිතාරණ, ප්‍රචාරණ සැලසුම් සඳකඩ ප්‍රචාරණ, ප්‍රචාරණ වීඩියෝ එම්. ශාරාෆ් සහ තිළිණ ධනුෂ්ක, ප්‍රචාරණ ඡායාරූප රවී රණසිංහ සමඟ එම්. ශරාෆ්. සෙක්කුව නව නිෂ්පාදනය නිරෝෂ් කවිරත්න කරන අතර ඉදිරිපත් කිරීම ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය මඟින් කරන අතර රචනය සහ අධ්‍යක්ෂණය කරන්නේ මා විසින්මයි.

 

සෙක්කුව මේ මස 26 වැනිදා එල්ෆින්ස්ටන්වල ප්‍රදර්ශනය කෙරුණු පසු මුල් නිෂ්පාදනයේ වගේම ලංකාව පුරා ගෙන යන්න වුණොත් රංග ශාලාවල තත්ත්වය කෙසේ බලපායිද?

රංගශාලාවල නම් අඩුපාඩු එමටයි. සමහර ඒවායේ නේපථ්‍යාගාර නැත්නම් මේකප් රූම්වල වවුල් වසුරු සුද්දපවිත්‍ර කරන්න වෙන්නේ නළු නිළියන්ට. අපේ රටේ වෙනත් ප්‍රදේශවලට ගියාම නාට්‍ය රඟදැක්වීමේ පහසුකම් ඉතාම දුර්වලයි. හැට හැත්තෑව දශකවලත් දුෂ්කරයි තමයි. දෙනියාය පැත්තේ ගියාම රඟදක්වන්න වුණේ පාසලක. දිවුලපිටියේ චිත්‍රපට ශාලාවක. ඒවා රංගශාලා නෙවෙයි. මම මුලිනුත් කීවා වගේ නාට්‍යයක් රඟ දක්වන නිසා රංගභූමියක් බවට ඒවා ඒ වෙලේ පරිවර්තනය වෙනවා. එනිසා වේදිකා පිළිබඳ අඩුපාඩුව නම් දරාගන්න බැරි තරම්.

 

වසර හතළිස් පහකටත් පසු රංගශාලාවල ගැටලුව ඒ ආකාරයෙන්ම පැවතීමට හේතුව?

නාට්‍ය කලාව ගැන තිබෙන නොසැලකිලිමත්කම. ඒ අයට රවුන්ඩ් සවුන්ඩ්, එකෝස්ටික් වැනි ශබ්ද පරිපාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නෑ. ආලෝකකරණය පිළිබඳ දැනීමක් නෑ. අනුරාධපුරේ පාසලකට ගියාම ශාලාවේ සීලිමක් තිබෙනවා. ලයිට් එල්ලන්න බෑ. ගෘහනිර්මාණ ශිල්පීන් ඒවා පිළිබඳ හදාරලා නැතුව හෝ දන්න අයගෙන් අහලා නැතුව ඇති.

 

මේ දේවල්වලට නාට්‍යකරුවන් එකතුවෙලා විසඳුම් ලබාගන්න උත්සාහ කළේ නැද්ද?

කළා. කළා. මම දෙවරක් උත්සාහ කළා. එකතු වුණේ නෑ. එකතු වෙලා දිනාගන්න අවශ්‍යතාවකුත් නෑ. රාජ්‍යයක් වශයෙන් නාට්‍ය කලාව රටට අවශ්‍ය දෙයක් ලෙස ප්‍රමුඛත්වය දෙන්න කිසිවකුට අවශ්‍ය නෑ. ලෝකයේ රටවල නාට්‍ය කලාව දරුවන්ට අත්‍යවශ්‍ය කලාවක් ලෙස යොදා ගන්නවා. එය තියෙටර් ඉන් එඩියුකේෂන් සහ තියෙටර් ෆෝ එඩියුකේෂන් කියන ආකාර දෙකෙන් යොදා ගන්නේ. ඒත් මෙහෙ විෂයය පවා උගන්වන්න දන්නේ නෑ. ඔවුන්ට තේරෙන්නෙත් නෑ. විදුහල්පතිවරු සහ ගුරුවරු පවා ළමයින්ට නාට්‍ය පෙන්වන්නේ අදාළ නාට්‍යය විෂයය මාලාවේ තිබෙනවා නම් පමණයි. අදාළ නාට්‍ය හැර වෙන ඒවා නොපෙන්විය යුතු බවට නියෝගයක් පවා තිබෙනවා. ඉස්සර එහෙම තිබුණේ නෑ. ජන කරළිය අපි රැගෙන ගියාම පාසල් රැසකින් එනවා නාට්‍ය නරඹන්න. එය අධ්‍යාපනයේ කොටසක් ලෙස සැලකුවේ.

 

ඇත්තෙන්ම නාට්‍ය කලාව රටකට අවශ්‍ය වන්නේ ඇයි?

රසවින්දනයට, මානව සංවර්ධනයට විශ්වවිද්‍යාලවල මානව විද්‍යාවට අදාළ විෂයයක් ලෙස මේවා දියුණු රටවල උගන්වනවා. මෙය කොටස් දෙකකින් යුක්තයි එකක් (ඒනනතඪඥඤ ‍ඊඩඥචබපඥ) ව්‍යවහාරික නාට්‍ය කලාව අනෙක (ර්‍ථඥපටධපථචදජඥ ඊඩඥචබපඥ) දර්ශන රංග කලාව. එහි විශිෂ්ට නාට්‍ය නිර්මාණය වනවා. ඒවා හැදෑරීමේ අවකාශය හා හැදෑරීමට බැලීමේ මානවීය අයිතිය දරුවන්ට වගේම වැඩිහිටියන්ට තිබෙනවා. ඒ පිළිබඳ යුනෙස්කෝ ප්‍රඥප්තියකුත් තිබෙනවා.

එය ඛ්භතබභපචත පඪඨඩබ සහ අඪඨඩබ බධ ජභතබභපඥ නැත්නම් සංස්කෘතික අයිතිය සහ සංස්කෘතික නිර්මාණවලට සහභාගී වීමේ හා නැරඹීමේ අයිතිය ලෙස හැඳීන්විය හැකියි. අපේ රට මේ ප්‍රඥප්තියට අස්සන් කර තිබෙනවා. නිදසුනක් ලෙස ලංකාවට පැමිණි ඊශ්‍රායලයේ නාට්‍ය අධ්‍යක්ෂ ගිල් අලෝන් (ට්ඪත ඒතධදඥ) පැවසුවේ ඊශ්‍රායලය ලංකාවට වඩා කුඩා රටක් වුවත් එහි නාට්‍යයක් නිර්මාණයට යෝජනාවක් ඉදිරිපත් කළාම සංස්කෘතික මණ්ඩලය මඟින් ඒ ඉදිරිපත් කළ පිරිස සුදුසුකම් ලද්දන් ද කියා තීරණය කර ඔවුන්ට නාට්‍ය අරඹන්න අවසර දෙන බවයි. නාට්‍යය කරගෙන යන අතර ඒ මණ්ඩලය මඟින් නිරීක්ෂණය කොට අවශ්‍ය මුදලින් කොටසක් ලබා දෙනවා. අවසානයේ ඉතිරි මුදල දෙනවා. එය ඔවුන් ආපසු ලබා ගන්නේ නැරඹීමේ පහසුකම් ලබාදීමෙන්. පාසල් දරුවන් නාට්‍යය නැරඹීමේදී අය කරන්නේ ප්‍රවේශපත්‍රයේ මිලෙන් භාගයක් වන අතර ඉතිරි භාගය දරන්නේ රජය විසින්. මේ දේවල් නිසා නාට්‍ය වගේම ප්‍රේක්ෂකයන් පවතිනවා. හොඳ නාට්‍ය ගණනාවක් බිහි වෙනවා. ලෝකයේ හොඳම නාට්‍ය ගෙනැවිත් හොඳ උලෙළක් ඔවුන් පවත්වනවා. මැදපෙරදිග පොලිස් කාරයා ලෙස හැඳීන්වූවත්, ඊශ්‍රායලය නිර්මාණශීලී මිනිසුන් බිහි කරන්නේ මෙවැනි මූලික දේ සිදු කිරීමෙන්.

 

විදෙස් නාට්‍ය ගෙන්වනවා තබා අපේ රටේ නාට්‍ය සඳහාවත් උලෙළක් පවත්වන්න මේ වන විට සූදානමක් නැහැ?

රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්න සල්ලි නෑ. මම නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස සල්ලි සොයා ගැනීම සඳහා විවිධ ක්‍රම උපායන් ගෙන ආවා. තානාපති කාර්යාල වැනි විවිධ දූත ආයතනවලින් ආධාර ලබාගන්න වෙනමම යෝජනා ලියලා ඒ සඳහා උත්සාහ කළා. ඔවුන් තවම අපට පිළිතුරක් ලබා දී නැහැ. ආණ්ඩුවට සල්ලි නැති නිසා පිටපත්වලට ගෙවන්න ක්‍රමයක් නෑ.

 

වර්තමානයේ තරුණ නාට්‍යකරුවන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අද වන විට විවිධ නාට්‍යය නිෂ්පාදනය වනවා. විශ්වවිද්‍යාලවල වෙනම නාට්‍ය කලාව උගන්වනවා. එයිනුත් අලුත් නාට්‍යකරුවන් සහ නාට්‍ය බිහි වී තිබෙනවා. මේ වන විට පාසල් වල නාට්‍යකරණය උගන්වනවා. පිටරටවල නාට්‍ය නරඹන්න අවස්ථාව ලැබෙනවා. අලුත් නාට්‍යකරුවන් හිඟා කකා හරි නාට්‍යය නිෂ්පාදනය කරන්න ලොකු පිබිදීමක් තිබෙනවා. මේ වන විට ජනතාව අතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිළිබඳ විශ්වාසයක් නැහැ. රූපවාහිනිය කියන්නේ ගෙදර තිබෙන පෙට්ටියක් විතරයි රසවින්දනයක් නැහැ. ටෙලි නාට්‍යවලටත් මේ තත්ත්වය උදා වී ඇත්තේ සල්ලි නැතිකම නිසයි. ඒ නිසා නාට්‍ය වලට සෙනග ඇදෙන ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. එක්දාස් නවසිය පනහ හැට සහ හැත්තෑ ගණන්වල මුල් භාගයේ නාට්‍ය කලාවේ පැවතුණු ස්වභාවය තමයි රටපුරා සංවිධායකවරු සිටීම. අද සංවිධායකවරු කොළඹට සීමා වෙලා. කිසිම රජයකින් නාට්‍යවලට උදව් කළෙත් නෑ.

 

ඔබ චිත්‍රපටයක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා?

ඔව්. බලාපොරොත්තුවක් තිබෙනවා.

 

චිත්‍රපට කලාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

චිත්‍රපට ශාලා පරිහානියට පත් වෙලා. එහි වගකීම භාරගන්න කිසිවෙක් නැහැ. ප්‍රේක්ෂකයන් චිත්‍රපට බලන්න ශාලාවට නොඑන්නේ ඒ නිසා. වර්තමාන සිනමාව පිළිබඳ මම වැඩි අධ්‍යනයක් කර නැති නිසා සිනමාව ගැන වැඩිය කතා කරන්න එතරම් කැමති නෑ.

 

ඔබේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව කියමු?

සෙක්කුව සමග තව නාට්‍ය තුනක් කරන්න පෙලඹවීමක් තිබෙනවා. මැටි කරත්තය, කොරා සහ අන්ධයා, ගොරහැඩියා තමයි ඒ නාට්‍ය. ඊට අමතරව ඉයුජින් අයනෙස්කෝ ගේ නාට්‍ය පෙළ අලුතෙන් ස්වාධීන නිෂ්පාදනයක් ලෙස කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නාට්‍ය සියල්ල කරන්නේ ජනකරළිය මඟින්. ස්ථිර කණ්ඩායමක් එයට නැහැ. අවශ්‍ය වෙලාවට කණ්ඩායමක් යොදවා පුහුණුකර නාට්‍ය‍ ප්‍රදර්ශනය කරන නිසා අලුත් අයට වැඩි අවස්ථාවක් ලැබෙනවා.

 

[email protected]