වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මොන ගැටලු ආවත් මං තවම නාට්‍ය කරනවා

වේදිකාවට හිතැති තවත් සහෘදයෙක්. බුද්ධික දමයන්ත. වේදිකාව හැර නොයන වේදිකාවටම පෙම්බැඳී ඔහු තවත් වේදිකා නාට්‍යයක් අරගෙන ඔබ හමුවට පැමිණෙන්නයි මේ සූදානම් වෙන්නේ.
“එයයි සහෝදරයා...”
සහෝදරයා ගැන කතා කරන මේ වේදිකා නාට්‍යය තවත් එක් සහෝදර නාට්‍යයක් ද?
පසුගිය කාලයේ නිර්මාණය වුණු වේදිකා නිර්මාණ දෙස බලන කොට මට එහෙම හිතුණා. ඒ නිසා බුද්ධික දමයන්තගෙන් මේ ‘එයයි සහෝදරයා’ ගැන මා විමසුවා.
“මේක එක්තරා දුරකට අර්ථපූර්ණ සෝවියට් කමඩි නාට්‍යයක්. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මගේ මතකයට නැඟෙන්නේ 1980 දශකයේ ලංකාවේ ජනප්‍රියම නාට්‍යයක්. ඒ ජයලත් මනෝරත්නයන් ‘පුත්‍ර සමාගම’. අපි පාසල් යන කාලයේ මේ නාට්‍යය නරඹනවා. ඒ අනුව අපට නාට්‍ය කලාවට එන්න ආසාවක් ඇති කරන්නේ ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත්‍ර සමාගම’.”
ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත්‍ර සමාගම’ ඔබ කවුරුත් නරඹලා තියෙන වේදිකා නාට්‍යයක්. ඒ වේදිකා නාට්‍යයට එදා වගේ ම අදත් ප්‍රේක්ෂකයන් බොහොමයක් ආදරය කරන එක රහසක් නොවෙයි. එහි මුල් කෘතියයි බුද්ධික දමයන්තගේ ‘එයයි සහෝදරයා’ට පාදක කර ගන්නේ.
“මේ ‘එයයි සහෝදරයා’ වේදිකා නාට්‍යය කෙරෙන්නේ පරිවර්තනයක් විදියට. මුලින්ම ඒතඥයචදඤඥප ඍචථනඪතධම’ඵගේ ‘ඊඩඥ ඡ්තඤඥප ඉධද’ පිටපත අරගෙන මම කළේ පරිවර්තනය කරන එක. ඒක මට දුන්නේ ප්‍රසන්න විතානගේ. ප්‍රසන්න විතානගේ තමයි ‘පුත්‍ර සමාගම’ පරිවර්තනය කළේ. එක්තරා තැනකදි ප්‍රසන්න අයියා හමුවෙලා මා මේක ඔහුගෙන් ඉල්ලනවා. මොකද මට මේ නිර්මාණය කරන්න ආස හිතෙන නිසා. ප්‍රසන්න අයියා කිව්වේ “ඕක කරන්න යන්න එපා මල්ලි. මම උඹට ඔර්ජිනල් එක දෙන්නම්. උඹ හෙමිහිට ඕකෙන් පරිවර්තනයක් කරලා කරපං කියලා. ඒක අරගෙන මම ටික ටික හෙමිහිට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය මගේ ළඟ තිබුණා කාලයක්. ඊට පස්සෙයි මේ පරිවර්තනය මා කරන්න පටන් ගත්තේ. දැන් මේ කටයුතුවල යන්නේ අන්තිම කොටස.”
ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේගෙන් ලැබෙන මුල් පිටපත පසු කාලීනව බොහොම හෙමින් බුද්ධික දමයන්ත අතින් පරිවර්තනය වුණා. ඒ විදියට ඒ පරිවර්තනය කාලයක් ඔහු ළඟ තිබුණත් වේදිකා නාට්‍යයක් විදියට ප්‍රේක්ෂකයන් ඉදිරියට ගේන්න ටික කාලයක් ගියා.
“ඒ මොකද මේකට ගැළපෙන නළු නිළියන් සොයා ගැනීමට බොහොම අපහසු බවක් තිබුණේ. කොහොම වුණත් අවසාන හරියේදි අන්තිම කොරෝනාවෙන් පස්සේ තරුණ ළමයි ටිකක් එක්ක වැඩේ පටන් ගත්තා. මාස පහ හයක් පුහුණු වීම් කරලා මේ ඇවිල්ලා තියෙන්නේ අන්තිම හරියට. මම හිතන්නේ මගේ නාට්‍යවලින් වැඩිපුර පුහුණු වීම් තිබුණේ මේ නාට්‍යයේ. අප්‍රේල් 08 එල්ෆින්ස්ටන් රඟහලේ මෙහි මංගල දර්ශනය වේදිකා ගත වෙනවා. ඒ ‘එයයි සහෝදරයා’ නමින්.
ඒ කියන්නේ අලුත්ම නළු නිළියන් පිරිසකුයි මෙවර ඔහුගේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.
“මේ වේදිකා නාට්‍යයේ රඟපාන ඔක්කොම තරුණ ළමයි. ඔවුන් ජීවිතේ ප්‍රථම වතාවටයි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක රඟපාන්නේ. වෙනත් නිර්මාණවල ඔවුන් රඟපාලා ඇති. එහෙත් මෙවැනි වේදිකා නාට්‍යයක ඔවුන් රඟපාන පළමු වතාව බවයි මා සිතන්නේ. ඊට අමතරව ජයනාත් බණ්ඩාර හා සුදර්ශන බණ්ඩාරයි ක්ෂේත්‍රයේ වැඩ කරන අයට ඉන්නේ.”
තරුණ ළමයින් පිරිසක් වේදිකා නාට්‍යයකදි හැසිරවීම සඳහා බුද්ධිකට බොහෝ වෙහෙස මහන්සියක් ගැනීමට සිදු වන බව අහන්නත් දෙයක් නොවෙයි.
“තරුණ වුන් හසුරුවන්න අමාරුයි තමයි. නාම්බොත් එක්ක වැඩ කරන්න අමාරුයි තමයි. ඒත් ඉතින් මගේ කටේ බලෙන් තමයි ඒක කරන්නේ. ඒ අය සෑහෙන්න කාලයක් මේ වැඩෙත් එක්ක මහන්සි වුණා. ඒ වගේ ම මේකේ හිටිය හුඟ දෙනෙක් මේක දාලා ගියා. මේ නිර්මාණයට විවිධ කණ්ඩායම් ආවා. ඒ හුඟ දෙනෙකු දාලා ගියා. සමහර අය පැන්නුවා. සමහර අය ඉන්න අයත් අරගෙන ගියා. අවසානයේ කොහොම හරි අපි මේ නාට්‍යය කරනවා. නාට්‍ය කලාවේ ස්වභාවය ඕකයි. ඒ වගේ ම දැන් මිනිස්සු මහන්සි වෙන්න කැමැති නැහැ. ගිය අගෝස්තු තමයි අපි මේ නිර්මාණය ආරම්භ කරන්න. මේ කාලය ඇතුළේ අය යනවා; එනවා; ගන්නවා; අහක් වෙනවා; අහක් කරනවා; අනේ මචං අපිට ඕවට එන්න බැහැ කියලා අයින් වෙනවා. ඒ අතර පිරිසකුත් ඉන්නවා උදවු කරන. කොහොමහරි අවසානයේ මං වැඩේ කළා.”
මේ වගේ කාලයක නාට්‍යයක් වේදිකා ගත කරන්න නිෂ්පාදකයකු සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුණත් බුද්ධිකට ‘එයයි සහෝදරයා’ සඳහා කොහොමහරි නිෂ්පාදකවරයකු මුණ ගැසෙනවා.
“මේ වගේ කාලයක නිෂ්පාදකයකු සොයා ගන්න බොහොම අපහසුයි. හැම මිනිහකුටම කතා කරලා අන්තිමට මට මගේ යහළුවකු වන කෝලිතව මුණ ගැසෙනවා. ඔහු ජීවා එඩියුකේෂන් කියන ආයතනයේ ලොක්කා. ඔහුගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා “කරමු බුද්ධික වැඩක්” කියලා කිව්වා. ඒ නිසයි මේ නිර්මාණයේ පසුබිම මට අවුලක් නැති වුණේ. මේ නිර්මාණය සඳහා ඔහු දායක වූ නිසයි ඒක එහෙම වුණේ. ඔහුයි මේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදක වුණේ. ඔහු කෝලිත ප්‍රනාන්දුයි.”
අද ඕනම දෙයකට වියදම් අධික කාලයක්. වේදිකාව කියලත් ඒ වියදමෙන් ඈත් වෙලා සිටිය නොහැකියි.
“මේ වගේ වැඩක් කරන කොට පුදුම වියදමක් දරන්න වෙන්නේ. ඉස්සර වගේ නොවෙයි දහ පහළොස් දෙනෙකු එකතු වෙලා තේ එකක් බොන්නත් පුදුම වියදමක්. ඒ කියන්නේ ඔක්කොම වියදම දෙගුණ වෙලා තියෙන්නේ. ඉස්සර සෙට් එකක් ගහන්න ලක්ෂ තුනක් ගියා නම් දැන් ඒ සඳහා ලක්ෂ පහකට වඩා යනවා. ඒත් අපි තවමත් නාට්‍යය කරනවා. ඒත් මේවා කරන්න බොහොම අපහසු තමයි. ඒත් අපි මේ වැඩේ කොහොම හරි කරනවා.”
ඒ විදියටයි ‘එයයි සහෝදරයා’ වේදිකාවට නැඟෙන්නේ. එහෙම වුණත් මේ කියන නිර්මාණයෙත් සහෝදරයෝ ඉන්නවද? කියන ගැටලුවත් විමසිය යුතු කාරණයක්.
“ඔය කියන නම ගත්තොත් වෙන අරුතකුත් තියෙනවා. ඒ වගේ ම මේ දවස්වල සහෝදරයා කියන එක විවිධ අරුත්වලිනුත් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ දැන් අපට විවිධ සහෝදරවරු ඉන්නවා. ඒත් එහි වෙනස් අර්ථයක් තිබුණත්, මේ නම යෙදුවේ නාට්‍යයට අදාළ විදියටයි.”
එහෙම නම යෙදුව ‘එයයි සහෝදරයා’ දිවෙන්නේ කුමන කාරණයක් මූලික කරගෙන ද යන්නත් ඔහු පැවසුවා.
“මෙහි තියෙන්නේ අහම්බයෙන් වගේ තරුණයෝ දෙදෙනෙකුට කෝච්චිය මඟ හැරිලා නගරයකට ඇවිත් එදා රෑ ගත කරගන්න විදියක් සොයනවා. බොහොම සීතලයි. ඒ අස්සේ ගෙදරකට ගිහින් නිකං බොරුවක් කියනවා. මේ මගේ තාත්තාගේ ගෙදර කියලා. ඒක පිළිගන්න කැමැති වෙනවා. ඊට පස්සේ ඒක පැටලිලා පැටලිලා ගිහින් ලොකු අලකලංචියක් වෙනවා. එහෙම එකකුයි මෙහි තියෙන්නේ. ඒක ප්‍රහසනයක්. මුල ඉඳන් අගට හාස්‍යමය නාට්‍යයක්. ඒත් ඒකට අරුතක් තියෙනවා. මේ එහෙම වැඩක්.”
ඒ කියන්නේ ‘එයයි සහෝදරයා’ ප්‍රහසනයක්. ඒ ප්‍රහසනය දිගහැරෙන්නේ වෙනස්ම කාරණා කිහිපයක් ඔස්සේ.
“ඔව් මේක සම්පූර්ණ ප්‍රහසනයක්. හැබැයි දේශපාලන ප්‍රහසනයක් නොවෙයි. මනුෂ්‍යයෝ පිළිබඳ, ආදරය, පුත්‍ර සෙනෙහස වැනි කාරණා ගැනයි කතා කරන්නේ. මෙතනදි පුත්‍ර සෙනෙහස කියන්නේ රැවටීමක්. එක්තරා ගෙදරකට ගිහින් මේ මගේ තාත්තා කියලා කියනවා. ඇත්තටම අපේ සමාජයේ නම් ඔයා ඇවිල්ලා අපේ ගෙයක් ඉස්සරහ බලාගෙන හිටියත් අපි සැක කරනවා. ප්‍රශ්න කරනවා. ඒත් ඒ සමාජයේ එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ සමාජයේ ඔයා මගේ තාත්තා කියලා කිව්වට පස්සේ ඒක පිළිගන්නවා. ඒත් ඒක පැටලිලා පැටලිලා යනවා. අන්තිමට “තාත්තේ මම බොරුවක් කළේ. මම ඔයාගේ පුතා නොවෙයි. මම මේ ආවේ රැයක් ගත කරන්න ඕන නිසා” කියලා කිව්වත්, ඒ මනුෂ්‍යයා කියන්නේ “ඒත් කමක් නැහැ. උඹලා ඔක්කොම මගේ පුත්තු” කියලයි. ඒ වගේ ම ඔහු පවසන්නේ “උඹ මගේ පුතෙක් නොවෙන්න පුළුවන්. ඒත් මම උඹලා ඔක්කොටම ආදරෙයි” කියලයි. මේ නාට්‍ය අන්තිමට අවසන් වෙන්නේ ඒ විදියටයි. අන්තිමට ඒ ප්‍රධාන චරිතය ඒ ගෙදර නවතිනවා.”
අපේ සමාජයත් එක්ක ගත්තොත් ඒ සමාජය වෙනස්ම සමාජයක්.
“ඒ සමාජ දෙකක්. අපේ සමාජයේදි ඔයා මාව සැක කරනවා. කවුද? කින්ද මන්ද කියලා. ඒ සමාජයේදි ඒක පිළිගන්නවා. ඒ සමාජයේදි කිසිම කෙනෙකු උඹ කවුද කියලා ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයා කිව්වොත් මම උඹේ සහෝදරයා කියලා එයාලා ඒක පිළිගන්නවා. අන්න එහෙම සමාජයක් ඒක. ඒත් අපේ එහෙම නැහැ. ගෙයක් ගාව ඉස්සරහ හිටියත් 119 ගහන විදියක් නේ තියෙන්නේ. එහෙම තත්ත්වයක් නේ අපේ සමාජයේ තියෙන්නේ.”
අද ප්‍රහසන යැයි කියා ගනිමින් විවිධ නිර්මාණ වේදිකාවේ හක්කලං කරන බවකුයි පෙනෙන්නේ. එවන් අවධියක මෙවැනි නිර්මාණයක් මඟින් බුද්ධික කුමක් සමාජ ගත කිරීමට පෙලඹුණේ ද යන්නත් විස්තර කළා.
“මට ඕන වුණේ ප්‍රහසනයට අරුතක් දෙන්නයි. ඒ කියන්නේ අපි හිනා වෙන්නේ මොකට ද කියන එකට අර්ථයක් දෙන්නයි. අපි හිනා වෙනවා. අපි රූපවාහිනිය බලලත් හිනා වෙනවා. මිනිස්සු දිහා බලලත් හිනා වෙනවා. ඒත් මේ නිර්මාණය එහෙම එකක් නොවෙයි. මේ නාට්‍යය නරඹන විට හිනා යනවා. ඒත් එක තැනකදි අපට මේක හිනාවෙන්න ඕන තැනක් ද අඬන්න ඕන තැනක් ද වගේ කියලා හිතෙනවා හිනා වුණාට පස්සේ. පොඩි අර්ථයක් තියෙන නාට්‍යයක්. මේක මේ ලෝකය පෙරළන්න හැදුව නාට්‍යයක් නොවෙයි. ඕන කෙනෙකුට රස විඳීන්න පුළුවන් බොහොම සරල, සුඛාන්ත කමඩි නාට්‍යයක්.”
මේ වනවිට බුද්ධිකගේ කලින් වේදිකා නාට්‍යය ‘බෝනිකි ගෙදර 2’ නාට්‍යයත් තවම වේදිකාගත වෙනවා.
“ඒක මා කළේ ගිය වසරේ. ඒකත් මේ අප්‍රේල් මාසයේ ඉඳලා වේදිකා ගත වෙනවා. ඒක බරපතළ වගේ ම වෙනම කතන්දරයක්. හෙන්රික් ඉබ්සන්ගේ ‘ඩෝල්ස් හවුස්’ එකත් එක්ක දෙවැනි කොටසට ලිව්ව එකක්. නෝරා වසර විස්සකට පස්සේ ආපසු ගෙදර එනවා. ඇය එන්නේ ගේමට. ඒක පවුලේ හුටපටයක්. ඒ කියන්නේ සංකීර්ණ පවුල් ප්‍රශ්න පිළිබඳ කියැවෙන්නක්. මේ නාට්‍යය එහෙම එකක් නොවෙයි. මෙහි පොඩි සංගීතමය ගතියකුත් තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය ට්‍රම්පට් වාදකයෙක්. එයාගේ සංගීත ජීවිතයයි, පවුල් ජීවිතයෙයි හුටපට ඔක්කොම එකට පැටලිලා ඇමිණිලා තියෙන්නේ. ඒ අතර දෙන්නෙක් මේ ගෙදරට කඩා වැටෙනවා. ඒ සියල්ල පැටලිලා පැටලිලා ඉදිරියට යනවා.”
වර්තමානයේ බිහිවන කාලීන නාට්‍යය දෙස විමසිල්ලෙන් බලන විට බුද්ධික දමයන්තගේ ‘එයයි සහෝදරයා’ත් එවැනි කාලීන නාට්‍ය ගණයටද වැටෙන්නේ යන ප්‍රශ්නය පැන නැඟුණා.
“සමහර නාට්‍ය තියෙනවා කාලීනයි. ඒත් සමහර නාට්‍ය සර්වකාලීනයි. මේ නාට්‍යය සර්වකාලීන ජීවන අත්දැකීමක්. ඕන තැනක ආදරය, පවුල, තාත්තා, පිතෘ සෙනෙහස කියන එක කොහෙත් තියෙනවා. ‘එයයි සහෝදරයා’ එවැනි නාට්‍යයක්. එහෙම නැතිව මේ නාට්‍යය සමකාලීන දේශපාලන නාට්‍යයක් නොවෙයි. හරියට හුණුවටයේ නාට්‍යයේ වගේ හැදූ මව ද වැදූ මවද කියලා අහන ප්‍රශ්නය වගේ වෙන විදියකටයි මෙහිදි ප්‍රශ්න කිරීම කරන්නේ. මේ මගේ තාත්තා කියලා කිව්වට පස්සේ ඒ තාත්තා කැමැතියි පිළිගන්න මේ මගේ පුතා කියලා. පුතා කියලා සැලකුවට පස්සේ එක් තැනකදි කියනවා මම ඔයාගේ පුතා නොවෙයි කියලා. එතනදි ඔහුට කියන්න වෙනවා. එතනදි අර මනුස්සයා ඩෝන් ගාලා ඇදගෙන වැටෙනවා. මොකද අර කලින් කිව්ව දේත් එක්ක අර මනුස්සයා එයාගේ ජීවිතය ඔක්කොම සැලසුම් කරනවා. ඒ එන අලකලංචි එක්කයි නාට්‍යය ඉදිරියට යන්නේ.”
ඔහුගේ නාට්‍යය පුහුණු වීම්වලට කොරෝනා රැල්ල ඇතුළු අපට ආව රැලි ප්‍රශ්නයක් නොවුණු බවයි පෙනෙන්නේ.
“අපි කරන නාට්‍ය කලාව කොරෝනා ආවත් බොහොම අපහසුවෙන් තමයි කරන්නේ. අද ලක්ෂ දහයක් පහළොවක් නැතිව නාට්‍ය කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද පෝසටරයක්, කටවුට් එකක් ගහන්න බැහැ. ඒ තරමට වියදම්. එල්ෆින්ස්ටන් එකේ කටවුට් එකක් ගහන්න විසි පන්දාහක් යනවා. මෙහෙම වුණාම කොහොමද කරන්නේ. ටිකට් එකක් ගන්න. දෙදාහටත්, තුන්දාහටත් ටිකට් තියෙනවා. ඉතින් මිනිසුන්ට රුපියල් තුන්දාහක් වියදම් කරලා ටිකට් එකක් ගන්න පුළුවන් ද? හෝල්වල ගණන් වැඩියි. ලයනල් වේන්ඩ්ට් එක එක්ලක්ෂ පනස්දාහක්. ඒකට ඒ මුදල ගෙව්වාට පස්සේ ඒක හොයන්නේ කොහොම ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මගේ නාට්‍ය ගොඩක් දර්ශන ගණනක් දිව්ව නාට්‍යය නොවෙයි. ඒත් ‘එයයි සහෝදරයා’ නාට්‍යය නම් එක්තරා දුරකට දුවන්න පුළුවන් නාට්‍යයක් කියලා හිතෙනවා.”
සියල්ල නවීකරණය වන ලෝකයේ නාට්‍යයත් නවීකරණය විය යුතුයි නොවෙ ද?
“මේ කරන්නේ මමත් නවීකරණයක්. අසූව දශකයේ පෙන්නුව නාට්‍යයක් අරගෙන මේ සමාජයටයි ගළපන්නේ. එතකොට අලුත් තමයි. මම හිතන පතන විදියටයි මේ නාට්‍යය කරන්නේ. එහෙම වුණාම පවතින දේවල් තමයි තියෙන්නේ. මේ නාට්‍යයේ සමකාලීන ජෝතිපාලගේ සින්දු පවා ඒ කොල්ලෝ කියනවා. ඒක බොහොම පරිස්සමටයි මා කරන්නේ. ඒ නිසා මේ නාට්‍යය එක්තරා දුරකට සෝවියට් නාට්‍යයකුත් නොවෙයි. මේක ලංකාවේ නාට්‍යයකුත් නොවෙයි. ඒ දෙක අතර තියෙන නාට්‍යයක්.”
බුද්ධිකගේ මෙතෙක් කළ වේදිකා නාට්‍යවලට වඩා වෙනස් වූ නාට්‍යයක් නරඹන්න ඔබත් එන්න. එල්ෆින්ස්ටන් එකට. අප්‍රේල් 08 වැනිදාට.