වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සුබ සැන්දෑවක් තේමාව සර්වකාලීනයි

නාට්‍යවේදී, නීතීඥ යන විශේෂණ පද සමඟ අපට නිසඟයෙන්ම සිහියට නැඟෙන්නේ ජෝන් ද සිල්වා නුර්තිවේදියාය. ඒ මීට සියවසකට එපිට යුගයේ සිට එන නුර්ති සම්ප්‍රදාය සමඟය. එහෙත් සමකාලීන නාට්‍ය කලාවේ මේ විශේෂණ පද සමඟ අපට සිහියට නැඟෙන්නේ අන්තෝජටා, සුබ සැන්දෑවක්, අඹුසැමියෝ, හිට්ලර්, සිංහල වංශලා, බොරු කකුල් වැනි නාට්‍ය රචනය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළ නාට්‍යවේදී නීතීඥ ඩග්ලස් සිරිවර්ධනයන්ය. ඔහුගේ නාට්‍ය ජීවිතයටද මේ වන විට දශක පහක් ගෙවී හමාරය. 1972 ඇරැඹි තම නාට්‍ය දිවියේ අඩසියවසක් සපුරා ඇති මොහොතේ ඔහු සිය සහෘද කලාකරුවන්ට සහ ප්‍රේක්ෂකයන්ට නොමිලේ නාට්‍යයක් නරඹන්නට අවස්ථාව උදා කරදෙයි. අපි විමසමු ඒ පිළිබඳ තතු ඔහුගෙන්ම...
සුබ සැන්දෑවක් 29 සහ 30 දෙදින එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත වන බවට සුබාරංචිය ඔහු ගෙනහැර පෑවේ මෙසේය.
“සුබ සැන්දෑවක් නාට්‍යය මම මුලින්ම 1982 මැයි මාසේ සිංහල වේදිකා නාට්‍ය කලාවට අලුත් මුහුණුවරක් එක් කරමින් ඉදිරිපත් කළේ. ඒ යුගය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කළ ජනතාව කම්පනයට පත්ව සිටි කාලයක්. එවක පැවැති දේශපාලන වාතාවරණය ඍජුවම කතා කළ නාට්‍යයක් හැටියට, සිංහල නාට්‍ය කලාවට මෙය සුවිශේෂී නිර්මාණයක් වන බව අවබෝධ වූ නිසා තමයි මෙය නිෂ්පාදනය කළේ. මොකද ඒ වන විට විවෘත ආර්ථිකය සහ එයින් උද්දාමයට පත් වූ ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකලාපය ආදිය සමඟ රට උඩුයටිකුරු ව තිබුණා පමණක් නොවේ රූපවාහිනිය බිහි වූයේත් මේ දශකයේ. එය මෙරට වේදිකා නාට්‍ය කලාවට කෙබඳු ලෙස බලපෑවාද යන්නත් මෙය නිර්මාණයට හේතු වෙනවා. පාලකයා විසින් තම බලය රැක ගැනීමට, පාලනය ස්ථාවර කර ගෙන යෑමට ගෙන ගිය ජාතිවාදය ඇවිස්සීමේ වැඩපිළිවෙළ නිසා කවදා හෝ රටේ විශාල ලේ වැගිරීමක් වෙයි කියන දැක්ම මම නිර්මාණකරුවකු ලෙස එදා පුරෝකථනය කළා. එය කෙතරම් සත්‍ය වූවාද කීවොත් 83 ජුලි වන විට ලංකාවම ජාතිවාදි අරගලයකින් ගිනි ගත්තා.
එල්ටීටීයේ උපත සමරමින් රජයට පණිවිඩයක් දීමට තමයි හමුදාවේ 13ක් ඝාතනය කරමින් ඔවුන් කටයුතු කළේ. එයින් ගිනිගත් පුස්තකාලය ආදිය අදටත් විශාල පාඩුවක්. එයින් වසර 35ක් පමණ සිංහල දෙමළ ජාතිකයන් මිය ගියා. ආර්ථික මර්මස්ථාන විනාශ වුණා. ලංකාව ජාතිවාදය සහිත රටක් ලෙස ලෝකයේ ප්‍රචාරය වුණා. එවන් දැක්මක් සහිත වස්තුබීජයක් තමයි සුබසැන්දෑවක් නාට්‍යයේ තිබෙන්නේ.”
එවක නාට්‍යයේ පාත්‍ර වර්ගයා ගැන මතක් කළොත්?
“ඒ කාලේ සුබ සැන්දෑවක් රඟපෑවේ දේවිකා මිහිරාණි, සම්පත් තෙන්නකෝන්, කිංස්ලි ලෝස්, ලාල් කුලරත්න, ජනක් ප්‍රේමලාල් වැනි අයයි. නාට්‍යයට පාදක වන්නේ නිව්යෝක් නගරයේ නගරාධිපතිවරයෙක් තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගැනීම සඳහා ජාතිවාදී අරගල ඇති කළ ආකාරය පිළිබඳ ලියැවුණු කතාවක්. එය ජීන් පෝල් සාත්‍රේ ගේ 'ද රෙස්පෙක්ටබ්ල් ප්‍රොස්ටිටියුට්' නම් නාට්‍යයේ මූලික තේමාව පමණක් ගෙන එය මෙරටට ගැළපෙන පරිදි අනුවර්තනය කරන්නක් කියනවාට වඩා ස්වීයව නිර්මාණය කරන ලද්දක් කීමයි නිවැරැදි.
දේවිකා මිහිරාණි රඟපෑ දර්ශනයක් කදිරේෂන් ශාලාවේ වේදිකාගත කළා. එය බලන්න ආවා ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ. ඔහු දේවිකාව ගන්නවා රූපවාහිනියේ පළමු දිගු නාට්‍යය වන දිමුතුමුතු ටෙලි නාට්‍යයට. එයින් ජනප්‍රිය වන ඇය ඉන්පසු විජය නන්දසිරිගේ කුසපබා නාට්‍යයට යනවා ශ්‍රියාණි අමරසේන විසින් එතෙක් නිරූපිත පබාවතීගේ චරිතය කරන්න. එවිට මට නිළියක් නැතිව යනවා. ඒ මොහොතේ පාසල් වියේ සිටි රත්නා ලාලනී ජයකොඩි තමයි සුබසැන්දෑවක් සඳහා සම්බන්ධ කරගන්නේ. ඇය මේ චරිතයට ඉතා හොඳීන් ප්‍රාණය දුන්නා. ඇයට රඟපාන්න වුණේ සම්පත් තෙන්නකෝන් සමඟ. ඔවුන් ඉන්පසු ජීවන සහකරුවන් බවටත් පත් වුණා.
නාට්‍ය කලාවේ දිගු ඉතිහාසයක් සංස්ක්ෂිප්තව ඔහු දැක්වූයේ සිනාමුසු මුහුණිනි. එයින් පසු ඇසිය යුතුම පැනයට මම ගියෙමි.
මේ නව නිෂ්පාදනය කරන්න හේතුව?
1972 ඇරැඹුණු මගේ නාට්‍ය ජීවිතයට 2022 වද්දි වසර 50ක් සපිරුණා. මම මුලින්ම ලියූ අන්තෝජටා කියන නාට්‍ය අත්පිටපතට මට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නාට්‍ය පිටපත් තරගයෙන් පළමු ස්ථානය ලැබීමත් සමඟයි මම ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අඩසියවසක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයිනේ. ඉතින් ඒ සඳහා මම මගේ නාට්‍ය කීපයක් සහ පොත් පත් සමඟ සැමරුමක් කරන්න සැරසී සිටියත් පසුගිය කාලයේ ඇති වූ දේශපාලන වාතාවරණය, විදුලි කප්පාදුව, ඉන්ධන ගාස්තු ආදිය වැනි දේ නිසා අලුතින් නාට්‍යයක් නිර්මාණය කරනවාට වඩා සර්ව කාලීන අගයක් ඇති මේ නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීමට හිතුවේ ඒ සැමරුම වෙනුවෙන්.
මේ නව නිෂ්පාදනයේ සනත් විමලසිරි, නයෝමි තක්ෂිලා, රමිඳු බෙනරගම, අජිත් ලොකුගේ, වසන්ත විට්ටච්චි, අරවින්ද පාදුක්ක, රාජා රණසිංහ, චලිත එෂාන් ආදීන් සමඟ ප්‍රවීණ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුනිල් කොස්තා කලකට පසු වේදිකාවට එනවා. පළමු නිර්මාණයේ සංගීතය එච්. ඒ පෙරේරා. ඔහු අපෙන් සමුගත් නිසා ඔහුටත් අසාධාරණයක් නොවන පරිදි නව නිෂ්පාදනයේ සම්පූර්ණ සංගීතය නවරත්න ගමගේ සංගීතඥයාට පැවරුවා. එයට හේතුව මීට පෙර නිෂ්පාදනවල නාට්‍යයේ ගීතයක් තිබුණේ නෑ. එහෙත් මට හිතුණා ගීතයක් ඇතුළත් කරන්න. එහි පදරචනය සඳහා වසන්ත දුග්ගන්නාරාළට ආරාධනා කළා.
මෙහි අදහස් වන්නේ තරුණියක් සමඟ රාත්‍රියක් ගත කළ තරුණයෙකු තෘප්තිමත් වූ භාවයක සිට එය ප්‍රතිවින්දනය කිරීම. ඒ සිහිපත් කිරීමේදී තෘප්තියේ භාවයන් හුවා දක්වන්නට සංගීතය උපයෝගී කරගත්තා. සනත් විමලසිරි ගීතය ගයමින් රඟපාන්නේ, ගිටාරයත් වයමින්. මීට පෙර සංගීතය යොදා ගත්තේ කණ්ඩායම නිහඬ කිරීමට සහ කාන්තාවගේ භාවයන් ප්‍රකාශයට පමණයි. එහෙත් තරුණිය ජීවත් වන පරිසරය මෙකල අපේ රටට කෙතරම් ගැළපෙන්නේද? මීට වසර තිහ හතළිහකට පෙර මම ලියූ සංවාද කෙතරම් දුරට අදට ගැළපේද යන්න සහ ගායනය තරුණයන් තුළ ඇති කරන්නා වූ ප්‍රබෝධය ආදිය මෙයින් ප්‍රකට කරන්න උත්සාහ කරනවා. ඒ යුගයේ තිබුණේ භාවයන් සමනය කරන සංගීත ක්‍රමයක් වත්මනේ ගායනය සමඟම නැටුම සහ භාවයන් උද්දීපනය කරනවා. එය නාට්‍යය විසින් ඉල්ලා සිටි ගීතයක් ලෙස අප සලකන නිසායි මෙය අලුතින් ඇතුළත් කළේ. රංගාලෝකය සපයන්නේ ගාමිණී වන්නිආරච්චි.
නාට්‍යය ආරම්භයට පෙර පින්කමක් කළේ ඇයි? මම ආරංචියක් පිළිබඳ විමසීමි.
මුල්ම වතාවට අඹු සැමියෝ සහ සුබසැන්දෑවක් සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ මුනිදාස මුණසිංහ මහත්මා. ඔහු දැන් අප අතර නෑ. ඒ වගේම අප සමඟ සිටි එච්. ඒ. පෙරේරා, ගාමිණි හෙට්ටිආරච්චි, සම්පත් තෙන්නකෝන් වැනි මේ නාට්‍යවලට දායක වූ කලාකරුවන් රැසක් අප අතහැර ගොසින්. ඉතින් නව නිෂ්පාදනයට පෙර ඔවුන් සිහිපත් කිරීමටයි ඒ පිංකම සංවිධානය කළේ.
සියවස් අඩකට පෙර ක්ෂේත්‍රයට පය තබන්න හේතුවත් නාට්‍ය ක්ෂේත්‍රයට ඔබ කෘතගුණ දක්වන හේතුවත් අපි අද කියමු?
මම පේෂකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකරුවකු ලෙස සේවය කරද්දි 1980 වැඩවර්ජනයත් එක්කම වගේ අපටත් රැකියාව නැති වෙනවා. පැය විසිහතරක් ඇතුළත ඔබේ රැකියාවෙන් ඉවත් කරනවා කියලා මට ලියුමක් ලැබෙනවා. ඒ වෙද්දි මම විවාහකයි, දරුවන් දෙදෙනාත් ඉන්නවා. රැකියාව නැති වූ මම ජීවත් වුණේත්, පවුල නඩත්තු කළේත්, නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියේත් අඹුසැමියෝ සහ සුබසැන්දෑවක් නාට්‍ය දෙකෙන් ලැබුණු මුදල්වලින්. ඒ නිසා මාව ජීවත් කරවූ නාට්‍ය කලාව ජීවත් කරවීමේ වගකීමක් යුතුකමක් මට තිබෙනවා.
2005 වසරේ මම ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ පසු ටවර්, එල්ෆින්ස්ටන්, රුක්මණී දේවී රඟහල් සහ ශබ්දාගාරය අලුත්වැඩියා කරන්නෙත්, ගුරුවරුන් 300ක් පමණ බිහිකරමින් නාට්‍ය හා රංගකලා පාසල ආරම්භ කරන්නේත් කාටවත් කතාවක් කිව නොහැකි වැඩ කොටසක් කරන්නෙත් නාට්‍ය කලාව පිළිබඳ ඒ කළගුණ දැක්වීම සිතේ තිබුණු නිසා.
මම ටවර් එකට ගියාට පසු මහින්ද යාපා අබේවර්ධන ඇමැතිවරයා කියනවා කයිරෝ නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරපත් කරන්න කියලා.ඒ වෙද්දි මාස හතක් පමණ වන ටවර් නාට්‍ය පාසලේ ළමයින්ගෙන් නාට්‍යයක් හදලා අපි ඉදිරිපත් කරනවා. යුද්ධයෙන් මිය යන මිනිසුන්ගේ ආත්ම නැවත අවදි වෙලා යුද්ධයේ සහ ඝාතනයේ නිස්සාරත්වය පිළිබඳව කියන කතාව තමයි ඒ ගොදුරු නාට්‍යයේ තේමාව. ඊජිප්තුවේ ප්‍රශංසාවට ලක්වුණා එය. පසුව විදුර නුර්තිය නිර්මාණය කළා. පුලතිසි අබිමන සහ සක්කාය දිට්ඨි නව නිෂ්පාදනයත්, බෙරහඬ නව නිෂ්පාදනයත් ඒ සිසුන් සමඟ කළා. ඒ පාසලෙන් බිහිවූ බොහෝ උපාධීධාරීන් දැන් රටපුරා පාසල් ගණනාවක උගන්වනවා නාට්‍ය හා රංග කලාව විෂයය.
එදා සහ අද සැසඳුවොත්?
අවුරුදු පනහකට පෙර මගේ ආරම්භයේදී අප නාට්‍ය කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, බන්දුල ජයවර්ධන, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, ප්‍රේමරංජිත් තිලකරත්න, සුනන්ද මහේන්ද්‍ර, ආර්. ආර්. සමරකෝන්, රන්ජිත් ධර්මකීර්ති වැනි දැවැන්තයන් සමඟ. මම 86 හිට්ලර් වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ නිෂ්පාදන අංශයෙන් වැඩිම සම්මාන දිනා ගන්නේත් එවැනිම පිරිසක් සමඟ තරග කරලා.
අපි නාට්‍ය පුහුණු කළේ, සුදර්ශී, ලුම්බිණි, කදිරේෂන් ශාලාව වැනි තැන්වල. අපි නාට්‍ය පෙන්නුවේ රාමක්‍රිෂ්ණ, කදිරේෂන්, ලුම්බිණි, වයිඑම්බීඒ, ජෝන් ද සිල්වා, ලයනල් වෙන්ඩ්ට් වැනි ශාලාවල. අද රාමක්‍රිෂ්ණා, කදිරේෂන් සරස්වතී, ලුම්බිණි, ජෝන් ද සිල්වා රඟහල් නෑ. රට සංවර්ධනය වුණාට මේ දේවල් අනෙක් පැත්තට ගිහින්. බිෂොප් විද්‍යාලයේ ශාලාව, නාඩා, නෙළුම් පොකුණ, තරුණසේවා සභාව, වැනි තව ශාලා කීපයක් හැදුණත් ඒවාට කලාකරුවන්ට කිට්ටු විය හැකි මට්ටමක් නෑ. නෙළුම් පොකුණ නාට්‍ය වේදිකාවකට වඩා ඔපෙරා හවුස් එකක් වගේ. තරුණ සේවා බහුකාර්ය ශාලාවක්.
අපි 72 අඹුසැමියෝ කරද්දි නාට්‍ය බලලා ගෙදර යන්න බස් එකක් හරි තිබුණා. එත් අසු ගණන් වෙද්දි ඒ තත්ත්වය වෙනස් වුණා. ඉන් පස්සේ රූපවාහිනී මාධ්‍ය නිසා රසිකයන් ගෙදරටම සීමා වුණා. වත්මනේ නාට්‍ය හැදෙන්නේ බොහෝවිට කොළඹ ආශ්‍රිතව පෙන්වන්න විතරයි. ඒක බලන්න දුරපළාත්වල ඉඳන් එන්න බෑ පවතින ආර්ථිකය සමඟ. සංස්කෘතික දෙපාර්තමේනතුවත් ඉතින් ඉඳලා හිටලා නාට්‍ය උලෙළක් පවත්වනවා පමණයි. ගොඩක් වැඩ අස්සේනේ ඒකත් කරන්නෙ. ඒ හැර පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. ඉතින් වසර පනහක් තුළ නාට්‍ය කලාව කණපිට හැරිලායි තිබෙන්නේ.
නාට්‍යකරුවන්ටත් මේගැන වගකීමක් නැද්ද?
නාට්‍ය කරුවාට ප්‍රේක්ෂකයන් සහ රංග ශාලා අවශ්‍යයි මාළුවන්ට වතුර ඕනැ වගේ.
එහෙම නැති වුණ හැටියේ ප්‍රේක්ෂකයා අතහැර යන්නේ රංගශාලාව නෙවෙයි නාට්‍යකලාවයි. අපේ රටේ සියලු ආණ්ඩු නාට්‍ය සැලකුවේ කිසිදු වැදගැම්මක් නැති දෙයක් හැටියටයි. අද නාට්‍යයක් බලන්නේ එය විභාගයට අයත් නම් පමණයි. ඇතැම් අය යටි කූට්ටු ලෙස තමන්ගේ කෘතිය පෙළපොතට ඇතුළත් කරගන්න හදනවා.
ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් පවා ස්වීය නාට්‍ය නොකර, විභාගයට නියමිත ශාකුන්තලය, රත්නාවලී වගේ නාට්‍ය කරනවා. විභාගයට නියමිත නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිට සියලු දෙනා ඒවාට අවසරත් දෙනවා.
පාසල් නාට්‍ය පෙන්වන්නේ 10.30ට. සමහර ළමයින් අපට කියනවා අනේ සර් සැමන් වගේ පැක් කරලා තිබුණා අපිත් හිනා වෙවී හිටියා කිසිදෙයක් පෙනුණෙ, තේරුණේ නෑ කියලා. අපි පාසල් කාලේ නාට්‍ය බැලුවේ එහෙම නෙවෙයි. අපි ප්‍රවේශ පත්‍රයක් අරගෙන 3.30ට හෝ බලනවා. දශක පහක් තුළ නාට්‍ය කලාව කණපිට හැරිලා කීවේ ඒ නිසයි.
නාට්‍ය රැලි ගැන මොකද හිතන්නේ?
මේ රැලි සියල්ල ආවේ ආර්ථික වාසිය පදනම් කරගෙන. අපි හයේ පන්තියේ ඉඳන් නාට්‍ය කලාව උගන්වනවා පාසල්වල. ලෝකයේ දියුණු රටවලවත් එතරම් කුඩා කාලෙ නාට්‍ය උගන්වන්නේ නෑ. අපේ රටේ එතරම් දුර්ලභ දෙයක් සිදුවීම ගැන අපට සතුටුයි. හැබැයි අපේ ළමයි නාට්‍ය බලලා නෑ. නාට්‍ය හා රංගකලාව උගන්වන්නේ නැටුම් ගුරුවරු, සංගීත ගුරුවරු සහ සාහිත්‍ය ගුරුවරු. ඒ නිසා නාට්‍ය කීවාම ළමයි කතාකරන්නේ ටෙලි නාට්‍ය ගැන. අපිත් සාහිත්‍ය ගුරුවරුන්ගෙන් සකුන්තලය වැනි නාට්‍ය ඉගෙන ගත්තා. හැබැයි අපේ කාලේ ඒ නාට්‍ය රස අපට ලැබුණා. දැන් නාට්‍ය හා රංග කලාව විෂයය තිබෙන්නේ ඊට වඩා පුළුල් පරමාර්ථයකින්. ඒත් එය ඉටු වන්නේ නෑ. ඉතින් අපි නාට්‍ය කලාව පැත්තෙන් දියුණුවකට වඩා පසුබෑමකට ලක්ව තිබෙනවා.
මොකක්ද විසඳුම?
මෙයට අමුතු විසඳුමක් නෑ. ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමයි කළ යුත්තේ. ලංකාවේ පාසල් නාට්‍ය කලාවෙන් තමයි ළමයාගේ නිර්මාණ , බුද්ධිමය පෞරුෂය සහ සෞන්දර්යාත්මක මිනිසා නිර්මාණය කළ යුත්තේ. ඒ නිසා කනගාටුවෙන් හෝ කිව යුතුව තිබෙන්නේ ලංකාවේ සෞන්දර්යාත්මක අධ්‍යාපනය නැති වීම නිසා තමයි මෙවැනි සමාජ තත්ත්වයන් ඇතිවන්නේ. මම එක් අවස්ථාවක දුටුවා මිනීමරුවෙක් අඬමින් කියනවා මම හයදෙනෙක් නෙවෙයි දෙන්නයි මැරුවේ කියලා. හරි නම් එක් මිනිහෙකුවත් මරන්න පුළුවන්ද සංවේදී මිනිසෙකුට! ඔහු අඬන්නේ ඔහුට අත්වන ඉරණම පිළිබඳව මිස මිනී මැරීම සම්බන්ධව නොවේ. ඔහුගේ සමාජ පසුබිම සොයා බැලුවොත් අපට පෙනෙයි සෞන්දර්යාත්මක, ආගමික, සාහිත්‍යික අධ්‍යාපනය සමඟ ජීවිතය විඳීන්න පුරුදු නොකළ නිසා ඇති වූ තත්ත්වයක් කියලා මෙය. සෞන්දර්ය අධ්‍යාපනයක් නැති මිනිසුන්ට ජීවිතයක් කියන්නෙ කිසිම වටිනාකමක් නැති තවත් එක් භාණ්ඩයක් පමණයි. මේවාත් ඇත්තටම ගත්තොත් නාට්‍යමය අවස්ථා. නාට්‍ය කලාව අවුරුදු පනහකට පසුව කතා කරද්දි එවක ඩොලරයේ වටිනාකම කීයද අද කීයද? අපේ ඩොලර් සංචිතය එදා කීයද අද කීයද? එදා කැරැල්ලක් ඇතිවෙලා වසරක් තුළ ඒ අය පුනරුත්ථාපනය කර ඔවුන්ට රැකියාවන් ලබා දීලත් අවසන් වුණා 72 අපි නාට්‍ය පටන්ගන්නකොට. ඒත් අද වෙද්දි කොතරම් මිනී මැරුම් සිදුවෙනවාද? ඒ මළකඳන් මතින්, විනාශ වූ දේපළ මතින්, දේශපාලකයන් තමන්ගේ අරමුණු ඉටු කරගෙන තිබෙනවාද? ඒවායේ ප්‍රතිඵල ලෙස තමයි අද නාට්‍ය කලාව පවා බංකොළොත් වෙලා තිබෙන්නේ.
කොහොම කීවත් හොඳ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් එනවා?
ඔවු ඒක ඇත්ත. ඒත් තවදුරටත් නාට්‍යකරුවන් ප්‍රේක්ෂකයන් රැවැට්ටුවෝතින් මේ කලාව තවදුරටත් කොහේ යයිද?
මගේ දරුවා නාට්‍ය හා රංග කලාව කරන නිසා අදාළ නාට්‍යය බලන්න අවශ්‍ය වුවත් එය මට නැරඹීමෙන් ලැබෙන රසය කුමක්ද? ඒ නිසා මේවා ගැන හිතලා කටයුතු කළ යුතුයි. මම මේ කියන දේ තරමක් සංකීර්ණ ලෙස පෙනෙන්න පුළුවන්. හැබැයි කළ යුත්තේ ඒ ඒ කලාපවල පාසල්වල නාට්‍ය හා රංග කලාව කරන දරුවන් පාසල්වලින් තමන්ගේ නාට්‍ය හදලා ප්‍රදර්ශනය කිරීම මිස කොළඹ නාට්‍ය හදලා ඒවා බලන්න පොරකන එක නෙවෙයි.
ඉන්දියාවේ නාට්‍ය පාසලක් තිබෙනවා, සිනමා පාසලක් තිබෙනවා ඒවායින් බිහිවන පිරිස් දෙස බලන්න. අපේ රන්මිහිතැන්න, නාඩා ආයතනය වැනි තැන්වලින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුවෙනවාද? හෙට එල්ෆින්ස්ටන් එක මේ තත්ත්වය යටතේ සුපර් මාකට් එකක් වුණත් පුදුමයක් වෙන්න දෙයක් නෑ. ජෝන් ද සිල්වා රඟහල සදහටම ඔහොම තිබුණත් කරන්න දෙයක් නෑ. එය විවෘත වුණත් අපට ළං වෙන්න පුළුවන් වෙයිද? එදා ඉන්ධන මිල කීයද? අද නාට්‍යයක් අරගෙන දුරක යන්න කීයක් වාහනයටම යනවාද?
අවුරුදු පනහක් තුළ ලංකාවේ ජනගහනය කොතරම් වැඩි වුණාද? විශ්වවිද්‍යාල සිසුන් කොතරම් වැඩි වුණාද? එහි නාට්‍ය හා රංගකලාව කරන සිසුන් කොපමණ වැඩි වුණාද? ඒත් නාට්‍ය බලන පිරිස එයට සමගාමීව වැඩිවුණාද? එහෙමනම් ප්‍රේක්ෂාගාරය කොතරම් පුළුල් විය යුතුද? අද නාට්‍ය කලාවේ තත්ත්වය ඒකයි.
අනෙක අද වන විට දේශපාලන නාට්‍ය නමින් කරන අසභ්‍ය ප්‍රකාශනය සහ දේශපාලන වෛරයක් ප්‍රකාශිත නාට්‍ය නිර්මාණය වන බව සිතෙන නිසා ඒ වෙනුවට ප්‍රේක්ෂකයා සමඟ බුද්ධිමත් හරවත් සංවාදයක යෙදෙමින් ඔවුන් සමඟ ඇති කරගන්නා වූ විවාදාත්මක කතිකාවත තුළින් රසවින්දනය සහ දේශපාලනික ප්‍රඥාසම්පන්නබව හා පවතින තත්ත්වය පිළිබඳ රසිකයා සවිඥානක කිරීමයි අවශ්‍ය. ජන අරගලයක් වැනි දෙයකදී කුලප්පුවෙන් වැඩ කිරීම නිසා විශේෂයෙන් නිර්ධන පන්තියට අත්වන ඉරණම සුබ සැන්දෑවක් නාට්‍යයෙන් පැහැදිලි වෙනවා.
ජනතාව බුද්ධිමත්ව විචක්ෂණශීලීව කටයුතු නොකළොත් නිව්යෝක් නගරයේ පාලකයන්ගේ බලය තවත් තහවුරු වෙලා එක් පාලකයකු වෙනුවට තවත් පාලයකු බිහි වීම පමණක් සිදු වන ආකාරය මෙයින් නිරූපණය කෙරෙනවා.
තවත් ඇසිය යුතුම පැනයකින් කතාව නිම කරන්නට සිතීමි. ඔබ මෙය නොමිලේ ප්‍රදර්ශනය කරන්නේ ඇයි?
මේ නාට්‍යයට කිසිවකුගේ අනුග්‍රහයක් නෑ තමයි. ඒත් අපි කෙසේ හෝ එය කරනවා. එදා මෙහි මංගල දර්ශනයේ සිට වසර හතළිහක් පුරා විවිධ හැළහැප්පීම්වලට මුහුණ දෙමින් අපව ජීවත් කරවන්න ටිකට්පතක් ගෙන එය නැරැඹූ සියලු දෙනාට මේ නාට්‍යය නොමිලේ පෙන්වන්න මට අවශ්‍ය වුණා. පසුගිය කාලයේ කොරෝනා නිසා බොහෝ මිතුරන් නැති වුණා. සමහරු අද ලෙඩ ඇඳන්වල. (ඔහු ආරාධනා පත්‍ර තොගයක් වෙත අත දිගු කර පෙන්වයි.) එහෙත් මේ ආරාධනා පත්‍ර සියල්ල මම තැපැල් කරනවා. එවිටයි අපට දැනගත හැකිවන්නේ සහෘද අපි එකිනෙකා තවමත් ජීවත් වන බව. ඉතින් ඒ සුබ සැන්දෑව ඔවුන් සමඟ ගත කිරීමයි මගේ අභිලාශය. ඔවුන්ටත් මම ආරාධනා කරනවා වායු සමනයෙන් ශීතල වූ එල්ෆින්ස්ටන් රඟහලේ ප්‍රේක්ෂාගාරය 29 සහ 30 දෙදින සවස ඔබේ සහෝදරත්වයේ සුසුමින් උණුසුම් කරන්න කියලා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න
සේයාරුව - ඉන්ද්‍රනාථ තේනුවර