වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
මගේ නාට්‍යවල පොදු ලක්ෂණය අඳුරු හාස්‍ය

අසංක සායක්කාරගේ නවතම වේදිකා නාට්‍යය ‘කොටු’ අරගෙන සායා මේ 18 වැනිදා එල්ෆිනිස්ටන් එනවා. ‘කොටු’ අරගෙන විතරක් නොවෙයි එක දිගට සතියක් ඔහු ඇතුළු පිරිස එල්ෆිනිස්ටන් එකේ ඉන්නයි යන්නේ. ඒ සායාගේ ඔබ මෙතෙක් නැරැඹුවේ නැති නාට්‍ය කිහිපයත් අරගෙන. මොකක්ද මේ සිද්ධ වෙන යන වෙනස කියලා අහන්න මා ඔහු ව හමු වුණා. ඒ මේ දවස්වල ඔහුගේ නාට්‍යවල පුහුණු වීම් කෙරෙන මහල්වරාව ප්‍රදේශයේදි.
“නෑ නෑ මම මිනිහගේ ප්‍රොෆයිල් එකට ගිහින් සේරම විස්තර ටික හොයා ගත්තා. මිනිහා බැඳලා. මිනිහා කෙල්ලො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්.”
ඒ ඔබ කියවන්නේ සායාගේ අලුත්ම නාට්‍යයේ දෙබස් කිහිපයක්.
‘කොටු’
“මේ කාර්ය අපි නම් කරලා තියෙන්නේ ‘සායාගේ සතිය’ කියලා. ඒක ඒ විදියට නම් කරන්න හේතු වුණේ දවස් හතක් මේ වැඩය කරන නිසා. ඒ කියන්නේ දවස් හතක් නාට්‍ය හතක් පෙන්වනවා. දිගු නාට්‍ය පහක් හා කෙටි නාට්‍ය හතරක්. සතිය කියන එකේ එක තේරුමක් වෙන්නේ ඒ හත කියන එක. අනෙක් තේරුම වෙන්නේ සිහිය කියන එක. අපි සිහියෙන් කළ වැඩ. අපි කාලාන්තරයක් තිස්සේ කළ වේදිකා නාට්‍ය. සායාගේ සතියේදි මම අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය වගේ ම ඒ කියන්නේ මගේ සිහිය පමණක් නොවෙයි එක විදියකට මුළු කණ්ඩායමේ ම සිහියයි මෙහිදි ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා අපි මේ නාට්‍ය උලෙළ ඒ නමින් නම් කරනවා. එහි තිබෙන විශේෂත්වය වෙන්නේ අපි අපේ අලුත් නාට්‍යය ‘කොටු’ නාට්‍යයේ මංගල දර්ශනයෙනුයි ‘සායාගේ සතිය’ පටන් ගන්නේ. ‘කොටු’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවස් දෙකක් තියෙනවා. මේ 18 සහ 19 කියන දවස් දෙක. ඒකෙන් පටන් ගෙන අපේ පරණ නාට්‍ය ටික ඊළඟට එනවා ‘සංඝදාසගේ චූටි කලිසම’ කියන වේදිකා නාට්‍යයේ ඉඳලා ආපස්සට ඉතිරි නාට්‍ය ටික පෙළගස්සලා තියෙනවා. ‘මම කෙළින් මිනිහෙක්’, ඌරෝ අතර ෆෝක්’, ‘අයියා මලෝ’ වගේ ම කෙටි නාට්‍ය හතරත් එකතු කරලා. ඒ ‘වැඩිහිටියන්ට පමණයි’ කියන කෙටි නාට්‍ය හතර. ඒ කෙටි නාට්‍ය හතර ඉවර කරන්නේ ‘ශ්‍රීමත් සුමන’ කියන අපේ පරණ ම කෙටි නාට්‍යයෙන්. ඔහොමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ. සවස 3.30 සහ 7.00ට.”
මෙන්න මේ 18 වැනිදා ආරම්භ වන සතිය එල්ෆිනිස්ටන් එකේ ගෙවෙන විදිය. ඔබටත් පුළුවන් සායාගේ මෙතෙක් ඔබ නැරැඹුවේ නැති දිගු හා කෙටි වේදිකා නාට්‍ය කිහිපය නරඹන්න. එතැනින් නොනැවතී ‘කොටු’ දෙසට හැරණා ම සායා ඒකේ ආරම්භය ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“ ‘කොටු’ වේදිකා නාට්‍යය අපි හදන්න පාදක කරගන්නේ කොරෝනා සමය. ඒ ගෘහස්ථව ඉන්න කාලයේ අපට ආව ප්ලොට් එකක් තමයි ‘කොටු’ කියන්නේ. මේක ඇතුළේ මිනිසුන්ගේ තියෙන ද්විත්ව භාවය, රියැලිටි බව, ලිංගිකත්වය මුල් කරගෙන කරන ගනුදෙනුව හා හැසීරීම ඇතුළේ එක් එක්කෙනාට කරන පාවිච්චි කිරීම වගේ ම ඒක ඇතුළේ තියෙන සමාජ මනෝභාව ගැනත් කතා කරනවා. ඒ අතර ම දේශපාලනිකව වැඩ කරනවා කියන කාරණය වෙනම විදියකට හාස්‍යෝත්පාදක ශෛලියකිනුයි මේ නාට්‍යයේ දිග හැරෙන්නේ. මේක ලිව්වේ 2020 කොරෝනා සමයේ. 2021 ජනවාරි පෙන්වන්න කියලා අපි එහි පුහුණු වීම් කරගෙන ආවා. ඒත් අපට ඒක කරන්න ලැබුණේ නැහැ. කොරෝනා තුන්වැනි රැල්ල ඇවිල්ලා ආයෙත් නාට්‍යය නතර කරන්න වුණා. ඊට පස්සේ ආව විවිධ බාධකත් එක්ක නාට්‍යය දිගටම නතර වුණා. ඒ අතර අතරින්පතර කරන ලද වෙන වෙන නාට්‍යත් එක්කත් මේ නාට්‍යය නතර වුණා. ඊළඟට ආව ආර්ථික අර්බුද එක්ක එන අරගලවලටත් අපිට මුහුණ දෙන්න වුණා. ඕවත් එක්ක මේ වේදිකා නාට්‍යය ටික ටික පස්සට ගියා. ඒත් මේපාර අපි තීරණය කළා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ අපි ‘අයියා මලෝ කරන කොටමයි තීරණය කළේ මාර්තු මාසයේ වෙනකොට ෆෙස්ටිවල් එක කරනවා කියලා. ඒකේ අපි ටාගට් එකක් විදියට යොදා ගත්තා ඒ ෆෙස්ටිවල් එක පටන් ගන්නේ ‘කොටු’ නාට්‍යයෙන් කියන එක. ඒ අනුවයි අපි 20 පටන් ගත්ත වැඩේ 23 ඉවර කරන්න හදන්නේ.”
ඒ ඉවර කරන්න හදන ‘කොටු’ මොන වගේ විදියට ප්‍රේක්ෂකයා කොටු කරන්න හදයි ද කියන කාරණයත් මගේ සිතට නැඟුණා.
“අපේ හැම නාට්‍යවල පොදු ලක්ෂණයක් විදියට ගන්න පුළුවන් බ්ලැක් කමඩි කියන එක. මේ වේදිකා නාට්‍යයෙත් අවසානයට තියෙන්නේ අඳුරු හාස්‍යයක්. මේක ඇතුළේ අපි කතා කරන්නේ ම විවිධ විවිධ චරිත කොහොම ද ලිංගිකත්වය මුල් කරගත්ත ජීවිත ගත කරන කොට ඒ ජීවිත ඇතුළේ එකෙක් අනෙකාට කරන රැවටීමයි. ඒ රැවටීම කරන්න වන සමාජ මනෝභාවය මොකක් ද? ඒ රැවටීම දිහා අපි ප්‍රේක්ෂකයන් විදියට බලන් ඉන්නේ කොයිතරම් තවත් රැවටීමකින් ද? කියන කාරණා මෙහිදි වෙන විදියකට කතාබහට ලක් කරනවා. නාට්‍යයක් විදියට ගත්තොත් අපි කළ අනෙක් නාට්‍ය සියල්ලට වඩා මේ නාට්‍යයේ දැවැන්ත බව වැඩියි. කණ්ඩාමක් විදියට ගත්තත් විශාල පිරිසක් මේ නාට්‍යයේ රඟපානවා. ‘අයියා මලෝ’ එකටත් වඩා. එහි ආකෘතියටත් වඩා වෙනස්ම ආකෘතියකයි මේ නාට්‍යය තියෙන්නේ. මේ නාට්‍යයට වේදිකා පසුතල ගත්තත්, ආලෝකකරණය ගත්තත්, මේ හැම එකකින්ම අනෙක් ඒවාට වඩා පොඩි දැවැන්ත බවක් එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒක ටිකක් දුෂ්කරයි. නළු නිළියන් එක්ක වැඩ කිරීමේදී පවා ටිකක් දුෂ්කරයි. ඒ නිසා මේක දුෂ්කර වෙහෙසක් තියෙන වැඩක්. පුහුණු වීම් කළත්, සමහර රූප අපට දැක ගන්න පුළුවන් වෙන්නේ තියටර් එකේදිම තමයි. මේ නාට්‍යය අපි දැක්කෙත් හරියටම 18 වැනිදායි. ඒ නිසා වෙනස් වැඩක් වේවි කියලා හිතනවා.”
සායාගේ අනෙක් නාට්‍ය ගත්තත් දේශපාලනය කියන කාරණය මූලික ලෙස ම ඉස්මතු වන කාරණයක්. ඔහු ඒ මඟින් ප්‍රේක්ෂක මනස ග්‍රහණය කරගන්නවාද කියලත් සිතෙන වාර අනන්තයි.
“ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇතුළේ සිදු වන සවිඥානික දේයි අපි ප්‍රශ්න කරමින් පෙරළා නිර්මාණවලට ගේන්නේ. මේ මතුපිට දේශපාලනය ‘කොටු’ නාට්‍යයේදි පෙනෙන්නේ නැහැ. ‘මම කෙළින් මිනිහෙක්’ තරම්, ‘අයියා මලෝ’ තරම් මතුපිට දේශපාලනයක් ‘කොටු’ නාට්‍යයේදි පෙනෙන්නේ නැහැ. එහෙත් මතුපිට තලයේ යට තියෙන සමාජ දේශපාලනය කියන එක මෙහිදි ප්‍රශ්න කරනවා. සාටෝපකාරී, පරිභෝජනවාදී ජීවිත ගත කරන්න ගියාට පස්සේ, ඒක ඇතුළේදි ඒකට ලිංගිකත්වය එකතු කරගත්තට පස්සේ වන ප්‍රශ්නය කොහොම ද කියන එක ගැන අපි කතා කරනවා. ප්‍රශ්න කරනවා. ඒත් ඒක දේශපාලනයෙන් මිදිලා නැහැ. ඒක හැම තිස්සේ ම දේශපාලනයත් එක්ක යන එකක්. ‘කොටු’ එකෙත් ඒ දේශපාලනය තියෙනවා. අනෙක් ඒවා තරම් මතුපිටින් අසුවන දේශපාලනයක් නොවුණත් යටිපෙළේ තියෙන දේශපාලන කාරණා ඇතුළත් වෙනවා.”
ලිංගිකත්වය කියන කාරණය වේදිකාවේ බොහෝ විවෘතව කතා කරන අයුරු අප දුටුවේ මෑත කාලයේයි. ඊට පෙර ද කතා කළ අවස්ථා තිබුණත් එය බොහෝ විට සඟවා කතා කරන අයුරුයි අප දුටුවේ.
“ලිංගිකත්වය ගැන කොයි කාලෙත් කතා කරලා තියෙනවා. ඒ කතා කළ මට්ටම් තමයි වෙනස්. ‘මූදු පුත්තු’ කියන්නෙත් ලිංගිකත්වය ගැන කතා කළ නාට්‍යයක්. හැබැයි ඒ එක් එක් අය කතා කරන මට්ටම් වෙනස්. උදාහරණයක් විදියට ධනංජය වගේ කෙනෙකු නාට්‍ය කරන්න ගත්තට පස්සේ ඔහුගේ නාට්‍ය හැම එකකම ලිංගිකත්වය සරුවට කතා කරලා තියෙනවා. ප්‍රශ්න කරලා තියෙනවා. ඒවා කතා කළේ අර තරම් සංවරව නොවෙයි. ‘ඔබ සාපේක්ෂයි’ වගේ නාට්‍යයක කෙළින්ම ඒ ලිංගිකත්වය ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා කොයි කාලෙත් ඒ පිළිබඳ අඩු වැඩි වශයෙන් කතා කරලා තියෙනවා. ඒ වගේ ම මෑත කාලයේ අවධානය ඒ පැත්තට එන්න එක හේතුවක් තමයි සමාජ ඇතුළෙත් ඒ කථිකාව ආවා. සමාජ මාධ්‍ය ආවට පස්සේ වෙනදාට වඩා ලිංගිකත්වය කියන එක සම්බන්ධව සාකච්ඡා වුණා. ඒ නිසා ඒක පෙනුණේ වෙනදාට වඩා ඒ පිළිබඳ වැඩිය කතා කරන බවයි. මම දකින විදියට නම් කොයිකාලෙත් ඒක කතා වුණා. ඒත් ඒ කතා කළ මට්ටම් වෙනස්. ඒ වගේ ම ඒ පිළිබඳ විවෘතව කතා කරනවා නම් හොඳයි. මම කියන්නේ තවදුරටත් ඒක විවෘතව කතා වෙන්න ඕන.”
කොරෝනාවලින් පස්සේ ජනප්‍රිය කියන රැල්ලේ නාට්‍ය රැසක්ම බිහි වුණු බව පෙනෙන්නට තිබුණු කාරණයක්. සායාගේ නාට්‍යවලටත් මේ කියන රැල්ල බලපෑවා. ඔහුගේ නාට්‍යත් මේ රැල්ලට වැටෙන බව පෙනෙනවා.
“අපි නාට්‍යයක් හදන්නේ ගේ ඇතුළේ තියාගෙන ඉන්න නොවෙයි. ඒ වගේ මයි ඒ නාට්‍යය ජනප්‍රිය කරවන්න ඕන. ඒක තමයි නූතන අභියෝගය. ඉස්සර තිබුණා වගේ මේක රාජ්‍ය නාට්‍ය උලෙළට හෝ යොවුන් නාට්‍ය උලෙළට දාලා ඉවර කන්න ඕන නැහැ. ඒ නිසා නාට්‍යයක් කියන්නේ නිරන්තරයෙන් අපිත් එක්ක තියෙන්න ඕන එකක්. ඉතා විශාල මානව ශ්‍රමයක් වියදම් කරලයි අපි මේ වේදිකා නාට්‍ය කරන්නේ. ඒ නිසා අපේ අවශ්‍යතාව මිනිස්සු එක්ක සංවාද කරන එක. නළු නිළියන්ගේ අවශ්‍යතාව මේකේ රඟපාන එක. ඔවුන්ට තමන්ගේ ශ්‍රමයට වටිනාකම ලැබෙන්නේ මේකේ රඟපාන එකත් එක්කයි. මේ නිර්මාණවල රඟපාන්න නම්, මේ නිර්මාණ පවත්වා ගෙන යන්න නම් නාට්‍ය ජනප්‍රිය වෙන්න ඕන. එහෙමනම් ඒවා ජනප්‍රිය කරවන්න ඕන. ඒත් මේ නාට්‍ය ඉබේ ජනප්‍රිය වෙන්නේ නැහැ. දන්නවා නේ මාකටින් කියලා එකක් තියෙනවා. ඒ නිසා මාකටින් පාවිච්චි කරලයි නාට්‍ය ජනප්‍රිය කරවන්න ඕන. මම හිතන්නේ ඒකේ වැරැද්දක් නැහැ. මොක ද හැමෝම උත්සාහ කරන්නේ තමන්ට පුළුවන් මට්ටමින් නාට්‍ය ජනප්‍රිය කරවන්නයි. ඒ නිසා හැමතිස්සේ ම අපි හදන නාට්‍යයක, ඒ ගැන සංවාදයක් හදන්න, ජනප්‍රිය කරවන්න මම දන්න සෙල්ලම් ටික ඔක්කොම දානවා. ඒකේ කිසිම වරදක් මා දකින්නේ නැහැ. ඒ විතරක් නොවෙයි මේ වේදිකාව කියන මාධ්‍ය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කරගන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම දැනට මේ මාධ්‍යය ජනප්‍රිය මාධ්‍යයක් නොවෙයි. ඒ ටෙලි විෂනය ඇතුළු අනෙක් දේ ගියාට පස්සේ සීමිත පිරිසකුයි වේදිකාවට ඇවිත් නාට්‍ය නරඹන්නේ.”
රටේ මොන ප්‍රශ්න ආවත් අපේ නාට්‍යකරුවෝ නාට්‍ය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒත් මේ වර්තමානයේ තිබෙන තත්ත්වය හැමෝගෙම ජීවිතවලට ප්‍රශ්න රැසක්ම ගෙනෙන්නක්. ඒක සායාගේ නාට්‍ය ජීවිතයට බලපෑම් කරලා නැද්ද? එහෙම හිතෙන්නේ ඔහු දිගටම නාට්‍ය කරන නිසා.
“ඒක හැම ක්ෂේත්‍රයකටම බලපෑවා. ඒ වගේ ඒක මටත් බලපෑවා. අපි ගත්තොත් මීට කලින් තිබුණු තත්ත්වයත් නාට්‍යවලට හොඳම එකක් නොවෙයි. ඩොලර් එක එකසිය ගණන්වලට තිබුණු කාලයේ, පෙට්ට්‍රල් එකසිය ගණන්වලට තිබුණු කාලයේ වුණත් නාට්‍ය කලාවට මාර හොඳක් වුණේ නැහැ. එහෙම තිබුණා කියලා නාට්‍ය කලාව හොඳටම තිබුණේත් නැහැ. ආර්ථිකය හොඳටම තිබුණා තියලා නාට්‍ය කලාව හොඳටම තිබුණෙත් නැහැ. ආර්ථිකය අප්සට් වුණා කියලා නාට්‍ය කලාව විතරක් අප්සට් වෙන්නෙත් නැහැ. ඒක අමුතු ජිමික් එකක් නොවෙයි. ඒ නිසා ඒ බලපෑම ඒ විදියටම තිබුණා. කොහොම වුණත් මේ බලපෑම මෙහෙමම තියෙනවා කියලා අපට නාට්‍ය ගෙවල්වල තියාගෙන ඉන්න බැහැ. ශ්‍රී ලංකාවේ එන්ටර්ටේනින්වලට වෙනම මාකට් එකක් තියෙනවා. කොයිතරම් අමාරුකම් මැද්දේ වුණත් මේක නරඹන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙන්වා ගැනීම ඇතුළේ දෙපැත්තක් තියෙනවා. එකක් මේ වෙලාවේ ඒක දේශපාලනික වුවමනාවක්. නාට්‍ය ඇතුළේ අපි කියන්නේ සවිඥානිකව සංස්කෘතික මිනිසාව ඇවිද්දවන්න ඕන. ඔහුට තමයි මේක තේරෙන්නේ. සංස්කෘතික මිනිහෙක් නිර්මාණය කළොත් විතරයි ඔහු දේශපාලන මිනිසකු බවට පත් වෙන්නේ. එහෙම නැතිව රටක දේශපාලන පුරවැසියකු නිර්මාණය කරන්න බැහැ. දේශපාලන පුරවැසියකු නිර්මාණය කළොත් තමයි මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා සංස්කෘතික මිනිසා නිර්මාණය කරන්න නම් කලාව තියෙන්න ඕන. කලාව කරන්න ඕන. කලාවට මිනිස්සු වැඩ කරන්න ඔ්න. කුමන දුෂ්කරතාවක් ඇතුළේ හරි ඒ පුහුණු වීම කරන්න වෙනවා. ඒක දුෂ්කරයි. ඉතා දුෂ්කරයි. ඒත් ඒ දුෂ්කර අභියෝගයට අපි කොහොම හරි කර ගහනවා. මේතාක් දුරට ඇදගෙන ආවා. ඒ වගේ කොහොමහරි අපිට මේක අවසානයක් දක්වා අරගෙන යන්න පුළුවන් කියලා හිතනවා.”
සායාගේ පැරැණි නාට්‍ය සියල්ලක්ම මේ නාට්‍ය උලෙළේදි ප්‍රේක්ෂකයාට නැරැඹිය හැකියි.
“මේ කිසිම නාට්‍යයක් අපේ වුවමනාට නතර වුණු ඒවා නොවෙයි. ‘සංඝදාසගේ චූටි කලිසම’ දර්ශන වාර පනහ පසු කරමින් දුවමින් තියෙන වෙලාවක අපිට ඒක නතර කරන්න වුණා. එහෙම වුණේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍යයත් හොඳටම දුවමින් තියෙන වෙලාවකයි පාස්කු ප්‍රහාරය එන්නේ. ඒ නතර කිරීමට පස්සේ නැවත මේවා වේදිකාවට ගෙනෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඒවා නතර වුණේ අපේ වුවමනාවට නොවෙයි. ‘ඌරෝ අතර ෆෝක්’ කියන නාට්‍යය නතර වුණු නාට්‍යයක් නොවෙයි. ඒක තාමත් වේදිකා ගත වන නාට්‍යයක්. කොහොමවුණත් අපි එන එන දේවල්වලට ප්‍රතිචාර දක්වමින් විවිධ නාට්‍ය කරමින් ඉස්සරහට යනකොට අපේ පරණ නාට්‍ය එක වෙලාවක මැඟ හැරෙන බවයි සිතෙන්නේ. ඒ නිසයි අපි තීරණය කළේ ෆෙස්ටිවල් එකක් කරන්න. ඒක ඇතුළේ නැවත ඒ නිර්මාණ පණ ගහලා අරගෙන, මේ නාට්‍ය ටික දිගටම ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්න. මෙවැනි නැවත වටයකින් අරගෙන යෑමේදි ප්‍රේක්ෂකයන්ට වෙන ම උනන්දුවක් තියෙන වග අපට පෙනෙනවා. උදාහරණයක් විදියට ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍යය නතර වෙන්නේ 2018දි. අවුරුදු පහකට පස්සේ නැවත එනකොට අපට ඒ නව උනන්දුව පෙනෙනවා. ඒ කියන්නේ අපි ඒකේදි සරසවි ශිෂ්‍යයන්ට හා විද්‍යාර්ථීන්ට ටිකට් 200ක් නොමිලේ දෙනවා. ඒකට අපි දුන්න ප්‍රචාරයේදි ඉක්මනටම සීට් 200 පිරෙනවා. ඒ සීට් 200 පෙනෙන්නේ වෙනම උනන්දුවක්. ඒ නාට්‍ය නොබලපු මඟ හැරුණු පිරිසකුයි එතන ඉන්නේ. ඒ ජීවදත්ත ටික පරික්ෂා කළාට පස්සේ පෙනෙනවා ඒ යුගයේ ඒ මොහොතේ ඔවුන් වැඩිහිටියෝ නොවෙයි. ඒ කියන්නේ 2018 වෙනකොට ඒ අය වැඩිහිටියෝ නොවෙයි. ඒ වගේ ම ඒ අය මේ නාට්‍යය නරඹන්න බැරි වුණු පිරිසක් වග පෙනෙනවා. ඒත් ඒ අය මේ නාට්‍යය ඉක්මනටම වැලඳ ගත්තා. ඒ නිසා මේ නිර්මාණ නරඹන්න නොහැකි වුණු ඒ වගේ එක පරපුරක්, පිරිසක් ඉන්නවා. ඒ අයට නැවත මේ නිර්මාණ නැරැඹිය හැකියි. ඒ නිසා ඒ ප්‍රේක්ෂකයන් වෙතට මේ නිර්මාණ දිගටම අරගෙන යන්නයි අපි හිතාගෙන ඉන්නේ.”
සායා කියන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු විතරක් නොවෙයි. ඔහු ටෙලි නාට්‍ය පිටපත් රචකයෙක්.
“මේ වනවිට ඉදිරියේදි වෙනම කටයුත්තකට අත ගහලා තියෙන්නේ. මේ නාට්‍ය උලෙළ අවසාන වනවාත් එක්කම වගේ ආරම්භ වෙනවා මගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ගොඩක් වෙලාවට මේ වනවිට මාර්තු මාසේ අග හරි අප්‍රේල් මාසයේ මුල හරි ඒ කටයුත්ත ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිර්මණෙයේ පිටපතත් මගේමයි. එතනදි ලංකාවේ ටෙලි නාට්‍යවලට එන්නේ නැති විදියක වැඩක් රූපවාහිනි නරඹන්නන්ට ලබාදෙන්නයි අප උත්සාහ ගන්නේ. ඒ නිසා මේක වෙනස් විදියක වැඩක් වේවි කියලා අපි හිතනවා. ඒ විතරක් නොවෙයි නිෂ්පාදනය පැත්තෙන් මේ නිර්මාණය ගුණාත්මක තලයකට ගේන්න අපි උත්සාහ කරනවා. එහෙම සමාගමක් එක්කයි අපි වැඩ කරන්න අදහස් කරගෙන ඉන්නේ. මේ නිෂ්පාදන සමාගමේ පළමු ටෙලි නාට්‍යය විදියට හා ඔවුන් එක්ක වැඩ කරන්න මාවයි තෝරගෙන තියෙන්නේ. දැනට ඒ සමාගම හෙළි කරන්න බැහැ. ඒත් ඒ සමාගම ගත්තොත් ලංකාවේ මියිසිකල් ඉන්ඩස්ට්‍රි එක වගේ ම කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකත් වෙනස් කළ සමාගමක්. ඒ අය ටෙලි නාට්‍යවලට එන්නේ යම් කිසි මේකේ ගුණත්මක භාවයන් ටිකක් අරගෙන. මේ නිසා ම ගුණාත්මක තලයේ ලොකු වෙනස්කම් ටිකක් වේවි. ඒ වගේ ම මේ නිර්මාණය අපි ගේන්නේ යූත් කමඩි එකක් විදියට. ලංකාවේ කමඩි කියන ශානරයක් තියෙනවා. ඒ කොමඩි ගොඩක් අපි දකින්නේ වැඩිහිටි කමඩි; නැත්නම් වෙන විදියක සීරියස් කමඩි; බ්ලැක් කමඩි වගේ. ඒ නිසා යූත් කමඩි කියන එක අපට ළඟ නැහැ. ඒක අතහැරෙමින් යන එකක්. ඒ නිසා මේ නිර්මාණය ගෙන්නේ යූත් කමඩි එකක් විදියට. මාර වෙනසක් වේවිද කියන්න බැහැ. ඒත් අපි විශ්වාස කරනවා ටෙලි විෂන් එක ඇතුළට අපේ අනන්‍යතාවක් හදන්න පුළුවන් වේවි කියලා. ඒ සඳහා වෙනසක් කරන්න අපි උත්සාහ කරනවා.”
ඒ ආකාරයට විශ්වාසයෙන් ආරම්භ කළ බොහෝ කාර්යයන් ටික දවසක් යන විට කොහේ යනවා ද යන කාරණයට අමුතුවෙන් සාක්ෂි කිසිවකුත් අවශ්‍ය නොවෙයි. ඒ තත්ත්වයට සායාටත් මුහුණ දෙන්න වේවිද?
“ මේ නිර්මාණය මම ටෙලි නාට්‍යයක් විදියට අධ්‍යක්ෂණය කරන පළමු වැනි වැඩේ. ඒ නිසා මම අධ්‍යක්ෂවරයකු විදියට චොර වැඩකට අත ගහන්නේ නැහැ. වේදිකාව ඇතුළේ, පිටපත් ලිවීම ඇතුළේ මා හදා ගත්ත යම් ප්‍රමිතියක් තියෙනවා. මේ නිසා මට අධ්‍යක්ෂවරයකු විදියට යම් ප්‍රමිතියක් ස්ථානගත කරන්නටයි ඕන. ඒ නිසා ඒ ප්‍රමිතිය නැතිනම් මම මෙච්චර කල් පරක්කු වෙන්නේ නැහැ අධ්‍යක්ෂණය කරන්න. ඇත්තටම මම මුලින් ම කරන්න හිටියේ මේ නිර්මාණය නොවෙයි. ‘පුෂ්පරාග’ කියන නිර්මාණයයි. මේ වෙලාවේ ඒක අධික වියදම් සහිත වැඩක්. ඒ නිසා පොඩ්ඩක් ඒක නවත්තලා මේ නිර්මාණය කරනවා. මේ නිර්මාණයෙන් පස්සේ පුෂ්පරාග දල්වන්නයි අදහසක් තියෙන්නේ. මේ වැඩේ අපි කරන්නේ ඒ ප්‍රමිතිය කියන එක මේන්ටේන් කරමින් වෙන ශානරයකට ඇතුල්වන්නයි. එහෙම කරන්න එක පැත්තකින් අපට ඒ සමාගම ගැන විශ්වාසයක් තියෙනවා. ඔවුන් ලංකාව ඇතුළේ මාක් කළ කොලිටි එකක් තියෙනවා. ඒ විශ්වාසය මත ඉඳගෙනයි අපි ඔවුන් සමඟ වැඩ කරන්නේ. ඒ අනුව ඒ සහතිකය ඔවුන් අපට දීලා තියෙනවා. ඒ නිසා මේ වනවිටත් සාමාන්‍ය ටෙලි නාට්‍යයකට වඩා සිය ගුණයක් තරම් ඒ කාර්යයට මහන්සි වෙමිනුයි අපි ඉන්නේ. ඒ නිසා මා හිතන්නේ ඒ කොලිටි එක අපට ආරක්ෂා කරන්න පුළුවන් වෙිවි කියලයි. ඒ ගැන සැකයක් තියාගන්න එපා.”
ඒ ගැන එහෙම කතා කරද්දි ‘කොටු’ වේදිකා නාට්‍යයේ පිරිස ගැනත් කතා නොකළොත් අඩුවක් වගේ දැනෙනු නියතයි.
“ජයනාත් බණ්ඩාර, අමා විජේසේකර, කල්හාරි, දමින්ද නන්දරත්න, දිලිප් කුමාර්, නානා, සිකා, චමින්ද බටුකොටුව, තිළිණි ජයමාලි, ඔමන්ති බණ්ඩාර මෙවැනි නළු නිළි පිරිසකුයි මේ නාට්‍යය සඳහා රංගනයෙන් සහභාගි වන්නේ. ඔමන්ති ඇරුණට පස්සේ වේදිකාවේ පුහුණුවක් තියෙන පිරිසකුයි මේ වේදිකා නාට්‍යයේ රඟපාන්නේ. දිලිප් කුමාර් ගත්තොත් ඉතා හොඳ ශක්‍යතාවක් තියෙන නළුවෙක්. ඒත් තවම ඔහු ලංකාවේ වේදිකාව ඇතුළේ මතු වුණේ නැහැ. සිනමාව ටෙල විෂනය ගත්තත් ඔහුව ඒවායේ මතු වුණේ නැහැ. ඒත් ඔහු හොඳ වැඩවල ඉඳලා තියෙනවා. මෙහිත් ඔහු ඔහුගේ චරිතය හොඳට කරනවා. ඒ වගේ ම නන්දේ වගේ තරුණයකු වුණත් දිලීප් වගේ වේදිකාවේ කැපී පෙනෙන චරිතයක්. ජයනාත් ගැන කියන්න දෙයක් නැහැ. එයාගේ ඉතිහාසය ගැන දන්නවා. අමා විජේසේකර කියන්නේ කාලයකින් තියටර් එකේ වැඩ කරන, කාලයක් ලංකාවේ නිළියක් විදියට මාක් එකක් තිබ්බ කෙනෙක්. ඈව වේදිකාවේදි වැඩිය දැකලා නැහැ. ඈ මගේ වැඩිහිටියන්ට පමණයි කෙටි නාට්‍ය උලෙළේ ‘දුලා’ කෙටි නාට්‍යයේ අභියෝගාත්මක චරිතයක් කළා. මේ නිසා ඈ වේදිකාවේ පන්නරය ඉතා හොඳීන් ලැබුව කෙනෙක්. ජයමාලි ඉන්නේ ඉතා සුළු චරිතයකට. ඒත් ඉතා කැපවීමෙන් ඒ කටයුත්තේ ඈ නියැළුණා. චමින්නද බටුකොටුව කියන්නේ වේදිකාවේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිත නොවෙයි. කල්හාර කියන්නේ මම කලින් කිව්ව දිලීප් වගේ චරිතයක්. බොහොම දක්ෂයෙක්. තාමත් ප්‍රධාන නළු නිළියන් අතරට කතා නොවෙන නමක්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒක එහෙම වුණේ කියලා. මේ අයව එළියේ සමාජයට නුහුරු මුහුණු වගේ පේන්න පුළුවන්. ඒ වගේ ම ටෙලි විෂනයේ දකින චරිත මේ නාට්‍යයේ අඩුයි. හැබැයි වේදිකාව ඇතුළේ ඔවුන් අති දක්ෂයෝ. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ චරිතයට උපරිම සාධාරණය ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා මේ නාට්‍යය වෙන රහක් තියෙන වෙනම වැඩක් බවට පත්වේවි.”
එවැනි රසයක් තියෙන මේ නාට්‍ය නරඹන්න 18 ඉඳන් 24 වනතුරු ඔබත් එල්ෆිනිස්ටන් එකට එන්න. එවිට ‘සායාගේ සතිය’ ඔබට හමුවෙවි.