වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
කාන්තාවක් නුර්තියක් අධ්‍යක්ෂණය කළ පළමු වතාව මෙයයි

‘ශ්‍රී වික්‍රම’ නුර්තිය ලබන සෙනසුරාදා (11) ටවර්හෝල් රඟහලේදී රඟදැක්වීමට නියමිතය. මෙහි එක් විශේෂත්වය වන්නේ නාට්‍යවේදී නීතීඥ ජෝන් ද සිල්වා විසින් අවුරුදු 117කට පෙර තැනුණු ‘ශ්‍රී වික්‍රම’ නුර්තිය ඇසුරින් එහි වෙනත් අර්ථකථනයක් සපයමින් මෙය නිර්මාණය වීමයි. අනෙක් විශේෂත්වය නම් මෙහි අධ්‍යක්ෂණය කාන්තාවක විසින් සිදු කිරීමයි. සරසවිය වෙනුවෙන් රංගවේදිනී රත්නශීලා පෙරේරාගෙන් විමසමු ඇගේ අධ්‍යක්ෂණයෙන් බිහිවන මේ නව ‘ශ්‍රී වික්‍රම’ නුර්තිය පිළිබඳ තොරතුරු.
කොහොමද ඔබට ‘ශ්‍රී වික්‍රම’ නුර්තිය නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණේ?
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ ධර්මපාල පරපුර සම නිර්මාතෘ සේනාරත්න සිල්වා මහතා යන දෙදෙනා තමයි මේ වගකීම මට පැවරුවේ. අනගාරික ධර්මපාලතුමා කියා තිබෙනවා "ශ්‍රී වික්‍රම රජු ගැන විශාල දුර්මතයක් පැතිරුණා, ඔබට හැකි නම් එතුමාගේ චරිතය නැවත පිරිසුදු කරන්න" කියලා. ඉතින් ධර්මපාල පරපුර පිළිබඳ උනන්දුවක් දක්වන ඔවුන්ට අවශ්‍ය වුණා මේ කටයුත්ත කරන්න. අපේ පර්යේෂණ අනුව, අවුරුදු 17දි රජ වුණාට ශ්‍රී වික්‍රම රජුට විශාල දර්ශනයක් තිබුණා. රජුගේ නම කිළිටි කළේ රජු වටා හිටි අනෙක් අය තමතමන්ගේ පැවැත්ම උදෙසායි. සමාජයෙන් හැකිතාක් ඒ දුර්මත ඉවත් කරලා නියම ස්වභාවය ජනගත කිරීමයි මේ ඔවුන්ගේ අරමුණ. ශ්‍රී වික්‍රම චරිතය පණ ගන්වලා එහි සදොස් තැන් නිදොස් කරන්න දරන වෑයමේ දී ඔවුන්ට හිතනවා නුර්තියක් නිර්මාණය කරන එක හොඳම ක්‍රමය කියලා. ඉතින් නූර්ති ශෛලියෙන් කවුද මෙය කරන්න ඉන්නේ කියන කාරණයේදී කිසිදු පූර්ව හඳුනාගැනීමකින් තොරව මාව හොයාගෙන ඔවුන් පැමිණියා.
මටත් තිබෙන්නේ නුර්ති පිපාසය, ඒ අයට ශ්‍රී වික්‍රම පිපාසය ඒ දෙක එකට ගැළපුණා.
නුර්ති ශෛලියම මේ සඳහා තෝරා ගත්තේ එහි ඇති විශේෂ ලක්ෂණ නිසාද?
ඇත්තෙන්ම, නුර්ති කියන්නේ සියලු චමත්කාරය සමඟ පණිවිඩය දීම. නුර්තිවල ගුණ තමයි ඇස පිනවන විචිත්‍රවත් දර්ශන, විශ්මයාන්විත දර්ශන. හැබැයි විශ්මයාන්විත දර්ශන කරන්න තරම් නම් අපට මුදල් නෑ. බබළන රංග වස්ත්‍ර, පොහොසත් චිත්‍රවස්ත්‍ර. ඒ වගේම අපට නුර්ති ආභාසය ලැබෙන්නේ උතුරු ඉන්දියාවෙන්. මිනිසුන්ගේ ආකර්ෂණය ගන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතය. ඒ තමයි නූර්තියක වැදගත්ම දේ. වසර සියයකටත් අධික කාලයක් පුරා අඹදඹ නාරම්, දන්නො බුදුන්ගේ, මගේ මන්ද්‍රි නම් බිසෝගේ වැනි ගීත ජනප්‍රිය වන්නේ ඒ නිසා. අදකාලේ සමාජ නාට්‍යයක් වගේ එකකින් බෑ ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරන්න.
ඔබ මේ නව නිෂ්පාදනයට පෙර පර්යේෂණ කළාද?
ඔව්. අපේ පර්යේෂණවලින් හෙළි වුණ කරුණක් තමයි කන්නසාමි ලෙස මේ තරුණයා රජ කරවන්නේ පසුව පිළිමතලාවට රජකම ගැනීමේ අභිලාෂයෙන් කියලා. කන්නසාමි දෙමළ නොවේ. නායක්කාර් වංශික බෞද්ධයෙක්. ඔහු තමයි කන්ද උඩරට රාජධානියේ දළදා මැදුර වෙනුවෙන් පත්තිරිප්පුව පවා නිර්මාණය කරවන්නෙ. කිරි සයුර කියන්නේ පොළොවේ ඇති දෙයක් නොවේනේ. එය අහසේ ඇත්තක්. ඒ නිසා තමයි නුවර වැව කිරිසයුර කියලා නම් කරලා වලාකුළු බැම්මක් ඒ වටා හදන්නේ. නගර සැලැස්ම දාම්ලෑල්ලක් වගේ මාවත්වලින් පිරුණු අයුරින් නිර්මාණශීලීව කළ එකක්. ඔහුට අවශ්‍යව තිබුණා බදු අඩු කරලා ජනතාවට සතුටෙන් සමෘද්ධිමත් ලෙස ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙන්න. ශක්‍ර භවන වගේ තැනුණු පත්තිරිප්පුවේ සිට නියම විදිහට රජ කරන්න. මේ දේවල් මම ඉඳුරාගාරේ හිමියන්ගේ සහ සේනාරත්න මහතාගේ උපදෙස් මත නුර්තියටත් ඇතුළත් කළා.
මම ටවර් හෝල් රඟහලට අවුරුදු සියය පිරෙන මොහොතේ ටවර් හෝල් සියවස් පුරාණය කෘතිය ලීවා.
ටවර් හෝල් සුපිරි තරු කෘතියත් ලීවා. වෙන කිසිම විනෝදාස්වාදන මාධ්‍යයක් නැති යුගයේ මරදානට එක්රොක් වුණේ ටවර් හෝල් එකට. මරදාන ලැගුම් පොළවල්වලට ප්‍රසිද්ධ වුණෙත් ඒ නිසා. ගේන සල්ලි වියදම් කරලා ඔවුන් බොහෝ විනෝද වුණා. ඒ වටා වෙනම සංස්කෘතියක් ගොඩනැඟුණා.
අපි පිළිගන්න ස්වර්ණමය ටවර්හෝල් යුගයක් තිබුණා. ඉන්පසු මදාන් සමාගමට අයත් වෙලා චිත්‍රපට පෙන්වලා පසුව වල්බිහි වෙලා පසුව රජයට නැවත පවර ගත්තේ 1978 වසරේ. ඉන්පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිරිසඟබෝ, හෙන්රි ජයසේන නාට්‍යවේදියාත්, සමුද්‍රදේවී ජී.ඒ. ස්ටැන්ලි පෙරේරා මාස්ටර විසිනුත්, ශ්‍රී වික්‍රම ප්‍රේමරංජිත් තිලකරත්න නාට්‍යවේදියා වැනි අය විසින් කළා. මේ නුර්ති ත්‍රිත්වයම නීතීඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ.
ඒ කාලේ සිරිසඟබෝ රාජ්‍ය තාන්ත්‍රිකව විදෙස් ගත වුණා. තායිලන්තයේ ගිහින් නූර්ති කණ්ඩායම ගුවන් තොටුපළේ බහිනකොට කටවුට් උසට ගහල තිබෙනවාලු පිළිගැනීමක් වශයෙන්. නාට්‍ය ශාලාවේ එය රඟ දක්වද්දි ඔවුන්ගේ බසින් හඬකැවීම් කරන ශිල්පීන් දෙබස් කියනවාලු. එහෙම බලද්දි අද වන විට අපි කොපමණ පසුපසින් ද ඉන්නේ?
මේ වෙද්දි අපේ හිටපු මාස්ටර්ලා මිය ගිහින්.
අපි දුටු ලස්සනම නුර්ති පෙළහර 2000 වික්ටර් වික්‍රමගේ සහ ජී.ඒ. ස්ටැන්ලි පෙරේරා නාට්‍යවේදීන් විසින් නුර්තිවල කොටස් එක් කර සකස් කර තිබුණා. ටවර් හෝල් රඟහල පදනමට වගකීමක් තිබෙනවා නුර්ති පවත්වාගෙන යෑම සංරක්ෂණය කිරීම ආදි කටයුතුවලට. ඒත් සමහරු නුර්ති කියා කළේ විකාර රූපි දේවල්.
මට වාසනාව තිබුණා රොම්ලස් මාස්ටර්ගෙන් එහෙම ඉගෙන ගන්න. ඒ මතකයෙන් තමයි මම මේ නුර්තියත් කරන්නේ. දැනට ඉන්න කලාකරුවන් අතරින් නුර්ති පිළිබඳ දැනුම මතකය වගේම කාර්යශූර බව ඇති කෙනෙකු ලෙස තමයි ස්වාමීන් වහන්සේත් සේනාරත්න මහතා මාව තෝරගත්තේ.
මෙහි පිටපත ඔබ වෙනස් කරද්දි පැරණි නුර්තිය නෙවෙයි අපට දකින්න ලැබෙන්නේ?
ඔවු. අපි දින 7 වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළතයි මේ පිටපත සම්පූර්ණ කළේ. ඒ සඳහා පරණ ශ්‍රී වික්‍රම නුර්තිය ඇසුරු කළා. ජෝන් ද සිල්වා මහත්තයත් ශ්‍රී වික්‍රම රජු නිවැරැදි කරන්න බොහෝ තැන්වල උත්සාහ කර තිබෙනවා.
හැබැයි එය හරියට මතු වෙලා නෑ. ඔහුගේ ආකෘතිය අනුව ප්‍රේක්ෂකයා අවේගශීලී වෙනවා. ඇහැලේපොළ කළ ද්‍රෝහිකම ආදි සියල්ල අමතකව යනවා දරුවාව වංගෙඩියේ ලා කොටද්දි කෑලි විසිවෙන ආකාරය ප්‍රේක්ෂකයාට පෙනුණාම. ඒ නිසා රජුව සුද්දන්ට පාවලා දෙන විට අපේ රටේ සිංහල ප්‍රේක්ෂකයන් අත්පොළසන් දුන්නාලු.
ඒ වෙලාවේ නුර්ති දර්ශනය නවතා ජෝන්ද සිල්වා වේදිකාවට නැඟ කෑ ගැසුවාලු තොපි සිංහලුද අත්පොඩි ගසන එක නවත්තපියව් කියලා. මමත් පොත්පත් කියවලා තමයි දැනගත්තේ. එය සුද්දගෙ පාලනය යටතේ රට තිබුණු සමයක්. 1906 කාලේ. ජෝන් ද සිල්වා තමන්ගේ නුර්තියේ කෲර දඬුවම් දැක්වූ නිසා තමයි එවැනි අත්පොළසන් නැඟුණේ කියන දේ මට අවබෝධ වුණා. ඒ නිසා ඒ දඬුවම් සෞම්‍ය අන්දමින් නාට්‍යයට එකතු කරන්න කටයුතු කළා. ඒ අනුව මම ඔප්පු කරනවා රජු ක්‍රියාත්මක කළේ එවක පැවැති රාජ නීතිය පමණයි යන්න. රාජ දඬුවම් පොතේ ලියැවී තිබෙනවා ඇහැලේපොළ කළ වැරැද්දට දඬුවම කුමක්ද කියා. රජයට ද්‍රෝහිකමක් කරනවා නම් හිස ගසා මරා දැමීම කලින් සිට පැවැති නීතියයි. රාජාද්‍රෝහියා සැඟවෙනවා නම් ඔහුගේ පවුලේ කාන්තාවන් දියේ ගිල්වා මරන්නටත්, දරුවන් වංගෙඩියේ කොටා මරා දමන්නටත් නීතියේ ලියැවී තිබෙනවා. පෙර රජදරුවන් පැවරූ නීතිය තමයි මේ රජු ක්‍රියාත්මක කරන්නේ. ඒ වෙලාවේ ඔහු මත්පැනින් මත් වී ඉඳලා නෑ. ඔහු එහෙම මත්පැන් පානය කරන කෙනෙකුත් නොවේ. එවැනි දුර්මත ප්‍රචලිත කළේ රජකම ලබා ගැනීමේ අභිලාෂයෙන්. රජු නොබී සිටි කෙනෙකු බවට හොඳම සාක්ෂිය තමයි, ඔහු පිටුවහල් කළ විට ගෙන ගිය නැවේ කපිතාන්වරයා ලියූ දින සටහන. නැවේ අය මස් කනවා බොනවා ඒත් රජු ඒ කිසිවත් නොකා නොබී හිටියේ ඔහු ගෙරිමස් නොකන බව කියමින්.
කුමන්ත්‍රණය කළ නිලමේවරුන්ගේ ප්‍රචාරය පමණයි සාමාන්‍ය ජනතාව වෙත පැතිරුණේ.
මම අනෙක් පොත් බලලා ගත් තීරණය තමයි. සි. දොන් බස්තියන් රොලීනා නාට්‍යයෙන් මුල්ම නුර්තිය සැදුවා වුවත් එහි මිශ්‍රිත ගුණ තිබුණා. නාඩගම් සහ ඉංග්‍රීසි නාට්‍යවල ලක්ෂණ ඔහුගේ රොලීනා නාට්‍යයේ දක්නට ලැබුණා. හරිශ්චන්ද්‍ර නාට්‍යයෙන් උත්තේජනය ලබා නුර්ති කරන්න ගත්තේ ඔහු. එහෙත් නුර්ති ශෛලිය අප රටේ ස්ථාපනය කරන්නේ නීතීඥ ජෝන් ද සිල්වා. ඒ නිසා මම හරි පරෙස්සම් වුණා නුර්ති ගුණ රැකගෙන අපේ පරමාර්ථය අනුව කතාව ගෙනයෑමට.
ශ්‍රී වික්‍රම නුර්තිය කියන්නේ අදටත් ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් නිර්මාණයක්. ඔබ එය වෙනස් කරනවා?
ඔබ කියන හේතුව නිසා අපි මේ අලුත් නාට්‍යයටත් උචිත ස්ථානවලට වාසනා දිනේක, දන්න වංහුං වැනි ජනප්‍රියම ගී හයක් යොදා ගන්න කටයුතු කළා. දොයි දොයි ගීතය තමයි නුර්ති ඉතිහාසයේම අපට දරුනැළවිලි හැටියට දකින්න ලැබෙන්නේ. ආයේ තිබෙන්නේ මූදුපුත්තු නාට්‍යයේ මූදු පතුලෙ යට ඉඳලා ගීතය පමණයි. ජවනිකාවක් උද්දීපනය කර පෙන්වන්න සංගීතය වැදගත්. එමඟින් ප්‍රේක්ෂකයාගේ දෙනෙත සවන එක ලෙස පිනවනවා. චිත්‍ර වස්ත්‍ර වෙනුවෙන් අපි සෑහෙන උනන්දු වුණා. පිරුණු චිත්‍ර වස්ත්‍ර සහ බබළන රංගවස්ත්‍ර සමඟ නළු නිළියන් ගීත ගයාගෙන එද්දි ප්‍රේක්ෂකයන්ට කතාවෙන් බාගයක් හිතට වැදිලා අවසන්. නළු නිළියන්ටත් එවැනි වටපිටාවක් සමඟ රඟපාද්දි අමුතු ගැම්මක් හිතට එනවා. මමත් බාල දෙයක් කරන්න සතුටු කෙනෙක් නෙවෙයි. මොකද ජනතාව දෙන දෙයක් බාර ගත්තා වුණත් අපි කරන දේ හරියට කරන්න ඕනෙනෙ. ඒ නිසා සමීර සුබසිංහ සංගීතය සඳහා එවක විශ්වනාත් ලවුජි විසින් කළ සංගීතය හා සමාන සංගීතයක් සැපයීමේ අභියෝගය බාර ගත්තා. අංග රචනය චාමර අනුදත්ත රාජපක්ෂ, පසුතල නිර්මාණය කංචන ගමගේ. මෙහි සම්බන්ධීකරණ කටයුතු කළේ අනුර විජේසිංහ කියන ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයා. ඔහු බොහොම ඇසූ පිරූ තැන් ඇති අයෙක්. චිත්‍රපට ගණනාවක් ටෙලි නාට්‍ය නිර්මාණ රැසක් කළ කෙනෙක්.
එදා සියයකට අධික පාත්‍ර වර්ගයා දායක වූ නුර්තියක් ලෙසයි මෙය සඳහන් වන්නේ. කාන්තාවක් ලෙස ඒ අභියෝගය ඔබ බාරගන්නේ කෙසේද?
ඔවු. කාන්තාවක් නූර්තියක් අධ්‍යක්ෂණය කරන පළමු වතාව මෙය. එහිදී අභියෝග රැසකටත් මුහුණ දෙන්න වෙනවා. සමහර පුද්ගලයන් කාන්තාවකගේ අධ්‍යක්ෂණය යටතේ කටයුතු කරන්න අකැමැති වෙන්න පුළුවන්. සමහරු අපේ ප්‍රතිරූප පිළිබඳ විවිධ තක්සේරු ඇති කරගන්න පුළුවන්. ඒත් මා වටා මේ වැඩේට එකතු වුණ පිරිස වේදිකාවේ දක්ෂයන්.
ශ්‍රී වික්‍රම රාජසිංහ හැටියට රඟපාන්නේ වසන්ත ගුණවර්ධන, දයානන්ද ගුණවර්ධන මහතාගේ පුතා. රාජසිංහ රජුත් අඩි 6 අඟල් 2 උසයි. වසන්තත් ඒ උසමයි. ඔහුගේ රංග පෞරුෂයත් හොඳටම තිබෙනවා. විමලා කාන්තාගේ දූ දරුවන් වන සුජාතා අත්තනායක, රන්ජනී පෙරේරා වැනි අයගේ පරපුරත් මෙයට සම්බන්ධයි. රන්ජනී පෙරේරාගේ පුතා තමයි ඉන්දික ලියනහේවගේ මෙහි මොල්ලිගොඩ චරිතය කරන්නේ. පුතා සහ දුව ලොකුබණ්ඩාර සහ මද්දුම බණ්ඩාර චරිත කරන්නේ. ඇහැලේපොළ කුමාරිහාමිට රඟපාන මමත් ටවර් පෙළපතකින් එන්නේ. තබ්ලා වාදනයෙන් එක්වන තනුෂ්ක පෙරේරා ටවර් හෝල් තරු වුණ සෝමා කාන්තා සහ ටී. විල්බට් පෙරේරාගේ දරුවන් වන ෂෙල්ටන් පෙරේරාගේ සොයුරු රෙක්සින් පෙරේරාගේ මුනුපුරා. මීට අමතරව සුනිල් තිලකරත්න, ගීතා කාන්ති ජයකොඩි, විල්මන් සිරිමාන්න, රාජසිංහ ලෝලුවාගොඩ, රවීන්ද්‍ර කෝදාගොඩ, ජනක රණසිංහ, ප්‍රේමනාත් ජයසේකර, නලින් අල්විස්, නන්ද උඩුවිල, සමන් හේමන්ත, චානක ප්‍රනාන්දු, සුගත් මෛත්‍රී වැනි රංග ශිල්පීන් සමඟ පනස් දෙනකුගෙන් පමණ යුත් පිරිසක් මේ නුර්තියට උපරිම කැපවෙනවා.
තවත් දෙයක් ඕනෙම පිරිමියෙක් මා ළඟ එකත්පස්ව කතා කරනවා. මගේ ඇඟේ ලේවල නූර්තිය දුවන නිසා තමයි මමත් මේ වගේ උපරිම කැපවීමෙන් මෙය කරන්නේ. අඳුම්වල වර්ණ තේරීම වැනි සියලු අධීක්ෂණ කටයුතු මම පෞද්ගලිකව මැදිහත් වී කරනවා.
නුර්ති පිපාසය ඇති ඔබ නුර්ති කලාව ගැන කියන්නේ කුමක්ද?
මෙය කියවන පාඨකයන්ගෙන් මම විමසන්න කැමැතියි ඔබ අතරින් කී දෙනකු නූර්තියක් නරඹා තිබෙනවාද? කියා, මෙය තමයි අපේ මවු නාට්‍ය කලාව. ශ්‍රී ලංකාවට ආවේණික නාට්‍ය කලාව වන්නේත් නූර්ති. එය වෙන කිසි රටක නෑ.
මේ රටේ නූර්තිය ඉදිරියට ගෙන යන්න තව පිරිසක් ඇති කරන්න ඕනෙ. ඇරිස්ටොටල්ලාගේ , බර්ටෝල්ට් බ්‍රේෂ්ට්ලාගේ සහ ශේක්ස්පියර් නාට්‍ය ක්‍රම විතරක් උගත් පිරිස විශ්වවිද්‍යාලවලට මේ ශෛලිය ගෙන එන්න උත්සාහ කරන්නේ නෑ. සමහර විට ඔවුන් මේ ශෛලිය හඳුනන්නෙත් නැතුව ඇති.
මගේ උත්සාහය ශ්‍රී වික්‍රම නුර්තිය පෙළ පොතට ඇතුළත් කරගැනීමයි. මොකද වර්තමානයේ කිසිවකු නුර්තියක් නරඹා නෑ. අපි විදේශීය නාට්‍ය කලාවන් මෙහි ගෙනත් උගන්වනවා. ඒත් නුර්ති උගන්වන්නේ නැත්තේ විෂය දත් පුද්ගලයන් නැති කම සහ විෂය දන්නා අයට අවස්ථාව නැති වීම නිසා.
නුර්තිය නැවත රටවටා ස්ථාපනය කිරීමයි මෙහි අරමුණ.
ප්‍රේක්ෂකයාට ඔබේ පණිවිඩය?
පෙබරවාරි 11 සවස 6.00ට ටවර් රඟහලේදී ශ්‍රී වික්‍රම නුර්තියේ මංගල දර්ශනය පැවැත්වෙනවා.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ සේනාරත්න සිල්වා එක්ව එහිදී ග්‍රන්ථයකුත් එළිදක්වනවා. මේ සියල්ලෙන් ශ්‍රී වික්‍රම චරිතයේ සදොස් තැන් නිදොස් කරනවා.
12 වැනිදා මහජන දර්ශනය පැවැත්වෙනවා. ප්‍රේක්ෂකාගාරයක් සමන්විත වන ප්‍රේක්ෂකයන් කියන්නේ රටවැසියන්. රටවැසියාව ඥානනය කිරීමයි කලාකරුවාගේ වගකීම. නූර්තිය ඔස්සේ තමයි ආනන්දයෙන් ප්‍රඥාවට පමුණුවන්නේ.
අපි රට වටා යන්න හොඳ සෙට් එකක් හැදුවා. නූර්ති ගුණ රැකගෙන සංචාරයේ පහසුවත් ඇතිව අපි පසුතල නිර්මාණය කළා. ගලවා සැකසිය හැකි පරිදි. රජුගේ කෲර වධ හිංසා සියල්ල මේ නුර්තියෙන් කපා හරිනවා.
රජු අහනවා. මම රජුව සාධාරණීකරණය කරන්නේ රජු අහනවා පෙර රජදරුවන් පවසා ඇති පරිදි ඉංග්‍රීසින්ට රටපාවා දුන් වරදට දිය යුතු දඬුවම කුමක්ද කියා. මොල්ලිගොඩ තමයි පිළිතුරු දෙන්නේ. පසුව ශ්‍රී වික්‍රම රජු කියනවා රාජ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් මගේ රජකමෙන් ඇති ඵලය කුමක්ද? වෙනත් රජවරුන්ටත් එය වැරැදි පූර්වාදර්ශයක් ලබා දේවී කියා. මම නාට්‍යකාරියක් ලෙස කළේ මෙහි කුමන්ත්‍රණ මතු කිරීමයි. මෙය බොහොම පොහොසත් නිර්මාණයක්. නාටිකාංගනාවන්ම අටක් සිටිනවා. මම හදන්නේ ඉතිහාසය උඩුයටිකුරු කරන්න නෙවෙයි නිවැරැදි කරන්න. මා විසින් සූත්‍රධර ගීතය රචනා කරනු ලැබුවෙත් ඉතිහාසයේ පැල්ලම් මකා දමමු කියන අදහසින්. ඉතින් මම නාට්‍යකාරියක ලෙස මෙය නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න උත්සාහ කළා. මගේ සිහිනය සැබෑ වෙලා පාත්‍රවර්ගයා මම හිතන විදිහටම රඟපෑම් කළොත් ප්‍රේක්ෂාගාරයේ සිත සසල වේවි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න