වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
‘දූවිලි’ නව නිෂ්පාදනයේ වෙනස්කම් කිහිපයක් කළා

සමාජයේ අත්දැකීම් තමයි ‘දූවිලි’ වේදිකා නාට්‍යයෙන් එළියට ආවේ
සමරකෝන් මහත්තයා මේ නිර්මාණයේ තේමාව වගේ ම චරිත සියල්ලක්ම ගෙනාවේ නාට්‍යමය ස්වරූපයෙන්
‘දූවිලි’. එහෙම කියන විට අපගේ මතකයට එන්නේ දෙපයට පෑගෙන දූවිලි. අපි මේ අද පවසන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන නම් නොවෙයි. ඒ වගේ නමක් තියෙන වේදිකා නාට්‍යයක් ගැන. මීට වසර ගණනකට ඉහත ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියා වේදිකාවට අරගෙන ආව ‘දූවිලි’ යළිත් කාලයකට පස්සේ වේදිකාවට එනවා. ඒ නව නිෂ්පාදනයක් ලෙස. මෙවර ඒ කටයුත්තට මුල පුරලා තියෙන්නේ ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ බිරිය. රම්‍යා වනිගසේකර රංගන ශිල්පිනිය. ඒ ‘දූවිලි’ ගෙනාව අතීතය ගැනත් වර්තමානයේ ‘දූවිලි’ වේදිකාවට රැගෙන පැමිණීම ගැනත් අපි ඈ සමඟ කතාබහක යෙදුණා.
“යුගයට ගැළපෙන තේමාවක් නිසා මම ‘දූවිලි’ නැවත නිෂ්පාදනය කරන්නට සිතුවා. ඒක විශාල වැඩක්. මේ යුගයේ යම්කිසි දෙයක් කරන්න හොඳට ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. දුප්පත් ආර්ථිකයකුත් එක්ක, මගේ සහෝදර නළු නිළියන් සියල්ලන්ම සමඟින් යම්කිසි වැඩක් කළ යුතුයි කියන අදහස පෙරදැරි කරගෙන මම වැඩේට බැස්සා. මේ වනවිට ඉතා සාර්ථකව අපේ පුහුණු වීම් කටයුතු කරගෙන යනවා. පසුගිය 31 වැනිදා සවස ‘දූවිලි’ එල්ෆිනිස්ටන් රඟහලේ එළිදුටුවා.”
ඒක ඔබට හොඳ ආරංචියක් වේවි. මේ දවස්වල පැවැත්වෙන නාට්‍ය උලෙළේ ඔබ නරඹන ඒ නාට්‍ය අතර ‘දූවිලි’ත් ගණින්න පුළුවන් වනු නිසැකයි. එහෙම වුණත් ‘දූවිලි’ අතීතය ගැන නොවිමසාම බැහැ.
“ ‘දූවිලි’ ගැන කතා කළොත් එහි පළමු නිෂ්පාදනය සිද්ධ වුණේ 1990 වසරේ මාර්තු මාසයේ 15, 16, 17. ලුම්බිණි රඟහලෙන් තමයි අපි ගමන ආරම්භ කළේ. ඉතා වේගයෙන් දර්ශන වාර තුන්දහසක් විතර බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අපි මේ වේදිකා නාට්‍යය වේදිකා ගත කළා. ඒ කාලයේ ප්‍රධාන නළුවා විදියට රඟපෑවේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්තයා. ඒ වගේ ම ශ්‍රීනාත් මද්දුමගේ, සරණපාල ජයසූරිය, මැණිකේ අත්තනායක, සිරිල් ධර්මවර්ධන, අපෙන් මෑතකදි සමුගත් බුද්ධි වික්‍රමගේ වගේ ම නිලූකා රේඛානි, ඒ වගේ ම මම, ශිරාණි යන නළු නිළියන් රැසක් ම එදා අපේ කණ්ඩායමේ සිටියා.”
‘දූවිලි’ වේදිකා නාට්‍යයේ මේ කෙරෙන්නේ තෙවැනි නිෂ්පාදනය. මේ වෙනකොට පළමු නිෂ්පාදනවල හිටිය අය ඇත්තේ නැතිතරම්.
“එදා හිටිය අය අතුරින් අලුත් කණ්ඩායමට නළු නිළියන් කිහිපදෙනෙකුම සම්බන්ධ වී සිටිනවා. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර කළ චරිතය දැන් කරන්නේ වසන්ත විට්ටච්චි. ශ්‍රීනාත් මද්දුමගේ සාජන්ට් විදියට රඟපෑව චරිතය දැන් කරන්නේ හිලේරියන් පෙරේරා. බකට් හැරී විදියට සරණපාල ජයසූරිය කළ චරිතය අද කරන්නේ රවීන්ද්‍ර මාපිටිගම. පොලිස් පරීක්ෂක හා පියල්ගේ චරිතය කරන්නේ මහේන්ද්‍ර වීරරත්න. නන්දිමිත්‍ර කරන්නේ අලුත් ළමයෙක් පැතුම් කියලා. බිසෝ චරිතය කරන්නේ අනූෂා දිසානායක. දුව චමරිගේ චරිතය එදා කළේ ප්‍රදීපා ධර්මදාස. අද රඟපාන්නේ අංජුලා රාජපක්ෂ. පුතා කියන මොහාන්ගේ චරිතය එදා කළේ ලසන්ත මධුරංග. අද කරන්නේ සංගීත් ප්‍රභූ. ඒ චරිතය දඩබ්බර චරිතයක්. ඔහු ඒක බොහොම ලස්සනට තේරුම් අරගෙන කරනවා. ළහිරු කියන අයත් මෙහි රඟපානවා. සමන්ති ආටිගල බඩදරු අම්මා හා කුලඟන සමිතිය කියන චරිත දෙකයි කරන්නේ. මැණිකේ අත්තනායක එදා කළ මංගලිකාගේ චරිතය අද කරන්නේ නිලූකා රේඛානි. ඒ වගේ ම මම ඒ අම්මාගේ චරිතය (මංගලිකා) ගැන වෙනස් විදියට හිතුවා. මොකද මම රඟපාන්නේ ගමෙන් එන අම්මාගේ චරිතය. ඒත් මගේ පෙළැන්තියේ නොවෙයි මේ අම්මාගේ චරිතය තියෙන්නේ. ඈ ඉහළ පෙළැන්තියක කාන්තාවක් විය යුතුයි කියන තැන ඉඳලයි මා ඒ චරිතය පිළිගත්තේ. ඒ නිසා ඒ චරිතය ඒ විදියට හසුරවන්න පොඩ්ඩක් උත්සාහ කළා. ඒ වගේ ම නිලූකා රේඛානිට අමතරව තරංග බණ්ඩාර, වසන්ත විට්ටච්චිත් හිටියා. හැබැයි වසන්ත ඒ කාලයේ කණ්ඩායමට සම්බන්ධ වුණේ වේශ නිරූපණ ශිල්පියකු විදියට. මේ පරණ අය හැරුණම නාට්‍යයට වර්තමානය වනවිට සම්බන්ධ වුණු අනෙක් රංගන ශිල්පීන් සියල්ලන්ම වගේ අලුත් අය. ”
කොහොම වුණත් අලුත් නිෂ්පාදනයේ පැරැණි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිපදෙනෙකු වගේ ම අලුත් පිරිසකුත් එක්ක කටයුතු කිරීම මොන වගේ විදියට ද රම්‍යා වනිගසේකරට දැනෙන්න ඇත්තේ. මම ඇගෙන් ඒ ගැන ඇහුවා.
“ ඔවුන් එක්ක කටයුතු කිරීමේදි මට යම් පහසුවක් ආවා. ඒ කියන්නෙ ඔවුන් සමඟ කටයුතු කරද්දි ගොඩක් දේ සාකච්ඡා කරමින් යම් යම් දේ වෙනස් කරගැනීමට පහසුවක් සැලසුණා. ඒ නිසා ඒ ශිල්පීනුත් සමඟ තර්ක විතර්ක ගෙනෙමින්, සාකච්ඡා කරමිනුයි අපි මේ නාට්‍යය පුහුණු වීම් කරන්නේ. ඒ වගේ ම කිව යුතුයි ප්‍රසන්ජිත් මෙවර මෙහි රඟපාන්නේ නැහැ. ඒ ඔහු විදේශ ගතවන නිසා. ඒත් ප්‍රසන්නජිත් අබේසූරිය මහත්තයා හැකි හැම වෙලාවෙම නාට්‍යය නරඹලා, අඩුපාඩු කියලා දෙමින්, වෙනත් වෙනත් ආකාරයේ සංශෝධන කරමින්, නාට්‍ය ගැන සාකච්ඡා කරමින් පිටුපස සිටගෙන බොහෝ උදවු කරනවා. ඒ ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යය කිරීමේදි මට මගේ ශිල්පීන් සියල්ලන් වගේ ම තවත් බොහෝ දෙනෙකු සහයෝගය ලබා දුන්නා.”
‘දූවිලි’ නාට්‍ය පිටපතේ සිදු වුණු වෙනස්කම් අතර වේලු කියන චරිතයත් ඉන්නවා. ඒ ආකාරයට චරිත වෙනස් කළේ කුමන කාරණයක් නිසා ද යන්නත් විමසන විට හෙළි වුණේ වෙනස්ම කාරණයක්.
“එදා මේ නාට්‍යය පැය තුනක් වගේ කාලයක් වේදිකා ගත වුණා. එදා ඒ තරම් කාලයක් අරගත්තත් අද වේදිකා නාට්‍ය ඒ විදියට පෙන්වන්න බැහැ. කාලය මිනිසුන්ට වද දෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් ඔවුන්ට නාට්‍යයක් දිහා බලන් ඉන්න බැහැ. මේ කාරණා නිසා පුළුවන් තරම් නාට්‍යය කෙටි කරන්න අපට සිදු වුණා. එතනදි එඩ්වඩ් චන්ද්‍රසිරිව සිහිපත් කළ යුතුයි. මට පිටපත් සංස්කරණයේදි ගොඩක් උදවු කළේ ඔහුයි. ඔහු තමයි මේ නාට්‍යය උපතේ සිටම දන්න කෙනා. ඔහුත් මමත් පිටපත් දෙක අතට අරගෙන දිගින් දිගටම සාකච්ඡා කරමින් තමයි ‘දූවිලි’ වේදිකා නාට්‍යය සංස්කරණය කළේ. ඒක ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ.”
බොහෝදුරට රචකයා රචකයාගේ කැමැත්තෙන් පිටපත කපන්නේ නැහැ.
“ඒත් මට එහෙම කරන්න සිදු වුණා. කොහොම වුණත් මට මේ පිටපත කපන්න දුකයි. ඒ වගේ ම ඒ කපන්න සිදු වුණු කොටසුත් බොහොම ලස්සනයි. මොක ද සමරකෝන් මහත්තයා මේ නිර්මාණයේ තේමාව වගේ ම චරිත සියල්ලක්ම ගෙනාවේ නාට්‍යයමය ස්වරූපයෙන්. මේ නිසා ම පිටපතේ ඒ ඒ සෑම පෙළකම තිබෙන්නේ පුදුම සජීව බවක්. ඒ නිසා අපට ලේසියෙන් කපලා අහක්කරන්න බැහැ. කපලා අහක්කළත් පුරුද්ද ගන්න ලේසි වෙන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. මේ වෙලාවේ මට මතකයට නැඟෙන්නේ සමරකෝන්ගේ පිටපත් ගැන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා කිව්ව කියමනක්. සමරකෝන්ගේ පිටපතකින් පෙළක් අයින් කළොත් එතනින් ලේ වැඟිරෙනවා කියලයි ඔහු පැවසුවේ. ඒ තරමට ඒ පෙළ සජීව බවයි ඔහු පැවසුවේ. මේ කාරණා මොනවා වුණත් වර්තමානය වනවිට අපට ප්‍රායෝගික වෙන්න සිදු වුණා. ඒ කියන්නේ ආයාසයෙන් වුණත් යුගයේ අවශ්‍යතාව අනුව පිටපත කෙටි කරන්න සිදු වුණා.”
‘දූවිලි’ බොහොම කාලයකට කලින් ලියුවුණු නිර්මාණයක්. ඒ සඳහා අනුපාන සැකසුවේ එකල තිබුණු සමාජය.
“ ‘දූවිලි’ නාට්‍ය ගැන කතා කරන විට 80 ගණන්වල සිදු වුණු සිදුවීම් මාලාවක් තමයි සමරකෝන් මහත්තයාගේ සිතේ රජ කරන්නේ. මේවා එක දවසකින් ලියැවුණු නාට්‍ය නොවෙයි. දීර්ඝ කාලයක් ඔළුවේ කැකෑරි කැකෑරි තිබුණු, ඒ යුගවල ඇතිවෙලා තිබුණු ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ඒවා තමයි සමරකෝන් මහත්තයා නාට්‍යයක් විදියට වේදිකාවට ගෙනාවේ. ඔහු විශාල පිරිසක් ඇසුරු කළ, හොඳ දර්ශනයක් තිබුණු නිෂ්පාදකවරයෙක්; අධ්‍යක්ෂවරයෙක්; රචකයෙක්. ඒ වගේම ඔහු දේශපාලන වශයෙන් විශාල පිරිසක් ඇසුරු කළ, සමාජයේ පීඩිත පන්තියේ ඉඳන් ඉහළ පන්තිය දක්වා ඕනෑම කෙනෙකු සමඟ කතාබහ කරමින් සමාජයේ ගැවසුණු කෙනෙක්. ඒ සමාජය අධ්‍යයනය කළ පුද්ගලයකු විදියට, ඒ සමාජයත් එක්ක ගැටිලා ම ලබාගත් අත්දැකීම් එක්කමයි ‘දූවිලි’ වේදිකා නාට්‍ය එළියට ආවේ.”
ඒ කවුරුන් ඇසුරු කළත් ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියා අතින් ලියැවුණේ පීඩිත පන්තිය ගැන නිර්මාණ. මේ සමාජයේ වෙසෙන බොහොම අසරණ භාවයට පත් වුණු මිනිසුන්ගේ ජීවිත ගැනයි ඔහු ලිව්වේ. ‘අහසින් වැටුණු මිනිස්සු’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වේදිකා නාට්‍ය ඒවාට හොඳම උදාහරණ. ‘දූවිලි’ වේදිකා නාට්‍යය ඒ හා බැඳුණු තේමාවත් රැගත් නිර්මාණයක් ද කියන ගැටලුව මගේ සිතේ නිර්මාණය වුණා.
“ ‘දූවිල’ කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් තේමාවක් හරහා විහිද යන නාට්‍යයක්. සමරකෝන් මහත්තයා ඒ කාලයේ මේ නාට්‍යයට තිබුණ ස්ලෝගන් එක තමයි “දූවිල්ලෙන් ඉපිද දූවිල්ලෙන් වැසී සිට දූවිල්ලක් සේ අතුරුදන්ව ගිය ප්‍රතාපවත් සිටුවරයකුගේ ලෙයින් කඳුළින් පෙගී ගිය චරිතාපදානය” යන්න. එයයි සමරකෝන් මහත්තයා ‘දූවිලි’ නාට්‍යය වශයෙන් එළියට ගෙනාවේ. ප්‍රතාපවත් සිටුවරයාගේ කතාව සමරකෝන් මහත්තයාගේ නිර්මාණයක්. සමාජයේ යම්කිසි දේශපාලන වශයෙන් අතගහපු, දේශපාලන කෝණයෙන් බලමින් සමාජයේ පීඩිත පන්තිය සූරාකන විදිය හා ඉහළ ධනපති පන්තියත් එක්ක ගැටෙමින් තමයි ඔහු මේ නාට්‍යයට තේමාව පාදක කර ගත්තේ. ඒ නිසා මම හිතන්නේ මේ නාට්‍යයේ කොටස් අරගෙන බලන කොට තමයි තේරෙන්නේ මිනිස්සු කොතරම් දරිද්‍රතාවයකින් ජීවත් වුණා ද? මිනිසුන්ව සූරාකන සූක්ෂ්ම විදිය කොහොමද? කියන කාරණය. ඒ වගේ ම දේශපාලනය කියන තැන ඉඳලා අමුතු කෝණයකින් බලන්න පුළුවන් වේදිකා නාට්‍යයකුයි ‘දුවිලි’ නාට්‍ය ලෙස වේදිකාවට ගෙනාවේ.”
එහෙම බලන විට මේ වේදිකා නාට්‍යය එදාට වඩා ගැළපෙන්නේ අදට. මට එහෙම සිතුණේ ‘දූවිලි’ වේදිකා නාට්‍යයේ තේමාව ගැන විමසුවට පස්සේ.
“ඇත්තටම ඒක නිවැරැදියි. එදාට වඩා අදට තමයි මේ නාට්‍ය ගැළපෙන්නේ. එහි තිබෙන එක එක ස්ලෝගන් කියවන විට තේරෙනවා මුළු නාට්‍යයම විවරණය වෙනවා කියලා. එහි එකතැනක තියෙනවා “සල්ලි යහමින් තියෙනවා නම් ඕනම වැදගත් වැඩක් බලු විදියට කරන්නත් පුළුවන්; ඕනම බලු වැඩක් වැදගත් විදියට කරන්නත් පුළුවන්” කියලා. ඒක කියන්නේ පයිප්ප බොන මහත්තයා කියන චරිතය. පයිප්ප බොන මහත්තයා කියන්නේ දෙබිඩි චරිතයක්. ඒ දෙබිඩි චරිතයේදි ඔහු පාතාලයේ විශාල වැඩ රාශියක් කරන බොහොම සුදු රෙද්ද පොරවාගෙන ඉන්න පුද්ගලයෙක්. එයා තමයි මුළු පාතාලයම මෙහෙයවමින් දූෂිත වැඩවල යෙදෙන්නේ. ඔහු ගැන තව තොරතුරු දැන ගන්න නම් ඔහු ගැන රහස දැන ගන්න නම් වේදිකාවට ඇවිත් ප්‍රේක්ෂකයාට ‘දූවිලි’ නරඹන්න ම වෙනවා.”
ඒ විදියට මේ සමාජයේ තිබෙන පෙරළිය ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂරයා තෝරාගන්න චරිත බොහොමයි.
“එහි මවගේ චරිතය කරන්නේ මම. එහිදි අනෙක් චරිතය ආවේ කොහොම ද කියන සම්පූර්ණ ජීවිත කතාව දිගහැරෙන්නේ මවගේ කටින්. ඒක නාට්‍යනුසාරයෙන් පෙළ ගස්සලා තියෙනවා. බකට් හැරී, හැරිසන් මහත්තයා, සර්පීනු, බඩදරු අම්මලා, කුලඟන සමිති, පවුලේ බිරිඳ දරුවන්, ඔවුන් හොඳ පාසල්වලට යන, නීති විද්‍යාලයේ ඉගෙන ගන්න දියණියක් ආදි වශයෙන් චරිත ගොඩයි. මේ චරිත මඟින් ඉහළ පෙළැන්තියේ කර්තව්‍යයන් තමයි වේදිකාවේදි දකින්න ලැබෙන්නේ. එහෙත් මෙතෙක් සමරකෝන් මහත්තයාගේ වේදිකා නාට්‍යවල බොහෝ ප්‍රේක්ෂකයන් දැක්කේ පැල්පත්වාසීන්, මුඩුක්කු වාසීන්, අසරණ ගම්වාසීන්, වතු අධිකාරී පාලනයට යට වුණු අහිංසක මිනිසුන්ගේ චරිත. ඒත් ‘දුවිලි’ මඟින් දිග හැරෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිරූප සහිත චරිත. ඒ චරිත මම හිතන්නේ මේ යුගයටත් ගැළපෙන ආකාරයට බොහොම ලස්සන විදියට නිර්මාණය වෙලා තියෙනවා.”
ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ වේදිකා නාට්‍යවල ඔහු යොදා ගන්න භාෂාව බොහොම ලස්සනයි. මේ නිර්මාණයෙදිත් ඒක එහෙම වෙන්න ඇති බවයි සිතෙන්නේ.
“සමරකෝන් මහත්තයා අතින් ලියැවුණු මේ චරිත ඉතා හොඳට ලියැවුණු, ඒවා ගැන ඉතා සංකීර්ණ විදියට බලන්න පුළුවන් චරිතයි. ඒ වගේ ම ඔහුගේ නාට්‍යවල දෙබස් කඨෝරයි කියලා කිව්වට ඒකේ උඩු පෙළ හා යටි පෙළක් සහිතයි. නිතරම ඒවා ගැන කතා කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රේක්ෂකයා නිතර ම විවිර වූ මනසකිනුයි මේ නාට්‍යය රස විඳීය යුත්තේ. ඒ වෙග් ම ඔහු මේ නාට්‍යයෙත් ඔහු උඩු පෙළ හා යටි පෙළ ඉතා තීව්‍ර විදියට පෙළ ගස්වලා තියෙනවා. ඒ පෙළ ගැස්සීම ඇතුළේ දකින්න ලැබෙන්නේ ශිල්පීන් ඒ හා දක්වන දායකත්වය. ඔවුන් ඒක උකහාගෙන ලස්සනට වේදිකාවට ගේනවා කියලා මට හිතන්න පුළුවන්. මොකද මගේ අධ්‍යක්ෂණය යටතේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒ නිසා එදා ඒ නාට්‍යය නැරැඹුව ප්‍රේක්ෂකයාට මේ නාට්‍යය අද නරඹන විට පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා නේද කියලා දැනේවි.”
ඒ වෙනස්කම් එක්ක රම්‍ය වනිගසේකර රඟපාන අම්මාගේ චරිතය ගැන නොඇසුවොත් අඩුවක් කියලා දැනේවි. ඒ කියන්නේ රම්‍යා වනිගසේකර ආර්.ආර් සමරකෝන් නාට්‍යවේදියාගේ නාට්‍යවල ඉන්න ප්‍රධාන චරිතයක්. ‘දූවිලි’ වේදිකා නාට්‍යයේ අම්මා. ‘කැලණි පාලමේ’ත් අම්මා.
“එදා ‘දූවිලි’ වේදිකා නාට්‍යයේ රඟපෑව අම්මාගේ චරිතයමයි අදත් මම මේ වේදිකා නාට්‍යයේ රඟපාන්නේ. ‘දූවිලි’ නාට්‍යයේ අම්මට ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ අම්මාටත් වඩා මම කැමැතියි කියන්න පුළුවන්. ඒ කාලයේ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්තයාගේ අම්මා වෙල හිටියා. දැන් වසන්ත විට්ටච්චිගේ අම්මා වෙලා ඉන්නවා.”
මෙහි රඟපෑමට යොදා ගන්න චරිත ප්‍රමාණයත් බොහොම වැඩියි.
“මේ වේදිකා නාට්‍යයේ චරිත 23ක් වගේ තමයි තිබුණේ. ඒත් දැන් ඒ කාලයේ වගේ නොවෙයි. හැමදෙයකටම වියදම් වැඩියි. ඒ නිසා ගොඩක් දුරට කල්පනා කරලා එක් කෙනෙකුට චරිත දෙකක්, තුනක් කරමින් මෙහි රඟපාන්න සිදු වුණා. එහෙම කරලත් චරිත දොළහකටයි අඩු වෙලා තියෙන්නේ. එහෙම වුණාම මෙහි හරි වේගයෙන් නළු නිළියන් වෙස් මාරු කර ගන්න ඕන. ඇඳුම් මාරු කරගන්න ඕන. ඒ තත්ත්වය හැමෝටම අභියෝගයක්. පෙළ පාඩම් කරලා රංගනයට පැමිණෙන රංගන ශිල්පීන්ට වඩා අභියෝගයක් එල්ල වෙන්නේ වේශ නිරූපණ ශිල්පීන්ට. එකින් එකට හරිම ඉක්මනින් වේශ නිරූපණයේ නියැළෙන්න ඔවුන්ට සිදු වෙනවා. වසන්ත විට්ටච්චි ඇතුළු කණ්ඩායමට ඒක විශාල අභියෝගයක්. මේ සියලු දේම අපි හැමෝම බොහොම සතුටින් භාර ගත්තා.”
මේ සියලු අභියෝග මේ විදියට භාර ගනිද්දි ප්‍රධානම අභියෝගයට කරගහල තියෙන්නේ රම්‍යා වනිගසේකර. ආර්.ආර්. සමරකෝන් නාට්‍යකරුවා අප අතර නැති වග අපට අමතක නොකරලා තිබෙන්නේ ඈ. ඈට මේ කාර්යය ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවෙයි.
“අද තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක බොහොම අමාරුවෙන් තමයි මේ කාර්ය කරගෙන යන්නේ. ඒත් ඒ වගකීම බොහොම සන්තෝෂයෙන් භාරගෙනයි මා කරගෙන යන්නේ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ සමරකෝන් මහත්තයාගේ නිර්මාණ මැරෙන්න නොදී, යට යන්න ඉඩ නොදී ඉදිරියට ගෙනියන්නයි. මට දරන්න පුළුවන්; මට කරන්න පුළුවන් ඉහළ ම කැප කිරීමෙන් ඒ සඳහා මා කටයුතු කරනවා. මට කළ හැකි එකම කැප කිරීම ප්‍රේක්ෂකයාට නැවත මේ නිර්මාණ නැරැඹීමට සැලැස්වීමයි.”
එවැනි බොහෝ ප්‍රාර්ථනා හදවත පුරවාගෙන සිටින රම්‍ය වනිගසේකර වේදිකා නාට්‍යය පුහුණු වීම් අතර ට පිවිසුණා. ඒ දෙසම බලාගෙන සිටිය මට බොහොම අපූරු සිදුවීමක් මතකයට නැඟුණා. ඒ මිට බොහොම කාලයකට පෙර අතීතයේ එක් දවසක ආර්. ආර්. සමරකෝන් නාට්‍යවේදියා ලුම්බිණියේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඔහුගේ නාට්‍යය පුහුණු වීම් බලාගෙන හිටිය විදිය. එදා ලුම්බිණියේ පුහුණු වීම් කළේ ‘කැලණි පාලම’ බව මට අද වගේ මතකයි.