වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ගුරුතරුව මනෝරත්නයන්ගේ අනුස්මරණය වෙනුවෙනුයි

අසූව දශකයේ මැද භාගයේ බෙනරගම නම නැති අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයක් නොතිබුණු තරම්ය. ඒ අක්ක මලණ්ඩි දෙපළ කෝකිලානි බෙනරගම සහ ජගත් බෙනරගම නිසාය. බොහෝ කෙටි නාට්‍ය තරගවල මේ දෙපළගේ නම ඇති විට විනිශ්චයකරුවන්ගේ තීන්දුවට පෙර පවා ප්‍රේක්ෂකයන් නිල නොවන තීන්දු දී අවසන්ය. ඒ තරමට ඔවුන්ගේ නාට්‍ය ජය සංකේතවත් කළ බැවිනි. ඒ කෙතරම් ද යත් 1984, 85, 86 වසර තුන අඛණ්ඩව හොඳම පාසල් නාට්‍ය නිළිය වූයේ කෝකිලානි වන අතර හොඳම නළුවා වූයේ ජගත් බෙනරගම ලෙස තවමත් නොබිඳී වාර්තාවක් තබන තරමට ඔවුන්ගේ දක්ෂතා කුඩා කල සිටම විශද වන්නට විය. ඒ නිසාම ප්‍රසිද්ධ වේදිකාවටත්, සිනමාවටත්, ටෙලි නාට්‍යකරණයටත්, ගුවන්විදුලියටත් පා තබන්නට කුඩා වයසේදීම ජගත් බෙනරගමට අවස්ථාව ලැබිණි. එසේම ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසියේ වියයුතු ලෙසටමය. මේ වන විට තවත් අලුත් කාර්යභාරයක් කරට ගෙන සිටින ඔහු සරසවියට ඒ තොරතුරු නොවලහා පවසන්නට විය.
වසර 37ක් පුරා ආ ගමන ගැන මොකද හිතෙන්නේ?
මේ වෙද්දි රංගනය ගැන මගේ පැත්තෙන් නළුවකු ලෙස මට සතුටුයි. රටේ පවතින වාතාවරණය නිසා තමයි අපට වැඩ අඩු වුණේ. නැත්නම් පෞද්ගලිකව ගත්තාම සමහර විට නිර්මාණයකට දින දෙන්න බැරි තරම් කාර්යබහුල තත්ත්වයක් මට පැවතුණේ. මට වාසනාව ලැබුණා හොඳ චිත්‍රපට, වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපාන්න. මම ටෙලි නාට්‍ය කීපයක් අධ්‍යක්ෂණයත් කළා. රචනයත් කළා. මෑතකදි නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයේ ප්‍රබල කැරලිකරුවාගේ චරිතය සහ අරුණ අබේරත්න පොඩි විජේ චරිතය ඇසුරින් කළ අංගාරා චිත්‍රපටයෙත් රඟපෑමට අවස්ථාව ලැබුණා. සිනේමා චිත්‍රපටය නම් ළඟදී ප්‍රදර්ශනය කෙරුණානේ. ඒ හැරෙන්න මේ දවස්වල ටෙලි නාට්‍ය මුකුත් නෑ. වේදිකා නාට්‍යත් අඩුයි. මේ දිනවල රටේ තිබෙන ප්‍රශ්න නිසා වැයවන පිරිවැය ගැන සලකා මම ලියා අධ්‍යක්ෂණය කරන තවත් ටෙලි නාට්‍යයක් කිරීම දැනට නවතා තිබෙනවා. එය රුවන්පුර ආශ්‍රිතව ගොඩනැඟූ කතාවක්.
අපේ යුගයේ බිහිවුණ චරිතාංග නළුවකු ලෙස ඔබ රංගනය හැදෑරුවේ කෙසේද කියා දැනගන්න කැමැතියි?
මම රංගනය එහෙම පාසලකින් වගේ ඉගෙනගෙන නෑ. වැඩමුළුවලට නම් සහභාගී වෙලා තිබෙනවා. මම ඉගෙන ගත්ත පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ 6වැනි ශ්‍රේණියේදි විතර තමයි මුලින්ම පාසල් වේදිකාවට පය තිබ්බේ. මගෙ අක්කා, කෝකිලානී බෙනරගම තමයි මගේ මුල්ම නාට්‍ය ගුරුවරිය. මම අවුරුදු තුනක් 84,85,86 එකදිගට පාඨශානාත්ර නාට්‍ය තරගවලින් හොඳම නළුවා වුණා. අක්කා හොඳම නිළිය. එය අදටත් නොබිඳුණු වාර්තාවක්. ඒ කාලේ අන්න අක්කයි මල්ලියි ඇවිත් කියලා හරි ප්‍රසාදයකින් කට්ටිය කතා කරන්නේ තරගවලදි වුණත්. ඉතින් අපි කෙටි නාට්‍ය රැසක් ඒ විදිහට කරගෙන ගියා. ඒ විනිශ්චය මණ්ඩලයකට ආව අවස්ථාවේ තමයි මට නාට්‍යවේදී, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයා හමුවන්නේ. ඔහු මාව 86 වසරේදි හිට්ලර් නාට්‍යයට ගත්තා. එතකොට මම පාසලේ අටේ පන්තියෙ විතර. ඊළඟට රෝහණදේව පෙරේරා මහත්මයාගේ සීලක්කු නාට්‍යයට තෝරාගත්තා. ඉන්පස්සේ තමයි ආචාර්ය ජයලත් මනෝරත්නයන් තලමල පිපිලා නාට්‍යයට තෝරාගන්නේ 88දි පමණ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ ලැබෙන්නෙත් ඒ කාලෙම වගේ. ඔය විදිහට මට කුඩා කාලෙ සිටම මේ නාට්‍යවලට සම්බන්ධ වුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ඇසුරු කරන්න, වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එය මට පාසලකින් ලැබෙනවාට වඩා රංගනය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා. මම අනිත් අයගේ රංගනය සහ හැසිරීම් නැරඹුවා. ඔවුන් මට තමන්ගේම දරුවකුට වගේ ආදරය කළා. මම ප්‍රේක්ෂකයකු හැටියට ඔවුන් පිළිබඳ ස්වයං අධ්‍යයනයකින් තමයි රංගනය ඉගෙන ගත්තේ.
ඔබ රංගනය යන්න දැන් අර්ථදක්වගන්නේ කෙසේද?
රඟපෑමේදී ඒ චරිතයේ ස්වභාවය කුමක්ද කියා අප සොයාගත යුතුයි. ඒ චරිතයේ උප්පැන්නය, පරිසරය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. උදාහරණයකට කීවොත් දයාරත්න රටගෙදර අධ්‍යක්ෂවරයා කළ කැලෑ හඳ ටෙලි නාට්‍යයේ අන්දාගේ චරිතය ලැබුණේ මට. පැරැණි චිත්‍රපටයේ ඒ චරිතය රඟ දක්වා තිබෙන්නේ එඩී ජයමාන්න. මම ඒ චිත්‍රපටය නරඹා නැහැ. ඉතින් මම මට ඔබින විදිහේ විහිළු චරිතයක් හදා ගත්තා. මම එඩී ජයමාන්නගේ චරිතය කරන්න ගියේ නෑ. පිටපත විසින් ඉල්ලා සිටිනු ලබන දේ පිළිබඳ අවබෝධයෙන්, අධ්‍යක්ෂවරයා සහ හැකිනම් රචකයා සමඟ කතා කරලා, මගෙනුත් ඒ චරිතයට ලැබිය යුතු දේ ලබා දීලා තමයි ප්‍රවේශය ගන්නේ.
ඔබ සිනමාව, වේදිකාව සහ පුංචි තිරය යන ක්ෂේත්‍රත්‍රයම ජයගත් ශිල්පියෙක්?
වත්මන් සිනමාව වේදිකාව ටෙලි නාට්‍ය ගැන නම් ඇත්තේ කලකිරීමක්. ඒ අතරින් ටෙලි නාට්‍ය පිළිබඳ හැම අතින්ම පාහේ කතා කරන්නම දෙයක් නෑ. වේදිකාවේ නම් තරමක් දුරට හෝ ප්‍රශස්ත නාට්‍ය නිර්මාණය වෙනවා. ඒත් ඒවා පවත්වා ගැනීම පිළිබඳ ලොකු අර්බුදයක් පවතිනවා. ඒ වගේම අද වේදිකා නාට්‍යවල වුණත් එදා තිබුණු සුන්දරත්වය නෑ. මම කියන්නේ නිර්මාණයේ නෙවෙයි. කණ්ඩායමක් ලෙස කටයුතු කරන ආකාරයේ වුණත් එදා තිබුණේ හරිම එකමුතු බවක්. ඉස්සර අපි බස් එකේ යනකොට එනකොට සින්දු කියාගෙන, තියෙන දෙයක් බෙදාගෙන කාලා එක පවුලක් වගේ ඉන්නේ. ඒත් දැන් නාට්‍ය බස් එකට ගොඩ වුණත් එක එක්කෙනා තම තමන්ගේ ජංගම දුරකථනවලට එබීගෙන එකිනෙකාගේ මුහුණ දිහාවත් බලන්න මතක නෑ. සමහරු තමන්ගේ වාහනේ එනවා. එක වඩේ එක බෙදාගෙන කාලා, එක ප්ලේන්ටිය බෙදාගෙන බීලා හිටිය ඒ බැඳීම දැන් නැහැ.
ටෙලි නාට්‍ය කියන්නෙ දැන් ෆැක්ටරි වගේ. ඉස්සර ටෙලිනාට්‍ය කොටසකට විනාඩි 27ක් තිබුණා. ඒක ක්‍රමයෙන් විසිපහ, විසිතුන ආදි වශයෙන් ඇවිත් දැන් දහසයකට පමණ අඩුවෙලා. ඉස්සර කොටස් තිබුණෙත් දහසයක් විතර වගේ සීමිත සංඛ්‍යාවක්. රන්සිරිගේ සංග්‍රාමය කොටස් දහසය වුණාට දින හැට එකක් වැය වුණා රූගත කරන්න. එක දර්ශනයකට දින තුනකට වඩා තිබෙනවා කාලය. දැන් ඒ වගේද? නළුවා සමහර අවස්ථාවලදි තමන්ගේ රංගනය පිළිබදවම තෘප්තිමත් නැත්නම් අපි ඉල්ලීමක් කරනවා අපි තව එක වතාවකට යමු කියලා. ඒත් දැන් ඒ වගේ ඉල්ලීමක් කරන්නවත් අවස්ථාවක් නෑ. මොකද අධ්‍යක්ෂවරයාම කියනවා නෑ, ඒ ටේක් එක ෂෝක් කියලා.
දැන් ඇත්තටම ඉන්නේ නළු නිළියන් නෙවෙයි ගිරවු. කොහොම හරි දෙබස කටපාඩම් කරගෙන කියනවා මිස අනෙක් කෙනාගේ දෙබසට නිසි ප්‍රතිචාරක් දක්වන්නවත් නිදහසක් නෑ. එවිට ටෙලි නාට්‍යත් හරියට ගුවන්විදුලි නාට්‍ය වගේ. මම එහෙම කියන්නේ ගුවන්විදුලියේත් බොහෝ අත්දැකීම් ඇති නිසා. මම රඟ නොපෑ චිත්‍රපට ගණනාවකම පවා ප්‍රධාන චරිතවලට හඬ කැවුවෙත් මම. උදාහරණ හැටියට කීවොත් ප්‍රවේගය, බොරදිය පොකුණ, හිරිපොද වැස්ස වැනි චිත්‍රපටවල ඇතැම් චරිතවලට හඬ කැවුවේ මම. ඒ නිසා මේ ක්ෂේත්‍රවල නිර්මාණයක තිබිය යුතු ලක්ෂණ ගැන මට සෑහෙන අත්දැකීම් තිබෙනවා. ගුවන්විදුලි නාට්‍යයක වගේ නෙවෙයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන ටෙලි නාට්‍යයක දෙබස් කිව යුත්තේ. අද කාලේ සමහර ටෙලි නාට්‍ය සති දෙකතුනක් නොබලා ඉඳලා ආයෙ බැලුවත් ප්‍රශ්නයක් නෑ. මොකද කතාව එතැනමයි. ඒකයි මේ දේවල් සියල්ල ගැන කලකිරීමකින් ඉන්නේ.
ඒ කියන්නේ ඔබ මෙගා නාට්‍යවලට විරුද්ධයි?
අනිවාර්යයෙන් විරුද්ධයි. ටෙලි නාට්‍ය කියන දේ යළි ගොඩගන්න නම් මෙගා ටෙලි නාට්‍ය ක්‍රමය නතර වෙන්න ඕනෑ. දිනපතා පෙන්වන නාට්‍යයක් නම් කොටස් සියයක උපරිමය පමණයි තිබිය යුත්තේ. සතිපතා පෙන්වන ප්‍රාසංගික නාට්‍යයක් නම් කොටස් විස්සට අඩු විය යුතුයි. අද කිසි තේරුමක් නැතිව ඇදෙන දහස් ගණන් කොටස් සහිත නාට්‍ය නිසා ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව පවා පහත හෙළනවා. අනෙක කොටසකට ගෙවන මුදල වුණත් හිතලා බලන්න. එදා පුංචි පැටවු, රන්සිරිගේ සංග්‍රාමය, ඉටිපහන් වගේ නාට්‍යවල කොටසකට ලක්ෂ හතරකට වඩා ඒ කාලේ ගෙවුවා. දැන් මුදලේ වටිනාකමත් කාලය අනුව වෙනස්වෙලා තිබියදි පවා කොටසකට නාලිකාවලින් ගෙවන්නේ ලක්ෂ එකහමාරක් වගේ. හරිනම් එය මේ වෙද්දි ලක්ෂ දහයක්වත් විය යුතුයිනේ? ගුණාත්මක බවේ තරම තමයි ඒ මුදලින් කියැවෙන්නේ.
එතකොට සිනමාව?
රටේ ප්‍රශ්නය හැරුණු කොට සිනමාවේ නම් යම්තාක් දුරට ගමනක් තිබෙනවා. ඒත් කර්මාන්තයක් ලෙස එය ඇත්තෙත් කඩා වැටුණු තැනක. ඒ කාලේ සිනමාවේ ගාමිණි, විජය, ජෝ, ටෝනි ආදි සියලු දෙනා වාණිජ සිනමාවෙත් රඟපෑවා. සම්භාව්‍ය කෘතිවලටත් දායක වුණා. අද සිනමාවට වෙලා තිබෙන්නේ එහෙම නළුවෙක් පේන තෙක්මානයක නැතිකම. යම්තාක් දුරකට හෝ තරුණ පරපුර නියෝජනය කරමින් ඉන්නේ හේමාල් රණසිංහ වගේ කෙනෙක් විතරයි. ඔහුටත් ප්‍රමාණවත් චිත්‍රපට නෑ. ටෙලි නාට්‍යවලින් එහෙම කොයිතරම් නළු නිළියන් ආවත් ඔවුන්ගේ පැවැත්මකුත් නෑ. අනෙක රංගන අනන්‍යතාවකුත් නෑ. ඔවුන්ගේ රූපකායවල විවිධත්වයකුත් නෑ. නිළියනුත් එහෙමයි. දැන්කාලේ ගැමි චරිතයකට ගන්න නිළියක් නැති තරම්. මොකද ඒ අයත් ඔක්කොම එකවගේ මොඩ් වෙලා. ස්වභාවික රූප සොබාව අහිමි කරගෙන ඉන්නේ. එනිසා එකිනෙකාට වෙනස් අනන්‍යතාවක් මතුවන්නේ නෑ.
මේ දවස්වල වැඩ අඩුයි කීවා ඔබ බොහොම කාර්යබහුලයි?
ඔව්. පසුගිය දිනවල කැස්බෑව කලාකරුවන්ගේ එකමුතුව වන කැස්බියන්ස් සංවිධානය මඟින් ඒ ප්‍රදේශයේ ජනතාවගේත්, දරුවන්ගේත් රසවින්දනය වෙනුවෙන් කරගෙන යන වැඩසටහන් සඳහා එහි සංවිධායක ලෙස වගකීම් බහුල වෙලා තිබුණා.
දැන් තවත් වගකීමක් නිසා කාර්යබහුල වෙලා. මම ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය හතරක රංගන කටයුතු කරගෙන ගියානෙ. ජයලත් මනොරත්නයන්ගේ අභාවය සිදු වුණේ 2020 ජනවාරි 12 වැනිදා. ඔහුගේ තුන්වැනි සමරුව යෙදෙන මේ මස 12 වැනිදා ඉලක්ක කරමින් නාට්‍ය කීපයක් වේදිකාගත කරන්න ජයලත් මනෝරත්න පදනම හෙවත් ත්‍රිලෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මඟින් කටයුතු යොදා තිබෙනවා. එහි සංවිධායක ලෙස පත්කර තිබෙන්නේත් මාව. ඉතින් ඉතාමත් සංකීර්ණ අවදියක් ගත කරමින් ඉන්නවා. තලමල පිපිලා, ගුරුතරුව, අන්දරේලා වැනි නාට්‍ය ඒ පදනමෙන් වේදිකාගත කෙරෙනවා. ඉදිරියේදී හඬ නිහඬ නාට්‍යයත් වේදිකා ගත කරන්න බලාපොරොත්තුවක් ඔවුන්ට තිබෙනවා.
ඒ වගේම මනෝරත්නයන්ගේ නාට්‍ය ගීතමය ජවනිකා කොටස් එකතු කොට මනෝ රඟසොබා නමින් වැඩසටහනකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. බණ්ඩාර ඇහැළියගොඩයන් තමයි එහි පිටපත රචනා කර ඇත්තේ. මේ සියල්ල සංවිධානය කිරීමේ භාරධුර වගකීම මට පවරා තිබෙනවා. මනෝරත්නයන් ජීවතුන් අතර සිටින සමයේ මේ කටයුතු සියල්ල සංවිධානය කර තිබුණේ සෝමපාල පතිරගේ මහත්මයා. ඉන්පසු සුසිල් වික්‍රමසිංහ, නිශ්ශංක ගුණසුමන වැනි අය මේ කටයුත්තේ යෙදිලා හිටියා. දැන් ඔවුන්ගේ වයස සහ කාර්යබහුලත්වය සමඟයි මට වගකීම පැවරුණේ. මේ කටයුත්ත ඉතා ඉක්මණින් තීන්දු තීරණ ගත යුතු ධුරයක්. එක ශිල්පියෙකු නිසා අනිත් අය තිස්පස්දෙනකුගේ විතර මහන්සිය අපතේ යා හැකි නිසා වගේම ඒ ශිල්පියා නිසා සම්පූර්ණ නාට්‍යයක් අවලංගු කරනවාද වැනි තීරණ පරෙස්සමින් ගත යුතුයි.
අන්දරේලා නාට්‍යයේ මනෝරත්නයන්ගේ චරිතයට පණ පොවන්නේ රවීන්ද්‍ර යසස්, ගුරුතරුවේ ඔහුගේ චරිතය නිරූපණය කරන්නේ සනත් විමලසිරි, තලමල පිපිලා හි මනෝරත්නයන් වෙනුවෙන් ප්‍රසන්නජිත් අබේසූරිය ඒ චරිත නිරූපණයට තෝරාගෙන තිබෙනවා. ඒ වගේම සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි වැනි අප අතරින් වියෝ වූ කලාකරුවන් කළ චරිත වෙනුවෙන් අජිත් ලොකුගේ, වසන්ත විට්ටච්චි වැනි අය චරිත නිරූපණය කරනවා.
මනෝරත්න මහත්මයාගේ සිහිනයක් තිබුණා ගුරුතරුව නාට්‍යය සඳහා හොඳට නටන්න, සින්දු කියන්න හැකි අලුත් පිරිසක් නාට්‍යය පිරෙන්න සිටිය යුතුය කියා. කෙසේ හෝ කලින් සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගෙන සිටි පිරිස යොදාගෙන ඒ සිහිනය සැබෑ කරන්න මෙවර අපට හැකි වී තිබෙනවා. එය මා මේ වෙනුවෙන් ගත් දැඩි තීරණවලින් එකක්. මේ සියල්ලට ම මනෝරත්න පදනමේ භානුක මනෝරත්න, ඉන්දීවරී මනෝරත්න යන එතුමාගේ දරුවන් සහ ජයන්ති මනෝරත්න මහත්මිය විශාල සහයෝගයක් දෙනවා. ගුරු තරුව නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වන රංජිත් බාලසූරිය තමයි මෙහි සියලු නාට්‍යවල සංගීතය මෙහෙයවන්නේ. ජගත් පද්මසිරි වේශ නිරූපණ කටයුතු සේම විශාල වගකීමක් පදනම වෙනුවෙන් දරනවා. සුවිනිතා සුබසිංහ මනෝරත්නයන්ගේ නාට්‍ය සියල්ලේම පාහේ ඇඳුම් නිර්මානය කරනවා. ඒ අයගෙන් මට විශාල සහායක් වැඩ කටයුතු කරගෙන යෑමට ලැබෙනවා. මනෝරත්න මැතිණියට අපි පින්දෙනවා වසර තුනක් මේ නාට්‍යවල පසුතල විනාශ නොවී තබා ගැනීමට ඒ කාලය පුරා නිවෙසකට කුලී ගෙවා තබා ඒවා සුරක්ෂිතව තබා ගැනීම සම්බන්ධව.
කවදාද නාට්‍ය රඟ දක්වන්නේ?
ආචාර්ය මනෝරත්නයන්ගේ තුන්වැනි අනුස්මරණය යෙදෙන ජනවාරි 12 ගුරු තරුව එල්ෆින්ස්ටන් රඟහලේ දර්ශන වාර දෙකම පවත්වනවා. විෂයය නිර්දේශවලටත් මේ නාට්‍ය ඇතුළත් නිසා පාසල් ළමයින් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක් අප සකසා තිබෙනවා. මේ දර්ශනවලට අර අලුත් දරුවන් සියලු දෙනාත් සහභාගී වෙනවා. අපි මේ නට්‍ය කරන්නේ වසර තුනකුත් මාස තුනකට පසුවයි. එනිසා මෙහි චරිතවල ලොකු වෙනස්කම් සිදු වී තිබෙනවා. උදාහරණයකට මම හිටියේ පාසල් ශිෂ්‍යයකු ලෙස. මෙවර මම ගුරුවරයකුගේ චරිතය කරනවා. ඒත් රසවින්දනයට කිසිදු වෙනසක් සිදු නොවන අයුරින් අප ඒ නාට්‍ය සියල්ල ඉදිරිපත් කරන්නේ.
මෙය අප කරගෙන යන්නෙ ටවර්හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් කෙරෙන අපේක්ෂාවේ කලා මංගල්‍යය වෙනුවෙන්. එය මේ මස 9 වැනිදා ආරම්භ වෙනවා. ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රඟහල් දෙකේම නාට්‍ය දර්ශන පැවැත්වෙනවා. ඒ කෙසේ වෙතත් නාට්‍යයක් කරනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවන නිසා අපේ නාට්‍ය සඳහාත් අනුග්‍රාහකත්ව ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙළ යොදාගෙන කටයුතු කරන්න අපට හැකි වුණා.
ඉතින් අප ආරාධනා කරනවා සියලු දෙනාට ආචාර්ය ජයලත් මනෝරත්න නම් මේ විශිෂ්ට කලාකරුවාට කරන ගෞරවයක් ලෙස එදින නාට්‍ය නරඹන්න එන්න කියා. ඒ වගේම අප මේ නාට්‍ය රටවටා රැගෙන යන්න කටයුතු කරනවා. ඒ සඳහාත් අප සමඟ එකතු වන ලෙස රටවටා සංවිධායකවරුන්ට ආරාධනා කරනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න