ලංකාවේ පහසුකම් තිබිලත් අපට එවැනි නාට්‍ය උලෙළක් පවත්වා ගන්න බැහැ

ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත
දෙසැම්බර් 29, 2022

 

චාමික හත්ලහවත්ත ඇතුළු නාට්‍ය කණ්ඩායම ‌බොහොම පරිශ්‍රමයක් දරලා නොවැම්බර් මාසයේ දවසක ඉන්දියාවට ගියා. ඒ ඔහුගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයත් අරගෙන නේපාල අන්තර්ජාතික නාට්‍ය උලෙළට. ඔවුන් ගිය මේ සංචාරය අවසන් කරලා පසුගියදා යළිත් සිය මවුබිමට පා තැබුවා. ඒ ආ ගමන් අපි ඔහුට කතා කළා. ඒ ඔවුන්ගේ සංචාරය ගැන විස්තර අහන්න. ඒ ලැබුව අත්දැකීම් වගේ ම යන්න දැරුව පරිශ්‍රමය ගැනත් ඔහු අපට කරුණු හෙළි කළේ මෙහෙම.

“අපි නියෝජනය කළේ 2022 නේපාල අන්තර්ජාතික නාට්‍ය උලෙළ. ඒකේ තේමාව වෙලා තිබුණේ “සමාජ පරිවර්තනය උදෙසා නාට්‍ය කලාව” යන්නයි. මුලින්ම මේ සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවලා තිබුණු වෙලාවේ මම ඒකට අයදුම් පත්‍ර දැම්මා. එතනදි මට සිදු වුණේ මේ වේදිකා නාට්‍යය සමාජ පරිවර්තනය දායක වෙන්නේ කොහොම ද කියන කාරණය පිළිබඳ ප්‍රොජෙක්ට් එකක් ලියන්න. එතකොට මා ලිව්ව මේ ප්‍රොජෙට් එකයි, ඩීවීඩී එකයි, නාට්‍ය සෙට් එක සමඟ සිනොප්සි එකත් ඇතුළුව සියලු තොරතුරු ඔවුන්ට ලබා දුන්නා. ඉන්පස්සේ ඔවුන් මට දැනුම් දුන්නේ ලෝකයේ රටවල් 84ක නාට්‍යවලින් හොඳම නාට්‍ය 18ට අපේ නාට්‍යය තෝරාගත් බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන යන බවත් ඔවුන් අපට දන්වලා තිබුණා. ඒ අනුව අපේ රටෙන් මගේ නාට්‍යයයි තෝරාගෙන තිබුණේ. ඒ දැනුම් දීමෙන් පස්සේ කෑමබීම, නවාතැන් පහසුකම්, ගමන් පහසුකම් ලබාදෙන බවත්, ගමන් ටිකට් පත් ලබා නොදෙන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.”

ලෝකයේ බොහෝ රටවල වගේ නොවෙයි. අපේ රටේ නාට්‍යකරුවන් ඉන්නේ මුදල් අතින් බොහොම දුප්පත් තැනක. මේ නිසා ඒ දැනුම් දීමත් එක්ක නඩේගුරාට ඒ කියන්නේ චාමිකට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අතර මූලික ගැටලුව වුණේ ගුවන් ටිකට් පත්වලට මුදල් සොයා ගැනීම.

“ගුවන් ටිකට් පත් ලබාගැනීමයි අපට විශාල අභියෝගයක් වුණේ. සෑම ආයතනයකින් ම වගේ මා ඉල්ලීම් කළා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන්, දෙපාර්තමේන්තුවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කළා. ඒ සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසාම අපි ලොකු අර්බුදයකට මුහුණ දීලයි සිටියේ. අපේ රට නියෝජනය කරන්න ලැබුණු අවස්ථාවේ ඒ විදියට කිසිම සහයෝගයක් නොලැබීම ගැන. මේ අතරයි මා මේ ගැන මුහුණුපොතේ සටහනක් තියන්නේ. ඒ දුටු විගසම නාට්‍යකරුවන් බොහෝ දෙනෙකු සූදානම් වුණේ මට මුදල් එකතු කර දීමටයි. මා මගේ නාට්‍ය කණ්ඩායමත් එක්ක කතා කළා. නිකම් මුදල් අරගෙන යන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ අනුව එල්ෆිනිස්ටන් එකේ නාට්‍ය දර්ශනයක් කරලා ගමනට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට මා ඇතුළු මගේ නාට්‍ය කණ්ඩායම තීරණය කළා. ඒ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එල්ෆිනිස්ටන් රඟහල අපට නොමිලේ ලබා දුන්නා. ඒ වෙනුවෙන් අපි එතුමාට ස්තුතිය පුද කරන්න ඕන. අඩුම තරමෙන් අපට රංග ශාලාව ලබාදීම සම්බන්ධයෙන්. ඒ වගේ ම විශාල පිරිසක් නාට්‍ය නරඹන්න ආවා. නාට්‍යකරුවන් හැමෝම වගේ. ඔවුන් මේ නාට්‍යය යැවිය යුතුයි කියන තැනයි හිටියේ. මේ ගැන මුහුණුපොතෙත් සංවාදයක් ගියා. ඒ නිසා බො‌හෝ දෙනා නාට්‍ය නරඹන්න ආවා. සමහරු නාට්‍ය නරඹන්නේ නැතිවත් ටිකට් මිලදී අරගෙන තිබුණා. ටිකට් මිලදී ගන්න තිබුණේ ඔන්ලයින් නිසා ඒ මඟින් අපට උදවු කළ අයත් බොහොම හිටියා.”

මේ අතර මේ ගමන යා යුතුමය කියන තැන ඉඳගෙන උදවු කළ හැම දෙනා ගැන ම සිහිපත් කරන්නට චාමික හත්ලහවත්ත අමතක කළේ නැහැ.

“මේ අය අතර අපට ගුවන් ටිකට් පත් ලබාදුන්න අයත් හිටියා. ඒ අයත් මේ වෙලාවේ මකතයට නැඟිය යුතුයි. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය, නාට්‍යවේදිනියක වන ජානකී හිල් මහත්මිය, දිනේෂ් රොද්‍රිගු කියන මේ තුන්දෙනා අපට සම්පූර්ණ ටිකට් පත් ලබා දුන්නා. පසුකාලීනව ජනාධිපති අරමුදලින් අපට ලක්ෂ තුනක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂයෙන් සංජක ප්‍රසාද් දොලේවත්ත, ධනුෂ්ක රාමනායක සහ සුදීර නිලංග විතාන යන අයටයි. ඒ වගේම ජනාධිපතිතුමාටත්, ජනාධිපති ලේකම්තුමාටත් ස්තුතිවන්ත විය යුතුයි. ලක්ෂ තුනක මුදලක් අපට ලැබුණා. ප්‍රමාණවත් නොවුණත් ඒ ලැබුණු මුදල ගැන අපි සෑහිමකට පත්වෙනවා. ඒ මොහොතේ අපි ගැටලුවක හිරවෙලා හිටිය නිසා. කොහොම වුණත් ඒ මුදල් අපට ප්‍රමාණවත් වුණේ නැහැ. පසුකාලීනව යන්න ගිහින් අභියෝග රැසකටම මුහුණ දෙන්න වුණා. බොහෝ කරදර බාධක කම්කටුලු රැසක් මැදයි අපට නේපාලයට යන්න වුණේ. නේපාලයට ගිහිනුත් අපට අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. ඒ අභියෝගවලදි අපට ගොඩක් උදවු කළ අය ඉන්නවා. විශේෂයෙන් අනූෂා ගෝකුල මැතිනිය, නිරුදක නෙත්තසිංහ, නිරෝෂ් කවිරත්න යන මහත්ම මහත්මීන් සිහිපත් කළ යුතුයි. ඒ වගේ ම නේපාලයේ ශ්‍රී ලංකා කොන්සාල්වරිය දිනූෂා

දිල්මිණි මැතිනියවත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඈ අපට බොහෝ සේ උදවු කළා. ඒ වගේ ම නේපාලයේ අන්තර්ජාතික මණ්ඩල තියටර් ගෲප් එකෙනුයි මේ නාට්‍ය උලෙළ සංවිධානය කර තිබුණේ. ඒ වගේ ම තිවංක ඇතුළු යහළුවන් පිරිසටත් ස්තුති විය යුතුයි. ඔවුන් නිසා අපි නාට්‍ය අත්දැකීම් වගේ ම නේපාලයේ සංස්කෘතියත් රස වින්ඳා. මේ සියලු දෙනාගේම ආගන්තුක සත්කාර බොහොම ඉහළයි. ඒ සියලු දෙයට, සියලු දෙනාට ස්තුතිය පළ කළ යුතුයි.”

මේ විදියට ස්තුතිය පළ වෙද්දි නේපාල අන්තර්ජාතික නාට්‍ය උලෙළ මොන වගේ සිරියක් ගත්ත ද කියලත් මගේ සිතේ තිබුණේ ගැටලුවක්.

“මේ අන්තර්ජාතික මණ්ඩල තියටර් ගෲප් කණ්ඩායම හොඳ නාට්‍ය උලෙළක් සංවිධානය කර තිබුණා. ඒ ගැන හිතන‌ කොට අපට පුදුමත් හිතෙනවා. ඒ අපටත් වඩා ආර්ථික අපහසුකම් තිබෙන රටක ඉන්න අය කොහොමද මෙහෙම නාට්‍ය උලෙළක් සංවිධානය කරන්නේ කියන කාරණය. පර්චර්ස් දහයක, පහළොවක තරම් කුඩා ඉඩකඩකයි මේ රඟහල් ඉදි කරලා තිබුණේ. ඔවුන් කම්පැනියක් විදියටයි මේ කටයුතු සිදු ‌කළේ. ඒත් අපට මේ තරම් පහසුකම් තිබිලත් මේ දක්වා අපට මේ වගේ උලෙළක් හෝ දියුණු මට්ටමේ අන්තර්ජාතික නාට්‍ය උලෙළක් කරන්න බැහැ. ඒ වගේ තියටර් කම්පැනි එකක් පිහිටවා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒක අපේ රටේ බොහොම අර්බුදයක් විදියට මා දකින්නේ. එහෙත් නේපාලයේ ඔවුන්ගේ සහය, පහසුකම් බොහොම හොඳ මට්ටමක තිබුණා.”

චාමික හත්ලහවත්තගේ මේ ගමන පළමු ගමන නොවන බව මගේ මතකයට නැඟුණා. ඒ ගමන් එක්ක ගත්තට පස්සේ මේ ගමන මොන වගේ ඔහුට දැනුණද කියලත් මතකයට නැඟිය යුතුයි.

“මා මීට පෙර 2009, 2010 වගේ වර්ෂවල නාට්‍ය උලෙළවලට සහභාගි වී තිබෙනවා. ඒ කාලවලට වඩා අද වනවිට ඔවුන්ගේ කටයුතු බොහොම දියුණු මට්ටමකයි පැවතුණේ. නවාතැන් පහසුකම් එහෙම ගොඩක් දියුණු වී තිබෙනවා. ඒ අය ගෙන්වලා තිබුණු නාට්‍ය ගොඩක් දියුණුයි. ඒ අයගේ සංවිධානය දියුණුයි. ඒ අය මේ උලෙළ උත්සවශ්‍රීයෙන් සැමරුව නාට්‍ය උලෙළක්. නාට්‍යයක් අවසන් වුණාට පස්සේ සමහර තැන්වල සින්දු කියනවා; සමහර තැන්වල නටනවා; ඒ ඒ නාට්‍ය පිළිබඳ කතිකා පවත්වනවා. ඒත් අපි නම් ඔහේ නාට්‍ය උලෙළක් තියලා අන්තිම දවසේ සම්මාන දීලා අවසන් කරනවා. ඒ වගේ උත්සවශ්‍රීයක් අපේ උලෙළෙහි ඇත්තේ නැහැ. මේ නාට්‍ය උලෙළට සහභාගි වීම නිසා මෙවැනි ගොඩක් අත්දැකීම් අපට ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.”

ලෝකයේ රටවල් අසූ හතරක නාට්‍යවලින් හොඳම නාට්‍ය 18 අතරට ගැනුණු ‘රජා මං වහලා’ නාට්‍යය වගේ ම එහි තිබුණු අනෙකුත් නාට්‍ය පිළිබඳ අත්දැකීම් මේ නාට්‍ය කණ්ඩායමේ දැනුමට මොන වගේ දේ එකතු කරන්නට ඇති ද කියලා මට සිතුණා.

“ එහිදි අපේ නාට්‍යය ඉදිරිපත් කළා වගේ ම මා එහි තිබුණු ගොඩක් නාට්‍ය නැරැඹුවා. ඒ නාට්‍ය නැරැඹුවා මා දැක්ක දෙයක් වුණේ ඒ සමහර නාට්‍යවල දෙබස් ඇත්තේ නැති බවයි. සමහර නාට්‍යවල දෙබස් පොඩ්ඩයි. මීට කලිනුත් ඔවුන්ගේ නාට්‍ය උලෙළවලත් ඒ ලක්ෂණයම තිබුණා. ඔවුන් වැඩිපුර උත්සාහ කරලා තිබුණේ ශාරීර භාෂාවෙන් අදහස් පැවසීමටයි. ඔවුන් ශරීර භාෂාවෙනුයි බොහෝ දේවල් කිව්වේ. ඒත් ශ්‍රී ලංකාවේ නාට්‍ය වැඩිපුරම ඉන්නේ වාචික අභිනයේ හිරවෙලා. උරුගුවෙන් ඉදිරිපත් වෙලා තිබුණා ‘රියෝ’ කියලා නාට්‍යයක්. එහි රඟපෑව නළුවා හා නිළිය භාවිත කළේ අඩු දෙබස් ප්‍රමාණයක්. පුළුවන් තරම් ඔවුන් ශරීර භාවිතයෙනුයි ඒ සියලු දේ ඉදිරිපත් කළේ. පසුතලය වුණත් ලොකු පසුතලයක් ඇත්තේ නැහැ. ශරීර භාෂාවෙනුයි ඔවුන් ගොඩක් දේවල් කිව්වේ. ඒක බලන් ඉන්න තරමේ අපූරු නාට්‍යයක්. ඒ වගේ නාට්‍යගොඩක් අපි දැක්කා. ඒ වගේ ම තවත් නාට්‍යයක් නැරැඹුවා. ඒක රුසියානු නාට්‍යයක්. කාන්තාවෝ දෙන්නෙකුයි ඉදිරිපත් කළේ. පොඩි සුරංගනා කතාවක්. ඔවුන් භාවිත කළේ මපට්. අපි දන්නවා ඔවුන් භාවිත කළේ මපට් කියලා. ඒත් ඒ සීමාවල් බිඳලා ඔවුන් මපට් භාවිත කළේ බොහොම අපූරු විදියටයි. ඔවුන් මපට් මඟින් ඒ කතාව ඉදිරිපත් කළා. ඒ නාට්‍ය අවසානයේ ඔවුන් වැඩිහිටියන්ට කීකරු වෙන්න වගේ පණිවිඩයක් දෙනවා. ඒක ඇරුණාම මුළු නාට්‍ය පුරාම ඔවුන්ගේ භාවිතයන් බොහොම අපූරුයි. ස්ටෝරි ටෙලින් මතම රඳා පැවතිලා තමයි ඔවුන් ඒ නාට්‍ය ඉදිරිපත් කළේ. ඒ වගේ නාට්‍ය රැසක්ම අපි නැරැඹුවා. ඒක අපට ලොකු අත්දැකීමක් වුණා. ඒ උලෙළට සහභාගි වීම නිසා ම අධ්‍යක්ෂවරයකු විදියට මමත් අධ්‍යක්ෂණ අත්දැකීම් ගත්තා. පිටපත් අත්දැකීම් ගත්තා. අපේ නළු නිළියන් ඒ උලෙළේදි අනෙක් නළු නිළියන්ගේ රංගනයන් දැකලා ඒ පිළිබඳ අත්දැකීම් ගත්තා. ඒ උලෙළ බොහෝ වැදගත් අත්දැකීම් බෙදා හදා ගන්න තැනක් වුණා.”

මේ සියලු දේ අතර ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය වේදිකා ගත වුණේ නොවැම්බර් 30 වැනිදායි. ඔවුන් අනෙක් නාට්‍යය නරඹා ගත් අත්දැකීම් වගේ ම මේ නාට්‍යය සඳහා අනෙක් අයගෙන් ලැබුණු ප්‍රතිචාරත් ඔවුන්ට කුමන අදහසක් ඇති කරන්න ඇති ද? චාමික ඒ සඳහා දුන්නේ මේ වගේ පිළිතුරක්.

“අපි පොඩි බයකින් හිටියේ දෙබස් නිසා මේ නාට්‍යය තේරුම් ගන්න පුළුවන් වේවිද කියලා. මම මගේ කණ්ඩායමට කතා කරලා කිව්වා “මේ ඉන්න අයට දෙබස් තේරෙන්නේ නැහැ ඒ නිසා ශරීර භාෂාවට රංග කාර්යයෙහිදි වැඩි අවධානයක් යොමු කළ යුතු බව.” එදා වෙන ම රිද්මයක සියල්ලන් ම රඟපෑවා. ගැටලුවක් වුණේ නැහැ. අපේ නාට්‍යය නැරැඹුව අය බොහොම හොඳීන් රස වින්ඳා. නාට්‍යය අවසානයේ සියලු දෙනාම නැඟිටලා අත්පුඩි ගැසුවා. ඔවුන් අපේ නාට්‍යය අගය කළා. විශේෂයෙන්ම අපේ නළු නිළියන්ගේ රංග කාර්යය, ඔවුන්ගේ රිදම් එක, එකම බැරල් අට කොහොම ද පසුතලයක් වෙන්නේ, රංග භාණ්ඩ වෙන්නේ, සංගීත උපකරණ වෙන්නේ කියන කාරණා ගැන ඔවුන් විස්මයට පත් වුණා. මෙතනදි මම හිතන්නේ අපි තියටර් එක පැත්ත ගැන අවධානයක් යොමු කළ නිසා තමයි මේ තරම් අපට ප්‍රතිචාරයක් ලැබුණේ. ඒ පිළිබඳ ගොඩක් අය කතා කළා. විවිධ අදහස් පළ කළා. භාෂාව පුංචි බැරියර් එකක් වුණත් නාට්‍යය රස වින්ඳා කියලයි ඔවුන් කිව්වේ. ඒක අපිට වැදගත් අවස්ථාවක් වුණා. මොකද ලෝකයේ අනෙක් අය අතර අපේ රටේ නාට්‍යයකට හිමි තැන ලැබීම. මෙහිදි අපි සියලු දෙනාම නාට්‍යයේ රංගනය, අධ්‍යක්ෂණය, තිරරචනය, අත්දැකීම් ඇතුළු අපේ සංස්කෘතිය පවා එහි සිටි නාට්‍යකරුවන් සමඟ හුවමාරු කර ගත්තා. ඒක අපේ නාට්‍යකරුවන්ට වගේ ම අනෙකු අයටත් වැදගත් වුණා කියලා මා සිතනවා. එහි තිබුණු කතිකාවත්වලට අපි සම්බන්ධ වුණා. එහි සිටි ශිල්පීන් සමඟ කතා කළා. ඒ අයත් ඔවුන්ගේ තිබෙන වෙනත් උලෙළවලට අපට ආරාධනා කළා. දැන් ඒ සම්බන්ධයෙන් මා ක්‍රියා කරමින් යනවා.”

අපේ රටේ අන්තර්ජාතික නාට්‍ය උලෙළක් නැති බව චාමික පැවසුවත් අපේ එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් කරන කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ ගැනත් අමතක කළ නොහැකියි.

“එම්. සෆීර් විසින් කළම්බු අන්තර්ජාතික නාට්‍ය උලෙළ සංවිධානය කරනවා. මං හිතන්නේ ඒ සඳහා ගොඩක් පහසුකම් ලැබෙනවා අඩුයි. ඔහුගේ ධෛර්යනේ තමයි ඒක කරන්නේ. මම හිතන්නේ ඒකට තවත් පහසුකම් ලැබෙනවා නම් හොඳයි කියලා. ඔහුට තවදුරටත් ඒක හොඳට කරන්න පුළුවන්. ඒක තවදුරටත් ව්‍යාප්ත වෙනවා නම් වඩාත් හොඳයි ‌නේපාල අන්තර්ජාතික නාට්‍ය උලෙළ වගේ. එක උලෙළක් නොවෙයි එවැනි තවත් නාට්‍ය උලෙළ දෙක, තුනක් තියෙනවා නම් හොඳයි. එහෙම වුණොත් තමයි අපේ රටේ නාට්‍ය කලාව දියුණු කරන්න පුළුවන්. ඒ වගේ ම එය අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන්.”

චාමික හත්ලහවත්ත නාට්‍යකරුවා වගේ ම මෙවැනි නාට්‍ය උලෙළ නියෝජනය කිරීමට අනෙක් නාට්‍යකරුවන් වුණත් බොහොම කැමැත්තක් දක්වන බව අපට රහසක් නොවෙයි. ඒත් ඔවුන්ටත් ඒවාට සහභාගි වීම අද ගැටලුවක් බවට පත් වෙලා. ඒ සඳහා යම් ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුයි.

“අපිට මේවාට යෑමේදි තිබෙන අත්දැකීම් අඩු නිසා බොහෝ විට කකුලෙන් අදින බවකුයි හැමතැන්වලදිම දකින්නට ලැබෙන්නේ. ‘රජා මං වහලා’ නාට්‍ය රාජ්‍ය සම්මාන දහයක් දිනුව නාට්‍යයක්. ඒ වගේ ම 2019, 2920 රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නාට්‍ය කෘතිය. ඒ වගේ ම මේ වගේ අවස්ථාවක් ලැබුණාම ඒක රටට හොඳ අවස්ථාවක්. රටේ නාට්‍ය කලාවට, සංස්කෘතික හුවමාරුවට වගේම විවිධ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටත් මේ අන්තර්ජාතික නාට්‍ය උලෙළ සංවිධානය කිරීම, ඒවාට නාට්‍ය යැවීම වැදගත්. ඒ අය මේ නොවැම්බර් අග, දෙසැම්බර් මාසය මෙවැනි උලෙළක් සඳහා මුල් කර ගන්නේ සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ තවත් යටි අදහසක් ඇතිව. ඒත් අපේ රට එහෙම හිතන්නේ නැහැ. නාට්‍යකරුවකු මේ වගේ දේකට යනවා කියලා කිව්වට පස්සේ අපේ රටේ අය හිතන්නේ නාට්‍යකරුවකු තනියම යනවා කියලා. මම හිතන්නේ ඒ කාරණය මීට වඩා පුළුල්ව සිතිය යුතුයි. අඩුම ගණනේ සංස්කෘතික අමාත්‍යාංශයේ උලෙළෙන් ප්‍රථම ස්ථානය ගත්ත නාට්‍යවලට එවැනි අන්තර්ජාතික නාට්‍ය උලෙළ එකකට නොවෙයි දෙක, තුනකට යන්න අවස්ථාව දිය යුතුයි. මට විතරක් නොවෙයි ජයග්‍රහණය කරන සෑම නාට්‍යයකටම අවස්ථාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. බලන්න අපේ රටේ කොරෝනවලින් පස්සේ දැන් තමයි නාට්‍ය උලෙළක් තියන්න හදන්නේ. රාජ්‍ය නාට්‍ය උලෙළ, රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අවුරුදු ගණනකින් තියලා නැහැ. ළමා නාට්‍ය උලෙළ පෙන්වලත් නැවතුණා. මේ වගේ පසුබිමක එවැනි තත්ත්වයක් නිර්මාණය වේවි ද? අපි බලාපොරොත්තු විරහිත තත්ත්වයකයි ඉන්නේ. එහෙම වුණත් අපි සටන් කරනවා. ඒ කතාව මම අවුරුදු ගණනක් තිස්සේ කියන කතාවක්. මම නම් මොන ගැටලුව තිබුණත් ඒ දේවල් සොයා ගෙන යනවා. අපි ශ්‍රී ලංකාවට විතරක් නාට්‍ය කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ලෝකයත් එක්ක ම තියෙන ගනුදෙනුව වැදගත් කියලා මා විශ්වාස කරනවා. අපි ලංකාවට විතරක් නොවෙයි නාට්‍ය කරන්නේ. අපේ සංස්කෘතික අනන්‍යතාව සහිතව ලෝකයටම කතා කළ හැකි නාට්‍ය කලාවක් පිළිබඳයි මා විශ්වාස කරන්නේ.”

එවැනි හරබර සංවාදය අතර කාලය ගෙවිලා ගියා නොදැනුණ තරම්. සමුගන්න කාලය ඇවිත්. ඉතින් චාමිකගේ වෙනස්ම අලුත් වැඩක් එක්ක අප හමුවට පැමිණෙන තුරු අපි ඔහුට සමු දුන්නා.

 

[email protected]