මෙය වේදිකාවේ මෙතෙක් නොදුටු වස්තු බීජයක්

‘මනෝමේඝ’ ගෙනෙන නාට්‍යවේදී සරත්චන්ද්‍ර දසනායක
නොවැම්බර් 17, 2022

 

සරත්චන්ද්‍ර දසනායක නම් කලාකරුවා මට මුණ ගැසෙන්නේ අග්නිදාහය චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරයා ලෙස චිත්‍රපට සංස්ථාවත් අපේ චිත්‍රපට කණ්ඩායමත් සම්බන්ධීකරණය කිරීමට එක් වූ සමයේය. ඒ නව සහශ්‍රකය ඇරැඹුණු වසරයි. ඒ වන විටත් ඔහු විශ්වවිද්‍යාල සමයේ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කර තිබුණේය. එසේම ආචාර්ය තිස්ස අබේසේකරයන් සෙවණේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස වැඩෙමින් බොහෝ වාර්තා වැඩසටහන්වල සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. දශක දෙකකට අධික කාලයක් තුළ ඔහු සමාජය තුළ ගැටෙමින් ලැබූ අත්දැකීම් සමඟ තවත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණයට යොමු වී ඇත. එය මනෝමේඝ නමින් ලබන සෙනසුරාදා (19) වේදිකාගත වීමට නියමිතය. මේ සරත්චන්ද්‍ර දසනායකගේ කලා දිවිය සහ මනෝමේඝ පිළිබඳ සරසවියට කළ අනාවරණයයි.

‘පාරාලෝක‘ මගේ මුල්ම වේදිකා නාට්‍යය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. එය ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයටත් තේරුණා. ඒ වගේම මතභේදයට තුඩු දුන් දේශපාලන කරුණු නිසා වාරණයටත් ලක් වුණා. කොහොම වුණත් මට තිස්ස අබේසේකරයන්ගේ වාර්තා චිත්‍රපට රැසකට දායක වන්න අවස්ථාව ලැබුණේ පෙර පිනකට වගේ. පිටගම්කාරයෝ, වනසරණ, මායා වැනි නිර්මාණවලටත් මට සම්බන්ධ වන්න අවස්ථාව ලැබුණා.

ඔහු සිය කලා දිවියේ ගමන් මඟ හෙළි කළේ එසේය. මේ වන විට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමූහික සන්නිවේදන කළමනාකරු ලෙස කටයුතු කරන ඔහු සිය රැකියාව ද කලාවට සම්බන්ධ වීම පිළිබඳ සතුටින් සිටින්නෙකි.

 

මගේ රැකියාවේදිත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය බහුලව භාවිත වනවා. ජනතාව සමඟ නිරන්තර හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න තොරතුරු හුවමාරු කර ගන්න රැකියාවක නිරත වන්න ලැබීම මට සතුටක්. මට කොහොමත් තිබුණේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය හඳුනාගන්න හැකි වූ වටපිටාවක්. කඩුගන්නාව අපේ ගම. එහි අපේ තාත්තලා මනමේ සිංහබාහු නටපු අය. පුංචි කාලේ ඉඳන් මම රජරට ගුවන්විදුලි සේවයට නිර්මාණ ඉදිරිපත් කළා. ශාන්තිකර්ම, බලිතොවිල් බලන්න අපේ මාමා සමඟ ගියා. තඹුත්තේගම විද්‍යාලයේදී වගේම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී සංගීතය නර්තනය වගේ විෂයයන් පිළිබඳ හැදෑරුවා. විවිධ සංස්කෘතික අංග සමඟ හැදී වැඩෙද්දි ගැමි ආගම තුළ අවේශය පරලවීම වැනි දේ දිහා කුඩා කල සිට මම වික්ෂිප්තව බලා සිටියා. ඒ වෙද්දි කුඩා දරුවකු ලෙස මට එහි පදනම නොතේරුණත් උඩු සිත සහ යටි සිත එකතු නොවීමේ තත්ත්වයට සාම්ප්‍රදායික ක්‍රම මඟින් කරන සත්කාරය ඔස්සේ මනස සැහැල්ලු කරන හැටි අපි දුටුවා. විශ්වවිද්‍යාලයට ගොස් බොහෝ දේ හදාරන විට ඒ හා සම්බන්ධ පර්යේෂණ ග්‍රන්ථයක් පවා කරන්න මට හැකියාව ලැබුණා සාම්ප්‍රදායික සන්නිවේදනය හා සිනමාව නමින්. මගේ ආචාර්ය උපාධියට කරමින් සිටින්නෙ සිනමා තිර රචනය පිළිබඳ ශාස්ත්‍රීය ගවේශනයක්. ඉතින් නිර්මාණාවේශය ආවාම නිකම්ම බලා ඉන්න බෑ. ඒ වගේම ගෙදර අය මට නිකං ඉන්න දෙන්නෙත් නෑ. ඒ නිසා වැඩිහිටියකු ලෙස කුඩා කල දුටු දේවල්වල විද්‍යාත්මක පදනම ගැන සිතමින් ඉන්න අතර මට ඒ දේවල් පිළිබඳ අපේ ගෙදරින්ම දැනගන්න අවස්ථාවක් ලැබුණා.

 

ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ ඔහු කතා කළේ බොහෝ පිරුණු සිතිවිල්ලෙනි.

මගේ බිරිඳ කමනි දසනායක, මගේ ලොකු පුතා, සුපුන්චන්ද්‍ර දසනායක ව්‍යාපාර කළමනාකරණය සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයයන් හදාරලා දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා. පොඩි පුතා සරිත සංජය දසනායක ජීව වෛද්‍ය විද්‍යාව වගේම සාහිත්‍යය, දේශීය හා විදේශීය විවිධ සංස්කෘති පිළිබඳ අධ්‍යයනය කරනවා. ඔහු තමයි මට මේ වස්තුබීජය ගැන කීවේ මනෝ විද්‍යාවට සම්බන්ධ රෝගයක් පිළිබඳ මම නාට්‍ය ප්‍රස්තුතයක් පිළිබඳ සිතමින් සිටින විට.

මෙහි විද්‍යාත්මක නම ක්ලමත විඝටන අක්‍රමිකතාව. මේ සම්බන්ධව ලෝකයේ නිපදවුණු විවිධ නිර්මාණ පිළිබඳ සෙවූ විට මට හමු වුණේ චිත්‍රපට පමණයි. මේ වන තුරු වේදිකාවට මේ වස්තුබීජය ගෙනා බවක් මට සොයා ගන්න ලැබුණේ නැහැ. ඉතින් මම හිතුවා මේ පිළිබඳ කතා කිරීම බොහෝ වටිනවා කියලා.

 

ඔහු සිය වස්තුබීජය ඇසුරෙහි බොහෝ පර්යේෂණවල නියැළෙමින් එක් කරගත් තොරතුරු සහිතව ලියූ පෙළ සමඟ 2019 වසරේ මනෝ මේඝ වේදිකා නාට්‍යය වෙනුවෙන් මුහුරත් උලෙළ පැවැත්වීය.

 

මම මේ පිළිබඳ පර්යේෂණ කරන්න ගත්තේ 2015 වසරේ සිටයි. එක පුද්ගලයකුට විවිධ චරිත මනසට ඇවිත් පිටවන ආකාරය එහිදී මට දැනගන්න ලැබුණා. සන්නිවේදනයේ අපට තිබෙනවා අන්තර්වර්තී සන්නිවේදනය නැත්නම් තමන් සමඟම තමන් සිදු කරන සන්නිවේදනය. එය තමයි මෙහි ප්‍රධාන වන්නේ. ඒ අනුව මෙහි දසරාජ කියන ප්‍රධාන චරිතය චරිත සංකීර්ණයක් බවට පත්වෙනවා. ඔහුගේ මනෝභාවය දිගහැරෙන්නේ දේශපාලන, සමාජ, ආර්ථික පසුබිමත් සමඟයි. මෙය හුදු රෝගී තත්ත්වයක් නිසා වරෙක ඔහු සාහසිකයි. තවත් වරෙක මානුෂිකයි. ඒ නිසාම සමාජය සමඟ ඔහුගේ ගැටුම ඇති වනවා. එහි බලපෑම සමාජයට දැනෙන්නේ ඔහු දේශපාලන සත්ත්වයෙක් වන නිසා. වර්තමාන ලෝකයේ අපට මේ තත්ත්වය බැහැර කරන්න බැරි පුද්ගල ප්‍රතිපත්ති, අරමුණු ආදිය වෙනස් වන විට එය සමස්ත ප්‍රජාවකට බලපාන නිසයි. ලෝකේ මිනිස්සු උපදින්නේ හොඳ අය ලෙස. එහෙත් දසරාජට තමන්ගේ බලය රැක ගැනීම සඳහා කරන සටනේදී තමන්ට විවිධ පෞරුෂයන් බවට පත් වන්නට සිදු වනවා. මේ තත්ත්වය ඇති වන්නෙ ළමා පෞරුෂය හරියට ගොඩනඟන්න බැරි වුණ විට බවයි මනෝවිද්‍යාඥයන්ගේ මතය. එනිසා මම කියන්නේ අපේ අනාගතය වෙනුවෙන් සංවර්ධනාත්මක කටයුත්තක් ලෙස ළමා මනස, ළමා පෞරුෂය රැක ගැනීම අවශ්‍යයි කියන එකයි. කොතරම් සැප සම්පත් ලබා දුන්නත්, සමාජයේ කොතරම් හොඳ තැනකට ගෙන ගියත් මනුෂ්‍යත්වය නොහඳුනන කෙනකුගෙන් සමාජයට යහපතක් වෙයි කියා හිතන්න අමාරුයි. ඉතින් කලාකරුවන් ලෙස අපේ වගකීම වන්නේ ප්‍රකෘති දරුවෙක්, සංවේදී මිනිසෙක් තනන්නට සමාජයට යම් පණිවුඩයක් දීම ලෙසයි මම සලකන්නේ. ඒ වෙනුවෙන් තමයි මනෝමේඝ නිර්මාණය වන්නේ.

මෙවන් සමයක වේදිකා නාට්‍යයක් කිරීමේ අවදානම සේම සරත්චන්ද්‍ර දසනායකගේ නිර්මාණ ජීවිතයේ ඉදිරිය පිළිබඳවත් විමසීම අත්‍යවශ්‍ය කරුණකි.

 

මම කියවූ බටහිර කෘතියක් ආරම්භ කර තිබුණේ මනෝ පුබ්බං ගමා ධම්මා කියන ගාථාවෙන්. අපේ රටට වඩා බටහිර දැන් මේ දේවල් පිළිබඳ අවධානය යොමු කරනවා. ඉතින් ඒ පිළිබඳ උනන්දුව දක්වන පිරිසකුත් මේ සමාජයේම ඉන්නවා. මේ කාලයේ වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා කියන්නේ අවදානමක් තමයි. ඒ වගේම මේ නාට්‍යය දකින අය හිතයි මෙය මෑත කාලීන අත්දැකීම් සමඟ නිර්මාණය වූවක්ද කියලත්. එහෙම නෑ. මෙහි පසුබිම ගොඩනැඟෙන්නේ මීට වසර හත අටකට පෙර සිටයි. කොහොම වුණත් පවතින සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ ප්‍රේක්ෂකයන් නාට්‍ය බලන්න එයිද කියන ප්‍රශ්නය නැතුවා නොවෙයි. ඒත් අප නොහිතන විදිහට මොකක්දෝ හේතුවකට මේ ප්‍රශ්නවලින් මිදෙන්න චිත්‍රපට හා නාට්‍ය බලන්න යොමු වූ පිරිසකුත් සමාජයේ ඉන්නවා. ඒ අය හොඳ නිර්මාණ ලැබෙන තුරු පිපාසයකින් වගේ බලා ඉන්නවා. වේදිකාවට වගේම චිත්‍රපටවලටත් වෙලා තිබෙන්නේ එකම දෙයයි. මම චිත්‍රපට උපදේශක සභාවේ, ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය තේරීම් කමිටුවේ වගේම සිනමාව සහ නාට්‍යකරණය පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන නිසා මේ පිළිබඳ අවදියෙන් සිටින කෙනෙක් හැටියට එය දකින්නේ. කොහොම වුණත් මේ ගමන සහ ගවේෂණය මෙතැනින් ඉවර කරන්න බැහැ අපට. ඒ නිසා මගේ අරමුණත් මේ ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.

 

 

[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න