වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
‘සින්දුකාර කවිනළුව’ගෙනෙන ප්‍රවීණ නාට්‍යවේදී මහාචාර්ය මංගල සේනානායක

ලාංකේය නාට්‍ය කලාවේ මූලාරම්භයේ සිට අද තෙක් එහි පෝෂණයට දායක වූවෝ බොහෝය.පෙර පරපුරේ විශිෂ්ට නාට්‍යවේදින් මෙන්ම නූතන යුගයේ බුද්ධිමතුන් ඊට දක්වා ඇති දායකත්වය එක සේ අැගැයුමට ලක් වීම සැබැවින්ම සිදු විය යුතු වන්නේ අනාගත පරපුරේ උන්නතිය වෙනුවෙන් ඔවුන් තබා ඇති පියසටහන් ඉතා අගනා බැවිනි. ඒ අනුව
අපේ නාට්‍ය කලාවේ ගමන් මඟ හා එහි වැදගත් සංධිස්ථාන නව පරපුරට හඳුන්වා දෙනු පිණිස ගත් අගනා වෑයමක් පිළිබඳ ප්‍රවීණ නාට්‍යවේදී මහාචාර්ය මංගල සේනානායක සමඟ කළ කතාබහකි මේ.
ඔබේ අලුත් ප්‍රවේශය හඳුන්වා දෙන්නෙ කොහොමද ?
මේක දැනුම රසවින්දනය වාගේම නාට්‍ය කලාවේ ඉතිහාසය පදනම් කරගෙන සකස් කළ වාර්තා රංගයක්. එහිදී නාඩගම් සම්ප්‍රදායේ සිට මිනර්වා කියන නාට්‍ය ඉතිහාසය තෙක් අපි මෙහිදී අවධානයට යොමු කරනවා. ඒ ඒ නාට්‍යකරුවන් පිළිබඳ, ඒ හා සම්බන්ධ කෘති, ඒවායේ විශේෂතා, රංග ශාලා බිහිවූ හැටි ආදි අංශගණනාවක් පිළිබඳ අපි මෙහිදී අවධානය යොමු කරනවා.මේ සඳහා අපි වැඩි අවධානයක් යොමු කරවා ගන්න බලාපොරොත්තු වන කණ්ඩායම් වන්නේ පාසල් පද්ධතිය ආශ්‍රිත කණ්ඩායම් ඇතුළු අනිකුත් පිරිස්. ඒ කියන්නේ පාසල් දරුවන්, ගුරුවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, නාට්‍යකරුවන් වගේම සාමාන්‍ය ප්‍රජාව වැනි කණ්ඩායම් තමයි අපි ඉලක්ක කරන ප්‍රධාන පිරිස වෙන්නේ. එතනදී ඒ නාට්‍යවල ඉතිහාසය වාගේම ඒවායේ ගීතවල ඉතිහාසය ඒ කියන්නේ නාඩගම්, නූර්ති, ටීටර්, මිනර්වා කියන නාට්‍යවල ඉතිහාසය හා එහි සංගීත සම්ප්‍රදායන්වල විශේෂත්ව, ඒ පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ, විද්වතුන් ඒ පිළිබඳ පළ කර ඇති අදහස්මෙහිදී අපි බෙදා ගැනීමට අදහස් කරනවා. ඒ වගේම රංග ශාලාවල ඉතිහාසය පිළිබඳ තොරතුරු, උදාහරණයක් විදියට ටවර්හෝල් රංග ශාලාව වැනි එකක් අපට ලැබෙන්නෙ කොහොමද වැනි දේවල් පවා අපි මේ වාර්තා රංගයේදී කතා කරනවා. දැනුම බෙදා දීමේ මූලික අරමුණින් අපි මෙය කළත්ගොඩක් රසවින්දනාත්මකව තමයි අපි මෙය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ.උදාහරණයක් විදියට අපියම් කලා කෘතියක් කියවා ගනිද්දී ඒ කාලයට අදාළ සමාජ ප්‍රස්තුත අපි කියවා ගන්න උත්සාහ කරනවානේ. ඒ විදියට මේ නාට්‍ය හා ගීතවල නූතන කාලයට ගැළපෙන තැන් හඳුනාගන්න අපි උත්සාහ කරනවා. අනිත් එක ප්‍රේක්ෂකයාට අපි මේ ඔස්සේ මඟක් පෙන්වනවා නිර්මාණකරුවාගේ දෘෂ්ටිය හඳුනා ගන්න. ඒ එක් එක් කෘතීන් හා නිර්මාණකරුවාගේ දැක්ම ප්‍රේක්ෂකයාට කියවා ගන්න මාර්ගයකුත් මේ යටතේ අපි නිර්මාණය කර දෙනවා. ඒවාගේම මේ නාට්‍ය හා ගීත පිළිබඳ ප්‍රේක්ෂකයාගේ අතීත රස මතකත් මෙයින් අවදි කරනවා. මේක අපි හඳුන්වා දෙන්නෙ සින්දුකාර කවිනළුව නමින්. ඉතින් අපි මේ කතා කළ සියලු දෙයක් ම පාහේ එක් කර අපේ නාට්‍ය කලාවේ ඉතිහාසය මෙන්ම ඒවායේ ගැබ්වී ඇති සුවිශේෂ ප්‍රස්තුත හා නිර්මාණ අංග නූතන සමාජයට බද්ධ වන අවස්ථා, දැනුම හා රසවින්දනය සමඟ අලංකාර ව මුසු කොට ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන නිර්මාණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
මේ නිර්මාණ කාර්යයට දායක වන අය කවුද ?
මේ සම්බන්ධ අපේ රටේ සිටින ප්‍රවීණයන් මීට දායක වෙන්නේ. උදාහරණයක් ලෙස නිශ්ශංක දිද්දෙණිය වැනි නාට්‍යවේදියකුගේ දැනුම සහ ප්‍රායෝගික භාවිතාවන් පිළිබඳ අප හොඳීන් දන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිවිස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලින් විශාල අත්දැකීම් සමුදායක් ලබා ඇති අයෙක්. විශේෂයෙන් නාඩගම් කලාව පිළිබඳ ඔහු කර ඇති පර්යේෂණ අගැයුමට ලක් වනසුලුයි. විශේෂයෙන් එතුමා සිය පර්යේෂණ ඇසුරෙන් සොයා ගනු ලැබූ ජොහානා කියන නාඩගමේ එන ‘උත්තමවන් ලොව පතළා’ කියන ගීතය ගොඩක් විශේෂයි. ඉතින් එබඳු නාට්‍යවේදියකුගේ දායකත්වය වාගේම රත්නා ලාලනි ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසූරිය වැනි ප්‍රවීණයන් සිය රංගන දායකත්වය සපයනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ශාන්ත පීරිස් විසිනුයි. ඒවගේම අලුත් පරම්පරාවේ ශිල්පීන් ද මීට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ පිටපත ලියද්දී ඒ බොහෝ අයගෙන් ලැබුණු සහය අගය කරනවා.
මේ වාර්තා රංගය මුලින්ම එළි දක්වන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද?
නොවැම්බර් විසිපස් වැනිදා ටවර්හෝල් රඟහලේදී. ඒකටත් හේතුවක් තියෙනවා. ටවර්හෝල් රඟහල මුලින්ම විවෘත වන්නේ චාල්ස් ඩයස් ශූරීන්ගේ පණ්ඩුකාභය කියන නුර්තියෙන්. ඒක ප්‍රධාන හේතුවක් ටවර්හෝල් රඟහල තෝරා ගන්න. ඒවාගේම මේ වැඩපිළිවෙළ දිගටම කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට කැනඩාවේ වෙසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් මේ සඳහා මට විශාල සහයක් ලබා දෙනවා. ඒවාගේම මේ වැඩපිළිවෙළ කැනඩාව ඇතුළු තවත් රටවල් කීපයක ඒ රටවල ශිල්පීන් ද සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
පොදු ප්‍රේක්ෂකයාගෙන් පරිබාහිරව මේ ඔස්සේ වඩා ඕනෑකමින් සම්බන්ධ කරගනු කැමැති කණ්ඩායම් මොනවාද ?
පාසල් ශිෂ්‍යයන් මේ ඔස්සේ දැනුමින් පෝෂිත වනු දැකීම අපේ ලොකු පැතුමක්. දැනටමත් පාසල් ගුරුවරු රැසක් මේ ගැන අප සමඟ කතා කර තියෙනවා. ඉතින් එදාට ඒ කියන්නේ නොවැම්බර් විසිපස් වැනිදා ම අපි පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ දර්ශන වාරයකුත් සූදානම් කර තියෙනවා. එදා උදේ දහයයි තිහට තමයි අපි ඒ දර්ශන වාරය ඉදිරිපත් කරන්නේ.ඒ දරුවන්ට මේ තුළින් ලැබෙන්නේ නාට්‍ය කලාව පිළිබඳ අවබෝධයක් පමණක් ම නොවේ. විශේෂයෙන් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සංගීතය විෂය, නර්තනය මෙන්ම සිංහල විෂය හදාරන දරුවන්ටත් මෙය ගොඩක් විශේෂයි. නාඩගම් සම්ප්‍රදායේ සිට නුර්තිය දක්වා එන විට ඒ ගීත රාගධාරි සංගීතය සමඟ මුසු වී නිර්මාණය වී ඇත්තේ කෙසේද ආදි ලෙස අපි මෙහි උදාහරණ සහිතව කතා කරනවා. නර්තනය හා සිංහල විෂය සම්බන්ධවත් එහෙමයි. ඒ දරුවන්ටත් දැනුම හා රසවින්දනය ලබාදෙන වටිනා අවස්ථාවක්.
මේ වාර්තා රංගය කොපමණ කාලවේලාවක් තුළ ඉදිරිපත් කරන එකක් ද?
පැය එකහමාරක කාලයක් ඇතුළත මෙය ඉදිරිපත් කරන්නේ. මොකද ඒ වගේ කාලයක් තමයි අද කාලයේ අපට යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සර මිනිස්සු පැය ගණනක් නාට්‍යයක් නැරඹීමට වෙන් කළත් අද එසේ නොවෙයි හුරු වී සිටිනන්නේ. මේ වාර්තා රංගයේදී නාට්‍ය කලාවේ ඉතිහාසයේ සිට කතානාද සිනමාවට එන තෙක් අවස්ථා ගැන කතා කරනවා. එය සිදු වන්නේ නාට්‍යානුසාරයෙන්.
එක්දහස් නවසිය අසූපහේ කිරට අඬන සප්පයෝ වේදිකා නාට්‍යය ඔබේ ජීවිතයට කොයි වගේ ප්‍රවේශයක් ද දුන්නේ ?
මගේ නාට්‍ය කලාව ආරම්භ වන්නේ ඒ වසරේදී.කිරට අඬන සප්පයෝ ඒ වසරේ යෞවන සම්මාන 13 පමණ දිනූ නාට්‍යයක්. එයත් අසූව දශකයේ විශාල වශයෙන් අවධානයට ලක් වූ සමාජ ප්‍රස්තුතයක් පිළිබඳ කියැවුණ නාට්‍යයක්. අසූව දශකයේ තිබුණ විශාල සමාජ ගැටලුවක් වූ මව්වරුන් රට හැර යෑම හා පවුල් සංස්ථාව බිඳ වැටී මේ ගැටලුවයි කිරට අඬන සප්පයෝ සඳහා ප්‍රස්තුත වුණේ. මගේ නාට්‍ය දිවිය ආරම්භ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේමයි. ප්‍රවීණ රංගවේදි ජැක්සන් ඇන්තනී මුල්වරට වේදිකා නාට්‍යයක් ඔස්සේ සම්මානයට පාත්‍ර වන්නේත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ නාට්‍ය උළෙලකදියි. ඉතින් මගේත් රංගන දිවිය ඇතුළු නාට්‍ය දිවිය ගොඩ නැඟුණේ කොළඹ විශ්වවිද්‍යාලය ඇසුරේයි. කිරට අඬන සප්පයෝ නාට්‍යයකළේ විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසුයි. එය ඇත්තටම නාට්‍ය වැඩමුළුවක් ලෙස ගොඩ නඟමින් තරුණ තරුණියන් සමඟ එක්ව කළ නාට්‍යයක්. ඊට පසුයි උතුරු සළුව කියන නාට්‍යය කළේ. ඒකත් ඒ යුගයේ පැවැතුණු විශාල සමාජ අර්බුදයක් මතු කරමිනුයි නිර්මාණය කළේ. ඕනෑම පුද්ගලයකුට ගෞරවනීය මරණයක් ලැබීමේ අයිතිය ගැනයි ඉන් මූලිකව කතා කළේ.ඊළඟට කළේ මඟුල් කෑම කියල නාට්‍යයක්. එක්දහස් නවසිය අනූ හයේදී. ඒක ටිකක් වෙනස්. වෙනත් රටවල නම්දියුණු ළමා නාට්‍ය කලාවක් තියෙනවා.ඉතින් මම එදා දරුවන්ටත් මව්පියන්ටත් දෙපිරිසටම නරඹා දෙයාකාරයකට අදහසක් ගත හැකි ලෙස නාට්‍යයක් නිර්මාණය කළා. ඒ නාට්‍යය සඳහාත් සම්මාන පහක් හිමි වුණා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී.
ඊට පස්සෙ ටිකක් විශේෂ නාට්‍ය කීපයක් කළා නේද ?
ඔව්. ඔගස්ට් ස්ට්‍රින්ඩ්බර්ග් කියන ස්වීඩන් නාට්‍යකරුවාගේ ‘මිස් ජුලි’ කියන නාට්‍යය ඇසුරෙන් කළ පරිවර්තනයක්. විජිත ගුණරත්න ඒ පරිවර්තනය කළේ. පළමු වරට පරිවර්තනයක් ඇසුරෙන් ගොඩක් ආසාවෙන් කළ නාට්‍යයක්. දෙදහස් හතරේ ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.ජයනි සේනානායක, සුමිත් රත්නායක ආදින් එහි ප්‍රධාන භූමිකා නිරූපණය කළා .ඊළඟට තමයි මම කෙටිම කෙටි කියන නාට්‍යය කළේ. එය තවමත් වේදිකාගත කෙරෙනවා.ඒ ඇසුරෙන් පාසල් දරුවන් වෙනුවෙන් වටිනා රසවින්දනාත්මක වැඩසටහනකුත් සකස් කළා. ඉතින් ඒ ඔස්සේ හොඳ සංස්කෘතියකුත් නිර්මාණය කරන්න පුළුවන් වුණා.
ඔබේ ජනරංග සභාවේ ප්‍රවේශය මොන වගේ එකක් ද ?
එය ප්‍රජා නාට්‍ය සංවිධානයක්. එනම් ජ්ධපභථ ඊඩඥචබපඥ ජනසභා මණ්ඩප ආකෘතියේ නාට්‍ය ක්‍රමයක්. එනම් කාලීන සමාජ ආර්ථික දේශපාලන ගැටලු ඉස්මතු කර සාකච්ඡා කරන නාට්‍ය වර්ගයක්. ඒ නාට්‍ය නැරඹීමෙන් පසු පොදු ප්‍රේක්ෂකයාට තම ගැටලු සාකච්ඡා කරන්න එහි සංවාද මණ්ඩපයක් නිර්මාණය කර තියෙනවා. අපි සෞඛ්‍යය කියන තේමාව ඔස්සේ ක්ෂය රෝගය පිළිබඳ සැකසූ එබඳු වීදි නාට්‍යයක් දර්ශන වාර දහස ඉක්මවා ඉදිරිපත් කරන්න හැකි වුණා. සමහර විට එය වැඩිම වාර ගණනක් ඉදිරිපත් කළ වීදි නාට්‍යය ද වෙන්නත් හැකියි. අපේ ආවේණික නාට්‍ය කලාවන් සොකරි, කෝලම් ආදි ආශ්‍රයෙන් තමයි ඒ ජන රංගය ඉදිරිපත් කරන්නේ.නිදහස් වටපිටාවක් වාඩිවී හිඳ උගත් පුද්ගලයාගේ සිට විධිමත් අධ්‍යාපනයක් නොලැබූ අයකුට පවා නරඹා අදහස් ඉදිරිපත් කළ හැකි පසුබිමක් සහිතවයි මේ නාට්‍ය නිර්මාණය කරන්නේ. වෙනත් රටවල බහුලව භාවිත වන ඒ ජ්ධපභථ ඊඩඥචබපඥ කියන ක්‍රමය අපේ ජන රංගය ආශ්‍රයෙන් පොදු සමාජ ගැටලු මතු කර සාකච්ඡා කරන්න අපට සාර්ථකව යොදා ගන්න පුළුවන් වුණා.
ජුලියස් සීසර් නාට්‍යයඔස්සේ ඉදිරිපත් කළ හැකි වූ විශේෂත්ව මොනවාද ?
එයත් පරිවර්තනයක්. මහාචාර්ය මංගලිකා ජයතුංග සේම ඊට පෙර ටෝනි රණසිංහ ආදින් විසින් පරිවර්තනය කර තිබූ එය දෙදහස් දහසයේ පමණ කළේ. ඒ පිටපතට මට වෙනමම හැඩයක් දෙන්න පුළුවන් වුණා කියා හිතනවා. ශේක්ස්පියර්ගේ භාෂාව ඉතා කාව්‍යාත්මකයි. සමහර අවස්ථාවල පිටු ගණන් දිග ඔහුගේ සංවාදවලට සංගීතය මුසු කර ගීතවලට පෙරළූ අවස්ථා තිබුණා. රාජ්‍ය සම්මාන පහක් ලැබූ මේ නාට්‍යය විශාල පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය කෙරුණු එකක්. පසුකාලයේ එයත් ක්ෂේත්‍රයේ බොහෝ ව්ද්වතුන්ගේ අගැයුමට ලක් වුණා.