මනමේට අද වසර 66යි

‘මනමේ’ ශිල්පීන් ඇගැයුම හා යළි කියැවීම කැලණි සරසවි බිමෙහිදී
නොවැම්බර් 3, 2022

 

මනමේ නාටකය සිංහල විදග්ධ නාට්‍ය සම්ප්‍රදායේ ආරම්භක ප්‍රදීපස්ථම්භය ලෙස අවිවාදයෙන් පිළිගැනේ. මනමේ වේදිකා ගත වී අදට (3) වැනිදාට වසර හැට හයකි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ අනෙකුත් කලා කෘති අතර පුරා වසර 66ක් අඛණ්ඩව දෙස් විදෙස් කලා ලෝලීන්ගේ ලාලසාව පින වු අමරණීය දෘශ්‍ය කාව්‍ය වන්නේ මනමේ නාට්‍යයයි. මේ සුවිශේෂිත්වය නිසාම ‘මනමේට 66යි’ තේමා පාඨයෙන් මනමේ නාටකය දර්ශනය සමඟ උපහාර උළෙලක් කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී අද (03) දින උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක් වන අතර, සිංහල අධ්‍යයන අංශය, නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්භ කලා අධ්‍යයන ඒකකය හා ඇකඩමික් ප්ලේයස් සංසදය මඟින් සංවිධානය කර ඇත. ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති සහ මානව ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

 

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ

පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ

ආලයෙන් වෙලි සෑදී මේ ලතා

මණ්ඩපයෙන් චන්ඩාතප

ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

 

ලොව සෑම සත්වයෙකුටම පොදු සාධකයක් වූ ප්‍රේමය බොහෝ කලා නිර්මාණවල වස්තු බීජය වේ. ප්‍රේමය අලළා ලියවුණු කවි, නවකතා, කතන්දර, චිත්‍රපට හා නාට්‍ය ලොව බොහෝ ඇත. ප්‍රේම කරන්නත්, ප්‍රේමය ලබන්නත් කවුරුත් කැමැතිය. ප්‍රේමයක ආරම්භයත් එහි අවසානයත් කිනම් කලක, කිනම් මොහොතක කිනම් ලෙස විසඳේ ද යන්න අපට කිව නොහැකිය. විටක ප්‍රේමය අයිතිකර ගනු වස් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සටන් බිමට අවතීර්ණ වනුයේ ද එබැවිනි. ප්‍රේමය ගැන කතා කළද ප්‍රේමයේදී ස්ත්‍රීයක් බලාපොරොත්තු වනුයේ කවර පුරුෂයෙක් ද? එහිදී ස්ත්‍රීයකගේ සැබෑ සිතිවිලි ක්‍රියාත්මක වන්නේ කෙසේද? ආදරය යනුවෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන කාරණා විවිධ කෝණවලින් බලා විවරණය කරන කලා නිර්මාණ බොහෝ වෙයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ද මනමේ නාට්‍ය නිර්මාණයෙන් ඉස්මතු කර දක්වන්නට උත්සාහ කළේ මෙවැන්නක් ද ?

සිංහල නාට්‍ය කලාව තුළ එදා මෙදා තුර බිහි වු අති විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වන ‘මනමේ’ පළමු වරට රඟ දැක්වූයේ 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දීය. ‘මනමේ’ ට වසර 66ක් සපිරෙන විටත් මෙරට ජනසමාජයේ මෙතරම් ‘මනමේ’ නාට්‍යය නැරඹීමට ඇති සුවිශේෂත්වය කුමක් ද යන්න අප නැවත නැවත විමසා බැලිම වටී. එක් අතකට ‘මනමේ’ යනු මෙරට බෞද්ධ ජාතක පොතේ එන චුල්ලධනුර්ධර ජාතකය, මනමේ කෝලම හා ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියේ එන ගැමි නාට්‍ය සම්ප්‍රදාය, නාඩගම්, ජන ඇදහිලි හා විශ්වාස ආශ්‍රිත නිර්මාණකරණයේ අග්‍රඵලයකි. එවගේම මහැදුරු සරච්චන්ද්‍රයන් සිය වසර ගණනාවක අධ්‍යයන, පර්යේෂණ හා ගවේෂණ ඔස්සේ අනාවරණය කරගත් ශාස්ත්‍රීය තොරතුරු අනුසාරයන් ජීවමාන නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරන ‘මනමේ’ සම්භාව්‍ය ගණයේ උසස් දෘශ්‍ය කාව්‍ය කෘතියක් ලෙස හුවා දැක්විය හැකිය. අනෙක් සුවිශේෂත්වය නම් කෘෂිකර්මාන්තය හා පදනම්ව බත, බැත හා කෙත වටා ගෙතුණු ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියේ ඇතැම් වටිනා අංග ලක්ෂණ මෙරට පැවැති අයහපත් දේශපාලන, ආර්ථික හා නොදියුණු ක්‍රමවේද නිසා ඓතිහාසිකව විකාශය නොවී ඒ ඒ තැන්වල විනාශ වී ගියද එලෙස අහිමි වූ ලාංකේය වටිනා අංගවල එකතුවක් ලෙස ‘මනමේ’ ලෝකයට දායද කිරීමට හැකි වීමයි. ජපානයේ අදටත් ජීවමානව පවතින සම්භාව්‍ය ගණයේ නෝ, කබුකි, බුන්රකු හා ක්යෝගන් නාට්‍ය මෙන් ද දකුණු ඉන්දියාවේ ත්‍රාසය, සටන්, ප්‍රේමය, පෙම්වතා, දුෂ්ටයා හා පෙම්වතිය අනන්‍යතාව කරගත් සිනමාව මෙන් ද ශ්‍රී ලාංකේය අපට ආවේණික නාට්‍ය සම්ප්‍රදායක් මනමේ ඔස්සේ ආවරණය වීම තවත් කරුණකි.

වර්තමානයේ විශ්වවිද්‍යාල සංස්කෘතියේ නාට්‍ය පෙන්වා ඒ පිළිබඳ විද්වත් කතිකාවක් ඇති කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් ව තිබේ. මන්ද පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමත් සමඟ රටේ ඇති වූ අර්බුදකාරී තත්වය නිසා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ පමණක් නොව සමස්ත ජනතාවගේ මානසික සුවතාවය උදෙසා මානසික විශ්‍රාන්තියක් ඇති කරන ශාස්ත්‍රීය නිර්මාණ රසවිඳීම පිළිබඳ සමාජයේ විශාල හිඩැසක් ව පැවැතිණි. එමෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන කටයුතු සහ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම සඳහාත් අවකාශය නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතු වෙමින් තිබේ. එබැවින් මෙකී කාරණාවලට විසඳුම් ලෙස අද දින මනමේ නාට්‍යය කැලණිය විශ්වවිද්‍යාලයේ වේදිකා ගත කිරීමට කටයුතු පිළියෙල කර තිබේ. මේ සඳහා ආරාධනා කිරීමට එහි වර්තමාන නිෂ්පාදිකා ලලිතා සරච්චන්ද්‍ර මහත්මියට කතා කළ විට ඇය පැවැසුවේ මහැදුරු සරච්චන්ද්‍රයන් මුල්ම වරට මනමේ වේදිකා ගත කළේත් නොවැම්බර් 03 වැනිදා බවය. මෙම අහඹු සිදුවීම උත්සවශ්‍රීයෙන් සැමරීමට සුදුසු බැවින් ‘මනමේට 66 යි’ යන තේමාව යටතේ මනමේ නාට්‍යය දර්ශනය හා උපහාර ප්‍රදානය සැලසුම් කෙරිණි. මෙම උත්සවයේ සංවිධාන කටයුතු අතර කලා මණ්ඩලය හා එහි සභාපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක, සිංහල අධ්‍යයන අංශය හා අංශ ප්‍රධාන මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි, ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්භ කලා අධ්‍යයන ඒකකය හා එහි ඒකක ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් රණේපුර සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල සංගමය, නාට්‍ය අධ්‍යයන ඒකකය හා ඇකඩමික් ප්ලේයස් සංසදය මුල් වී ක්‍රියා කරති. මනමේ නාට්‍ය දර්ශනය හා උපහාර උළෙල අද දින පස්වරු 5.30ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඊට ප්‍රථම පාසල් ළමුන් සඳහාත් බාහිර ප්‍රජාව සඳහාත් පස්වරු 3.30ට විශේෂ දර්ශනයක් පැවැත්වේ. හැට හය වසරක මනමේ හි අවිච්ඡින්න රංග පාරමිතාව අගයනු වස් මහැදුරු සරච්චන්ද්‍ර ප්‍රණාම සුයාමය හා සරච්චන්ද්‍රයන්ගේ ඇවෑමෙන් අද දක්වා ඔහුගේ නාට්‍ය සම්ප්‍රදාය ඉමහත් කැපවීමෙන් පවත්වාගෙන එන ඔහුගේ ආදරණීය බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රධාන මනමේ නාට්‍ය කෘතියේ කලාශිල්පීන් ඇගයුම ද, ‘මනමේට 66 යි’ සමරු සංග්‍රහය එළිදැක්වීම ද එදින සිදු කෙරේ. මනමේ නාට්‍ය හා බැඳුණු කලා ශිල්පීන් බොහෝමයක් සිටියද එදිනට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ වන කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ සුරතින් සම්මානයට පාත්‍ර වන ප්‍රවීණ කලාශිල්පීන් වනුයේ,

ලලිතා සරච්චන්ද්‍ර, නිශ්ශංක දිද්දෙණිය, බුද්ධදාස ගලප්පත්ති, ෆීලිස් සමරවික්‍රම, විල්මන් සිරිමාන්න, කේ.එච්.විමලසේන, කරුණාරත්නශිලී

නන්දන ගුණසිංහ, නන්දනී හෙට්ටිආරච්චි, කුමාරි මැණිකේ, සුනිල් තිලකරත්න, විජිත විජේරත්න, තෙල්මා මෙන්ඩිස් ය.

සරච්චන්ද්‍රයන් ජිවිත රඟමඩලෙන් බැසගොස් වසර 26ක් වුවද ශාස්ත්‍රඥයෙක් ලෙස මෙරට ජන විඥානය හඳුනාගෙන නිර්මාණය කළ මනමේ නාට්‍යය ශ්‍රී ලාංකේය ජන චිත්ත සන්තානයේ සදාකල් ලැඟුම් ගත් අපේ උරුමයකි. මනමේ කුමාරයාත්, වැදි රජුටත් මැදි වූ මනමේ කුමරිය හරහා සරච්චන්ද්‍රයන් ස්ත්‍රීය පිළිබඳව හෙළනා මානවාදී දෘෂ්ටිය ප්‍රේක්ෂකයාට අදටද වටහාගත නොහැකිය. වර්තමාන හා අනාගත පරම්පරාවට විනෝදාස්වාදය පමණක් නොව බුද්ධි කලම්බනයද සිදු කරන මනමේ නාට්‍ය වසරින් වසර වයසින් මුහුකුරා ගියද තවත් චිරාත්කාලයක් මෙරට කලා ලෝකයත්, සහෘද සිත සතන් රසවින්ඳයෙන්, තර්කනයෙන් හා චින්තනයෙන් පෝෂණය කරනු ඇති. එබැවින් මනමේ වැනි විශිෂ්ට නාට්‍යය බලා රසවිඳීන්නට කලා මණ්ඩලය මූලිකව සිදු කරන මෙම උත්සහයෙන් මානවීය සබඳතා හා ගුණාංගවලින් පිරිපුන් නැණ ගුණ ඇති කලාකාමි සමාජයක් බිහි කිරීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

අමානි ඉරේෂිකා රූපසිංහ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය

 [email protected]