මම වීරයාට වඩා දුෂ්ටයාට කැමැතියි

යොවුන් රංගවේදී, නාට්‍යවේදී දේවින්ද වික්‍රමසිංහ
සැප්තැම්බර් 22, 2022

 

නාට්‍ය කලාව ගැන ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගන්න ලංකාවේ ගවේෂණාත්මක පත පොත නැහැ

 

ප්‍රේක්ෂක ඔබේ අතිශය ආදරය දිනාගත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ජයන්තගේ චරිතය ඔහුට ඔහුගේ නමත් අමතක කර දමන්නට සමත්වුණා. ඒ සියල්ලෙන්ම ඔහුට ජයන්තගේ නමින් ආමන්ත්‍රණය කරන්නට පටන්ගත් නිසා. පුංචි තිරයේ පමණක් නොව වේදීකාවේ අහුමුලු සොයා යන වේදිකාවේ කරනම් ගසන ඔහු දේවින්ද වික්‍රමසිංහ. රංගනය පිළිබඳ ප්‍රායෝගික දැනුම වගේම ශාස්ත්‍රීය දැනුමෙන්ද හරි හරියට හපන්කම් පෙන්වන දේවින්ද නිර්මාණකරණයේ යෙදෙන්නේද වෙනත්ම මානයන් ඔස්සේ වීම විශේෂත්වයක්. ඒ ගැන වගේම දේවින්දගේ පෞද්ගලික තොරතුරු ගැනත් සරසවිය සමඟ දේවින්ද කතාව ආරම්භ කළේ මෙලෙසින්.

 

අපි මුලින්ම ඔබේ පසුබිම ගැන කතාකරමු?

මම පාසල් කාලයේ සිටම නාට්‍ය හා රංගකලාව විෂයක් විදිහට හැදෑරුවා. මගේ පාසල ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය. අපේ පාසලට එනවා චරිත් අත්ලගේ නම් වූ සොඳුරු ගුරුවරයා. ඔහු අපිව සමස්ත ලංකා නාට්‍ය දක්වාම අරගෙන යනවා. සෞන්දර්ය හැකියාව විධිමත් ලෙස ඔප්නංවන්නේ ඔහුයි. ඔහුගේ ගුරුහරුකම් යටතේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ හත් සැරයක් හොඳම නළුවා වන්නට මට වාසනාව ලැබෙනවා. එය වාර්තාවක්. ඒ උත්තේජනයත් එක්ක මම නාට්‍ය පැත්තෙන්ම ඉස්සරහට යන්න හිතා ගත්තා. ඒ නිසාම මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යනවා. මූලික විෂය ලෙස මම රංගනය හදාරනවා. නළුවෙක්ට නම් නාට්‍ය පෙළත් (පිටපත) එක්ක වැඩ කරන්න වෙනවනේ. මට ඒ බලපෑමත් එක්ක නාට්‍ය පිටපතක් ලියන්න අවශ්‍ය වෙනවා. ඒ වනවිට විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අපිට තිබුණා මොනලොග් විභාගය. තනි නළුවකුගෙන් නාට්‍යයක් කරන්න. මෙය මට හිතට මහා බරක් වුණා. තනි නළුවෙක්ගෙන් කොහොමද ඉදිරිපත් කිරීමක් කරන්නේ. කොහොමද පිටපත ලියන්නේ කියලා.

 

ඔබේ මරා උපන් කුමරා වේදිකා නාට්‍යය ගැන කිව්වේ නැහැනේ

(මගෙන් අතුරු පැනයකි)

ඔව් ඔව්. එය මම කළේ 2014 වසරෙදි. එයට යෞවන සම්මාන හා රාජ්‍ය සම්මාන ලැබෙනවා. මට අවශ්‍ය වුණේ වෙනම ආකෘතියක් එකක් අරගෙන එන්න කෙටි නාට්‍ය කලාවට. අපි දකින දෙයින් ඔබ්බට යමක් ගෙන එන්න.

 

ඉතින් වැඩේ සාර්ථක වුණාද?

මෙහිදී මූලික වුණේ තනි නළු රංග කාර්යයනේ. මම නාට්‍යයක් නිපදවූවා සිංහ කොඩියේ ඉන්න සිංහයාගේ චරිතය ගෙන කරන්න. එහිදි මට ගැටලුවක් ආවා මේ කියන මොනලොග් ශානරය සම්බන්ධව පරිශීලනයට ලංකාවේ පතපොත නෑ. ඒ ගැන එකම නාට්‍යයයි ලංකාවේ කතාබහට ජනප්‍රියත්වයට පත්වෙලා තිබුණේ. ඒ ධනංජය කරුණාරත්නගේ ලාස්ට් බස් එකේ කතාව. ස්වයං කථනය කියන්නේ මොකද්ද? තනි නළුවෙක් වූ පමණින් ඒක මොනලොග් එකක් වෙනවද? කියන ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගන්න ලංකාවේ ගවේෂණාත්මක පත පොත නැහැ. නමුත් ඕනෑතරම් විදේශීය කෘති තිබෙනවා.

 

ඉතින් ඔබට මොනලොග් කියන්නේ මොකද්ද කියලා හරියටම අහුවුණාද?

ඒ පතපොත කියවලා අපේ භාෂාවට පරිවර්තනය කරගත්තම මට තේරුණා ස්වයං කථනය කියන්නේ සෑහෙන පුළුල් නාට්‍ය භාවිතාවක් කියලා. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් අපි කියන්නේ තනි නළුවෙක් වූ පමණින් මොනලොග් කියලා. පාසල් විෂය නිර්දේශයෙත් ඔය විදිහටමයි උගන්වන්නේ. එය වැරැදියි. මේ ස්වයං කථනය විවිධ ශානරයන් තිබෙනවා. මොනලොග්, සොලොලොකි, වන් ඇක්ටර් ප්ලේ, ස්ටෝරි ටෙලින්ග් වගේ මෙය විවිධ පරාසයන් තුළ විහිදෙනවා. මට මේ පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න හැකි වුණ නිසා මම පොතක් නිර්මාණය කරනවා එය ස්වයං කථනය සඳහා ලංකාවේ බිහිවුණ එකම පොත විදිහට සලකන්න පුළුවන්.

 

'තෙස්පීස්ගෙන් උපන් ස්වයං කථනය' ඔබේ පොත?

පොතට මූලික වෙන්නෙත් ' මම අඩකුඹයි' කියන මගේම නාට්‍යය. එය 2015 වසරේ හොඳම නාට්‍යය රචනය ඇතුළු සම්මාන 6 ක් දිනාගන්නවා යෞවන නාට්‍ය සම්මාන උලෙළේ සහ රාජ්‍ය නාට්‍ය උලෙළේ. එය කතාබහට ලක්වෙනවා වගේම මෙය මගේ පර්යේෂණාත්මක කෘතියක් විදිහටයි මම රචනා කරන්නේ. ස්වයං කථනය සම්බන්ධ සම්පූර්ණ අදහසක් මේ පොතෙන් ලබාගන්න පුළුවන්. පාසල් විෂය නිර්දේශයට වුණත් විශ්වවිද්‍යාලයට වුණත් මේ පොත අතිශය ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ප්‍රවීණ නාට්‍යවේදීන් බොහොමයකගේ ලිපි මෙයට ඇතුළත්. කලා කීර්ති කේ.බී හේරත්, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, කථිකාචාර්ය පියල් කාරියවසම්, කථිකාචාර්ය රංග මනුප්‍රිය, නාට්‍යවේදී ධනංජය කරුණාරත්න, නාට්‍යවේදි චාමික හත්ලහවත්ත, විචාරක විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිසක් එයට දායක වුණා. ඒ වගේම මේ නාට්‍යය ඉංග්‍රීසි සහ දෙමළ බසින් මම පරිවර්තනය කළා. මේ වනවිට 'මම අඩකුඹයි' ඉන්දියානු නාට්‍ය උලෙළ සඳහා තෝරාගෙන තිබෙනවා. එය ලබන වසරේ පෙබරවාරි මාසයේ පස්වැනිදා ඉන්දියාවේ කල්කටාවේදී ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබ වේදිකාව දිග්විජය කළ රංගන ශිල්පියෙක්. පුංචි තිරයට එන්නේ කොහොමද?

මුලින්ම මම පුංචි තිරයට එන්නේ 2008 වසරෙදි. ඒ වෙද්දි මම පාසල්‍ යන ශිෂ්‍යයෙක්. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ හොඳම නළුවාට මම තේරුණාම සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ඇයගේ ටෙලිනාට්‍යක් සඳහා කතා කළා. පසුව මම ටෙලිනාට්‍යයකට සහභාගිවෙන්නේ 2014 වසරේ ඒ මගේ ගුරුවරයෙක් වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගේ ටෙලිනාට්‍යයකට. මම ඔහුගේ ටෙලිනාට්‍ය බොහොමයක වැඩකරලා තිබෙනවා. ප්‍රේමකුමාර ජයවර්ධන, රෙජිනෝල්ඩ් ජයමාන්න සහ ජයප්‍රකාෂ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරු යටතේ නිර්මාණවලට දායකවෙලා තිබෙනවා. වැඩි කැමැත්ත තිබෙන්නේ වේදිකාවට. නමුත් හොඳ නිර්මාණයක් නම් ලැබෙන චරිතය මට කරන්න පුළුවන් නම් හා ඒ චරිතය තුළින් සමාජය ඥානනය කරන්න පුළුවන් නම් මම තෝරා බේරාගෙන ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායකවනවා. ආරාධනා ලැබෙනවා. ලැබෙන හැම ආරාධනාවම භාරගන්නේ නැහැ. මොකද මම ශාස්ත්‍රීය දැනුම ලබාගන්න නිසාත් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන නිසාත් මම හිතනවා මම රඟපාන්නට තෝරාගතයුතු චරිතය පිළිබඳව.

 

ඔබ වෘත්තීයෙන්?

මම රාජ්‍ය සේවකයෙක්. මුල්ම පත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණේ. දැන් මම රාජකාරි කරන්නේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒ වගේම ප්‍රවීණ රංගවේදී මහේන්ද්‍ර පෙරේරාගේ නාට්‍ය ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු කරනවා.

 

ඔබ වේදිකාවෙන් ආවත් බොහෝ දෙනෙක් ඔබව දන්නේ ජයන්ත ලෙස? එක පැත්තකින් මේ චරිතය කළු චරිතයක්?

මම වීරයට වඩා දුෂ්ටයට කැමැතියි. මම හිතනවා වීරයට රඟපාන්නට තිබෙන්නේ එක්තරා විදිහක සීමාසහිත රඟපෑමක් කියලා. ඒත් දුෂ්ටයාගේ තිබෙන පැතිකඩයන් බොහෝමයි. ඒ වගේ ම මම කැමැතියි චරිතාංග නළුවෙක් විදිහට ඉදිරියට යන්න. මට මුලින්ම ආරාධනාව ලැබෙන්නේ පාරදිගේ ටෙලිනාට්‍යයේ සිකුරගේ චරිතයට. ඒ වෙලාවේ තිබුණ පෞද්ගලික ගැටලු කිහිපයක් නිසා මට එයට සම්බන්ධ වෙන්න බැරිවුණා. පසුව මට දෙවන ආරාධනාව එන්නේ නාඩගම්කාරයෝ සඳහා. විශේෂයෙන්ම සද්ධා මංගල සූරියබණ්ඩාර, නාඩගම්කාරයෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම සහ අධ්‍යක්ෂ ජයප්‍රකාෂ් සිවගුරුනාදන් තුන්දෙනාම මට මේ වෙනුවෙන් කතා කළා. ඒ වනවිටත් මම නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයෙක්. එයට තවත් හේතුවක් මගේ සමකාලීන පිරිසක් එහි රඟපෑවෙත්. සජිත ඇන්තනී එක්ක මම මුලින්ම රඟපාන්නේ 2017 වසරේ රාජිත දිසානායකගේ මට වෙඩි තියන්න බෑ වේදිකා නාට්‍යයේ. රසිකට රංගනයෙන් දායක වුණු කසුනි කාවින්දි මගේ බැචා. කසුනියි මමයි ගොඩක් නාට්‍යවල එකට රඟපාලා තියෙනවා. සමහර වෙලාවට ඇය මගේ පෙම්වතිය සමහර වෙලාවට ඇය මගේ බිරිඳ පුදුම වැඩේ කියන්නේ මේ නිර්මාණයෙත් ඇය මගේ බිරිඳ ලෙසයි රඟපෑවේ. මේක දෛවයේ සරදමක් වගේ (සිනාසෙමින්). අනෙක් අතට මගේ විශ්වවිද්‍යාලයේ ගුරුවරයා ප්‍රසන්නජිත් අබේසූරීය මගේ පොතට ලිපි රචනා කළා ඔහුත්. ජයන්ත කියන්නේ ප්‍රේක්ෂකයා දකින්න බලාපොරොත්තුවෙන් සිටිය චරිතයක්. නාට්‍යය පුරාම හිටිය ජයන්ත නාට්‍යයේ අවසාන භාගයේදිනේ ප්‍රේක්ෂකයා සමීපයට එන්නේ. මේ තරම් ඉහළින් මාව පිළිගන්න එයත් හේතුවක් වෙන්න ඇති. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මෙගා නාට්‍යක රඟපැවේ කියලා. මම හිතන්නේ නාඩගම්කාරයෝ කියන්නේ මෙගා නාට්‍ය අතරින් වෙනස් වුණු නාට්‍යයක්. සීමිත චරිත ප්‍රමාණයක් වුණත් ඒ චරිත සියල්ල ප්‍රේක්ෂකයාට මතක හිටින චරිත. දන්න කියන ඉතාම සුහද පිරිසක් ඉන්න නිසා මමත් ඉතාම කැමැත්තෙන් භාරගෙන කළ චරිතයක් ජයන්තගේ චරිතය.

 

ඔබේ නමට වඩා ඔබව හඳුනන්නේ ජයන්ත කියලා?

ඔබ හරි. දේවින්ද වික්‍රමසිංහ පැත්තකට දාලා හැමෝම මට කතා කරන්නේ ජයන්ත කියලා. කොහේ ගියත් මට දකින හැමෝම කතා කරන්නේ ජයන්ත කියලා. මගේ ළඟම යාළුවොත් දැන් මට කියන්නේ ජයන්ත.

 

එක පැත්තකින් ඔබ වේදීකාවේ කරනම් ගහනවා. අනෙක් පැත්තෙන් නිර්මාණාත්මක ගුණයෙන් යුතු නිර්මාණ ප්‍රේක්ෂකයා සම්මුඛයට ගේන්න දැවැන්ත උත්සහයක නිරතවනවා. වේදීකාව ගොඩගන්න නම් මඟහැරුණු, අතැහැරුණු ප්‍රේක්ෂකයා නැවත ප්‍රේක්ෂකාගාරයට ගේන්න නම් අපි අලුතින් මොනවද කරන්න ඕන?

මගේ අදහස නම් වේදීකාව ගොඩ ගන්න දෙයක් නැහැ. එය ගිලී තිබෙන කලාවක්. මම අන්තර්ජාතික නාට්‍ය උලෙළ කිහිපයකට සහභාගි වෙලා තිබෙනවා. අන්තිමට සහභාගි වුණේ නේපාල නාට්‍ය උලෙළකට. එහෙම ගත්තම ඒ අයගේ නිර්මාණ එක්ක බලද්දි අපේ නාට්‍ය කලාව ඉතාම හොඳ තැනක තිබෙන්නේ. නමුත් අපට තිබෙන ප්‍රශ්නය නම් පවතින අර්බුදකාරී වාතාවරණය සහ වේදිකා නාට්‍ය කියන කලාවට කුඩම්මාගේ සැලකිලි ලැබීම සහ කලාවක්ද කියන තැනට සාකච්ඡා නොකිරීම නිසා මිසක් නිර්මාණකරුවන්ගේ අඩුවක් හෝ නිර්මාණ බිහි නොකිරීමේ අඩුවක් නොවෙයි. වේදිකාව කියන්නේ රංගනය වගේම ජීවිතයත් පුරුදු පුහුණු කරන තැනක්. මිනිසුන්ට ආදරය කරනවිදිහ, දේශපාලනය, මානව සම්බන්ධතා කොහොමද ගොඩනගා ගන්නේ ආදී බොහෝ දේ මේ සම්බන්ධව බැඳීලා තිබෙනවා. ඇත්තටම නාට්‍ය කලාව තියෙන්නේ ප්‍රොසීනියම් වේදිකාවෙද? එහෙම නෑ. ලංකාවේ පුරුදු වී සිටිනවා ප්‍රොසීනියම් වේදිකාවේ පමණක් නාට්‍ය පෙන්වන්න. කොළඹ ඉන්න 2500 ක විතර පිරිසක් ඔය නාට්‍ය බලයි. ලංකාවේ නාට්‍ය කොළඹ කේන්ද්‍රීයයි. නාට්‍යකරුවා සමත්විය යුතුයි ප්‍රොසීනියම් ආකෘතිය ගලවගෙන ප්‍රේක්ෂකයා ළඟට නාට්‍ය අරගෙන යන්න. මම උදාහරණයක් කියන්නම් ගාමිණි හත්තෙට්ටුවේගම වීදීයේ නාට්‍ය කළේ. ප්‍රේක්ෂකයාට සමීපයි. ප්‍රේක්ෂකයා සමඟ සොම්නස දොම්නස කතා කරනවා. ඔවුන්වත් එකතු කර ගන්නවා නාට්‍යයට. ඉන්දියාවේ බඩා සිකාර් වැනි නාට්‍යකරුවෙක් ඔහු රඟහල අරගෙන යනවා ප්‍රේක්ෂකයා ළඟට. මම හිතනවා ලංකාව වගේ අර්බුදකාරී රටක, ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න රටක මේ රසවින්දනය දීමට අවශ්‍ය නම් මේ ප්‍රොසීනියම් වේදිකාවෙන් ගැලවෙන්න ඕන කියලා.

 

ඔබ ඔය කියන්නේ ප්‍රේක්ෂකයා ඔබ කරා නොව ඔබ ප්‍රේක්ෂකයා කරා යන්න කියලද?

ඔව්. අනිවාර්යයෙන්ම. නාට්‍ය කලාව කියන්නේ බහුවිධ ශක්‍යතාවලින් පිරිපුන් ජීවිතයට සමීප විෂයක්.

 

ඔබ ඔබේම වේදිකා නාට්‍යවල පමණක්ම නොවෙයි රඟපෑවේ?

ඔව්. මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ යශෝධරා සරච්චන්ද්‍ර හා ඇගේ ස්වාමියාගේ නාට්‍යයකින්. පසුව මම ආචාර්ය ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිඳු, චාමික හත්ලහවත්තගේ මකරට, රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුල, මට වෙඩි තියන් නැද්ද, සිහින හොරු අරන්, නැතුව බැරි මිනිහෙක්, 2019 ජූලි මාසයේ දවසක්, මංගල සේනානායකගේ ජුලියස් සීසර් වැනි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. කේ බී හේරත් මහත්මයාගේ අලුත්ම නාට්‍යයට ආරාධනා ලැබුණා.

 

මේ පොතට තෙස්පීස්ගෙන් උපන් ස්වයං කථනය කියලා නම දාලා තිබෙන්නේ?

ලෝකයේ පළමුවැනි නළුවා කවුද? (ඔහු මගෙන් අසයි) තෙස්පීස් (මම උත්තර දෙත්ම ඔහුත් ඒ නම කීවේය) තෙස්පීස් පළමුවැනි නළුවා බවට පත්වෙනවානම් පළමුවැනි නාට්‍යයත් එතැන තිබෙන්න එපැයි. තෙස්පීස් දියෝනීසස් දේවාලය අසල කරන රංගනයෙන් ඔහු කියනවා දියොනීසස් කියන්නේ මම මාව අදහන්න කියලා. එය ස්වයං කථනයක්. ඒ කියන්නේ ලෝකයේ පළමුවැනි නාට්‍යයත් ස්වයං කථනයක්. මේ සම්බන්ධව ඉතාම ගඹුරින් හදාරන්න පුළුවන්. මේ සම්බන්ධව මම සෑහෙන කතා කරනවා.

 

දේවින්ද ' මම අඩකුඹයි' මේ නාට්‍යය මොන අර්ථයකින්ද ඔබ කරන්නේ?

බුද්ධ වර්ෂ හාරසියය වන සියවසේදීයී කොඩියට සිංහයා එන්නේ. සිංහයා එන එක නොවෙයි ප්‍රශ්නය. සිංහයා විකුණන එකයි ප්‍රශ්නය. ස්වයං කථනයට බොහෝ වෙලාවට යථාර්ථවාදී චරිතනේ ගේන්නේ. යථාර්ථවාදී චරිත විතරද ස්වයං කථනයක නිර්මාණය වෙන්න පුළුවන්. කලාව කියන්නේ යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය දෙයක්නේ. කලාවට හෝ වේදීකාවේ හතර කොනට පුළුවන් ඕනම දෙයක් කරන්න. අපිට අවශ්‍ය මිනිසාගේ පරිකල්පනය වෙනස් කරන්න. යථාර්ථ බුද්ධිය අවදිකරන්න කලාවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්.

 

මම අඩකුඹයි ඉතාම සාර්ථක නාට්‍යයක් වුණා?

2017 මම නිර්මාණය කළේ මේ නාට්‍යය. දැන් අවුරුදු හතක් තවමත් පවත්වාගෙන ‍යනවා. තාමත් මිනිස්සු රසවිඳීනවා. සම්මාන පිට සම්මාන ඇගයීම් ලැබුණේ ඒ නිසයි.

 

මෙවැනි වූ මාතෘකාවක් ඔස්සේ නිර්මාණයක් කරද්දිත් එය ලෝකෙට අරගෙන හිතන්න යමක් තිබෙනවා නේද?

නාට්‍යකරුවාට පුළුවන් සමාජයේ තිබෙන දෘෂ්ටිවාදයට පහර දෙන්න. දෘෂ්ටිවාදයට පහර නොදි දෘෂ්ටිවාදය පමණක් නියෝජනය කරනවානම් මම හිතන්නේ ඔවුන්ගෙන් කලාවක් සිඳුවෙන්නේ නෑ කියලා.

 

හිතන පතන විදිහේ ප්‍රශ්නයක් ද මේ තිබෙන්නේ?

(මගෙන් අතුරු පැනයකි) අපි පුරුදුවෙලා තිබෙන්නේම නාට්‍ය ධර්මී විදිහට හිතන්න. ලෝක ධර්මී විදිහට හිතුවොත් ප්‍රශ්නයයි දුකයි දෙකම වැඩි වෙනවා.

 

උතුරට වේදිකාව ගෙන යන්න ගත් වෑයමක්ද මේ නාට්‍යය දෙමළ බසට පරිවර්තනය කිරීම?

කොඩියේ විදිහට අපි සියලු ජාතීන් නියෝජනය වනවා. අපි 2017 දී පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ආරාධනාවක් මත යාපනේ ජනකරළියේ නාට්‍යය පෙන්වූවා. ඒ මිනිස්සුන්ට සිංහල භාෂාව බෑ. භාෂාව නොදැන ඒ මිනිස්සු ඔක්කොම අත්පොඩි ගැහුවා. සිංහයාගේ අර්බුදය ඇඬිල්ල දෙඬිල්ල වැලපිල්ල මේ සියලුම දේ ඒ මිනිස්සුන්ට තේරෙනවා. මම වැඩි හොඳට නාට්‍යය පිටපත පරිවර්තනය කළා දෙමළ බසට. ඔවුන්ව තව ටිකක් ඥානනය කරන්න පුළුවන් ඔවුන්ගේ බසින් නාට්‍යය පෙන්වනවානම්. ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කරලා තිබෙනවා.

 

දේවින්ද පවුල්වෙලාද කොහොමද පෞද්ගලික තොරතුරු?

තවම නැහැ. මම තනිකඩයි තවම.