”මම ලෝකෙට බය නෑ”

ප‍්‍රවීණ නාට්‍යවේදී එම්.සෆීර්
අගෝස්තු 18, 2022

 


ජර්මනියේ නාට්‍යකරුවන්ට ජර්මනියේ සිට අපේ රටට එන්නට පුළු‍වන් නමුත් අපේ අයට නොමිලයේ පෙන්වන නාට්‍යයක් බලන්නට එල්ෆින්ස්ටන් රඟහලට එන්නට බැහැ
 


කාලය පාවා නොදුන් ඔහු කාලයට තමා පාවා දීමට ද කිසිදු විටෙක ඉඩ නොහළේය. අතැහැර නොයන කාල රාමුවක හිද නාට්‍යයකරුවකු ලෙසින් පමණක් ලේබල් ගසා වෙන්කර තැබීමට කිසිදු විටෙක අවකාශයක් නොදුන් ඔහු තිර පිටපත් රචකයකු, රංගනවේදියකු, සංවිධායකවරයෙකු, කළමනාකරුවකු සමාජ ක‍්‍රියාකාරීකයකු, සෞන්දර්යවේදියකු ලෙසින් මතුනොව සිනමාවේදියකු ලෙසින් ද කටයුතු කරමින් මේ පොළොවේ කලාවට ආදරය කරන මිනිසුන් අතරේ සිය යුතුකම මනාව ඉටුකරමින් සිටින්නේය.

දශක 3කට ආසන්න කාල රාමුවක් පුරා විහිදෙන ”සෆීර් නාට්‍ය සංස්කෘතිය” තුළ ඔහු විසින් දිගු නාට්‍ය 20ක්, අන්තර්ජාතික නාට්‍ය නිෂ්පාදන 5ක්, ද්විත්ම භාෂා නාට්‍ය නිෂ්පාදන 5ක්, කෙටි නාට්‍ය 20ක් ඇතුළුව වේදිකා නාට්‍ය නිෂ්පාදන 50ක් ලියා අධ්‍යක්ෂණය කරමින් දැක් වූ දායකත්වය අතිමහත්ය.

”සඳකඩ” නමින් ප‍්‍රකාශන ආයතනයක් ද පවත්වාගෙන යමින් දැයේ සාහිත සේසත නංවාලන්නට ස්වකීය දායකත්වය නොඅඩුව ලබාදෙන ඔහු විසින් නාට්‍ය කලාවට දක්වන්නා වූ අපරිමිත ආදරය ග‍්‍රන්ථ 16ක් ඔස්සේ ශ‍්‍රී ලාංකේය පාඨකයාට තිළිණ කළේය.

අන්තර්ජාතික තලයේ නූතන රංග කලාවේ ප‍්‍රකට ප‍්‍රවණතාවක් වන ඊඛ්ක්‍ණ ඊධඞ ෂ ඵධභධ ධඍ්ඵ නාට්‍ය ප‍්‍රභේදයන් ලංකාවට හඳුන්වාදීමේ ගෞරවයද හිමිකරගත් ඔහු පසුගිය දශක කිහිපය තුළ මේ පොළොවේ තරුණ ¥ පුතුන් විසිදහසකට අධික ප‍්‍රමාණයකට නාට්‍ය හා රංග කලාව නොමිලයේ ඉගැන්වීම තුළින් ශ‍්‍රී ලාකේය නාට්‍ය හා රංග කලාව තුළ පණ ගැහෙන ජීවිත එක්කරමින්, වෘත්තීය නාට්‍යවේදීන් බිහිකිරීමෙහිලා අපේ කාලයේ ”භරතමුනි පරම්පරාවේ නාට්‍ය පඬිවරයකු” ලෙසින් ඔහු හැඳින්වීම කිසිදු අතිශයෝක්තියක් නොවන්නේ ඉන්දියානු සහ රුමේනියානු විශ්වවිද්‍යාල ත‍්‍රිත්වයක නාට්‍යකරණය උගන්වන එකම සහ ප‍්‍රශස්ත ගුරුවරයකු බැවිනි.

මේ එම් සෆීර් නම් වූ සොඳුරු නිර්මාණවේදියා සමඟින් සරසවිය සිදුකළ සංලාපයයි.


ඔබ ශ‍්‍රී ලාංකේය නාට්‍ය කලාව අන්තර්ජාතික තලයට රැුගෙන යාමේ පුරෝගාමියෙක්. එහිදී ඔබ ලැබු අභියෝග සහ ජයග‍්‍රහණ පිළිබඳ සිහිපත් කළොත්?

ඔව්. අන්තර්ජාතික තලයට ගිය පළමු නාට්‍යකරුවා හෝ අවසන් නාට්‍යකරුවා මම නොවෙයි. ශ‍්‍රී ලංකාවේ බොහෝ නාට්‍ය කරුවන් 1956න් පසු අන්තර්ජාතික තලයට යන්නට කටයුතු කර තිබෙනවා. ඒ සියල්ලෝම යම් කිසි දැනුමක් අරගෙන ලංකාවට පැමිණියා පමණක් නොවෙයි. ඒ ලබාගත් දැනුම යම් කිසි අවස්ථාවක යම් කිසි ප‍්‍රමාණයකින් බෙදාහදා ගත්තා.

මෙන්න මේ කාරණවේදී මං විසින් ඒ සිදුකළේ මං ලැබූ දැනුම නැවත ජාලයක් ලෙසින් ශක්තිමත් කරගන්න මම මහන්සි වුණා. උදාහරණයක් හැටියට ජර්මනියේ අන්තර්ජාතික නාට්‍ය සම්මේලනයට සහභාගි වුණාම මට රටවල් 20 -25ක පමණ නාට්‍යකරුවන් හමුවුණා. මම අඛණ්ඩව ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියා. ඒ වගේම මං ලංකාවේ කිසිම ගුරුකුලයක් නියෝජනය නොකරන නාට්‍ය කරුවෙක් හින්දා මම ලබාගත්ත දේවල් නැවත ලබාදෙන්නට මට අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසාමයි කිසිවෙකු නොකරන ලද සහ උත්සුක නොවු අන්තර්ජාතික නාට්‍ය උලෙළක පටන් ගැනීමට තීරණය කළේ. ඒ තුළින් මගේ අන්තර්ජාතික නාට්‍යකරුවන් හා බැඳුණු ජාලය ශක්තිමත් වුණා.

මම ලංකාවේ අති විශාල නාට්‍යකරුවන් පිරිසක් අන්තර්ජාතික තලයට යොමුකර තිබෙනවා. එය කෙතරම් ද කියනවානම් සමහර ශිල්පීන්ට මතක නැහැ ඔවුන් අන්තර්ජාතික තලයට යොමු කළේ මම ද කියා. එවැනි හාස්‍ය උත්පාදක වගේම ඛේදජනක කාරණාවන් පවා මං සලකන්නේ මගේ ජයග‍්‍රහණ හැටියටයි.

කෙසේ වුවත් මම ශ‍්‍රී ලාංකීකයෙක් හැටියට ලංකාවේ නාට්‍ය කලාව ඇතුළේ මං අවංක වුණා. ඒ අවංකභාවය ඇතුළත මට අන්තර්ජාතික තලය ජයගන්නට හැකි වුණා. මං ජයග‍්‍රහණය කළ දේවල් මේරටට භුක්ති විඳින්නට මම අවකාශය සැලසුවා.

මට ලැබුණු අභියෝග ගැන කතා කරන විට මට ශ‍්‍රී ලාංකීක පේ‍්‍රක්ෂකයාගෙන් ඇසිය යුතු දෙයක් තිබෙනවා. ”ඔබලා හෘද සාක්ෂියට එකඟව මේ දේවල් මේ පොළොවේ රෝපණය කරන්නට මට ඉඩ දුන්නාද? ඔබ මගේ මේ වෑයම භාරගත්තේ කිනම් ආකාරයෙන් ද කියන කාරණාව එය විශාල අභියෝගයක්. බොහෝදෙනෙකු හිතන් ඉන්නවා මම වැඩකරන ක‍්‍රමය හා පිළිවළ අනුව මෙය ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් කියා.

නමුත් ඔබ කවුරුවත් දන්නේ නෑ. මම අභියෝගවලට මුහුණු දුන් ප‍්‍රමාණය. මං හඬා වැටුණු වාර ගණන. මං විඳවා ඇති වාර ගණන, පසුතැවී ඇති වාර ගණන. මේ කතා කරන මොහොත වන විට මට හිතෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි මේ සියල්ලම දැන් ඇතියි කියන සිතුවිල්ල. මොකද මේ රටට පෙරළා මට යමක් කරන්න, අවම වශයෙන් මේ වැඩටික කරගෙන යන්න කිසිම පහසුවක් දෙන්නේ නැහැ.

පසුගිය මාසෙ 31 සහ 01 වැනිදා අන්තර්ජාතික නාට්‍ය උලෙළේ දර්ශනගත වීමට නියමිතව තිබු ජර්මානු නාට්‍ය නිෂ්පාදනයක් ලංකාවට ගෙන්වුවා. ඒ සඳහා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය විශාල පිරිවැයක් දැරුවා. මෙරට පේ‍්‍රක්ෂකයන් සඳහා අපි එම නාට්‍ය ප‍්‍රදර්ශනය කළේ නොමිලයේ. නමුත් කෝ එම අන්තර්ජාතික නාට්‍ය නරඹන්න පැමිණි නාට්‍යකරුවන්? එයයි මට තිබෙන අභියෝගය එයයි අපිට තිබෙන අවුල. මේ මං වෙනුවෙන් දක්වන කුහකමේ ප‍්‍රතිඵල භූක්ති විඳින්න වෙන්න ඔවුන්ටමයි. එදා එල්ෆින්ටන් රඟහලේ පේ‍්‍රක්ෂකයන් 300ක් වත් හිටියේ නෑ. මෙය ඉතාම ඛේදජනක තත්ත්වයක්. මට තියෙන අභියෝගය මෙයයි. ජර්මනියේ නාට්‍යකරුවන්ට ජර්මනියේ සිට අපේ රටට එන්නට පුළු‍වන්. නමුත් අපේ අයට නාට්‍ය බලන්නට නොමිලයේ පෙන්වන නාට්‍යයක් බලන්නට එල්ෆින්ටන් රඟහලට එන්නට බැහැ. අපි නොමිලේ පෙන්නපු අන්තර්ජාතික නාට්‍ය බලන්නවත් අපේ නාට්‍යකරුවන්ට පුලූ‍වන් වුණේ නැහැ. මට ඕනෑ වුණේ නරක කාලයේ හොඳ දෙයක් දෙන්නයි. මෙන්න මේකද මං කරන වැරැුද්ද?

ඔබ ඇතුළු 90 දශකයේ නාට්‍යවේදීන් මේ වන විට ගත කරන්නේ නාට්‍ය කලාවේ හතරවැනි දශකයේ ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?

ඇත්තටම අපි ආපහු හැරීබලන විට අපිට මොනවද ලැබිලා තියෙන්නේ. කිසිවක් නැහැ. ඇත්තටම තිබෙන්නේ කලකිරීමක් පමණයි. මේ නාට්‍යකරුවන්ට පමණක් වූ වැරැුද්දක් නොවෙයි. මේ සමස්ත පද්ධතිය තුළම පවතින ගැටලූවක්.

බොහෝ නාට්‍යකරුවන් අදටත් කිසිදු යාවත්කාලීන වීමක් නැහැ. වසර 30ක් ගෙවී ගිහිල්ලත් මීට වසර 30කට පෙර ලියූ නාට්‍ය, නාට්‍ය පිටපත් හොඳයි කියන උදවිය සිටිනවා. තවත් සමහරු තවමත් මේ දුපතෙන් එහාට ගිහින් නැහැ. ලෝකය දැකලා නෑ. ඒක හරිම ඛේදවාචකයක් කියා මං විශ්වාස කරනවා. ඒත් ඒක නාට්‍යකරුවන්ගේ වැරැුද්දක් කියා මං විශ්වාස කරන්නේ නෑ.

ශ‍්‍රී ලාංකේය නාට්‍යකරුවන් අද දවස වන විට නිද්‍රාවට පත්වෙලා කියා බොහෝ දෙනෙක් මැසිවිලි නඟනවා. කුමක්ද මෙහි සත්‍යතාවය?

ඔය චෝදනාව මට නම් අදාළ වන්නේ නැහැ. මං 2020 කියන නරකම කාලයේදීත් නාට්‍ය සම්බන්ධව පොත පත ලිව්වා. වැඩමුළු පැවැත්වුවා. නාට්‍ය නිෂ්පාදන ගණනාවක් කළා. නාට්‍යවේදියෙක් ලෙස නිරන්තරයෙන් සක‍්‍රීයට කටයුතු කරන කෙනෙක් තමයි මම. හැබැයි යම් නිර්මාණ ශිල්පියකුට සිතෙනවා නම් ”දැන් මට ඇති” කියා එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත.

ගෙවුණු පසුගිය අවුරුදු 3 ඇතුළත මට කිරීමට නොහැකි වූ එකම නිර්මාණාත්මක කටයුත්ත අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ පැවැත්වීමට නොහැකි වීමයි. ඒ පිළිබඳ මං අදටත් කනගාටු වෙනවා. නමුත් 2020, 2021 වසර කියන්නේ මං නාට්‍යවේදියෙක්, නිර්මාණකරුවෙක් ලෙසින් වැඩියෙන්ම වැඩකළ කාල පරිච්ෙඡ්දයක්. 2020 වසරේ මං ඉන්දියාවේ සහ ඩුබායිවල මගේ නාට්‍ය වේදිකාගත කළා. 2021 වසරේ ඊජීප්තුවේ නාට්‍ය උලෙළෙට සහභාගි වී මෙරට වේදිකා නාට්‍ය වංශ කතාව අන්තර්ජාතික සම්මානයෙන් පොහොසත් කළා. මේ අවුරුද්දේ මගේ නාට්‍ය නිර්මාණයක් තූර්කියේ වේදිකාගත කළා. අතේ සතේ නැතිවුණත් සැප්තැම්බරයේ ග‍්‍රීසියට යාමට නියමිතයි. නොවැම්බරයේ ආයෙමත් ඊජිප්තුවට යන්නට තියෙනවා මගේ නාට්‍ය නිර්මාණයක් සමඟ.

ඒ නිසා මං ඉතා වගකීමෙන් කියන්නට පුළුවන් නාට්‍ය කලාව තුළ මා අවදියෙන් කියා. මේ වෙලාවේ මට අපේ ජන ව්‍යවහාරයේ තියෙන කියමනක් මතක් වෙනවා.

”නිදා ඉන්න උන් අවදි කරන්න පුළු‍වන්

හැබැයි බොරුවට නිදා ඉන්න උන්

අවදි කරන්න බෑ.”

මං මේ කියමන අදාළ කරගත්තේ පසුගිය මාසේ (ජූලි) 30 - 31 ජර්මන් නාට්‍ය නිෂ්පාදනය නැරඹීමට අපේ නාට්‍ය නිර්මාණකරුවන් නොපැමිණීම සම්බන්ධයෙන්. මං කොහොම අවදි කරන්නට හැදුවත් ඔවුන් බොරුවට නිදා සිටින නිසා අවදි කරන්නට අමාරුයි. ඒකයි තිත්ත ඇත්ත.

ඔබ මේ වන විට අන්තර්ජාතික වේදිකා නාට්‍ය උලෙළ ටික සාර්ථක ලෙස සංවිධානය කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ තක්සේරුව කෙසේ ද?

මට තේරුම් ගිය කාරණාවක් තමයි හැමෝටම බැණ බැණ සිටීමෙන් ඵලක් නෑ කියා. ඔවුන් වෙනස් වෙන්නෙත් නැහැ. මම වෙනස් වෙන්නෙත් නැතිනම් මට සිද්ධ වෙනවා වෙනස් වෙන්න පටන් ගන්න. ඉතින් මගේ වෙනස කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළ ඔස්සේ මං ඉදිරිපත් කරනවා. ඒ තුළින් විශිෂ්ට ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. අවුරුදු 8ක් ආපසු හැරී බැලූ‍වොත් අවුරුදු 8ක් කියන්නේ මගේ ජීවිතයේ දශකයකට ආසන්න කාලයක්. මගේ ජීවිතයේ 1/5 ක් මම අන්තර්ජාතික නාට්‍ය උලෙළට කැප කර තිබෙනවා. මං ඉන් ලබාගත් දැනුම, අත්දැකීම්, පන්නරය, ඒ තුළින් මේ රටට ලබාදුන් ජයග‍්‍රහණ පිළිබඳ තෘප්තිමත් වෙන්න පුළු‍වන්. මේ වන විට අන්තර්ජාතික නාට්‍ය අයදුම්පත් 1000ට අධික ප‍්‍රමාණයක් ලැබී තිබෙනවා. රටවල් 70කට පමණ වේදිකා නාට්‍යයට ඇල්මක් දක්වන විශාල පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. ඒ අතර විදේශ නාට්‍යකරුවන් 300කට අධික ප‍්‍රමාණයක් සිටිනවා. ඒ වගේම නාට්‍ය ශිල්පීන් 1000කට අධික ප‍්‍රමාණයක් ගත වූ වසර 08 තුළ මගේ මාතෘ භූමිය දැක තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණ, වියදම් කරන්නේ, ඩොලර්, එහෙමත් නැත්තම් යුරෝ. ගතවුණු අවුරුදු 8 පුරාම ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායමට දායක වුණු කොඳුඇට පෙළක් සහිත ගෞරවනීය නාට්‍යකරුවෙක් කියන අභිමානය නිරතුරුවම මගේ හිතේ තිබෙනවා.

ඊක්ජන ඊදං ඵදබා ෘර්පැ ආදී නූතන ශානරයන් සහිත නාට්‍ය කලාවක් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමීයා ඔබයි.

ඔව්. ඊක්ජන ඊදං කියන සංකල්පය ලෝකයේ ආරම්භ වන්නේ 1907 දී. ලංකාවේ අපි පටන් ගත්තේ 2008 දී අවුරුදු 101ක් ගතවීමෙන් පසුවයි. ඒත් අපි ආරම්භ කළේ එතරම් කාලයක් ගත වී හෝ ලංකාවට මෙම නාට්‍ය ශානරය හඳුන්වාදීමට හැකිවීම ගැන මට සංතෝෂයි. සිංහල නාට්‍ය වාග් කෝෂයට බ්ලැක් බොක්ස් ෆෝරම් කියා වචනයක් එකතු වී තිබෙනවා. ඵදබද ධර්ප් කියන්නේ ලෝකයේ 80 දශකයේ පසු ව්‍යාප්ත වූ නාට්‍ය ප‍්‍රභේදයක්. එය අද වන විට ලෝකයේ හරිම ජනප‍්‍රියයි. මොකද නිෂ්පාදනය කිරීමට ඇති නිර්මාණත්මක පහසුව දැඩි සේ අපහසුයි. මෙහිදී නිර්මාණය කළමනාකරණය කිිරිමේ ඇති පහසුව නිසා ලෝකයේ බොහෝ දෙනෙක්, බොහෝ නිර්මාණකරුවන් මොනෝ ඩ‍්‍රාමා කරනවා. මේවා ලංකාවට හඳුන්වා දීම පිළිබඳ නිහතමානී සියුම් සතුටක් මට තිබෙනවා. ඇතැම් වෙලාවට මේ නාට්‍ය ප‍්‍රභේද ලංකාවට හඳුන්වා දුන්නේ අපියි කියා වෙනත් පිරිසක් පාරම් බාන්නත් ඉඩ තියෙනවා. ඒ තමයි ලංකාවේ හැටි.

ඔබ නාට්‍ය හා රංග කලාවට අදාළ පොත පත රචනා කිරීමේ පෙරගමන්කරුවෙක්

මේ කතාකරන මොහොත වන විට මගේ ”සඳකඩ” මුද්‍රණායතනය අවුරුදු 25ක් ගෙවී අවසන්. මම රචනා කළ වේදිකා කළමනාකරණ කෘතිය උසස් පෙළට රංග කලා විෂය හදාරන දරුවන් සඳහා කියවිය යුතු අතිරේක කෘතියක් ලෙස නිර්දේශ වුණා. ඇත්තටම එය නිර්මාණකරුවකු ලබන විසල් භාග්‍යයක්. මගේ ජීවිතයේ භාගයක්ම ”සඳකඩ” සමඟ ගෙවී ගියේ. මහා සේවක පිරිසක් නැහැ. සඳකඩ ප‍්‍රකාශන, ප‍්‍රචාරණ, මුද්‍රණ අංශ තුනම සිදුකරනවා. පසුගිය කාලය තුළ සඳකඩ මුද්‍රණාලයෙන් පොත් 200ක් පමණ මුද්‍රණය කර තිබෙනවා. එයින් පොත් 50කට අධික සංඛ්‍යාවක් නාට්‍ය හා රංග කලාව පිළිබඳවයි. මං නාට්‍යකරුවෙක් හැටියට පොත් 9ක් ලියා තිබෙනවා. නාට්‍ය සම්බන්ධ නොවන පොත් 7ක් ලියා තිබෙනවා. තවත් පොත් 2ක් මුද්‍රණයේ පවතිනවා. චීන නාට්‍ය කලාව සම්බන්ධ ප‍්‍රමුඛ පොත අන්තර්ජාතික අවසරය මත විශාල පිරිවැයක් ගෙවා ලාංකේය විද්‍යාර්ථීන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. නමුත් කියන්න කනගාටුයි. නාට්‍ය කරන අය නාට්‍ය පොත් ගන්නේ නෑ කවි ලියන අය කවි පොත් මිලට ගන්නේ නෑ. ඒ තමයි ජානමය කුහකකම. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපිම පොත් ලියලා, ප‍්‍රකාශයට පත් කරලා අපිම කියවලා ගොඩ ගහගෙන ඉදලා නොමිලයේ ලබා දෙන්නයි. නැතිනම් අඩයක්. අඩපොත් විදියට භාවිත කිරීමටයි.

ශ‍්‍රී ලාංකේය පේ‍්‍රක්ෂකයා, පේ‍්‍රක්ෂකාගාරය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද

මෙහෙමයි. ලංකාවේ පේ‍්‍රක්ෂකයා ගැන මගේ විග‍්‍රහයන් දෙකක් තියෙනවා. එකක් තමයි බොහෝ පේ‍්‍රක්ෂකයන් නාට්‍ය බලන්න එන්නේ තමන් අහපු රස හොයාගෙන ඒක හරියට කඬේකට ගිහින් බත් පාර්සලයක් ගැනීමක් වගේ. කන්නත් පුළුවන්. හැබැයි මෙලෝ රහකුත් නෑ. තවත් ජීවිතේ ඉන්නවා නාට්‍ය පිළිබඳ රසඥතාවයෙන් දැනුම්වත්භාවයෙන් එන පිරිසක්. බොහෝ වේලාවට පොදු පේ‍්‍රක්ෂකයා කියා පිරිසක් ඉන්නවා. එතෙක් ඔවුන් දැකපු, විඳපු රසයන් තමයි ඔවුන් හොයන්නේ. හැබැයි තවත් විශේෂිත පිරිසක් ඉන්නවා ඔවුන්ට ඕනෑ පෙර නොවු විඳි රසයන්. අපි ලංකාවට විශේෂිතව කතා කරනවා නම් ලංකාවේ ජනගහනයෙන් 1%ක්වත් නැහැ. වේදිකා නාට්‍ය නරඹන පේ‍්‍රක්ෂකයින් ඔන්න ඕකයි තත්වය.

ඔබ සඳහන් කළ විශේෂිත පේ‍්‍රක්ෂකයාට පමණක් ඔබේ නිර්මාණ සීමා වෙනවාද?

මගේ නාට්‍යවල මං හැමවෙලාවේම උත්සහ කරන්නේ හැම නිෂ්පාදනයකින්ම යම් කිසි වෙනසක් කරන්න, යම් කිසි අත්හදා බැලීමක් කරන්නයි. මම නාට්‍ය 50ක් නිෂ්පාදනය කර තිබෙනවානම් අඩු තරමේ ඉන් නාට්‍ය 30ක් වත් විශේෂ අත්හදා බැලීම්. මගේ ඒ අත්හදා බැලීම්වල ප‍්‍රතිඵල ලෙසින් තමයි ඊක්්ජන ඊදං ඵදබද වගේ නාට්‍ය ශානර මේ පොළොවට හඳුන්වා දීමට ඉඩ ලැබුණේ. නිරතුරුවම වේදිකා නාට්‍ය පේ‍්‍රක්ෂකයාට නැවුම් අත්දැකීමක් ලබාදෙන්නට මං කැමතියි.

ඔබේ නාට්‍ය ගොන්නෙන් නැවත නිෂ්පාදනයට යම් නාට්‍යයකට අවස්ථාවක් ලැබුණොත් ඔබ තෝරාගන්නේ කිනම් නාට්‍යය ද?

මං තාමත් ආසයි 1996 මං අධ්‍යක්ෂණය සිහිනය මගේ ළඟම තිබුණාවේ.

තරඟකාරී මානසික මට්ටම අතික‍්‍රමණය කළ ගෞරවාන්විත නාට්‍යකරුවන් ලෙස සම්භාවනාවට පාත‍්‍ර කිරීමට නාට්‍යකරුවන් වෙත අවස්ථාවක් ලබා දීමට කාලය පැමිණ ඇතැයි මම හිතනවා?

මේ පොළොවේ නාට්‍ය කලාවක් උදෙසා දර දිය ඇඳි ශිල්පීන් බොහෝ පිරීසක් ඉන්නවා. ඇත්තටම ඔවුන් තරඟකාරී මානසික මට්ටමින් ඉවත්කර නිර්මාණවේදීන් ලෙසින් සම්භාවනාවට පාත‍්‍ර කිරීම කළ යුතු දෙයක්. ලූ‍ෂන් වේවා, පරාක‍්‍රම වේවා, හඳගම වේවා රාජිත වේවා.... මේ ශිල්පීන් කවරෙකු වුවත් කැමති වෙයි මෙවන් සම්භාවනා ක‍්‍රමවේදයකට.

ඔබේ හෙට දවස?

මේ අවුරුද්දේ අන්තර්ජාතික නාට්‍ය උලෙළ පැවැත්වීමට නොහැකි වීම ගැන හිතේ දුකක් තියෙනවා. ලබන වසරේ හෝ එය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඛදඩැ ) ඛදජනාදඅබ නාට්‍ය තුර්කියේ ජාතික නාට්‍ය උලෙළට ඉදිරිපත් කරන්න තියෙනවා. එම නාට්‍ය උලෙළට නාට්‍ය 30යි. තෝරා ගන්නේ. ඉන් 27 තුර්කියේ නිෂ්පාදනය කරන ලද නාට්‍ය, විදේශීය නාට්‍ය 3යි. ඉන් එකක් මගේ. අනෙක් නාට්‍ය නිර්මාණ දෙක ස්පාඤ්ඤයේ සහ ජෝර්ජියාවේ. මගේ නාට්‍ය එම උලෙළට තෝරා ගැනීමට මට කරන ලද විශාල ගෞරවයක් ලෙසයි මං සලකන්නේ.