ඊසොෆ්ගේ ”‍නරියා”‍ සහ රාජිතගේ ”‍බකමූණා”‍

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත‍්‍රී භූමිකාව -113 ලිපිය
අගෝස්තු 11, 2022

 


බෞම් ගර්ට්න් නම් දාර්ශනිකයාට අනුව සෞන්දර්යාත්මක වින්දනය හට ගැනෙනුයේ රමණීයත්වය ඇසුරු කොට ගෙනය. මෙකී රමණීයත්වය අරභයා අනේකවිධ මතවාද පවතී. ඒ කෙබඳු මතවාද පැවතියත් කලා කෘතිය හා ඓන්ද්‍රීයව බැඳුණු සකලවිධ අංගෝපාංගයන්ගේ සමෝධානයෙන් සහෘදයා තුළ ජනනය කරනු ලබන භාවමය ප‍්‍රබෝධය මේ යැයි කිව හැකිය. ජෝන් කීට්ස් කවියා රමණීයත්වය යථාර්ථය සේ දුටුවේය. චචනයේ පරිසමාප්ත අර්ථයෙහිම ප‍්‍රශස්ත කලා නිර්මාණය සෞන්දර්යවාදයෙහි සහ යථාර්ථවාදයෙහි සහවාසයෙන් හටගත් සුජාත ඵලයකි. සෞන්දර්යෙන් විනිර්මුක්ත කලා නිර්මාණය හිස්ය; ශූෂ්කය; වියළිය; වන්ධ්‍යය. පේ‍්‍රක්ෂකයන්ගේ රසඥතාව සඳහා නොව හුදෙක්ම අන්තර්ජාතික සම්මාන දිනා ගැනීමේ ඊප්සිතාර්ථයෙන් තැනූ මෑතකාලයේ ඇතැම් චිත‍්‍රපට එකී සෞන්දර්යාත්මක ගුණයෙන් සපුරා විනිර්මුක්ත වූ හෙයින් එය තැනූ සිනමාකරුවාට හැර වෙනත් කිසිදු පේ‍්‍රක්ෂකයකුට නරඹා රසවිඳිය නොහැකි විය. ඒවා අපහසුවෙන් හෝ නැරැඹූ පේ‍්‍රක්ෂකයන්ටත් සිදුවූයේ ඉන් රසවින්දනය ලබාගැනීමට නොව විඳවීමටය. මේ අතර ඇතැම් චිත‍්‍රපටවලින් මතු වූයේ මස් කඩයකට ඇතුළු වූවා බඳු පිළිකුලකි. කිසිදු ප‍්‍රමිතියකින් තොර අන්තර්ජාතික සම්මානයක් ලැබීම හෝ අදාළ සිනමාකරුවා විසින්ම අත්තුක්කංසනය කොට ප‍්‍රශස්ත චිත‍්‍රපටයක් ලෙස හුවා දැක්වීම හෝ ඊට ආවඩන ඇතැම් විචාරකයන්ගේ ඔසවා තැබීම හැර සහෘද පේ‍්‍රක්ෂක මනසෙහි මේවා කිසිසේත්ම ලැගුම් ගන්නේ නැත. සෞන්දර්යාත්මක ගුණයෙන් හීන වීම නිසා මේවා තුළ දිස්වන සමාජ දේශපාලන යථාර්ථයද අමු, හිස්, කර්කශ, රළු, ව්‍යාජ, කටුක, මුස්පේන්තු ස්වරූපයක් ඉසිලීය. මේවා සිනමාවට මතු නොව වේදිකා නාට්‍යයට, ටෙලි නළුවටත් එක සේ පොදු ලක්ෂණ වේ.

මෙබඳු පසුබිමක දශක ද්වයකට වැඩි කාලයක් පුරා ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක නිර්මාණය කළ නාට්‍ය බෙහෙවින් මා අගය කරනුයේ පළමුවැන්න එහි ආකෘතිය, අන්තර්ගතය හා සන්දර්භය හසුරුවන්නා වූ සෞන්දර්යාත්මක ස්වරූපය නිසාවෙනි. ගැඹුරු සමාජ, දේශපාලනික යථාර්ථයන් ඒවාහි යටි පෙළෙන් ඉස්මතු වනුයේ අර කී සෞන්දර්යාත්මක ගුණය, ආකර්ෂණීය බව යටපත් නොකිරීමෙනි. එහෙයින් රාජිතගේ සියලූ‍ නාට්‍ය නිර්මාණ සහෘදයාට වින්දනය කිරීමට මිස ඔවුන්ගේ විඳවීමට හැ¥ ඒවා නොවුණි. තම තම නැණ පමණින් පේ‍්‍රක්ෂකයෝ මේවා වින්දාහ.



බහු ජන රුචිකත්වයෙන් හෙබි පේ‍්‍රක්ෂකයෝ මෙහි මතුපිට දිස්වන සෞන්දර්යාත්මක ගුණයට, උපහාසයට, උත්ප‍්‍රාසයට වශීකෘත වූහ. කලාකෘති බහු සේවනයෙන් පරිචයක්, උසස් රසඥතාවක් ලැබූ පේ‍්‍රක්ෂකයෝ ඒවාහි යටි පෙළෙහි ව්‍යංග්‍යාර්ථයෙන් සූචනය කෙරෙන සමාජ දේශපාලන යථාර්ථය මැනවින් කියැවූහ. මේ අයුරින් භින්න රුචික පේ‍්‍රක්ෂකයන් මනාව ග‍්‍රහණය කොටගෙන ඔවුන් සියලූ‍ දෙනාටම එක් එක් අයගේ බුද්ධි මට්ටම් අනුව උකහා ගත හැකි ඉසියුම් රසඥතාවක් ලබාදීම නාට්‍යවේදියකු ලෙස රාජිත සතු ශූරත්වය ලෙස මම දකිමි. සෞන්දර්යාත්මක පරතරය :්ැිඑයැඑසජ ෘසිඒබජැ) තබාගනු පිණිස ඒවා විදෙස් කෘතිවල අනුවර්තන හා පරිවර්තන නොවී ස්වතන්ත‍්‍ර නාට්‍ය වීමෙන් තවත් එහි අගය වැඩි වේ.

රාජිතගේ නාට්‍ය නිර්මාණවලින් ඉස්මතු වූ නදීශානි පේළිආරච්චිගේ රංගන කුසලතා විමසීමේදී ”‍බකමූණා වීදි බසි”‍ (2013) බැහැර කළ නොහැකිය.”‍වීරයා මැරිලා”‍(2012) නාට්‍යයෙන් පසුව ඇය රංගනයෙන් දායක වූ රාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණය මෙය වේ.

මේ නාට්‍යයට තේමා වනුයේ පොළඟු‍න්ගේ උවදුරකින් බැට කන ප‍්‍රජාවක්, එකී උවදුරෙන් බේරා ගන්නා පිරිසෙන් ඉක්බිතිව ඊට වඩා උවදුරකට, බැට කෑමකට ලක්වන අයුරුය. එනම් පොළඟු‍න් මරාදමා ඒ උවදුරෙන් මුදාගත්තවුන්ගේ පීඩාවට ඉන්පසුව ලක් වීම හෙවත් කබලෙන් ළිපට වැටෙන ආකාරයේ සමාජ දේශපාලන යථාර්ථයකි. ”‍බකමූණා වීදි බසියි”‍ නාට්‍යය නැරැඹූ කල්හී මා හට සිහිපත් වූයේ ”‍කිනිතුල්ලෝ”‍ නම් වූ ඊසොෆ්ගේ උපමා කතාවය.

සුප‍්‍රකට උපමා කතාකරු ඊසොෆ් ග‍්‍රීසියේ විසුවේ ක‍්‍රි.පූ 6 වැනි සියවසෙහිය. ග‍්‍රීසියේ හේමෝස් නගරයේ ජනතාව පීඩාවට පත් කරමින් සූරා කන පුද්ගලයෙක් වාසය කළේය. ඔහු මරා දැමීමට ගැමියෝ පෙළගැසුණාහ. ඊසොෆ් එය වැළැක්වූයේය.

”‍මොහු බොහෝ සේ දැන් අපව සූරාකාලා හමාරයි. තව සූරාකෑමට දෙයක් නැහැ. මොහු අපි මරාදැම්මොත් වෙනත් පුද්ගලයෙක් ඒ වෙනුවට පැමිණ මුල සිටම අපිව සූරාකාවි ”‍ යැයි හේමෝස් වැසියන් අමතා පැවසූ ඊසොෆ් මේ උපමා කතාව කීවේය.

”‍එක්තරා කාලයක නරියෙක් වනාන්තරේ ගමන් කරමින් සිටියදී මඩවළක වැටුණේය. ගොඩට එනු පිණිස දඟලත්ම ඌ තව තවත් මඩවළෙහි එරුණේය. ඌගේ පිටෙහි වැසූ කිනිතුල්ලෝ ඇති තරම් ලේ උරා බීවූහ. මේ අසලින් ගමන් ගත් ඉත්තෑවෙක් මෙය දුටුවේය.

”‍යාළුවා ඔයාගේ පිටේ වහලා ලේ උරාබොන කිනිතුල්ලන් මං අරන් දාන්නද”‍ යැයි ඉත්තෑවා නරියාගෙන් ඇසුවේය.

”‍එපා යාළුවා, මේ කිනිතුල්ලෝ දැන් මගේ ලේ හොඳටම උරා බීලා මත් වෙලා ඉන්නේ. උන්ට තව උරාබොන්න දෙයක් මගේ නැහැ. ඔයා මේ කිනිතුල්ලෝ ගලවා දැම්මොත් වෙනත් සත්තු ජාතියක් ඇවිත් මගේ පිටේ වහලා ආයෙත් මුල ඉදන් ලේ උරා බොන්න පටන් ගනීවි”‍ යැයි නරියා ඉත්තෑවාට කීවේය.



”‍බකමූණා වීදි බසියි”‍ හී මේ පිරිස සැබැවින්ම අර කී පොළඟු‍න්ගේ උවදුරෙන් ප‍්‍රජාව බේරා ගත්තේ ඔවුන්ගේ යහපත උදෙසාද ? නොඑසේනම් ඔවුන් පීඩාවට පත් කොට සූරා කෑමේ අරමුණෙන්ද ? යන්න මේ නාට්‍යය ඔස්සේ විවරණය කෙරේ. උවදුරකට ගොදුරු වූ ප‍්‍රජාවක් ඉන් මුදවාගැනීම කෙතරම් නම් වට්නා මෙහෙවරක්ද? එහි කිසිදු තර්කයක් නොමැත. එහෙත් එසේ වූ පමණින් මේ ප‍්‍රජාව අයුතු ලෙස පාලනය කිරීමට, සූරාකෑමට අර කී පිරිසට අයිතියක් තිබේද ? පොළොඟු‍න්ගේ උවදුරෙන් මේ ගම බේරාගන්නා පිරිසට ගැමියෝ උපරිම ගෞරව දක්වමින් වන්දනා කරති. ප‍්‍රජාව තමන් රවටන මේ පිරිස පිළිබඳ සිතනුයේ අන්ධ භක්තියෙනි. ඔවුන් තමන්ට පීඩා දෙමින් සූරාකෑමට ලක්කරන බව පවා මේ ප‍්‍රජාව අවසන් මොහොත දක්වා විශ්වාස නොකරන අයුරු පෙනේ.

නදීශානි පේළිආරච්චි මෙහි සුජාතා නම් වූ අවිවාහක, ස්වයං රැකියාවක නියැළෙමින් දිවි ගෙවන කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නීය. උරග වර්ගයේ පොළඟු‍න්ගෙන් මිදුණු ඇය මෙන්ම සමස්ත ප‍්‍රජාව ඉන්පසුව මිනිස් පොළොඟු‍න්ගේ උවදුරෙන් මිදීමට දරන ප‍්‍රයත්නය මේ නාට්‍යය පුරා විවරණය කෙරේ. සුජාතා මේ පීඩාවෙන් ගැලවී සිටීමට වෙරදැරුවද ඇයට ද ඉන් මිදිය නොහැකි වේ. ශ්‍යාම් ප‍්‍රනාන්දු, ප‍්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, ප‍්‍රසාද් සූරියආරච්චි, ධර්මප‍්‍රිය ඩයස්, නලින් ලූ‍සේනා, සමීත සුගීෂ්වර, අනුරාධ මල්ලවාරච්චි යනාදීන් සමඟ මෙහි සුජාතා නමැති එකම කාන්තා භූමිකාව නිරූපණය කරන්නී නදීශානි පේළිආරච්චිය.

මතු සම්බන්ධයි