වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
රැඩිකල් චූටි දු සහ සාම්ප‍්‍රදායික මාගරිටා

ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ධාරාවේ නිළියක ලෙස ඉස්මතු වීමට නදීශානි පේළිආරච්චිට මනා අඩිතාලමක් වූ නාට්‍ය ද්වයක ඇය රඟපෑ, සම්මානනීය භූමිකා දෙකක් මෙහිදී සිහිපත් කළ යුතුය. ගයාන් සමන්ත අධ්‍යක්ෂණය කළ ”තව ටිකක් හිතන්න” (2011) නාට්‍යය ඉන් එකකි. එවර යෞවන නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස නදීශානි මුල්වරට සම්මානයට පාත‍්‍ර වූයේ මේ නාට්‍යයෙනි. මේ වූ කලී සුප‍්‍රකට ඉන්දියානු නාට්‍යවේදී විජේ තෙන්ඩුල්කාර්ගේ “kanyadaan”, (Gift of a daughter) නාට්‍යයෙහි පරිවර්තනයකි. මෙය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ප‍්‍රවීණ නාට්‍යවේදී එස්. කරුණාරත්න විසිනි. “kanyadaan”යනු පවුල් සංස්ථාවෙහි සංස්කෘතික හා භාවාත්මක කැලඹීම් විවරණය කෙරෙන සංකීර්ණ නාට්‍ය නිර්මාණයකි. ඉන්දියානු ජන සමාජය තුළ මෙකලද දක්නා ලැබෙන ඉහළ පන්තිය හා ඉතා පහළ ඩලිත් පන්තිය අතර අතිශය සංවේදී ගැටලූ මේ නාට්‍යයෙන් ස්පර්ශ කෙරේ. ”තව ටිකක් හිතන්න” නාට්‍යයේ නදීශානි රඟපෑවේ කොමියුනිස්ට් මත දරන නාත් නම් වූ දේශපාලනඥයකුගේ (අතුල ජයසිංහ රඟපෑ) බාල දියණියගේ භූමිකාවකි. චූටි දුව ලෙස හැඳින්වෙන ඇය කුඩා කාලයේ සිට ඉහළ පන්තියේ සුඛෝපභෝගී ජීවන රටාවකට අනුව හැදී වැඩුණාය. එහෙත් ඇය පෙම් කරන අරුන් නමැති තරුණයා (සරත් කරුණාරත්න රඟපෑ) ඉතා පහළ, අවවරප‍්‍රසාදිත ලෙස සමාජයෙහි සම්මත ඩලිත් කුලයට අයත් වූයෙකි. වැසිකිළිවල අසූචි බාල්දි ඉවත් කිරීම කුල ක‍්‍රමය අනුව ඔහුට උරුම වූ කාර්යභාරය වේ. ඇයට අරුන් හා විවාහ වීමෙන් අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට සිදුවේ. ඔහු මත්පැන් පානය කොට නිවසට පැමිණ ඇයට පරුෂ වචනයෙන් බැණ වදී, අඩන්තේට්ටම් කරයි. ශිෂ්ට සමාජයෙහි දෘෂ්ටියෙන් බැලූ කල්හි ඔහු අසංස්කෘතික මිනිසෙකි. අනෙක් අතට ඇයට උවමනා වන්නේ දේශපාලනඥයකු ලෙස තම පියා නිතරම සමාජගත කරන කොමියුනිස්ට් මතවාදවල, ප‍්‍රතිපත්තිවල ඔහු සැබැවින්ම පිහිටා සිටින්නේ දැයි ප‍්‍රශ්න කිරීමටය. කොමියුනිස්ට්වාදියකු ලෙස සිය පියා මෙකී සියලූ කුල හා පන්ති සමාජයේ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙයින් ඔහුට තම දියණියගේ මේ විවාහයට විරුද්ධ වීමට හැකියාවක් නොමැත. අනෙක් අතට අරුන් තුළ පවතිනුයේ මේ ඉහළ පන්තිය සමඟ ගැටුමකි. මොනතරම් පීඩා එල්ල වුවත් ඇය තම සැමියා දෙස බලනුයේ සමාජයේ වරදින් අසංස්කෘතික වූ මිනිසකු ලෙසිනි.
”මට බැන්නත් ගැහුවත් ඔහුගේ ඇස්වල ආදරය තියෙනවා” ඇය තම සැමියා පිළිබඳ එසේ පවසන්නීය.
නදීශානි මෙහි රඟපෑවේ එකම වයසක විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් විශාල පරාසයක දිවෙන ස්ත‍්‍රී භූමිකාවකි. ඇය එක් තැනක දී තම පියාගේ සංස්කෘතිය ප‍්‍රතික්ෂේප කොට සැමියාගේ ජීවන ක‍්‍රමය සමඟ හැඩගැසීමට උත්සුක වුවද එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මක්නිසාද යත් ඇය හැදී වැඩුණු සංස්කෘතිය සහ දැන් ජීවත් වීමට සිදුවුණු සංස්කෘතිය දෙකක් වන බැවිනි. ඇය කොතැනකදීවත් මේ සංස්කෘතීන් දෙක නිවැරදි යැයි පවසන්නේ නැත. තම පියාගේ සංස්කෘතියට පහර දෙනු පිණිස පමණක් ඇය සැමියාගේ සංස්කෘතියට අනුගත වන්නීය. මේ නාට්‍යය ඔස්සේ එක් අතකින් ඉසියුම් ලෙස ඉන්දියානු කොමියුනිස්ට් ක‍්‍රමය විවේචනයට ලක් කෙරේ. ඉන්දියානු සමාජය තුළ ස්ත‍්‍රියකට පුරුෂාධිපත්‍යයෙන් මිදී ස්වාධීනව ජිවත් වීමට ඉඩ නොලැබේ. එහෙත් ඇය අවසානයේ පියාගේ ශිෂ්ට යැයි සම්මත සංස්කෘතියත් සැමියාගේ අශිෂ්ට යැයි සම්මත සංස්කෘතියත් ප‍්‍රතික්ෂේප කොට ස්වාධීන මඟක් තෝරා ගනිමින් එහි ජීවත් වන්නට පටන් ගන්නීය. මේ නාට්‍යයෙහි යටි පෙළෙහි ව්‍යංග්‍යාර්ථයෙන් කොමියුනිස්ට්වාදය සහ ධනවාදය තුලනාත්මකව විවේචනය කිරීමට නාට්‍යවේදියා උත්සුක වූ අයුරු පෙනේ. නාට්‍යයේ අවසානයේ ඇය ගැබිනියක ලෙස සිටියදී බහින්බස් වීමෙන් සැමියා විසින් නිවසෙන් එළවනු ලැබ තම පියාගේ නිවසට පැමිණෙන්නීය.
ප‍්‍රකට නාට්‍යවේදී මහේෂ් කුමාර රංග වින්‍යාසයෙන්ද ප‍්‍රදීප් චන්ද්‍රසිරි වේදිකා පරිපාලනයෙන්ද මීට දායක වූහ. සරත් කරුණාරත්න, නදීශානි පේළිආරච්චි, අතුල ජයසිංහ, සුදර්ශන ක‍්‍රිශාන්ත, ලලින්ද්‍රා දිසානායක, ප‍්‍රදීප් මානවඩු ඇතුළු නළු නිළියෝ මෙහි රංගනයෙන් දායක වූහ. පෙර කී ලෙසින් හොඳම නිළිය සම්මානය හැරුණු විට එවර යෞවන නාට්‍ය උලෙළේදී හොදම නළුවා තෙවැනි ස්ථානය සම්මානය සරත් කරුණාරත්නටද හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය සම්මානය ගයාන් සමන්තටද ”තව ටිකක් හිතන්න” නාට්‍යයට හිමි විය. නළුවකු හෝ නිළියක කෙතරම් හොඳින් තමන් නිරූපණය කළ චරිත රඟපෑවද ඒ පිළිබඳ සෑහීමට පත් නොවීම ලෝක ස්වභාවයකි. එහෙත් නදීශානි ”තව ටිකක් හිතන්න” නාට්‍යයෙහි තම රංගනය පිළිබඳ අතිශය සෑහීමට පත් වූ බව වරක් මා සමඟ කීවාය.
සුප‍්‍රකට ඉතාලියානු නාට්‍යවේදී දාරියෝ ෆෝගේ (“Can’t pay ? Won’t pay” :1974) නාට්‍යය පරිවර්තනයෙන් අතුල ජයසිංහ අධ්‍යක්ෂණය කළ ”හොරුත් එක්ක බොරු” (2012) හී මාගරිටාගේ භුමිකාව නදීශානිගේ රංගන දිවියේ අනෙක් කඩඉම වේ. මේ භූමිකාව උදෙසා එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළියගේ සම්මානයත් යෞවන නාට්‍ය උලෙළේ හොඳම නිළිය තෙවැනි ස්ථානය සම්මානයත් ඇයට හිමි විය. ඉන්පෙර මහේෂ් කුමාර අධ්‍යක්ෂණය කළ ”ගෙවන්නේ නැත්නම් බම්බු ගහගන්නද” නාට්‍යය සඳහා පාදක වූයේද යථෝක්ත ඉතාලියානු නාට්‍යයයි. ”හොරුත් එක්ක බොරු” උදෙසා පිටපත සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඩබ්ලිව්.එස්.විජේසිංහ විසිනි. දාරියෝ ෆෝ මේ නාට්‍යය රචනා කළ කාල වකවානුවේ එනම් 70 දශකයේ ඉතාලියානු සමාජයේ පැවැති ව්‍යාකූලත්වය මීට පාදක විය. වාමාංශික හා දක්ෂිණාංශික ධාරාද්වයෙන්ම ඊට විසඳුමක් නොලැබිණ. රාජ්‍ය පාලනය බිඳ වැටීමෙන් රටේ ධනය සුළුතරයකට සීමා වීම හේතුකොට ඉතාලියේ සමාජ, ආර්ථික, දේශපාලනික විෂමතා උග‍්‍රවිය. ජනතාවට ආහාරපාන නොමැති වීමෙන් ඔවුහු මංකොල්ලකෑමට පෙලඹුණාහ. මේ හේතුකොට සුපිරි වෙළඳසැලක් කොල්ලකෑම මේ නාට්‍යයෙහි කේන්ද්‍රීය ප‍්‍රස්තුතය වේ. පවතින ධනේශ්වර සමාජ ක‍්‍රමය පෙරළා දැමීමට ජනතාව පෙළගැසෙන අයුරු මේ නාට්‍යයෙහි ඉසියුම් ලෙස විවරණය කෙරේ. නදීශානි මෙහි නිරූපණය කළ මාගරිටා වනාහී සැමියා පවසන දෙයින් පිට කිසිවක් නොකරන සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී භූමිකාවකි. මේ නාට්‍යයෙහි දක්නා ලැබෙන සෑම චරිතයකින්ම සමාජයේ පැතිකඩක් නියෝජනය කෙරේ. නදීශානි පේළිආරච්චි,ධනුෂ්කා ජයරත්න, නලින් ලූසේනා, ස්ටෙෆාන් තිරිමාන්න, ප්‍රෞඩ බුවනෙක ඇතුළු නළු නිළියෝ මෙහි රඟපෑහ. ”තව ටිකක් හිතන්න” හී රැඩිකල් චූටි දුව සහ ”හොරුත් එක්ක බොරු” හී සාම්ප‍්‍රදායික මාගරිටා යන භූමිකා එකිනෙක තුලනය කිරීමෙන් සහෘදයා හට නදීශානිගේ රංගන ප‍්‍රතිභාව පිළිබඳ මනා අවබෝධයක් ලැබෙනු නිරනුමානය.
මතු සම්බන්ධයි