වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
පලිහ අසිපත නැතිව මෙතැන ජීවිතයක් නෑ

”ගැහැනු මනුස්සයෙක්” නාට්‍යය උදෙසා ජූරියේ ඇගැයුමට පාත‍්‍ර වූ නදීශානි පේළිආරච්චි, ඉක්බිතිව 2007 දී ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවාය. ”මේ ළමයා දක්ෂයි” කියා රෙකමදාරු කරමින් තරුණ සේවා සභාවේ ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුළත්වීමට ඇයට මඟපෙන්වන ලද්දේද මහේෂ් කුමාර නාට්‍යවේදියා විසිනි. එහිදී නදීශානි හට එච්.ඒ.පෙරේරා, ජයලාල් රෝහණ වැනි ප‍්‍රවීණ නාට්‍ය ශිල්පීන්ගේ සදාශ‍්‍රය ලැබිණ. ඔවුහු ඇගේ ගුරුවරු බවට පත් වෙති. ජාතික තරුණ සේවා සභාවේදී නදීශානි, නිලංක දසනායක, හර්ෂ තෙන්නකෝන්, තිළිණ පෙරේරා, චතුරංගි පතිරගේ ඇතුළු කණ්ඩායම කෙටි නාට්‍ය නිර්මාණය කරමින් ”කෙටියෙන් වේදිකාවට” නමින් නාට්‍ය උලෙළක්ද පැවැත්වූ බැව් පෙනේ. හර්ෂ තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ ”අත්තානං” (2009) නාට්‍යයේ නදීශානි රඟපෑවේ නැතත් මෙහි වේදිකා පරිපාලනයෙන් දායක වූයේ ඉසුරු කාශ්‍යප සමඟිනි. ඒ උදෙසා මේ දෙදෙනා යෞවන නාට්‍ය උලෙළේ හොඳම වේදිකා පරිපාලනයට සම්මාන ලැබූහ. ඉක්බිතිව රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ යොමු කිරීමෙන් නාමල් ජයසිංහ සහ ප‍්‍රසන්න මහගමගේ මෙහෙය වූ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාව ඕ හට ලැබේ. මේ වැඩමුළුව ඇගේ රූපණ දිවියට කදිම අඩිතාලමක්, හැරවුම් ලක්ෂ්‍යයක් මැ විය. වචනයේ පරිසමාප්ත අරුතෙහිම සැබෑ රූපණය යනු කිම ? එය ගැඹුරෙන් හැදෑරීමේ වැදගත්කම, දෙස්, විදෙස් රූපණවේදීන්ගේ සුවිශේෂතා, ලෝකය සමඟ යාවත්කාලීන විය යුතු අයුරු යනාදිය අරභයා තුලනාත්මක, ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මේ වැඩමුළුව ඔස්සේ නදීශානි හට හැකියාව ලැබිණ. ඉන්පසුව ප‍්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ සහ කෞශල්‍යා ප‍්‍රනාන්දුගේ ර්‍ණඡුක්හ ්‍යදමිැ ඔයැ්එරු” ආයතනයට එක්වී වසරක පාඨමාලාවක් හැදෑරීමට ඇය උත්සුක වූවාය. නාමල් ජයසිංහ පිටපත රචනා කළ, නාමල් ජයසිංහ සහ ප‍්‍රසන්න මහගමගේ අධ්‍යක්ෂණය කළ, කෞශල්‍යා ප‍්‍රනාන්දු නිෂ්පාදනය කළ ”ග්ලැඩියේටර් පේ‍්‍රමය” (2010) නාට්‍යය නදීශානිගේ රංගන දිවියේ කඩඉමක් යැයි කීම වරදක් නොවේ. යෞවන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය ඇතුළු සම්මාන රාශියක් මේ සඳහා හිමිවිය. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළියගේ සම්මානය උදෙසා නදීශානි නිර්දේශ වූයේ ”ග්ලැඩියේටර් පේ‍්‍රමය” නිසාවෙනි. එහි ඇය රැඟුවේ නිර්මලා නම් වූ නිළියකගේ භූමිකාවකි. නිර්මලා විවාහ දිවියට පත් වනුයේ මැදි විය ඉක්ම යන විටදීය. මධුසමය දා රාත‍්‍රියේ ඇය සහ ඇගේ සැමියා එකිනෙකා හඳුනා ගනිමින් සිදු කරන කතාබහ මුළු නාට්‍යය පුරා දිවේ. වියපත් ගැහැනියක වූ නිර්මලා, ළාබාල කෙල්ලක සේ තම ජීවිතය ආරම්භ කරන්නට පටන් ගන්නේ විවාහ වූ තැන් සිටය. ගර්භාෂය අහිමි වීම හේතුකොට ඇයට දරුවන් ලැබීමට වරම් නැත. මෙහි ඇගේ සැමියා ලෙස මයුර කාංචන රඟපෑවේය.
”ග්ලැඩියේටර් පේ‍්‍රමය” වූ කලී කොටස් 4 කින් සැදුම්ලත් නාට්‍යයකි. ඉන් මා මෙතෙක් විග‍්‍රහ කළ කොටසේ නදීශානි පේළිආරච්චි, මයුර කාංචන හා ගීතා අලහකෝන් රංගනයෙන් දායක වූහ. මේ නාට්‍යය සැබැවින්ම නදීශානි හට රංගනය පුහුණු කළ පාසලක් වැන්න. කෞශල්‍යා ප‍්‍රනාන්දු, නාමල් ජයසිංහ හා ප‍්‍රසන්න මහගමගේ මෙහිදී ලබාදුන් පුහුණුව හා ගුරුහරුකම් පසුකලෙක ප‍්‍රධාන නාට්‍ය ධාරාවේ කථා නායිකාවක ලෙස ගොඩනැඟීමට ඇයට බෙහෙවින් සප‍්‍රයෝජනවත් විය. විවාහයෙන් ඉක්බිතිව නදීශානි පේළිආරච්චි ලෙස ප‍්‍රකට වූවත් එවක ඇය නදීශානි පද්මසිරිය.
ප‍්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, නදීශානි වැලිවිට, හර්ෂ තෙන්නකෝන්, සුලෝචනා වීරසිංහ, නිලංක දසනායක හා දිලිප් කුමාර මේ නාට්‍යයේ සෙසු චරිත නිරූපණය කළහ.රංග වස්ත‍්‍ර නිර්මාණයෙන් නාමල් ජයසිංහ හා කෞශල්‍යා ප‍්‍රනාන්දු, පසුතල නිර්මාණයෙන් නාමල් ජයසිංහ හා ප‍්‍රසන්න මහගමගේ, වේශ නිරූපණයෙන් ප‍්‍රියන්ත සිරිකුමාර හා භානු ප‍්‍රසන්න, ආලෝකකරණයෙන් චන්දන අලූත්ගේ, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් තිළිණ පෙරේරා මීට දායක වූහ. ”ග්ලැඩියේටර් පේ‍්‍රමය”හී නදීශානි රැඟු කොටසෙහි අන්තර්ගතය හෙළි වන අවස්ථාවක් මේය.
”මට ඉඩක් නොතියාම
නුඹෙන් විතරක්
මුළු හදවතම පිරවූ
මගේ රුධිර
උරුමය තිබියදීත්
මගේම හදවතේ
පිටස්තරයා වූ
ග්ලැඩියේටර්
පේ‍්‍රමවන්තිය මම
ලෝහ සන්නාහ අමතක වූ
පලිහත් අසිපතක් නැතිවම
එරීනාවට පා තැබූ
මගෙම හදවත නුඹට පවරා
එයම වෙනුවෙන්
සවන් සටන් වදිනා
ග්ලැඩියේටර්
පේ‍්‍රමවන්තිය මම
ළය පළන්නම නියමිත
සියක් අසිපත් හා ගැටෙන්නට
නිරායුධ අභිමානයත්
ලේ ගලන ශබ්දයත්
සන්තක ආයුධය
බවට පිළිගත්
ග්ලැඩියේටර්
පේ‍්‍රමවන්තිය මම
මෙතැන මම විතරයි
තට්ට තනියම
දෙකෝටියක් ලෙළෙන
කඩු තල මුව
නිරායුධ අභිමානයත්
ලේ ගලන ශබ්දයත්
සන්තක උරුමය
බවට පිළිගත්
”ග්ලැඩියේටර් ප්‍රේ‍්‍රමය” නාට්‍යයෙන් විවරණය කෙරෙන සමාජ, ආර්ථික, දේශපාලනික දෘෂ්ටිය මතු දැක්වෙන දෙබස් ඛණ්ඩවලින් ඉසියුම්ව හා ව්‍යංග්‍යාර්ථයෙන් හෙළි කෙරේ.
”මේක ග්ලැඩියේටර්
සටන් බිමක් !
පලිහ අසිපත නැතිව
මෙතන ජීවිතයක් නෑ !
මගේ අසිපතේ
ප‍්‍රචණ්ඩත්වයයි.
මගේ ජීවිතේ පැවැත්ම !
මම මිනී මරන තරමටයි
මගේ ජීවිතේ පැවැත්ම,
මෙතැන තියෙන්නෙ
මරණය විතරයි
ජීවිතයට ඉඩක් නෑ !
අපි ඉන්නේ මළමිනී
පැල කරපු පොළවක
දලූ දාලා හිස ඔසවන්න
ඒ මියගිය උන්ගේ ශබ්දය,
මේ පොළොව මත
තියන තියන අඩියක් පාසා
පශ්චාත්තාපයේ කූඩැල්ලො
යටි පතුල සිදුරු කරගෙන
නහර වැල් දිගේ
උඩට ඇවිත්
හදවත කීතු කරනවා
හෘද සාක්ෂිය මරන් නැතිව
මෙතන ජීවිතයක් නෑ !
”ඊට පස්සේ......
ඊට පස්සේ මුළු පළාතම
කාන්තාරයක් වෙනකම් පීදෙන්න ළං වුණ ගස් ටික බිමට පෙරළන්න සිද්ධ උණා !
පෙරළලා කුඩා කුඩා
කොටස්වලට කපලා පිච්චුවා !
අළු ගංගා ඇළ දොළවල
පා කරලා යැවුවා !
මේ උවදුර අනිත් පළාත්වල ගස්වලටත් බෝ වෙයි කියන බයට !
මුල් කුණු උණේ ඇයි කියලා
හෙව්වේ නෑ !
හැමෝටම ඕන උණේ
ඒක එතනින් නවත්තගන්න
එහෙමයි ඒක පාලනය කළේ
ඒත් කුරුමිණි තාම ඉන්නවා
පුදුමෙ කියන්නේ.....
මුදුන් මල් නැති
මල් නැති ගස්වලට
ඔය කුරුමිණි වසංගතේ බලපෑවේ නෑ සර්... දැනට ඔය ඉතිරිවෙලා තියෙන්නේ
ඒ වඳ ගස් ටික !
මේ කියපුව විශ්වාස කරන්න අමාරුයි වගේ දැනෙනවා නම්, දරන්න අමාරුයි වගේ නම්... මං හොල්මනක් කියලා හිතන්න සර් !
නැත්තං මට පිස්සු කියල
හිතන්න...
නැත්තං දිගටම නිදාගන්න...
ඒක තමයි ලේසිම.....
වඳ බැහැපු ගස් වගේ
කුරුමිණි තවම ඉන්නවා
වඳ ගස්වලට උවදුරක් නෑ...
ගුඞ් නයිටි සර්... ”
කෞශල්‍යා ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ”සඳ ළඟ මරණය” (2010) හී ළාබාල තරුණියක් , වියපත් ගැහැනියක් ආදී වශයෙන් චරිත කිහිපයක් ඇය රඟපෑවාය. මේ වූ කලී සුප‍්‍රකට ස්පාඤ්ඤ නාට්‍යවේදී ෆෙඞ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ ර්‍ණඊකදදා ඇාාසබට” :1933) නාට්‍යයේ පරිවර්තනයකි.
මතු සම්බන්ධයි