ලොව පහළට අපේ අතට ඔබ මැව් දේ බෙදා දෙන්න

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 108 ලිපිය
ජුනි 30, 2022

 

 

 

සුගතපාල ද සිල්වා සූරීන් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ "හිත හොඳ අම්මණ්ඩි" (1969) නාට්‍යය පිළිබඳ වරක් ආචාර්ය තිස්ස අබේසේකර ලියූ විචාරයක දැක්වුණු කියුමක් මට සිහිපත් වෙයි.

 

"කොයි අතින් බැලුවත් අගය කළ යුතු නාට්‍ය කෘතියක්"

 

"හිත හොඳ අම්මණ්ඩි" හී ප්‍රධාන භූමිකාව වූ ෂෙන්ටේගේ චරිතය ශ්‍රියාණි අමරසේන නිරූපණය කළ ශූර ආකාරය එකල බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් විය. මේ වූ කලී ජර්මන් ජාතික සුපතළ නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ Good woman of Setzuan (1943) නමැති නාට්‍යයෙහි පරිවර්තනයකි.මේ නාට්‍යයේ පසුබිම අර්ධ බටහිර සංස්කෘතියට හසුවූ චීනයේ සෙට්සුවානයයි. සුගත්ගේ නිර්මාණය දේශීය ජනවහර අනුව යමින් "හිත හොඳ අම්මණ්ඩි" ලෙස නම් කිරීම ඉතා ඖචිත්‍ය පූර්වකවය. "හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින්" යන ජන කියමන මෙහිදී අපට සිහිපත් වේ. නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව වූ ෂෙන්ටේ නමැති හිත හොඳ වෙසඟන මුහුණපාන මානසික හා සමාජ ගැටලු අනුවද මේ නාමකරණය ඉතාම උචිත ය. මිනිස් ජීවිතයේ සහ සමාජයේ පැවැති විෂමතාවන් සිවුම් ලෙස තියුණු අයුරින් විනිවිද දුටු බ්‍රෙෂ්ට්ගේ රීතිය හා දැක්ම සුගතපාලයෝ මැනවින් පසක් කොට ගත්හ. ඒ බවට ඔහුගේ හිත හොඳ අම්මණ්ඩි අදත් දෙස් දෙන්නීය.

නාට්‍ය ආරම්භයේ දී හමුවන වතුරකාරයා ඉපැරණි සිරිත් විරිත් , දේව විශ්වාස සංකේතවත් කරන්නෙකි. ඔහුට හමුවන දෙවිවරුන් තිදෙනාට රාත්‍රිය ගත කරනු පිණිස නවාතැන් ලබා දීම ධනවත්හු ප්‍රතික්ෂේප කරති. ෂෙන්ටේ නමැති කාරුණික වෙසඟන එය සපයා දෙන්නීය. ඉන් දේවාශීර්වාදය ලබන ඇය තම දුරාචාර දිවිපෙවෙත හැරදමා වෙළෙන්දියක සේ දියුණු වීමට උත්සුක වූවාය. එහෙත් අමිහිරි අතීතය හා සමාජ, ආර්ථික, දේශපාලන විෂමතාවන් හේතු කොට ඇයගේ යහපත් ජීවන රටාව ක්‍රමිකව බිඳ වැටේ. ඇය ලිංගික හා ආර්ථික වශයෙන් තවදුරටත් සූරාකෑමට ලක්වනු වැළැක්විය හැකිද? මේවා දෙවියන්ටත් විසඳීමට පහසු නැති ගැටලු බව නාට්‍යයෙන් ධ්වනිත කෙරේ.

 

දෙවියෝ - මේ දරුවා දන්නෙ නෑ මොන තරම් ලොකු වැඩක්ද ඔය කෙරුවෙ කියල. ඔහේ ඔප්පු කළා තවමත් හොඳ මිනිස්සු ලෝකෙ ඉන්නවයි කියල. දිව්‍යලෝකෙත් දැන් ඔය ගැන වාද කරනවා.

ෂෙන්ටේ - (ශ්‍රියාණි අමරසේන) - මම හිතන්නේ නෑ තමුන්නාන්සේලා හරිය කියලා. මම කැමතියි හොඳ ගෑනියෙක් වෙන්න.ඒ විතරක් නෙවි. මම ජීවිතේ ගැට ගහන්නේ බොහොම අමාරුවෙන්. ඒ උණාට මට අර ගෙවල් කුලී ටික ගෙවා ගන්න ඕන. ඒකටත් තරඟකාරියො වැඩි වෙල. සිල් පද දෙක තුනක් කඩලත් මම කල දවස ගෙවන්නෙ හරිම අමාරුවෙන්.

ෂෙන්ටේ තම දිළිඳුකම වෙනුවෙන් ධනවතුන් හා අරගල කරන කාන්තාවකි. විටෙක ඇය පිරිමි වෙස් ගනී. මෙහිදී ශ්‍රියාණි වරින්වර පිරිමි චරිතයකට පිවිසීමේ අභියෝගයද ජය ගත්තාය. ඇතැම් ජවනිකාවලදී පිරිමි වෙස්ගැනීමට ඇයට තිබුණේ කෙටි කාලයකි. පිරිමි වෙස් මුහුණක් සහ හිස්වැස්මක් මෙහිදී ඇය වෙනුවෙන් භාවිත කෙරිණ.

"හිත හොඳ අම්මණ්ඩි" නාට්‍යය 1969 ජනවාරි 26 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේ දී මුල්වරට වේදිකා ගත කෙරිණ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ මේ නාට්‍යයේ දෘශ්‍ය, අදෘශ්‍ය ඉසියුම් මානයන් හසු කොට ගනිමින් සංගීතවත් කළහ. වාච්‍යාර්ථ ඉස්මතුවන නට්‍යානුරූපී සංගීතයක් මෙහි දක්නට ලැබිණ. ලොව මහා සංගීත සම්ප්‍රදායන් ත්‍රිත්වයකි.

 

1. පෙරදිග ඉන්දියානු සංගීත සම්ප්‍රදාය

2. අපරදිග සංගීත සම්ප්‍රදාය

3. චීන සංගීත සම්ප්‍රදාය

 

නාට්‍යයෙහි පසුබිමට ඖචිතපූර්වක ලෙස ආචාර්ය කේමදාස චීන තනු හා සංගීත නාද රටා බටහිර සංගීත භාණ්ඩ සමඟ මුසු කොට මෙහිලා උපයුක්ත කොට ගෙන ඇත. එහෙත් ඔහු දේශීය අධ්‍යාත්මය, අනන්‍යතාව ඉන් යටපත් කොට නොගනී.

මෙහි එන "තපස්වා මෙපස්වා

දහස් කල් දිනේවා"යන ගීතයෙහි දේශීය නාද රටා ඉස්මතු වූයේ එබැවිනි. එහෙත් වාද්‍ය සංගීතය චීන සම්ප්‍රදායෙන් නිර්මාණය කෙරිණ. "හිත හොඳ අම්මණ්ඩි" නාට්‍යයට අන්තර්ගත වූ ස්වකීය සංගීතය අරභයා වරක් කේමදාසයෝ මෙසේ කීහ.

 

"මේ නාට්‍යයේ කේමදාසගේ සංගීතයක් නැතිවිය යුතුය. නාට්‍යය නරඹන දෑස පියවා කන් දෙක විවර කිරීම මේ සංගීතයෙන් සිදුවී නම් ප්‍රේක්ෂකයන්ගේ ශාපය මා වෙත ලැබිය යුතුය".

මෙහි වේදිකා පාලකයා වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජය. එවක ළාබාල තරුණයකු වූ ඔහු අකුරටම වේදිකා පාලකගේ කාර්යභාරය ඉටු කළේය. වේදිකා පාලකගේ කාර්ය අනුව නාට්‍යය රඟදැක්වෙන විට එහි භාරකාරීත්වය ඔහුට පැවරේ. නියමිත වෙලාවට නළු, නිළියන් හා සෙසු ශිල්පීන් වේදිකාවට පිවිසවීමේ වගකීමද වේදිකා පාලක සතුවේ. ආචාර්ය ධර්මසේන පතිරාජ මේ කාර්ය එවක ආධුනිකයකු වශයෙන් කෙතරම් හොඳීන් ඉෂ්ට කළේද යත් වරක් නාට්‍යයේ අධ්‍යක්ෂ සුගත් වෙලාවට නොපැමිණි බැවින් ඔහුටද එළියෙන් සිටීමට පතිරාජ විධාන කළේය. වේදිකා පාලනයෙන් පතිරාජයන්ට සහය වූයේ ධර්මදාස කීරගලආරච්චි හෙවත් ඩී.කීරගලආරච්චිය.(පුවත්පත් කලාවේදියකු, කතා රචකයකු හා නාට්‍ය නිෂ්පාදකයකු වූ කීරගල පසුකලෙක රත්නපුරයේ සිවංකර හිමි නමින් පැවදි වී අපවත් විය.) පෙළ මතක් කරන්නා (Prompter) වූයේ ඩබ්ලිව්.ජයසිරිය. ශ්‍රියාණි මේ නාට්‍යය පුහුණු වූ අවධියේ සියලු චරිත රඟපාමින් ඇයට සහය වූයේ සුගතපාල ද සිල්වාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටය නිෂ්පාදනය කළ, පසුකලෙක ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වූ ඇන්ටන් වික්‍රමසිංහ මේ නාට්‍යයෙහි අර්ථපතිත්වය දැරුවේය.

මෙහි ෂෙන්ටේගේ (ශ්‍රියාණි) පෙම්වතා වූ යැන්සන්ගේ භූමිකාව ජීවමාන කළේ ඕනෑම චරිතයක් ශූර ලෙස රඟන ප්‍රතිභාපූර්ණ රූපණවේදී ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍රය. නාමෙල් වීරමුණි, එල්සන් දිවිතුරගම හා විමල් කුමාර ද කොස්තා දෙවිවරු ලෙස රඟපෑහ. සෙසු චරිත සමන් බොකලවෙල (වොන්), අනුර ගණේගොඩ (දරුවෙක්), ලාල් රුද්‍රිගු (මගියා),මාලිනී වීරමුනි (ෂීන් නෝනා), ශීලා පරණමානගේ (බිරිඳ), අතුල සෝමසිරි (සැමියා), ඩබ්ලිව්. ජයසිරි (බෑනා), දයා තෙන්නකෝන් (රැකියා නැත්තා), සරත් කුලතුංග (මුත්තා), ගාමිණී ගණේගොඩ (බාස් උන්නැහේ), පද්මිණි දිවිතුරගම (ෂීට්සු), මල්ලිකා බෝදරගම (නෑනා) , ලාල් රුද්‍රිගූ (සොහොයුරා), මර්සි එදිරිසිංහ (යෑන් අම්මා), වික්‍රම බෝගොඩ (පූජකයා), ඩබ්ලිව්. ජයසිරි (වේටර්), මානෙල් අමරසිංහ (ලේළි), වික්‍රම බෝගොඩ (පොලිස් භටයා), මියුරි සමරසිංහ (මැහැල්ල), රමණි එදිරිසිංහ (මහලු ගණිකාවක්) ජී.ටී. වික්‍රමසිංහ (පූෂු),සිරිසේන විතානගේ (මහල්ලා) යනාදීහු නිරූපණය කළහ. මෙහි එක් චරිතයකට එවක නැඟ එමින් සිටි විජය කුමාරතුංග තෝරා ගත් බැව් බොහෝදෙනා නොදනිත්. "හන්තානේ කතාව" ඒ වනවිට තිරගත වී නොතිබූ අතර චිත්‍රපට 20 කට ආසන්න ප්‍රමාණයකට ඔහු ගිවිසුම් අත්සන් කොට තිබිණ.

"උඹට මේ නාට්‍යයට කැප වෙන්න වෙලාවක් නැහැ, ඒ නිසා චිත්‍රපටවල වැඩ හොඳීන් කරගනින්." අවසානයේ සුගතපාලයෝ විජය කුමාරතුංගට කීහ. "නරිබෑනා" රඟපෑමේදී ලයනල් අල්ගම සූරීන්ගෙන්ද "හිත හොඳ අම්මණ්ඩි" රඟපෑමේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන්ද ශ්‍රියාණිට ලැබුණු ගායන පුහුණුව පසුකලෙක ඇයට ඉතා සප්‍රයෝජනවත් විය.80 දශකයේ මුල විජය කුමාරතුංග හා ශ්‍රියාණි අමරසේන "දිනකර පායා" කැසට්පටය එළිදැක්වූහ. (දර්ශන ලේබලයෙන් බුද්ධි කීර්තිසේන මෙය නිෂ්පාදනය කළේය.) සංගීතවත් කරන ලද්දේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසිනි. ආචාර්ය ගාමිණි ෆොන්සේකා සූරීහු ගේය පද රචනා කළහ. එහි ඇය විසින් ගායනා කරන ලද ගීතයක් තවමත් මා මතකයේ රැඳී තිබේ.

 

උදේ රැයින් පාට පාට මල් සමනල්ලු

මල් සමනල්ලු

සිතට නුහුරු මං නොදන්න

ආදරයක් ගැන කියන්න

අද ඇවිදින්ලු

අද ඇවිදින්ලු

 

දයානන්ද ගුණවර්ධනයන් නළු නිළියන් හැසිරවීමේදී රඟපාමින් පෙන්වන බවද සුගතපාල ද සිල්වා නිහඬව බලා සිට උපදෙස් දෙන බවද ශ්‍රියාණි අමරසේන වරක් මේ මහා නාට්‍යවේදීන් තුලනය කොට මට පැවසුවාය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හරහා සුගතපාල ද සිල්වා සූරීන්ගේ "හිත හොඳ අම්මණ්ඩි" නාට්‍යයේ සමස්තාර්ථයෙන් සූචනය වූයේ ගැඹුරු, සර්වකාලීන, යථාර්ථවාදී සමාජ දෘෂ්ටියක් නොවේද ?

 

"ඉඩක් කෝ තැනක් කෝ

දස්ස මිනිහට රටේ

වාසනා ගුණ සිඳුණු

පිදිය යුත්තන් නොදත්

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

අනුබල අනුසස් තල්ලුව ඕනෑ

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

විලක්කු පාළිය රඟන්න ඕනෑ

 

යුද්දෙට ටැංකියයි බෝම්බ අහුරයි

දරමින් දෙවිඳුනි ලොව බැහැලා

පාරා වළල්ලෙන් රුදු ළැව් ගින්නෙන්

නපුරු දුදන ගති වනසාලා

හොඳකම සිංහාසන මත නංවා

ලොව සාමය නොතිර සලසා

යන්නේ නැත්තේ මන්දෝ

දෙවියනි සෙත සලසා

 

අටුකොටුව පාළුවේ -

හැළි වළං හිස් වෙලා

හොඳ මිනිසුන් ලෙසේ -

ඉන්නේ කොහොමද කෙසේ

දේව පණිවුඩ දෙවිඳුනේ මදි

දැවෙන කුසගින්දර මකන්නට

අවාසනාවේ වැතිරුණ

සොහොයුරාට අත දෙන්නට

ගිය කල තව දොළොස් දෙනෙක්

පාගන්නට වෙනවා

තිස්තුන්කෝටියක් ඉන්න දෙවියනි

මන්දෝ නොහැකි

ලොව පහළට අපේ අතට

ඔබ මැව් දේ බෙදා දෙන්න

 

ටෙනිසි විලියම්ස්ගේ A Streetcar Named Desire"  නාට්‍යයේ අනුවර්තනයෙන් ධම්ම ජාගොඩ සූරීන් තැනූ "වෙස්මුහුණු" හී ස්වර්ණා උඩුවෙලගේ භූමිකාව කෙටි කලක් (70 දශකයේ මුල) ශ්‍රියාණි රැඟුවාය. එකල්හී සැම්සන් සිල්වා ලෙස ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍රත් කුමාරි උඩුවෙල ලෙස අයිරාංගණී සේරසිංහත් ඇය සමඟ රඟපෑහ.

80 දශකයේ මුල විජය නන්දසිරිගේ "කුසපබාවතී" නාට්‍යයේ පබාවතීගේ භූමිකාව ශ්‍රියාණි කෙටි කලක් නිරූපණය කළ බවද අපට අමතක නැත. මෙහි ඇය සමඟ කුස ලෙස ඩග්ලස් රණසිංහද ජයම්පති ලෙස විජය නන්දසිරිද චරිත නිරූපණය කළහ. කුස ජාතකයට නව්‍ය අර්ථකථනයක් ලබා දෙමින් මේ නාට්‍යය රචනා කරන ලද්දේ රත්නසිරි පරණවිතාන විසිනි.

 

මතු සම්බන්ධයි...