ප්‍රංශ වසන්ත උත්සවය හා සමගාමීව ශ්‍රී ලංකාවේ පැවත්වෙන හයිනර් මුලර්ගේ “හැම්ලට්-මැෂින්”

ජුනි 30, 2022

 

“මම හැම්ලට් වූයෙමි. යුරෝපයේ නටබුන්වලට පිටු පා මම වෙරළේ සිටගෙන ගල්පරවල වැදෙන රැළිවල ඝෝෂාවත් එක්ක ඔහේ කියව කියව හිටියා. රාජ්‍ය භූමදානය කැඳවන ඝණ්ටාරය වැදුණා. මිනීමරුවෙක්, වැන්දඹුවක්, දැන් කසාද බැඳපු ජෝඩුවක්. ගරු කටයුතු මළ කුණක් දාපු මිනී පෙට්ටියක් පසු පස ගමන් කරන රාජ්‍ය නිලධාරීන්. සොච්චමකට හඬන වැලපෙන ඔවුන්ගේ කඳුළු.”

“කාගෙද මේ සැතපෙන මළමිනිය, මේ අවමංගල රථයේ?”

“කා වෙනුවෙන් ඇහෙන අඳෝනාවක් ද?”

ජර්මානු නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයකු වුණු හයිනර් මුලර්  (Heiner Muller) ඔහු 1977 දී රචනා කළ “හැම්ලට්-යන්ත්‍රය” (Hamletmachine)  නාට්‍ය පෙළ මුලින් ම සහෘදයාව ආමන්ත්‍රණය කරනුයේ මෙලෙසයි.මේ හුදෙක් ස්වෝක්ති ප්‍රශ්නයක් (a rhetoric question) ම නොවේ. සමස්ත නාට්‍ය පෙළ විෂයෙහිම සලකා බැලුවහොත්, 20 වැනි සියවසේ ඉතිහාසය පිළිබඳ සහ විශේෂයෙන්ම කොමියුනිස්ට් සිහිනයේ ඉතිහාසය සහ එහි බිඳවැටීම පිළිබඳ එක්තරා ආකාරයක පඨිතයක් (text)  වශයෙනි, මේ නාට්‍ය කෘතිය හඳුනාගත හැක්කේ. ඒ සඳහා පදනම්ව ඇත්තේ15 වැනි සියවසේ විසූ විලියම් ශේක්ෂ්පියර්ගේ “හැම්ලට්” නාට්‍යයයි. එහෙත් “හැම්ලට්-යන්ත්‍රය” වූකලි රංග ව්‍යාකරණයෙනුත්, නාට්‍ය පෙළිනුත් ප්‍රොසීනියම් වේදිකාවකට හෝ වෙනත් සාම්ප්‍රදායයික අවකාශයකට හා කාලයකට සීමා නොවෙන පශ්චාත් නූතනවාදී කලා කෘතියකි.

සාම්ප්‍රදායයික රඟහල සහ ප්‍රේක්ෂකයා අතර ඇති සීමා බිඳ හරින මේ කෞතුකාගාරය (රඟහල)  -Museum (theatre) -  ප්‍රේක්ෂකයා රංගයේ කොටසක් බවට පත් කරගැනීමට උත්සාහ කරයි. අයෙකුට දේශපාලනික සහ කාව්‍යමය පසුබිමක ස්වකීය ප්‍රතිමූර්තියක් වේදිකාගත කිරීමට, නිර්මාණාත්මක ක්‍රියාවලියක් අත්හදා බැලීමට, ක්ෂුද්‍ර ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට එයින් අවස්ථාව ලබා දෙයි. එය විසල් ඉතිහාසයක් සමඟ රේඛීය වන මෙන් පොදු ජනයාට කරන එක්තරා ආකාරයක ඇරයුමක් වන අතර අවසාන වශයෙන් විසල් පුද්ගල සාමුහිකයක ප්‍රකාශනයක්ව ගොඩනැ‍ඟෙයි. වැදගත් කරුණක් වන්නේ ප්‍රේක්ෂකයාගේ ඓතිහාසික සහ සාහිත්යික සාක්ෂරතාව එහිලා අපේක්ෂා කිරීමයි.

ආචාර්ය ක්ලයිඩ් ෂැබෝගේ (Clyde Chabot) අධ්‍යක්ෂණයෙන් මෙවර “හැම්ලට්-යන්ත්‍රය” නමැති නාට්‍යමය හා ඡායාරූපමය ස්ථාපනය ශ්‍රී ලංකාවේ රංගගත වන්නේ විසි වසරක් පුරා රටවල් නවයක රංගවාර විස්සකට නොඅඩු ඉදිරිපත් කිරීම්වලින් රැස් වුණු පුද්ගල සමුහිකයක ද ප්‍රකාශනයන් සමඟයි. මෙහි ශ්‍රී ලාංකේය නිෂ්පාදනයට සහාය අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් ද දායක වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ලලිත කලා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා ඒ පිළිබඳ වැඩි දුරටත් මෙසේ පැහැදිලි කළේ ය:

“සහභාගි වෙන ප්‍රෙක්ෂකයින්ට ඩිජිටල් තිරයක දිස් වෙන විසි වෙනි සියවසේ ඉඳන් අද දක්වා දිවෙන ඓතිහාසික ඡායාරූප අතුරින් එකක් තෝරාගන්න පුළුවන්. නාට්‍ය පෙළට අදාළ වචන භාෂා ගණනාවකින් පුවරුවල සටහන් කරල තියෙනවා. එවායින් තමන්ගේ ප්‍රකාශනයට අදාළ වචනයක් හෝ කිහිපයක් තෝරාගෙන අදාළ ඓතිහාසික පින්තූරය ඉදිරියට ගිහින් ඡායාරූපයකට පෙනී සිටින්නට ප්‍රේක්ෂකයාට පුළුවන්. ඒ ඡායාරූපයත් මේ රංග ඇල්බමයේ කොටසක් බවට පත් වෙනවා.”

මෙලෙස ඉතා විවෘත, නිදහස් ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඔස්සේ මේ රංගය දිවෙන නමුත් හයිනර් මුලර්ගේ නාට්‍ය පෙළෙහි මූලික පඨිතය සුළුවෙන් හෝ වෙනස් කිරීම අනර්ථකාරී බව ආචාර්ය ක්ලයිඩ් පුහුණුවීම් අවස්ථාවල දී නිතර සිහිපත් කරයි. එසේ වුවත්, ඒ ඒ රටවල සාමාජික, දේශපාලනික, සංස්කෘතික සන්දර්භයට අදාළ ආනුෂංගික වෙනස්කම් කරගැනීමට පූර්ණ නිදහසක් අධ්‍යක්ෂිකාවගෙන් හිමි වෙයි. නාට්‍ය සිංහල මාධ්‍යයයෙන් රංගගත වුවත් ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ, ජර්මන් යනාදි භාෂාවලින් පටිගත කරන ලද නාට්‍ය පෙළෙහි ශ්‍රව්‍ය පටවලට සවන් දීමේ හැකියාව ප්‍රේක්ෂකයාට හිමි වීම තවත් විශේෂත්වයකි.

එකිනෙකට පරිපූර්ණ සහසම්බන්ධයකින් තොර ඉතා කෙටි අංක පහකින් සමන්විත මේ නාට්‍ය කෘතිය ප්‍රහේලිකාමය සහ කාව්‍යමය වෙයි. ඒවා එකිනෙකට බැඳෙන්නේ අංක අතර අන්‍යොන්‍ය තර්කයකින් නොව “හැම්ලට්” නාට්‍යයෙන් පූර්වයේ මතු කළ චිත්තපරිවිතර්ක - තේමා - ඔස්සේ ය. නාට්‍ය පෙළෙහි සිංහල පරිවර්තනය සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආශෝක ද සොයිසා සහ අෂානි ශාලිකා රණසිංහ ඊට පහත පරිදි පූර්විකා සපයති.

“Heiner Muller»[‰ ‘Hamletmachine’  (හැම්ලට්-යන්ත්‍රය) බොහෝ වාර ගණනක් වේදිකාගත කරන ලද, අර්ථකථනය කරන ලද සහ උපුටා දක්වන ලද පශ්චාත් නූතන නාට්‍ය පෙළක් වන අතර එය සාම්ප්‍රදායික නාට්‍යමය ශිල්පීය ක්‍රමවලින් වෙනස් වෙයි. ඔහු දෙබස් කණ්ඩනය කිරීම (fragmentation) මඟින් සහ විවිධ ස්ථාන සහ අවස්ථා අහඹු ලෙස මිශ්‍ර කරමින් බැලූ බැල්මට නොගැළපෙන ‘පෙළ කොලාජයක්’ නිර්මාණය කරයි. සම්භාව්‍ය ග්‍රීක නාට්‍යයේ සිට 19 වැනි සියවසේ යථාර්ථවාදී නාට්‍යය හරහා 20 වැනි සියවසේ දේශපාලනය දක්වා විවිධ මතකයන් ඇතුළත් පෙළ අවබෝධ කරගැනීමට අන්තර්පාඨමය සහසම්බන්ධය (intertextuality)  සහ ප්‍රේක්ෂක හැකියාව උපකාර වෙයි. මෙවන් නාට්‍ය පෙළක් නිෂ්ක්‍රීය ව වාඩි වී සිටින ප්‍රේක්ෂකාගාරය සමඟ ගනුදෙනුවක් බලාපොරොත්තු නොවෙයි. එබැවින් මුලර්ගේ ‘හැම්ලට් මැෂින්’හි නිශ්චිත පණිවුඩයක් සෙවීම නිෂ්ඵල වනු ඇත.”

පූර්වෝක්තව සඳහන් ලක්ෂණ සියල්ලක් හකුළුවා විමසතොත්, මේ නාට්‍ය නිෂ්පාදනය අද්‍යතන ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අසීරු දේශපාලනික සහ ආර්ථික මොහොතට සිදු කරන කිසියම් මැදිහත් වීමක් වශයෙන් හඳුනාගැනීමට ද බැරිකමක් නැත.

ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, තායිවානය, කැනඩාව, ස්වීඩනය, දකුණු කොරියාව, කාම්බෝජය, රුමේනියාව ආදි රටවල් ගණනාවක පැවති පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීම්වලින් පසුව, “හැම්ලට්-යන්ත්‍රය”නාට්‍යමය හා ඡායාරූපමය ස්ථාපනය හෙට එනම් ජූලි මස 01වැනි සිකුරාදා සිට ජූලි මස 03 වැනි ඉරිදා දක්වා ප්‍රංශ වසන්ත උත්සවයේ අංගයක් වශයෙන් මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (KCC)  පරිශ්‍රයේ දී පැවැත්වේ. (ඇතුළු වීම නොමිලේ). ඒ සඳහා ආචාර්ය ක්ලයිඩ් ෂැබෝ සමඟින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීහු සහ ආචාර්ය මණ්ඩලය මූලික සම්පත් දායකත්වය ලබා දෙති.