ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි

ජුනි 23, 2022

 

පසුගියදා ජන්ම දිනය සැමරූ ප්‍රවීණ සිනමා නිළි ශ්‍රියාණි අමරසේන, ලාංකේය කලාවෙහි ස්වර්ණමය යුගයේ වේදිකාවෙහිද කෙටි කාලීනව හෝ කැපී පෙනුණු නිළියකි. සැබැවින්ම ඇගේ කලා ප්‍රවිෂ්ටය සනිටුහන් වූයේ වේදිකාවෙනි. ඇය වේදිකාවේ රැඟුවේ අල්ප ගණනක නාට්‍යවල වූවත් මේවා බහුතරය ඇදැහිලිවාද (ඛ්භතබ) බවට පත් වූ නිර්මාණ බැව් පෙනේ.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිටම රංගනයට ඇලුම් කළ ශ්‍රියාණි (එවක ශ්‍රියාණි වීරකෝන්), පුවත්පතක පළ වූ දැන්වීමකට ඇයැදුම් කොට 60 දශකයේ මුල් භාගයේ වේදිකාවට අවතීර්ණ වූවාය. ධම්ම ජාගොඩ සූරීන්ගේ කුලුඳුල් නාට්‍ය නිෂ්පාදනය වූ "තම්මැන්නා සැලගී" (1961) සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවා තිබිණ. සම්මුඛ පරීක්ෂණය කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ. ධම්ම ජාගොඩ, ජී.ඩී.එල්. පෙරේරා, වික්ටර් මිගෙල් ආදීහු එහි සිටියහ. මේ නාට්‍යයෙහි කුවේණියගේ භූමිකාව රඟපෑමට ධම්ම නවක නිළියක සොයමින් සිටියේය. මෙහිදී ශ්‍රියාණි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ නමුදු කුවේණිගේ චරිතය ඇයට නොලැබිණ. ඇය සතුවූයේ අවිහිංසක පෙනුමකි. අනෙක් අතට ධම්ම මේ සඳහා සෙව්වේ මඳක් නපුරු පෙනුමක් ඇති කාන්තාවකි. ඒ වන විට ශ්‍රියාණි, ගුවන් විදුලියේ ළමා පිටියේ සිරි අයියාගේ (යූ.ඒ.එස්.පෙරේරා) වැඩසටහන්වලට දායක වී තිබිණ. කුවේණිගේ චරිතය නොලැබුණත් "තම්මැන්නා සැලගී" නාට්‍යයේ වෙනත් භුමිකාවක් ඇයට හිමි විය. මේ වූ කලී ඓතිහාසික කතා පුවතක් අන්තර්ගත, නර්තනයෙන් සැදුම් ලත් සංගීතමය නාට්‍යයකි. වේශ නිරූපණ අංශයෙන් නාට්‍යයට දායක වූ බී.කුමාරපතිරණ මෙහිදී ශ්‍රියාණි පෑ දස්කම් හඳුනා ගත්තේය. දයානන්ද ගුණවර්ධනයන් හට ඇය හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. එහි ප්‍රතිඵලය වූයේ දයානන්ද ගුණවර්ධනගේ "නරිබෑනා" (1961) නාට්‍යයේ පළමු ගමදුව ලෙස රඟපෑමේ භාග්‍යය ඇයට හිමි වීමය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විවර කළ මඟ ඔස්සේ "මනමේ" (1956) නාට්‍යය ස්ථාපිත කළ නාට්‍ය ධර්මී ලක්ෂණවලින් සුසැදි දේශීය නාට්‍ය සම්ප්‍රදාය දයානන්ද ගුණවර්ධනයෝද පිළිගත්හ."මනමේ" නාටකයෙන් පසුව මහාචාර්ය සරච්චන්ද්‍ර නිර්මාණය කළ "එලොව ගිහින් මෙලොව ආවා" හී ආභාසය දයානන්දට වඩාත් බලපෑ බැව් පෙනේ. ඔහුගේ "නරිබෑනා" හී ශෛලිය "එලොව ගිහින් මෙලොව ආවා" හී ශෛලියට බෙහෙවින් සාම්‍යය වේ. "නරිබෑනා" නාට්‍යයේ ආකෘතියෙහි වෙනසක් දිස් වූයේ නම් ඒ බෙර පද භාවිත කිරීමය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ සේම දයානන්ද ගුණවර්ධනගේද නාට්‍යයට පාදක වූයේ ප්‍රකට ජන කතාවකි. ඒවාහි සංවාද ගොඩනැඟුණේ ගැමි භාෂාවෙනි. නාට්‍ය දෙකෙහිම සංගීතය හා නර්තනය ඊට ඖචිත්‍ය පූර්වක ලෙස යොදා ගැනිණ. වරක් "නරිබෑනා" අරභයා සුප්‍රකට නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයෝ මෙසේ කීහ.

 

"මින් අනතුරු වූ කාලයේ ගැමි කතා ඇසුරු කරගෙන බොහෝ "ශෛලිගත" නාට්‍ය බිහි වන්නට විය. මේවා සරල වූවා පමණක් නොව බොළඳ අසාර්ථක නාට්‍ය නිෂ්පාදන විය. මේවා නැරැඹූ විදේශීය නාට්‍ය හදාරා සිටි සිංහල විචාරකයෝ "ශෛලිගත" සම්ප්‍රදාය අසාර්ථක මාධ්‍යයක් යැයි ප්‍රකාශ කරන්නට වූහ. එය අසාර්ථක වන්නේ ගැඹුරු සංකීර්ණ අද්‍යතන අත්දැකීම් ඉදිරිපත් කිරීමට ඒවා ඉඩකඩ නොසලසන බැවිනැයි ඔවුහු කියා සිටියෝය. නරිබෑනාද ඔවුහු මේ ගණයේ ලා ගත්තේ පූර්ව නිගමනවලින් පුරවා ගත් ඔවුන්ගේ සිත්වලට නරිබෑනා නාට්‍යයේ අන්තර්ගත වූ සදාතන කලාත්මක චමත්කාරයට ඇතුළු වීමට ඉඩක් නොවූ බැවිනැයි සිතමි."

 

"නරිබෑනා" නාට්‍යයට අන්තර්ගත වූයේ අසංකීර්ණ, සරල සුන්දර ගැමි කතාවකි. එහෙත් දයානන්ද ගුණවර්ධනයන්ට යථෝක්ත විචාරක මතය බලපෑ බැවින් 1973 දී ඊට නව්‍ය දේශපාලනික අර්ථකථනයක් ලබා දෙමින් නැවත නිෂ්පාදනය කළේය. එහිදී 71 කැරැල්ල මීට ආදේශ කොට තිබිණ.නරියා සහ ගැමි ජනතාව අතර ගැටුමක් ඉන් නිරූපිත විය. එහෙත් මේ වූ කලී සරල, සුගම ජන නාට්‍යයට කිසිසේත්ම නොගැළපෙන සංකීර්ණත්වයක් ආරෝපණය කිරීමකි. දයානන්ද ගුණවර්ධනයෝ පසුව මෙය වටහා ගත්හ. එහෙයින් 1975 යළිත් "නරිබෑනා" මුල් ස්වරූපයෙන් ඉදිරිපත් කෙරිණ. මේ නාට්‍යය මුල්වරට 1960 තර්ස්ටන් විද්‍යාලයීය රංග පීඨය විසින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලදි. ඉන්පසුව මෙය කෑගලු විද්‍යාලයෙහිද රඟදැක්විණ. මේ නාටකය ආචාර්ය කෝපාල පිල්ලේ මහාදේව සහ චින්නයියා සිවනේසන් දෙමළ බසටද හෑන්ස්ඩීටර් ෂ්මිඩිට් ජර්මන් බසටද චිත්‍රා රණවක ඉංග්‍රීසි බසටද පරිවර්තනය කළහ. එය කොළඹ ලුම්බිණි රඟහලේ ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වූ අවස්ථාවේ පෙර කී ලෙසින් ශ්‍රියාණි අමරසේන ගමදුවගේ චරිතය නිරූපණය කළාය. ආචාර්ය සාලමන් ෆොන්සේකා (නරියා), පුෂ්පා අබේකෝන් (ට්‍රිලීෂියා ගුණවර්ධනගේ සොහොයුරිය වූ ඇය කලකට ඉහත ලන්ඩනයේදී මියගියාය) (ගමමහගේ), කරුණාපාල ගමගේ (කපුවා), හේවගේ ගුණසිරි (ගමරාල), දයා කුමාර පතිරණ (බල්ලා) යනාදීහුද මෙහි රංගනයෙන් දායක වූහ."නරිබෑනා" නාට්‍යයෙහි වේශ නිරූපණය, වස්ත්‍ර නිර්මාණය හා වේදිකා කළමනාකරණය විමලධර්ම දියසේන සූරීන්ගෙනි. මෙකල දිවමන්ව සිටින ජ්‍යෙෂ්ඨ නාට්‍ය ශිල්පියකු ලෙස ඔහු හැඳීන්විය හැකිය.

1936 උපත ලැබූ ඔහු අද 86 වැනි වියෙහි පසු වේ. "මනමේ" නාට්‍යයෙහි වෙස් මෝස්තර රචනයේ දී මහාචාර්ය සිරි ගුනසිංහයන්ට සහාය වූ විමලධර්ම දියසේන ඉක්බිතිව දායක වූ නාට්‍යය "නරිබෑනා" වේ. එවක ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකි.

දයානන්ද ගුණවර්ධන එසමයෙහි පදිංචිව සිටියේ නුගේගොඩ චමරියකය. ආචාර්ය ඒ.ජේ.ගුණවර්ධන, මහින්ද රණ්වීර ආදීහුද මේ චමරියේ ඔහු සමඟ නවාතැන් ගෙන සිටියහ. "නරිබෑනා" නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ සියලු සාකච්ඡා සිදු කෙරුණේ මේ චමරියෙහිය. එකල දයානන්ද ගුණවර්ධන හා විමලධර්ම දියසේන එක්ව ආධුනික නාට්‍ය සංගමය ස්ථාපිත කළහ. එමඟින් නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යය වුයේ "නරිබෑනා" ය. පළමුව දයානන්ද ගුණවර්ධන මේ නාට්‍යයෙහි පිටපත සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ නාට්‍ය උත්සවය සඳහා ඉදිරිපත් කළේය. මේ පිටපතෙහි කිසිදු විශේෂතාවක් නොදුටු ඔවුහු මෙය ප්‍රතික්ෂේප කළහ. සැබැවින්ම "නරිබෑනා" නාට්‍යයේ පිටපත පමණක් කියවා එහි සුවිශේෂතාව වටහා ගත නොහැකිය.එහි සදාතනික සෞන්දර්යාත්මක අගය වටහා ගත හැකි වනුයේ මෙය නැටුම් ගැයුම්වලින් සමන්විතව නිෂ්පාදනයක් ලෙස කල එළි දුටු කල්හිය. ලයනල් අල්ගම සූරීන් මේ නාට්‍යය උදෙසා අමරණීය තනු තැනුවේය. ශ්‍රියාණි අමරසේන රංගනයෙන් මතුනොව ගායනයෙන්ද දායකවෙමින් "නරිබෑනා" නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂක විචාරක උභය පාර්ශ්වයේ අවධානයට පාත්‍ර විය. මෙකලද ප්‍රකට මේ ගීතය එදා "නරිබෑනා" හී පළමු ගමදුව ලෙස ඇය ගැයූ අයුරු ප්‍රේක්ෂකයාට අමතක නැත.

 

ඇහැල මලින් ගස් පිරිලා

බලන්න හරි ලස්සනයි

අඹ රඹුටන් ජම්බු ඉදිලා

අද හැම තැන හරි හැඩයි

 

දොඹ ගස් යට මල් හැලිලා

සුවඳක් හැම තැන දැනෙයි

වලි කුකුළන් හඬලන කොට

අහන් ඉන්න හරි හිතයි

 

ගස්වල දලු නැළවෙන කොට

ඇඟට හරිම හීතලයි

ඉගිළෙන අර සමනළයින්

අල්ලන්නට බැරි හැඩයි

 

මතු සම්බන්ධයි...