වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
විවර කරන කල මෝරා උල් දත් ඇස් ඇති හැමටම පෙනෙනවා එළියේ

"ආඬි රැළේ නාඩගම" යන නාමකරණය ඇසෙන කල්හි කොයි කාටත් සිහිපත් වනුයේ "ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ" යන ජන කතාවයි. ප්‍රවීණ නාට්‍යවේදී චන්ද්‍රසේන දසනායක නිර්මාණය කළ "ආඬි ටිකයි අම්බලමයි" නම් වූ නාට්‍යයද මා හට සිහිපත් වේ. ඔහු විසින් ඒ නාට්‍යය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් විවේචනය කරනු පිණිසය. විදෙස් ජාතික ප්‍රවීණ නාට්‍යවේදීන් මෙරටට පැමිණ වැඩමුළු පවත්වා නාට්‍ය නිෂ්පාදනය කළ අවස්ථා ලාංකේය නාට්‍ය ඉතිහාසය තුළ වරින්වර අපට හමුවේ. "ආඬි රැළේ නාඩගම" ද ඊට දෘෂ්ටාන්තයකි. මේ වූ කලී ලෝ ප්‍රකට ජර්මානු නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "The Threepenny Opera" ( (1928) හී සිංහල අනුවාදයකි. එය සිංහලට නඟන ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති විසිනි. "ආඬි රැළේ නාඩගම" නරඹන, කලා කෘති සේවනයෙහි පරිචය ඇත්තකු හට මාරියෝ පූසෝගේ නවකතාව ඇසුරෙන් ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපොලා අධ්‍යක්ෂණය කළ "The Godfather" (1972) චිත්‍රපටය සිහිපත් වනු නොවැළැක්විය හැකිය.ඊට හේතුව පාතාල ලෝකය හා සබැඳුණු මාෆියා කල්ලිවල ක්‍රියාකාරකම් මේ නිර්මාණ ද්වයටම වස්තු විෂය වීමය. ජර්මානු නාට්‍යවේදී ෆ්‍රිට්ස් බෙනවිට්ස් (1926 - 1995) "ආඬි රැළේ නාඩගම" අධ්‍යක්ෂණය කළේය.මෙරට ජර්මානු සංස්කෘතික ආයතනයේ ආරාධනාවෙන් 1987 ඔහු ලංකාවට පැමිණ මේ නාට්‍යය සඳහා තෝරාගත් ශිල්පීන්ට සය මසක වැඩමුළුවක් පැවැත්වූයේය. ඒ කලා භවනේදීය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජීවත් වූ සමයේ ෆ්‍රිට්ස් බෙනවිට්ස් ඔහුගේ නාට්‍යවලට සහය වී අත්දැකීම් ලබා තිබිණ. ඔහු මේ වැඩමුළුවේදී ඇරිස්ටෝටලියානු නාට්‍ය සිද්ධාන්ත මතු නොව බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණය හෙවත් තදාත්ම විඝටනය සංකල්පය (Alienation effect theory) අරභයාද මෙරට ශිල්පීන්ට අවබෝධයක් ලබා දුන්නේය. බ්‍රෙෂ්ට්ගේ ඇතැම් නාට්‍යවලට ආකර්ෂණය වූ ප්‍රේක්ෂකයන් එහි චරිත හා සිදුවීම්වලට බැඳීම හේතුකොට ගෙන ඔහුට පවා වරෙක දුරස්ථීකරණ සංකල්පය අනුගමනය කිරීමට නොහැකි වූ බව ෆ්‍රිට්ස් බෙනවිට්ස් පෙන්වා දුන්නේය. කෙසේවෙතත් ෆ්‍රිට්ස් බෙනවිට්ස් වඩාත් ප්‍රිය කළේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලට බව මේ නාට්‍ය වැඩමුළුවට සහභාගි වූ "ආඬි රැළේ නාඩගම" නාට්‍යයේ චරිතයක්ද රගපෑ , කෘතහස්ත රූපණවේදී නිශ්ශංක දිද්දෙණිය සූරීහු මා සමඟ පැවැසූහ. ෂේක්ස්පියර් නාට්‍යවල මේ සෑම සංකල්පයක්ම අන්තර්ගත වීම ඊට හේතුව විය."ආඬි රැළේ නාඩගම" අධ්‍යක්ෂණය කිරීමේදී ෆ්‍රිට්ස් බෙනවිට්ස් දුරස්ථීකරණ සංකල්පය අනුදත් බැව් පෙනේ. මෙහි ජවනිකා අංකවලට බෙදා තිබුණි. "ආඬි රැළේ නාඩගම" නාට්‍යය දර්ශන වාර 12 ක් පමණ රඟ දැක්වූ අතර ෆ්‍රිට්ස් බෙනවිට්ස් ලංකාවෙන් සමු ගත් පසුව රංජිත් ධර්මකීර්ති එය අධ්‍යක්ෂණය කළේය. මේ නාට්‍යය සංගීතවත් කරන ලද්දේ ප්‍රවීණ සංගීතවේදී සේන වීරසේකර විසිනි. සේන මුලින් මෙහි සංගීත නිර්මාණය කිරීමට කැමැති නොවූයේය. ෆ්‍රිට්ස් බෙනවිට්ස් සේනගෙන් වෙනස්ම මාදිලියක සංගීතයක් මේ උදෙසා අපේක්ෂා කළේය. එනම් ප්‍රේක්ෂකයා නාට්‍යය කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට වඩා දුරස්ථීකරණය ඔහුගේ අපේක්ෂාව විය. සේන වරින්වර මෙහි සංගීතය වෙනස් කළේය.
මේ නාට්‍යයේ සියලු සිදුවීම් ගොඩනැංවෙනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පසුබිම් කොටගෙනය. පතාල නායක මැක්හීත් ලෙස (කඩු මැකී) මෙහි රඟපෑවේ නීල් අලස්ය. ඔහුට බොහෝ සහචරයෝ සිටියහ. මෙහි වීදි දරුවෝ , ගණිකාවෝ සිටිති. බ්‍රිතාන්‍ය රජ පවුලේ තේ පැන් සංග්‍රහවලට පෙර කී පාතාල සාමාජිකයන්ටද ආරාධනා ලැබේ. ඔවුහු අපරාධකරුවන් වුවත් සමාජයේ ප්‍රභූන් ලෙස වැජඹෙති. "මේ සියලු විපත් සිදුවන්නේ අපේ කරුමෙට. ඒ නිසා මේ මිනිස්සුන්ට දොස් කියන එක වැරැදියි" යනුවෙන් ඔවුන් ගැන සිතන මහජනතාවකි, එහි දක්නට ලැබෙනුයේ. පීචම් සහ සමාගම (ජෙනට් ඇන්ඩ් ජෙරමියා පීචම්) යාචක සමාගමකි. මේ යාචක සුමිත්‍රයෝ සමාගමේ අධිපති පීචම් මහතා ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නද ඔහුගේ බිරිඳ සීලියා පීචම් මහත්මිය ලෙස සෝමලතා සුබසිංහද මෙහි රංගනයෙන් දායක වූහ. මෙහි තවත් භූමිකා (පොලී පීචම්, ලන්ඩන් පොලිසියේ අධිපති බ්‍රවුන් , ඔහුගේ දුව ලුසී, ජිනී ජෙනී, ස්මිත්, කිම්බාල් පියතුමා,ෆිල්ච්, වෝල්ටර් හෙවත් හුචුහුචුවා, ජේකබ් හෙවත් ඇඟිලි කොටා, රොබට් හෙවත් දැතිරොබා, ජිමී හෙවත් පොඩි ජිමියා ,මැතිව් හෙවත් සල්ලි මල්ලි ) රාශියකි.
මෙහි ජේකොබ්ගේ භූමිකාව නිරූපණය කළේ නිශ්ශංක දිද්දෙණිය සූරීන්ය. එල්සන් දිවිතුරගම, සුමින්ද සිරිසේන, සෝමසිරි කොළඹගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, ලාලනී ධර්මපාල, නිලන්ති කොඩිතුවක්කු , පද්මිණි කිදෙල්පිටිය, ලලනි පුෂ්පමාලා, නිර්මාලි ජයවර්ධන, මල්ලිකා චාන්දනී, චිත්‍රානි දමයන්ති ආදීහුද මෙහි රංගනයෙන් දායක වූහ. ධනේශ්වර සමාජ ක්‍රමයේ හැටි මේ යැයි කියා පාමින් පීචම් මහතා (ආචාර්ය ජයලත් මනෝරත්න) අනුකම්පාව දිනාගෙන ජනතාව සූරා කන අයුරු මෙහි දැක්ක හැකිය.
පාතාල සාමාජිකයෝ වැදගත් ප්‍රභූ පවුල්වල තන් වැසියන්ගේ (Sophisticated) හැසිරීම් ගැන සාකච්ඡා කරති. නූගතුන් වූ ඔවුන් කෙතරම් ජැන්ඩියට හැඳ පැලඳ වැදගත් විදිහට සමාජයේ පෙනී සිටින්නට උත්සහ කළද නිරුවත හෙළි වේ. "උඩින් සුදු ඇන්දාට බොක්කේ ඇත්තේ මෝර දත්" බව නාට්‍යයෙහි කියැවේ.මේ හිඟන සමාගමේ තමන්ට අයිති කොටස පතාල නායකයා ලබා ගනී. විවිධාකාරයෙන් බොරු වෙස් ගත් හිඟන්නෝ (අන්ධ මිනිස්සුන් ලෙස, කකුල් ආබාධිත අය ලෙස) මෙහි සිටිති. ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් හිඟා කෑමට සැලැස්වීම මේ පාතාල සාමාජිකයන්ගේ කාර්යභාරය වේ. මේ බොරු හිඟන්නන් නිසා සැබෑ හිඟන්නන්ට තැනක් නැත. ඇතැම්විට ඔවුන් අතින් සැබෑ හිඟන්නන්ට මියයාමට ද සිදුවේ. මෙහිදී උපයන මුදල් මැරයෝ සමාගම වෙත ගෙන එති. මැක්හීත්ගේ චරිත ස්වභාවය මැනවින් විවරණය කරන ගීතයක් මෙහි එයි. මෙය කඩු මැකීගේ ගීතයයි.
"විවර කරන කල මෝරා උල් දත්
ඇස් ඇති හැමටම පෙනෙනවා එළියේ
පෙනෙන්නෙ නැහැ ඒ වුණාට කිසිදා
මැක්හිත්ගේ සැඟවුණු කඩු පිහියා
ගොදුරු ගිලින මෝරාගේ රතු ලේ
තැවරෙයි ගලමින් විත් උගෙ වරලේ
මැක්හිත්ගේ අත්වැසුමේ බලයෙන්
සුදෙන් වැසෙයි හැම වරදම ඔහුගේ
තේම්ස් නදිය අසබඩ ගං දෑලේ
මැරී වැටෙති ජනයා හිටිහැටියේ
කොළරා රෝගෙට නොවෙයි විනාසේ
මැක්හිත්ගේ අණසක මේ පෙදෙසේ
ඉරිදා දවසක නිල් වියනක් යට
දපා වැටුණි මිනිහෙක් බිම මියැදී
උපාය දා පැන ගියේය තවකෙක්
හපන්කමක් මැක්හිත්ගේ මේකත්
ජෙනී ට්‍රවුලර් පියකරු ළඳ කොහෙදෝ
පපුව පළා පිහි පහරක් වැදිලා
මැරී වැටී හමුවිය මේ ළඟදී
ගැවසී ඇත මැක්හිත් ඒ පෙදෙසේ
යස යෞවන වැන්දඹුවක් හිටියා
මෙනෙවිය යයි ඇමතූ දන සැවොමා
නිදි පැදුරෙම මැක්හිත් අදමිටුවා
කෙළෙසී ඇය
නැහැ මේවට දඬුවම්"
සෝමලතා සුබසිංහ මෙහි රඟපෑ පීචම් මහත්මියගේ සංකීර්ණ භූමිකාව ඇය මෙතෙක් රඟපෑ සියලු භූමිකාවන්ට වඩා වෙනස් විය. ෆ්‍රිට්ස් බෙනවිට්ස් වැනි අත්දැකීම් බහුල අන්තර්ජාතික වශයෙන් පිළිගත් අධ්‍යක්ෂවරයකු යටතේ මෙහි රඟපෑමට අවස්ථාව ලැබීම ඇයට මෙන්ම මීට දායක වූ සියලු ශිල්පීන් හට ලැබුණු මහත් භාග්‍යයකි. පීචම් මහත්මිය පිළිබඳ ගීතයක් මෙසේය.
"ගණිකා පුරවරයේ අඹර අරා ඇති
සඳ සේය ඈ
මහද නැගෙනා රාවය
හැකිද විඳුමට ඔබ හට
ඉන්ද්‍රජාලයක් සේය එය
යන යන තැනට ඔබ පා තබන්නම්
මං අනුපා
එසේ විය එකලේ
අලුත් සඳක් පායා ඈත නිල් අහසේ"
එහි අන් තැනක මෙසේ එයි.
"මගේ හැටි මෙහෙමයි
රෑ කල නිවහන ඇතුළේ කොටු වී
සිරි යහනේ වැතිරී ඉන්න
බොහෝ කැමැතියි මං
එනමුත් ඈ බොහෝ කැමැතියි
කරන්න සෙල්ලං
ඇගේ හිස මත අමෘතයම තවරා
දෙවියෝ ඈ අස්වසති.
සිතනවාද ඈ"
පීචම් මහත්මිය (සෝමලතා සුබසිංහ) -
"අනේ දෙවියනි, දෙවියන් වහන්සේ අපිව බලාගන්න ඕනෑ. කඩු මැකී කිව්වා ජේසුතුමනී, මරියාමවුතුමනී, ජුසේතුමනී, කෝ මේ පොලී"
මතු සම්බන්ධයි...