ගෑනුන්ට ඉදි කටුවයි, නූලුයි පිරිමින්ට කසයයි, හරක් බානයි

ජුනි 9, 2022

 

පසුගිය ලිපිය සඳහා "මහගෙදර" නාට්‍යයේ නළු, නිළි නාමාවලිය මා වෙත ලබා දුන් ,එහි ජයසේන - ට්‍රොෆිමොව් ලෙස රඟපෑ, ගුරු දේව කරුණාරත්න අමරසිංහ සූරීන්ට මගේ කෘතවේදීත්වය හිමිවේ. ප්‍රවීණ සාහිත්‍යවේදී, කෘතහස්ත ගුවන් විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහ සූරීන් එකල වේදිකාවෙහි රඟපෑ බව මෙකල පරපුරෙහි බොහෝදෙනා නොදනිත්.

කෘතහස්ත නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති විසින් පරිවර්තනය කරන ලද "චෙරි උයන" මුද්‍රිත පිටපතෙහි එහි කතා තේමාව මෙලෙස සංක්ෂේපයෙන් දක්නා ලැබේ.

"ලුබොෆ් රැනවෙස්කයා ආර්යාව ලෝකයේ ලස්සනම වත්තේ අයිතිකාරියයි. ඇගේ නාස්තිකාර ස්වාමියා ෂැම්පේන් බීමෙන්ම මියයාමෙන් පසුව ඕ වැන්දඹුවක බවට පත් වෙයි. ඊට මසකට පසුව එම වත්ත අසලින් ගලා යන ගඟේ ගිලී ඇගේ පුංචි පුතා ග්‍රීෂා මියයයි. ජීවිතයේ සියලු සෞන්දර්ය කැටි කරන සංකේතය වන චෙරි උයන සහිත තම පාරම්පරික වත්ත දැන් ඇයට පෙනෙන්නේ ඒ තුළ සැඟවුණු මෙම කටුක ස්මරණයන් වෙත විවර වන කවුළුවක් ලෙසිනි. ජීවිතය ගෙනෙන ගැටලුවලදී විඥානවාදී ව විසඳුම් සොයන රැනවෙස්කයා ආර්යාව ස්මරණයන්ගෙන් මිදීම ජීවිතයේ සියලු ගැටලුවලට විසඳුම යයි සිතා චෙරි උයන අතහැර පැරිසියට පලා යයි. ප්‍රංශයේ මෙන්ටෝන් හි නව නිවසක් මිලට ගන්නා ඈ ජීවිතය අලුතින්ම ඇරැඹීමට හැකි යැයි සිතා ගනී. එහෙත් ඇගේ පෙම්වතා ද ඈ පසුපසම එයි. ඉතා කාරුණික හදක් හා රදළ පැවැත්මක් ඇති මෙම සල්ලිකාර වැන්දඹුවට ව්‍යාජ යයි සිතිය හැකි ආදරයක් දක්වන ඇගේ පෙම්වතා ඇය ණයට වැටෙන තුරු කා බී විනෝද වෙයි. ඇගේ සියලු සම්පත් ක්ෂය වී ඈ රෝගී වෙයි. අන්තිමේදී ලෙඩට බෙහෙතට වූ ණය ගෙවීමට මෙන්ටෝන්වල නිවස විකුණා දමා පැරීසියට ගොස් කුඩා කාමරයක අපහසු ලෙස ජීවත්වීමට ඇයට සිදුවෙයි. එහිදී ඇගේ පෙම්වතා ඈ තනි කර දමා වෙනස් ස්ත්‍රියක සමඟ ජීවත් වීමට යයි. තම අසරණභාවය දරාගත නොහැකිව රැනවෙස්කයා ආර්යාව දිවිනසා ගැනීමට සැරසෙන නමුත් හදිසියේම රුසියාව - තම මව් රට ගැන ජාත්‍යාලයක් ඇති වී ඕ ප්‍රශ්නවලින් මිදීමට සිතා පෙරළා සිය රට පැමිණීමට තීරණය කරයි. තඹ දොයිතුවක් අතේ නැතිව ආත්මීය වශයෙන්ද අසරණව මැයි මාසයේ දවසක තම නිවසට ආපසු එන රැනවෙස්කයා ආර්යාවට (නාට්‍යයේ ආරම්භක ජවනිකාව මෙයයි.) තම සොහොයුරු ගයෙෆ්ගෙන් අසන්නට ලැබෙන්නේ බැංකු පොලිය ගෙවීමට නොහැකි වීම නිසා ස්වකීය ගෙය හා ඉඩම අගෝස්තු මාසයේ වෙන්දේසි කිරීමට යන බවයි."

සෝමලතා සුබසිංහ රඟපෑ රැනවෙස්කයා ආර්යාව සංකීර්ණ ස්ත්‍රී භූමිකාවක් බැව් මා අමුතුවෙන් කිව යුතු නැත. මේ වූ කලී එහි යටි පෙළ නිවැරැදිව විවරණය කොට ඉතා අවබෝධයෙන් නිරූපණය කළ යුතු චරිතයකි. මතුපිටින් එහි ගැටුමක් දක්නට නොමැත.එහි අභ්‍යන්තරික මානුෂික ගැටුම් ඉතා සංයමයෙන් , මැනවින් නිරූපණය කිරීමට හැකි වනුයේ සෝමලතා සුබසිංහ වැනි අත්දැකීම් බහුල , කෘතහස්ත රූපණවේදිනියකට පමණි. දීර්ඝ සංවාද බාහුල්‍යය මෙහි වෙසෙස් ලකුණකි.

 

රැනවෙස්කයා ආර්යාව (සෝමලතා සුබසිංහ) - "මොන ඇත්තක්ද ? ඔහෙට නම් පුළුවන් ඇත්ත තියෙන්නෙ කොහෙද බොරුව තියෙන්නෙ කොහෙද කියල බලන්න. ඒත් මගේ ඇස් අන්ධ වෙලා වගේ. මට කිසිම දෙයක් පෙන්නෙ නෑ. ඔය ළමය ඕනම අමාරු ප්‍රශ්නයක් බොහොම නිර්භීතව විසඳනව. ඒ තාම තරුණ හින්ද. ඔහෙට කිසිම ප්‍රශ්නයක් විසඳා ගැනීමට තවමත් ඒ හැටි දුක් විඳීන්න සිද්ධ වෙලා නැති හින්ද. එහෙම නේද ? ඔයා බොහොම නිර්භීතව ඉදිරිය දිහා බලනව. එහෙම කරන්නේ මොකද ? ඔයාට මොකක් හරි භයානක දෙයක් ඉදිරියේදී සිදු වෙයි කියලා බලාපොරොත්තුවක් වත් බයක් වත් නෑ. එහෙම දෙයක් ඉදිරියෙ වෙයි කියලා පේන්නෙත් නෑ. ඒක හින්දා, ඔහේ අපිට වඩා නිර්භීතයි, අවංකයි, ගැඹුරු විදියට හිතනවා. ඒ සිද්ධ වෙලා තියෙන දේවල් ගැන ටිකක් කල්පනා කරල බලන්න. කල්පනා කරලා කරල බලල උදාර හිතකින් මං ගැන කෙස් ගහක තරම්වත් සැලකිල්ලක් දක්වන්න.මට අනුකම්පා කරන්න. දන්නව නේද මේක මම උපන් ගේ. මගේ අම්මා, පප්පා මෙතන ජීවත් වුණා. මගේ අත්තත් මෙතනයි ජීවත් වුණේ. මම මේ ගෙදරට ආදරෙයි. මේ චෙරි උයන නැතුව ගියොත් මගේ ජීවිතෙන් මට ඇති වැඩක් නෑ.ඉතින් මේ වත්ත විකුණලා දාන්න ඕනේ නම් දෙයියන්ගෙ නාමෙට මාවත් විකුණලා දාපල්ලා. (ට්‍රොෆිමොෆ් වලඳගෙන ඔහුගේ නළල සිප ගනිමින්) මගේ පුංචි කොලු පැටියා ගිලිල මැරුණෙත් මේ වත්තෙමයි. (අඬමින්) ඉතින් මට ටිකක් අනුකම්පා කරන්න. "

 

ස්පාඤ්ඤ ජාතික සුප්‍රකට නාට්‍යවේදී ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ ‰ "The House of Bernada Alba"  නාට්‍යය මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් සිංහල බසට නඟා අධ්‍යක්ෂණය කළාය. ඒ "බර්නාඩාගේ සිපිරිගෙය" නාමයෙනි.1971 මෙය මුල්වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රඟදැක්විණ. මෙහි සැමියන් දෙදෙනෙකුගෙන් තමාට ලැබුණු දියණිවරුන් අත්තනෝමතික ලෙස පාලනය කරන බර්නාඩා ඇල්බාගේ සංකීර්ණ භූමිකාව සෝමලතා සුබසිංහ රැඟුවාය.සැබැවින්ම බර්නාඩාගේ ගෙය "සිරගෙයක්"මැයි. එහෙයින් "බර්නාඩාගේ සිපිරිගෙය" යන මේ නාට්‍යයේ නාමකරණය ඉතා ඖචිත්‍ය පූර්වකය.

බර්නාඩා (සෝමලතා සුබසිංහ) -

"හොඳයි එහෙනම් වෙන එකක් උඹ හොයාගනින්. ඉස්සරහට ඕන වෙයි.තව අවුරුදු අටක් ගෙවෙනකන් පිටින් පුළුන් රොදක්වත් මේ ගෙට ඇතුල් වෙන්න ඉඩක් තියන්නෙ නෑ. ජනෙල් ගඩොල්වලින් වහල දැම්ම වගෙයි අපි ඉන්න යන්නේ. අපේ තාත්තලාගෙ ගෙදරත්, අත්තලගෙ, මුත්තලාගෙ ගෙදරත් කළේ එහෙමයි. ඉතින් දැන් උඹලට කොට්ට උර මහන්න රෙදි කච්චි විස්සක් මං ගෙනත් තියෙන්නේ. මැග්ඩලීනාට පුළුවන් ඒවයෙ වැඩ දාන්න. මේ ගෙදර මම කියන හැටියටයි වැඩ කෙරෙන්නේ. ආයෙ ඉතින් තාත්ත ළඟට දුවලා කේලං කියන්න උඹට ලැබෙන්නේ නෑ. ගෑනුන්ට ඉදි කටුවයි ,නූලුයි, පිරිමින්ට කසයයි, හරක් බානයි.සෑහෙන තත්වෙක අයට, යුතුකම් දන්න අයට එහෙම තමා."

 

ස්පාඤ්ඤයේ කෘෂිකාර්මික ගම්මානයක පුරුෂාධිපත්‍යයෙන් පීඩාවට පත්වෙන කාන්තාවන්ගේ විවාහය හා ලිංගික ජීවිතය මේ නාට්‍යයෙහි නිරූපිතය. පුරුෂාධිපත්‍ය මේ නාට්‍යයෙහි සංකේතාර්ථයක් වැන්න. මක්නිසාද යත් මෙහි කිසිදු පිරිමි චරිතයක් නොදක්නා ලැබෙන බැවිනි. ස්ත්‍රී භූමිකා නිරූපණයට පමණක් මේ නාට්‍යය සීමා වේ. මහාචාර්ය රංජනී ඔබේසේකරගේ පිටපත ඇසුරෙන් පසුකලෙක ප්‍රියන්ත සිරිකුමාර නැවතත් "බර්නාඩාගේ සිපිරිගෙය" අධ්‍යක්ෂණය කළ අතර එහිදී බර්නාඩා ඇල්බාගේ චරිතය සෝමලතා සුබසිංහගේ දියණිය කෞශල්‍යා ප්‍රනාන්දු නිරූපණය කිරීම දෛවෝපගත ඓතිහාසික සිද්ධියකි. "චෙරි උයන", "බර්නාඩාගේ සිපිරිගෙය" යන නාට්‍ය ද්වයෙහි සෝමලතා සුබසිංහ පිළිවෙළින් රඟපෑ රැනවෙස්කයා ආර්යාවගේ සහ බර්නාඩා ඇල්බාගේ භූමිකා ඉතා වංශවත් පවුල්වලට අයත් ස්ත්‍රී චරිත බැව් පෙනේ. මේවා රූපණයේදී ඇය සතර අභිනය ඖචිත්‍ය පූර්වකව භාවිත කළ ආකාරයත් අවැසි තැන් හී මන්ද රංගනය (underplay) පවත්වා ගත් අයුරුත් විද්‍යාර්ථීන්ගේ සම්මර්ශනයට ලක්විය යුතුය.

ඇන්ටන් චෙකොෆ්ගේ "The cherry orchard" නාට්‍යය මුල්වරට සිංහල බසට පරිවර්තනය කොට ග්‍රන්ථයක් ලෙස එළිදැක්වූයේ මහාචාර්ය මෙන්ඩිස් රෝහණධීරයන්ය.ඒ "චෙරි වත්ත" නාමයෙනි

 

මතු සම්බන්ධයි