අනුවර්තනයෙන් පරිවර්තනයට මහගෙදරින් චෙරි උයනට

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 104 ලිපිය
ජුනි 2, 2022

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් අවසන් වරට රචනා කළ නාට්‍යය වූ "The Cherry Orchard" (1903) මෙරට විශිෂ්ට කලාකරුවන් විෂයෙහි ආභාසයක් , අනුප්‍රාණයක් වූ නිර්මාණයක් බවට පත් විය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ "ගම්පෙරළිය නවකතාවට (1944) මේ නාට්‍යය ආභාසය වූ බැව් එකල බොහෝ විචාරකයෝ සඳහන් කළහ. එහෙත් වරක් මා ගුරුදේව සුගතපාල ද සිල්වා සූරීන් මේ මතවාදය ප්‍රතික්ෂේප කොට මා සමඟ පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "ගම්පෙරළිය" උදෙසා ආභාසය වූයේ චෙකොෆ්ගේ "The Cherry Orchard" නාට්‍යය නොව වෙනත් රුසියානු නවකතාවක් බවය. සුගතපාල ද සිල්වා තම ජීවිතයේ තරුණ අවධියේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසෙහි කලක් නවාතැන් ගෙන සිටියේය. ඔහුට වික්‍රමසිංහයන්ගේ පුස්තකාලයෙන් මේ නවකතාව අහම්බෙන් හමු වී කියවීමට උත්සාහ කොට ඇත. එහෙත් වික්‍රමසිංහයන් එයට කැමැති වී නැත. අනෙක් අතට සුගතපාල ද සිල්වාගේ මතකයෙන් ඒ නවකතාවෙහි නාමය ගිලිහී ගොස් තිබිණ. එහෙත් සුගතපාල සූරීන් මා වෙත අවධාරණයෙන් කියා සිටියේ තමා කියැවූ කොටසෙන් පැහැදිලි වූයේ "ගම්පෙරළිය" ඒ නවකතාවෙහි ආභාසයක් මිස කිසිසේත්ම අනුකරණයක් නොවන බවය. "The Cherry Orchard" නාට්‍යය ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් "වෑකන්දේ වලව්ව"(2002) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 

19 වැනි සියවස මැද භාගය වන විට එවක පැවති අද්භූතවාදයට (Romanticism) පටහැණිව රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, නිකොලොයි ගොගොල්, ඇන්ටන් චෙකොෆ්, ලියෝ ටෝල්ස්ටෝයි, ෆියඩෝර් ඩොස්ටොව්ස්කි, නෝවීජියානු ජාතික හෙන්රික් ඉබ්සන් (නූතන නාට්‍ය කලාවේ නිර්මාතෘ ලෙස මොහු සැලකේ), ප්‍රංශයේ ගුස්ටාව් ෆ්ලෝබෙයාර් ආදීන් ගොඩනැඟූ යථාර්ථවාදී සාහිත්‍යයෙහි බලපෑම නාට්‍ය කලාවට ලැබිණ. හෙන්රික් ඉබ්සන්ගේ "Catiline" නාට්‍යයෙන් (1850) ලොව යථාර්ථවාදී නාට්‍ය කලාවෙහි ආරම්භය ස්ථාපිත විය. විශේෂයෙන් ඇන්ටන් චෙකොෆ් එවක වේදිකාවේ පැවති රූපණ සම්ප්‍රදාය පිළිබඳව බලවත් සේ කලකිරී සිටියේය. එකල ප්‍රකට වී සිටි නිළි වී.එෆ්.කොමිසාර්ෂෙව්ස්කි ප්‍රමුඛ "Alexandrinsky theatre" නාට්‍ය කණ්ඩායමට චෙකොෆ්ගේ "The Seagull" නමැති නාට්‍යයෙහි නිෂ්පාදනය භාර වී තිබිණ. ඔවුහු මේ නිර්මාණයේදී එවක පැවති අද්භූතවාදී රංග රීතිය අනුගමනය කළහ. භූමිකාවල මතුපිට ස්වරූපය පමණක් අනුකරණය කළ භාවාතිශය රූපණ රීතියක් ඉන් පළ විය. මේ නිෂ්පාදනය නැරඹූ ප්‍රේක්ෂකයෝ අනපේක්ෂිත තැන්වලදී සිනාසුණාහ. තම නාට්‍යයෙහි විනාශය දැක කලකිරුණු චෙකොෆ් ශාන්ත පීටර්ස්බර්ග් නුවර පවා නොරැඳී පලා ගියේය. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කි යථාර්ථවාදී සාහිත්‍ය ලක්ෂණ කුළුගැන්විය හැකි අභිනව රූපණ සිද්ධාන්තයක් සොයාගැනීම ඔස්සේ චෙකොෆ්ගේ "The Seagull" නාට්‍යය නිවැරැදිව අර්ථකථනය කළේය. චෙකොෆ්ගේ "The Cherry Orchard" පිටපත කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කි අධ්‍යක්ෂණයෙන් මුල්වරට රඟ දැක්වූයේ 1904 වසරේ ජනවාරි 17 වැනිදාය. 

මෙරට කෘතහස්ත නාට්‍යවේදියකු එකම විදෙස් කෘතියක් පාදක කොට ගෙන කාල වකවානු දෙකකදී අනුවර්තන හා පරිවර්තන ස්වරූපයෙන් නාට්‍ය ද්වයක් නිර්මාණය කිරීම ලාංකේය නාට්‍ය ඉතිහාසයේ වෙසෙස් සන්ධිස්ථානයකි. එනම් චෙකොෆ්ගේ "The Cherry Orchard" ඇසුරෙන් ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති නාට්‍ය ද්වයක් අධ්‍යක්ෂණය කළේය. චෙකොෆ්ගේ කෘතිය ඇසුරෙන් රංජිත් ධර්මකීර්ති "මහගෙදර" (1966) නාට්‍යය මුල්වරට අධ්‍යක්ෂණය කළේය. මෙය ඔහු විසින්ම අනුවර්තනය (Adaptation) කරන ලද්දකි. නාට්‍යයක පරිවර්තනය (Translation) යනු ඊට පාදක වූ විදෙස් කෘතිය ඒ අයුරෙන්ම සිංහල බසට නැංවීමය. නාට්‍යයක අනුවර්තනයේදී සිදුවනුයේ ඊට ඇසුරු වූ විදෙස් කෘතියෙහි චරිත, සිදුවීම් හා පසුබිමෙහි ඇතැම් දේ අපේ සමාජයට, පරිසරයට ඖචිත්‍ය පූර්වක ලෙස සකස් කරමින් සිංහල බසට ගෙන ඒමය. මේ අනුව "මහගෙදර" වූ කලී පෙර කී ලෙස "The Cherry Orchard" හී අනුවර්තනයකි. 1966 නාට්‍ය උලෙළට ඉදිරිපත් කොට තිබූ නාට්‍ය පිටපත් 72 අතුරෙන් නිෂ්පාදනයට තෝරා තිබූ නාට්‍ය 13 අතරට "මහගෙදර" තෝරා පත් විය. "මහගෙදර" වූ කලී එවක ස්වාභාවික සංවාද නාට්‍ය රීතිය මෙරට වේදිකාවේ ස්ථාපිත කිරීමට දියත් කළ අරගලයට එක් දෘෂ්ටාන්තයකි. මාර්ටින් වික්‍රමසිංහයෝ මේ නාට්‍යය එදා බෙහෙවින් අගය කොට විචාරයක් ලියූහ. ඉන් උදුරා ගත් කියුමක් මේය.

"පහසුවෙන් විනෝදය ලබා දිය හැකි දේ සොයන අය සලකන කල නාට්‍ය රසය විසින් එතරම් සිත් නොගත හැකි ඉතා දුෂ්කර නාට්‍යයක් කරලියට නැංවීමට උත්සාහ කිරීමෙහිලා මෙම නිෂ්පාදකයා පැසසුම් ලැබිය යුතු වේ. අඩු ලුහුඬුකම් කොතරම් තිබුණද ඇතැම්විටෙක සුලභ හාස්‍ය හා නිසරු දැක්මෙන් රංජිත් ධර්මකීර්ති වැළකී සිටී. ඒ වෑයම සාර්ථක වී ඇත්තේ විදේශ නාට්‍යයන් අනුව කෙරෙන බාල බොළඳ සිංහල අනුවාදයන්ගෙන් ඔහු බැහැර වී ඇති හෙයිනි. කිසියම් ශෝකී හැඟීමක් චෙකොෆ්ගේ නාට්‍ය මැදින් ගලා යයි. රංජිත් ධර්මකීර්තිගේ සිංහල අනුවාදයෙහි එකී ශෝකී හැඟීම සහ ධවන්‍යාත්මක සංකේතාර්ථ අවසානය තෙක්ම රඳවා ගනී" 

1966 නොවැම්බර් 11 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී මෙය මුල්වරට වේදිකා ගත කෙරිණ. මෙහි සුමනා ද මැල් (බණ්ඩාර මැණිකේ - රැනවෙස්කයා), මාලිනී ෆොන්සේකා (අනුලා -අන්යා), අයිරින් වික්‍රමනායක (පද්මා - වර්යා), ප්‍රේමසිරි හෙන්දහේවා ( පුංචිබණ්ඩාර - ගයෙෆ්), සතිස්චන්ද්‍ර එදිරිසිංහ (වීරසේකර - ලොපකින්), කරුණාරත්න අමරසිංහ (ජයසේන - ට්‍රොෆිමොව්), චන්ද්‍රසිරි දෙහිපිටිය (විජේසිරි - පිස්චික්), ජයන්ති පෙරේරා (වයලට් - චාලොටා), අතුල විජේමාන්න, උදේනි චන්ද්‍රසිරි (වනසිංහ - යෙපිකොඩොෆ්), කරුණා ප්‍රනාන්දු (ඩිංගි - දුන්යාෂා), සුනිල් හෙට්ටිආරච්චි (බේලිං අප්පු - ෆයර්ස්) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. 12 ස් දෙනා ඉදිරිපත් කළ මේ නාට්‍යයෙහි සංගීත අධ්‍යක්ෂණය ලයනල් රන්වලගෙනි.

රංජිත් ධර්මකීර්ති ස්වකීය නාට්‍යවල නළු නිළියන් හැසිරවීමේදී කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ විධි ක්‍රමය අනුදත් බැව් පෙනේ. ඔහු "මහගෙදර" නාට්‍යය නිර්මාණය කොට හරියටම වසර 20 කට පසුව එනම් 1986 දී "චෙරි උයන" නාට්‍යය නිර්මාණය කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ඇරැයුමෙනි. එහිදී රංජිත් ධර්මකීර්ති "The Cherry Orchard" පරිවර්තනය කළේය. සරසවි විද්‍යාර්ථීන්ට ප්‍රායෝගික අභ්‍යාසයක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ඒ. වී. සුරවීර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මේ කර්තව්‍යය සඳහා ඔහුට ඇරයුම් කළහ. 1986 අප්‍රේල් මස 28 වැනිදා ලුම්බිණි රඟහලේ දී මෙය මුල්වරට වේදිකාගත කෙරිණ. මෙහි සෝමලතා සුබසිංහ රඟපෑ ලුබොෆ් රැනවෙස්කයා ආර්යාවගේ භූමිකාව ඇගේ රංගන ජීවිතයේ කඩඉමකි. ප්‍රවීණ රූපණවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයෝ ලොපකින්ගේ භූමිකාව රැඟුහ. මෙවැනි දුර්ලභ ගණයේ භූමිකා නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමෙන් සෝමලතා මෙන්ම සතිස්ද මෙහිදී භාග්‍යවන්තයෝ වූහ. ඔවුන්ගේ ප්‍රතිභාව, රූපණ කෞශල්‍ය හා අත්දැකීම් හේතු කොට මේ භූමිකාවන්ට උපරිම සාධාරණය ඉටු විය. මේ ප්‍රවීණයන් දෙපළ හැරුණු විට මෙහි සෙසු චරිත නිරූපණය කරනු ලැබූවෝ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථීහුය. එහිදී විශ්වවිද්‍යාලයෙන් සංවිධාන කටයුතු භාරව සිටි එවක විද්‍යාර්ථී චන්දන ගුණවර්ධන රුසියාවේ මොස්කව් නුවරදී "The Cherry Orchard" රුසියානු නිෂ්පාදනය නරඹා තිබිණ. එහිදී ලොපකින් ලෙස රඟපෑ රුසියානු නළුවාට නොදෙවැනිව සතිස්චන්ද්‍ර එදිරිසිංහ "චෙරි උයන" හී රඟපෑ බව ඔහු සඳහන් කොට තිබිණ.රංජිත් ධර්මකීර්තිගේ "මහගෙදර" හා "චෙරි උයන" යන නාට්‍ය ද්වයෙහිම ලොපකින්ගේ භූමිකාව රඟපෑ රූපණවේදියා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය.

මතු සම්බන්ධයි...