වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
සම්ප්‍රදායේ විපරිණාමය හා ගැටෙන ගෝල්ඩ

ප්‍රවීණ නාට්‍යවේදී චූලා කාරියවසම්ගේ "සිරිත් විරිත් හෙවත් රටකින් රටකට" නාට්‍යයට පාදක වූයේ 1905 රුසියානු විප්ලවයට ආසන්න කාලයේ එහි ඇනටෙව්කා නම් ග්‍රාමයේ සිදුවීමකි. මේ සිදුවීම් අපේ සිංහල ජන ජීවිතයට ඉතා සමීපය. සිත් කම්පා කරවන මෙවැනි මානුෂික සිදුවීම් ඕනෑම රටක, ඕනෑම ගමක සිදුවිය හැකිය. යුදෙව් ජාතික ටෙව්ය (චූලා කාරියවසම්) ජීවත් වනුයේ රුසියාවට යාබද ඇනටෙව්කා නම් ග්‍රාමයෙහිය. දුප්පත් කිරි වෙළෙන්දකු වූ ඔහු ගැහැනු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. යුදෙව් භක්තිකයකු වන
ටෙව්ය, සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කරන කෙනෙකි. එහෙත් තම දූවරු තිදෙනෙක් සිරිත් විරිත්වලට පිටුපා ඔවුහු කැමති ස්වාමිපුරුෂයන් තෝරා ගනිති. සයිටල් නමැති වැඩිමහල් දියණියගේ (සුවිනීතා සුබසිංහ/රංජනා ද මැල්) විවාහ උත්සවයේ දී සාර් රජයේ පොලිස් නිලධාරීහු පැමිණ කලබල ඇති කොට පිටවී යති. හොඩල් නමැති දෙවැනි දියණියද (දේවිකා මිහිරාණි/ සුනේත්‍රා ද මැල්) විවාහ වී ගම අතහැර යන්නීය. ඇයගේ ස්වාමි පුරුෂයා සයිබීරියාවේ දී අත්අඩංගුවට පත් වේ. කාවා නම් වූ තුන්වෙනි දියණිය (රන්දේවිකා ද මැල්) අන්‍ය ආගමික රුසියන් ජාතිකයකු සමඟ රහසේ විවාහ වීම නිසා ටෙව්ය ඇය පවුලෙන් පිටමං කරනු ලැබේ. ඔහු විශ්වාස කරනුයේ මේ සියල්ල දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවන බවය. එහෙත් තමා පිට පැවරෙන සියලුම දුක් කම්කටුලු එකසේ විඳ දරාගෙන ජීවත් වීමේ දිරිය ඔහු සතුය. අවසානයේ පාලකයන්ගේ නියෝගය මත ඇනටෙව්කා ගමේ සියලුම යුදෙව් ජාතිකයන්ගේ ගෙවල් දොරවල් විනාශ කර ඔවුන් රටින් පලවා හරිනු ලැබේ. ටෙව්ය, සිය බිරිඳ ගෝල්ඩ (සෝමලතා සුබසිංහ) හා ඉතිරි දියණියන් දෙදෙනා වූ බියල්කා (නිමල්කා ද මැල් ) හා ස්ප්‍රින්සි (රේණුකා ද මැල්) ඇමරිකාවට යති.
සෝමලතා සුබසිංහ මෙහි නිරූපණය කරනුයේ ටෙව්යගේ බිරිඳ වූද ගැහැනු දරුවන් පස්දෙනකුගේ මව වූද ගෝල්ඩ නමැති ප්‍රමුඛ ස්ත්‍රී භූමිකාවය. ඇය එතෙක් බහුලව වේදිකාවේ නිරූපණය කළේ වංශවත් පවුල්වල ස්ත්‍රී භුමිකා වූ හෙයින් "සිරිත් විරිත්" හී ගෝල්ඩ ඊට හාත්පසින් වෙනස්, පහළ පන්තියේ ගැමි ස්ත්‍රී චරිතයක් ලෙස ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයේ ඇගැයීමට ලක් විය.
(ටෙව්යගේ නිවසෙහි මුළුතැන්ගෙය. ගෝල්ඩ, සයිටල් සහ හොඩල් දේව පූජාවට සූදානම් වෙති. ස්ප්‍රින්සි සහ බියල්කා පිටත සිට දර ගොඩවල් ඔසවාගෙන ගේ තුළට එති.)
ස්ප්‍රින්සි - කොහෙන්ද අම්මේ මේව තියන්නේ ?
ගෝල්ඩ - මගේ ඔළුව උඩින් තියාපන් ! ළිප ළඟින් මෝඩ කෙල්ලේ, ළිප ළඟින්. කෝ කාවා ?
හොඩල් - මඩුවෙ කිරි දොවනවා.
බියල්කා - අද තාත්ත රෑ වෙයිද අම්මේ ?
ගෝල්ඩ - අද සබත් දවස වෙලත් ඒ මිනිහට සිහිය තියෙයි ගෙදර එන වෙලාව ගැන. කරත්තෙ උඩ නැඟලා කුමාරයා වගේ රෝන්දෙ යනවා ඇති.
සයිටල් - ඒ උණාට අම්මේ, තාත්ත කොච්චර මහන්සි වෙනවද හම්බ කරන්න.
ගෝල්ඩ - එයාගෙ අශ්වයා මහන්සි වෙනව ඊට වැඩිය. උඹ එන්න ඕන නෑ තාත්තා හොඳ මිනිහ කරන්න. උඹට වැඩිය ටිකක් කල් මං ඒ මිනිහා ආස්සරේ කරලා තියෙනවා. අනේ අම්මප ඔය මිනිහා හින්ද මට වෙලාවකට පිස්සු හැදෙනවා. (සෙමින්) අනේ ඒ මනුස්සයට දෙවියන්ගෙම පිහිටයි. (යළිත් හයියෙන්) ස්ප්‍රින්සි, මට තව අල ගෙඩි දෙක තුනක් දියං.
(කාවා කූඩයක් රැගෙන ඇතුළු වේ. ඈ ඒප්‍රනය අස්සේ පොතක් සඟවාගෙන සිටී)
ගෝල්ඩ - කාවා උඹ කිරි දොවලා ඉවරද ? කාවා - ඔව් අම්මා (සඟවා තිබූ පොත බිම වැටේ)
ගෝල්ඩ - හා ! උඹ ආයෙත් පටන් ගත්තද පොත් කියවන්න ? මොන ඉලව්වකටද බං ගෑනු ළමයි ඕව කියවන්නේ. ඕකෙන් උඹට වැඩියෙන් හොඳ මිනිහෙක් වෙයි. (පොත අහුලා දෙයි) ඉඳා....
චූලා කාරියවසම් මෙහි අධ්‍යක්ෂණය සඳහා ආභාසය ලැබුවේ "ජ්ඪඤඤතඥප ධද ඊඩඥ අධධට"(1971) චිත්‍රපටයෙනි. "සිරිත් විරිත්" නාට්‍යයෙහි ගීත සියල්ලම රචනා කරන ලද්දේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි. චූලා කාරියවසම්, මොරිස් විජේසිංහ, ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර, තිසුලා ජයනෙත්ති, කෞශල්‍යා ප්‍රනාන්දු මෙහි ගීත ගායනයෙන් දායක වූහ. නර්තන නිර්මාණය සුවිනීතා සුබසිංහගෙනි.සැන්ටින් ගුණවර්ධන වේදිකා පාලනයෙන්ද මර්වින් ජයතුංග වේදිකා සැරසිලිවලින්ද මීට දායක වූවෝය. පෙර කී ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙය සංගීතවත් කළ නමුදු මෙහි එක් සාමූහික ගීතයකට (පවුලේ සියලු දෙනා ගයන) ඔහු සෑහීමට පත් විය හැකි තනුවක් නිර්මාණය කළ නොහැකි විය.එහෙයින් චූලා මේ සඳහා මුල් නාට්‍යයෙන් නන්ද විතාන විසින් පරිවර්තනය කරන ලද ගීතයට තමාම සුදුසු තනුවක් නිර්මාණය කළේය. මෙහි කේමදාසයන්ගේ සංගීතයට ඩග්ලස් ෆර්ඩිනන්ඩ්ස් වාදනයෙන් දායක වීම විශේෂත්වයකි. ඩග්ලස් වූ කලී බ්‍රිතාන්‍යයේ රාජකීය සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ලෝ ප්‍රකට සංගීතවේදියෙකි, විශිෂ්ට වයලීන් වාදකයෙකි. බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබෙත් මහා රැජන ප්‍රිය කළ , ඇයගේ රාජකීය වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකි. "සිරිත් විරිත්" එක් අතකින් චූලා කාරියවසම්ගේ පවුලේ නාට්‍යයක් ලෙස හැඳීන්වීමෙහි වරදක් නැත. මෙහි චූලාගේ බිරිඳ සුනේත්‍රා ද මැල් මෙන්ම ඇගේ සොහොයුරියන් වූ රංජනා ද මැල්, රන්දේවිකා ද මැල් , නිමල්කා ද මෙල්, රේණුකා ද මැල් යනාදීන් දියණියන් පස් දෙනා ලෙස රඟපෑම සුවිශේෂත්වයකි. එසේම මෙහි චූලාගේ සොහොයුරු ජය ශ්‍රී කාරියවසම්ද රංගනයෙන් දායක වූයේය.
"සිරිත් විරිත්" හී චූලා කාරියවසම් (ටෙව්ය), සෝමලතා සුබසිංහ, ක
රුණා රත්නසීලි (ගෝල්ඩ), රංජනා ද මැල්, සුවිනීතා සුබසිංහ, භද්‍රා නන්දනී (සයිටල්), දේවිකා මිහිරාණි (හොඩල්), රන්දේවිකා ද මැල් , සුනේත්‍රා ද මැල් (කාවා), නිමල්කා ද මෙල් (බියල්කා), රේණුකා ද මෙල් (ස්ප්‍රින්සි), සැන්ටින් ගුණවර්ධන (ලේසර්),
රංජිත් පී.ජයවීර (මෝටල්- පළමු දියණියගේ සැමියා), ජය ශ්‍රී කාරියවසම් (පර්චික් - දෙවැනි දියණියගේ සැමියා ), හේමසිරි කාරියකරවන (තුන්වැනි දියණියගේ සැමියා), ගුණවතී ගුණවර්ධන, ලොරිටා විතාන (යෙන්ටි), බර්නාඩ් පෙරේරා (මෙන්ඩල්), ලොරිටා විතාන , ගුණවතී ගුණවර්ධන (ෂැන්ඩල්), නන්ද විතාන (මෝඩ්කා), සිරිල් ආරියපාල (අව්රම්) අතුළු නළු නිළියෝ රඟපෑහ. "සිරිත් විරිත් හෙවත් රටකින් රටකට" නාට්‍යය විශිෂ්ට නිර්මාණය ලෙස ජනාධිපති සම්මානයෙන්ද හොඳම පරිවර්තන නාට්‍යය (චූලා කාරියවසම්), හොඳම නිෂ්පාදනය (චූලා කාරියවසම්), හොඳම සංගීතය (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස) යන අග්‍රාමාත්‍ය සම්මානවලින්ද පිදුම් ලැබීය. ජීවිතය , ආදරය , සිනහව, ජය, පරාජය ඔස්සේ සංගීතමය නව්‍ය අනුභූතියක් සහෘදයාට ලබා දුන් නාට්‍යයක් ලෙස "සිරිත් විරිත්" විචාරක පැසසුමට බඳුන් විය. විශේෂයෙන් මෙහි චූලා කාරියවසම්ගේ, සෝමලතා සුබසිංහගේ සහ ගුණවතී ගුණවර්ධනගේ යථාර්ථවාදී රඟපෑම් එකල බොහෝ විචාරකයෝ අගය කළහ. යුදෙව් - සිංහල ජන කොට්ඨාසවල සමාන ලක්ෂණ මේ නාට්‍යයෙන් ඉස්මතු වූ බැව් පෙනේ. විවාහ සිරිත්, වැඩිහිටියන්ට ගරු කිරීම ආදිය ඉන් ප්‍රමුඛ වේ. අනෙක් අතට මෙහි චූලා රඟපෑ පියාගේ චරිතය මුහුණ දෙන ගැටලු ලොව ඕනෑම රටක, ගමක ජීවත් වන පියකු මුහුණ දෙන සිදුවීම්ය.
චූලා කාරියවසම් ප්‍රසිද්ධ වේදිකාවට ප්‍රවිෂ්ට වූයේ ආචාර්ය හෙන්රි ජයසේනගේ හඳුන්වාදීමෙන් "මනරංජන වැඩවර්ජන" (1966) නාට්‍යයෙහි රඟපෑමෙනි. පසුකාලීනව එනම් 1978 චුලා "මනරංජන වැඩවර්ජන" නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් එදා මෙහි හෙන්රි රගපෑ වෙඩිකාර සිල්වාගේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය. ඔහු මුල් නිෂ්පාදනයේ මානෙල් ජයසේන රඟපෑ චරිතය උදෙසා රම්‍යා වනිගසේකර තෝරා ගත්තේය. ආචාර්ය හෙන්රි ජයසේනගේ "හුණුවටයේ කතාව" නාට්‍යයෙහි ෂව්වාගේ භූමිකාව 1967 සිට මේ දක්වා නිරූපණය කරමින් චූලා ඉතිහාසගත වාර්තාවක් තැබුවේය. එසේම ඔහු රඟපෑ නාට්‍ය අතර ආචාර්ය හෙන්රි ජයසේනගේ "ජනේලය" (පරපුටුපාල), "මකරා" (පූසා), "අපට පුතේ මඟක් නැතේ" (විශ්වවිද්‍යාල ශිෂ්‍යයා), කිංස්ලි දිසානායකගේ "නටත් අයෙක් සුරා මතින්", ධර්මදාස කුරුප්පුගේ "සේනක නාඩගම" (බහුබූත) යනාදිය කැපී පෙනේ.
මතු සම්බන්ධයි...