“මිනිස්සු ඔක්කොම බඳින්න ඕනෑ ගැහැනියක් මම”

අප්‍රේල් 28, 2022

 

ගුණසේන ගලප්පත්ති සූරීන් තම "ලියතඹරා" නාට්‍යයෙහි නළු නිළියන් හැසිරවීමෙදී තත්විධ රූපණ න්‍යාය (Theory of method acting) ) උපයුක්ත කොට ගත් බැව් පෙනේ. සැබැවින්ම සෝමලතා සුබසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සමන් බොකලවෙල, මාලිනි ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු ආදී කෘතහස්ත නළු නිළියන් මුල්වරට තත්විධ රූපණ න්‍යාය අරභයා දැනුම ලබා ගනිමින් එකී දැනුම ප්‍රායෝගිකව භාවිත කළේ ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ උපදේශකත්වයෙන් බැව් පැවසීම යුක්ති යුක්තය.

ලන්ඩනයේ වේදිකාගත කළ ප්‍රථම සිංහල නාට්‍යය ලෙස ඉතිහාස ගත වනුයේ නාමෙල් වීරමුණි විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන ලද "නැට්ටුක්කාරි" (1970) ය. එංගලන්තයේ වෙසෙන විචාරකයෝ පවා මෙය සඳහන් කළහ. 1976 වසරේදී මෙය ලන්ඩනයේ වේදිකාගත කෙරිණ. මේ වූ කලී ප්‍රංශ ජාතික ප්‍රකට නාට්‍යවේදී ෂාන් අනුයිගේ "Colombe"  (1951) නාට්‍යයේ පරිවර්තනයකි. "නැට්ටුක්කාරි" ශෝකාන්ත සුඛාන්ත (Tragi comedy) වර්ගයේ නාට්‍යයක් ලෙස හැඳීන්වීමෙහි වරදක් නැත. මෙකල ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වන නාමෙල් වීරමුණි මේ අරභයා 2009 දී මා සමඟ මෙසේ කීවේය.

"මෙය සදාතනික කතාවක්. ෂාන් අනුයිගේ Colombe"  නාට්‍යයේ සම්පූර්ණ පරිවර්තනයක්. මේ නාට්‍යයේ පෙළ කියවා බැලුවත් හිනා යන බව බොහෝ දෙනා පැවසුවා. මෙය ශෝකාන්තයක් වුණත් සුඛාන්තයක් මඟිනුයි එය කියවෙන්නේ. පොදුවේ ගත්තම ප්‍රේමය සදාකාලික නැති බව මෙහි කුළුගැන්වෙනවා. සමහර තැන්වලදී අපේ රුක්මණි දේවියගේ චරිතයට සමාන භූමිකාවක් තමයි මේ නාට්‍යයට පාදක වී තිබෙන්නෙ."

මෙහි පිටපත කියවා බලද්දී නාමෙල්ගේ සිතට නැඟුණේ රුක්මණි දේවියයි. මෙහි මැඩම් ඇලෙක්සැන්ඩ්‍රාගේ ප්‍රධාන නිළි චරිතයට ඔහු මුලින් රුක්මණි තෝරා ගැනීමට හේතු වූයේද මේ සාම්‍යය බැව් පෙනේ. ඒ අනුව ඇය මෙහි පුහුණුවීම් දෙකකටද සහභාගි වූවාය. ඒ යුගයේ හැටියට (1970) මීගමුවේ සිට රුක්මණි මේ නාට්‍යයට සහභාගි කරවා ගැනීමට නාමෙල් හට රුපියල් 40 ක මුදලක් ගෙවීමට සිදු විය. එහෙත් මේ මුදල නාමෙල් හට ගෙවීමට අපහසු බව ඇයට වැටහිණ. රුක්මණී නිහතමානීව වෙනත් නිළියකට ඉඩ දෙමින් නාට්‍යයෙන් ඉවත් වූවාය. නාමෙල් ඉන්පසුව ඈ රඟපෑ මැඩම් ඇලෙක්සැන්ඩ්‍රාගේ චරිතයට සෝමලතා සුබසිංහ තෝරා ගත්තේය. රුක්මණි දේවියගේ මතුනොව ලොව සෑම කලාකරුවකුගේම කලාකාරිනියකගේම ජීවිතයේ ඉහළ නැඟීම් සේම පල්ලම් බැසීම්ද දක්නට ලැබිණ. "මනුතාපය" ලෙස සිංහලට නැඟුණු වික්ටර් හියුගෝගේ "Les Miserables"   නම් වූ සුප්‍රකට නවකතාවෙහිද මෙකී යථාර්ථය හෙළි වේ."නැට්ටුක්කාරි" නාට්‍යයෙන් විවරණය කෙරෙනුයේ මෙවැනි ජීවිතයක් ගැනය.

සෝමලතා සුබසිංහ, නාමෙල් වීරමුණි, ප්‍රේමා ගණේගොඩ, උපාලි අත්තනායක, විමල් කුමාර ද කොස්තා, මාලිනි වීරමුණි, වික්‍රම බෝගොඩ, පියසේන අහංගම, ජයන්ත කරුණාරත්න, ධම්ම ජාගොඩ, ජී.ටී.වික්‍රමසිංහ, සිරිල් වික්‍රමගේ, ලයනල් ප්‍රනාන්දු , දයා තෙන්නකෝන්, රංජිත් යායින්න, යසී රාමවික්‍රම යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. වේදිකා පරිපාලනයෙන් ඩබ්ලිව්.ජයසිරිත් සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයනුත් මීට දායක වූවෝය. නාමෙල් වීරමුණි විදෙස්ගත වීමට ප්‍රථම මෙහි දර්ශන වාර 250 ක් පමණ රඟදැක්වීමට හැකි විය. ඔහු 2009 වසරේදී "නැට්ටුක්කාරි" නැවත නිෂ්පාදනය කළ අතර එහි මාලිනී වීරමුණි, සහන් රන්වල, සුරංගි කෝසල, රුවන් වික්‍රමසිංහ, සැනට් දික්කුඹුර, දයා තෙන්නකෝන්, විශාඛා ජයවීර, අනුෂා දිසානායක, දීපානි සිල්වා, අනිල් විජේසිංහ යනාදීහු රංගනයෙන් දායක වූහ. 1976 වසරේ ලන්ඩනයේදී මෙය වේදිකාගත කළ අවස්ථාවේ මාලිනි වීරමුණි, ප්‍රේමා ගණේගොඩ, ඩග්ලස් රණසිංහ, නදී රත්නායක, ටෝනි වික්‍රමසිංහ, විල්ෆ්‍රඩ් පෙරේරා, පර්සි අබේසේකර, ආනන්ද චන්ද්‍රසේකර, එඩ්මන් ජයසිංහ ආදී එවක ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෝ රංගනයෙන් දායක වූහ. "නැට්ටුක්කාරි" වූ කලී විචාරක පැසසුම් ලැබූ නාට්‍යයකි. මේ නාට්‍යයට හිමි වූ විචාරක ඇගැයුම් අරභයා නාමෙල් වීරමුණි වරක් මා සමඟ මෙසේ කීවේය.

"මං නිර්මාණය කළා 'සකල බුජං පැනලා ගිහින්' (1967) නමින් අනුවර්තන නාට්‍යයක්. මෙහි රඟපෑවේ සුගතපාල ද සිල්වාගේ 'අපේ කට්ටිය' ට අයත් නළු නිළියෝ. ඔවුන් නාට්‍යය පුහුණු වන අතරතුර සුගත්ගෙනුත් උපදෙස් ගත්තා. නාට්‍යකරුවන් දෙදෙනකුගෙන් උපදෙස් ගත්තොත් නාට්‍යය සාර්ථක වෙන්නේ නැති බව මා දැන සිටියා.මන්ද සුගත්ගේ ශෛලියට වඩා මගේ ශෛලිය වෙනස්. මේ නාට්‍යය අසාර්ථක වුණා. නිහාල් රත්නායක එදා"Daily News"  පුවත්පතේ පොල් ගෙඩි අකුරෙන් මෙය 'අසාර්ථක නාට්‍යයක්' යැයි ලිව්වා. මා නිහාල් හමුවී ඔහුව බදාගෙන 'ඔබ කී දේ සත්‍යයක්' බව කීවා. ඊළඟට මා 'නැට්ටුක්කාරි' නිර්මාණය කළා. නිහාල් රත්නායක එය නරඹා ඉතා සතුටෙන් මාව බදාගෙන ' you have done it now'  යැයි අගය කළා."

1970 පෙබරවාරි 5, 6, 10 දිනවල කොළඹ ලුම්බිණි රඟහලේ දී " නැට්ටුක්කාරි" මුල්වරට වේදිකාගත කෙරිණ. සෝමලතා සුබසිංහ එතෙක් නිරූපණය කළ චරිත අතර මෙහි මැඩම් ඇලෙක්සැන්ඩ්‍රා වෙනස් මඟක් ගත් බැව් පෙනේ. විශිෂ්ට ගණයේ නිළියක වූ මැඩම් ඇලෙක්සැන්ඩ්‍රා අසාමාන්‍ය ගති පැවතුම් ඇති ස්ත්‍රියකි. ඇය සාටෝපවත් දිවියක් ගෙවන්නියකි. එසේම ඇය සමාජයේ පුහු හරයන් අගය කරන්නීය. තම ජීවන දෘෂ්ටිය අන්‍යයන් මත පැටවීමටද ඇය උත්සුක වන බැව් පෙනේ. අපරදිග සංස්කෘතිය තුළ අඹුසැමි ප්‍රේමය එක් අතකින් මේ නාට්‍යයෙන් විවරණය කෙරේ. මැඩම් ඇලෙක්සැන්ඩ්‍රාගේ වැඩිමහල් පුතු ජූලියන්‍ (උපාලි අත්තනායක) තම මවගේ ක්‍රියා, මතවාද ප්‍රතික්ෂේප කරයි.එහෙයින් ඇයට ඔහු පිළිබඳව ඇත්තේ අප්‍රසාදයකි.තම දෙටු පුත් ජූලියන්ගේ බිරිඳ වූ කොළොම්බි (ප්‍රේමා ගණේගොඩ) හා තම කනිටු පුත් පෝල් (වික්‍රම බෝගොඩ) අතර අනියම් සබඳතාවක් ඇති කිරීමට මැඩම් ඇලෙක්සැන්ඩ්‍රා රුකුල් දෙන්නීය.මැඩම් ඇලෙක්සැන්ඩ්‍රාගේ විවාහ ජීවිතයත් ජූලියන්ගේ විවාහ ජීවිතයත් අතර සිදුවීම් පෙළක් මේ නාට්‍යයට වස්තු විෂය වී ඇත. මැඩම් ඇලෙක්සැන්ඩ්‍රා ලෙස ශූර චරිත නිරූපණයක යෙදෙන සෝමලතා සුබසිංහ පවසන මේ දෙබස් ඛණ්ඩවලින් ඇයගේ ජීවන දැක්ම, ආකල්ප හෙළි වේ.

ඇලෙක්සැන්ඩ්‍රා (සෝමලතා සුබසිංහ) - උඹ හිතන්නෙ මං කවුරු කියලද ? මගේ තත්ත්වයේ හැටියට ආදරවන්තයෝ කියන මිනිස්සු ඔක්කොම බඳීන්න ඕනෑ ගෑනියෙක් මම. ඒ විතරක් නොවෙයි, මං එක මිනිහෙක් දෙපාරක්ම බැන්දා.මිනිහා මහ දානපතියෙක්. එක සැරයක් මිනිහව බැන්දෙ එයාගේ අම්මා මැරුණට පස්සෙ. අනිත් සැරේ තාත්තා මැරුණට පස්සෙ.

ඇයි උඹලා හැම වෙලාවෙම හිතන්නෙ ආදරය කියන එක සදාකාලික එකක් කියල. මුළු ජීවිතේටම ආදරේ කරනවයි කියන එකේ තේරුම මොකද්ද ? මෝස්තර වෙනස් වෙනකොට අපේ ඇඳුම් පැලඳුම් වෙනස් වෙනව. අපි ගෙයකින් තවත් ගෙයකට මාරු වෙනව.පලතුරු කුණු වෙනවා. මල් පරවෙලා යනව....දොස්තර කියනව කාලයක් යනකොට අපේ ඇඟේ එක කෝෂයක් වත් ඉතිරිවෙන්නෙ නැතිලු, වෙනස් වෙන්නෙ නැතිව. අපි ඉපදිච්ච දා ඉඳලා අපි වෙනස් වෙනව. දිරාපත් වෙනව. ඒ උණත් අපි බලාපොරොත්තු වෙනව ආදරය කවදාවත් වෙනස් වෙන් නැතිව පවතීවි කියල. ස්කෝලෙදිද , එහෙම නැත්නම් ඔය ළාමක නවකතාවලද ? උඹලගෙ මොළ පිරිල තියෙන්නෙ ළාමක ප්‍රේම කතාවලින්. ඒ නිසා උඹලාට මතක නැතිවෙලා ජීවත් විය යුත්තේ කොහොමද කියල. මං අවුරුදු පහළොවේදී ජීවත් වෙන්න පටන් ගත්තෙ කොහොමද කියල උඹලගේ තාත්තා ඉගෙන ගත්ත නම් කවදාවත් එයා මෝඩයෙක් වගේ ප්‍රේමයට දිවි පුදන්න යන්නෙ නැහැ....."

 

මතු සම්බන්ධයි...