වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
තුන් කොන් පෙමින් බැට කෑ සරා සහ ජෙසිකා

ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ "මූදු පුත්තු" නාට්‍යයෙහි සරා ලෙස සෝමලතා සුබසිංහ රඟපාද්දී ඇයගේ සැමියා තේගිරිස් ලෙස සිරිල් වික්‍රමගේද ඔහුගේ සොහොයුරු දියෝනිස් ලෙස නෙල්සන් කරුණාගමද සිලිනා ලෙස දෙනවක හාමිනේද රංගනයෙන් දායක වූහ. මෙහි සරාගේ භූමිකාව පසුකාලීනව විවිධ ප්‍රතිභාපූර්ණ නිළියන් රඟපෑ නමුදු මුල්වරට ඊට සෝමලතා සුබසිංහ දුන් රූපණ අර්ථකථනය සහෘද සිත් හි සදානුස්මරණීයව රැඳී තිබේ.
සරා (සෝමලතා සුබසිංහ) - උඹලට කොච්චර කිව්වත් මේව තේරෙන්නේ නෑ මල්ලියේ. උඹත් ගෑනියෙක් වෙලා ඉපදුණා නම් උඹටත් මං විඳීන දුක තේරේවි. බලාපන් මගේ ඇඟ දිහා... උකුළ දිහා.... මොනව හරි අඩුපාඩුවක් උඹට පේනවයි ? මේ උකුළෙන් දරුවො කී දෙනෙක් බිහි කරන්න පුළුවන්ද ? දරුවො කී දෙනෙකුට කිරි දෙන්න ලේ මේ ඇඟේ තියෙනවද ? දීග ගිය ගෑනියෙකුට ළමයි හම්බ නූණොත් ඇඟේ තියෙන ලේ විස වෙනවලු !"
සෝමදාස ඇල්විටිගලයන්ගේ සුමධුර සේම සදානුස්මරණීය සංගීතය ඔස්සේ "මූදු පුත්තු" හිදී සෝමලතා සුබසිංහ නම් ගායන ශිල්පිනියද ඉස්මතු වූ බැව් පෙනේ. පසුකලක ඇය මෙහි නව නිෂ්පාදනයක් වේදිකාවට තිළිණ කළාය.
ගුණසේන ගලප්පත්ති ස්වකීය "ලියතඹරා" නාට්‍යයේ (1967) ජෙසිකාගේ භූමිකාවෙන්ද සෝමලතාවන්ගේ රූපණ කුසලතා උරගා බැලුවේය. මේ වූ කලී ප්‍රංශ ජාතික ෂාන් පෝල් සාත්‍රේගේ "ඹ්ඥඵ ථචඪදඵ ඵචතඥඵ" (ච්ඪපබර ඩ්චදඤඵ) (1948) නාට්‍යයේ අනුවර්තනයකි. මෙහි අනුවර්තනය ගුණසේන ගලප්පත්ති විසින්ම සිදුකරන ලදි. සෘජුවම දේශපාලන තේමාවක් රැගත් පළමු සිංහල නාට්‍යය ලෙසද "ලියතඹරා" කැපී පෙනිණ. ආණ්ඩු පක්ෂය හා ජනතා පක්ෂය ලෙස හැඳීන්වෙන දේශපාලන පක්ෂ දෙකක් අතර ගැටුම "ලියතඹරා" නාට්‍යයේ වස්තු විෂය විය. සෝමලතා සුබසිංහ ජෙසිකා ලෙසත් සතිස්චන්ද්‍ර එදිරිසිංහ හියුගෝ ලෙසත් සමන් බොකලවෙල නිකලස් ලෙසත් මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වය නිරූපණය කළහ. සැබැවින්ම ඔවුන් මේ චරිත ත්‍රිත්වය ශූර ලෙස නිරූපණය කළ බව සත්‍යයකි. ජෙසිකාගේ භූමිකාවෙහි ඉසියුම් තැන් සූක්ෂ්ම ලෙස ඉස්මතු කරමින්, සාත්වික අභිනයෙන් මනෝභාවයන් බහුලව පළ කරමින් සෝමලතා මෙහි කළ රංගනය විචාරක පැසසුමට බඳුන් විය.එසේම සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ හා සමන් බොකලවෙලගේ රූපණ කෞශල්‍යය බොහෝ විචාරකයෝ පසක් කොට ගත්හ. මෙහි ඔල්ගා නමැති චරිතය මාලිනි ෆොන්සේකාත් නීටා ප්‍රනාන්දුත් මිරැන්ඩා හේමලතාත් වරින් වර රඟපෑහ. නාට්‍යයෙහි මුඛ්‍ය දේශපාලන සිදුවීම්වලට ජෙසිකාගේ සෘජු සබඳතාවක් නොමැති වුවත් ඇගේ සැමියා වූ හියුගෝගේ (සතිස්චන්ද්‍ර එදිරිසිංහ) දේශපාලන ක්‍රියාකාරකම් ඔස්සේ ඇය ඊට එක් වන්නීය. නිකලස් (සමන් බොකලවෙල) වාමාංශික දැක්මක් ඇති දේශපාලන පක්ෂ නායකයෙකි. හියුගෝගේ බිරිඳ ජෙසිකා නිකලස්ට පෙම් කරන්නීය. හියුගෝ ධනපති පන්තියට අයත් වූයෙකි.
" මහත්තයාට බඩගින්න දැනිලා තියෙනවාද ? " වරක් මුරකරුවෙක් ඔහුගෙන් විමසන්නේය. හියුගෝ ඊට දෙන පිළිතුරෙන් පොදුජන දුක නොහඳුනන ධනපති පන්තියේ දේශපාලනඥයකුගේ ස්වරූපය හෙළි වේ.
"මට බඩගින්න දැනිලා නෑ. මගේ මමී මාව තුරුලු කරන් කටට මෝර තෙල් වක්කෙරුවා"
වරක් නිකලස් , හියුගෝගේ නිවසට පැමිණේ. ඔහුට එහිදී හියුගෝගේ පොත් රාක්කය දකින්නට ලැබේ. නිකලස් එහි තිබෙන පොත් දෙස තම අවධානය යොමු කරයි. ෆ්‍රිඩ්රිච් හේගල්, කාල් මාක්ස්, ටී.එස්.එලියට්, ෆ්‍රෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා ආදීන්ගේ පොත් එහිදී ඔහුට එක පෙළට දක්නට ලැබේ.
"හේගල් හා මාක්ස් ගැන මං හොඳට දන්නවා.එත් කවුද මේ එලියට් සහ ලෝකා" නිකලස් , හියුගෝගෙන් විමසා සිටී.
"එලියට් සහ ලෝකා සුප්‍රකට කවියන්"
හියුගෝ පවසයි. නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති මෙමඟින් ව්‍යංග්‍යාර්ථයෙන් කුළුගැන්වූයේ මෙරට බහුතරයක් දේශපාලකයන්ට සාහිත්‍ය කලාව අරභයා කිසිදු දැනුමක් නොමැති බව නොවේද ? ඒනිසාම ඔවුන්ට මානුෂික සබඳතා ,හැඟීම් වටහා ගැනීමට අසීරු බවටද මෙහිදී ඉඟි කෙරේ.පොත් රාක්කය අසල තිබෙන මේසය මත කඩදාසියක කවියක් ලියා තිබෙනු ඉක්බිතිව නිකලස් දකී. ඔහු එය අතට ගෙන කියවයි.
"සතතින් පවන් අඹ කොළ බුදින තවසර
දැහැනින් මිදෙන දුට ලෙළ දෙන ලියතඹර"
"මේ හියුගෝ ලියපු කවියක්ද ? "
යැයි නිකලස් විමසත්ම මෙකල මෙන් නොව 60 දශකයේ ඇසු පිරූ තැන් ඇති ප්‍රේක්ෂකයන් බහුතරයක් සිටි බැවින් ප්‍රේක්ෂකාගාරයෙන් සිනා හඬ ඇසිණ. ඊට හේතුව මෙය අලගියවන්න මුකවෙටි තුමාගේ "සුභාෂිතය" හි එන කවියක් බව එකල බහුතර ප්‍රේක්ෂකයෝ දැන සිටියහ. එහෙත් නොදන්නා අයද සිටිය හැකි බැවින් නාට්‍යවේදියා පසුව මේ දෙබස් ඛණ්ඩය හියුගෝගේ මුවට නංවයි.
"නැහැ මේ කවිය මං ලියපු එකක් නෙවෙයි, සුභාෂිතයේ එන කවියක්"
මෙරට බහුතරයක් දේශපාලනඥයන්ගේ සාහිත්‍ය කලා දැනුම ගැන කියනුම කවර ?
නාට්‍යයෙහි "ලියතඹරා" යන නාමකරණය පිළිබඳවද මෙහිදී ඉඟි කෙරේ.හිමාලයේ භාවනානුයෝගීව වෙසෙන තවුසන්ගේ දැහැන බිඳීන්නා වූ ලියතඹරා මල වූ කලී බාහිර පෙනුමෙන් නිරුවත් ලියක සදිසිය.
හියුගෝට තම පක්ෂය මඟින් නිකලස් ඝාතනය කිරීමේ කාර්ය පවරා ඇත.ස්වකීය සැමියා වූ හියුගෝගෙන් මේ අබිරහස ජෙසිකා දැන ගනී.
තම පෙම්වතා වූ නිකලස් මරා දමන්න එපා යැයි සෘජුවම ඇයැදීමට ඇයට නොහැකිය. හියුගෝ වරෙක ජෙසිකාට ගීයක් ගැයීමට පවසද්දී ඇය ගයන මේ ගීයෙහි ව්‍යංග්‍යාර්ථයෙන් හෙළිකෙරෙනුයේ පරපණ නැසීමේ දුර්විපාක සහ ආදිනවය බැව් පෙනේ.
'එළු දෙනකුගේ
හිස කපාලූ අඟනක්
ඇගේ මාංශාභිලාෂයෙන්
ජාති ජාති හිස් කැපුම්
ලැබූ සේ
එළුදෙන කැපූ විලාසේ"
මේ ගීතමය ජවනිකාව ඉදිරිපත් කිරීමේදී නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති වරෙක අපූර්ව උපක්‍රමයක් යෙදූ බැව් මා හට පැවසුවේ ප්‍රවීණ රූපණවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සූරීන්ය.එය නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වූ රාත්‍රියයි. "ලියතඹරා" නාට්‍යය සංගීතවත් කරන ලද්දේ සෝමදාස ඇල්විටිගලයන් විසිනි. යථෝක්ත ගීතය ඔහු මඳක් උච්ච ස්වරයෙන් නිර්මාණය කොට තිබිණ. එය සෝමලතා සුබසිංහ හට ගායනා කිරීම එතරම් පහසු නොවීය. කොළඹ ලුම්බිණි රඟහලේ දී සවස මංගල දර්ශනය පැවැත්වෙද්දී නන්දා මාලිනිය වේදිකාව පසුපසට එනු නළු නිළියෝ දුටුවෝය.ඇය මෙහි භූමිකාවක් නිරූපණය කරන්නේදැයි ඔවුහු විමතියෙන් බැලූහ. ගුණසේන ගලප්පත්ති යථෝක්ත ජවනිකාවෙහි සුළු වෙනස්කමක් සිදු කළේය.එනම් අදාළ ජවනිකාවේදී හියුගෝ මෙසේ කියයි.
"ජෙසිකා අර ගීතය ගයන්න"
ඇය ඒ ගීතය ගන්නට සූදානම් වෙත්ම
"පොඩ්ඩක් ඉන්න ජෙසිකා , ඊට කලින් නිවන්න අර ලයිට් එක " හියුගෝ ඇයට පවසයි.ඒ අනුව ඇය විදුලි පහන නිවා දමයි.දැන් ප්‍රේක්ෂකයාට ඇය පෙනෙන්නේ නැත. ස්ථාන ආලෝකකරණය (ඉනධබ තඪඨඩබ) හියුගෝ ලෙස රඟන සතිස්චන්ද්‍ර එදිරිසිංහ වෙත පමණක් යොමු වී ඇත.ජෙසිකා ලෙස රඟන සෝමලතා සුබසිංහ අඳුරෙහි වේදිකාවෙන් ඉවත් වී යන අතර ඒ වෙනුවට නන්දා මාලිනිය පැමිණෙයි.ඇය සෝමලතා වෙනුවෙන් ගීතය ගයන්නීය.ගීතය ගැයීමෙන් පසුව එය අගය කරන හියුගෝ මෙසේ කියයි.
"දාන්න අර ලයිට් එක"
විදුලි පහන දැල්වීමට පෙර නන්දා මාලිනී ඉවත් වී සෝමලතා සුබසිංහ අදාළ ස්ථානයෙහි රැඳී සිටින්නීය.එහෙත් මේ උපක්‍රමය අනුගමනය කළ හැකි වූයේ රාත්‍රී දර්ශනවලදී පමණි.එහෙයින් සෝමලතාටම මේ ගීතය ගැයීමට සිදුවිය.
නාට්‍යයෙහි අවසාන ජවනිකාවේදී තම පක්ෂයේ නියෝගය අනුව හියුගෝ පිස්තෝලයක් රැගෙන නිකලස් ඝාතනය කිරීමට ඔහුගේ නිවසට යයි. ඒ වන විට ජෙසිකා තම පෙම්වතා වූ නිකලස්ට මේ බව දැනුම් දී තිබේ. නිවසට පැමිණෙන හියුගෝව සුහදව පිළිගන්නා නිකලස් ඔහුට කෝපි රැගෙන ඒම සඳහා පිටුපසට හැරී පිටව යෑමට සැරසෙත්ම තම සාක්කුවේ තිබුණ පිස්තෝලය, වෙවුලන අතින් ගෙන හියුගෝ ඔහුට වෙඩි තැබීමට උත්සුක වුවත් ඔහුට එය කළ නොහැකිය. නිකලස් ඝාතනය කිරීමට තරම් දැඩි සිතක් හියුගෝට නොමැත. හියුගෝ සැරසෙන්නේ කුමකටදැයි කලින් දැන සිටින නිකලස් තමා සියල්ල දන්නා බව හියුගෝ හට පවසයි. හියුගෝ මේ නිසා දැඩි අපහසුතාවකට පත්වේ.නිකලස්ට මුහුණ දිය නොහැකි වූ ඔහු මඳ වේලාවක් නිවසේ එළිමහනට යෑමට අවසර පතයි.මේ අතර නිවසේ ජනේලෙන් පැන එන ජෙසිකා "හියුගෝ ආවාද ?" යැයි අසන්නීය.
"ඔයාගේ මහත්තයා ඉන්නවා ජෙසිකා" යැයි නිකලස් ඇයට පවසන්නේ ව්‍යංග්‍යාර්ථවත් ප්‍රේමාවනද්ධ බසකිනි.නිකලස් සහ ජෙසිකා මෙහිදී එකිනෙකා වැලඳ ගන්නා බව ප්‍රේක්ෂකයාට ඉඟි කෙරේ. මිදුලේ සිට නිවසට පැමිණෙන හියුගෝගේ දෘෂ්ටි පථයට හසුවනුයේ සිය බිරිඳ වැලඳගෙන සිටින නිකලස්ය. ලියතඹරා මල දැක දැහැනෙන් මිදෙන තවුසකු පරිද්දෙන් හියුගෝගේ ප්‍රකෘති ස්වභාවය වෙනස් වේ.ඔහු කෝපාවිෂ්ට වී පිස්තෝලය අතට ගනී.පිස්තෝලය අතට ගනිද්දී පෙර සේ ඔහු වෙවුලන්නේ නැත.
පිස්තෝලය නිකලස් වෙත දිගු කරන හියුගෝ කෝපයෙන් මෙසේ පවසයි.
"මං මෙච්චර කලක් හිතාගෙන හිටියේ තමුසේ බෝධිසත්වයෙක් ,සිංහයෙක් කියලා.බලනකොට තමුසෙ නරියෙක්."
හියුගෝ ඔවුන් වෙත වෙඩි තුනක් තබයි.
"ලියතඹරා" වූ කලී එකල ප්‍රේක්ෂක විචාරක උභය පාර්ශ්වයේ ඇගැයුමට ලක් වූ නාට්‍යයකි.දේශපාලන ගැටුම් ඉක්ම වූ මානුෂික ගැටුම් අරභයා මෙහිදී නාට්‍යවේදියාගේ අවධානය ඉසියුම් ලෙස යොමු වනු දක්නා ලැබේ. එවක නව යොවුන් වියෙහි සිටි ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මේ නාට්‍යයෙහි නිෂ්පාදන සහයකයකු වූ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න පෙළ මතක් කරන්නා හෙවත් කටේ ගුරාගේ (ර්‍ථපධථනබඥප) කාර්යය ඉටු කළ බැව් අමතක නොකළ යුතුය. සෝමලතා නිරූපණය කළ , ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ "මූදු පුත්තු" හි පහළ පන්තියේ ධීවර පසුබිමක සරා සහ "ලියතඹරා"හි නාගරික , ධනේශ්වර පසුබිමක ජෙසිකා එකිනෙකට වෛෂම්‍ය ස්ත්‍රී භුමිකා වූවත් වරෙක එහි සාම්‍යයක්ද දිස් වේ යයි මට සිතේ. එනම් සරා සහ ජෙසිකා යන දෙදෙනාම පිරිමින් දෙදෙනකුගේ ප්‍රේමයට මැදිවී අවසන ශෝචනීය ඉරණමකට ගොදුරු වන ස්ත්‍රීහු වෙත්.
(මෙහි ඇතැම් සේයා රූ උපුටා ගනු ලැබුවේ ප්‍රසන්නජිත් අබේසූරිය විසින් රචනා කරන ලද "සෝමලතා සුබසිංහ රංග කලා කාර්ය සාධනය" කෘතියෙනි.)
මතු සම්බන්ධයි...