හාස්‍යයට මුසු කළ කඳුළ

අප්‍රේල් 7, 2022

 

වේදිකාවේ මඳ කලක නිහැඬියාවකින් පසුව දුලීකා මාරපන නැවතත් ඊට ප්‍රවිෂ්ට වූයේ "ලෝරන්ස්ගේ මනමාලි" (2014) නාට්‍යය සමඟිනි. ඇය මෙතෙක් චරිත නිරූපණය කළ නාට්‍යවලට වඩා මෙහි ආකෘතිය, අන්තර්ගතය සේම එය නියෝජනය කළ ධාරාවද වෙනස් විය. මේ වූ කලී ජනප්‍රිය ධාරාව නියෝජනය කළ නාට්‍යයකි. දීර්ඝ නාට්‍යයක් වීමට පෙර මෙය කෙටි නාට්‍යයක් ලෙස එළිදුටුවේය. එහි පසුබිම මෙසේය. සුප්‍රකට රංග ශිල්පී රංජිත් සුරංග , රත්මලානේ ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සේවය කළ සමයේ (2007) එමඟින් කෙටි නාට්‍ය උත්සවයක් වාර්ෂිකව සංවිධානය කළේය. එය මරදානේ එල්ෆිනිස්ටන් රඟහලේ උත්සවශ්‍රීයෙන් පැවැත්විණ."නළ ජලය එදිනෙදා ජීවිතයට අවශ්‍ය බව" එහි තේමාව විය. මේ තේමාව යටතේ හේමන්ත ප්‍රසාද් නම් වූ සුප්‍රකට නාට්‍යවේදියා "ලෝරන්ස්ගේ මනමාලි" මැයෙන් කෙටි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේය. එහි ඔහු රංගනයෙන් දායක නොවූ අතර සරත් කොතලාවල, ජයනි සේනානායක හා තුෂාරි සෙනෙවිරත්න රඟපෑහ. ධර්මප්‍රිය ඩයස් මෙහි සුළු චරිතයක් රඟපෑවේය. එකී නාට්‍ය උලෙළේදී "ලෝරන්ස්ගේ මනමාලි" කෙටි නාට්‍යය උදෙසා හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය සහ හොඳම පිටපත යන සම්මාන හේමන්ත ප්‍රසාද් හට පිරිනැමිණ. එපමණකුදු නොව හොඳම නළුවා ලෙස සරත් කොතලාවලත් , හොඳම නිළිය ලෙස තුෂාරි සෙනෙවිරත්නත්, හොඳම සහය නිළිය ලෙස ජයනි සේනානායකත් මේ නාට්‍යය උදෙසා සම්මාන ලැබූහ."ලෝරන්ස්ගේ මනමාලි" මෙසේ සම්මානනීය වූවත් ඉක්බිතිව එය වේදිකාගත නොවූයේ නිශ්චිත තේමාවකට පමණක් නාට්‍යය සීමා වූ බැවිනි. සුප්‍රකට රංග ශිල්පී, නාට්‍යවේදී සුජීව ප්‍රියාල් යද්දෙහිගේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වී ඒ සඳහා සුදුසු පිටපතක් සොයමින් සිටියේය. සුජීව හා හේමන්ත බොහෝ නිර්මාණවලට එක්ව දායක වී තිබිණ. සුජීව හේමන්තගෙන් සුදුසු පිටපතක් අරභයා විමසුවේය. වසර ගණනාවකට පෙර කෙටි නාට්‍යයක් ලෙස බිහිවූ "ලෝරන්ස්ගේ මනමාලි" හි පිටපත යම් වෙනස්කම් සිදු කොට දීර්ඝ නාට්‍යයක් සඳහා නැවත ලිවීමට හේමන්ත ප්‍රසාද් උත්සුක වූයේය."ලෝරන්ස්ගේ මනමාලි" දීර්ඝ නාට්‍යය බිහි වූයේ එහි ඵලයක් වශයෙනි. කෙටි නාට්‍යයේ අවසන් ජවනිකාව පමණක් දිගු නාට්‍යයෙහිද අවසන් ජවනිකාව විය. සෙසු ජවනිකා අලුතෙන් ලියැවිණ. හේමන්ත ප්‍රසාද් 2014 දී "මල්සර බිසව්" මැයෙන් හාස්‍යෝත්පාදක නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ අතර එවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී මේ නාට්‍යය හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත යන සම්මාන සඳහා නිර්දේශ වූයේ කෞශල්‍යා ප්‍රනාන්දුගේ "සඳ ළඟ මරණය" සහ රාජිත දිසානායකගේ "වීරයා මැරිලා" යන නාට්‍ය යුගල සමඟිනි. එක් අතකින් හේමන්තගේ "ලෝරන්ස්ගේ මනමාලි" පිටපත මෙහි දිගුවක් ලෙස සැලකීමට බැරි නැත. මේ වූ කලී විවාහය ප්‍රමාද වූ කාන්තාවක සහ ඇගේ පවුල වටා ගෙතුණු කතාවක් අන්තර්ගත නාට්‍යයකි.

"ලෝරන්ස්ගේ මනමාලි" අරභයා වරක් එහි අධ්‍යක්ෂ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ මා සමඟ මෙසේ පැවසුවේය.

"මට අවශ්‍ය වුණේ සරල විනෝදාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන ගමන් හරවත් නාට්‍යයක් නිර්මාණය කරන්න. මේ නට්‍යයේ වැඩ අරඹන විට දෙක, තුනක් හැර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් නාට්‍ය දකින්න තිබුණේ නැහැ. ඉතින් මට අවශ්‍ය වුණේ ජනප්‍රිය ධාරාවේ හරවත් විනෝදස්වාදයක් ලබා දිය හැකි නාට්‍යයක් නිර්මාණය කරලා වේදිකාවෙන් බැහැර වූ ප්‍රේක්ෂකයන් යළිත් ඒ වටා රොක් කර ගැනීමට. මා සිතුවා වගේම මෙය ඉතා ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වුණා. මෙය මා රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන බලාගෙන කළ නාට්‍යයක් නොවේ. මෙරටත් විදෙස් රටවලත් ජනතා ආකර්ෂණය දිනා ගත් නාට්‍යයක් නිර්මාණය කිරීමයි මගේ අරමුණ වුණේ. එහෙත් ඒ සඳහා දෙපිට කැපෙන වචන යොදාගෙන අවර ගණයේ බාල, ග්‍රාම්‍ය, විකට නාට්‍යයක් කරන්න මටවත් පිටපත ලියූ හේමන්ත ප්‍රසාද්ටත් අවශ්‍ය වුණේ නැහැ. සරල හාස්‍යෝත්පාදක විනෝදස්වාදයක් සමඟ ජීවිතය ගැන, මානුෂික සබඳතා ගැන , දේශපාලනය හේතුකොට මෙරටට තාරුණ්‍යය මංමුළාවට පත් වෙන ආකාරය ගැන සියුම් ලෙස විවරණය කරන්න මා උත්සාහ කළා. මා දුලීකා මාරපන සමඟ විවාහ වූවාට පසුව අපි දෙන්නා එක්ව දායක වූ පළමු නාට්‍යය මෙයයි. අනෙක ඇය වේදිකාවේ තරමක නිහැඬියාවකින් පසුවයි මේ නාට්‍යයේ රඟපෑවේ. මේ නිසා ඇයට ආදරය කළ ප්‍රේක්ෂකයෝ සජීවී ලෙස ඇගේ රැඟුම් දකින්න කැමැත්තෙන් සිටියා. නාට්‍යය ජනප්‍රිය වෙන්න එයත් හේතුවක්. මේ වන විට දර්ශන වාර 388 ක් අපි පෙන්නුවා. මාසයකට දර්ශන 12,13 ක් විවිධ ප්‍රදේශවල වේදිකාගත කළ අවස්ථා තිබුණා. විදෙස් රටවල් ගණනාවක අපි වේදිකාගත කළා. සමහර දර්ශනවලදී ප්‍රවේශ පත්‍ර නොමැතිව ප්‍රේ‍ක්ෂකයන් පෝලිම් ගැසී සිට්යා. අපි බොහෝ ප්‍රදේශවල හුදු නාට්‍යයක් පෙන්වීමෙන් නොනැවතී ඒ ඒ ස්ථානවල අධ්‍යාපන වැඩමුළු කළා. ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට උපකාර කළා. ඒ වගේ සමාජ මෙහෙවරක් මේ නාට්‍යයෙන් ඉටු වූ බවත් කිව යුතුයි."

2014 අගෝස්තු 13, 14 යන දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී මෙහි මංගල දර්ශනය පැවැත්විණ. දුලීකා මාරපන (ඩේසි), මාලි ජයවීරගේ (ලෝරා), සම්පත් ජයවීර (ප්‍රේම් කුමාර්), හේමන්ත ප්‍රසාද් (මල්සර) , සුජීව ප්‍රියාල් (මෙලෝ) මෙහි රංගනයෙන් දායක වූහ. නාට්‍යය පුරා මතුපිටින් හාස්‍යය දක්නට ලැබුණද මෙහි ව්‍යංග්‍යාර්ථයෙන් ප්‍රේක්ෂකයාට දනවනුයේ ශෝකයකි. වැන්දඹු මව ලෝරා (මාලි ජයවීරගේ) සමාගමක යතුරු ලියන්නියක ලෙස සේවය කරන්නීය. විවාහ වීමට සුදුසු වයස ඉක්මවමින් 32 හැවිරිදි වියෙහි පමණ පසුවන ඇගේ වැඩිමහල් දියණිය ඩේසි (දුලීකා මාරපන) විවාහයක් උදෙසා සිහින මවන්නියකි. ලෝරාගේ පුත් , ඩේසිගේ බාල සොහොයුරු මෙලෝ (සුජීව ප්‍රියාල්) විරැකියාවෙන් සිටින ක්‍රියාශීලී තරුණයකු වන අතර ඇමරිකාව බලා යෑමට වෙර දරන්නෙකි. අවසන ඔහු කොරියාව බලා පිටත් වේ. දරුවන් දෙදෙනාගේ කුදු මහත් කටයුතු ඉටු කරමින් ජීවන බර උසුලන්නිය ලෝරාය. අහඹු දුරකථන ඇතුමකින් ලෝරන්ස් නමැති තරුණයා නිසැකවම තමා විවාහ කොට ගන්නා බවට ඩේසි සිහින මවන්නීය.එහෙත් සැබෑ ජීවිතයේ දී මේ ලෝරන්ස් ඇයට කිසිදා හමු නොවේ. ලෝරන්ස් වූ කලී ඩේසිගේ විවාහ අපේක්ෂාව පිළිබඳ සංකේතයක් වැන්න.මේ නාට්‍යයේ හාස්‍යෝත්පාදක ගැටුම හට ගැනෙනුයේ ආගන්තුක පිරිමින් දෙදෙනකු නිවසට පැමිණීමත් සමඟිනි.ඩේසිගේ ප්‍රේමය පතා පැමිණෙන ප්‍රේම්කුමාර් (සම්පත් ජයවීර) එක් අයෙකි. නිවසෙහි නවාතැන් ගන්නා මල්සර (හේමන්ත ප්‍රසාද්) අනෙක් තැනැත්තාය.ඩේසි මේ දෙදෙනා පටලවා තේරුම් ගැනීමෙන්ද හාස්‍යය මතු වේ. ප්‍රේම්කුමාර් වරෙක නෝංජල් ගති පැවතුම්ද විටෙක කපටි කෛරාටික ලකුණුද ප්‍රකට කරන්නෙකි.මල්සර මැදි වියේ පසුවන්නෙකි.මේ චරිතවල හාස්‍යෝත්පාදක සංවාදවලට ප්‍රේක්ෂකයා සිනාසුණද යටි පෙළෙහි ඔවුන්ගේ අනුවේදනීය ගති සොබා බුද්ධිමත් සහෘදයා වටහා ගනී.දේශපාලන සංස්ථාව හේතුකොට මංමුළා වන, අනාගතය පිළිබඳ අපේක්ෂා දල්වමින්, විරැකියාවෙන් සිටින තාරුණ්‍යයේ ශෝචනීය ඉරණම මෙලෝගේ භූමිකාවේ යටි පෙළෙන් හෙළි නොවේද ? අනෙක් අතට විවාහයට සුදුසු වයස ඉක්මවීමෙන්, ඒ පිළිබඳ සිහින මවන මැදිවියේ කාන්තාවක, එහිදී මුහුණ පාන දෑවැදි ප්‍රශ්නයද නාට්‍යවේදියාගේ අවධානයට යොමු වේ.මෑත භාගයේ සිනමාවෙහිත් තෙල නළුවෙහිත් දුලීකා නිරූපණය කළ භූමිකා හාස්‍යයට බෙහෙවින් නැඹුරු විය.වේදිකාවේ හාස්‍යෝත්පාදක භූමිකාවක් මෑතදී ඇය රඟපෑවේ "ලෝරන්ස්ගේ මනමාලි" නාට්‍යයෙහිය. මෙහි සරල හාස්‍යයට කඳුළක් මතු වූයේ ඇගේ රූපණ කෞශල්‍යය හේතුකොට බව මා අමුතුවෙන් කිව යුතු නොවේ.

 

මතු සම්බන්ධයි...