පුංචිනාගෙන් සුපෝෂිත පොන්ෂියා

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 96 ලිපිය
මාර්තු 31, 2022

වේදිකාවේ දුලීකා මාරපන මෙතෙක් නිරූපිත භූමිකා අතරින් "පොන්ෂියා" වෙසෙස් ආස්ථානයක් ඉසිලීම අරුමයක් නොවේ. මේ වූ කලී ඇගේ ප්‍රතිභානයට ජීවන අනුභුතීන්, ස්වයං නිරීක්ෂණය, ආභාසය, අනුප්‍රාණය හා භාවාත්මක ස්මෘති මැනවින් මුසු වූ සම්මානනීය චරිත නිරූපණයකි. ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "The House of Bernada Alba"  නම් වූ සුප්‍රකට නාට්‍යය මහාචාර්යාණි රංජනී ඔබේසේකර සිංහලයට නැඟුවාය."බර්නාඩාගේ සිපිරිගෙය" ලෙස ඇය 1971 දී මේ නාට්‍යය නිෂ්පාදනය කළාය. ප්‍රියන්ත සිරිකුමාර විසින් 2011 දී "බර්නාඩාගේ සිපිරි ගෙය" නාට්‍යය නිර්මාණය කරන ලද්දේ යථෝක්ත පිටපත ඇසුරෙනි. විවාහ දෙකකින් තමන්ට ලැබුණු දියණිවරුන් දරදඬු ලෙස පාලනය කරන බර්නාඩා ඇල්බාගේ භුමිකාව මෙහි රැඟුවේ කෞශල්‍යා ප්‍රනාන්දු බව සහෘද ඔබට මතක ඇත. පළමු සැමියාට දාව ඇයට ලැබුණු වැඩිමහල් දියණිය අන්ගුස්තියස් (චාන්දනී සෙනෙවිරත්න) නම් විය. ඇයට තම පියාගෙන් ප්‍රමාණවත් ධනයක් උරුම වූ බැව් පෙනේ. එහෙත් බර්නාඩාට දෙවැනි සැමියාගෙන් ලැබුණු දියණිවරුන්ට එනම් මග්දලේනාට (නිල්මිණි බුවනෙක), මාර්ටිරියෝට (චමිලා පීරිස්), එමිලාට (සමාධි ලක්සිරි), සහ ඇඩෙලාට (නදී කම්මැල්ලවීර) එබඳු ධනයක් හිමි වන්නේ නැත. ඔවුන් අතර මේ අරභයා ඇති වූ ගැටුම් නාට්‍යවේදියා මෙහි ඉසියුම් ලෙස විවරණය කරනු දැක්ක හැකිය. මේ වූ කලී මුළුමනින්ම ස්ත්‍රී භූමිකාවන්ට පමණක් සීමා වූ නාට්‍යයකි.

එහෙත් ඔවුහු පුරුෂාධිපත්‍යයෙහි දැවැන්ත සෙවණැල්ලට නතු වූවෝ වෙත්. බර්නාඩාගේ මහලු මව මාරියා ජෝසප්ද (මල්කාන්ති ජයසිංහ) මේ නිවසෙහිම වාසය කරන්නීය. බර්නාඩා තරමටම මේ නාට්‍යයෙහි ප්‍රාබල්‍යයෙන් ඉස්මතු වූ භූමිකාව දුලීකා මාරපන රඟපෑ පොන්ෂියාය. සැබැවින්ම "බර්නාඩාගේ සිපිරිගෙය" සහෘදයාට නවමු අනුභූතියක් ගෙනා නාට්‍යයකි. ඊට හේතුව චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු සහ දුලීකා මාරපන යන මෑත භාගයේ ලාංකේය වේදිකාවේ පහළ වූ රූපණ ධී ශක්තියෙන් අනූන කෘතහස්ත නිළියන් තිදෙනකු කරට කර රඟපාන අයුරු සහෘදයා මෙහිදී දුටු බැවිනි. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළිය ලෙස දුලීකා සම්මානනීය වූවාය. එපමණකුදු නොව හොඳම අධ්‍යක්ෂණය (ප්‍රියන්ත සිරිකුමාර), හොඳම නිෂ්පාදනය (ප්‍රියන්ත සිරිකුමාර) ඇතුළු සම්මාන රාශියකින්ද මේ නාට්‍යය පිදුම් ලැබිණ. දුලීකා නිරූපිත පොන්ෂියා, කුඩා කාලයේ සිට මේ රදල නිවසේ ඇති දැඩි වූ ප්‍රවේණි දාසියකි. සැබැවින්ම ඇය නිවසේ උරුමක්කාරියට වඩා එහි දිග, පළල දන්නා නිල නොලත් හිමිකාරියක වැන්න. තමාටම පවුලක් වෙනම සිටියත් ඇගේ අණසක මේ රදල නිවසෙහි නිල නොවන සේ ඉස්මතු වේ.පොන්ෂියාට මේ නිවසෙහි හිමි වූ බලය බර්නාඩාට පවා වරෙක මර්දනය කළ නොහැකි වේ. ඇය පොන්ෂියාට නතු වන්නීය.

රදල ධනවාදයෙහි ක්ෂුද්‍ර දේශපාලනය, සූරාකෑම මෙහි හෙළි කෙරෙනුයේ පොන්ෂියාගේ භූමිකාව ඔස්සේය. දියණිවරු තම මවට වඩා පොන්ෂියාට සවන් දෙති; නතු වෙති. බාහිර සමාජය වඩාත් ඇසුරු කරන පොන්ෂියා හට මේ දියණිවරුන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම්, ඉච්ඡාභංගත්වය මනාව අවබෝධ වන අයුරු මෙහි දක්නා ලැබේ. ඇයගේ උපකාර, උපදෙස් මේ දියණිවරුන්ට හිමි වේ. එක් අතකින් පොන්ෂියා, බර්නාඩාගේ මියගිය රදල සැමියන්ගේ ලිංගික සූරාකෑමට ලක් වූ බව මෙහි ව්‍යංග්‍යාර්ථයෙන් පළ නොවේද ? කිසිදු පිරිමි චරිතයක් මේ නාට්‍යයේ නොදැක්ක හැකි නමුදු පිරිමින්ගේ ලිංගික සූරාකෑමට හසු වන ස්ත්‍රීත්වය ගැඹුරින් නිරූපණය කෙරේ. මව බර්නාඩා ඇල්බාගේ දරදඬු නීති රීති හේතු කොට කිසිම දියණියකට විවාහ වීමට අවකාශ නොලැබේ. එහෙයින් ඔවුහු ලිංගික තෘප්තිය රහසිගත සබඳතා ඔස්සේ අත්විඳීති. මේ සියලු දේ හී මානුෂිකත්වය වටහා ගන්නිය පොන්ෂියාය. මවගේ දැඩි ක්‍රියාකලාපය හේතු කොට පෙම්වත්තු මොවුන් හැර යති. මවගේ දැඩි නීති රීතිවලට රහසෙන් මේ දියණිවරු පෙම්වතුන් ඇසුරු කරති. අවිවාහක බාල දියණිය පෙම්වතකුට දාව දරුවකු ලැබ හුදෙකලා වන්නීය. දුලීකා පොන්ෂියාගේ භූමිකාවට මෙතරම් ශූර ලෙස පණ පෙවීමේ අරුමයක් නැත.මක්නිසාද යත් කුඩා කල සිටම තමාට ඉතා සමීප චරිතයක ආභාසය හා අනුප්‍රාණය ඇයට ලැබුණු නිසාය. මෙරට වලව් පැලැන්තියකට උරුමකම් කියන දුලීකා කෑගල්ලේ මාරපන වලව්වේ උපත ලැබුවාය.ගොවි ජන ජීවිතය ඇයට හුරු පුරුදුය. ඇයගේ ගෙවත්තෙහි සියලු එළවළු, පලතුරු වගා කොට තිබිණ. ගුරුවරියක වූ දුලීකාගේ මවට සාම්ප්‍රදායික සේවිකාවක් සිටියාය. ඇයගේ නම පුංචිනාය. කුඩා කල සිට දුලීකාගේ කලා කුසලතා ඔප්නැංවීමෙහිලා පුංචිනා ආභාසයක් වූ බැව් සත්‍යයකි. ඇය පසුකලෙක පොන්ෂියාගේ භුමිකාව ග්‍රහණය කොට ඊට ජීවය දීමට පුංචිනාගේ ගති ස්වභා ඉවහල් කොට ගත්තාය. පොන්ෂියා සහ පුංචිනා මේ නාමකරණ දෛවෝපගත ලෙස සාම්‍යය නොවේද ?

පුංචිනා පිළිබඳ අතීත සැමරුම් වරක් දුලීකා මෙලෙස මා සමඟ සිහිපත් කළාය.

" සැබැවින්ම මා තුළ සිටින නිළිය, ගායිකාව මට පෙන්වා දුන්නේ පුංචිනා. මගේ කුඩා කාලයේ ඇය වත්ත පහළට ගොස් මා ඉදිරියේ ගැයූ කවි, ගීත නිසා කලාවට මගේ ඇල්මක් ඇති වුණා. පුංචිනා මා ඉදිරියේ නටනවා ; රැඟුම් පානවා. අපි අත්තම් ක්‍රමයට ගොවිතැන් කළා. අපේ කුඹුරේ අත්තම් සඳහා ගම්වාසීන්ට බුලත් අත් දීලා ආරාධනා කරන්නේ පුංචිනා.ඒ වගේම ඇය ගම්වාසීන්ගේ අත්තම් වැඩවලට සහය වුණා. හරිම සුන්දර හුවමාරු ක්‍රමයක්.ගොයම් කපන කොට, වී වපුරන කොට, අස්වැන්න නෙළන කොට පුංචිනා ලස්සනට කවි කියනවා. අම්මාට වඩා ගමේ මිනිස්සු සමීපව ඇසුරු කළේ ඇයයි. ඉතින් සමාජානුයෝජනය මං ලැබුවේ පුංචිනාගෙන් තමයි. කවුරු හෝ ප්‍රශ්නයක් ඇසුවොත් ඇය ඊට පිළිතුරු දෙන්නේ හොඳට සිතා බැලීමෙන් පසුවයි.පොන්ෂියාගේ චරිතයට මං මේ ගති ලක්ෂණයත් එකතු කළා. 90 % ක් පොන්ෂියා යනු පුංචිනා තමයි. ඉතිරි කොටස මගේ පරිකල්පනයෙන් ගොඩනැඟුවා."

(මේ ලිපියේ ඇතැම් සේයාරූ අන්තර්ජාලයෙනි)

 

මතු සම්බන්ධයි...