වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
“කටුයහනේ මැද උණුසුම් සිරියහනක් මවා ගන්න”

"ස්වර්ණමාලී" නාට්‍යය උදෙසා ඓතිහාසික කතා තේමාවක් පාදක වුවත් මෙහි සංවාද ගොඩනැංවී තිබුණේ ව්‍යවහාර භාෂා රීතියට සමීපයෙනි.අනෙක් අතට යථාර්ථවාදී නාට්‍ය සම්ප්රදාය මෙහි දක්නා ලැබේ. දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ කරවන ලද මහා සෑය ස්වර්ණමාලි මහා චෛත්‍යය ලෙස හැඳීන්වේ. ඒ චෛත්‍යය පිහිටි ස්ථානයේ ඉන් පෙර රන්තෙලඹු රුකක් තිබිණ. ස්වර්ණමාලී නම් දිව්‍යාංගනාවක එය තම විමානය කොටගෙන විසුවාය. දුටුගැමුණු රජු ඇයට යාච්ඥා කොට චෛත්‍යයට ඇගේ නම තබන ප්‍රතිඥාව පිට ඇයට එය හැර දමා යෑමට සැලස්වූ බව ජනප්‍රවාදයෙහි ඇසීමට ලැබේ. ඒ අනුව දුටුගැමුණු රජු දෙවඟනට සිදුකරන ආයාචනය සදානුස්මරණීය සුභාවිත ගීතයකටද ප්රස්තුත විය. පණ්ඩිත් අමරදේවයන් ගැයූ "ඔබේ නමින් සෑය බඳීමි" ගීතය නොදන්නෝ කවරහුද ?
විසාකේස චන්ද්‍රසේකරම් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ, එකල විවිධ මතවාදවලට තුඩු දුන් "කටුයහන" (2003) නාට්‍යය දුලීකා මාරපනගේ රංගන මංසලකුණු අතර වෙසෙස් ස්ථානයක වැජඹේ. ස්ත්‍රීන් හා පුරුෂයන් අතරත් පුරුෂයන් සහ පුරුෂයන් අතරත් පවත්නා සංකීර්ණ මානුෂික සබඳතා මේ නාට්‍යයෙන් විවරණය කෙරිණ. පුරුෂ සමරිසි (Homosexual/ Sodomy) සබඳතා අරභයා "කටුයහන" ට පූර්වයෙහි විග්රහ කෙරුණු නාට්‍ය ද්වයක් මා හට සිහිපත් වේ. සුගතපාල ද සිල්වාගේ "තට්ටු ගෙවල්" (1964), ප්‍රේමරංජිත් තිලකරත්නගේ "තොත්තබබා" (1966) යන මේ නාට්‍ය යුගල 60 දශකයේ දී බිහි විය. 90 දශකයේ ජනමාධ්‍ය ඔස්සේ මෙරටට ව්‍යාප්ත වූ ජනප්‍රිය සංස්කෘතික හා පශ්චාත් නව්‍යවාදී (Post modernism) මතවාද හරහා සමරිසි සබඳතා අරභයා නව සංකථන (ච්ඪඵජධභපඵඥඵ) ඉස්මතු වූ බැව් පෙනේ. මානව හිමිකම් පිළිබඳ සංවාදත් මේ හා වරෙක බද්ධ වී තිබිණ. මානව හිමිකම් පිළිබඳ නීතිවේදියකුද වූ විසාකේස චන්ද්‍රසේකරම් සමරිසි සබඳතා අරභයා බොහෝ අවස්ථාවලදී විවෘත ලෙස සංවාදයෙහි නියැළෙන අයුරු මා දැක තිබේ. මේ අරභයා ඔහුගේ දෘෂ්ටිය "කටුයහන" නාට්‍යයෙහි පිළිබිඹු විය. පුරුෂ සම රිසි සබඳතා හේතුකොට ගැහැනියක මුහුණදෙන දුක් කම්කටුලු එක් අතකින් මෙහි දැක්ක හැකිය. ගීත අටක් පමණ ඇතුළත් වූ මේ නාට්‍යයෙහි ආකෘතිය වරෙක ගීත නාටකයක ස්වරූපය ඉසිලීය. එහෙත් මේ නාට්‍යයෙහි ආකෘතිය හා අන්තර්ගතය ප්රමුඛව ගොඩනැඟී ඇත්තේ අමූර්ත (Abstract) නොවූ යථාර්ථවාදී හා තාත්වික රීතියෙනි.ශාන්ත පීරිස්ගේ ඖචිත පූර්වක සංගීතය මෙහිදී කැපී පෙනිණ. මේ නාට්‍යයෙහි පුහුණුවීම් ඇරැඹෙන විට රුවිනි මනම්පේරිගේ "නම්බුකාර විලාසිනි" (2002)
නාට්‍යයෙහි ප්‍රධාන චරිතය දුලීකා රඟපාමින් සිටියාය. මේ නාට්‍යයේ එක් දර්ශනයක රඟපෑමෙන් පසුව ඇය ඉන් ඉවත් වී "කටු යහන" නාට්‍යයට එක් වූ බැව් මෙහිදී සිහිපත් කළ යුතුය. කෞශල්‍යා ප්‍රනාන්දු "නම්බුකාර විලාසිනි" නාට්‍යයේ එකී භූමිකාවට එක් වූයේ ඉන්පසුවය.
පුරුෂයන් දෙදෙනකුට මැදි වූ ස්ත්‍රියකගේ කතා තේමාවක් "කටුයහන" නාට්‍යයෙහි අන්තර්ගත විය. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය (දුලීකා මාරපන), හොඳම පිටපත (විසාකේස චන්ද්‍රසේකරම්) හොඳම අධ්‍යක්ෂණය (විසාකේස චන්ද්‍රසේකරම්) යන සම්මාන උදෙසා නිර්දේශ වූ නමුදු එකදු සම්මානයක් හෝ මේ නාට්‍යයට හිමි නොවුණි. නාට්‍යයෙහි නිර්මාණාත්මක පක්ෂය අගය කළද මෙහි ආන්දෝලනාත්මක තේමාවට විනිශ්චය මණ්ඩලය එකඟ නොවීම ඊට හේතු වූ බව දුලීකා වරක් මා සමඟ පැවසුවාය. මුළු නාට්‍යයෙහිම දක්නා ලැබුණේ චරිත ත්‍රිත්වයකි. උදේනි අල්විස් (සුරේන්) දුලීකා මාරපන (තුෂාණි) සහ සජිත් සිල්වා (අසේල) එකී භූමිකාත්රය රඟපෑහ. සුරේන් (උදේනි අල්විස්) සහ තුෂාණි (දුලීකා මාරපන) අඹුසැමි යුවළකි. ඔවුන්ට දරුවන් නොමැත. තුෂාණි දරුවකු අරභයා සිහින මවන්නීය. සුරේන් සහ තුෂාණි අතර ලිංගික ආකර්ෂණීය බව බිඳ වැටීමෙන් ඔවුහු බොහෝ කලෙක සිට මානසිකව මතු නොව කායිකවද දුරස්ථ වී සිටිති. මේ අතර තුෂාණිගේ ඥාතියකු වූ අසේල (සජිත් සිල්වා) පැමිණි ඔවුන්ගේ නිවසෙහි නවාතැන් ගනී. ක්‍රමයෙන් සුරේන් සහ අසේල අතර සමරිසි ප්‍රේමයක් ගොඩනැඟුණු අයුරු පෙනේ. මේ පිළිබඳ වටහා ගන්නා තුෂාණි, ගැහැනියක ලෙස මුහුණ දෙන මානසික පරිපීඩනය මේ නාට්‍යයෙන් විවරණය කෙරේ. සිරියහන කටුයහනක් බවට පත් වූ තුෂාණි, සුරේන් සහ අසේලගේ ලෝකයට ඉඩ දී තම සැමියාගෙන් වෙන් වීමට තීරණය කරන්නීය. දුලීකා "තුෂාණි" ගේ මෙකී සංකීර්ණ භුමිකාවට ස්වකීය රූපණ ප්‍රතිභාවෙන් උපරිම සාධාරණය ඉටු කළාය. ඇගේ සුමධුර ගැයුම්ද මීට ඇතුළත් විය. දරු සම්පත අරභයා සිහින මවන තුෂාණි ලෙස දුලීකා ගයන මේ ගීතය ඊට දෘෂ්ටාන්තයකි. (ගේය කාව්‍ය - විසාකේස චන්ද්‍රසේකරම්, ස්වර සංරචනය - ශාන්ත පීරිස්)
සඳ හිනැහී
නැඟ එන විට
සිටින තොටිල්ලක
වඩිනු පුතේ
හිරු නෙත් පිය
හරිනා විට
මා මෙහි හැරදා
නොයන්න පුතේ
ළය පිරැවී
ගැබ තෙත් වී
බලා හිඳී පුතුනි
එන්න කටු යහනේ
මැද උණුසුම්
සිරි යහනක් මවාගන්න
සදඑළියේ කිඳුරු රැඟුම්
දැක මත් වී ඔබේ පියා
නිදි ගීයක් ගොතා ඒවි
මගෙ පොඩි පුතු
නළවන්නට
නාට්‍යයේ අවසානයේ සුරේන්ගේ (උදේනි අල්විස්) හැඟීම් මෙලෙස පුපුරා යන අයුරු පෙනේ.
"තුෂාණි මේක විකාරයක්. මේක තනිකරම පිස්සුවක්. මේක කිසිම....කිසිම දවසක කෙරෙන්නෙ නැති උලව් මංගල්‍යයක්. මට පාඩුවෙ ඉන්න දීපං. අසේලව හම්බ වුණාට පස්සෙ මං පළවෙනි වතාවට තේරුම් ගත්ත මං මොනතරම් මඩ ගොහොරුවකද එරිලා ඉන්නෙ කියන එක. මේ සේරම තනිකරම පිස්සුවක්. (ආවේගය අඩු කර ගනිමින්) මට ඔයා ගැන කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ. දැන් මට ඔයත් එක්ක ඇඳට යන්න තියා ඔයා රවට්ටන ඔයාගේ නළල ඉඹින්නවත් මට හිතෙන්නෙ නෑ දැන්. ගෙදර අයගෙ කරච්චලයෙන් බේරෙන්න බැරි කමට මං ඔයාව කසාද බැන්ඳ මං ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මට පාඩුවේ මෙහෙම ඉන්න අරින්න. මට සමාවෙන්න. මට මේක කෙරෙන වෙන කිසිම විදිහක් ගැන හිතන්න බෑ. මාව හොඳටම හෙම්බත් වෙලා මේකෙන්. ඔයාට මිනිහෙක් ඉන්නවා කියලා පෙන්නගන්න ඕන නං මට මගෙ පාඩුවේ ඔහෙ ඉන්න අරින්න. නැත්තං මට මෙතනින් තොලිංජි වෙලා මොන ලෝකෙකට හරි යන්න අරින්න."
විසාකේස චන්ද්‍රසේකරම් පසුව අධ්‍යක්ෂණය කළ "සයපෙති කුසුම" : ජ්පචදඨඪනචදඪ (2013) චිත්‍රපටයත් ඔහුගේ "කටුයහන" (2003) නාට්‍යයත් එකිනෙක තුලනය කල්හී පුරුෂයන් දෙදෙනකු හා ස්ත්‍රියකගේ සබඳතාවත් පුරුෂ සමලිංගික සේවනයෙහිත් යම් ආකාරයක සාම්‍යයක් දැක්ක හැකිය."සයපෙති කුසුම" හී දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි සහ යසෝධා රසඳුනී ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟපෑහ. සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම වරට නවක අධ්යක්ෂවරුන් සඳහා පිරිනැමෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය "සයපෙති කුසුම" චිත්‍රපටය නිර්මාණය කළ විසාකේස චන්ද්‍රසේකරම් හට පිරිනැමිණ. මෙහි තේමාව හේතුකොට මුලින් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ මෙය අන්තර්ජාතික චිත්‍රපට උලෙළවල ප්‍රදර්ශනයට පමණි. එහෙත් පසුව වැඩිහිටියන්ට පමණක් සීමා කොට ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට ඉන් අවසර ලැබිණ.
මතු සම්බන්ධයි...