“හොඳ මනුස්සයෙක් නොවුණොත් කෙතරම් විශිෂ්ට වුණත් වැඩක් නැහැ”

මාර්තු 17, 2022

 

දශකත්‍රයක නිහැඬියාවකින් පසුව ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන සූරීහු "ස්වර්ණමාලී"(1999) නාට්‍යය සම අධ්‍යක්ෂණය කළහ. නිශ්ශංක දිද්දෙණිය සූරීහුද මීට සම අධ්‍යක්ෂණයෙන් දායක වූහ. මේ වූ කලී එක් අතකින් ඔහු දශක තුනක් නිහඬව ගත කළ කාලය තුළ ලැබූ අත්දැකීම් සම්භාරය ප්‍රේක්ෂක සහෘදයා හමුවේ මුදාහැරීමක් වැන්න.මේ නාට්‍යයට ඇතුළත් වූයේ ලංකා ඉතිහාසයේ සාධාරණය ඉටු නොවූ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු පිළිබඳ කතා පුවතකි. බෞද්ධ ශිෂ්ටාචාරය පදනම් කොට ගොඩනැඟුණු මෙරට සභ්‍යත්ව විඤ්ඤාණය සහ ඉතිහාසය පුරා දක්නා ලැබුණු රාජ්‍ය බල අරගලය මින් විවරණය කෙරිණ. යුද ජයග්‍රහණයෙන් පසු දුටුගැමුණු රජුගේ සමය මෙහි නිරූපිත විය."ස්වර්ණමාලී" නාට්‍යයෙහි පිටපත ලියා නිම කිරීමට බන්දුල ජයවර්ධනයෝ වසර 20 ක කාලයක් ගත කළහ.ඔහුගේ අවසන් නාට්‍ය නිර්මාණය මෙය විය. මහාවංශයෙහි දුටුගැමුණු චරිතය හා සබැඳුණු කතාව මේ නාට්‍යය සඳහා මූලාශ්‍ර විය.

දුටුගැමුණු රජතුමාගේ අභාවය සිදුවන විට ස්වර්ණමාලී චෛත්‍යයෙහි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පැවතිණ. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සයනයෙහි වැතිර හෙවත් මඤා්ච පරායණව සිටිද්දී සොහොයුරු සද්ධාතිස්ස රජු ඉදිකිරීම් අවසන් වෙමින් පැවති රුවන්මැලිසෑය ධවල වස්ත්‍රවලින් වසා දුටුගැමුණු රජු හට පෙන්වූ ජවනිකාව "ස්වර්ණමාලී" නාට්‍යය එදා නැරඹූ සහෘදයාට අමතක නොවේ. විහාර මහා දේවියගේ එඩිතර, වීරෝදාර මඟපෙන්වීමද මේ නාට්‍යයෙන් ඉස්මතු විය. සාලිය හා අශෝකමාලා පේ‍්‍රමය හේතු කොට රජ පවුලෙන් සැඩොල් කුලයට අනේකවිධ හිංසන,පීඩා එල්ල වේ. අශෝකමාලාගේ සොහොයුරා (ජිනේන්ද්‍ර පනාවල රඟපෑ) මෙකී අසාධාරණකම්වලට එරෙහිව සටන් වදී.එහෙත් අවසන රජ පවුලේ කුමන්ත්‍රණයකින් ඔහු ඝාතනයට ලක් වූ අයුරු පෙනේ. සාලිය කුමරු සැඩොල් තරුණියක වූ අශෝකමාලා සමඟ පෙමින් බැඳීම පුරෝහිතයෝ රාජසභාවේදී විවේචනය කරති.සාලිය කුමරු ප්‍රත්‍යන්ත දේශයක පාලකයකු ලෙස පත් කිරීමට දුටුගැමුණු රජු වරක් උත්සුක වූවත් එය සඵල නොවන්නේ සාලිය - අශෝකමාලා ප්‍රේමයෙන් ඇති වන්නා වූ අර්බුද හේතු කොට ගෙනය.

අනුරාධපුර යුගයේ පැවැති රාජ නීතිය අනුව දුටුගැමුණු රජුගෙන් පසුව රජ කිරුළ උරුම වනුයේ සාලිය කුමරුට නොව රජුගේ කනිටු සොහොයුරාටය.ඒ අනුව දුටුගැමුණු රජුගේ ඇවෑමෙන් ඔහුගේ කනිටු සොහොයුරු සද්ධාතිස්ස රජ පදවියට පත් විය. සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ලංජතිස්ස රජ වූයේ සද්ධාතිස්සට බාල සොහොයුරකු නොසිටි බැවිනි. නීල් අලස් සහ රවීන්ද්‍ර කෝදාගොඩ දුටුගැමුණු රජු ලෙසත්, නිශ්ශංක දිද්දෙණිය සද්ධාතිස්ස රජු ලෙසත්, මල්කාන්ති ජයසිංහ සහ ග්‍රේස් තෙන්නකෝන් විහාර මහ දේවි ලෙසත් සුමිත් රත්නායක හා ජගත් ලක්ප්‍රිය සාලිය කුමරු ලෙසත් දුලීකා මාරපන අශෝකමාලා ලෙසත් සුදර්ශන බණ්ඩාර සහ ඉන්දික කුමාර ජයසිංහ පුරෝහිතයන් ලෙසත් ඇන්ටන් ජූඩ් ථුල්ලත්තන ලෙසත් මිත්රසිත් ජයසිරි ලංජතිස්ස ලෙසත් ජිනේන්ද්‍ර පනාවල රත්නවල්ලියා ලෙසත් හසනිකා කරල්ලියැද්ද රයින නැන්දා ලෙසත් මෙහි රංගනයෙන් දායක වූහ.

 දුමන ලෙස හැඳීන්වෙන ගාඩි කුලයේ මේ ඉසව්වෙහි මහාගාඩියා ලෙස දයාදේව එදිරිවීර රඟපෑවේය. මෙහි මංගල දර්ශනය අනුරාධපුරයේ ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ.දුලීකා ගැයූ ගීත ද්වයක් (අශෝකමාලාගේ නැළවිලි ගීතය වූ "බාලොලි බාලොලි" සහ නාට්‍යය ආරම්භයේ අශෝකමාලාගේ ආශීර්වාද ගීතය වූ "සිටු කුල මැතිවරු") මේ නාට්‍යයට ඇතුළත් විය. දුලීකාගේ රංගනයෙන්, නර්තනයෙන් මතු නොව ගායනයෙන්ද එලෙස මේ නාට්‍යය වර්ණවත් වූ අයුරු දැක්ක හැකිය. "ස්වර්ණමාලී" නාට්‍යය සංගීතවත් කරන ලද්දේ තරුපති මුණසිංහ විසිනි. සාලිය - අශෝකමාලා පෙම් පුවත මෙහි කේන්ද්‍රීය තේමාව බවට පත් වේ. දුලීකා මෙහි නිරූපිත අශෝකමාලාගේ චරිතය ඇගේ රූපණ දිවියෙහි ප්‍රබල සංධිස්ථානයකි. මේ චරිතය ඇයට හිමි වීමේ පසුබිම් කතාව මේය.

ලූෂන් බුලත්සිංහලයන්ගේ "රතු හැට්ටකාරි" නාට්‍යයේ නව නිෂ්පාදනය සඳහා දුලීකා තෝරා ගෙන තිබිණ.නුගේගොඩ අනුලා ප්‍රාථමික විද්‍යාලයේ එහි පුහුණුවීම් කටයුතු සිදු කෙරෙද්දී බන්දුල ජයවර්ධනයන්ගේ "බෙරහඬ" නාට්‍යයෙහිද පුහුණුවීම් සමගාමීව එහි පැවැත්විණ. බන්දුල ජයවර්ධනයන්ගේ අවධානය දුලීකාගේ ප්‍රතිභාව කෙරෙහි යොමු වුණේ මේ පුහුණුවීම් දැකීමෙනි. "රතු හැට්ටකාරී" හී පුහුණුවීම් මඳ කලෙකින් නතර විය. කලකදී නැවත එහි පුහුණුවීම් ඇරැඹෙන විට ඊට දායක වීමේ අවස්ථාව ඇයට නොලැබිණ. බන්දුල ජයවර්ධන "ස්වර්ණමාලී" නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා ඇයට ඇරැයුම් කළේ "රතු හැට්ටකාරි" හී ඇගේ පුහුණුවීම් දැකීමෙනි. ඒ වනවිට ලක්ෂ්මි දමයන්ති සහ දුලීකා මාරපන යන රංග ශිල්පීන් දෙදෙනාම මෙහි අශෝකමාලාගේ චරිතය සඳහා තෝරා ගෙන තිබිණ.මෙහි පුහුණුවීම් සිදුවෙමින් තිබියදී එය නැරඹීමට පැමිණි ධර්මසිරි බණ්ඩාරනායකයෝ තම "ට්‍රෝජන් කාන්තාවෝ" නාට්‍යයේ චරිතයක් සඳහා දුලීකාට ඇරැයුම් කළහ.

එයද ඇය ඉතා සතුටින් භාර ගත්තාය. එහෙත් ගැටලුවක් තිබිණ."ට්‍රෝජන් කාන්තාවෝ" පුහුණුවීම් නිම වන තුරු වෙනත් නිර්මාණවලට සම්බන්ධ නොවන ලෙස ධර්මසිරි බණ්ඩාරනායක ඉල්ලීමක් කළේය. ඒ වන විට දුලීකා "ස්වර්ණමාලී" නාට්‍යයෙහි පුහුණුවීම්වල මාස 3 ක කාලයක් නියැළී සිටියාය.එහෙයින් ඇය අවසානයේ "ට්‍රෝජන් කාන්තාවෝ" අතහැර "ස්වර්ණමාලී" තෝරා ගත්තාය. "ස්වර්ණමාලී" නාට්‍ය කණ්ඩායමේ බහුතරය පාහේ "ට්‍රෝජන් කාන්තාවෝ" හා එක්ව සිටි හෙයින් නව නළු නිළි කණ්ඩායමක් සමඟ බන්දුල ජයවර්ධනයෝ යළිත් "ස්වර්ණමාලී" පුහුණුවීම් ඇරැඹූහ.කෘතහස්ත නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයන් අරභයා වරක් දුලීකා මාරපන මා සමඟ මෙසේ කීවාය.

 

"එතුමා මට කතා කළේ පුතා කියලා. බන්දුල සර් තමාගේ පරම්පරාවේ විශිෂ්ටයන්ට මාව හඳුන්වා දුන්නේ ලොකු දුව කියලා.එතුමාට පුදුම ඉවසීමක් තිබුණා.සිරුරෙන් කුඩා වූවත් බන්දුල සර් දැනුමෙන් , ප්‍රතිභාවෙන් අති දැවැන්තයෙක්. ස්වර්ණමාලී නාට්‍යය පුහුණු වූ කාලයේ මා නවාතැන්ගෙන සිටියේ එතුමාගේ නිවසේ.එවක එතුමායි තම ප්‍රිය බිරිඳයි නවාතැන් ගෙන සිටියේ නුගේගොඩ.විශාල පුස්තකාලයක් ඒ නිවසේ තිබුණා.ඉතින් මං උදේ පාන්දර නැගිටලාත් රෑට නින්දට යෑමට පෙරත් පොත් රාශියක් කියවා දැනුම ලබා ගත්තා.එතුමා වැනි කෘතහස්ත නාට්‍යවේදියකු සමඟ වැඩ කරන්න ලැබීම මගේ මහත් වාසනාවක්. එතුමා මට නිතර කී දෙයක් අදත් නිරතුරුවම මට මතක් වෙනවා.පුතා මොනතරම් විශිෂ්ට කලාකරුවකු වුණත් වැඩක් නැහැ , ඔහු හෝ ඇය තුළ හොඳ මනුස්සයෙක් නැත්නම් කියලා.ස්වණමාලී එතුමාගේ අවසන් නාට්‍යය.මෙහි අශෝකමාලාගේ චරිතය සාර්ථක ලෙස ගොඩනඟන්න බන්දුල ජයවර්ධන , නිශ්ශංක දිද්දෙණිය වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුණු ගුරුහරුකම් හේතු වුණා."

 

දුලීකා මෙහි රඟන විට යාන්තම් 20 වැනි විය ඉක්ම වූ ළාබාල නවක නිළියකි. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානනීය වූයේ "ස්වර්ණමාලී" නාට්‍යයහි අශෝකමාලා ලෙස රඟපෑ දුලීකා මාරපනය. ඇය සමඟ මේ සම්මානය උදෙසා නිර්දේශ වූවෝ අනෝජා වීරසිංහ (ට්‍රෝජන් කාන්තාවෝ) , රත්නා ලාලනී ජයකොඩි (වාසුදේව) යන පෙර පරපුරවල දැවැන්ත නිළියෝය.දුලීකා වැනි අංකුර නිළියකට එදා (2000) මේ සම්මානය හිමි වීම ඇතැම්හු නොරිස්සූහ. " මේ සම්මානය දේශපාලනිකයි" කියා සාවද්‍ය අර්ථකථන සැපයූවෝ ඔවුහුය. හොඳම නිළිය හැරුණු විට හොඳම පිටපත (බන්දුල ජයවර්ධන) සහ හොඳම සහය නළුවා (දයාදේව එදිරිසිංහ) යන සම්මානද මේ නාට්‍යයට හිමි විය. දේශපාලන බලය, ධන බලය,කුල පීඩනය, සූරාකෑමට මැදිවූ ප්‍රේමය මේ නාට්‍යයෙන් විවරණය කෙරිණ. දුලීකා මෙහි අශෝකමාලාගේ චරිතයෙහි බාහිර හා අභ්‍යන්තරික ඉසියුම් මනෝභාවයන් මැනවින් රූපණය කළාය. සාත්වික අභිනය එහිදී ප්‍රාබල්‍යයෙන් භාවිත වූ බැව් පෙනේ.අශෝකමාලා වූ කලී තරුණියක, පෙම්වතියකගේ සිට මවක , වැන්දඹුවක දක්වා දිවෙන සංකීර්ණ භුමිකාවකි. සාලිය කුමරුට දාව තමන්ට ලැබුණු දරුවා වෙනුවෙන් ඕ කැපවෙද්දී කුමාරයා රජ පවුලේ බලපෑමෙන් ඇගෙන් දුරස් වී යනු දක්නා ලැබේ. දරුවා වෙනුවෙන් කැපවීමෙන් මතු නොව තම ගාඩි රැහේ රැකවරණය වෙනුවෙන්ද ඇය පෙරමුණ ගන්නීය.

මතු සම්බන්ධයි...