“ගීත ගයන්න පමණයි රඟපාන්න අවසර නෑ”

මාර්තු 10, 2022

90 දශකයේ අග භාගයේ සහ 2000 සහස්‍රකය උදාවත්ම රැඟුමට ගැයුමට එක ලෙස ප්‍රතිභාව පෑ තවත් කෘතහස්ත රූපණවේදිනියකගේ වේදිකා ප්‍රවිෂ්ටය සනිටුහන් විය. ඇය රඟපෑ මුල් චරිත නිරූපණවලින්ම කුසලතාපූර්ණ නිළියක පිළිබඳ අපේක්ෂා සහෘද මනස් හී දැල්වීමට ඕ සමත් වූවාය. කෑගල්ල ශාන්ත ජෝසප් , මහනුවර හිල්වුඩ් විද්‍යාලවලින් අකුරු කොට කැලණිය විශ්වවිද්‍යාලයේ සරසවි වරම් ලැබීම ඇගේ රංගන දිවියෙහි තෝතැන්න බවට පත් විය. මා විසින් මෙතෙක් විග්‍රහ කරන ලද්දේ දුලීකා මාරපන ගැනය.

1996 වසර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ සමය වේ. ශිෂ්‍ය අරගලයක් හේතු කොට වසරක කාලයක් එවක විශ්වවිද්‍යාලය වසා තැබිණ. දුලීකා මේ නිසා කෑගල්ලේ තම නිවසෙහි රැඳී සිටියාය. සාගරිකා ශ්‍රීපාලි කිරිආරච්චි නම් වූ නාට්‍යවේදිනිය ඇය සොයා නිවසට පැමිණියේ තම නාට්‍යයක් සඳහා ඇයට ඇරැයුම් කිරීමටය. සාගරිකා නිර්මාණය කළ "ඌවේ හීය" (1996) නාට්‍යය එවක රාජ්‍ය නාට්‍ය උලළේ අවසන් වටයට සූදානමින් තිබූ අතර එහි ප්‍රධාන නිළියට රඟපෑ ශිල්පීනිය

හදිසියේ නාට්‍යයෙන් ඉවත් වීම හේතුකොට සාගරිකා අපහසුතාවට පත් වී සිටියාය. මේ සඳහා ඉක්මනින් සුදුසු නිළියක සෙවීමට ඇය උත්සුක වූවාය. සාගරිකා මේ අරභයා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් විමසීමක් කළාය. මහාචාර්යතුමාගෙන් ඇයට ලැබුණේ මෙවන් පිළිතුරකි.

"දුලීකා මාරපන කියලා හොඳට ගීත ගයන්න පුළුවන් ළමයෙක් මෑතකදී විශ්වවිද්‍යාලයට එක්වුණා. හැබැයි ඔබට ඇයව සොයාගෙන කෑගල්ලේ නිවසට යන්න වේවි.මං ඇයගේ ලිපිනය සොයා දෙන්නම්.එහෙත් ඇයගේ මව ඇය රඟපානවාට කැමැති නෑ. ඔබ නාට්‍යයට ගීත ගැයීම සඳහා පමණක් ඇයට ඇරැයුම් කරන්න."

එලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් ඔවදනද සමඟ ලිපිනය දැන ඇය දුලීකා සොයාගෙන කෑගල්ලේ නිවසට ගියාය. සාගරිකා දුලීකාගේ මව ඉදිරියේ "රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තම නාට්‍යයේ ගීත ගායනය සඳහා" පමණක් ඇයට ඇරැයුම් කළාය. දුලීකාගේ මව සාගරිකාට මෙසේ පැවසුවාය.

"සින්දු කියන්න විතරයි නේද ? මං දුව රඟපාන්න එවන්නේ නැහැ. අනෙක ඔයා මගේ දුව ඔයාගේ ගෙදර නවත්වගෙන නාට්‍යයේ වැඩ ඉවර වුණාම පරිස්සමෙන් ගෙදර ගෙනත් ඇරලවන්න ඕනෑ."

මෙසේ මවගේ සියලු කොන්දේසිවලට එකඟ වූ පසුව සාගරිකාට අවසර ලැබිණ. ඒ අනුව සාගරිකා තම කඩවත නිවසට ඇය කැඳවාගෙන ගියාය. මේ නිවසේ නවාතැන්ගෙන "ඌවේ හීය" නාට්‍යය උදෙසා දුලිකා පුහුණු වූවාය.එක් අතකින් මේ නාට්‍යය ඇයට අභියෝගයක් විය. මක්නිසාද යත් රාජ්‍ය නාට්‍ය උලෙළට ඉතිරිව තිබුණේ සති දෙකක කාලයක් පමණි. ඇන්ටන් ජූඩ්, වික්ටර් බණ්ඩාර සේනාරත්න , ලලිත් ජනකාන්ත, රත්නශීලා පෙරේරා ඇතුළු රංග ශිල්පි, ශිල්පිනීහු රාශියක් මේ නාට්‍යයට දායක වී සිටියහ. ගාමිණි අම්බලන්ගොඩ සමඟ එක්වී විරුදු ගයන විරුදුකාරියගේ භූමිකාව ඇයට හිමි විය. ඔවුන්ගේ කාර්යභාරය නාඩගමක පොතේ ගුරුට සම විය. තරුපති මුණසිංහ මේ නාට්‍යය සංගීතවත් කළේය. "ඌවේ හීය" වූ කලී ඉතිහාසය තේමා කොටගත් නාට්‍යයකි. මෙහි විරුදුකාරියගේ භූමිකාව දුලීකා පුහුණුවීම් අරඹන විට ඊට දායක වූ බොහෝ ප්‍රවීණයන්ගෙන් ඉස්මතු වූයේ මෙවැනි කසුකුසුවකි ; ආකල්පයකි.

"විශ්වවිද්‍යාලයෙන් අලුතින් එක් වූ මේ දැරිවියට මේ බැරෑරුම් භුමිකාව රඟපාන්න හැකි වේවිද ? ඇය සමඟ සති දෙකක සුළු කාලයකදී පුහුණුවීම් නිම කරලා රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයේ නාට්‍යය පෙන්වන්න හැකි වේවිද ? "

එපමණක්ද ? ඇයගේ බාහිර රූපකාය වේදිකාවට ඖචිත්‍ය පූර්වකද ? යන පැනයන්ද අසන්නට ලැබිණ. මේකී නොකී සියලු කසුකුසු සවනත වැකුණු දුලීකා වඩ වඩා දිරි ගෙන මේ භුමිකාව ඉතා ඉහළින් නිරූපණය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ලැබුවාය. දුලීකාගේ ඊප්සිතාර්ථය සඵල වෙමින් "ඌවේ හීය" ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. ඇන්ටන් ජූඩ් ප්‍රමුඛ ඊට දායක වූ ප්‍රවීණ ශිල්පීන්ගේ ඇගැයුම් එතැන් සිට ඇයට හිමි වූ අතර නාට්‍ය රංගනය සඳහා දසතින් ආරාධනා ගලා එන්නට විය. මුලින් කොයි කවුරුත් අතර වඩාත් ප්‍රකට වූයේ දුලීකාගේ ගායන ප්‍රතිභාව බැව් පෙනේ. තුමිඳු දොඩන්තැන්නගේ "අරුන්දතී" (2000) නාට්‍යයේ ගීත ගායනයෙන් පමණක් ඇය දායක වූවාය.

ඒ වකවානුව වන විට දුලීකා විශ්වවිද්‍යාලාන්තර නාට්‍ය රැසක රඟපාමින් හොඳම නිළිය සම්මානයට (නිරෝෂන් තඹවිටගේ "නිම්නයක්ම විය" නාට්‍යය ඇතුළු) පාත්‍ර වෙමින් විද්වතුන්ගේ අවධානයට ලක් වෙමින් සිටි බැව් පෙනේ. කුසුම්සිරි ලියනාරච්චි රචනා කරමින් අධ්‍යක්ෂණය කළ "සපත්නී" (1999) නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා නිළියක සොයමින් සිටියදී මේ සඳහා දුලීකා සුදුසු බැව් යෝජනා කරන ලද්දේ ප්‍රකට රංග ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය විසිනි.

සංස්කෘත භාෂාව අනුව සපත්නී යනු සමානපතිනිය වේ. එනම් එක් පුරුෂයකුට අයිති, සමාන පතිනියන් බවට පත් වූ ස්ත්‍රීන් ගණනකින් එක් භාර්යාවක් සපත්නී ලෙස අර්ථවත් කෙරෙන අතර මේ වදන ව්‍යවහාර කෙරුණේ රජවරුන්ගේ අන්තඞපුර ස්ත්‍රීන් උදෙසාය. අන්තඞපුර ස්ත්‍රීන්ට රජු වෙනුවෙන් එකිනෙකා පිළිබඳ ඇතිවන ලිංගික ඊර්ෂ්‍යාව (ඉඥයභචත බ්ඥචතධභඵර) සපත්නී රෝෂය ලෙස හැඳීන්විණ. කුසුම්සිරි ලියනාරච්චි තම නාට්‍යය "සපත්නී" ලෙස නාමකරණය කළේ මන්දැයි ගැටලු සහගතය. ඊට හේතුව මේ නාට්‍යය වීදි ගණිකාවක් තේමා කොටගත් නිර්මාණයක් වූ බැවිනි. සකු බසට අනුව ගණිකාව යනු ගණයට එනම් සමූහයටම අයිති කාන්තාවය.එහෙයින් අන්තඞපුර ස්ත්‍රීන්ට හෝ එක් පුරුෂයකුට සමාන පතිනියන් වූ ස්ත්‍රීන්ට හැර සපත්නී යන යෙදුම භාවිත කළ නොහැකිය. එනම් අබිසරුලියක තේමා කොටගත් නාට්‍යයකට මේ නාමකරණය උචිත නොවේ. එසේ වුවත් "සපත්නී" නාට්‍යයෙහි අගය ඉන් ලඝු නොවේ.මේ වූ කලී සරල, සුගම රීතියකින් ගලාගිය තාත්වික නාට්‍යයකි. මෙහි දක්නා ලැබුණේ චරිත ත්‍රිත්වයකි. ඉන් නළු නිළි රූපණය භූමිකා ද්වයකට පමණක් සීමා වූ අතර එක් චරිතයක් සංකේතානුසාරයෙන් විවරණය කෙරිණ.

ප්‍රසන්නජිත් අබේසූරිය සහ දුලීකා මාරපන මේ ප්‍රධාන භූමිකා ද්වය රැඟුහ. මෙහි ප්‍රසන්නජිත් රඟපෑවේ රජයේ සේවකයකුගේ භූමිකාවකි. දුලීකා රඟපෑ වීදි අබිසරුලියගේ චරිතයට නාමකරණයක් මෙහි දක්නට නොලැබුණු අතර "ඇය" යන පොදු ස්ත්‍රී කුලකයෙන් මේ චරිතය හැඳීන්විණ. ඇයගේ ඇසුර ලැබූ පුද්ගයකු ප්‍රේමයෙන් මුසපත් වේ. ඔහු ඇය විවාහ කොට ගෙන නිවසට ගෙන යනුයේ ගණිකා වෘත්තියෙන් සපුරාම ඕ හට සමුගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි. මේ පුරුෂ චරිතය සමස්ත නාට්‍යයෙහිම දක්නා ලැබෙනුයේ සංකේතානුසාරයෙනි.

විවාහ වී මඳ කලක් ගතවෙද්දී ඇගේ ඇසුර ලැබූ තවත් පුරුෂයෙක් (ප්‍රසන්නජිත් අබේසූරිය) ඇය සොයා පැමිණියේය. ඇය මෙලෙස රහසේම විවාහ වී, වෘත්තියෙන් සමුගෙන තමා අතහැර පැමිණීමෙන් සිදු වූ අසාධාරණය ඔහු ඇයට පවසන්නේය. අවසානයේ තව එකම එක වතාවක් තමා සමඟ සංවාසයෙහි යෙදෙන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලීමක් කරයි. ඇය ඊට එකඟ වන්නීය. ඔවුන් එසේ කරත්ම ඇය විවාහ වූ පුරුෂයාගේ නෙතට එය හසු වන අයුරු නිරූපණය කෙරෙනුයේ සෙවණැල්ලක් වේදිකාවෙහි පතිත කිරීමෙනි.(මේ සෙවණැල්ල ලෙස පෙනී සිටිනුයේ නිරෝෂන් තඹවිටය.) නාට්‍යවේදියා වේදිකාවෙහි භාවිත කොට ඇත්තේ වීදි අබිසරුලියකගේ ජීවන තත්වයට සරිලන මේසයක්, සෝපාවක්, පොත් රාක්කයක් වැනි සරල රංග භාණ්ඩය. එසේම සරල රංග වස්ත්‍ර මෙහි දක්නට ලැබිණ. සැබැවින්ම දුලීකා මාරපන නම් වූ කුසලතාපූර්ණ නිළියගේ රූපණ ලකුණ ස්ථාපිත කළ ප්‍රථම නාට්‍යය ලෙස "සපත්නී" හැඳීන්වීම අතිශයෝක්තියක් නොවේ. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ "සපත්නී" හී "ඇය" මැවූ දුලීකාය. මේ චරිතය රඟපෑම දුලීකාට අභියෝගයක් වූයේ ඉන් පෙර වීදි ගණිකාවන්ගේ ස්වරූපය, චර්යා, ආකල්ප , හැසිරීම් රටා අරභයා කිසිදු දැනුමක් ඇයට නොතිබුණු බැවිනි.

අධ්‍යක්ෂ කුසුම්සිරි බොරැල්ල ඇතුළු නගර ගණනාවකට දුලීකා කැටුව යමින් වීදි ගණිකාවන්ගේ චර්යා අධ්‍යයනයට ඇයට මඟ පෙන්වා දුන්නේය. ඔවුන්ගේ ස්වාභාවික, සියුම් ඇවතුම් පැවතුම්, භාවිත කරන වචන ආදිය හැදෑරීමට මේ ඔස්සේ දුලීකාට හැකි විය."සපත්නී" හී "ඇය" ගේ චරිතය මැනවින් ප්‍රතිනිර්මාණය කිරීමට ඕ හට හැකි වූයේ මෙකී ඉසියුම් අධ්‍යයනයෙහි ඵලයක් වශයෙනි. මේ නාට්‍යය විනාඩි 45 ක කාලයකට සීමා විය. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය, හොඳම රචනය, හොඳම නිළිය ඇතුළු ප්‍රමුඛ සම්මාන වැඩිම ගණනකට පාත්‍ර වූයේ "සපත්නී" නාට්‍යය බැව් පෙනේ. මෙහි ශාන්ත පීරිස්ගේ සරල, ඉසියුම්, මෘදු සංගීත ඛණ්ඩ කෘතිය ඉල්ලා සිටින සුගම බව මොනවට ප්‍රකට කළේය. "සපත්නී" බිහි වූ කාල වකවානුවේ (1999) වීදි ගණිකාවන් වස්තු විෂය කොට ගත් නාට්‍ය බහුලව බිහි වූ බැව් පෙනේ. එහෙත් "සපත්නී" මේ අතර ප්‍රමුඛ ලෙස ඉස්මතු වෙමින් ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයේ ඇගැයුමට, සම්මානයට පාත්‍රවෙමින් දුලීකා මාරපන නම් වූ ප්‍රතිභාපූර්ණ රූපණවේදිනියට උප්පත්තිය ලබා දුන් බව පැවසීම සහේතුකය.එහි ගෞරවයෙන් වැඩි කොටස කුසුම්සිරි ලියනාරච්චි, ප්‍රසන්නජිත් අබේසූරිය දෙපළට හිමි වේ.

මතු සම්බන්ධයි...