තිස්පස් වසරක කලා අබිමන් ඇගයීම සහ නූර්ති ගී ජවනිකා 13 දා මොරටුවේදී

මාර්තු 10, 2022

වසර තිස්පහක කලා අභිමන් ඇගයීම සමඟ ටවර්හෝල් නූර්ති ගී ජවනිකා ප්‍රසංගය සහ රංගන අභිමන් ගී සැඳෑව ලබන 13 වැනිදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ. මෙය, සම්පත් ශ්‍රී සෙනෙවිරත්න සහ ශ්‍රීපාලි අමරවර්ධන සමඟ වීශ්‍රී කලා කේන්ද්‍රයේ ඉදිරිපත් කිරීමකි.

සම්පත් ශ්‍රී සෙනෙවිරත්න සහ ශ්‍රීපාලි අමරවර්ධන දෙදෙනාම කලාවට පිවිසියේ අසූව දශයේදීයි. ගායනයෙන් මෙන්ම රංගනයෙන් තම හැකියාවන් දක්වන සම්පත් ශ්‍රී සෙනෙවිරත්න 1983 වසරේ වර්ණ වේදිකා නාට්‍යයෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වී අනතුරුව ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායක්වය ලබා දුන් කලාකරුවෙකි. 1987 වසරේදී ජාතික රූපවාහිනියේ නන්දන වින්දන වැඩසටහනෙන් ගායකයෙකු ලෙස ප්‍රේක්ෂකයන් හඳුනා ගත් සම්පත් ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ද වේ. ශර්ලි ජයකොඩිගේ සුදු සමනලයා වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ශ්‍රීපාලි අමරවර්ධන දක්ෂ නූර්ති ගී ගායකයෙකි. ටවර්හෝල් රංගන ශිල්පියෙකි. වීශ්‍රී කලා කේන්ද්‍රයේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ශ්‍රීපාලි විසිනි. මේ වසරේදී ඔහුගේ කලා දිවියට වසර 35ක් සපිරේ.

සම්පත් සහ ශ්‍රීපාලි විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගයේ අරමුණ ප්‍රාසංගික කලාව ආරක්ෂා කර ජනගත කිරීමයි. එහිදී පැරැණි ගී වෙනුවෙන් නූර්තිමය රංගනයන් ඉදිරිපත් කෙරේ. අභිමන් ගී සැඳෑව ශ්‍රීපාලි අමරවර්ධනගේ ප්‍රාසාංගික අධ්‍යක්ෂණයකි. මෙහිදී ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් වෙත උපහාර සම්මාන පුදකිරීමට ද කටයුතු යොදා ඇත.

සම්පත් ශ්‍රී සෙනෙවිරත්න, ශ්‍රීපාලි අමරවර්ධන, ප්‍රියදර්ෂණ රොද්‍රිගු, සඳුන් විජේසිරි, ඩබ්ලිව් පෙරේරා, ලයනල් ගුණතිලක, රත්නශීලා පෙරේරා, කුමාරි පෙරේරා, රූපා ඉන්දුමතී, සුනිල් වෙස්ලි පෙරේරා, සුනිල් ද සිල්වා, අශෝක විජේසේකර, විල්මන් ද අල්විස් ඇතුළු පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනැමෙනු ඇත. පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ වෙත ද මෙහි උපහාර සම්මානයක් වෙන් වී ඇති අතර එය එතුමන්ගේ දියණියගේ අතින් වෙනත් කලාකරුවෙකු වෙත පිරිනැමීමට නියමිතව ඇත. මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ අභිමන් සුරක්ෂිතයි සංවිධානය සහ මොරටුව වීශ්‍රී කලා කේන්ද්‍රයයි.

යතේජා ඥානරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න