ශ්‍රමයෙහි බලය හඬගා කී අංගාරා

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 92 ලිපිය
මාර්තු 3, 2022

පරාක්‍රම නිරිඇල්ලගේ "උත්තමාවි" නාට්‍යයේ සුනේත්‍රා සරච්චන්ද්‍ර (ක්ලෙයාර් සැකනේසියන්), ලලිත් රාජපක්ෂ (ක්ලෙයාර්ගේ 7 සිට 9 වැනි සැමියා), සුසිල් වික්‍රමසිංහ (ප්‍රධාන මෙහෙකරු), සුජිත් වික්‍රමසිංහ (ටෝබී), චමත් ජයසිංහ (රෝබී), ප්‍රේමකුමාර දසනායක (කෝබී), බන්දුල ප්‍රියන්ත (ලෝබී), එච්.ඒ.පෙරේරා (ඉල්), මාලි ජයවීරගේ, සුනීතා විමලවීර (ඉල්ගේ බිරිඳ), උදේනි අල්විස් (ඉල්ගේ පුතා), මනීෂා විජේසිංහ, රසාදරී පීරිස් (ඉල්ගේ දුව), ගාමිණි හෙට්ටිආරච්චි (නගරාධිපති), දිලිප් රෝහණ (පූජකවරයා), වසන්ත විට්ටච්චි (පාඨශාලා ආචාර්ය), ජයලාල් රෝහණ (වෛද්‍යවරයා), ප්‍රසාද් සූරියආරච්චි (පොලිස් නිලධාරියා) යනාදීහු ප්‍රමුඛ චරිත රඟපෑහ. කෘතහස්ත නාට්‍යවේදී රංජිත් ධර්මකීර්තිගේ "අංගාරා ගඟ ගලා බසී" (1978) හී "වල්‍යා" සුනේත්‍රා රැඟූ භූමිකා අතර සන්ධිස්ථානයකි. මේ වූ කලී රුසියානු ජාතික ඇලෙක්සි අර්බුසොව්ගේ An Irkutsk story" (1959) හෙවත් "It happened in Irkutsk" නමැති නාට්‍යයෙහි පරිවර්තනයකි. රංජිත් ධර්මකීර්ති විසින්ම මෙය පරිවර්තනය කරන ලදි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් "අංගාරා ගඟ ගලා බසී" නාට්‍යයට ලබා දුන් සංගීතමය අර්ථකථනය යෝධ සෙවණැල්ලක් සේ මෙහි සමස්තාර්ථයෙන් ඉස්මතු වේ. රුසියානු නාට්‍ය කලාවේ සෞන්දර්ය කුළුගන්වන මෙහි ස්වර සංරචනය සහ සුගායනය ලාංකේය ප්‍රේක්ෂකයාට නවමු සහානුභූතියක් ගෙන ආ බැව් පෙනේ. "අංගාරා ගඟ ගලා බසී" ආචාර්ය කේමදාසයන්ගේ මතු නොව ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයෙහිද ප්‍රාබල්‍ය මංසලකුණකි. එහි ඇතුළත් වූ "අංගාරා ගඟ ගලා බසී" නමැති තේමා ගීතය සහෘදයාට අමතක නොවේ. ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර, සුනේත්‍රා සරච්චන්ද්‍ර හා එඩ්වඩ් ජයකොඩි යනාදී ශිල්පීහු මෙහි ගායන වෘන්දයේ කැපී පෙනුණාහ. ශ්‍රමයෙහි වටිනාකම තේමා කොට ගෙන සමාජවාදී දෘෂ්ටියෙන් ගොඩනැඟුණු "An Irkutsk story" සෝවියට් දේශයේ යථාර්ථවාදී නාට්‍යයක් ලෙස හැඳීන්වීම සහේතුකය. ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ සහ විචාරකයන්ගේ පැසසුම් "අංගාරා ගඟ ගලා බසී" නාට්‍ය නිර්මාණයට ලැබිණ. ගීත රාශියකින් සමන්විත මේ නාට්‍යය තාත්වික නාට්‍ය සම්ප්‍රදායෙන් නිර්මාණය වූවකි. ශීත සෘතුවේ හිම මිදෙන කාලයේ අංගාරා ගඟ හරහා වේල්ලක් ඉදි කිරීමට දායකවන ඉංජිනේරුවන්ගේ සහ කම්කරුවන්ගේ ජීවන අරගලය මේ නාට්‍යයට වස්තු විෂය විය.1978 ජනවාරි 26 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේ දී මෙහි මංගල දර්ශනය පැවැත්විණ. සුනේත්‍රා සරච්චන්ද්‍ර රඟපෑ වල්‍යා අලෙවි හලක අයකැමි ස්ත්‍රියකි. ලැරීසා එහි කළමනාකාරවරියයි. මේ භූමිකාව සෝමලතා සුබසිංහ, සුවිනීතා සුබසිංහ (පෙරේරා) සහ රම්‍යා වනිගසේකර රඟපෑහ. නිශ්ශංක දිද්දෙණිය රඟපෑ සර්ජි යනු පස් හාරන යන්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ යාන්ත්‍රික හා වැඩමුරේ ෆෝර්මන්ය. නීල් අලස් රඟපෑ වික්ටර් යනු විදුලි කාර්මික සහායකයෙකි. සෙර්ජුක් (එල්සන් දිවිතුරගම සහ දයා අල්විස් රඟපෑ) ජංගම පස් හාරන යන්ත්‍රයක් ක්‍රියා කරන කම්කරු නායකයෙකි. මෙහි රෝඩික් එනම් හයිඩ්‍රොලික් කාර්මික සහයක ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නද, ඩෙනිස් එනම් පස් හාරන යන්ත්‍රයේ තෙල් දමන්නා ලෙස නිමල් චන්ද්‍රසිරිද, ලැප්චෙන්කෝ නමැති අත් උදව්කරු ලෙස නිහාල් ප්‍රනාන්දුද, සිංකා හෙවත් ඩෙනිස්ගේ බිරිඳ එනම් කොන්ක්‍රීට් වැඩවල කම්කරු ස්ත්‍රිය ලෙස ආශා සේපාලිකා සහ රත්නා ලාලනී ජයකොඩිද රූපණයෙන් දායක වූහ. මෙහි වල්‍යා (සුනේත්‍රා සරච්චන්ද්‍ර) සර්ජිගේ (නිශ්ශංක දිද්දෙණිය) බිරිඳ වූවත් විවාහයට පෙර ඇගේ පෙම්වතා වූයේ වික්ටර් (නීල් අලස්) ය. වික්ටර්ගේ සෙල්ලක්කාර ගති පැවතුම් හේතු කොට පසුව වල්‍යා ඔහු අතහැර සර්ජි සමඟ විවාහ වූවාය. වික්ටර් මේ අරභයා මුලින් පශ්චාත්තාප වූවත් පසුව ඔහු කරුණු වටහා ගනී.වල්‍යා තම උපන් දින සාදයට සැමටම ආරාධනා කරන ජවනිකාව මේ නාට්‍යය එදා නැරඹූ සහෘදයාට අමතක නොවේ. "අංගාරා ගඟ ගලාබසී" නාට්‍යයේ අවසන් භාගයේ ගඟේ ගසා ගෙන යන දරුවන් දෙදෙනකු බේරාගැනීමට තැත් කරන සර්ජි ඉන් මරුමුවට පත් වේ. මින් අසරණ වූ වල්‍යාට පිහිට වීමට සියලු කම්කරුවෝ ඉදිරිපත් වෙති. "අංගාරා ගඟ ගලා බසී" වූ කලී කම්කරුවන්ගේ ශ්‍රමයෙහි බලය, එකමුතුකම, සමානාත්මතාව හා අන්‍යෝන්‍ය උපකාරය සමාජවාදී දෘෂ්ටියකින් විවරණය කළ නාට්‍යයකි. මෙහි සර්ජි ලෙස රඟපෑ නිශ්ශංක දිද්දෙණියගේත්, වල්‍යා ලෙස රඟපෑ සුනේත්‍රා සරච්චන්ද්‍රගේත්, වික්ටර් ලෙස රඟපෑ නීල් අලස්ගේත් ශූර රංගනය ඉහළින්ම කැපී පෙනිණ. නටමින්, ගයමින් නිශ්ශංක දිද්දෙණිය ඉන් පෙර කුසලතා පෑවේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායෙහි කෘතහස්ත රූපණවේදියකු ලෙසිනි. ඔහු තාත්වික නාට්‍ය සම්ප්‍රදායේ රැඟුමට කෙතරම් උචිත වේ දැයි යන පැනය බොහෝ විද්වත්හු එකල මතු කරමින් සිටියහ. තාත්වික නාට්‍ය සම්ප්‍රදායටද ඔහු ශූර ලෙස අනුගත වීම හෙවත් සුඛනම්‍ය වීම සනිටුහන් කළේ "අංගාරා ගඟ ගලා බසී" නාට්‍යයෙන් බැව් පැවසීම යුක්ති යුක්තය. මේ නාට්‍යය අරභයා නිශ්ශංක දිද්දෙණිය සූරීහු ස්වකීය මතකය වරක් මෙසේ මා සමඟ සිහිපත් කළහ.

" මුලින්ම මේ නාට්‍යයට මාව තෝරා ගත්තේ ගායන වෘන්දයේ නායකයා (Chorus leader)  ලෙසයි. එහෙත් මෙය සංගීතවත් කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එයට කැමැති වුණේ නැහැ. එවක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමඟ කේමදාස මාස්ටර්ගේ පැවැති මතභේදයක් ඒ සඳහා හේතු වුණා දැයි අද මට හිතෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල නාඩගම් ගීත ගයා හුරු වී ඇති මගේ හඬ මේ නාට්‍යයේ ඔහුගේ සංගීතයට ගැළපේවි දැයි සැක බව කේමදාස මාස්ටර් පවසා තිබුණා. මේ කීමට එදා මා ශෝකයට පත්වුණා. මා ඉතා කැමැත්තෙන් සිටියා, කේමදාසයන්ගේ අපරදිග සම්ප්‍රදායට වඩාත් නැඹුරු වූ ශෛලියේ ගීත ගයන්නට මේ නාට්‍යයෙන් අවස්ථාව ලැබීම ගැන. කේමදාස මාස්ටර් සමහර අවස්ථාවලදී හොඳීන් ගායනා කිරීමට බැරි ඇතැම් ශිල්පීන්ගේ පවා හඬ මැනවින් පුහුණු කරලා ඉස්මතු කළා. හොඳීන් ගීත ගයා හැකියාව පෙන්වා සිටි මගේ හඬ පුහුණු කළ නොහැකි දැයි යන පැනය මගේ කනගාටුවට හේතු වුණා. කෙසේ හෝ මාස්ටර්ගේ මේ මතය නිසා මා නාට්‍යයෙන් ඉවත් වුණා. මේ කාලයේ ජයලත් මනෝරත්න, මා ඇතුළු කීපදෙනෙක් නැවතිලා සිටියේ නුගේගොඩ එකම බෝඩිමක. අපි ඒ බෝඩිම නම් කළේ කැදැල්ල කියලා. දවසක් "අංගාරා ගඟ ගලා බසී" නාට්‍යයේ පුහුණුවීම් අවසන් කොට මහ රෑ පැමිණි මනෝරත්න මට මෙහි සර්ජිගේ ප්‍රධාන චරිතය රඟපෑමට ඇරැයුම් කළා. ඒ වන විට සර්ජිගේ චරිතය පුහුණු වෙමින් සිටියේ කරුණාරත්න හඟවත්ත. ඔහු පුහුණුවීම්වලදී ඇති වූ මතභේදයක් නිසා ඉන් ඉවත් වී සිටියා. මනෝරත්න මට මේ චරිතය බාර ගන්න කියා ඇරැයුම් කළේ ඒ නිසා.මා ඒ වන විට ශෛලිගත සම්ප්‍රදායේ රංග ශිල්පියකු ලෙස ප්‍රකට වී සිටි නිසා තාත්වික සම්ප්‍රදායේ නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑමට මට හැකි වේදැයි කියා යම්කිසි චකිතයක් මා තුළ තිබුණා. එහෙත් ඒ කාල වකවානුව වන විට මටත් අවශ්‍ය වී තිබුණා ඒකාකාරී ශෛලිගත සම්ප්‍රදායෙන් මිදිලා තාත්වික නාට්‍යයක රඟපෑමට. 

මනෝරත්න තමයි කිව්වේ මට මේ චරිතය හොඳීන් රඟපාන්න පුළුවන් ඔවුනුත් ඒ සඳහා උදව් කරන්නම් කියලා. ඔහුගේ උනන්දු කිරීම නිසා මා ඒ චරිතය භාර ගත්තා. අවසානයේ මා රඟපෑ සර්ජිගේ චරිතය සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ඇගැයුම් මට ලැබුණා."

ධම්ම ජාගොඩ සූරීන්ගේ වටිනා සංකල්පයකට අනුව ලංකාවේ සුප්‍රකට වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට නඟා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියට "අංගාරා ගඟ ගලා බසී" නාට්‍යයද ඇතුළත් විය. ඒ අනුව 80 දශකයේ මැද භාගයේදී මේ නාට්‍යය ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රූපවාහිනි මාධ්‍යයට නැඟී සංරක්ෂණය විය.

සුනේත්‍රා සරච්චන්ද්‍රගේ වේදිකා රූපණ අතර ඇය ප්‍රධාන චරිතය රඟපෑමෙන් මතු නොව සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායක වූ "තුරඟා" නාට්‍යය අමතක කළ නොහැකිය. මෙය නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ස්වතන්ත්‍ර නාට්‍යයකි. මේ වූ කලී 1989 භීෂණ සමය තේමා කොටගත් නාට්‍යයකි. සුනේත්‍රා සරච්චන්ද්‍ර, නිහාල් ප්‍රනාන්දු, ශ්‍රීනාත් මද්දුමගේ හා රංජිත් යායින්න මෙහි ප්‍රධාන චරිත රඟපෑහ.මේ නාට්‍යයට ඇතුළත් වූ සුනේත්‍රාගේ සංගීතය වඩාත් නෑකම් කීවේ අපරදිග සංගීත සම්ප්‍රදායටය.

මතු සම්බන්ධයි...