නාට්‍ය උගන්වන පාසලක් සදිසි නාට්‍යයක්

පෙබරවාරි 24, 2022

 

"ඒකාඅධිපති" හී ඔල්ගාට සහ "නෝරාගේ ගෙදර" හී නෝරාට වඩා හාත්පසින් වෙනස් භූමිකාවකි, ඩොලී. "සෙනෙහෙබර ඩොලී" (1986) වූ කලී බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ ප්‍රකට නාට්‍යයකි.ඇමරිකානු නාට්‍යවේදී තෝර්න්ටන් වයිල්ඩර්ගේ "The matchmaker"(1954) නම් වූ ප්‍රහසනාත්මක නාට්‍යය පරිවර්තනයෙන් "සෙනෙහෙබර ඩොලී" බිහි විය.එහි පරිවර්තක හා අධ්‍යක්ෂ බන්දුල විතානගේ මේ අරභයා මෙසේ ලීවේය.

"වයිල්ඩර් වේදිකාවක් පාවිච්චි කරන්නේ ස්වභාවධර්මය නැවත මවාපෑමට නොවේ. එහෙත් අතිශය සරල වූ අන්දමට රූප මාලාවක් නිර්මාණය කිරීමටය. වේදිකා උපකරණ හා පසුතල දර්ශනවලින් වේදිකාව පිරවීම සැබැවින්ම රසවින්දනයට බාධාවක් වන බව ඔහු විශ්වාස කරයි.

The matchmaker  නම් නාට්‍යය පූර්ණ ප්‍රහසනයක් වශයෙන් හැඳීන්විය හැකිය. මේ නාට්‍යයේ ප්‍රහසනයක මූලික ආකෘතීන් වූ මෝඩකම්, මුදල්, ප්‍රේමය, සංකීර්ණ අනුමාන කුමන්ත්‍රණ මඟින් කතාව විකාශනය වේ. මෙය කඩතුරා දර්ශනවලින් පිරී ඇත. හිටිහැටියේ සොයාගැනීම්, වෙස්වළා ගැනීම්වලින් බහුලය. ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවා වූ ෂේක්ස්පියර්ගේ නාට්‍යවල පවා හාස්‍ය උත්පාදනය සඳහා මේ සුලබ නාට්‍ය ආකෘතින් බහුල ලෙසද දක්ෂ ලෙසද යොදා ගෙන ඇත. තෝර්න්ටන්ගේ මේ නාටකය සිංහල වේදිකාවට හඳුන්වා දීමට මා සිතා ගත්තේ එබැවිනි."

තෝර්න්ටන් වයිල්ඩර් "The merchant of yonkers"  නමින් 1938 නිර්මාණය කළ නාට්‍යය 1954 දී යළිත් "The matchmaker" මැයෙන් ප්‍රතිනිර්මාණය කළේය.

දයා අල්විස් වෝල්ටර් ලෙසත් සුනේත්‍රා සරච්චන්ද්‍ර ඩොලී ලෙසත් මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. නිහාල් ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුල, සමන්තා ඈපාසිංහ, භද්‍රා නන්දනී, මනීෂා විජේසිංහ, තමාරා තේනුවර, සේසිරි සෙනෙවිරත්න, අජිත් ලොකුගේ, සුනිල් නිවිතිගල ආදීහුද මෙහි රංගනයෙන් දායක වූහ. මෑතකදී මියගිය සමන්තා ඈපාසිංහ වේදිකා රංගනයට පිවිසුණේ මේ නාට්‍යයෙනි.1987 රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය හා හොඳම පරිවර්තනය යන සම්මාන මේ උදෙසා බන්දුල විතානගේට හිමිවිය. හොඳම නිළිය ලෙස සුනේත්‍රා සරච්චන්ද්‍රත් හොඳම සහය නිළිය ලෙස සමන්තා ඈපාසිංහත් එවර "සෙනෙහෙබර ඩොලී" නිසා සම්මානයට පාත්‍ර වූ බැව් අපට අමතක නොවේ. ඩොලී (සුනේත්‍රා සරච්චන්ද්‍ර) අවිවාහක කාන්තාවකි. ඇය තම යෙහෙළියන්ගේද (භද්‍රා නන්දනී හා තමාරා තේනුවර) සහය ඇතිව රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නීය. මැදි වියෙහි සිටින වෝල්ටර් (දයා අල්විස්) ඩොලීගේ ප්‍රේමය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් මඩනා ලද්දෙකි.එහෙත් ඩොලීගේ සිත ඇදී යන්නේ ලෝරන්ස් (නිහාල් ප්‍රනාන්දු) කෙරෙහිය. මේ අතර ඩොලීගේ යෙහෙළියගේ (තමාරා තේනුවර) ප්‍රේමය ජෝර්ජ් (රොඩ්නි වර්ණකුල)

දිනා ගනී. මේ වූ කලී හැංගිමුත්තං, පැටලැවිලි මැද ගලා යන ප්‍රහසනාත්මක තේමාවකි. මෑතකදී වියෝ වූ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ සංගීතය "සෙනෙහෙබර ඩොලී" තවත් වර්ණවත් කළේය. බාලදක්ෂ කඳවුරුවල නිතර ඇසෙන්නා වූ ගීතයක් නාට්‍යවේදියා මෙහිදී ඖචිත්‍ය පූර්වකව යොදා ගත් බැව් පෙනේ. එහෙයින් මේ ගීතය කෙතරම් ප්‍රකට වූයේද යත් මෙය "සෙනෙහෙබර ඩොලී" නාට්‍යයෙහිම ගීතයක් ලෙස බොහෝදෙනා සිතූහ.

Ging gang goolie goolie
goolie goolie
watchac ging gang goo
ging gang goo
Oh hayla oh haila shayla
Oh hayla hayla shayla roo
shally walla shally walla
shally walla shally walla
ging gong
ging gong
ging gong


"උත්තමාවි" හී ක්ලෙයාර් මැතිනිය සුනේත්‍රා සරච්චන්ද්‍රගේ කලා ජීවිතයේ මෙතෙක් ඇයට ලැබුණු අභියෝගාත්මක භූමිකා රූපණ අතර මුල් තැනක් ගනී. පරාක්‍රම නිරිඇල්ලගේ "උත්තමාවි" (1989) වූ කලී වීර කාව්‍ය (Epic) ආකෘතියෙන් නිර්මිත නාට්‍යයකි. ඉන් ඉහත පරාක්‍රම අධ්‍යක්ෂණය කළ "ගැලිලියෝ" (1984) ද යථෝක්ත වීර කාව්‍ය ආකෘතියෙහිම පිළිබිඹුවකි. පරාක්‍රම "උත්තමාවි" අරභයා වරක් මෙසේ කීවේය.

"මේ කතා වස්තුව අපේ වර්තමාන සමාජ තත්ත්වයට ගැළපෙනවා. අපේ ජන සමාජය දිළිඳු කමින් අන්ත පීඩනයට පත්ව සිටින සමාජයක්. මුදලින් සෑම දෙයක්ම තක්සේරු කරන, මිනිස් වටිනාකම් මුදලට පාවා දෙන සමාජයක්. මෙවැනි සමාජයකට මේ නාට්‍යය ගැළපෙනවා."

"උත්තමාවි" වූ කලී ස්විස් ජාතික නාට්‍යවේදී ෆ්‍රිඩ්රිච් ඩුරෙන්මට්ගේ "The Visit of the Old Lady" (1956)  නාට්‍යයෙහි පරිවර්තනයකි. නිල් ශ්‍රී විජේසිංහ විසින් මෙය සිංහලට පරිවර්තනය කරන ලදි. "උත්තමාවි" අංක 3 කින් යුත් ඛේදාන්ත ප්‍රහසනයක් සේම දැවැන්ත නිෂ්පාදනයකි. ගුවෙලන් නමැති කුඩා නගරය කේන්ද්‍ර කොටගෙන මෙහි සිද්ධි විකාශනය වේ. ස්ථාන ගණනාවක සිද්ධීන් රාශියක් දක්නා ලැබීමත් චරිත විශාල සංඛ්‍යාවක් මඟින් කතාව ඉදිරිපත් කිරීමත් මෙහි වෙසෙස් ලකුණු වේ. දූෂිත බව, පළිගැනීම් හා මුදල් පසුපස හඹා යන සමාජ ක්‍රමයක සාරධර්මවලට අත් වන ඉරණම මේ නාට්‍යයේ සමස්තාර්ථයෙන් කුළුගැන්වේ.

නාට්‍යය ඇරැඹෙනුයේ නොදියුණු ගුවෙලන් නගරයේ අබලන් දුම්රිය නැවතුම් පොළට ක්ලෙයාර් (සුනේත්‍රා සරච්චන්ද්‍ර) ඇතුළු පිරිස පැමිණීමෙනි. ඇගේ ආගමනයත් සමඟ ධන බලය හේතුකොට නගරය හා නගර වැසියන්ගේ ජීවිතය ශීඝ්‍රයෙන් වෙනසකට බඳුන් වේ. ක්‍රමයෙන් ඇගේ අතීතය නිරාවරණය වේ.ක්ලෙයාර් දිළිඳුව සිටි සමයේ ප්‍රේම කළ ඉල් (එච්.ඒ.පෙරේරා රඟපෑ) නිසා ඇය ගැබ් ගනී. ඉල් මේ වරදෙන් නිදහස් වේ. නගරයේ නීතිය ක්ලෙයාර් අබිසරුලියක් බවට පත් කරයි.එතැන් සිට ඇයට සිදු වනුයේ අබිසරුලියක ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කිරීමටය. පසුව ක්ලෙයාර් කෝටිපති මහලු මිනිසකුගේ බිරිඳ බවට පත් වන්නීය. කෝටිපති මහලු මිනිසාගේ අභාවයෙන් පසු එම ධනස්කන්ධයට උරුමකම් කියන ක්ලෙයාර් ලොව ධනවත්ම කාන්තාව බවට පත් වූවාය. (මේ නාට්‍යයේ කෝටිපති මහලු මිනිසාගේ භූමිකාවක් දක්නා නොලැබේ. ඔහුගේ මරණයෙන් පසු ඒ බූදලයෙන් ඇය පොහොසත් වූ බව පමණක් දිස් වේ.) අතීතයේ අබිසරුලියක ලෙස හංවඩු ගසා එළවා දැමූ නගර වැසියෝ දැන් ඇය මහත් ඉහළින් පිළිගනිති. මුදලේ බලය ඇය ඔවුන් හට පෙන්වා දෙන්නීය. ඉන්පසු ඇය තෙවරක් වරින්වර විවාහ වූ බැව් පෙනේ. මෙහි ක්ලෙයාර්ගේ පළමු සැමියා, දෙවැනි සැමියා හා තෙවැනි සැමියා යන එකිනෙකට වෙනස් භූමිකා ත්‍රිත්වයක් ප්‍රවීණ රංග ශිල්පී ලලිත් රාජපක්ෂ ශූර අන්දමින් නිරූපණය කළේය. පළමු සැමියා සෙල්ලක්කාරයෙකි.දෙවැනි සැමියා සංගීතවේදියෙකි. තෙවැනි සැමියා මහලු ඉතිහාසඥයෙකි. ක්ලෙයාර් ස්වකීය ආධිපත්‍යය යටතේ සැමියන් වහලුන් බවට පත් කර ගන්නීය. තමාගේ ජීවිතය විපතට හෙළූ ඉල්ගෙන් පළිගැනීම ක්ලෙයාර්ගේ එකම අභිලාෂය බවට පත් වේ.ඉල්ගේ මරණය වෙනුවෙන් ගුවෙලන් නගරයට කෝටි 100ක මුදලක් පරිත්‍යාග කිරීමට ඇය සූදානම්ය.නාට්‍යය අවසන් වනුයේ ඉල්ගේ මළ සිරුර රැගෙන ඇය නවීකරණය වූ ගුවෙලන් දුම්රිය පොළන් තම තෙවැනි සැමියා සමඟ පිට වී යෑමෙනි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත අධ්‍යක්ෂණයෙන්ද ජර්මන් ජාතික නාට්‍යවේදියකු වූ රූඩි කොරන්ස් පසුතල හා රංග භාණ්ඩ සැලසුම් කිරීමෙන්ද අමරසිරි විජේසිංහ චිත්‍රවස්ත්‍ර නිර්මාණයෙන්ද , මානෙල් ජාගොඩ රංග වස්ත්‍රාභරණ සැලසුම් කිරීමෙන්ද සුවිනීතා සුභසිංහ රංග වින්‍යාසයෙන්ද අනිල් ඩයස් හඬ පාලනයෙන්ද මීට දායක වූහ. මෙහි අංග රචනයෙන් දායක වූ වසන්ත විට්ටච්චි "උත්තමාවී" අරභයා වරක් මෙසේ කීවේය.

"මේ නාට්‍යය , නාට්‍ය උගන්වන පාසලක් වගේ"

ෆ්‍රිඩ්රිච් ඩුරෙන්මට්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙන්ම වේදිකාවේ වීර කාව්‍ය ආකෘතිය ((Epic)  වර්ධනය කළ නාට්‍යවේදියෙකි. ඔහුගේ පළමු සාර්ථක නාට්‍යය වූ "Romulus the great"  ආචාර්ය සාලමන් ෆොන්සේකා විසින් සිංහලයට නඟා "සක්විති නික්මන" මැයෙන් අධ්‍යක්ෂණය කරන ලදි. එහිද වෙසෙස් චරිතයක් ලලිත් රාජපක්ෂ රඟපෑවේය.

 

මතු සම්බන්ධයි...