විප්ලවීය ඔල්ගා සහ සානුකම්පිත නෝරා

පෙබරවාරි 17, 2022

 

"අසාතමන්තරේ" හී නාඩගම් තනු ඇසුරෙන් බිහි වූ සුනේත්‍රා සරච්චන්ද්‍රගේ සංගීත අධ්‍යක්ෂණයද එස්.එච්.සරත්ගේ පසුතල නිර්මාණයද විචාරක ඇගැයුමට ලක්විය. ලාංකේය වේදිකා නාට්‍යයක් සංගීතවත් කළ පුරෝගාමී කාන්තාවක ලෙස සුනේත්‍රාගේ ආස්ථානය විද්වත් විමර්ශනයට බඳුන් විය යුතුය. මේ නාට්‍යයෙහි කූටප්‍රාප්තියෙහි දක්නා ලැබෙන දිසාපාමොක් ආචාරීන්ගේ මෑණියන් මියයන උද්වේගකර අවස්ථාවේ ඇසෙන ගීතයේ ස්වර සංරචනය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ලවා නිර්මාණය කරගැනීමට සුනේත්‍රාට ඇවැසි විය. "අසාතමන්තරේ" නාට්‍යයේ සංගීත අංශයේදී නිහඬ එහෙත් ප්‍රබල කාර්යභාරයක් ප්‍රවීණ සංගීතවේදී සැම්සන් සිල්වාගේ ඉටු වූ බව මේ අරභයා වැඩිදුර අධ්‍යයනයේදී මට වැටහිණ. ඔහු මේ නාට්‍යයේ වයලීන් වාදනයෙන් දායක වෙමින් වාද්‍ය වෘන්දය මෙහෙය වූයේය. ස්වර සංරචනයේදීද ඔහුගේ කාර්යභාරය කැපී පෙනිණ. නාට්‍යයේ අවසන් භාගයේ අසන්නට ලැබෙන මෑණියන් ලෙස රැඟු සුනේත්‍රා සරච්චන්ද්‍ර ගැයූ මේ ගීතය ඊට දෘෂ්ටාන්තයකි.

"වෙනු කමා මා පුතණුවනි

මහද සෝ ගිනි ඇවිළෙනා

ළසෝ ගිනි ගෙන දැවේ මා සිරුරා"

 

පරාක්‍රම නිරිඇල්ලගේ "සෙක්කුව" , මියුරි සමරසිංහගේ "සපතේරු හාමිනේ, මහාචාර්ය එම්.එච්.ගුණතිලකගේ "සක්කාය දිට්ඨි", "මනෝරථය", මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ "ජනහතුරා", "බත්දංකුඩ" යනාදී නාට්‍ය රාශියක් සංගීතවත් කරන ලද්දේ සැම්සන් සිල්වා විසිනි. අකාලයේ අපට අහිමි වූ ඔහු මෙරට නාට්‍ය ක්ෂේත්‍රයට අමිල,නිහඬ සම්මානනීය මෙහෙවරක් ඉටු කළේය.

එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා ලෙස "රතු හැට්ටකාරී" උදෙසා ආචාර්ය ජයලත් මනෝරත්න සම්මානයට පාත්‍ර වූවත් "අසාතමන්තරේ" හී ඔහුගේ භූමිකාවද ජූරියේ ඇගැයුමට ලක් වූ බැව් පෙනේ. එවර හොඳම නිළියට සම්මානයක් පිරිනැමුණේ නැත. ඒ වෙනුවට "අසාතමන්තරේ" හී සුනේත්‍රා සරච්චන්ද්‍රටත් "රතු හැට්ටකාරී" හි අනුලා බුලත්සිංහලටත් "තහනම් දේශය" හී මර්සි එදිරිසිංහටත් රංගන කුසලතා සහතික හිමිවිය. ගැහැනුන්ගෙ යටිහිත් විග්‍රහ කරන නාට්‍යයක් ලෙස "අසාතමන්තරේ" එකල බොහෝ විචාරකයෝ අගය කළහ. පෙර කී ලෙස "අසාතමන්තරේ" මුළුමනින්ම නාඩගම් සම්ප්‍රදායෙන් නිර්මාණය වූ නාට්‍යයකි. ගායන වෘන්දයද මේ උදෙසා යොදා ගැනිණ. නර්තන කලාව හදාරා තිබූ හෙයින් ගාමිණි සමරකෝන් මෙහි නර්තන වින්‍යාසයෙන්ද දායක වූයේය.එකල බොහෝ විචාරක ඇගැයුම් අතර ආචාර්ය හෙන්රි ජයසේන "අසාතමන්තරේ" ගැන ලියූ මේ කියුම මෙහිදී උපුටා දක්වනු වටී.

"රංගනයේ වේවා අංගරචනයේ වේවා කෙස් ගසක පලුද්දක් නොවීය."

හොඳම සංගීත අධ්‍යක්ෂණය උදෙසා සුනේත්‍රා සරච්චන්ද්‍ර සම්මානනීය වූයේ ඇය රංගනයෙන් දායක නොවූ හේමසිරි ප්‍රදිනාන්දුගේ "රිදී කාසි" නාට්‍යයෙනි.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ නාට්‍ය ජීවිතයේ වෙසෙස් සන්ධිස්ථානයක් ලෙස "ඒකාඅධිපති" (1976) හැඳීන්විය හැකිය.ඔහු රචනා කරමින් ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් අධ්‍යක්ෂණය කළ මේ නාට්‍යය එවක ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදක, හොඳම නළුවා යන සම්මාන මේ උදෙසා ධර්මසිරිට හිමි විය. මේ වූ කලී නිෂ්පාදන ශෛලියෙන් , ආකෘතියෙන් හා අන්තර්ගතයෙන් නව්‍ය අනුභූතියක් සහෘදයාට ලබා දුන් නාට්‍යයකි. සුගතපාල ද සිල්වාගේ "දුන්න දුනුගමුවේ" හා ආචාර්ය හෙන්රි ජයසේනගේ "මකරා", සයිමන් නවගත්තේගමගේ "සුභ සහ යස" යන නාට්‍යවල ආභාසයත් මෙහි දක්නට ලැබේ. "ඒකාඅධිපති" හී දක්නා ලැබුණේ ශෛලිගත සම්ප්‍රදායෙහිත් තාත්වික සම්ප්‍රදායෙහිත් මුසුවකි. සෘජුවම දේශපාලනික නාට්‍යයක් ලෙස මෙය හැඳීන්වීමෙහි වරදක් නැත.එවක රජය 71 කැරැල්ල මර්දනය කළ ආකාරය මෙහි තේමාවට බලපෑ බව බොහෝ විචාරකයෝ පැවසූහ. මේ වූ කලී ධර්මසිරි බණ්ඩාරනායක පරිවර්තන ආවේශයකින් ලියූ ස්වතන්ත්‍ර නාට්‍යයකි. සමකාලීන වශයෙන් වාරණයට ලක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබූ හෙයින් මේ නාට්‍යයේ අන්තර්ගතය විදෙස් රටක ආකෘතියක් තුළට බහාලීමට නාට්‍යවේදියා සිතුවා විය හැකිය. මෙහි ඒකාධිපතිවාදී මැල්කම් ලෙස ධර්මසිරි බණ්ඩාරනායකද ඔහුගේ පාලනයට එරෙහිව ක්‍රියා කරන විප්ලවීය කණ්ඩායමේ නායක වෝල්ටර් ලෙස සුනිල් විජේසිංහද ඔහුට සහාය වූ විප්ලවීය නායිකා ඔල්ගා ලෙස සුනේත්‍රා සරච්චන්ද්‍රද රැඟපෑහ. ඔල්ගා සුනේත්‍රාගේ නාට්‍ය රංගන දිවියෙහි කඩඉමකි. මෙහි මැල්කම්ගේ පුත්‍රයා වූ මැක්ලන් ලෙස ප්‍රසන්න ෆොන්සේකා, විජය නන්දසිරි හා ලාල් පීරිස්ද, ෆ්‍රිදෙල් ලෙස අසංකා මොනරවිලද ඇන්ටෝනියෝ ලෙස ෂේන් ඊබට්ද මැල්කම්ගේ බිරිඳ කැරොලයින්ටි ලෙස හේමන්ති හේවගේද පාකර් ලෙස මර්වින් ජයතුංගද ජේම්ස් ලෙස වික්ටර් රාමනායකද රංගනයෙන් දායක වූහ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ "ඒකාඅධිපති" නාට්‍යයට සංගීතමය අර්ථකථනය ලබාදුන්හ.

විප්ලවීය නාට්‍යවේදී විජිත ගුණරත්නගේ "නෝරාගේ ගෙදර" නාට්‍යයේ "නෝරා" සුනේත්‍රාගේ වේදිකා නිරූපණ අතර බැහැර කළ නොහැකිය. මේ වූ කලී ලොව ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන් අල්පයට අයත් වූ නෝර්වීජියානු ජාතික හෙන්රික් ඉබ්සන්ගේ "ඒ ච්ධතත'ඵ ඩ්ධභඵඥ" (1879) නාට්‍යයේ පරිවර්තනයකි. 1992 දී විජිත ගුණරත්න මේ නාට්‍යය ස්වීඩනයෙහිදී ස්වීඩන් භාෂාවෙන් නාට්‍යකරණය හදාරන උසස් පෙළ සිසුන් වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ බැව් අපට අමතක නොවේ. 50 දශකයේදී ඉබ්සන්ගේ මේ නාට්‍යය "සෙල්ලම් ගෙය" නමින් මහාචාර්ය ගණනාථ ඔබේසේකර හා ආචාර්ය අමරදාස වීරසිංහ සිංහලයට නැඟූහ. ස්ත්‍රීත්වය අරභයා සානුකම්පිත දෘෂ්ටියක් මේ නිර්මාණයෙන් ප්‍රකට විය. භූමිකාවල බාහිර ක්‍රියාකාරකම්වලට වඩා ඉබ්සන්ගේ නාට්‍ය ඔස්සේ ඉසියුම් ලෙස ඉස්මතු වූයේ අභ්‍යන්තරික සංකීර්ණ මනෝභාවයන්ය. විජිතගේ "නෝරාගේ ගෙදර" හී සුනේත්‍රා නෝරා ලෙස රඟපාද්දී ඇයගේ සැමියාගේ භූමිකාව හේමසිරි ලියනගේ රූපණය කළේය.

ආවේගශීලී "ඔල්ගා" ත් අනේකවිධ ගැටලු නිහඬව දරා සිටින "නෝරා" ත් එකිනෙකට තුලනය කළ කල්හි සුනේත්‍රාගේ රූපණ කෞශල්‍යය හෙළි වේ.

 

මතු සම්බන්ධයි...