වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මේ වයසෙදි චරිත ඕනේ තරම්

වර්තමාන කලා ක්ෂේත්‍රයට වැඩි වශයෙන් සම්බන්ධ වන්නේ තරුණ පරපුර පමණි. එම නිසා කලා නිර්මාණ සඳහා මැදි වියේ සහ මහලු වියේ චරිත සඳහාද තරුණ පිරිස සම්බන්ධ කරගැනීම මේ වනවිට ක්ෂේත්‍රයේ දැකිය හැකි දුර්වලතාවකි. ඇය නමින් රේණුකා හෙට්ටිආරච්චි. තරුණ විය පසු කර මැදිවියේ පසුවන ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු නවක රංගන ශිල්පිනියකි. විවිධ චරිත තුළින් තම රංගන හැකියා නිරූපණය කිරීමට උත්සාහ දරන ඇය සමඟ කතාබහක් අපි මෙසේ කළෙමු.
ඔබ ගැන හැඳීන්වීමක් කළොත්?
මගේ නම රේණුකා හෙට්ටිආරච්චි. ගම අතුරුගිරිය. මම කාර්මික ශිල්පිනියක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ මීට පෙර සේවය කළේ
කලාවට එන්නේ කොහොමද?
මගේ හොඳම යෙහෙළිය තුෂාරි බණ්ඩාරනායක කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. ඇය මට පොඩි පොඩි චරිත කීපයකටම ආරාධනා කළත් මගේ වෘත්තියේ වැඩ එක්ක ඒ චරිත මට මඟහැරුණා. 2018දී ඇය මට නැවතත් ආරාධනා කළා වේදිකා නාට්‍යයකට. ඒ වේදිකා නාට්‍යයේ නම පබාවතී. ඒක මධුසංඛ කංකානිගේ නිර්මාණයක්. පබාවතීගේ අම්මාගේ චරිතය මම රඟපෑවේ.
ඉන්පසුව රඟපෑ චරිත මොනවාද?
වෘත්තියේ පවතින කාර්යබහුලත්වයත් එක්ක වේදිකා නාට්‍යවලින් ටිකක් බැහැර වෙලා ඉන්නවිට මට ටෙලිනාට්‍යවල අතුරු චරිත කිහිපයක් කරන්න අවස්ථාව ලැබුණා. ස්වාධීන රූපවාහිනියේ "සිහිනි" ටෙලිනාට්‍යයේ, එම නාළිකාවේම කෝපි කඩේ සොපිහාමිනේගේ චරිතය ආදී චරිත මම රඟපෑවා. "හතේ කල්ලිය" ටෙලි නාට්‍යයේ චරිතයක් කළා. මන්දාරම් චිත්‍රපටයේ පොඩි චරිතයක් නිරූපණය කළා. හිරු නාළිකාවේ "අඳුරු සෙවණැලි" ටෙලිකතා මාලාවේ රඟපෑවා. සැළලිහිණි කියලා වේදිකා නාට්‍යයකත් මම රඟපෑවා. ප්‍රියන්ත සමරකෝන් මහතාගේ "රෝසමල් කැලේ" ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒක තවම විකාශය වුණේ නැහැ. ඔහු විසින් නිර්මාණය කරපු "කෙවින්න" කියලා කෙටි චිත්‍රපටයක මම රඟපෑවා. අසංක පෙරේරාගේ "පින්සාර සිතුවිලි" කියන පොහොය කතාවෙත් රඟපෑවා. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත සුනිල් ප්‍රේමරත්නගේ "21" ටෙලි නාට්‍යයේත් මම රඟපෑවා. මේ මෑතකදී දෙරණේ නාළිකාවේ විකාශය වුණු "හිතුවක්කාර" ටෙලිනාට්‍යයේත් මම රඟපෑවා. "කළු දළ රළ" ටෙලිනාට්‍යයේත් චරිතයක් කළා. එයත් ඉදිරියේදී විකාශය වෙයි.
ඔබ තරුණ විය පසු කරලා මැදිවියේ ඉන්න කෙනෙක්. ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න හැකි මට්ටමේ චරිත තියෙනවාද?
මේ වයසෙදි ක්ෂේත්‍රයට එන අපිට චරිත ඕනේ තරම් කරන්න තියෙනවා. වර්තමානයේ කලාවට අලුතෙන් එකතු වෙන්නේ තරුණ පරම්පරාව විතරයි. නමුත් අපේ වයසෙ අයටත් කරන්න චරිත තියෙනවා.
දිගටම අතුරු චරිත කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මගේ වයසට සුදුසු හොඳ ප්‍රධාන චරිතයක් ලැබුණොත් මම කරනවා. ගොඩක්ම මට ලැබෙන්නේ අම්මාගේ චරිත. නිර්මාණවල තරුණ චරිත විතරක් නෙමෙයි වැඩිහිටි චරිතත් ඉස්මතු වෙනවා. එහෙම හොඳ චරිතයක් ලැබුණොත් මම කරනවා.
ක්ෂේත්‍රයේ තරුණ පිරිසත් සමඟ වැඩ කරන්න ලේසියිද?
ඔවුන් සමඟ වැඩ කරන එක ඇත්තටම හරිම පහසුයි. තරුණ පිරිස හරිම විනෝදෙන් සුහදශීලීව ඉන්න පිරිසක්. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් ඔවුන් එක්ක.
දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්. මම කලාවට ආදරෙයි. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න කැමතියි. මම මගේම කියලා ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වැඩ කටයුතු සමඟ ඉදිරියේදී කලා ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්නවා.
ඡායාරූප - ශාන් රූපස්සර