ස්ත්‍රී දොස් දක්වන අසාතමන්තරේ

පෙබරවාරි 10, 2022

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 89 ලිපිය

පන්සිය පනස් ජාතකය මුළුමනින්ම බුද්ධ භාෂිත කෘතියක් නොවන බව මා මෙහිදී අමුතුවෙන් කිව යුතු නැත. බුද්ධ භාෂිතයෙන් සුපෝෂිත දර්ශනය සේම බමුණු මතවාද , ජනශ්‍රැතික මතවාද ආදියෙහි මුසුවක් මෙහි දක්නා ලැබේ. එහෙයින් පන්සිය පනස් ජාතකය අපගේ සම්භාවනාවට පාත්‍ර වනුයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් ලෙස විනා බෞද්ධ දර්ශනය ඉගැන්වෙන ධර්ම ග්‍රන්ථයක් ලෙස නොවේ. බෞද්ධ දර්ශනය හදාරනු රිස්සෝ ත්‍රිපිටකය කියවත්වා. පසුකාලීනව බටහිර ව්‍යාප්ත වූ අනේකවිධ සාහිත්‍යික සංකල්පවල බීජ අවස්ථා පුරෝගාමී ලෙස දිස්වන, අපට උරුම වූ උත්කෘෂ්ට සාහිත්‍ය ග්‍රන්ථය ලෙස කවර කලෙකත් පන්සිය පනස් ජාතකය අග්‍ර ස්ථානයේ එකසේ වැජඹේ. ජාතක කතා ඇසුරෙන් දෘශ්‍ය කාව්‍ය මතු නොව විවිධ ප්‍රශස්ත කලා කෘති මෙරට බිහි වී ඇති බව සත්‍යයකි. එහෙත් එහි දක්නා ලැබෙන බොහෝ නිර්මාණ උල්පත් දෙස විමංසනාක්ෂිය හෙළූ කල්හි මේ සේවනය මෙතෙක් විවිධ කලා මාධ්‍ය අවශෝෂණය කොට ගත් ආකාරය ප්‍රමාණවත් නැතැයි මම සිතමි.

මිනිස් සිතෙහි ගූඪ චිත්ත චෛතසික ස්වභාවය, අසංයත කාම චර්යා ගැඹුරින් විවරණය කෙරෙන ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස පන්සිය පනස් ජාතකය නිබඳවමැ මාර්ටින් වික්‍රමසිංහ සූරීහු අගය කළහ. ඇතැම් තැන්හි ව්‍යභිචාර (ධ්දජඥඵබ) අන්තර්ගත කතා වස්තූන්ද සොයා ගැනීමට අසීරු නැත. එහි දක්නා ලැබෙන අසාතමන්ත ජාතකය මේ උදෙසා දැක්විය හැකි මාහැඟි දෘෂ්ටාන්තයකි. එකී ජාතක කතාව ඇසුරෙන් සුනේත්‍රා සරච්චන්ද්‍ර සහ ගාමිණි සමරකෝන් "අසාතමන්තරේ" (1974) නාට්‍යය අධ්‍යක්ෂණය කළහ. මේ වූ කලී නාඩගම් සම්ප්‍රදායෙන් නිර්මාණ වූ නාට්‍යයකි. ගාමිණි සමරකෝන් පිටපත රචනා කළේය.අසාතමන්ත ජාතකය සංක්ෂේපයෙන් මෙසේය.

මේ කතාවෙහි අප බෝසතාණෝ ගාන්ධාර රට තක්සලා නුවර, බ්‍රාහ්මණ වංශයෙහි උපත ලැබ වේදත්‍රයෙහි කෙළ පැමිණි දිසාපාමොක් ආචාරී වූහ. ඒ සමයෙහිම බ්‍රාහ්මණ කුලයක එක් කුල පුත්‍රයකු උපන් දවසේ සිට දෙමවුපියෝ ගිනි නොනිවා ගිනි දෙවි පිදූහ. ඒ කුමාරයා සොළොස් හැවිරිදි වියට පත් වූ කල්හී දෙමවුපියෝ මෙසේ කියත්.

"පුතා, උපන් දවසේ සිට අපි ගිනි දෙවි පිදුවා. බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න කැමැති නම් වනගත වී ගිනි දෙවි පුදා බඹ ලොව යන්න.ගිහිගෙය වාසය කැමැති නම් තක්සලා නුවර ගොස් දිසාපාමොක් ආචාරීන් වෙතින් සිප්සතර ගෙන අඹුදරුවන් රකින්න"

වනගත වීමට නොව අඹුදරු රකින්න සිතා දෙමවුපියන් වැඳ ගුරු පඬුරු ගෙන ඔහු තක්සලා නුවරට ගියේය. ඔහු ශිල්ප හදාරා කලකට පසුව පැමිණියේය. පුතා ගිහිගෙය වසනු දැකීමට දෙමවුපියෝ අකැමැති වූහ.

ඊට උපායක් සිතා මෙසේ කීහ.

"පුතා ස්ත්‍රීන්ගේ දොස් ප්‍රකාශ කෙරෙන ශාස්ත්‍රය එනම් අසාතමන්තරේ තවම නොදන්නා නිසා නැවත ගිහින් ආචාරීන්ගෙන් අසාතමන්තරේ ඉගෙන ගෙන එන්න" යැයි කීහ. ඒ කුමාරයා මෑණියන් කී බස් අසා යළින් තක්සලා නුවරට ගියේය. එකල්හි දිසාපාමොක් ආචාරීහු වනගත වැ ජල පහසුකම් ඇති තැනක අසපුවක් කරවා තම මව් පෝෂණය කොට තපස් රකිමින් සිටියාහ.

දිසාපාමොක් ආචාරීන්ගේ මෑණියෝ වයෝවෘද්ධයහ. අවුරුදු එකසිය විස්සක් වයසැතිය. බෝසතාණෝ සිය අතින් තම මෑණියන් කවා, පොවා, නහවා පෝෂණය කරන්නාහ. අසාතමන්ත්‍රය ඉගෙනීමට තක්සලා නුවරට පැමිණෙන කුමාරයා ආචාරීන් සොයා වනයට ගොස් නමස්කාර කළේය.

"යළි කුමක් පිණිස පැමිණියේද ?" ආචාරීහු විමැසූහ.

"අසාතමන්ත්‍රය ඉගෙනීම පිණිස පැමිණි" බව ඔහු කී කල්හී

"ඔබට අසාතමන්ත්‍රය ඉගෙනීමට කීවේ කවුරුන්ද ? " යැයි ආචාරීහු විචාළහ.

"මගේ මෑණියන්" යැයි කුමාරයා පිළිතුරු දුන්නේය.

එවිට ආචාරීහු මෙලෙස සිතූහ.

"මේ ලෝකයෙහි අසාතමන්ත්‍රය නම් දෙයක් නොමැත. මේ කුමාරයාගේ මෑණියන්ට අවැසි වී ඇත්තේ ස්ත්‍රීන්ගේ දෝෂ දැක්වීමටය."

එසේ සිතා මෙසේ කීහ.

"දරුව යහපත , මම තොපට අසාතමන්ත්‍රය කියා දෙමි. මෙවක් පටන් ඔබ අතින් මගේ මෑණියන්ට කවා, පොවා, නහවා පෝෂණය කරව. අත, පය, හිස් පිරිමැදීම් කරව.ඒ ඒ අවස්ථාවලදී ඔබ මගේ මෑණියන්ට මෙසේ කියව.

"මෑණියන් වහන්ස ඔබතුමිය ජරාවට පැමිණි කල්හිත් මෙබඳු යහපත් වූ ශරීර ඇත්තේය. මෙය මෙසේ නම් ඔබතුමිය ළදරු අවස්ථාවේ වී නම් කෙබඳු වේ දැයි සිතමි" කියව. අත්පය වඩනා අවස්ථාවේදීත් හස්ත පාදාදීන්ගේ ගුණම කියව. එවිට තොපට මගේ මෑණියන් වහන්සේ යමක් කීවේ නම් එකී දෙය තෙපි ලැජ්ජා නැතිව මට කියව.එසේ කළ විට ඔබට අසාතමන්ත්‍රය ලැබේ. නොකළා නම් නොලැබේ " යැයි ආචාරීහු පැවසූහ. කුමාරයා "යහපති"යි කියා ආචාරීන් පැවසූ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කරන්නේය. කුමාරයා නිරන්තරයෙන් මෑණියන්ගේ ශරීරය වර්ණනා කරන්නේය. එසේ කරත්ම "මේ කුමාරයා මා සමඟ අභිරමණය කිරීමට කැමැත්තෙන් සිටින්නේ" යැයි මෑණියෝ සිතූහ. අන්ධ වූ, ජරාජීර්ණ වූ, එකසිය විසි විය ඉක්මවූ ආචාරීන්ගේ මෑණියන්ගේ චිත්ත අභ්‍යන්තරයෙහි කෙලෙස් පහළ වන්නට විය. එක් දිනක් මෙලෙස කුමාරයා තම සිරුර වර්ණනා කරද්දී මෑණියෝ මෙසේ ඇසූහ.

"දරුවා මා සමඟ අභිරමණය කිරීමට කැමැත්තෙහිද ? "

"මෑණියනේ කැමැත්තෙමි. එහෙත් ඔබතුමියගේ පුත්‍රයා මගේ ගුරුවරයාය. එහෙයින් කෙසේ එසේ කරන්නද ? "කුමාරයා කී කල්හී

"එසේ නම් ඔබ කැමැතිනම් මාගේ පුතු මරා දමන්න" යැයි මෑණියෝ පැවසූහ.

"මම ගුරුතුමා සමීපයෙහි මෙතෙක් කලක් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමි. එසේ හෙයින් කෙලෙස් මාත්‍රයක් හටගත් පමණින් එවැන්නක් කෙසේ කරන්නද ? " එකල්හි මෑණියෝ මෙසේ කීය.

"ඔබට නොහැකි නම් මම ඔහු මරා දමමි"

මෙලෙස වයෝවෘද්ධ වියේදී පවා රාග සිත් පහළ වී කෙලෙස්වලට වසඟව මෑණියෝ තම පුතු මරා දැරීමට සිතූහ. කුමාරයා මේ සියලු පවත් තම ආචාරීන්ට සැල කළේය.

"දරුව ඔබ කළ දේ ඉතා යහපත්"යැයි පැවසූ ආචාරීහු තම මවගේ ආයු සංස්කාරය දෙස බලා ඇය අද දින මියයන බැව් දුටුවෝය. දිඹුල් දඬු කඳක් ගෙන්වා ගෙන සැස තම සිරුරෙහි ප්‍රමාණයෙන් පිළිරුවක් කොට , හොවා ඒ අසලින් පොරව තබා මෙසේ කීහ.

"මා මෙතැන වැදහොත් නියාව මගේ මෑණියන්ට පවසනු."

කුමාරයා ඒ අනුව ආචාරීන් නිදා සිටින තැන පෙන්වා එහි බැඳ ඇති රැහැන දිගේ ගොස් අසල පොරවෙන් ඔහු මරාදමන්න යැයි මෑණියන්ට කීවේය.

"ඔබ මා අත් හරින්නේ නැහැ නේද ?"යැයි ඇය ඇසුවාය.

"කුමන හේතුවකට මා එසේ කරන්නද ?" ඔහු කී කල්හී මෑණියෝ වෙව්ල වෙව්ලා රැහැන අල්ලා ගොස් පොරෝ පහර දුන්හ. එවිට දඬු කඳට පොරෝ පහර වැද "ටක්" යන ශබ්දයෙන් මෙය දඬුකඳක් බව වැටහිණ.

මෙය ඇසී ආචාරීහු "මෑණියන් මේ රාත්‍රියේ අවදිවී කුමක් කරන්නේද ?" යැයි ඇසූහ. තම වංචාව හෙළිවීමෙන් එතැනම වැටී මිය ගියේ ඇයට එදින මියයන්නට තිබූ හෙයිනි. ආචාරීහු තම මෑණියන්ගේ ආදාහන කටයුතු නිමවා කුමාරයාට මෙසේ කීය.

"දරුව අසාතමන්ත්‍රය නම් දෙයක් මෙලොව නැත. ඔබගේ මෑණියන් අසාතමන්ත්‍රය ඉගෙන ගෙන එන්නැයි මා වෙත එවුයේ ස්ත්‍රීන්ගේ දෝෂ දැනගනු පිණිසය. දැන් ඔබ ප්‍රත්‍යක්ෂයෙන්ම මගේ මෑණියන්ගේ දෝෂ දනී.මේ කාරණයෙන් ස්ත්‍රීන් නම් කෙබඳුදැයි දැනගනු" යැයි අවවාද කළහ. කුමාරයා නැවත මවුපියන් වෙත ගියේය.

"පුත , අසාතමන්ත්‍රය උගත්තේද ?"

මෑණියන් ඇසූ විට ඔහු "එසේය මෑණියනි" කීවේය.

"දැන් ඔබේ කැමැත්ත ගිනි දෙවියා පිදීමටද ගිහිගෙහි වාසයටද"

මෑණියෝ ඇසූහ.

"මවිසින් ප්‍රත්‍යක්ෂයෙන්ම ස්ත්‍රීන්ගේ දෝෂ දක්නා ලදි. මට ගිහිගෙයින් ප්‍රයෝජනයක් නැත. මම වනගත වෙමි. ස්ත්‍රීන්ගේ කෙලෙස් වසඟ වීමෙහි නිමක් නැත. ගිහිගෙයින් නික්ම යෑමට අදිටන් කොට ගතිමි. මේනිසා වනගත වී බඹලොව යෑමට මම අදිටන් කොට ගතිමි"

පන්සිය පනස් ජාතකයෙහි දක්නා ලැබෙන යථෝක්ත ජාතකය මුළුමනින්ම "අසාතමන්තරේ" නාට්‍යය උදෙසා පාදක විය. මෙහි මුල් නිෂ්පාදනයේ චරිත ද්වයක් සුනේත්‍රා සරච්චන්ද්‍ර රූපණය කළාය. ආචාරීන්ගේ මෑණියන්ගේ සංකීර්ණ අභියෝගාත්මක භූමිකාව ඉන් එකකි. එසේම ඇය කුමාරයාගෙන් මවගේ චරිතයද මුලින් රඟපෑ අතර පසුව චිත්‍රා වාකිෂ්ඨ මෙය රඟපෑ බැව් පෙනේ. දිසාපාමොක් ආචාරීන් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නද කුමාරයා ලෙස ගාමිණි සමරකෝන්ද පොතේ ගුරු ලෙස බන්දුල විජේවීරද මැදුර සරසන ඇදුරු ලෙස මහාචාර්ය ආරියරත්න කළුආරච්චිද රංගනයෙන් දායක වූහ.

 

මතු සම්බන්ධයි...